Tuesday, 27 June 2017

ක්වික්සෑන්ඩ් Quicksand : විශ්වයේ චිත්තාකර්ශණීය සංසිද්ධි - 4

{Quicksand  සඳහා ගැලපෙන සිංහල වචනයක් ලෙස මලලසේකර ශබ්දකෝෂයේ සඳහන් වන්නේ ලා වැල්ල / බොරු වැල්ල ලෙසයි. විමසා බැලුවොත් ඒ වදන් හරියට නොගැලපෙන නිසා ක්වික්සෑන්ඩ් කියාම මේ ලිපියේ භාවිතා කරනවා.}
1961: Original caption: A terrified man is swallowed by quicksand.
 Image by © Bettmann/CORBIS
ඔබ ඇවිදගෙන යන පොළවක ඔබව එකවර එරිගෙන ගියොත් මොකද හිතෙන්නේ? එවැනි අවස්ථා චිත්‍රපටවල හා ටෙලිනාට්‍යවල දැකලත් ඇති. දුවගෙන හෝ ඇවිදගෙන යන මිනිසෙක් හෝ සතෙක් එකවර මඩක් වැනි තැනක ගිලි නොපෙනී යන දර්ශන දුටුවිට මේවා ඇත්තටම සිදුවිය හැකිදැයි මදක් සිතන්නටත් ඇති.

එවැනි තත්වයක් ඇතිවිය හැකි විශේෂ අවස්ථාවක් ස්වාභාවිකව සිදුවෙනවා. වැලි, මැටි හා ජලයෙන් සමන්විත සංඝට්ටනය වන මෘදු, තෙත ජෙලි තත්වයේ පවතින පසක් quicksand කියන බලගතු, ස්වභාවික සංසිද්ධිය ඇතිකරනු ලබනවා. එනම් ගිලී යාමේ ක්‍රියාව සිදුවීමට වැලි මැටි මිශ්‍ර පසකුත්, ජලයත් අවශ්‍යයි. අවශ්‍ය තත්ත්ව ලැබී මෘදු බවට පත්ව තිබෙන වැල්ල අනෙක් වැලි කොටසින් වෙන්කර හඳුනාගැනීම පහසු නැත. බර යමක් පතිතවන තෙක් එහි ස්වභාවය දැනගැනීමට හැකියාවක්ද නැත. මෙසේ මෘදුවන වැලිමැටි  පස මත පතිතවන  බර දෙයකින් යොමුවන පීඩනය හා කම්පනය නිසා වැලි වල තියෙන ඝන, ශක්තිමත් භාවයට ජලයෙන් ස්පන්ජි තරලමය ආකෘතියක් සැදීම නිසා (liquify ) පතිතවන ද්‍රව්‍යය මේ තුල ගිලා බසී.

මෙය අරුම වූ සංසිද්ධියක් වන්නේ එක් මොහොතක ඝනයක් වුවත් ද්‍රව ලෙස ක්‍රියා කිරීමත්, ඊළඟ මොහොතේ ද්‍රවයක් වුවත් ඝන ලෙස  ක්‍රියා කිරීමත්ය. හිතන්න, අනන ලද කොන්ක්‍රීට් මිශ්‍රනයක එරුණා වගේ. එරුණු පසු මිශ්‍රණයෙන් තදවිමක් ඇතිවෙනවා. ඇත්තටම පතිත වන ද්‍රව්‍යයේ බර මත තමයි ගිලෙන ප්‍රමාණය තීරණය වන්නේ. ඒ කියන්නේ බරට සමාන තරල ප්‍රමාණයක් තමයි උඩුකුරු තෙරපුම නිසා වි්ස්ථාපනය  වන්නේ. ක්වික්සෑන්ඩ්හි  විශේෂත්වය එය සිදුවන වේගයයි. නොහිතන වේගයකින් එරීයාම සිදුවිය හැකියි.
quicksand වලට හසුවූ වාහනයක් 

සාමාන්‍යයෙන් ගංගාධාර, ගං නිම්නවල, වැව්, විල් අසල, මුහුදු වෙරල ආසන්නයේ, ලවනහැල් වල සිදුවුවත්, අවශ්‍ය  තත්වයන් ලැබුනහොත් මෙය ලෝකයේ කොතැනක වුවත් සිදුවිය හැකි දෙයක්. සුනාමිය අවස්ථාවේ පැරෑලිය අසල මෙවැනි තත්වයක් ඇතිවූ බව ඒ දිනවල කතාබහ වුනා. ජපානයේ 1964 ඇතිවූ භුමිකම්පාවකදී විශාල ගොඩනැගිල්ලක් quicksand නිසා පොලවට ගිලා බැස්ස බව වාර්තා වෙනවා. පොලව යටින් යන ජලනල, මලනල ආදිය පුපුරා පොලව තුල ද්‍රව ගතිය වැඩිවූ විටත් මෙය සිදුවිය හැකියි.

වසර සිය ගණනක් මුළුල්ලේ මිනිසුන් සිතුවේ quicksand වලට විශේෂිත උරාගැනීමේ බලයක් තිබන බවයි. අහම්බෙන් මේ මත තබන පියවරකින් පොලවට එරී යාමේ ප්‍රවනතාවයක් තියෙන නිසා මේ සංසිද්ධිය මිනිසුන් බිය ගැන්වුවා විය හැකියි. එහෙත් මෙය සමහර හොලිවුඩ් චිත්‍රපට හා කාටුන් වල පෙන්වන ආකාරයට මිනිසුන් සම්පුර්ණයෙන් ගිලි මරණයට පත්කළ හැකි වගුරක් නොවේ. මිනිසෙක්ගේ සාමාන්‍ය බරට ගිලෙන්නට හැක්කේ පපුව මට්ටමට පමණයි. සතෙක්ගේ වුවත්
හිස නොපෙනී යනතෙක් ගිලීයාම සිදුනොවේ. ඇත්තෙන්ම සතුන් හා මිනිසුන් මරණයට පත්වන්නේ කලබලයට පත්වීම නිසා තව දුරටත් එරිමෙන් පසු ගොඩ ඒ ගත නොහැකි වීමෙන් කුසගින්න, විජලිකරණය හා වඩදිය රළට යට වීමෙන් හෝ සෙලවෙන්නට බිය නිසා කිසිදු උත්සහයක් නොදරා උදව්වක් එනතෙක් බලා සිටිමෙනුයි.
මෙලෙස quicksand වලට හසුව, වැලි මත තදවීම නිසා කාලගුණයෙන් හා අනෙක් උවදුරුවලින් මිදී හොඳින් සුරැකුණු ඩයිනසෝරයන් හා ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් සතුන්ගේ මල සිරුරු හා පොසිල හමුව ඇත.

අනතුරු සංඥාවක් 
Quicksand ගැන අධ්‍යනය කරන විද්‍යාඥයන් පවසන්නේ එරුණු කෙනෙක් කලබල නොවීමෙන් මේ වගුරෙන් ගැලවීම ලෙහෙසි බවයි. තමන් කලබල වී බලය යෙදෙන තරමට එරෙන ප්‍රමාණය වැඩිවන අතර, කොන්ක්‍රීට් මෙන් තදවන ප්‍රමාණය ද වැඩිවේ.

පළමුව කළ යුත්තේ තමා සතු ඉවත් කළහැකි බර සියල්ල ඉවත් කිරීමයි, බැග්, බර ඇඳුම් පමණක් නොවේ, ශක්තියක් ලෙස අල්ලාගෙන සිටින්නට හිතෙන මුගුරක් පවා ඉවත දැමිය යුතුයි. මිනිස් සිරුරේ බර වැලිවල බරට වඩා අඩු නිසා හැකිතාක් සිරුර ලිහිල් කර, අත් හා පා විහිදුවා ඇඟේ ක්ෂේත්‍රපලය වැඩි කිරීමෙන් වැලිමත යෙදෙන පීඩනය අඩු කලයුතුය. පිට මත සමතලාව දිගාවිමට උත්සහ කළ යුතුයි. සිරුර මතුපිටට ආ පසු, සෙමෙන් සැහල්ලු පිහිනීම් වැනි චලනයන්ගෙන් වගුරෙන් එලියට ආ යුතුය.

එක අවස්ථාවක ඇමරිකාවේ කොලරාඩෝ ගඟ අසබඩ සමීක්ෂණයක යෙදෙමින් සිටියදී එරුණ විද්‍යාඥයෙක්ට quicksand මීටර් තුනකින් පිහිනා එගොඩ වීමට පැය අටක් ගතවූ බව වාර්තා වෙනවා..
මේ වීඩියෝව බලන්න. අන්තර්ජාලයේ quicksand ලෙස search කළහොත් වීඩියෝ කිහිපයක් දැකගත හැකියි.

උදව්:
www.slate.com
www.damninteresting.com
www.todayifoundout.com
www.wikihow.com/Get-out-of-Quicksand

Sunday, 18 June 2017

ගහක් පුස්තකාලයක් වූ හැටි

ඇමරිකාවේ සාරා සැන්ඩර්ස් අවුරුදු ගණනකට කලින් ලොකු ගෙයක් ගත්තේ ගෙය ඉස්සරහට වෙන්න තිබුණු පැරණි විශාල සිඩාර් ගස් ගොන්නට ආශාවෙන්. අතුපතර විහිදිලා පරිසරයට අමුතුම අලංකාරයක් එක්කරපු අවුරුදු 100කටත් වඩා පරණ ගස් ගෙදරට අමුතු ආලෝකයක් එකතු කළා.
සිඩාර් ගස් හිමාලයේත්, මධ්‍යධරණී ප්‍රදේශවලත් උපත  ලැබු, ලෝකයේ බොහෝ දේශගුණික තත්වයන්ට ඔරොත්තු දෙමින් අඩි 3 සිට 25 පමණ දක්වා උසිනුත්, වසර සිය ගණනක් දක්වා කාලයකුත් වර්ධනය විය හැකි ශාකයකි. 
රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවත්, තෙතමනය සහිත ස්වභාවය හේතුවෙන් ගිනි ගැනීමේ අවදානමක් නොමැතිවීමත් නිසා මෙය වටිනා ශාකයකි. පරිසරයට සිසිලක් එකතු කරන වැඩුණු ගස්වල කඳ මිහිරි සුගන්ධයකින් යුක්තයි. ස්වාභාවිකව නිපදවෙන ශාක තෙල් සුවඳට කෘමින් හා දිලිර ප්‍රිය නොකරන නිසා මෙම ගස් දිරාපත් වන්නේ කලාතුරකිනි. මෙයින් ලබාගන්න තෙල් අතීතයේ සිටම සුගන්ධකාරකයක් ලෙස භාවිතා කර ඇත. සිරුරු මමිකරන ක්‍රියාවලියේ දීත් සිඩාර් තෙල් භාවිතා කර ඇත. ඇමරිකාවේ ආදිවාසීන් විවිධ දේ සඳහා මෙම ශාකය උපයෝගී කරගෙන තිබේ.  බෝට්ටු, ආයුධ, ගෙදරදොරේ උපකරණ, ඇඳුම් නිපදවීමට මෙන්ම දැව සඳහා ද යොදාගෙන ඇත. මෙම දැවයෙන් සාදන භාණ්ඩ ඉතා දිගුකලක් පවතින නිසා නිවෙස් සැදීමට හා සෙවිලි කිරීමටත් යොදාගෙන ඇත. කිසිදු කොටසක් ඉවත නොදමන කප්රුකක් ලෙස සිඩාර් ශාකය ඔවුන් යොදවාගෙන තිබේ. 
සොලමන් රජු ජෙරුසෙලමේ ඇති කෝවිල සැදීමටත්,  මහා ඇලෙක්සැන්ඩර් රජු නැව් සෑදිමටත් සිඩාර් ලෑලි උපයෝගී කරගෙන ඇත. දැනට පැන්සල් හා ගෘහ භාණ්ඩ සැදීම සිදු කෙරෙයි.

මෙතරම් වටිනා හා පැරණි ශාක නිවසටත් ආඩම්බරයක් ලෙස තිබියදී සාරාට ප්‍රශ්නයකට මුහුණ දෙන්නට සිදුවිය. වසර 110ක් පැරණි මෙම අලංකාර යෝධයන්  ඇතුලතින් නරක්වීමට පටන් ගති. අත්තක් කඩා වැටීමත් සිදුවිය. ජනයා ගැවසෙන ප්‍රදේශවල තිබෙන මෙවැනි විශාල ගස් ගැන අවධානයෙන් සිටින නගර සභාව, තව දුරටත් නොවැඩෙන  දිරාපත්වන ලක්ෂණ පෙන්නුම් කරන මෙම ගස, යන එන මිනිසුන්ගේත් සාරා ගේ නිවසේ හා ගෙවත්තෙත් ආරක්ෂාව පිණිස කපා දමන ලෙස ඉල්ලා සිටියේය. 

ඉතා දුකින් වුවත් මියයමින් පවතින ගස් දෙකක්  ඉවත් කිරීමට  තීරණය කිරීමට සාරා ට සිදුවිය. දිරා වැටී තවත් කෙනෙකුට අනතුරක් සිදු කරනවට වඩා ඉක්මනින් මෙය ඉවත්කර, ප්‍රයෝජනවත් කාර්යයකට යොදවා ගැනීමට සාරා කල්පනා කළාය. ඇය ඉතාම ආදරය කරන මෙම ගස් ලීවලට හෝ දරට විකිනීම වැනි සරල අදහසකට වඩා වෙනස් වූ, සැමට ප්‍රයෝජනවත් දෙයකට යෙදවීමයි ඇගේ අරමුණ වුයේ.
මොකක්ද ඇගේ අරුමැති අදහස? 
ඇගේ වචනවලින්ම කිවහොත් " මම කලෙක ඉඳලම කුඩා පුස්තකාල ගැන කැමැත්තෙන් හිටියේ. මම හිතුව ගේ ඉස්සරහ ගහ තියන තැන පුස්තකාලයක් බවට පත්කිරීමට හොඳම තැන කියල." 

ගස කපා දැමුවත් මුල් මගින් පස ආරක්ෂාවෙන නිසා දිරාපත්වන තැනින් පහලට ගස් කපා දමන්නේ නැහැ. මේ නිසා සාරා ගේ සිඩාර් ගසේ පොලවේ සිට අඩි 12ක් පමණ ඉහලට ඉතිරි වෙන ලෙසයි ගස කැපීම සිදුවුයේ. 
පුස්තකාල අදහස ක්‍රියාත්මක කිරීමට සාරා තෝරා ගත්තේ ලීවලින් අපුරු නිර්මාණ කරන නිර්මාණ ශිල්පියෙක් වන ලැරී කාටර් වයි. කපා දැමු ගස්වලින් විවිධ නිර්මාණ කර තිබුනත් පුස්තකාලයක් සැදීමේ අරුම අදහස ඔහුට අභියෝගයක් විය. සිදු කරන්නේ කෙසේදැයි නිශ්චිත අදහසක් නොමැතිව වුවත් ඔහු එම අභියෝගය භාර ගත්තේ සතුටිනි. 
ගසේ ඉවත් කළ කොටස් වෙනත් නිර්මාණකරුවන්ට අලෙවිකරන අතරතුර ඔවුන්ගෙන් අදහස් ලබාගැනීම සිදුවිය. අවසානයේ පුස්තකාලය නිර්මාණය කරන අයුරුත්, ගසේ ඉතිරි කොටස් ඊට නවමු අලංකාරයක් එක් කරන වෙනස් ආකාර නිර්මාණවලට යොදවන සැටිත් පිලිබඳ දල අදහසකින් ඔහු නිර්මාණය ඇරඹිය. අවසානය කිසිවෙකුත් හිතුවට වඩා අපුර්ව ආකාරයේ එකක් විය. 

ගසේ ඉතිරි කොටස්වල ලොකු, කුඩා සතුන්ගේ පිළිරූ නිමවා ඔවුනට නම් දීමද සිදුකෙරුණි. සාරා ඈ සතුව තිබී පොත් දුසිම් ගණනක් එහි තැන්පත් කර අරමුණ සඳහන් කළාය. "එක පොතක් ගන්න. එක පොතක් තියා යන්න."
මේ අපූර්ව පුස්තකාලය ඉතා ඉක්මණින්
සියලු දෙනාගේ අවධානය ලබාගත් ස්ථානයක් විය.
 දවස පුරාම එහි පැමිණ නරඹන අයත්, පොත් හුවමාරු කරගන්නා අයත් සුලභ දසුනක් විය.
"මගේ පොත් ටිකවත් ඉතුරු වෙයිද කියන සැකය මුලදී තිබුණා. පොත් කියවීම අඩු මේ වගේ කාලයක සාර්ථක වෙයිද කියල එතරම් විශ්වාසයක් තිබුනේ නැහැ. ඒත් හිතුවටත් වඩා සාර්ථකව මෙය පරිහරණය කරන අය වැඩිවෙලා. සමහර වෙලාවට රාත්‍රියේ පවා විදුලි පන්දම් එළියෙන් පොත් පරික්ෂා කරන අය දකින්නට ලැබෙනවා". සාරා සතුටින් කියයි. 
කාටර් ස්වේච්චාවෙන්ම මසකට වරක් පැමිණ විවිධ තේමාවෙන් යුතු වූ තේමා පාඨ චාලි ලෙස නම්කළ විශාල වලසා අත තබා යන්නට අමතක කරන්නේ නැත. 
තමන් ආදරය කල ගස නැතිවීම තවමත් සාරා ට දුකක් වුවත්, ඇගේ දේපල තම ප්‍රජාවට යහපතක් වන ලෙස යෙදවීමට හැකිවීම ගැනත්, ආදරණිය ගස අලුත්ම පරිච්ඡේදයක් ඇරඹීම ගැනත් ගැන ඇය ප්‍රමෝදයට පත්ව සිටින්නීය.

උදව්: 
mostexitingplanet.com 
ellis.tyi/blog 
www.aboutcedartrees.com

Friday, 9 June 2017

පැරණි මොන්ට්‍රියල් නුවර Old Montreal: කැනඩාවේ සුවිශේෂ ස්ථාන 7

සාපේක්ෂව අලුත් රටක් වන කැනඩාවේ පැරණි නගරයක් ලෙස සඳහන් වන්නේ  අවුරුදු 300ක පමණ ඉතිහාසයක් ඇති නගරයි. 1642 දී ප්‍රංශ සංක්‍රමණිකයන් කිහිප දෙනෙක්ගේ පැමිණීමෙන් ජනාවාස වීම ඇරඹුන මොන්ට්‍රියල් නගරයේ දකුණු කොටසට වන්නට පිහිටි ඓතිහාසික කොටස Old Montreal ලෙසයි  හැඳින්වෙන්නේ.
මුලින් ප්‍රංශයට අයත් නගරයක් ලෙස ගොඩ නැංවී, 1760 දී බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වූ නිසා 18 සියවසට අයත් ප්‍රංශ තේජස්වී පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පය සහිත ගොඩනැගිලි හා 19 වන සියවසේ වික්ටෝරියානු සම්ප්‍රදායේ ඓතිහාසික වාණිජ ගොඩනැගිලි එකවර දැකගත හැකි ස්ථානයකි, පැරණි මොන්ට්‍රියල් නගරය.
බොහෝ දුරට පැරණි බව රැකගෙන සිටින මේ නුවර කඩ සාප්පු, බැංකු, කෞතුකාගාර, කලාගාර, සම්ප්‍රදායික හා නවීන ආපනශාලා මෙන්ම China Town එකක්ද ඇත. සම්පුර්ණ බිම හා පාරවල්  විශාල ගල් Cobble stone මගින් සැකසී ඇත.
මේ අතුරින් ඓතිහාසික ස්ථාන කිහිපයක් විස්තර කලොත්,
1. නගරය උපන් ස්ථානය Point-a-Callere : නගරයක් ආරම්භ කළ ස්ථානයක් සොයාගැනීම ලෝකයේම විරල
දෙයක්. මෙම නගරයට මුලින්ම ප්‍රංශ ජාතිකයන් ගොඩ බැස්ස ශාන්ත ලෝරන්ස් ගඟ අතු ගංගාවකට සම්බන්ධ වන ස්ථානය නගරයේ උපත සිදුවූ තැන ලෙස සිහිවටන ඵලකයක් හා කෞතුකාගාරයක් පිහිටවා ඇත. (ඔව්, ඊට පෙර ඇමරිඩියන් නම් ආදී වාසින් අවුරුදු දහස් ගණනක් ජිවත්ව සිට ඇත).


2. Place d'Armes : මොන්ට්‍රියල් නගරයේ අලංකාරම මහජන චතුරශ්‍රය
මෙයයි. නොට්ර් ඩෑම් බැසිලිකාව, පැරණි බැංකුව ඇතුළු පැරණි ගොඩනැගිලි වලින් වටවී ඇති මෙම ස්ථානයේ බිමත් සම්පුර්ණයෙන්ම ගලින් සාදා ඇත. මුල්ම සංක්‍රමණිකයා ඇතුළු තවත් අයගේ ප්‍රතිමා තැන තැන පිහිටුවා ඇති චතුරශ්‍රය වටා ඇති පටු දැකුම්කලු මාවත්වල එකල්හි බඳු අශ්ව කරත්ත ගමන් කරති. මොන්ට්‍රියල් හි පළමු උස තට්ටු ගොඩනැගිල්ලද මෙහි පිහිටා ඇත. 1888දී අලුත්ම දෙයක් වූ සෝපාන සහිත මෙය නිව්යෝක් ලයිෆ් ගොඩනැගිල්ල ලෙස හැඳින්වේ. (මුල්ම පින්තුරයේ දුඹුරු පැහැ ගොඩනැගිල්ල)

3. Notre-Dame බැසිලිකා පල්ලිය.: උස් සීලිම්, අසාමාන්‍ය ලෙස වර්ණවත් විදුරු හා අතිශය අලංකාර
ගොතික් කලා දක්නට ඇති මෙය 1824 ඉදිවූවකි. 1870දී නැවත වික්ටෝරියානු ක්‍රමයට අලංකාර කරන ලද මෙම පල්ලිය රමණිය ස්ථානයක්. ටයිටැනික් ගිය ගැයූ කැනේඩියානු ගායිකා සෙලින් ඩියෝන් ගේ විවාහය සිදුවූ ස්ථානය ලෙසද ප්‍රසිද්ධයි. (මුල්ම පින්තුරයේ උස කුළුණු දෙකක් ඇති ගොඩනැගිල්ල)

4. මොන්ට්‍රියල් නගර ශාලාව: එම්ප්‍රදෝරු ආකෘතියට අනුව 1872 දී සැදු ගොඩනැගිල්ලේ වටේ බිත්ති හැර සියල්ල 1922 මහා ගින්නෙන් විනාශ විය. එම නටබුන් ඇතුලතින් නැවත ප්‍රංශයේ City of Tours ආකෘතිය අනුව නව ගොඩනැගිල්ලක් තැනුනි.

5. කැනඩාවේ පළමු බැංකුව Bank of Montreal :උස් කුළුණු අතරින් පිවිසිය හැකි පැරණි අලංකාර
ගොඩනැගිල්ලේ ඇතුලතට ගොස් නැරඹීමටද හැකිය. මෙහි 19 වන සියවසේ බැංකු කටයුතු සිදුවූ ආකාරය සැබෑ ලෙස නිරුපනය කරන කෞතුක අංශයක් ඇත.

6.පැරණි වරාය: අතීතයේ සිට බෝට්ටු, අඟුල් හා ඔරු නැවැත්වූ, වෙළඳ ගණුදෙණු, විශේෂයෙන් ලෝම වෙළඳම සිදුවූ ස්ථානයයි. ඇතින් Jaques යකඩ
පැරණි වරාය.
පාලම දර්ශනය වේ.

1765දී  නගරය බ්‍රිතාන්‍යයන් යටතේ ගොඩනැංවීගෙන එන කාලයේ මහා ගින්නකින්, අනාථ ළමුන් සඳහා වූ නිවාසයක් ඇතුළු ගොඩනැගිලි ගණනාවක් විනාශ වී ඇත. නැවත 1852 ඇතිවූ මහා ගින්නට නගරයෙන් භාගයක් පමණ ගොදුරු වී ඇති අතර මිනිසුන් දසදහසකට පමණ නිවෙස් අහිමි වී තිබේ.

 සෑම මාවතකම පාහේ පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව සෑදු නිවාස හා වාණිජ කටයුතු සඳහා භාවිතා කළ හා කරන ගොඩනැගිලි දකින්නට ලැබේ. මුර්ති, කැටයම් සහිත බිත්ති, ගෑස් ලාම්පු, වාර දෙකකදී සිදුවූ මහා ගිනි වලින් බේරුණු හෝ නැවත ප්‍රතිසංස්කරණය කරන ලද පල්ලි, නිවස හා ගොඩනැගිලි සංචාරක ආකර්ෂණය ලබයි.
වාණිජ ගොඩනැගිලිවල ප්‍රදර්ශන කවුළු 
ගල් ඇතිරූ පටු මාවත් 



ගිම්හානයේ ඉර බැසීම පමා සැන්දෑවක නගරයේ ගල් ඇතිරූ අලංකෘත මාවත් දිගේ, සුමුදු සුළං සුව විඳිමින් ගැවසෙන සෙනග අතර, මේ ප්‍රියමනාප ගෘහ නිර්මාණ ශිල්පයේ සුන්දරත්වය අතරින්, මලින් සැරසු අශ්ව කරත්ත නරඹමින් ඇවිද යා හැකි පැරණි මොන්ට්‍රියල් පරිසරය, අමුතුම ආකාරයේ ආශ්වදනිය අත්දැකීමක් ලබා දෙයි.

උදව්:
http://www.shorttrips.ca
montrealgazatte.com
China Town
බිත්ති මියුරල්