Friday 9 February 2018

ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා භයානකද? Winter Olympics

ඔලිම්පික් කිව්වම කවුද නොදන්නේ? අවුරුදු හතරකට වරක් ලෝකයේ රටවල් වැඩි ගණනක් සහභාගීවෙන ලොව ඉහළතම, විශිෂ්ඨතම ක්‍රීඩා උළෙල.  ඔලිම්පික් නමින් ප්‍රධාන උළෙල තුනක් තිබේ. ගිම්හාන ඔලිම්පික්,  ශීත ඍතු ඔලිම්පික් හා ආබාධිත වුවන්ගේ ඔලිම්පික් වන පැරාලිම්පික් ඒවාය. ඒ අතුරින් ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා වඩා අනතුරුදායක බව බැලු බැල්මට පෙනීයයි. ලිස්සමින් ක්‍රීඩා කරන, උඩ සිට බිමට පනින, වේගයෙන් පහලට ගමන් කරන, කරණම් ගසන ක්‍රීඩා රැසයි.   ශීත ඍතු ඔලිම්පික් ඉතිහාසය හා මේ වසරේ එහි අඩංගු ක්‍රීඩා ගැන බලමු.
ශීත ඍතු ඔලිම්පික් ඉතිහාසය එතරම්ම දුර නැත. හිම ක්‍රීඩා කිහිපයක් ඔලිම්පික් උළෙලකට මුලින්ම එක් ව තිබෙනුයේ 1908 ලන්ඩන් පැවති තරගවලියේදියි. 1912 ඔලිම්පික් උළෙලට සමගාමිව හිම ක්‍රීඩා සහිත සතියක් පවත්වන්නට යෝජනා වී ඇතත් එය ඵල දරා නැත. 1916 ජර්මනියේ බර්ලින් නුවර ඔලිම්පික් උළෙලට සමගාමිව ශිශිර ක්‍රීඩා සතියක් පවත්වන්නට සියල්ල සැලසුම් කළත් එම වසරේ ඔලිම්පික් උළෙල අවලංගු කෙරුණි. 1920දීත් සාමාන්‍ය උළෙල තුලම ක්‍රීඩා කිහිපයකින් සෑහිමට පත්වන්නට සිදුවිණි.

1924 ප්‍රංශයේ පැවති ඔලිම්පික් උළෙලට සමගාමිව දින 11ක් පුරා ජාතින් 16ක් සහභාගී වූ ඉසව් 16කින් සමන්විත  'International Winter Sports Week'  ප්‍රථම ශීත ක්‍රීඩා ඔලිම්පික් ලෙස හඳුන්වන්නට හැකියි. ඉන් අනතුරුව 1936 තෙක්ම ප්‍රධාන උළෙල පැවැත්වෙන රටේම ඊට සමගාමිව වෙනම ශිශිර ක්‍රීඩා උළෙලක් පැවතුනි.

ලෝක යුද්ධය නිසා දෙවරක්, එනම් වසර අටක් ඔලිම්පික් තරගාවලිය සංවිධානය නොවුණි. නැවත 1948 ඔලිම්පික් උළෙල ආරම්භ වූ අතර, එම වසරේ සිට ශීත ඍතු ඔලිම්පික්, ශීත කාලයේ පැවැත්වීම ඇරඹුණි.  එසේම එය ගිම්හාන උළෙල පවත්වන රටින් වෙනස් රටකයි  පැවැත්වුනේ. 1948 ශිශිර ඔලිම්පික් ජනවාරි 30 සිට පෙබරවාරි 18 දක්වා ස්විට්සර්ලන්තයේ පැවති අතර, ගිම්හාන ඔලිම්පික් ජුලි 29 හා අගෝස්තු 14 අතර පැවතියේ මහා බ්‍රිතාන්‍යයෙයි. ඉන්පසු 1992 දක්වාම මෙලෙස එකම වසරේ වෙනස් කාල වකවානුවක රටවල් දෙකක ගිම්හාන හා ශීත ඔලිම්පික් පවත්වාගෙන ගියේය. 1992 වනවිට රටවල් 64ක සහභාගිත්වයක් තිබු අතර ක්‍රීඩා 12කින් ඉසව් 57ක් පැවැත්වුණි.
1986දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවේ ආ ඉල්ලීමකට අනුව ගිම්හාන හා ශිශිර ඔලිම්පික් උළෙල වෙනම වසරවල පවත්වන්නට තීරණය කෙරුණි. ගිම්හාන උළෙල නොතිබෙන ඉරට්ටේ සංඛ්‍යාවක් වන වසරේදී ශිශිර උළෙල පැවැත්වීමට තීරණය විය. එනම් සෑම ඉරට්ටේ වසරකම මාරුවෙන් මාරුවට ශිශිර හා ගිම්හාන ඔලිම්පික් පවත්වන්නටයි. මේ තීරණය අනුව 1994දී මුල්වරට ගිම්හාන උළෙල නොපැවැත්වෙන වසරක නෝර්වේ හිදී රටවල් 67ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1737 දෙනෙක්ගේ සහභාගිත්වයෙන් ශීත ඍතු ඔලිම්පික් ඇරඹුණි. එදා සිට අද දක්වා වසර හතරකට වරක් නොකඩවා ලොව පුරා ශීත රටවල මෙම ක්‍රීඩා උත්සවය මහා ඉහලින් මුලුදෙයි.
23වන ශීත ඍතු ඔලිම්පික් තරගාවලිය දකුණු කොරියාවේ පියෝන්ග්චෑන්ග් හිදී  2018 පෙබරවාරි 9 දින සිට පෙබරවාරි 25 දින දක්වා පැවැත්වෙයි.
සමකාසන්න රටවල් වන අපට නුහුරු ශීත කාලීන ක්‍රීඩා 15ක් සඳහා මෙහිදී ක්‍රීඩකයන් තරග වදිනු ඇත.

1. ඇල්පයින් ස්කීන් Alpine skiing: ස්කින්ග් යනු  පාද දෙකට සවිකරන ලද අඩි පහකට වඩා දිගු පතුරු වැනි විශේෂ උපකරණ ආධාරයෙන් හිම මත ගමන් කිරීමයි.  ක්‍රීඩකයාගේ උස අනුව භාවිතා කරන ස්කී උපකරණවල දිග තීරණය වේ. ඇල්පයින් ස්කීන් වලදී ඉතා උස කඳු මුදුනක සිට දිගු ස්කී උපකරණ හා රිටි දෙකක් ආධාරයෙන් හිමවලින් වැසුණු ප්‍රපාතාකාර කඳු බෑවුම් මත දෙන ලද මාර්ගයක වේගයෙන් ගමන්කිරීම සිදුවේ. වේගය අනුවත්, තාක්ෂණ කුසලතා භාවිතය අනුවත් ජයග්‍රහණ ලබාදෙන වෙන වෙනම ඉසව් ඇත. ඒකල හෝ කණ්ඩායම් ලෙස තරග ඉසව් තිබේ.

2. රට හරහා ස්කී Cross-country skiing: හිමෙන් වැසුණු බිමක ගමන් කරන අයුරු 19 වන සියවසේදී ක්‍රීඩාවක් බවට පත්ව ඔලිම්පික් තරගයක් ලෙස වර්ධනයව ඇත. මෙහිදී තරගකරුවන් සමුහයක්  විවිධ දිගු දුර ප්‍රමාණයන් යටතේ තරග වදිති. රිලේ තරග ඉසව්ද ඇත. තරණය කරන තරගබිම අභියෝග සහිත සමතලා හිම බිමකි. ධාවන වේගය අනුව ජයග්‍රහණ ලැබේ.




3. නිදහස් ආර ස්කීන් Freestyle Skiing: ශීත ඍතු ඔලිම්පික් ආරම්භ වූ දා සිටම තරගාවලියට ඇතුලත් ක්‍රීඩාවකි.  හිම කඳු ඉහලින් පැනුම්, කරණම් ගැසීම්, අහසේ කැරකෙමින් පිනුම් හා කරනම් ගැසීම් ආදිය ඇතුලත්ව ඉහල සිට පහලට හිම මත ධාවනයේ යෙදේ. පැනීමේදී ඉපිලීම, වේගය, දුර, පිනුමේ උස ආදී විවිධ නිර්ණායක යටතේ ඇගයීම සිදුකරයි. විවිධ  නිදහස් ආර කාන්තා හා පිරිමි ඉසව් 10ක් මෙවර ඔලිම්පික් තරගාවලියට ඇතුලත්ය.

4. ස්කී පැනුම් Skii Jumping: සකස්කර ඇති හිම ආකෘතියක ඉහල සිට පහලට වේගයෙන් පැමිණ ඉහලට පැන දිගු දුරක් ගෙවා බෑවුම් තලයක පතිත වේ. නිදහස් ආරේ දී මෙන් කරනම් හා අහසේ පිනුම් ගැසීමක් නැත. ඉහලට ගිය පසු ස්කී හා සමාන්තරව සිරුර පවත්වාගනියි. වරකට එක ක්‍රීඩකයා බැගින් තරග කරන අතර තාක්ෂණ භාවිතය, ධාවන දුර, සුලඟේ දිශාව හා පතිත දුර සලකමින් ලකුණු ක්‍රමයකට ජයග්‍රහණය ලබා දේ. ඒකල හා කණ්ඩායම් ලෙස ඉසව් පහක් මෙවර දැකගත හැකිවේ.

5. සංයුක්ත නොර්ඩික් Nordic Combined:  රට හරහා ස්කී හා ස්කී පැනුම් යන ක්‍රීඩා දෙකම ක්‍රීඩකයින් විසින් එකම තරගයක් තුළ සිදු කළ යුතුවේ.

6. බයැත්ලෝන් Biathlon : රට හරහා ස්කී හෙවත් දිගු දුරක්  හිමමත ධාවනයත්, ඉලක්කයට වෙඩි තැබීමත් යන ක්‍රීඩා දෙක එක් කෙරුණු ඉසව්වකි. කාන්තා, පිරිමි හා මිශ්‍ර ඉසව්වලින් පැවැත්වේ.

7. දිගු ධාවනපථ හා කෙටි ධාවනපථ වේග ස්කේටින් Long Track / Short Track Speed Skating: ස්කේටින් යනු විශේෂ සපත්තු පැළඳ අයිස් මත ලිස්සා යාමයි. වේග ස්කේටින් දීගු ධාවන පථයක් 400m වන අතර කෙටි ධාවන පථයක දුර 111.12m කි. ධාවන පථ දෙකම ඕවලාකාරය. ගෘහස්ථ තරග වන මේවායේදී අයිස් මත ලිස්සමින් (ස්කේට් කරමින්) වේගයෙන් ගමන් කලයුතුවේ. කෙටි ධාවන පථයක දී ඉක්මන් හැරවුම් ඇති නිසා මේ දෙකෙහි ධාවන තාක්ෂණයන් වෙනස්ය. කෙටි ධාවන පථයේ පැවැත්වෙන ඉසව් අටක් ඇති අතර 1500m  දුර ධාවන තරග පවා ඇතුලත්ය. රිලේ තරග කාන්තාවන් සඳහා 3000m වන අතර පිරිමි ඉසව්ව 5000m වේ.  වේගවත්ම තරගකරු හෝ කණ්ඩායම ජය ලබයි. මෙම කෙටි වීඩියෝව තත්පර 15 සිට බලන්න.

අතීතයේ අයිස් බවට පත්වූ ගංගා, ඇල මාර්ග හා විල් මත ප්‍රවාහන ක්‍රමයක් ලෙස ඇරඹි දිගු ධාවන පථ වේග ස්කේටින් ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස මුල සිටම පැවතුණි. පිරිමි හා කාන්තා ඉසව් 6 බැගින්ද, මිශ්‍ර ඉසව්වක්ද තරගාවලියට අඩංගුය.

8. කර්ලින්ග් Curling: කණ්ඩායමකට ක්‍රීඩකයන් හතරදෙනා බැගින් වන කණ්ඩායම් දෙකක් එකවිට තරග වදින ගෘහස්ථ ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාවේදී 19.96kg බර රවුම් කළු ගලක් අයිස් මත ඇති නියමිත වෘත්තාකාර ඉලක්කයකට යොමු කිරීම සිදුකරයි. එක ක්‍රීඩකයෙක් ගල යොමුකරන අතර අනෙක් ක්‍රීඩකයෝ දිග බුරුසු වැනි උපකරණ වලින් අයිස් පොලව මැදීමෙන් එය නියමිත ඉලක්කයට ගෙනයති. එක කණ්ඩායමක් කළුගල් අටක් යොමුකළ යුතු අතර ඉලක්කයෙන් දෙපස අන්ත දෙකේ සිටින කණ්ඩායම් දෙකට  මාරුවෙන් මාරුවට අවස්ථාව ලැබේ. තරගාවසානයේ ඉලක්කයට ආසන්නම ගල යොමුකළ කණ්ඩායමට  ලකුණක් ලැබේ.

9. ෆිගර් ස්කේටින් Figure Skating:  ෆිගර් ස්කේටින් වලදී නියමිත රටාවකට අලංකාර ලෙස අත් පා හසුරුවමින් නර්තන සැලැස්මක් අනුගමනය කරමින් අයිස් මත සංදර්ශනයක් පවත්වයි. ගෘහස්ථ හිම තටාකවල හිම මත පාවෙන්නාක් මෙන් නර්තන නෙත්සිත් පිනවන සුන්දරත්වයකින් යුතුය. කාන්තා හා පිරිමි අංශ දෙකෙන්ම ඒකල, යුගල හා සමුහ ලෙස ඔලිම්පික් ඉසව් පවතියි. නිර්ණායක පහක් මත ලකුණු ලබාදීම සිදුකෙරේ.

10. අයිස් හොකී Ice Hockey: කණ්ඩායම් ක්‍රීඩාවක් වන අයිස් හොකී ගෘහස්ථ ක්‍රීඩාංගනවල  hockey rink තුළ පැවැත්වේ. සම්පුර්ණයෙන් අයිස් බිමක ස්කේටින් සපත්තු පැළඳ අයිස් මත ලිස්සමින් සිදු කරන මෙම ක්‍රීඩාවේ එක පිලකට ක්‍රීඩකයෝ හයදෙනා බැගින් ක්‍රීඩා කරති. සෑම ක්‍රීඩකයෙක්ටම හොකි පිත්තක් ඇති අතර වල්කනයිස් රබර්වලින් තැනු විශාල කැරම් ඉත්තෙක් වැනි hockey puck පන්දුවක් මෙන් භාවිතා කර ගෝල ලබාගනී. කාන්තා හා පිරිමි ලෙස ඉසව් දෙකකි.

11. බොබ්ස්ලේ Bobsleigh: වංගු සහිත, පටු, කෙටි බැමි ඇති මාර්ගයක අයිස් මත ගුරුත්ව බලයෙන් ක්‍රියාකරන ස්ලෙඩ් උපකරණයෙන් වේගයෙන් ගමන් කරන ක්‍රීඩාවකි. ක්‍රීඩකයන් හෝ කණ්ඩායම් වෙන වෙනම තරග කරන අතර, වේග සැසඳීමෙන් ජයග්‍රහණ ලැබේ. කාන්තා හා පිරිමි තනි, ද්විත්ව හා හතරදෙනෙක් ක්‍රීඩා කරන ඉසව් ඇත.
පහත වීඩියෝවේ මුල් තත්පර 50 බලන්න.


12. ස්කෙලෙටන්  Skeleton:  ඉහල සිට පහලට බෑවුම්ව යන වංගු සහිත පටු  විශේෂිතව නිර්මාණය කරන ලද ලිස්සන අයිස් මාර්ගයක ඉතා වේගයෙන් ගමන් කරන ක්‍රීඩාවකි, ස්කෙලෙටන්. ලෝකයේ පළමු හිම මත ලිස්සායන ක්‍රීඩාව ලෙස සැලකේ. මෙහිදී ක්‍රීඩකයා ලිස්සන උපකරණය මත හිස ප්‍රමුඛව මුහුණ පහලට පිහිටන සේ දිගාවී 1500m වන වක්‍ර නැමුම් සහිත අයිස් පථයේ ඉතා වේගයෙන් ගමන් කරයි. තත්පර 1/100 දක්වා වේගය වාර්තා කෙරේ. සැමවිටම තනි ක්‍රීඩකයෙක් පමණක් එක වරකට ක්‍රීඩා කරන මෙහිද නියත දුරක් ගමන් කරන වේගය අනුව ජයග්‍රාහකයා තෝරයි.

13. ලූජ්  Luge: බොබ්ස්ලෙඩ් හා ස්කෙලෙටන් මෙන්ම තද බැස්මක් ඇති, වංගු සහිත, අනතුරුදායක පටු මගක වේගයෙන් ගමන් කරන තවත් ක්‍රීඩාවකි. ලුගර් නම් ලිස්සන උපකරණය මත උඩුබැලි අතට සිට, පාද ප්‍රමුඛව සිරුරේ අනිච්චානුග ප්‍රතික්‍රියා මගින් වේගය පාලනය කරමින් ගමන්  කරයි. ස්කෙලෙටන්හි මෙන්ම ක්‍රීඩකයා  සම්පුර්ණයෙන් නිරාවරණ හා අනාරක්ෂිත වන අතර තිරිංග කිසිවක් නැත. සිරුරේ බර පන්ති අනුව තරග පැවැත්වේ.  වරකට එක ධාවනය බැගින් සිදුකරන අතර, නියමිත දුර යාමට ගතවන කාලය අනුව දිනුම තීරණ වේ. ඒකල, යුගල හා මිශ්‍ර ඉසව් පහක් මෙවර උළෙලට ඇතුලත්ය.

14. ස්නෝබෝඩ් Snowboard:  සර්ෆින්ග්, ස්කේට්බෝඩ් හා ස්කී යන සියල්ලේ එකතුවක් දැකිය හැකි ක්‍රීඩාවකි. දෙපයට සවිකරන ලද පැතලි තනි ලෑල්ලක නැගී විවිධ මට්ටමේ කඳු පල්ලම් ඇති හිම පොලව මත සමබරතාවය රැකගනිමින් කඳු නගිමින්, හැරෙමින්, උඩ පැන කැරකෙමින්,  බිමට පතිත වෙමින් සිදුකරන ක්‍රීඩාවකි. විවිධ ආර අනුව ඉසව් 11කි. පනින උස, දුෂ්කර තාක්ෂණයන් භාවිතය, ධාවනයේ විවිධත්වය, ස්ථාවරභාවය හා ගලායාම, ප්‍රගතිය ආදී නිර්ණායක යටතේ විනිසුරු මඩුල්ලක් ලකුණු ලබාදේ.

පොදුවේ සලකා බැලූවිට ශීත ඔලිම්පික් ක්‍රීඩා, ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩාවන්ට වඩා අනතුරුදායක බව අධ්‍යයනවල දක්වා ඇත. අධි ශීතල කාළගුණයක කෙරෙන ක්‍රීඩා බොහොමයක අධික වේගයෙන් ගමන් කරන හා/හෝ  වැඩි කාලයක් අහසේ රැඳෙන ස්වභාවයක්  පෙනීයයි.  එහෙත් හිම හා අයිස් මත පරම්පරා ගණනක් ජීවත්වීමේදී ඇතිවූ ගැටලුවලට මුහුණ දුන් ආකාරය අනුව නිර්මාණය වූ මෙම ක්‍රීඩා ශීත රටවල ජිවිතයේ ආන්තික ගුණයන්ද දක්වනු වැන්න.


උදව්:
https://www.historyonthenet.com
https://en.wikipedia.org/wiki/Winter_Olympic_Games
http://time.com/5068205/winter-olympic-sports-pyeongchang-2018
https://www.olympic.org
https://frogtowncurling.org
https://theculturetrip.com/asia/south-korea/

5 comments:

  1. ශිශිරයේ ඔලිම්පික් මේ තරම් විසිතුරු බව දැනුනේ මේ ලිපියෙන්

    ReplyDelete
    Replies
    1. මේ ලිපිය ලියන්න වීඩියෝ එහෙම බලද්දී මටත් හරිම සුන්දරත්වයක් දැනුණා . මේ පාර වෙනදාටත් වඩා ආසාවෙන් බලන්න පුළුවන්. බොහොම ස්තුතියි දිරියට.

      Delete
  2. මේ පෝස්ටුව ගැන හිතලා නෙවේ මේ කියන්නේ සමස්ථය ගැන සිතා! අපූරු බ්ලොග් එකක්!

    ReplyDelete
    Replies
    1. අගයනු ලැබීම හිතට සතුටක් දෙනවා. ස්තුතියි

      Delete