Monday 24 December 2018

නත්තල් සීයාගේ පිණිමුවෝ හා අඟුටුමිට්ටෝ Reindeer & Elves

අවුරුද්ද අවසානයේ ලොවම අමුතුම උත්සව සිරියකින් වැහිලා යනවා. නත්තල් සමරණ හෝ නැති කියල වෙනසක් නැති උත්සව සමයක් බවට ඉබේම හැරිලා. ඒ වගේම නත්තල සම්බන්ධ සිදුවීම්, කතා වලටත් ආගම භේදයක් නැතිව පණ එනවා.  රුඩොල්ෆ් ඇතුළු පිණිමුවෝ, නත්තල් ගහ වගේම නත්තල් සීයාගේ අඟුටුමිටි රංචුවත් ලෝකෙම ප්‍රසිද්ධයි.
නත්තල් සියා ලෙසින් ප්‍රකට වන්නේ දුප්පතුන්ට උදව් කළ, පසුව ශාන්තුවරයෙක් ලෙස නම්කළ ශාන්ත නිකොලස් තුමා. එහෙත් නත්තල් සීයා කිව්වම ලෝකයේම දරුවන් අද දන්නේ පිනිමුවන් බැඳී කරත්තයක සෙල්ලම් බඩු පටවාගෙන නිවෙස්වල වහලයෙන් ඇවිත්, දුම් බටය දිගේ පහලට බැස නත්තල් ගහ පාමුල හෝ එල්ලා තිබෙන මේස් එකක සෙල්ලම් බඩු දමා යන මුහුණේ පුළුන් වගේ සුදු රැවුලක් තියන කරුණාවන්ත කෙනෙක්.
ඔහු එන කරත්තයේ පිණිමුවන් නම දෙනෙක් බැඳලා ඉන්නවා. ඒ අයට නම් එහෙමත් තියනව.
නත්තල් සීයා ගේ කරත්තය ගෙනයන්නේ පිනිමුවෙක් කියන එක මුලින්ම සඳහන් වෙලා තියෙන්නේ 1821 දී නිව්යෝක් පොත් ප්‍රකාශකයෙක් වූ විලියම් ගිලී නිකුත් කළ පොත් පිංචක සඳහන් වුනු නම නොදත් කෙනෙක් ලියු ළමා කවියක හා ඊට  ඇඳි  චිත්‍රයේයි.
Old Santeclaus with much delight
His reindeer drives this frosty night,
O'er chimney tops, and tracks of snow,
To bring his yearly gifts to you.

ඉන්පස්සේ  පිණිමුවන් අටක් නම් සහිතව නත්තල් සාහිත්‍යයට එකතුවෙලා තියෙන්නේ 1823 දී භාෂා ඉතිහාසඥයෙක් වන ක්ලෙමන්ට් කලාර්ක් මූර් ලියූ A Visit from St. Nicholas හෙවත් Twas the night before Christmas පද්‍යයෙයි.
More rapid than eagles his coursers they came,
And he whistled, and shouted, and called them by name;
‘Now, Dasher! now, Dancer! now, Prancer and Vixen!
On, Comet! on, Cupid! on, Donder and Blitzen!’

මෙයින් ඩොන්ඩර්  හා බ්ලිට්සන් නම් දෙක ඕලන්ද භාෂාවෙන් ගෙරවීම හා අකුණු ගැසීම  යන අදහස එන donder හා bliksem වදන්වලින් තෝරාගෙන තියෙන බවයි කියවෙන්නේ. දිලිසෙන රතු නහයක් තියන රුඩොල්ෆ් පිණිමුව රංචුවට එකතුවුණේ 1939දී. ඒ කතාව මෙතනින් බලන්න.
එයින් පස්සේ තෑගී බෙදන්න යනකොට නත්තල් සීයා මේ කට්ටිය එක්කයි යන්නේ.  පිණිමුවන්  එක එක්කෙනාට විශේෂිත වූ ලක්ෂණත් තියනව.
නම
ගතිගුණ
දක්ෂතාව
ඩෑෂර්
වේගයෙන් දිවීමේ ආශාව
මැහුම්
ඩාන්සර්
අන්තර්වර්ති ගති
නර්තනය
ප්‍රාන්සර්
තරමක් ආඩම්බර මුත් ආදරණිය
අශ්වයෙක් මෙන් උඩ පැන පැන යාම
වික්සන්
තරමක් අමාරුකාර
මැජික් ශිල්පය
කොමෙට්
කඩවසම්, උදව් කරන සුළු
දරුවන් සමග මිතුරුවිම
කියුපිඩ්
ආකර්ෂණිය
මිනිසුන් සමගි කිරීමේ හැකියාව, ආදරය බෙදීම
ඩෝනර්
ශබ්ද නැගීම , ක්‍රියාශීලි බව
ගායනය
බ්ලිට්සන්
අධික වේගයෙන් යාම
අන් අයව උද්වේගයට පත්කිරීමේ හැකියාව
රුඩොල්ෆ්
ලජ්ජාශිලිබව
නහය දිලිසීම

ඊළඟට ප්‍රශ්ණේ මේ අය ගැහැනුද පිරිමිද කියල. බොහොමයක් කවිවල 'ඔහු' කියල භාවිතා කරනවා වුණත්, එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු දෙදෙනෙක්ගේ  අදහස් අනුව ඔවුන් ගැහැණු සතුන් වෙන්න ඕනේ. ඊට හේතුව පිනිමුවන්ගේ පිරිමි සතුන් දෙසැම්බරය එළඹීමත් සමග ඔවුන්ගේ අලංකාර අං තට්ටුව හලා දැමීමයි. ගැහැණු සතුන් ගේ අං එලෙසම පවතින අතර, ඔවුන් මේ කාලයේ වඩා ශක්තිමත් හා සෞඛ්‍ය සම්පන්න වෙනවා.
අනාගතයේ නත්තල් සාහිත්‍යයට දැනට ඉන්න නම දෙනාට අමතරව තවත් පිණිමුවන් එකතු වෙන්න බැරි කමකුත් නැහැ.

නත්තල් සීයාට තෑගි සැලසුම් කිරීමට, තෑගි තේරීමට, ලොව දස දෙසින් එන සුවහසක් දරුවන්ගේ ඉල්ලීම්  හා ඒවා සකස් කිරීමට උදව්වට විශේෂ දක්ෂතා ඇති අඟුටුමිට්ටන් : elves හය දෙනෙක් ඉන්නවා. වසර සිය ගණනක් තිස්සේ නත්තල් සීයා සමග උත්තර ධ්‍රැවයේ නොකඩවා වැඩ කරන ඔවුන් නොවෙන්නට නත්තල් සීයට ලොව පුරා දරුවන්ගේ කැමැත්ත ඉටු කරන්නට හැකිවන්නේ නැහැ.

මේ අය මිනිසුන් නිසා නමට වාසගමකුත් තියනව.
1. ඇලබස්ටර් ස්නෝබෝල් Alabaster Snowball : සියලුම අඟුටුමිට්ටන් ඉතා ඉහල හැකියා ඇති අය වුවත් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ගත්  උපාධියක්ද සහිත උපාධි දෙකක් මොහුට තියෙනවා. මිත්‍රශීලි කරුණාවන්ත මොහු ලොව වෙසෙන ළමයින්ගේ හොඳ  නරක ලැයිස්තුව හදන්නේ. දැන් පරිගණකයක් උපයෝගී කරගෙන වසර පුරා විනාඩියට පස් වරක් update වෙන පරිදි සෑම ළමයෙක් ගැනම වාර්තා තබා ගන්නවා. තෑගි ලැබෙන්නේ ඒ ලැයිස්තුවට අනුවනේ.

2. බුෂි එවර්ග්‍රීන්  Bushy Evergreen : නත්තල් සීයා ගේ මැජික් සෙල්ලම් බඩු හදන යන්ත්‍රය නිපදවූ ඉංජිනේරුවා මොහුයි. උතුරුකුරුවේ කැලෑවක වෙසෙන පවුලකින් පැවත එන නිසා ලී කැටයම් කලාවට  ඉතා කුඩා වියේදීම සමත්කම් දැක්වූවා.
අවුරුදු 103ක පිරිමි දරුවෙක්ව සිටි සමයේදීම ඔහු ලී වලින් දුම්රිය, වාහන, ඩයිනසෝරයන් මෙන්ම අනෙකුත් ක්‍රීඩා භාණ්ඩ නිපදවූවා. දැනට නත්තල් සීයා ගේ සෙල්ලම් භාණ්ඩ නිපදවන අංශ ප්‍රධානියා වන මොහු නවීන භාණ්ඩ නිපදවමින් ලොව පුරා දරුවන්ගේ ඉල්ලීම් ඉටු කරමින් සිටිනවා.

3. පෙපර් මින්ස්ටික්ස් Pepper Minstix : නත්තල් සීයාගේ මැජික් ලෝකයේ ආරක්ෂකයා ඔහුයි. නත්තල් සීයාත් නත්තල් අත්තම්මා හා අනිත් අඟුටුමිට්ටන්ගේ ආරක්ෂාව භාරව ඉන්න ඔහුයි, ඔවුන් සිටින රහසිගත ප්‍රදේශය ලොවේ සිටින මිනිසුන්ගෙන් වසන් කොට තැබීම සිදුකරන්නේ. මුළුතැන්ගෙයි උපකරණ භාවිතයෙන් තම අවි හදාගන්නා පෙපර්, ලෝකයේම තිබෙන එකම බබල්ගම් විදින ආයුධය සතු තැනැත්තා. එයට හසුවීමට ඒමට කවුරුත් කැමති වන්නේ නැහැ.

4. ෂයිනි අපට්‍රී Shinny Upatree : උත්තර ධ්‍රැවයේ පැරණිම වාසියා මොහුයි. නත්තල් සීයාටත් වඩා පැරණි මොහු අවුරුදු හතරක දරුවෙක්ට වඩා උස නැත.රැලි වැටුණු සමකින් යුතු මොහු හොඳ හදවතක් ඇත්තෙක්. නත්තල් සියා ඉතා ආදරය කරන අතර ඔහුගේ විශ්වාසවන්තම කෙනායි.
සියලුම අගුටුමිට්ටන්ගේ නායකයා වන ෂයිනි නත්තල් සීයා සමග මැජික් කම්හල මුලින්ම ආරම්භ කළේ. ඔහු නැත්නම් ගම, වැඩපල හෝ නත්තල් සීයා නැති නිසා ඔහු මොනවා කළත් අනිත් අය වචනයක් කියන්නේ නැහැ.

5. ශුගර්ප්ලම් මේරි Sugarplum Mary : උතුරුකුරු පෙදෙසට ඈතින් පිහිටි ආසියාවෙන් ආ මේරි තද පැහැ හිසකේ හා හමක් තියන ඉතා පියකරු තැනැත්තියක්. මැය රසකැවිලි අංශයේ ප්‍රධානියායි. නත්තල් අත්තම්මා සමග මුළුතැන්ගෙයි විවිධ සුප විධි අත්හදා බලන මේරි සතුව ආහාර වට්ටෝරු රැසක් තියනව. නත්තලට සීයාගෙන් ලැබෙන තෑගිවල තියන සියලු රසකැවිලි හැදෙන්නේ මේරිගේ වට්ටෝරු අනුව.
සිකුරාදා හවස්වරු වලදී තරුණ මිට්ටන්ට කුන්ග් ෆු උගන්වන්නේද ඇයයි.

6. වන්රොස් ඕපන්ස්ලේ Wunrose Openslae : අවුරුදු 600 මැදි වයසේ සිටින උතුරු යුරෝපා සම්භවයක් ඇති වන්රෝස් උස, ශක්තිමත් කෙනෙක්. දුඹුරු කෙස් ඝනට ගොතාගෙන සිටින ඔහුගේ ඇඳුමේ කුඩා සීනු දුසිම් ගණනක් සවිකරල තියෙන්නේ. මේ නිසා ඔහු යන හැමතැනම නත්තල් සීනු හඬ රැව් පිළිරැව් දෙනවා.
පිනිමුවන් භාරව සිටින මොහු යන තැන පැන්සලක් රැගෙන ගොස් නව නිර්මාණ මතු කරනවා. බොහෝ කාලයකට පෙර නත්තල් සීයාගේ කරත්තය නිර්මාණය කළ වන්රොස් දක්ෂ නිර්මාණකරුවෙක් මෙන්ම කැටයම් කරුවෙක්.


උදව්:
Elf අදහස දුන්නු කණ්ඩා : රංගන කණ්ඩම්බි
www.wordorigins.org/index.php/more/2091/
blog.oxforddictionaries.com/santa-reindeer-names/
Elves ගැන තොරතුරු www.elfcrazy.com/traditional-names-of-the-first-christmas-elves/ පරිවර්තනයකි.

Thursday 20 December 2018

නත්තල් ගසේ ඉතිහාස කතාව Christmas Tree

නත්තල් සමය ඇරඹීමත් එක්කම සැරසිලි පටන්ගන්නවා. ඒ අතරේ හැම වසරකම ලොව පුරා මිලියන ගණනක් නිවෙස් තුලට ආදරය, උණුසුම, එකමුතුව  අරගෙන එන නත්තල් ගහට තියෙන්නේ සුවිශේෂ තැනක්. ඉස්සරනම් නත්තලට දින දෙක තුනකට කලින් පයිනස් වර්ගයේ ගහක කොටසක් කපාගෙන හදාගත් නත්තල් ගස්, දැන් විවිධ අමුද්‍රව්‍ය ඇසුරු කරගෙනත්, විවිධ ආකාරයෙනුත්  හදනව. ප්ලාස්ටික්, රබර්, රෙදි කැබලි, කඩදාසි, කම්බි විතරක් නෙමෙයි වියලි පොල් මල්, හනසු මටලුවලින් පවා හදනවා. ඒ මොන විදියෙන් හැදුවත් හැඩය වෙනස් නොකරන්නත් වග බලාගන්නවා. ඉස්සර වගේ දෙසැම්බර් අග නෙමෙයි සමහර තැන්වල නොවැම්බර් මාසයේදීම නත්තල් ගස් දකින්න ලැබෙනවා.
 
වසර සිය ගණනක් මුළුල්ලේ සම්ප්‍රදායිකව පැවතගෙන එන නිවෙස් තුළ නත්තල් ගහක් සැරසීමේ චාරිත්‍රය කවදා කොහෙන් පටන්ගත් එකක්ද?  නත්තල් ගසේ පසුබිම් කතාව සොයාගෙන යාමේදී සදාහරිත ගස් සැරසීම පිලිබඳ විවිධ රටවල් හා ජාතීන් අතර පැතිරුණු සම්ප්‍රදායයන්, නත්තල් උත්සවය ඇරඹීමට බොහෝ කලකට පෙර සිටම තිබු බව ඉතිහාසඥයන්  මතුකරගෙන තියෙනවා. 
ශීත කාලය ආරම්භය සනිටුහන් කරන්නට විවිධ ගස් සැරසීම පිලිබඳ පුරාවෘත ඈත අතීතයේ සිටම පැවතෙනවා. ඊජිප්තු ජාතිකයන් යමක් වර්ධනය සංඛේතවත් කරන්නට දෙසැම්බර් අග පාම් අතු නිවෙසට ගෙනවුත් සරසා තිබෙනවා. දීර්ඝ සීත කාලවලට ශක්තිමත්ව ඔරොත්තු දීම සංඛේතවත් කරන්නට සීත කාලයේ කොළ හලන්නේ නැති පයිනස් වර්ගයේ සදාහරිත ගස්  චීන හා හීබ්රු ජාතිකයන් භාවිතා කර තිබෙනවා.

මධ්‍යතන යුගයේදී රෝමන්වරු අලංකාර අතු කපා ඒවායේ මුදුනේත්, ගස පුරාත්   ඉරේ ආකෘති සහිත ලෝහ සැරසිලි තබා උත්සව පවත්වා තිබෙනවා. මෙම උත්සව සැටර්නේලියා නමින් හැඳින්වෙන්නේ. ශීත කාලය ඇරඹීමට  මෙන්ම ඔවුන්ගේ කෘෂිකර්මය, ධනය හා විමුක්තියට අධිපති සැටර්නස් දෙවියන් පිදීමට දෙසැම්බර් 17 වනදායින් ඇරැඹී සතියක් පුරා මෙම උත්සව පවත්වා තිබෙනවා.

බටහිර යුරෝපයේ කෙල්ටික් ආගමේ උසස් පුජකවරු ශීත ඍතුව ආරම්භය (winter solstice) සමරන්න ඕක් ගස්වල ඉටිපන්දම් දල්වා, රන් පාට ඇපල් එල්ලූ බව කියවෙනවා.

මධ්‍යතන යුගයේ ආදම් හා ඒවාගේ මංගල්‍යය සැමරීමට දෙසැම්බර් 24 වෙනිදා ෆර් (පයින් වැනි ගස් වර්ගයක්) ගස්වල රතු ඇපල් එල්ලා සරසා, පරාදීසයේ ගස් ලෙස හඳුන්වා තිබෙනවා.

 සදාහරිත ගස් ක්‍රිස්තියානි නත්තල් උත්සවයේ කොටසක් ලෙස භාවිතා කරන්නට පටන්ගෙන ඇත්තේ මිට වසර 500 කට පමණ පෙර ජර්මනියේ දියි.  පැරණි සම්ප්‍රදායන් ආගමට ඇතුලත් කරගැනීමට ක්‍රිස්තියානි මිෂනාරීන් යම් ඉඩක් දීමක් කර තිබෙනවා. 1531 දී ජර්මනියේ ඇල්සෙස් නගරයේදී (දැන් මෙම ප්‍රදේශය අයත්වන්නේ ප්‍රංශය ටයි) මුල්වරට නත්තල  සඳහා වගා  කළ ගස් විකුණා තිබෙනවා. එම ගස් සැරසීමක් නැතිවයි නිවෙස් තුල තබාගෙන ඇත්තේ.  මුලින්ම නත්තල් ගසක් සරසා තිබෙන බවට වාර්තා වෙන්නේ 1610 ලැට්වියාවේදී. මේ කාලයේ ගස සරසා තිබෙන්නේ කඩදාසි රෝසමල්, පලතුරු හා රසකැවිලි වලිනි. ඉන් පසු කාලයේ  රිබන්, ලේස්, ලෝහ හැඩතල, කුඩා පොත් හා කැවිලි වලින් සැරසීම කර තිබෙනවා.  ඊටත් පසු කලක දල්වන ලද ඉටිපන්දම් උපයෝගී කරගත් බවට සඳහන්.
දාහත්වන හා දහඅටවන සියවස් වල ඔස්ට්‍රියාවේ හා ජර්මනියේ නිවෙස්වල අනෙක් පසට හැරවූ සදාහරිත ගස් මුදුන්, නිවසේ සාලයේ පැත්තකින් එල්ලා ඇපල්, කජු වර්ග,හා රතු රිබන්වලින් සරසා තිබු බව කියවෙනවා. 19 වන සියවසේදී   නත්තල් ගස්  උතුරු යුරෝපා රටවලට පැතිර ගොස් තිබෙනවා. ( මේ කාල වකවානු ගැන ඉතිහාසඥයන්ගේ යම් පරස්පරතා තිබුණත් සාමාන්‍ය එකඟතා ඇති බව පෙනෙනවා).

 වික්ටෝරියා රැජින, ජර්මනියේ  ඇල්බට් කුමරා හා විවාහ වූ පසු 1834දී වින්ඩ්සර් මාලිගයේ නත්තල් ගසක් තැබීමෙන් මෙම චාරිත්‍රය එංගලන්තයේ සිඝ්‍රයෙන් පැතිරිලා. ඉන්පෙර වික්ටෝරියා රැජිනගේ මිත්තනිය වන චාර්ලට් රැජින 1800දී වින්ඩ්ස්ර්හි  විශේෂ නවාතැනක නත්තල් ගසක් තැබූ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

ඇමරිකාවේ නත්තල් ගසක් ගැන මුලින්ම සඳහන් වන්නේ 1747 දී පෙන්සිල්වේනියාවේ ජර්මන් මොන්රෝවියානු පල්ලියේ කුඩා දරුවන් වෙනුවෙන් සකස් කල එකකි. මෙහිදී ගස සරසා නැති අතර, ඒ වටා ලි ආවරණයක් සකසා එහි ඉටිපන්දම් දල්වා තිබෙනවා. ඇමරිකාවේ බ්‍රිතාන්‍ය විප්ලවය සිදුවන සමයේ බ්‍රිතාන්‍යයට සහයට ගෙනගිය ජර්මන් යුධ සෙබළුන් සිටි ඉලිනොයිස්හි ඩියර්බෝන් කඳවුරේ  නත්තල් ගසක් තැබූ බව 1777 ලිඛිතව සටහන්. ඉන්පසු බැරැක්ක තුල මෙය චාරිත්‍රයක්ව තිබෙනු පෙනී යනවා. 

2018 මෙලනියා ට්‍රම්ප් විවෘත කල බ්ලූ රූම් නත්තල් ගස 
සරසන ලද නත්තල් ගසක් ඇමරිකාවට හඳුන්වා දී තිබෙන්නේ 1842 දී චාල්ස් මිනේග්රෙඩ් නැමැත්තෙක්. ධවල මන්දිරයේ මුල් වරට නත්තල් ගසක් තබා ඇත්තේ ජනාධිපති ෆ්‍රැන්ක්ලින් පියර්ස්ගේ කාලයේදියි (1853-1857).  ධවල මන්දිරයත් වොෂින්ටන් ස්මරකයත් අතර ඇති Ellipse හි ජාතික නත්තල් ගසක් දැල්වීමේ උත්සවයක් ඇමරිකානු ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් 1923 සිට සිදුවෙනවා.
එසේම ධවල මන්දිරයේ blue room තුළ රටේ පළමු කාන්තාවගේ  ප්‍රධානත්වයෙන් සෑම වසරකම සත්‍ය  නත්තල් ගසක් ප්‍රදර්ශනය වෙනවා.

යුරෝපා ජාතින් ආසියානු රටවල් යටත් විජිත කරගැනීමත්, ආගම පැතිරවීමත් සමග පෙරදිග රටවල ක්‍රිස්තියානි ආගම වැළඳගත් අයගේ නිවෙස්වල හා පල්ලි තුළ එම රටවලට අවේනික නොවෙන ශාකවලින් තැනූ නත්තල් ගස් තැබීම ප්‍රචලිත වී තිබෙනවා. 
මෑතක් වනතෙක්ම ක්‍රිස්තියානි ආගමික නිවෙස් තුල සැරසිල්ලක් වූ නත්තල් ගස්, දැන් ආගම් භේදයකින් තොරව විවිධ ස්ථානවල නත්තල, වර්ෂාවසාන නිවාඩුව, නව වසර මෙන්ම ව්‍යාපාරයන් පිළිබිඹු කරන්නත් එළිමහනේ දැල්වෙනු පෙනෙනවා.
විඳ දරාගැනීම සංඛේතවත් කරන, ක්‍රිස්තියානි ආගමටත් වඩා ඉපැරණි නත්තල් ගස, මේ අනුව එක ආගමකට අයත් නොවී, අපගේ සංවේදී ඉන්ද්‍රියයන් පිනවනු පමණකින්  නොනැවත, ලොවේම සම්ප්‍රදායන්ද සංවේදනය කරනු දැනෙනවා.


උදව්:
Christmas Trees: Christmas Celebration Folklore: Folklore and Farming
Christmas Tree Folklore and History: Rick Dungey
www.salisburygreenhouse.com/christmas-tree-history-folklore/
http://extension.illinois.edu/trees/traditions.cfm
www.sott.net/309632-Io-Saturnalia-The-Roman-roots-of-Christmas
www.brownsvilleherald.com/news/

Wednesday 12 December 2018

ආලෝකයේ උත්සවය: හනුකා Hanukkah

යුදෙව් ජාතිකයන්ගේ ආගමික උත්සවයක් වන හනුකා Hanukkah  (=හනුක්කා, චනුකා) නම් ආලෝකය ප්‍රධාන කරගත් උත්සවයක් මේ දිනවල ලොව පුරා පැවැත්වෙනවා. මෙලෙස විවිධ ලෙස උත්සවයේ නම උච්ඡාරණය කරන්නේ මුල් නම හීබ්රු භාෂාවෙන් තිබෙන නිසා යි. එහි තේරුම කැපවීම යන්නයි.

හනුකා උත්සවය අවුරුද්දේ අවසන් මාසයේ දින අටක් පුරා පැවැත්වෙනවා. මේ වසරේ දෙසැම්බර් 2 දා සිට 10 දක්වායි.  පැවැත්වෙන දින වසරෙන් වසරට වෙනස් වන්නේ ඔවුහු දින තීරණය කරන්නේ චන්ද්‍ර මාස ක්‍රමයට අනුව නිසයි. මේ උත්සවයේදී මෙනෝරා නමින් හැඳින්වෙන පහන වැදගත් තැනක් ගන්නවා. පහන් නමයක් තැබීමට ස්ථාන ඇති මෙහි මැද පහන අනෙක්වාට වඩා තරමක් ඉහලින් තියෙන්නේ. එය ශමාෂ් නමින් හඳුන්වන්නේ. හැමවිටම අනෙක් පහන් දල්වන්නේ ශමාෂ් පහනෙන් පමණයි.
හයවන දිනයේ  මෙනෝරා පහන 
පළමු දිනයේ ඉර බැසයන මොහොතේ සිට පහන් දැල්වීම ආරම්භ කරනවා. දිනකට එක බැගිනුයි  පහන් දල්වන්නේ.
පළමු දිනයේ ශමාෂ් පහනත්, එක කෙළවරක ඇති පහනකුත් දල්වා යාච්ඥා කරනවා. පළමු දිනයේ දල්වන්නේ එම පහන් දෙක පමණයි. දෙවන දිනයේ මැද පහන දල්වා, එයින් පළමු දින දැල්වූ පහනත්, ඊළගට ඇති පහනත් දල්වයි. මෙලෙස දිනකට එක පහන බැගින් වැඩි කරමින් දල්වමින් යයි.  ඒ අනුව අටවන දිනයේ පහන් සියල්ලම දල්වනවා.
මෙනොරාව යුදෙව් නිවෙස්වල විශේෂ ස්ථානයක තැන්පත් කර තිබෙනවා. හනුකා සමයේ එය නිවසට ඇතුළුවන විට වම් අතපැත්තේ, දැල්වූ විට නිවසෙන් පිටතට පෙනෙන සේ කවුළුවක් අසල  තබනවා.  දිනපතා  පවුලේ අය හා නෑදෑයන් එක්ව පහන් දල්වා, ආගම සිහිපත්කර අවසානයේ සම්ප්‍රදායික ක්‍රමයට පිළියෙළ කරන ලද තෙලෙන් බදින හා තෙල් දැමූ  ආහාර ගන්නවා.

හනුකා ඉතිහාසය වසර දෙදහසකටත් එපිටට යන්නක්. එකල ඊශ්‍රායලය, ග්‍රීක-සිරියා අධිරාජ්‍යයේ කොටසක්ව තිබුණා. යුදෙව්වන්ගේ ඇදහීම වුණේ මෝසෙස් විසින් හෙළිදරව් කරන ලද දෙවියන්ගේ නිතිය, සත්‍යය සහ අධ්‍යාත්මික පවිත්‍රතාවයි.  ඔවුන්ගේ ප්‍රධාන දේවස්ථානය පිහිටියේ ජෙරුසලමේ. එකල ඔවුන්ගේ දින දර්ශනයට අනුව කිස්ලෙව් මාසයේ sukkot නම් දින ගණනාවක උත්සවයක් පැවැත්වුවා. මෙය නව දින දර්ශන අනුව නොවැම්බර් දෙසැම්බර් මාසවලට යෙදෙන්නේ. මේ උත්සවවලදී යුදෙව් ජාතිකයෝ සමුහ වශයෙන් ජෙරුසෙලමට පැමිණ වතාවත් කළා.
ක්‍රි.පූ. 164දී ඊශ්‍රායලය, සිරියා රාජධානිය මගින් යටත් කරගත්තා. තම රාජධානියේ පොදු ආගමක් හා සංස්කෘතියක් තිබිය යුතු බව සිතු IV වන ඇන්ටියෝකස් රජු යුදෙව් දහම අනුගමනය තහනම් කර, ඔවුන්ගෙන් ග්‍රීක දෙවියන් අදහන ලෙස හා සිරියානු ඇදහීම්වලට අනුගත වන ලෙස ඉල්ලා සිටිමින්, දේවස්ථානයත් අයත් කරගත්තා. යුදෙව්වන් ඊට එකග නොවූ නිසා ඔවුන්ගේ නීති පොත් ගිනි තබමින් මිනිසුන් ඝාතනය කරමින්  කුරිරු පාලනයක් ගෙනගියා. ඉතිරි වූ සුළුතරයක් යුදෙව්වන් ගරිල්ලා ක්‍රමයට සටන් කරමින් ගල්ගුහාවල දිවි ගෙව්වේ.
ගණනින් සුළු වූ යුදෙව්වන් දේවස්ථානය අයත් කරගැනීමට සංවිධානය වුනා. රජු ඔවුන් වනසන්නට කොමදොරුවන් දෙදෙනෙක් යටතේ 40000 ක හමුදාවක් එවුවත්, ජුදා ප්‍රමුඛ මැකාබි ලෙස හැඳින්වූ යුදෙව්වන් පරදවන්නට ඔවුනට හැකිවුයේ නැහැ. යුද්ධය ගැන එතරම් දැනුමක් නොමැති සාමාන්‍ය ජනතාවක් අතින් විශාල හමුදාවක් පැරදීම විශ්මයක් වුනා. යුදෙව්වන් නැවත ජෙරුසෙලම් දෙවස්ථානය අත් කරගෙන, සිරියානුවන් ස්ථාපිත කර තිබු සියල්ල ඉවත්කර, නව අල්තාරයක් නිමවූවා.
රන් මෙනෝරාව පැහැරගැනීම 
ක්‍රි. පු. 139දී ඔවුන් නැවත Sukkot උත්සවය පවත්වන්න කටයුතු සුදානම් කළා. ඔවුන්ගේ දඹ රන් මෙනොරාව සිරියනුවන් විසින් පැහැර ගෙනගොස් තිබු නිසා මැකාබිවරු ලාභ ලෝහවලින් නව මෙනෝරාවක් සැදුවා. නමුත් එය දල්වන්නට අවශ්‍ය පිරිසිදු ඔලිව් තෙල් තිබුනේ දිනකට පමණක් ප්‍රමාණවත් වන තරමක්. අලුතින් සුදුසු ආකාරයේ තෙල් සදන්නට දින අටක් ගතවෙනවා.
කෙසේ වුවත් ඔවුහු මුල් දින පහන දැල්වූවා. පුදුමයකට මෙන් එම තෙල්,  අලුතින් තෙල් සාදන තෙක් දින අටකට ප්‍රමාණවත් වූ බව කියවෙනවා. දෙවියන් තම පිරිස ස්වකීය ආරක්ෂාව යටතට ගත්බව එම සිදුවීමෙන් පෙන්නුම් කෙරෙන බව යුදෙව්වන් අර්ථ දැක්වුවා. මේ නිසා ඉන්පසු මෙනෝරාවක පහන් අටක් දැල්වීමට හැකිවන ලෙස නිර්මාණය කල බව කියවෙනවා.
මේ සිදුවීමෙන් පසු මැකාබිවරුන්ට නායකත්වය දුන් ජුදාස්, වීරවරයෙක් ලෙස සැලකුම් ලැබූ බව කියවෙනවා.

හනුකා යනු තෙල් මුලික කරගත් උත්සවයක් නිසා කෑම මේසයේ තෙලෙන් පිළියෙළ කරන ආහාර වලට වැදගත් තැනක් ලැබෙනවා. ලොට්කා -Latke-  ලෙස හඳුන්වන අල හා චීස් වලින් සාදන පෑන්කේක් ඒ අතර විශේෂයි. ජනප්‍රියම අතුරුපස ජෙලි ඩෝනට්ය.

තෑගි දීම හෝ ගැනීම ගැන එතරම්ම අවධානයක් නැති උත්සවයක් වන මෙහි දරුවන්ට යම් ත්‍යාග දීමක් කෙරෙනවා. වැඩිහිටි අයගෙන් ලැබෙන තෑගි සියල්ල දින අටට බෙදා ඔවුනට ලැබෙන්නේ. අතීතයේදී,  හනුකා ගෙල්ට් ලෙස හැඳින්වෙන රන් පැහැ කාසි හුවමාරු කරගෙන තිබෙනවා. දැන් රන් දවටනවල ඇති කාසි හැඩයේ චොකලට් දරුවන්ට දෙනවා.
හනුකා උත්සවය සමග බැඳුනු ක්‍රීඩාවක් තිබෙනවා. ඩ්රේඩල් නමැති පැති හතරක් සහිත බඹරයක් මෙහිදී උපයෝගී කර ගන්නවා. ඉහල කුරෙන් අල්වා කරකවා අතහැරි විට වැටෙන පැත්තේ ඇති වචන අනුව රන්පාට කාසි/ පබළු  ලබාගැනීමේ ක්‍රීඩාවක්. යුදෙව් දහම තහනම් වූ සිරියානු ආක්‍රමණ සමයේ දරුවන් අධ්‍යපනයේ  නිරතවන අතර සොල්දාදුවන් පැමිණෙන විට ක්‍රීඩාවක් කරන බව හැඟවීමට නිර්මාණය කරගත් බඹරය මෙලෙස හනුකා සැමරීමට එකතු කරගෙන තිබෙනවා. අදටත් ඩ්රේඩල්වල හිබ්රු භාෂාවෙන් වචන අඩංගු කරනවා.

හනුකා යුදෙව් ජාතිකයන්ගේ ප්‍රධාන ආගමික උත්සවය නොවන බවත් කිව යුතුයි. එය ඔවුන්ගේ පැරණි ඇදහීම් චාරිත්‍රයකට එකතු වූ අතීත ජයක් සම්බන්ධිත උත්සවයකි.  හනුකා චාරිත්‍ර ගිනස් පොතටත් ඇතුළු වී තිබෙනවා. ලොව විශාලම මෙනොරාව එයින් එකක්. අඩි 32ක් උස මෙය ඇමරිකා එක්සත් ජනපදයේ මැන්හටන් ප්‍රදේශයේ හනුකා දිනවල දැල්වුණා.

උදව්:
Chanukah: Trudi Strain Trueit
Kortright Centre for Conservation,
www.cbc.ca/the-feed/whats-the-story-hanukkah
www.chabad.org/holidays/chanukah/article_cdo
www.youtube.com/watch?v=omvtmSR369
www.myjewishlearning.com/article/9-things-you-didnt-know-about-hanukkah/

Friday 30 November 2018

කඩදාසි නගර Paper Towns

අතීතයේ ගමනක් යන අතර නොදන්නා ප්‍රදේශයක් නම්, මග නවත්වමින් කාගෙන් හෝ අසා දැනගෙන යාම සාමාන්‍ය දෙයක්.  ලෝකය කුඩා වී විශ්ව ගම්මානයක් බවට පත්වීමත් සමග විවිධ උපකරණ සමග එන සිතියම් ආධාර කරගෙන ඒවායේ උපදෙස් අනුව ගමන් කිරීමට ක්‍රමයෙන් යොමුව තිබේ. මේ සිතියම්වල එන සියලු විස්තර විශ්වාසදායි, නිවැරදි ඒවා ද?


දැනට හමුවී ඇති පැරණිම සිතියම ක්‍රි.පූ. 600 දී නිර්මාණය වූ බැබිලෝනියාව කේන්ද්‍ර කරගෙන නිමවුවකි. ලෝකයේ පිහිටීම ගැන අවබෝධයත් සමග ක්‍රමයෙන් දියුණු වූ මෙම ක්ෂේත්‍රය විවිධ නවීන ක්‍රම ශිල්ප භාවිතා කරමින් වඩා නිවැරදි සටහන් ලබා දෙමින් සිටියි.
සිතියම් නිර්මාණය එතරම් පහසු ක්‍රියාවක් නොවේ. දත්ත හා සටහන් අනුව සිතියමක් නිර්මාණය කිරීම වසර ගණනාවක ක්ෂේත්‍රයේ ප්‍රයෝගිකව සිටිමින් කලයුතු දෙයකි. එසේ නැත්නම්  චන්ද්‍රිකා ඡායාරුප  විශ්ලේෂණය මගින් කෙරෙන්නකි. මෙලෙස නිමැවෙන සිතියම්වල ඇති සියලු දේම හැකිතාක් නිවැරදිව සටහන් කිරීමට සිතියම් නිර්මාණය කරන අය (Cartographer) උත්සුක වෙති. එහෙත් ඔවුන් හිතා මතාම සිතියම්වලට වැරදි තොරතුරු එක්කරන බව දන්නවාද?
එයට සාධාරණ හේතුවක් ඇත. සිතියමක සටහන් කරන්නේ පොලව මත තිබෙන දෙයකි. ඒ නිසා  ප්‍රායෝගිකව කාලය වැය කරමින්, අසීරු ක්‍රියාමාර්ග අනුගමනය කරමින් නිසි දත්ත රැගෙන අඳින සිතියමක්, කවරෙක්ට වුවද ඉතා පහසුවෙන් පිටපත් කරගත හැකි වුවත් එය කොපි කිරීමක් ලෙස හඳුනාගත නොහැකිය. වෘත්තිකයන්  මහන්සියෙන් නිර්මාණය කළ සිතියම්, කර්තෘ අයිතීන් දැඩි ලෙස උල්ලංඝනය කරමින් සොරාගැනීම ලොව පුරා සරුවට සිදුවේ.   සැබෑ ලෙස පවතින සිතියම වෙනස් කිරීමට කිසිවෙක්ට නොහැකි නම් කවුරු කෙලෙස ඒවා පිටපත් කළත් මන්දයි ප්‍රශ්ණ කල හැකි වුවත්, සිතියම් නිර්මාණයේ අසීරුතාව දන්නෝ  වෘත්තිකයෝ ය. ඒ නිසා ඔවුන් තම සිතියමේ අයිතිය සුරක්ෂිත කර, නිර්මාණ කොල්ලකන අය හසුකර ගැනීමට යොදාගත් උපක්‍රමයකි කඩදාසි නගර (Paper Towns).

2009 ගුගල් සිතියම්වල එංගලන්තයේ බටහිර ලැන්කෂයර්හි Argleton Town නම් නගරයක් සඳහන් කර තිබුණි. එහෙත් සත්‍ය වශයෙන් එම ස්ථානයට ගොස් බැලුවහොත් එහි තිබෙන්නේ තැනිතලා බිමකි. එනම්, Argleton සිතියම්වල පමණක් සඳහන් කඩදාසියට සීමා වූ නගරයක් වේ. එය සිතියම් නිර්මාණය කරන්නන් හිතාමතා නිමවූ අසත්‍ය නගරයකි. එය ගුගල් සමාගම කොපි රයිට් උගුලක වැටුණු අවස්ථාවකි.
එය not real යන්නට g අකුරක් යොදා අකුරු මාරුකර ගුගල් සමාගම විසින්ම කරන ලද්දක්යයි චෝදනා ආවත් සමාගම එය ප්‍රතික්ෂේප කළේය.
ඇත්තෙන්ම කිවහොත් ගුගල් ඔවුන්ගේ දත්ත ලබාගන්නේ Tele Atlas සමාගමෙනි. ඔවුන් තම දත්ත ලබාගන්නේ වෙනත් සිතියම් සකසන සමාගම්වලිනි. එම සමාගම් පවා වෙනත් සමාගම්වල සහය ලබාගනිති. මෙලෙස සත්‍ය ලෙසම සිතියම් නිර්මාණය කරන්නෙක් තම දත්ත සොරකම් කරන්නන් අල්වා ගැනීමට ඇතුලත් කළ නගරයකි, ආර්ග්ලෙටන්. මෙම කඩදාසි නගරයට මාධ්‍යයන් වෙතින් ලැබුණු දැඩි අවධානය නිසා ගුගල් සමාගමට තම සිතියම් දත්තයන්ගේ වරදක් ඇතිබව පිළිගෙන, 2010 දී එම ස්ථානය සිතියම්වලින් ඉවත් කරගැනීමට සිදුවුණි.

ආර්ග්ලෙටන්, සිතියම්වල තිබුණු එකම කඩදාසි නගරය නොවේ. නිව්යෝක් නගරයේ එලෙස සටහන් කල නගරයක කතාව සත්‍ය වූ අවස්ථාවක්ද ඇත.
General Drafting Co. හි අධ්‍යක්ෂ Otto G. Lindburg හා ඔහුගේ සහයක Earnest Alpers ට 1930 දී නිව්යෝර්ක් නගරය හා අවට සිතියම් ගතකිරීමට භාරවිය. දැඩි වෙහෙසක් දරා සකස් කල සිතියමේ එවකට තිබු ගුරුපාරක ඔවුහු Agloe නමින් නගරයක් සටහන් කළහ. මෙම නම ඔවුන් දෙදෙනාගේ නම්වල මුල් අකුරු කලවම් කිරීමෙන් සාදාගත්තකි.
ඔවුන්ගේ නිව්යෝක් සිතියම ප්‍රසිද්ධ කර වසර කිහිපයකට පසු තරගකාරී ආයතනයක් වන Rand McNally විසින් නිකුත් කල සිතියමක Agloe නගරය සටහන් විය. ස්වකීය සිතියම කොපි කළ බවට මුල් සමාගම තර්ක කළත් අනෙක් සමාගම පැවසුයේ තම සිතියමට තොරතුරු යොදාගත්තේ ඩෙලවෙයාර් උපනගර වාර්තා බවත්, එහි එම නමින් සාප්පුවක් ඇති බවත්ය. ඇත්තටම සිදුව තිබුණේ GDC සමාගමෙන් තොරතුරු ලබාගන්නා එසෝ සමාගමේ ගනුදෙනුකරුවෙක් එම ප්‍රදේශයේ ආරම්භ කළ සාප්පුවට Agloe General Stores ලෙස නම තැබීමයි. ඇග්ලෝ නමින් නගරයක් නොතිබුණත්, නිර්මාණය කල නම සත්‍ය ලෙස යොදා ගැනීමක් සිදුව තිබුණි. මේ හේතුවෙන් එම නගරයේ නම, නිර්මාණය කිරීමේ හේතුව වන කර්තෘ අයිතිය සුරැකීමට යොදාගත නොහැකිවිය.
මෙම සිදුවීමෙන් පසු Paper Town නමින් ඇග්ලෝ නගරයට ප්‍රධාන තැනක් දුන් නවකතා පොතක් ප්‍රකාශයට පත්විය. ජනප්‍රියත්වයට පත්වූ එම කතාව ඇසුරෙන් පසුව චිත්‍රපටයක්ද නිපදවිණි. කෙසේ වුවත් 2015 දී ගුගල්, මෙම කඩදාසි නගරය තම සිතියමෙන් ඉවත් කළේය.
සිතියම් නිර්මාණ වෘත්තිකයෝ අසත්‍ය ලෙස සිතියම් වලට නගරවලට අමතරව  මාර්ග, පාලම්, ගංගා ආදියද ඇතුලත් කරති. පාරවල බොරු වංගු ඇතුලත් කිරීම, කඳුවල සත්‍ය උස වෙනස් කර යෙදීම ආදියත් සිදුකරති.
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ කෙම්ප් ඇවනියු, එංගලන්තයේ ශ්රුස්බෙරිහි කර්බෙලා ස්ට්‍රීට් හා එඩින්බරෝ හි ඔක්සිජන් ස්ට්‍රීට් මෙලෙස ගුගල් විසින් උපයෝගී කරගන්නා ටෙලිඇට්ලස් සිතියම්වල සඳහන්ව තිබුණු 2016 ගුගල් සිතියම්වලද තිබු කඩදාසි මාර්ගයි. මෙවන් තව සිය ගණනක් අදටත් ඇත.

එලෙස ඇතුලත් කළ කඩදාසි දුපතකි, ඔස්ට්‍රේලියාවත්, නිව් කැලිඩෝනියා දුපතුත් අතර ලකුණු කර තිබූ, Sandy Island. මෙම දුපත අසල අධ්‍යයන කටයුත්තකට නාවික යාත්‍රාවකින් ගිය සිඩ්නි විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාඥ මාරියා සීටන් ඇතුළු කණ්ඩායමකට අවබෝධ වුයේ එතන අඩි 4500 ක් ගැඹුරු මුහුද මිස ගුගල් සිතියමේ හා තවත් සිතියම්වල සඳහන් ආකාරයේ දුපතක කිසිදු සලකුණක් නොමැති බවයි. ඔවුහු තම කාර්යයට අමතරව එම ස්ථානයේ මුහුදේ ගැඹුර ආදී තොරතුරු එකතු කරගෙන අදාළ ආයතනවලට යැවීමෙන් පසු ලෝක සිතියමෙන් එම දුපත අයින් කිරීමට දායක වුවද,  තවමත් ගුගල් හා Bing map වල ඔස්ට්‍රේලියාව ආසන්න වෙනත් තැනක සඳහන් මෙම දුපත, zoom කරගෙන යාමේදී නොපෙනී යයි.

මෙලෙස කර්තෘ අයිතිය රැකීමට අටවන ලද කඩදාසි උගුල් සිය දහස් ගණනක් අතින් අතට ගොස් ප්‍රධාන නාමාවලි වල පවා සඳහන් වේ. එම සටහන් භාවිතා කරමින් අනාගතයේ නිර්මාණය කරන සිතියම්වලද මේවා සටහන්වනු ඇත.

තම බොරුව ප්‍රචාරය වන දිග පළල සිතා උගුලට හසුවන්නන් ගැන දැන ගැනීමට සිතියම් නිමවුම්කරුවන්ට හැකිවනවා මෙන්ම, සිතියමක් වැනි දෙයක් වුවද විශ්වාස කිරීමේදී පැටලිය හැකි තැන් ගැන අවධානයෙන් සිටීමේ දක්ෂතාව අප ලබාගත යුතුයි.

අද දරුවන් බොහෝ දේ පාසලට අමතරව ඉගෙනගන්නේ අන්තර්ජාලයෙනි. එය ප්‍රතිවිරෝධතා දැක්විය නොහැකි දෙයකි. දැනුම ලැබෙන විවිධ මුලාශ්‍ර පිලිබඳ නිවැරදිව තක්සේරු කරන්නට අප දරුවන්ට කියාදිය යුතු වේ. මේ සඳහා අවැසි කාලය මෙන්ම දැනුමද වැඩිහිටියන් සතුව ඇත්දැයි සැක සහිත වුවත්, එය අනාගතයේ තීරණාත්මක කුසලතාවක් වනු ඇත.


උදව්:
Google maps
www.kevinboone.net/argleton.html
www.youtube.com/Paper Towns - Fake Places
www.groundsure.com/blogs/fictitious-entries
www.mnn.com/lifestyle/arts-culture/stories/paper-towns-and-other-lies-maps-tell-you
www.livescience.com/28822-sandy-island-undiscovered.html

Monday 26 November 2018

තරුණ මදයෙන් ගත් ආහාර නිසා අහිමිවූ ජීවිත

තරුණකම නිසා වැඩිදුර නොහිතා සිදුකරන දෙයින් තමාත් විපතට පත්වී දෙමාපියනුත් දුකෙහි හෙලන දරුවන් ගැන සත්‍ය කතා ඕනෙතරම් අහන්න තියනව. මේ කතා දෙක වැරදි ලෙස ආහාර ගැනීම නිසා නිරපරාදේ නැතිවී ගිය ජිවිත දෙකක් ගැනයි.

ගොලයෙක් කා මියගිය තරුණයා
කවුරුහරි ඔබට බිත්තියේ බඩගාන ගොලයෙක් හෙවත් හංගොල්ලෙක්  (slug) කන්න කිව්වොත් ඔබ කනවද? 😖
සෑම් බෙලාර්ඩ් රගර් ක්‍රීඩකයෙක් වගේම මිතුරු මිතුරියන් හා පවුලේ අය සමග සතුටෙන් දිවි ගෙවූ කෙනෙක්. ඔහුගේ ජීවිතය වෙනස් වෙන සිදුවීම වුණේ අහම්බයෙන්.
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ජිවත් වූ ඔහු මිතුරන් කිහිප දෙනෙක් සමග රතු වයින් රස විඳීමේ වැඩිහිටි මට්ටමේ පොඩි සාදයක් මිතුරු නිවසක පසුපස වත්තේ පැවැත්වුවා. එවිට ඔහුගේ වයස අවුරුදු 19යි. ප්‍රීතිමත් කතාබහේ යෙදෙන අතර ඔවුන් සිටි ස්ථානය ආසන්නයේ කොන්ක්‍රීට් බිත්තිය මත බඩගාන ගොලයෙක් දුටු සෑම් "මම මේකව කන්නද" කියා මිතුරන්ගෙන් අසන්න ඇත්තෙත් විහිලුවට. මිතුරන්ට එය වලක්වන්නට සිතෙන්නට නැත්තෙත් විනෝදයක් ලබන්න නිසා වෙන්න ඇති.
ඇහු පරක්කුවෙන් සෑම් ඌව එක කටට ගිල දමන්න ඇත්තේ වැඩිදුරක් හිතන්නේ නැතිව. කුඩා දරුවෙකුත් දෙපාරක් හිතන තරමේ දෙයක් නොහිතාම කරන්නට පෙළඹෙන්න ඇත්තේ අවාසනාවටම විය යුතුයි.
ඔහුට එකවර රෝගී තත්වයක් ඇතිවුනේ නැහැ.
දින කිහිපයකට පසු පාදවල ඇතිවූ අධික වේදනාව ගොලයා ආහාරයට ගැනීම නිසා ඇතිවූවක්ද කියා ඔහුටම සිති මවට ඒ බව කිවූ විට මව ඒ කරුණ බැහැර කළත්, ඔහුගේ පියාට වැළඳී ඇති multiple sclerosis රෝගය වැළඳෙන්නට එනවාදැයි සැක සිතුනු නිසා රෝහලට කැටිව ගිහින් තියෙනවා.

රෝහලේදී කළ පරීක්ෂණ වලින් හෙලිවුයේ සෑම්ට මියන්ට වැළඳෙන පෙනහළු රෝගයක් වන rat lungworm ආසාදනය වී ඇති බවයි. මෙම රෝගය ඇතිකරණ නෙමටෝඩා පනුවා මියන් වැනි සතුන් තුළ පරපෝෂිතව ජිවත්වන අතර, මී වසුරු කන ගොලයන් හා ගොළුබෙල්ලන් තුලත් හමුවෙනවා. මිට අමතරව පලාවර්ග හොඳින් නොසෝදා කෑමෙනුත්, ඉස්සන්, කකුලුවන් ප්‍රමාණවත් ලෙස පිසින්නේ නැතිව කෑමෙනුත් මිනිසා තුළට ඇතුලු වෙන්න පුලුවන්  පලාවර්ග තුලත්  එම සතුන් තුළත් රෝගය ඇතිකරන පනුවන් වෙසෙන නිසා.  ගෙවත්තේ වැඩ කිරීමෙන් පසු නිසිලෙස දැත් නොසේදිමෙන්ද ගොළුබෙලි ශ්‍රාව තැවරුණු තැන් අතගැටීම තුලින් ආසාදනය වන්නට පුළුවන්.

මිනිස් සිරුරට ඇතුළු වුනත් බොහෝ දෙනෙක්ට කෙටිකාලින හිසරදය වැනි සරල ලක්ෂණ මිස බරපතල රෝග ලක්ෂණයක් නොපෙන්වුවත්, කලාතුරකින් අයෙක්ගේ මොලයට හානිකරන eosinophilic meningo- encephalitis රෝගය ඇති කරනවා. සෑම්ට මේ අවාසනාවන්ත තත්වය ඇතිවුණා. මොලය අසාදිත තත්වය ඇතිවී සුවවෙන අය සිටියත් සෑම් දින 420 ක සිහි මුර්ඡ  තත්වයකට වැටුණා. දෙමාපිය මිතුරන් තුල බලාපොරොත්තු ඇති කරමින් වසරකටත් වැඩි කාලයකට පසු නැවත සිහිය පැමිණියත් ඒ  සියලු ගාත්‍රා පණ නැතිව අංශභාග තත්වයෙනුයි. ඔහුගේ මොලයේ ක්‍රියාකාරිත්වයත් අඩපනව තිබුණා.
රෝගී වී වසර තුනකට පසු රෝහලෙන් රෝද පුටුවක ආධාරයෙන් පිටවුයේ සිරුර අර්ධ ලෙස පණ නැති, මොලය නිසි ලෙස ක්‍රියා නොකරන ආබාධිතයෙකුයි.
නැවත සුවවී මුල් තත්වයට පැමිණේ යයි මුලදී බලාපොරොත්තු තිබුණත් තත්වයේ කිසිදු වෙනසක් වුණේ නැහැ. මවගේ වදන් වලින්ම කිවහොත් " It's devastated, changed his life forever, changed my life forever. It's huge. The impact is huge".

රජයේත්, විවිධ සංවිධානවලත්, මිතුරු මිතුරියන්ගේත් ආධාර ඇතිව සම්පුර්ණයෙන් අනුන් මත යැපෙන රෝගියෙක් ලෙස මව සෑම්ව රැකබලාගත්තා. ආහාර පාන පවා දුන්නේ බටයක් ආධාරයෙනුයි.  ඔහුට කියන දේ වැටහුණු නමුත් ප්‍රතිචාර දැක්වීමට සමත්කමක් තිබුනේ නැහැ. නිතර වලිප්පු තත්වයන් හා සිරුරේ උෂ්ණත්ව පාලන අපහසු තත්වයන් ඇතිවුණා. ඉතාම ක්‍රීඩාශීලි විනෝදකාමී ජිවිතයක් ගතකළ තරුණයා තත්පර ගණනකින් ගත්, අනවශ්‍ය හදිසි තීරණයක් නිසා පවුලේ සැමගේ ජිවිතත් සදාකාලික දුකට හෙලුවා.
මේ අවාසනාවන්ත තරුණයා රෝගී වී වසර අටකට පසුව නොවැම්බර් දෙවැනිදා මෙලොවින් සමුගත්තා.
"එය කාගෙවත් වරදක් නොවේ. තරුණයෝ යහළුවෝ එකතු වුනාම කා අතිනුත් විහිලුවට වෙන්න පුළුවන් මෝඩ වැඩක් විතරයි" සෑම් ගේ මව පවසනවා.

නොසිතා කරන සරල ක්‍රියාවකින් කෙතරම් විනාශයක් සිදුවිය හැකිදැයි, එම සිදුවීම වැලැක්වීමට නොහැකිවීම ගැන අදටත් දුක්වන සෑම් ගේ මිතුරෙක් මාධ්‍යයට පවසා තිබෙනවා.

පෑන්කේක් තරගයකට දිවි දුන් තරුණිය 
ඇමරිකා එක්සත් ජනපදයේ Sacred Heart විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි කේට්ලින් නෙල්සන් ගේ පියා මියගොස් තිබුණේ ඇය පස් හැවිරිදිව සිටියදීයි. ඒ 2001 නිව්යෝක් හි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලවූ ප්‍රහාරයේදී පොලිස් නිලධාරියෙක් ලෙස විපතට පත්වූවන් ගලවා ගනිමින් සිටියදීය. දැනුම් තේරුම් ඇති වයසේ සිටම අන් අයට උදව් කිරීම ජිවිතයේ අංගයක් කරගත් කේට්ලින්, නිතර ස්වේච්ඡා සේවයේ යෙදුනා. Social Work පාඨමාලාව හදාරමින් සිටි ප්‍රියමනාප ජනප්‍රිය සිසුවියක වුණ 20 හැවිරිදි ඈ, ග්‍රීක් සතිය නිමිත්තෙන් විශ්ව විද්‍යාලයේ සංවිධානය කර තිබු පෑන්කේක් කෑමේ තරගයට ඉදිරිපත් වන්නට ඇත්තේ සංවිධායකයන්ට සහය වීමක් විදියට.
තරගය ආරම්භ වීමෙන් අනතුරුව සෑහෙන පෑන්කේක් ප්‍රමාණයක් අනුභව කරමින් සිටි කේට්ලින්ගේ සිරුර එකවරම ගැස්සෙන්නට පටන්ගත් අතර ඇය බිමට පතිත වුනා. ආහාර හිරවීමක් වෙන්නට ඇතැයි සැකකළ හෙද සිසුවියෝ දෙදෙනෙක් වහාම ඉදිරිපත් වී කෘතීම ශ්වසනය දෙමින් ඇයව යථා තත්වයට පත්කිරීමට උත්සහ දරුවා.
වෛද්‍ය ආධාර ලැබෙනවිට ඇයගේ හර්දය ස්පන්දනයත් අඩුවෙමින් තිබුණා. අතුරු වෛද්‍ය සේවයේ නිලධාරියා සිය ඇඟිලි ආධාරයෙන් මුව තුල සිරවී ඇති ආහාර ඉවත් කරමින් කෘතීම ශ්වසනය දෙමින් රෝහල වෙත ගෙනගියා. එතනින් වැඩි  පහසුකම් ඇති නිව්යෝක් රෝහලට මාරු කර යැව්වත් දින තුනකට පසු කේට්ලින් මෙලොව හැර ගියා. පශ්චාත් මරණ වාර්තාවේ කියවුණේ ආහාර නිසා ශ්වසන මාර්ගය අවහිර වී හුස්ම ගැනීමට නොහැකිවීමෙන් මරණය සිදුවූ බවයි. මෙම අවාසනාවන්ත සිදුවීම සිදුවුනේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීය.

දැඩි කම්පාවට පත්ව සිටින කේට්ලින් ගේ මව දැන් එම කතෝලික විශ්ව විද්‍යාලයට එරෙහිව නඩු මගට පිවිස සිටින්නීය. මෙවැනි අන්තරාදායක තරගයකට අවසර දීමත්, තම දියණිය අනතුරට පත්වූ අවස්ථාවේ වෘත්තීය වෛද්‍ය සේවාවක් සුදානමින් නොසිටීමත් යන කරුණුවලට බලධාරීන් වැරදිකරුවන් කොට ඒ සඳහා වන්දියක් ඉල්ලා සිටියි.
"මෙය හදිසි අනතුරක්. විනෝදයට සංවිධානය කර තිබු දෙයකින් මෙවන් අනතුරක් සිදුවිය හැකි බව අනුමාන කර ඒ සඳහා පුර්ව සුදානමක් නොතිබීම වරදක්. ඇගේ මුව පුරා, දත්වල කොන්ක්‍රීට් මෙන් පෑන්කේක් ඇලී තිබු බව හෙළිවුණා. කිසිදු ප්‍රමිතියකින් තොර මෙවැනි තරග සංවිධානය කරීමට ඉඩදීම වරදක්. මේවා මිනිස්සු හිතනවට වඩා භයානකයි. විශේෂයෙන් අධ්‍යාපන ආයතන මෙවන් තරග සඳහා යෝග්‍ය ආහාර මොනවද, ඒ කොපමණ ප්‍රමාණයක්ද යන සිමා කලින් නිර්ණය කිරීමෙන් ජිවිත අනතුරේ වැටීම වැළකෙනවා. " නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හේතු පහදන නීතිඥවරිය පවසනවා.
"නෙල්සන් පවුල බලාපොරොත්තු වන්නේ මෙහි භයානකකම හෙළිදරව් කිරීම මගින් අනාගතයේ තවත් මවකට දරුවෙක් අහිමිවීම වැලැක්වීමයි".

                                                            ↔↔↔↕↕↕↔↔↔


උදව්:
www.news.com.au/lifestyle/health/
www.health.nsw.gov.au/Infectious/factsheets/Pages/rat-lung-worm.aspx
www.thesun.co.uk/news/5951461/sam-ballard-
https://au.news.yahoo.com/
www.cbsnews.com/news/mom-of-caitlin-nelson-

Friday 19 October 2018

කැනඩාවේ කංසා නීතිගත කිරීම - ඊයේ, අද, හෙට

කැනඩාවේ ගංජා (cannabis) නීතිගත කළබව දැනගෙන ලංකාවේ ඒ ගැන ලොකු පිබිදීමක් කතාබහක් ඇතිවෙලා තියෙන බව පෙනෙනවා. බොහෝ දෙනෙක් මෙහි සත්‍යය වටහා නොගෙන ගංජා භාවිතය යහපත් දෙයක් ලෙස පිළිගත්තා වැනි අදහසක් දෙනු දකින්නට තිබෙනවා. එසේම ලංකාවේ එය නීතිගත නොකළ යුත්තේ නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවන නිසා වැනි අදහසුත් තියනවා. ලංකාවේ වැවීම පුළුල්ව නීතිගත කළොත් ආදායමක් උපයගන්න පුළුවන් කියල  හිතන අයත් ඉන්නවා.
කොඩියේ මේපල් කොළය ඉවත්කර ගංජා කොළය ආවද ?
Cannabis, ගංජා, කංසා, මරිජුවානා කියන්නේ එකක්ද? ඒවායේ වෙනස්කම් තියනවද? ගුණ අගුණ මොනවද වගේ ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍යනම් 'අපි නොදන්න මල් තණමල්විල මල් '  බ්ලොග් ලිපියෙන් බලාගන්න පුළුවන්. 

ලෝකයේ කංසා ප්‍රධාන හේතු දෙකක් මත භාවිතා කරනවා. Medical Marijuana (ඖෂධයක් ලෙස) හා Recreational Marijuana (විනෝදයට )
ඈත අතීතයේ පටන් විවිධ රටවල ඖෂධයක් ලෙස කංසා ශාකයේ කොටස් යම් මාත්‍රාවලින් යොදාගෙන තියෙනවා. පැරැන්නෝ කඹ වර්ග සැදීමට හා රෙදි විවිමටත් මේරු ශාකය භාවිතා කර තිබෙනවා,
කංසා ශාකයේ හඳුනාගත් හා නොගත් රසායන ද්‍රව්‍ය 400කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මෙයින් දෙකක් ඖෂධ සඳහා සුදුසු යයි හඳුනාගෙන තිබෙනවා.
1. Tetrahydrocannabinol - THC : මනසේ ක්‍රියාවලි වෙනස්කම්වලට බලපාන කොටස
2. Cannabidiol - CBD : මනසේ වෙනස්කම් වලට බලපෑමක් නැති
ඖෂධිය කංසා සැකසීමේදී වැඩිපුර අඩංගු වන්නේ CBD ය.
Recreational Marijuana වල වැඩිපුර අඩංගු වන්නේ THC රසායනිකයයි.  THC වැඩිවීමෙන්  මානසික සැහැල්ලුව, හේතු රහිත දුක හෝ සතුට, තීරණ ගැනීමේ හැකියාව අඩුවීම, සාමාන්‍ය ජිවිතයේ ගැටළු අමතක වීම වැනි ස්නායු වල හඳුනා ගැනීමේ හැකියාව නොමඟ යැවිමකින් පටන්ගෙන සිහි මද බව හෝ සම්පූර්ණයෙන්ම සිහිය මුර්ඡාවීම දක්වා බරපතලවිමට පුළුවන්.

ශ්‍රී ලංකාවද ඇතුළු ලෝකයේ බොහෝ රටවල ඖෂධයක් ලෙස කංසා භාවිතයත්,  කංසා වැවිමත් යම් දැඩි සීමා සහිතව නීතිගත කර තිබෙනවා. ඒ පිලිබඳ විස්තරයක් මේ විකිපීඩියා අඩවියෙන් බලන්න.

විනෝදාස්වාදය සඳහා කංසා භාවිතයට මේ වනතෙක් නීතියෙන් ඉඩ දී තිබුණේ දකුණු අප්‍රිකාවත්, ජෝර්ජියාවත්  උරුගුවේ රාජ්‍යයත් පමණයි. එයිනුත් මුලින් සඳහන් කළ රටවල් දෙකේ පුද්ගලික භාවිතය  සඳහා ළඟ තබාගැනීම හැර විකිණීම තහනම්ය. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක නීතිගත වුනත් ෆෙඩරල් රජයට අනුව  කංසා භාවිතය නීති විරෝධිය. ඒ අනුව සියලු භාවිතා සඳහා කංසා නීතිගත කළ දෙවැනි රට බවට කැනඩාව ඔක්තෝබර් 17වනදා පත්වුණා.

කැනඩාවේ 2001 වසරේ සිට ඖෂධිය මැරුවානා නිත්‍යානුකුල වූ අතර, රජයෙන් විශේෂ අවසරය ලද රෝගීන්ට නියමිත පැල ගණනක් තබා ගැනීමට අවසර දුන්නා. 2013දී මධ්‍යම රජයේ වැඩ සටහනක් යටතේ අනුමැතිය ලද සීමිත පිරිසකට වාණිජ පරමාර්ථ උදෙසා කංසා වැවිමටත්, ළඟ තබා ගැනීමටත් අවසර දුන්නා. පසුගිය වසරේ සිට ඖෂධිය කංසා අවසර ලත් වෙළඳ සැල්වල විකිණීම සිදුකළා.
විනෝදාස්වාදය සඳහා වැවීම හා විකිණීම නිතිගත කලයුතු පනත්  2017 අප්‍රේල් මස ඉදිරිපත් වූ අතර, නොවැම්බර් මාසයේ එයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණා. පසුගිය ජුනි මාසයේ සෙනෙට් සභවේ අනුමැතිය ලද පසුවයි නව නීති සම්පාදනය සම්පුර්ණ කර පසුගියදා නිත්‍යානුකුල බව ලැබුවේ.

විනෝදාස්වාදය සඳහා වැවීම හා විකිණීම නීතිගත කිරීමට හේතු මොනවද?
නීති කෙතරම් තිබුණත් ඒවා ගරු නොකරමින් ජයටම හොර රහසේ නිවෙස් තුළ කන්සා වැවීම කැනඩාවේ බොහෝ පෙදෙස්වල සිදුවුණා. සාමාන්‍ය පදිංචියට නිවෙස් මිලට ගෙන බේස්මන්ට් මට්ටමේ කංසා වැවීම අධික ලාභයක් ලැබූ ව්‍යාපාරයක් බව කියනවා. එම නිවෙස් හඳුනාගැනීමට ශීත කාලයේ හෙලිකොප්ටර් භාවිත කරන්නට සිදුවුණා.
මෙම පැල වැවීමට ඉහල  උෂ්ණත්වයක්  හා කෘතීම ආලෝකය ලබාදිය යුතුයි.  එලෙස සිදුකරන විට පිටවන උෂ්ණත්වයෙන් වහලවල රැඳෙන හිම දියවන ආකාරය අනුව සැක සහිත නිවෙස් හඳුනාගනු ලැබුවා.
මිට අමතරව නිවෙස්වල පසුපස ගෙවත්තේ ගිම්හාන කාලයට වවන ස්ථානත් සොයාගත් අවස්ථා නිතර වාර්තා වුණා.
ඩොලර් මිලියන ගණන් හුවමාරුවන අනීතික කංසා ව්‍යාපාරය වැලැක්වීමට  රජයට විශාල වැයක් දරන්නට සිදුවූ අතර, වයස් භේදයකින් තොරව කන්සවලට ඇබ්බැහිවීම් නිසා ඒවායින් ඔවුන් මුදවා ගැනීමට හා ඇතිවන රෝගවලට ප්‍රතිකාර කිරීමටත් මුදල් වෙන් කිරිම සිදුවුණා.
කංසා වැවීම හා විකිණීම නීතිගත  කළහොත් තරුණ පරපුර දැනුවත් කර එයින් වලක්වා ගැනීම පහසුවන අතර, විකිණීමෙන් ලැබෙන ලාභය මැර කල්ලි අතට යාම වැළක්වී, ඔවුන් මගින් සිදුවන සංවිධානාත්මක අපරාධ සිදුවීම අඩු කල හැකි වෙතැයි බලාපොරොත්තු වෙනවා.
මුදල් ඉපයීම හා තරුණයන් වලක්වා ගැනීම යන අන්ත දෙක එකවර බලාපොරොත්තු වීම තරමක විහිළු සහගත දෙයක් ලෙස පෙනුනත්, කංසා වැවීම වැලැක්වීම හා ඒ ඇසුරින් සිදුවන අපරාධ වැලැක්වීමට වසරකට වැය කලයුතු අධික මුදල රජයට ඉතිරිවන අතර, නීතියෙන් පිටස්තරව ක්‍රියාකරන්නන් අතට යන මුදලක් උපයාගැනීමට රජයට හැකි වෙනවා.
ආර්ථික වටිනාකම් ඇති ශාකයක් ලෙස සැලකුවිට ඇමරිකා එක්සත් ජනපදය මෙමගින් වසරකට ඩොලර් බිලියන 8කට වැඩි ප්‍රමාණයක් උපයන අතර, කැනඩාව දැනට වසරකට ඩොලර් මිලියන 500ක් උපයයි. නීතිගත කිරීමත් සමග වසරකට ඩොලර් මිලියන 618ක වර්ධනයක් බලාපොරොත්තු වන අතර, 2020 වනවිට වසරකට ඩොලර බිලියන 5 ක් ඉපයීමට හැකිවනු ඇති කියා හිතනවා.
නීතිගත කිරීමත් සමගම අධික ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්වීම නිසා ප්‍රධානපෙලේ සමාගම් කිහිපයක්ම තම ව්‍යාපාර පුළුල් කර මහා පරිමාණ වගා ආරම්භ කර තිබෙනවා. දැනටමත් ඖෂධිය නිෂ්පාදන කරන සමාගම්, ඩොලර් බිලියන ගණන් යොදවා තරගයට වැටි තිබෙන අතර, අපනයන කටයුතු පුළුල් කර තිබෙනවා. තවත් සමාගම් ක්‍රමික අධ්‍යයන සිදුකරමින් සිටින්නේ.

නීතිගත කළ පමණින් ඕනෑම කෙනෙක්ට නිදහසේ කංසා වැවීමටත්, ළඟ තබා ගැනීමටත්, නිදහසේ ඒවා භාවිතා කිරීමටත් හැකියාව ඇතැයි සිතිය හැකි වුනත්, සත්‍යය එය නොවේ. දුම්බීම, මත්පැන් පානය මෙන්ම මේවා භාවිතයටත් සීමා පනවා තියෙන්නේ.

නිෂ්පාදනය ආරක්‍ෂිත හා ක්‍රමානුකුල වීමට මහා පරිමාණ නිෂ්පාදකයන් ඒ සඳහා බලපත්‍රයක් ලබාගත යුතු අතර, හැමවිටම පුහුණුවක් ලද අය සේවයට යොදාගත යුතු වෙනව. රජයේ නිරතුරු අධීක්ෂණයට ලක්වීමත් සිදුවනු ඇති. වෙළඳ සලක විකිණීමට බලපත් ලබාගැනීම අත්‍යවශ්‍යයි. වෙළඳදැන්වීම් පළකිරීම ඉඳුරාම තහනම්. මත්පැන් හා දුම්වැටි අලෙවි කරන වෙළඳසල්වල කන්සා නිෂ්පාදන විකිණීම නොකෙරෙනු ඇති.
ඕනෑම කෙනෙක්ට තම නිවසේ පැල 4ක් වැවීමට අවසර ඇති අතර පැල විකිණීම හා ග්‍රෑම් 30කට වඩා විකිණීම තහනම්. මල් දරන පැල ප්‍රසිද්ධ ස්ථානවල තබාගැනීමත් නීති විරෝධිය.
එසේම පැකට් කිරීමේදී කුඩා දරුවන්ට විවෘත කල නොහැකි ආරක්‍ෂිත ආකාරයට එය සිදු කල යුතුයි. කුඩා ළමයින්ගේ අවධානය ගැනීම වලක්වන්න වර්ණවත් අලංකාර ඇසුරුම් නොයෙදීමට වගබලා ගත යුතු වෙනවා. විශාල අකුරින් අවවාද පාඨයක් සඳහන් කිරීමත් අවශ්‍යයි.

කංසා ශාකයේ නිෂ්පාදන ගබඩා කර තබා ගැනීමට අවසර තිබුණත්, බලපත් රහිතව ප්‍රවාහනයට හෝ ගෙනයාමට හෝ තැපෑලෙන් යැවීමට අවසර ඇත්තේ 30g ට අඩු ප්‍රමාණයක් පමණයි. එසේම අවසර ලද සමාගම්වලට මිස වෙනත් පුද්ගලයන්ට කැනඩාවෙන් පිටතට ගෙනයාම හෝ පිටතින් රටට ගෙන ඒම සපුරාම තහනම්. 
දැනට ග්‍රෑම් එකක් කැනඩා $10ක පාලන මිලකට අලෙවි කරන අතර, යුකොන් ප්‍රාන්තයේ පමණක් $8කි. අලෙවි කරන කංසා ග්‍රෑම් එකකට $1ක බද්දක් අය කරයි.
අවුරුදු 18ට අඩු කෙනෙක්ට නිෂ්පාදන විකිණීම වසර 14ක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදකි.
නීතිගත කළ පමණින් ඕනෑම කෙනකුට ඕනෑම තැනක භාවිතයට අවසර නැහැ. ප්‍රාන්තයට අනුව නීති තරමක් වෙනස්. මැනිටෝබා ප්‍රාන්තයේ නිවෙස් තුල පමණක් කංසා භාවිතා කලයුතු අතර, අනෙක් ප්‍රාන්තවල දුම්බීමට අවසර ඇති ස්‌ථාන පමණක් යොදාගත හැකියි.
මත්පැන් මෙන්ම කංසා භාවිතයෙන් පසුත් වාහන පැදවීම තහනම්ය. රුධිර මිලිලිටරයට THC නැනොග්රැම් 2කට වඩා අඩංගු වීම සිර දඬුවම් ලදහැකි වරදක්.

දැනට වියලි කංසා, ඇට හා තෙල් අලවි කරන අතර අනාගතයේ රසකැවිලි, කේක් හා  පානයන්ද වෙළඳ පොලට එනු ඇති. අනාගතයේ Online මිලට ගැනීමේ පහසුකම් ඇතිවුණත් එසේ මිලට ගත හැකිවන්නේ රජයෙන් පමණයි.

සිසුන් දැනුවත් කිරීමේ පත්‍රිකාවක් 
මේ කිසිවකින් කංසා භාවිතයේ ආදීනව නොසලකා හැරීමක් සිදුවන්නේ නැහැ. මත්පැන්, දුම්වැටි මෙන්ම නිත්‍යානුකුලවීම ලෙස සලකන්නේ කංසා සමාජීයව, සෞඛ්‍යමයව, ආර්ථිකව යහපත් කියා  පිළිගැනීමක් නෙවෙයි. එයින් සිදුවිය හැකි හානිය හා ගැටළු එලෙසමයි. මේ නිසා මීට සමානුපාතිකව පාසල්වල දරුවන් දැනුවත් කිරීම සිදුවෙනවා.

නීති රීති අනුගමනය කරන්නන් මෙන්ම නොකරන්නන් සෑම සමාජයකම සිටින නිසාත්, සම්පුර්ණ නිතිගත  කිරීමක හොඳ නරක දකින්නට තරම් අධ්‍යයන කරන්නට  පසුබිමක් මින් පෙර අවස්ථාවක් නැති නිසාත්  මෙහි අනාගත ප්‍රතිඵල කෙසේ වේදැයි පුරෝකතනය සීමාවෙලා තියෙන්නේ.
මත්පැන් දුම්වැටි මෙන් සාමාන්‍ය ලෙස සමාජගත වී භාවිතය යම් ජන සංඛ්‍යාවකට සීමාවනු ඇතැයි සිතිය හැකි මෙන්ම, පුළුල්ව මිලදී ගැනීමේ හැකියාව නිසා අයහපත් ප්‍රතිඵල වැඩිවනු ඇතැයිද සිතන්නට පුළුවන්. සෞඛ්‍ය සේවා මේ ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු වෙනු ඇති. නීතිගත කිරීම් නිසා ආදායම අහිමි වූ අප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හා කළුකඩ කරුවන් නිහඬ වෙයි කියා සිතන්නටත් බැහැ.

මත්ද්‍රව්‍යයක් සමාජගත වීමක වාසි අවාසිවලට  වඩා මේ පසුපස තිබෙන ඩොලර් බිලියන ගණනක මුදල් කන්දරාව ගැන වැඩි අවධානයක් තිබෙන බවනම් පැහැදිලියි.

උදව්:
aththammageathbeheth.blogspot.com/2016/09/cannabis.html
docmj.com/2017/06/05/difference-medical-recreational-marijuana/
www.en.wikipedia.org/wiki/Legality_of_cannabis#S
www.cnbc.com/the-us-falling-behind-other-countries-like-canada-on-marijuana
www.nytimes.com/2018/10/16/world/canada/cannabis-legalization-industry.html
indicaonline.com/blog/5-differences-between-american-and-canadian-recreational-cannabis/

Monday 15 October 2018

ශිෂ්‍යත්ව විභාගේ

හැමදාම බැනුම් අහන මේ විභාගය මොකක්ද? ඇයි මෙහෙම විභාගයක් තියන්නේ? දැන් මේ තත්වයට එන්න හේතු මොනවද? පිටරටවල මේ වගේ විභාග නැද්ද? ප්‍රශ්ණ ගොඩයිනෙ.
1942 දී C.W.W. කන්නන්ගර මහතාගේ යෝජනා අනුව නිදහස් අධ්‍යාපනය සාමාන්‍ය ජනතාවට විවර කිරීමත් සමග 1948 ආරම්භ වූ දෙයක් ශිෂ්‍යත්ව විභාගය. රටේ කා හටත් නොමිලයේ අධ්‍යාපනය දීම හැරුනුකොට අධ්‍යාපනයෙන් වැඩි ඵලක් ගත හැකි දරුවන් තෝරා ඔවුන්ට වැඩි පහසුකම් සහිත පාසලක් ලබා දීම හා ආධාර මුදලක් දීම මෙහි අරමුණ වුනා. එහිදී අදහස් කළේ ගම්වල දුප්පත් දක්ෂ දරුවන් තෝරා ඔවුනට කෑම බීම නවාතැන් නොමිලයේ ලබා දී වඩා නිදහසින් ඉගෙනුම සැලසීමයි. මෙහිදී නිශ්චිත ප්‍රදේශයකට පහසුකම් සහිත මධ්‍ය මහා විද්‍යාලයක් බැගින් පිහිටවා එම ප්‍රදේශයට අයත් කුඩා පාසල්වලින් ශිෂ්‍යත්ව විභාගය සමත්වන දරුවන්ට හයවන වසරේ සිට නේවාසික අධ්‍යාපනයට ඉඩ සැලැස්වූවා. එම පාසල්වල ප්‍රථමික අංශයක් පැවතුනේ නැති නිසා විභාගය සමත් අය පමණයි ඇතුලත් කරගැනුනේ.
සියලුම දරුවන් විභාගයට පෙනී සිටි අතර ප්‍රදේශයට අනුව ලකුණු ප්‍රමාණයකින් සීමිත සිසුන් සංඛ්‍යවක් තෝරා මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් කරගැනුනා. වැඩි ආදායම් සහිත පවුල්වල දරුවන්ට ආධාර මුදල් නොලැබුණත් අධ්‍යාපන පහසුකම හිමිවුණා. විභාගයට විශේෂ සුදානම් කිරීම් නොතිබුණු අතර සමත් වුයේත් ගුරුවරුන් හඳුනාගත් සැබෑ දක්ෂයින් පමණයි. ලකුණු ගැන එතරම් අවධානයක් නොතිබුණු අතර සමත්වීම ගැනයි අවධානය තිබුනේ.
ප්‍රමාණවත් පහසුකම් සහිත මධ්‍ය මහා විද්‍යාල තිබු නිසා ප්‍රධාන නගරවල පාසල්වලට යාමට තරගයක් තිබුනේ නැහැ. නිවසේ සිට එතරම් දුරක් නොමැති එහෙත් නේවාසික පහසුකම් මැද විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා නිදහසේ ඉගෙනීමට දරුවනට අවස්ථව ලැබුණා. සමත්වූ ඕනෑම දරුවෙක්ට ලකුණු සිමා ගැන තැකීමකින් තොරව නාගරික ප්‍රසිද්ධ පාසලකට ඉල්ලුම් කර ඉගෙනීම ලැබීමේ අවස්ථාව තිබුණත් බොහෝ දෙනෙක් තෝරාගත්තේ ආසන්න මධ්‍ය විද්‍යාලයයි.
විභාගයේ ස්වභාවය ස්වල්ප ලෙස වෙනස් වෙමින් වුවත් මේ ආකාරයට මධ්‍ය මහා විද්‍යාලවලට දරුවන් තෝරාගැනීමට සාධාරණ ක්‍රමයක් ලෙස ශිෂ්‍යත්ව විභාගය 80 ගනන් වනතෙක්ම පැවතුණා.
නාගරික පාසල්වල ජනප්‍රියත්වය ක්‍රමයෙන් වැඩි වන්නට වුයේ මධ්‍ය මහා විද්‍යාලවල පහසුකම් ක්‍රමයෙන් අඩුවීමත් සමගයි. කලින් ලබාදුන් ඇඳුම් ආදී දීමනා අඩුකර ප්‍රමාණවත් නොවන ආධාර මුදලක් ලැබීමත් මෙයට හේතුවුණා. ජනප්‍රිය පාසල්වල නමට රැකියාවලදී වැඩි තැනක් ලැබීමත් මෙයට අනියම් ලෙස බලපෑවා. මධ්‍ය විද්‍යාලවල ජනප්‍රියත්වය එලෙසම පවතිද්දී කොළඹ, නුවර, ගාල්ල ආදී ප්‍රධාන නගරවල පිහිටා ඇති සීමිත පාසල් ගණනකට හා අලුතෙන් නම්කළ ජාතික පාසල්වලට ඉල්ලුම වැඩිවීමත් සමග ලකුණු මට්ටමක් තීරණය කිරිමට පාසලට සිදුවුණා. එම පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පැමිණෙන ළමුන් සිටීම නිසා ඇතුලත් කරගත හැකි සිසුන් ගණන් සීමිත වුණා. මෙයින් තරගය ඉහල ගියා. අන්තිමට සියලු සිසුන් එම පාසල් ඉලක්ක කරගෙන තරග වදින විභාගයක් බවට ශිෂ්‍යත්ව විභාගය පත්වුණා. ශිෂ්‍ය ආධාර ලැබීම දෙවන තැනටත් අසන්න ප්‍රදේශයේ පහසුකම් ඇති උසස් පාසැල තවත් පහල තැනකටත් පත්වීම මගින් ශිෂ්‍යත්ව විභාගය ඇරඹීමේ අරමුණු වෙනස්ම තැනකට ගෙනගියා.
මෙය අනෙක් ඉහල විභාග හා සමානව තරග විභාගයක් බවට පත්වීමත් සමග තුන වසරේ සිටම ඒ සඳහා ඉලක්ක කර උගන්වන පාසල් බිහිවීම ඊළඟ පියවරයි. මුලින්ම ඉහල පාසලක් ලබාගත නොහැකි වූ දරුවන්ගේ දෙමාපිය ඊළඟ අරමුණ වුනේ දරුවා මෙලස ශිෂ්‍යත්වය අරමුණු කර උගන්වන පාසලකට යොමු කිරීමයි. ප්‍රථමික පාසල්වලත් තරගය උග්‍ර වුණා. ශිෂ්‍යත්වය ඉලක්ක නොකරන පාසල්වලට සිසුන් ඇතුලත්වීම අඩුවීම නිසා පාසල වැසී යාමෙන් වැළකීමට ඔවුන්ටත් තරගයට උරදෙන්න වුණා. මේ සිදුවීම් හා සමානුපාතිකව ටියුෂන් පන්ති දසත ඇරඹුනා.

තරගය දෙගුණ තෙගුණ වෙද්දී ඉහල මට්ටමේ පාසල් තම තත්වය පෙන්වන්නට මෙන් ඇතුලත් කරගන්න ලකුණු මට්ටම ඉහල දමන්නට වුණා. ඇත්තටම සිදුවුනේ යාන්ත්‍රික ලෙස විභාගයට හුරු කරවීම තුලින් වැඩි ලකුණු ගණනක් ගන්න සිසුන් වැඩිවීම නිසා  සිසුන් ගණන නියතව තබා ගැනීම උදෙසා ඉහල ලකුණක් අවශ්‍ය වීමයි.
දැන් තත්වය දක්ෂ, ඇත්තෙන්ම ශිෂ්‍ය ආධාර අවශ්‍ය, අතිරේක පන්ති යා ගත නොහැකි ප්‍රාදේශීය පාසල්වල දුප්පත් දරුවන්ට මේ තරගයට මුහුණ දී ගත නොහැකිව පහසුකම් ඇති පාසලක් අහිමි වීමයි. සත්‍ය ලෙසම ප්‍රතිඵල ඇවැසි, පහසුකම් හා ගුරුවරු අඩු ග්‍රාමීය පාසල්වල දරුවන්ට කිසිදු වාසියක් නොමැති තත්වයකට විභාගය පත්වීමයි.
මෙවර ප්‍රතිඵල අනුව ශිෂ්‍ය ආධාර ලබාගැනීමටත් 168ක් තරම් ඉහල ලකුණු ප්‍රමාණයක් ලබාගත යුතුයි. කිසිදු පහසුකමක් නොමැතිව පාසලේ උගන්වන දෙයින් පමණක් සැනසෙන, ඉලක්ක ඉගැන්වීමක් නැති දක්ෂ දරුවන් හඳුනා ගැනීමට තව දුරටත් ශිෂ්‍යත්ව විභාගය භාවිතා කල නොහැකියි.
දරුවන්ට හා දෙමාපියන්ට දැඩි බලපෑමක් කරන, මුල් අරමුණින් සම්පුර්ණ ප්‍රති විරුදුව ගමන් කරන මේ විභාගය තව දුරටත් පැවත්විය යුතුද?
නැතැයි කිව හැක්කේ කාටද? පාසල් අතර පහසුකම් පරතරය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින විට හැකියාවක් ඇති දරුවෙක්ට පහසුකම් හා ජනප්‍රිය නමක් සහිත පාසලක් ලබා ගැනීමේ ක්‍රමය මෙයයි. මෙම විභාගය ටියුෂන්වල ගොදුරක් වෙමින් යන ලංකාවේ අධ්‍යාපන ඛේදවාචකයේ එක කොටසක් පමණයි. විභාග ස්වභාවය වෙනස් කිරීම, ප්‍රශ්න පත්‍ර අසීරු කිරීම ආදී යෝජනා දුටුවත් ඒවායින් තැලෙන්නේද අවුරුදු දහයේ ළමාවිය ගෙවමින් යන දරුවන්ය.
වඩාම උචිත වන්නේ සියලු පාසල්වලට සම පහසුකම් සැලසීමයි. කිසිදාක කල නොහැකි ලෙස දැනට පෙනෙන මෙම ක්‍රමය නිසයි දියුණු රටවල පාසල් සඳහා තරගයක් නොමැත්තේ. එම රටවල දරුවන් තමන් පදිංචි තැනට ආසන්නම ප්‍රථමික පාසලට යා යුතුය. ඉන්පසු එහි මධ්‍ය පාසලටත් එම පෝෂක ප්‍රදේශයේම උසස් පාසලටත් ඇතුලත් වීම සාමාන්‍ය පිළිවෙතයි. උසස් පාසල් අතර විශේෂ විෂයයික පාසල් තියෙනව. සුභග ළමුන් සඳහා විශේෂ විෂයමාලාවක් ඉගැන්වෙන පන්ති සහිත පාසල්, සෞන්දර්ය විශේෂ පාසල්, විශේෂ අවශ්‍යතා සහිත ළමුනට වෙනම පාසල් ආදියයි. ඒවාට සිසු මට්ටම මධ්‍ය පාසලේ සිට ඇගයීම් කර ඇතුලත් වනු මිස හිතුමතේ යා නොහැකියි. උසස් අධ්‍යාපනයත් පුළුල් ක්ෂේත්‍රයක පවතින නිසා සිසු දක්ෂතා අනුව ඒවාට අවස්ථාව ලැබෙනවා.

ලංකාවට මේවා සිහිනද? ජනප්‍රිය පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් හා කීර්තිමත් ආදී ශිෂ්‍යන්  නිසා ඒවා තවත් බැබලිමත්, තවත් ආධාර ලබා දියුණු වීමත් මගින් පාසල්වල ඇති නැති පරතරය ඉහලටම යමින් තියෙන්නේ. නැවත මධ්‍ය මහා විද්‍යාල ආකාරයේ පහසුකම් සහිත ද්විතියික මට්ටමේ පාසල් සැම දිස්ත්‍රික්කයකටම කිහිපය බැගින් තෝරා ඒවා දියුණු කිරීමක් කළ හැකිනම් ඉහල නමක් ඇති පාසල් වෙත ඉල්ලුම අඩු වෙතැයි අනුමාන කළ හැකියි. කුඩා ප්‍රථමික පාසල් දියුණු කර පහසුකම් සැලසිය හැකිනම් කලක් ගතවී හෝ යම් මට්ටමකට සිසු දක්ෂතා දියුණුවට බලපැමක් කල හැකි වනු ඇති. දැනට ඇති ශිෂ්‍යත්ව විභාග තරගය නැවැත්විය යුතු බව ඉඳුරාම පිළිගත්තත් විකල්පයක් නොමැති වීමෙන් පාඩුවක් වන්නේ දුප්පත් දක්ෂ දරුවන්ටමයි.

යම් වෙනසකට යෝජනා පැමිණියහොත් විරෝධතා දක්වන්නන් අතර දෙමාපියන්ද සිටිනු නොඅනුමානයි. ප්‍රධාන පෙලේ පාසලකට තම දරුවා ඇතුලත් කිරීමේ සිහිනයෙන් මිදීමට අකමැති දෙමාපියෝ කොතෙකුත් ඇති. ඊළඟ තැන සිටිනු ඇත්තේ ශිෂ්‍යත්වයෙන් සමත්ව පැමිණෙන දක්ෂ දරුවන් මගින් ඉහල සා.පෙළ, උසස් පෙළ ප්‍රතිඵල පෙන්වන නිසා එයින් මිදීමට අකමැති ජනප්‍රිය පාසල් සම්බන්ධ ආදී ශිෂ්‍ය සංගම්ය. ලංකාවේ කුමන ආකාරයේ ප්‍රතිසංස්කරණයකට  වුවත් විරුද්ධ වෙන අධ්‍යාපනයෙන් බඩ වඩා ගන්නා ටියුෂන් මාෆියාව ඊළඟට විරුද්ධ වනු ඇත.
කුමන ආකාරයේ විරෝධතා පැමිණියත් මේ ක්‍රමය වෙනස් කර අලුතින් කා හටත් සාධාරණ පාසල් පද්ධතියක් හා පාසලෙන් පිටත අයට බලපෑම් කළ නොහැකි තේරීම් විභාග ක්‍රමයක් ස්ථාපිත කිරීමට දේශපාලකයන් දැනුවත් කිරීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනුමැත්තන්ගේත් සාමාන්‍ය මහජනයගේත් වගකීමයි.
වැරදි අධ්‍යාපන මගකින් මේ වියැකෙන්නේ අපේ අනාගතයයි.

Monday 8 October 2018

ශරත් සමය වර්ණවත් කරන පත්‍ර Autumn leaves

ගිම්හාන කාලයේ ගස්වල පිරුණු පාට පාට මල් මෙන්ම කොළ පාට පත්‍රත් ඇසට ගෙන එන්නේ සහනයක්. සමකයෙන් දුරස්ථව පිහිටන රටවල සීත කාලයට කලින් එළඹෙන සරත් සමය (autumn/ fall) වෙද්දී මල් ක්‍රමයෙන් ගස්වලට සමුදෙන්න ගන්නවා. සදාහරිත නොවන, පළල් පත්‍ර ඇති ගස් සිසිරයට සුදානම් වෙමින් පත්‍ර  හැලීමට සුදානම් වෙනවා. පතනයට පෙර ස්වභාව ධර්මය විසින් ශාක පත්‍රවලට අපුර්ව වර්ණයන් දෙමින් පරිසරය සොබාවත් කරමින් වෙනස්ම විදියකින් නෙත පිනවනවා. උතුරු අර්ධගෝලයට මේ වර්ණ ප්‍රභා පෙනෙන්නේ සැප්තැම්බර් - ඔක්තෝබර් මාසවලදීයි.

ගස්, දුටු දුටු නෙත් පිනවන වර්ණ මිශ්‍රණයන්ට පරිවර්තනය වෙන්නේ දවසට දෙකට. බැලු බැල්මට මල් යායක් ලෙසින් දිස්වෙන අත්‍යලංකාරය හිතටත් මිහිරක් ගෙන එනවා. ගිම්හානයේ කොළ  පාටින් තිබෙන ගස් මෙහෙම වෙනස් වර්ණ ගන්නේ කොහොමද? සියලු පත්‍ර සමකාසන්න රටවල නිතර දකින්නට තියන ලෙස කහපාට වී හැලෙනවා වෙනුවට රතු, තැඹිලි, දම් වැනි පාටට හැරෙන්නේ ඇයි? එකම ගසේ පත්‍රත් මෙලෙස වෙනස් පාට වෙන්න පුලුවන්ද?
පත්‍ර සෛල තුල හරිතප්‍රද ගොනුවී ඇති අයුරු 
මේ ප්‍රශ්නවලට පිළිතුරු පටන්ගන්න වෙන්නේ කොලපාට පත්‍රවලින්. බොහෝ ශාක පත්‍ර කොළ වර්ණයක් ගන්නේ ඒවායේ අඩංගු හරිතප්‍රද හෙවත් ක්ලොරෆිල් නිසා. මෙම හරිත වර්ණ ක්ලොරෆිල්වලට හිරු එලිය උරාගෙන, පරිසරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් හා ජලය ආධාර කරගෙන කාබොහයිඩ්රේට් නිපදවාගන්න පුළුවන්. එනම්, මේවා ආහාර නිෂ්පාදන කර්මාන්තශාලා ලෙස ක්‍රියාකර ශාකයට අවශ්‍ය ආහාර නිපදවා ගන්නවා. මෙම ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂණය ලෙස හඳුන්වනවා.
හරිතප්‍රද වලට අමතරව තවත් වර්ණක පත්‍රවල තියෙනවා. නම් විදියට ගත්තොත් සැන්තොෆිල් (කහ වර්ණක),  කැරටිනොයිඩ් (තැඹිලි වර්ණක), ඇන්තෝසයනින් (රතු වර්ණක),  මේවත් හරිතප්‍රද සමග ආලෝකය උරාගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. ශාකයකට ප්‍රමාණවත් හිරුඑළියත් උණුසුමත් ඇතිවිට පත්‍රවල හරිතප්‍රද නිපදවීම වැඩි නිසයි අනිත් වර්ණ යටපත් කරගෙන කොළ පැහැයට දිස්වන්නේ.
සරත් සමය ආරම්භ වීමත් සමග අර්ධගෝලවල ධ්‍රැවාසන්න ප්‍රදේශවලට හිරු එලිය වැටෙන පැය ගණන අඩුවෙන අතර උෂ්ණත්වයත්  අඩුවෙමින් යනවා. හරිතප්‍රදවලට අඩු උෂ්නත්වයන්හි පවතින්නට බැහැ. මෙම දේශගුණික තත්වයන්ට මුහුණ දෙමින් නොමැරී ජීවත්වීම උදෙසා ශාකවලට ඇති එකම විකල්පය ප්‍රභාසංස්ලේෂණය අත් හැරීමයි. වැඩක් සිදු නොකරන පත්‍ර සමග ජීවිතය පවත්වා ගැනීමට වඩා නැවත හොඳින් හිරුඑළිය ලැබෙන වසන්ත සමය එනතෙක් පත්‍ර ඉවත්කර තිබෙන ශක්තිය රැක ගැනීමට ශාකයට සිදුවෙනවා. මෙලෙස පත්‍ර ඉවත්කිරීමට පෙර හරිතප්‍රද බිඳ හෙලා එහි ඇති නයිට්‍රජන් හා නිෂ්පාදිත සිනි වර්ග කඳ කොටස්වල ගබඩා කිරීමට යැවෙනවා.
 හරිතප්‍රද බිඳ වැටීමත් සමග මෙතෙක් එම වර්ණයෙන් යටපත් වී තිබු අනෙකුත් වර්ණ දිස්වීමට පටන් ගන්නවා. කහ සහ තැඹිලි වර්ණ ලොව සැම ප්‍රදේශයකම ශාක පත්‍ර පතනයට පෙර දක්නට ලැබෙන්නේ ශාකවල වැඩිපුරම ඇත්තේ කහ සහ ඊට ආසන්න වර්ණවලට අදාල වර්ණක නිසායි.

නමුත් උෂ්ණත්වය ඉතා අඩුවන ධ්‍රැවාසන්න ප්‍රදේශවල පතනයට ආසන්න සමහර ශාක රතු හා රතු වර්ණයේ ප්‍රභේදවලින් දැකිය හැකියි. මෙය විශේෂ තත්වයක්. අනෙක් කහ පැහැයට හැරෙන ගසුත්, සිහින් පත්‍ර තියන සදාහරිත ගසුත් අතරේ රුසිරු දසුන් මවන්නට මේ විශේෂ තත්වයට හැකියි.දැනට සොයාගෙන ඇති අන්දමට සමහර ශාකපත්‍රවල රතු වර්ණය ඇතිකරන ඇන්තොසයනින් අලුතින් නිපදවෙනවා. ගස විසින් ඉවත් කිරීමට ආසන්න පත්‍රයක කෙටි කාලයකට වර්ණක ඇතිවීම විද්‍යාඥයන්ටත් ප්‍රශ්නයක්. මෙයට හේතු ලෙස න්‍යායන් කිහිපයක් ඉදිරිපත් වී තිබෙනවා.
මුල්ම අදහස් අතුරින් එකක් වුයේ ඇන්තොසයනින් වර්ණකය දිලිර හා කෘමින්ගෙන් ශාකය ආරක්ෂා කරගැනීමට රසායනික ආරක්ෂකයක් ලෙස ක්‍රියාකරන බවයි. ඵල ආහාරයට ගන්නා කුරුල්ලන් ආකර්ෂණය කරගෙන ඵල අවසන් කර ඒවා වෙනුවෙන් යෙදවෙන ශක්තිය ශාකයේ පැවැත්මට යොදාගැනීමට රතු වර්ණය ගන්නවා යන්න තවත් මතයක්. එහෙත් මෙම වර්ණය පවතින අතිශය කෙටි කාලසීමාව අනුව මේ මතයන් ගැන සැක මතුවේ.
තවත් මතයකින් කියවෙන්නේ එමගින් වැඩිපුර ඉර එලියෙන් ශාකය ආරක්ෂා කර,අඩු උෂ්ණත්වයේදී  බිඳවැටෙන ක්ලොරෆිල්වල ඇති නයිට්‍රජන් සහ නිපදවී ඇති පෝෂක උරාගැනීම පහසු කරන බවයි. ඉර එලිය වැඩි වසරවල පත්‍ර උඩ පෘෂ්ඨයේ  රතු පැහැය වැඩිවීමෙන් ද, ධ්‍රැව ආසන්නයට යත්ම ශාක වඩා තද රතු පැහැයට හැරීමෙන්ද මෙම මතය සත්‍ය ලෙස සිතිය හැකියි.
වැඩි හිරු එළියක් හා වියලි කාලගුණයක් ඇති වසරවල ශාක යුශවල සිනි ප්‍රතිශතය අධික බව හඳුනාගෙන ඇති අතර එයිනුත් තව දුරටත් ඇන්තොසයනින් නිපදවීම උත්තේජනය කරනව. මෙසේ සියලුම පෝෂක ආපසු උරාගැනීමෙන් ශාකය වඩා හොඳින් ශීත කාලයට ඔරොත්තු දිමට සකස් කිරීමක් සිදුවන බව හිතන්න පුළුවන්. හිම මිදීමට ආසන්න උෂ්ණත්වයක් ඇති පෝෂක අඩු අවස්ථාවලත් රතු වර්ණකය සැදීම උත්තේජ වීමෙන් මෙම මතය තහවුරු වනව. එසේම අඩු ඉර එළියක් ලැබෙන වැස්ස වැඩි වසරවල ශාකවල රතු වර්ණය අඩුවීමක් නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ  එවිට හිරුඑළියෙන් ආරක්ෂා කිරීමක් අවශ්‍ය නොවෙන නිසයි.
තවත් න්‍යායක් දක්වන්නේ බලවත් ප්‍රතිඔක්සිකරකයක් වන ඇන්තොසයනින් වර්ණකය  ශාකය ශීත කාලයට වඩා හොඳින් සුදානම් කරන බවයි.

එහෙත් සමහර ශාක මෙලෙස රතු වර්ණය නිපදවීම පිලිබඳ කරදර නොවන්නේ ඇයිද යන්න තවත් නොවිසඳුණු පැනයක්. ඒවා ලැබී ඇති වර්ණකවලින් සැහී ක්ලොරෆිල් බිඳ වැටුණු පසු තම වර්ණය පමණක්  හෝ අනෙකුත් වර්ණ සමග සංයෝග වී වඩා නෙත් පිනවන වර්ණ ප්‍රදර්ශනය කර සීත වනවිට හැලී යයි.

සොබාදම් මවගේ නොවිසඳුණු රහස් තුරුළු කරගෙන මේ සියලුම දර්ශණීය වර්ණ සංකලන ඉතාම කෙටි කලක් පරිසරය අලංකාර කර, මානව නෙත් සිත් පිනවා, ගසෙන් වෙන්ව බිම පතිත වී ගසට තනිව ශීත කාලය තරණය කිරීමට ඉඩදෙයි.


උදව්:
Guide to all Colors in Upstate New York : Donald J. Leopold
The Science of Why? : Jay Ingram 2016
www.esf.edu/pubprog/brochure/leaves
cienciasdejoseleg.blogspot.com/
www.education.com/science-fair/find-color-pigments-hidden-green/
www.compoundchem.com/autumnleaves/