Thursday 30 July 2020

බේකින් සෝඩා වලින් කොලපාට වීම

පරිසරය ගැන බෙහෙවින් කතාවෙන, සැලකිලිමත් වෙන මේ කාලයේ go green කියන්නේ ජනප්‍රිය සංකල්පයක්. සාමාන්‍යයෙන් turning green කියන්නේ කවුරුහරි ගැන ඉරිසියා හිතුනම. දැන් ග්‍රීන් වෙනවා කියන්නේ පරිසර හිතකාමී වෙනවා කියන එකයි. 

ගෙදරදොරේ කටයුතුවලදී පරිසර හිතකාමී වීම ගැන තදින් හිතන්න වෙන්නේ වෙළඳපොලේ තියන විවිධ රසායන ද්‍රව්‍ය අපි නොදැනුවත්වම ගෙදරට ගොඩවදින නිසයි. එදිනෙදා පිරිසිදුකිරීම් වලට තියන නිෂ්පාදන ගැන හිතුවම වලන් පිඟන් සෝදන්න, කුස්සිය, නාන කාමරය, වැසිකිලිය පවිත්‍ර කරන්න වෙන වෙනම පවිත්‍රකාරක මොන තරමක් විවිධ මිල ගණන්වලට තියනවද? මේ බොහෝ දේවල් ඉතා අඩු මිලකට තියන බේකින් සෝඩා වලින් කරගන්න පුළුවන් කියල ඔබ දන්නවද? 

Baking Soda කියන්නේ මොනවද? එය රසායන ද්‍රව්‍යයක් නෙමෙයිද? 
බේකින් සෝඩා අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ ආහාර නිෂ්පාදනයේ පිපුම් කාරකයක් විදියට.
රසායනික නම සෝඩියම් බයි කාබනේට්. සංඛේතය NaHCOვ.
බේකින් සෝඩා ස්වභාවික දෙයක්. සෝඩා අළු ලෙස හුණුගල් වගේ පාෂාණ කඩාගන්න තියනව. විද්‍යාගාරයක ඇමෝනියා තුලින් කාබන්ඩයොක්සයිඩ් යැවීමෙන් හදන්නත් පුළුවන්. ස්වභාවික, පිරිසිදු, ආරක්‍ෂිත කුඩු වර්ගයක් බේකින් සෝඩා කියන්නේ.
මතක තියාගන්න බේකින් පවුඩර් කියන්නේ වෙන ද්‍රව්‍යක්. එය හදන්නත් බේකින් සෝඩා භාවිතා කරනවා. නමුත් ගතිගුණ පොඩ්ඩක් වෙනස් නිසා ආහාර පිළියෙළ කරන්න විතරයි බේකින් පවුඩර් හෙවත් සෝඩියම් කාබනේට් ගන්නේ. 

පාන්, කේක් හදන්න නැතිවම බැරි බේකින් සෝඩාවල වෙනත් භාවිතා බලමු. පරිසර හිතකාමී පිරිසිදුකාරකයක් ලෙස වගේම දුගඳ උරාගන්නා දෙයක් ලෙසත්, ඖෂධයක් ලෙසත් පාවිච්චි කරන්න පුළුවන්. 

මුළුතැන්ගෙයි භාවිතය 
  • පිපුම් කාරකයක් ලෙස ආහාර පිළියෙළ කිරීමේදී.
  • එළවලු හා පලතුරුවල පොත්තේ ඉටි ගතිය හා රසායන ද්‍රව්‍ය ඉවත් කිරීමට: බේකින් සෝඩා හා දෙහි යුෂ දැමු ජලයේ පලතුරු ගිල්වා විනාඩි 10ක් පමණ තැබීමෙන් කෘමිනාශක, වල්නාශක හා ඉටි ඉවත්වේ. 
  • ශීතකරණයේ දුගඳ නැතිවීමට: කුඩා විවෘත බඳුනක දමා ශීතකරණයේ පහලම තට්ටුවෙන් තබන්න. මාස දෙකකට වරක් මාරු කරන්න.  
  • අඩිය ඇල්ලු වළං සේදීමට: බේකින් සෝඩා අඩිය ඇල්ලු තැන විසිරුවා ටික වෙලාවකින් ස්පොන්ජ් එකකින් පිසදමා සෝදන්න. තදට තට්ටුවක් මෙන් බැඳී ඇත්නම් බේකින් සෝඩා දමා, එය
    වැසෙන්නට තරම් ජලය දමා ජලය උණු කරන්න. ඉන්පසු ජලය ඉවත්කර හොඳින් අතුල්ලන්න.(ස්පොන්ජ් එකක් කිව්වට පොල්මුඩු, කොහු බ්‍රෂ්, scouring pad උපයෝගී කරගන්න පුළුවන්).   
  • කෝප්ප හා තේ පිලියෙල කරන උපකරණවලවල තේ, කෝපි කහට යැවීමට: ස්පන්ජ් එකකට බේකින් සෝඩා දමා යන්තම් වතුර දමා පිස දමන්න. තදට  කහට බැඳී ඇත්නම් බේකින් සෝඩා දැමු ජලය දමා රැයක් තබා සෝදන්න. 
  • Counter top පවිත්‍ර කිරීමට: වියලි බේකින් සෝඩා විසිරුවා තෙත ස්පොන්ජ් එකකින් පිසදමා ජලය යොදා පිරිසිදු කරන්න. 
  • ලෝහ ලිප් පිරිසිදු කිරීමට: වියලි බේකින් සෝඩා උදුන මතට දමා ටික වෙලාවකින් තෙත ස්පොන්ජ් එකකින් පිස දමන්න. තද පැල්ලම් ඇති තැන්වල වැඩිපුර දමන්න.
  • උදුන් පවිත්‍ර කිරීමට: විනාකිරි කෝප්පයක් හා දෙහි යුෂ කෝප්ප 1/2ක් ස්ප්‍රේ බෝතලයකට දමා අවන් එකේ රැක් ඉවත්කර අවන් පතුලට සහ දොරට ස්ප්‍රේ කරන්න. විනාඩි 10ක් පමණ තබා, ඒ මත බේකින් සෝඩා විසිරුවන්න. තවත් විනාඩි 10ක් තබා හොඳින් පිස දමන්න. තෙත රෙද්දකින් නැවත පිස දමන්න. රැක්, බේකින් සෝඩා දැමු ස්පොන්ජ් එකකින් පිසදමන්න. 
  • මයික්‍රෝවේව් උදුන් පිරිසිදු කිරීමට: මයික්‍රෝවේව් තුල දැමිය හැකි bowl එකක් ගෙන වතුර කෝප්පයක් දමා බේකින් සෝඩා මේස හැන්දක් දමන්න. බඳුන නොවසා ඇතුලට දමන්න. මිනිත්තු තුනක් පමණ ක්‍රියාකරවන්න. වියලි මයික්රෝෆයිබර් රෙදිකඩක් ගෙන උදුන තුල සහ දොර හොඳින් පිස දමන්න. 
  • මල නොබැඳෙන වානේ සහ සෙරමික් සින්ක්, ලෝහ සහ ප්ලාස්ටික් ටැප් සේදීමට: බෙකින්සෝඩා සින්ක් එක සහ ටැප් මත විසිරුවා හැර තෙත ස්පොන්ජ් එකකින් අතුල්ලන්න. 
  • සින්ක් එකෙන් ජලය පිටතට යන drain පිරිසිදු කිරීමට: බේකින් සෝඩා මේස හැන්දක් ඩ්රේන් සිදුරට දමා ටිකකින් විනාකිරි මේස හැන්දක් දමන්න. zzzz  හඬ අවසන් වූ පසු උණුසුම් ජලය කෝප්ප තුන හතරක් වත්කරන්න. 
  • රිදී හැඳි ගැරෙප්පුවල දීප්තිය ලබාගැනීමට : ඇලුමිනියම් බඳුනක් හෝ වෙනත් බඳුනක ඇලුමිනියම් ෆොඉල් එකක් අතුරාගෙන හැඳි ඒ මත තබන්න. බේකින්සෝඩා මේස හැන්දක් ඒ මතට දමා, විනාකිරි මේස හැඳි දෙකක් එක්කර, උතුරන  ජලය කෝප්පයක් දමන්න. මිනිත්තුවක් පමණ තබා හැඳි ඉවත්කරගන වියලි රෙදි කඩකින් පිස දමාගන්න. 
  • තෙල් සහිත භාජන, ප්ලාස්ටික් බඳුන් පිරිසිදු කිරීමට: භාජනය තුල බේකින් සෝඩා තට්ටුවක් දමා ස්වල්ප වෙලාවක් තබා තෙත ස්පොන්ජ් එකකින් අතුල්ලා සෝදාගන්න. තෙල් ඉවත්වනතෙක් නැවත කරන්න. ප්ලාස්ටික් හැඳි හා අනෙක් ප්ලාස්ටික් බඳුන්ද මෙලෙස පිරිසිදු කරන්න පුළුවන්. 
  • Cutting board පිරිසිදු කිරීමට: බෝඩ් එක මත බේකින් සෝඩා විසිරුවා විනාඩි කිහිපයක් තබා තෙත බ්‍රෂ් එකකින් අතුල්ලා, හොඳින් සෝදා හරින්න.
  • ස්පොන්ජ්වල ගඳ ඉවත් කිරීමට: බේකින් සෝඩා මේස හැන්දක්  දෙකක් වතුර කෝප්ප දෙකකට දමා එහි ස්පොන්ජ් ගිල්වා පැයක් පමණ තබන්න. පිටතට ගෙන හොඳින් වතුර දමා මිරිකා හරින්න. 
  • පැන්ට්‍රි කබඩ් සේදීමට: බඳුනකට බේකින් සෝඩා සහ පොල්තෙල් 2:1 අනුපාතයට දමා එම මිශ්‍රණය කබඩ් මත අතුල්ලන්න. රෙදි කැබැල්ලකින් හෝ පේපර් සර්වියට්වලින් හොඳින් පිස දමන්න. 
  • මුළුතැන්ගෙයි කුණු දමන බඳුනේ පතුලට ස්වල්පයක් ඉසින්න. දුගඳ පැතිරෙන්නේ නැත.
නාන කාමරය සහ වැසිකිලිය සඳහා බේකින් සෝඩා 
  • දත් බුරුසු: සතියකට වරක් බේකින් සෝඩා මේස හැන්දක් දැමු ජලය කෝප්පයක රැයක් ගිල්වා තබන්න. 
  • කමොඩ් එකට: කමොඩ් එක තුලට සහ පිටතට බේකින් සෝඩා විසිරුවා ටික වෙලාවක් තබා බ්‍රෂ් එකකින් හොඳින් මදින්න. ටොයිලට් සීට් මදින්නත් හොඳයි.  ජලයෙන් සෝදා හරින්න. 
  • wash basin සහ tub : වියලි බේකින් සෝඩා කුඩු විසිරුවා තෙත ස්පොන්ජ් එකකින් මදින්න. ජලය යොදා සෝදන්න. 
  • ග්රවුට් පිරිසිදු කිරීමට: බේකින් සෝඩා සහ විනාකිරි මිශ්‍රකර, පරණ ටුත් බ්‍රෂ් එකකට ස්වල්පය බැගින් ගෙන, ටයිල් අතර තියන ග්රවුට් මදින්න. හොඳින් සෝදා හරින්න. 
  • ටයිල් බිත්ති සහ ටයිල් පොලව පිරිසිදු කිරීමට: තෙත ස්පොන්ජ් එකකට බේකින් සෝඩා ගෙන, වියලි බිත්ති මදින්න. බ්‍රෂ් එකකින් අතුල්ලමින් හොඳින් සෝදා පරණ පිරිසිදු වියලි තුවායකින් පිස දමන්න. බිම ටයිල් මතට බේකින් සෝඩා දමා වතුර ස්ප්‍රේ කරනන. හොඳින් අතුල්ලා  මුළු බිමම හොඳින් මොප් කර, වියලාගන්න. 
  • ටැප්, ලෝහ හැන්ඩ්ල්, ෂවර් පිරිසිදු කරන්නත් බේකින් සෝඩා උපයෝගී කරගන්න. 
රෙදි සේදීම් සඳහා 
  • සුදු සහ ලා වර්ණ ඇඳුම් සේදීමේදී බේකින් සෝඩා ස්වල්පයක් වතුරට එකතු කිරීමෙන් වැඩි දීප්තියක් හා සුදු පැහැයක් ඇතිවෙනවා වගේම හොඳ සුවඳකුත් ලැබෙනවා.
  • තෙල්, කහට, දහදිය, ලේ පැල්ලම් ඉවත් කරන්නත් යොදාගන්න පුළුවන්. රෙදි සෝදන යන්ත්‍රයක් භාවිතා කරනවානම් යන්ත්‍රයට දාන්න පෙර පැල්ලම් ඇති තැන බේකින් සෝඩා ටිකක් දමා අතුල්ලනන. 
  • ළදරුවන්ගේ නැපි සහ ඇඳුම්වල මල මුත්‍ර ගන්ධය ඉවත් කරන්නත් බේකින් සෝඩාවලට හැකියාව තියනව. සේදීමෙන් පසු ළදරු සමට අසාත්මිකතා ඇති කරන්නේ නැහැ.
බුමුතුරුණු, කාපට්, පාපිසි  සඳහා 
  • බුමුතුරුණු වල ආහාර පාන වැටුණු පල්ලම් ඇත්නම් විනාකිරි ටිකක් දමා ඒ මත බේකින් සෝඩා ඉසින්න. බුබුළු දැමීම නතරවූ පසු වියලි රෙදි කැබැල්ලකින් තෙත හින්දවා වැකුම් කරන්න.
  • වමනය දැමීමක් වුවහොත් ඒ මත වැසෙන්නම බේකින් සෝඩා දමා පරණ තුවායකින් වසා පැය කිහිපයක් තබන්න. වියලුනු කොටස් පිසදමා ඉවත්කර වැකුම් කරන්න. දුගන්ධයක් ඉතිරි නොවේ.
  • තෙල් හෝ ග්‍රීස පැල්ලම් මතට බේකින් සෝඩා දමා මිනිත්තු 15ක් පමණ තබා  ඒවා උරාගත් පසු වැකුම් කරන්න.
  • පාපිසි පිරිසිදු කරන්නත්, වාහනවල කාපට් පිරිසිදු කරන්නත් යොදාගන්න පුළුවන්.
නිවසේ වෙනත් ස්ථාන සඳහා 
  • සපත්තු තබන ස්ථානවල ගන්ධය නැතිවීමට පරණ මේස් එකක් තුලට බේකින් සෝඩා දමා ගැටගසා  ඒ අසලින් තබන්න. අල්මාරි සහ කබඩ් තුළ තැබීමටත් සුදුසුයි.
  • දුගඳ හමන සපත්තු තුලට බේකින් සෝඩා ඉස රැයක් විවෘත තැනක තබන්න. 
  • කුඩා දරුවන් මුත්‍ර කළ මෙට්‍රස් මතට බේකින් සෝඩා දමා තැබීමෙන් ගඳ ඉවත්වේ. 
  • දරුවන් බිත්තිවල ඇඳි ක්‍රෙයෝන් ලකුණු ඉවත්කිරීමට ඒ මත තෙත බේකින් සෝඩා තලපයක් මෙන් අතුරා ටික වෙලාවක් තබා පිස දමන්න. 
  • වතුර බේසමකට බේකින් සෝඩා මේස හැන්දක්  දමා දරුවන්ගේ සෙල්ලම් බඩු පිරිසිදු කරගන්න හැකියි.
  • Stuffed toys පිරිසිදු කරන්නට ජල බේසමකට සේදුම් දියර සහ බේකින් සෝඩා මේස හැඳි කිහිපයක් දමා රැයක් පෙගෙන්න තබා සේදුම් යන්ත්‍රයේ හෝ අතින් සෝදා හොඳින් වේලාගන්න.
  • ගෘහභාණ්ඩ මත ඇතිවූ පැල්ලම් ඉවත් කරන්නත් යොදාගන්න පුළුවන්.
  • පරිසරය සුවඳවත් කිරීමට Air freshner එකක් සාදා ගැනීමට: කුඩා විදුරු බඳුනකට බේකින් සෝඩා කෝප්ප 1/3ක් දමා සුවඳ තෙල් (කුරුඳු තෙල්, කරාබුනැටි තෙල්, ලෙමන් ඔයිල් වැනි) බින්දු 10-15 දමා තුනී රෙදිකඩකින් බඳුන වසා තබන්න. සුවඳ කාන්දු වේ. සුගන්ධය අඩුවනවිට බඳුන සොලවන්න.  මෙයට වතුර කෝප්ප 3/4 දමා ස්ප්‍රේ බෝතලයක් තුලට දමා ස්ප්‍රේ කරන්නත් පුළුවන්. 
පුද්ගලික ස්වස්ථතාව උදෙසා 
  • උදරයේ අම්ල ගතිය වැඩිවූ විට වතුර වීදුරුවකට බේකින් සෝඩා තේ හැන්දක් දමා දියකර සෙමෙන් පානය සුව ගෙනදෙයි. 
  • අධික උණුසුම නිසා හෝ ඉර එලියට අධිකව නිරාවරණය නිසා හෝ කුඩා කෘමින් සපාකෑම නිසා සමේ කැසීම් ගතියක් ආ විට ඇල් ජලයට බේකින් සෝඩා මිශ්‍රකර එම පෙදෙස් ජලයේ ගිල්වගෙන සිටීමෙන් සුවයක් දැනෙයි. 
  • ෂැම්පු හා කන්ඩිෂනර් ලෙසත් යොදාගන්න පුළුවන්. වතුර කෝප්ප දෙකකට බේකින් සෝඩා මේස හැන්දක් දමා එම වතුරෙන් හිස් කබල හොඳින් මසාජ් කරමින් පිරිසිදු කරන්න. පොල්තෙල් සහ බේකින් සෝඩා මිශ්‍රණයක් කන්ඩිෂනර් ලෙස පාවිච්චි කරන්න පුළුවන්. 
  • face wash: බේකින් සෝඩා මේස හැන්දකට ඕට් පිටි තේ හැඳි දෙකක් දමා වතුර ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ගා හෙමින් අතුල්ලා හොඳින් සෝදා හරින්න. 
  • පාද සඳහා: උණුසුම් ජල බේසමකට බේකින් සෝඩා කෝප්ප 1/4 සහ දෙහි හෝ ලෙමන් යුෂ බින්දු කිහිපයක් එක්කර මිනිත්තු 15ක් පමණ පාද එම වතුරේ තබා හොඳින් මසාජ් කරන්න. ඉන්පසු තෙත පිසදා වියලාගන්න.
  • කිහිලි වල දුගඳ නැති කිරීමට: බේකින් සෝඩා කෝන් ස්ටාර්ච් සමග මිශ්‍ර කර, තෙත තලපයක් මෙන් සදා කිහිලි පෙදෙස්වල ආලේප කර මිනිත්තු කිහිපයකින් හොඳින් සෝදන්න. 
  • hair brush පිරිසිදු කිරීමට: බ්‍රෂ් එක ගිල්ලවන්න හැකි බඳුනකට ජලය ගෙන එයට බේකින් සෝඩා තේ හැන්දක් හා ෂැම්පු ස්වල්පයක් දමා හොඳින් කලතා බ්‍රුෂ් එක ටික වෙලාවක් එහි තබා රැඳී ඇති කෙස් ඉවත්කරමින් පිරිසිදු කරගන්න.    
සුරතල් සතුන් උදෙසා
  • සුරතල් සතා නිදන රෙදි, කොට්ට ආදිය බේකින් සෝඩා යෙදු  වතුරෙන් සෝදන්න. 
  • මාළු ටැංකි පිරිසිදු කිරීම සඳහා මසුන් ඉවත්කළ ටැංකියට  බේකින් සෝඩා යෙදු වතුර දමා පැය කිහිපයක් තබන්න. ඉන්පසු ස්පොන්ජ් එකකින් මැද හොඳින් සෝදන්න. විදුරුවල ඇලී ඇති අපද්‍රව්‍ය පහසුවෙන් ඉවත්වේ. 
මෙතන ප්‍රයෝජන 45+ක් මම ලියා තියනව. අන්තර්ජාලයේ බැලුවොත් තව ඕනෑතරම් යොදාගැනීම් තියනව. හිතෙන ඒවා අත්හදා බලන්නත් පුළුවන්. දරුවන්ට සෙල්ලම් කරන්න පරීක්ෂණ කරන්න ගන්න පුළුවන් වසක් විසක් නොවෙන නිසා. ඒ වගේම මිලෙනුත් අඩුයි. බහුලව ගන්නත් තියනව. 

අපි එදිනෙදා භාවිතා කරන රසායන ද්‍රව්‍ය බොහොමයක් සඳහා බේකින් සෝඩා ඉතා හොඳ විකල්පයක් බව දැනගෙන යොදාගැනීම වගේම එමගින් පරිසරයට අපෙන් ලැබෙන ධනාත්මක දායකත්වයයි  වඩාත් වැදගත් වෙන්නේ. 

උදව්: 
www.tasteofhome.com/50-clever-ways-to-clean-with-baking-soda
Oconto.extension.wisc.edu/files/2011/02/Baking-Soda
www.healthline.com/nutrition/baking-soda-benefits-uses
www.bestcordlessvacuumguide.com/cleaning-with-baking-soda/
www.thespruce.com/baking-soda-homemade-cleaner

Thursday 16 July 2020

ඉන්දියාවේ පියගැට පොකුණු Stepwells

අපේ අසල්වැසි ඉන්දියාවේ විවිධ ස්ථානවල පිහිටා තිබෙන මනස්කාන්ත පඩිපෙල් වලින් සමන්විත ලිං හා පොකුණු ප්‍රෞඩ ඉතිහාසයක් මෙන්ම නෙත් පිනවන දසුනක්ද ගෙන එන නිසා ලොවේම අවධානය දිනාගැනීමට සමත්වෙමින් සිටියි. පන්සල්, කෝවිල්, දේවස්ථාන අසල ජල මුලාශ්‍රයක් තිබීම ඓතිහාසික හා සම්ප්‍රදායික පෙරදිග  ලක්ෂණයකි.  දේවස්ථානය පවිත්‍ර කිරීම, පුජා ද්‍රව්‍ය පිරිසිදු කිරීම ආදිය උදෙසා කලාත්මක අංගයන්ගෙන් අනුනව සාදා ඇති ලිං හා පොකුණු වැඩිපුර භාවිතයට ගත්තේ දඹදිව රාජකීයයන් හා උසස් පවුල්වල අය බව පැවසේ. පිහිටි ප්‍රදේශයේ බාවිතා වන භාෂාව අනුව ඒවා තීර්ථ, කල්‍යාණි, පුෂ්කරණි, පුඛුරි, තලබ් වැනි නම් වලින් හඳුන්වයි. පොලව මට්ටමට තරමක් පහලින් පිහිටි මේවට බැසීමට හැකිවන සේ අලංකාර පියගැටපෙළ සමුහ නිර්මාණ කර තිබීම පොදු ලක්ෂණයකි.
Hampi හි පුෂ්කරිණි 
දෙව්ලොව හා පොලව අතර සීමාව තීර්ථය(ජලය) ලෙස බොහෝ හින්දු කතාවල අරුත් ගැන්වේ. පවිත්‍ර කිරීමේ හා ප්‍රතිසංස්කරණයේ අගයට අමතරව වන්දනීය හා කැපකිරීමේ අරුතින්ද ජලය භාවිතා වේ. මේ සමහර ලිං පොකුණුවලින් නෑමෙන් රෝග නැසෙන බවට මතයන් ඇති නිසා ඒවා වඩා ජනප්‍රියය. අතීත ශිෂ්ඨාචාරයන්හි Great bath of Mohendajaro වැනි ස්ථානද ප්‍රචලිතයි. වසර පන්දහසකට පෙර ඉදිකරන ලද මුල්ම Stepwell එකෙන් පසු මධ්‍යකාලින  යුගයේ වැඩිම ප්‍රමාණයක් ඉදිව ඇත. අතීත සමෘද්ධිමත්  යුගයන්හි පියගැට පෙළ සහිත නිර්මාණාත්මක ලිං සහ පොකුණු 3000ක් පමණ ඉන්දියාව පුරා විසිර තිබෙන්නට ඇත.

එදවස පටන්ම ජනාකීර්ණව  පැවති දිල්ලිය වැනි ප්‍රදේශවලත්,  වෙනත් ජනාකීර්ණ ප්‍රාන්තවලත්  ඉතිරිව ඇති පොකුණු ආශ්‍රිත ඉදිකිරීම් වලින්  පෙනී යන්නේ ජල සංරක්ෂණයට හා බෙදාහැරීමටත්, ආගමික කටයුතුවලටත්, එදිනෙදා භාවිතයටත් අමතරව ගම් වැසියන්ගේ ප්‍රජා මධ්‍යස්ථාන ලෙස මෙම පරිසරය යොදාගෙන ඇති බවයි. සමහර පඩිපෙල් පොකුණු  පාරවල්  අසල ඉදිකර තිබීමෙන් මගීන්ට විවේකය සපයන ස්ථාන ලෙස භාවිතා කල බව පැහැදිලි වේ.
මොධෙරා හි Surya Kund 
මෝසම් හා වියලි කාලගුණය අතර දෝලනය වන ඉන්දියාවේ සමහර පෙදෙස්වල  ජලය ගබඩා කර තබාගැනීම වැදගත් විය. නිසි කල වැසි නොලැබුණහොත් ඒ සමග එන සාගත හා මරණය නිසා, නොකඩවා ලැබෙන ජල සම්පතක් තිබීම ප්‍රමුදිත කරුණක් විය.

අධි වියලි කාන්තාරමය කාලගුණයක් ඇති රාජස්ථාන හා ගුජරාට වැනි ඉන්දියාවේ වයඹ දිග පෙදෙස්වල සාදා ඇති පොලව තුලට දිවෙන පියගැට සිය ගණනක් සහිත, තට්ටු ගණනාවක් පසුකර යායුතු ලිං හා පොකුණු මගින් ජලය සැපයීමත්, ආගමික මෙහෙයක් සිදු කිරීමත් යන්නට  වඩා වැඩි යමක් සිදුවන බව පැහැදිලිය.
මේවා හඳුන්වන්නේ බවුරි (හින්දි භාෂාවෙන් ලිඳ) හෝ වව් නම්වලිනි. Stepwell නමෙන් සඳහන් පරිදිම භූගත ජල මට්ටම දක්වා දිවයන සේ පඩිපෙල් නිර්මාණය කර ඇති  මේවා සාදා ඇත්තේ පොලවේ පහල මට්ටමෙන් ජලය ලබා ගැනීමට බව පෙනී යයි. එනම් වියලි කාලගුණික තත්වයන් ඇති විට ජලය ලබාගැනීමේ විශ්වාසනිය මුලාශ්‍රයක් ලෙසයි. පියගැට  ලිංවල ප්‍රධාන අංග දෙකකි. උස් ලෙස බැඳී බිත්ති හා අතරමග නැවතුම් සහිත පඩිපෙල්. හයවෙනි හා හත්වෙනි සියවස්වල ඉතා උසස් මට්ටමකින් පැවතී බවට සාක්ෂි ඇති මෙම මානව ජල ධාරක, ජල සංරක්ෂණය සිදුකරන අතර  ගෘහ නිර්මාණ ශිල්පි ගුණයන්ද නොමදව හුවා දක්වයි.
Champaner හි helical vav 
වැසි සහිත කාලගුණයකදී ජල මට්ටම වැඩිවෙන හෙයින් වැඩිපුර පහල බැසීම අනවශ්‍ය වුවත් වියලි කාලවලදී ජලය ඉතිරිව ඇති මට්ටම අනුව බැසිය යුතු පියගැට සංඛ්‍යාව තීරණය වේ.
රාජස්ථානයේ Chand baori 
මෙම  විශේෂිත වූ සංකීර්ණ නිමැවුම් ප්‍රමාණයෙන්,  හැඩයෙන් හා සැලැස්මෙන් එකිනෙකට වෙනස්ය.  සමහර ලිං හෝ පොකුණු සරල එක ගල් පඩිපෙලක් පමණක් ඇති ඒවාය. සමහර ඒවා පැති කිහිපයකින් ලඟාවිය හැකි මට්ටම්  කිහිපයකින් යුතු සිය ගණන් පඩිපෙල් වලින් බැසිය හැකි  විශාල ආවාටයක් බඳු සංකීර්ණ ඒවාය.
ඒ අතරිනුත් සමහරක් බෙහෙවින් සැලසුම් කරන ලද, මුර්ති ආදියෙන් අලංකෘත දිගු පියගැටපෙළ සහිත ඒවාය. ගලින් නෙලා ඇති, කුලුනු සහිත තට්ටු කිහිපයකින් පසු ළඟාවිය හැකි මේවායේ ගමන්කළ හැකි කොරිඩෝර මෙන්ම  උෂ්ණත්වය වැඩි දිනවල මිනිසුන්ට විවේකිව රැඳී සිටිය හැකි මණ්ඩපවලින්ද සමන්විතයි. වඩාත් සිත්ගන්නේ සියුම් කලාත්මක කැටයම්වලින් සපිරුණු බිත්ති හා කුලුනුයි. නව ග්‍රහයන්,  වෘක්ෂය, දේව කතා, නැටුම්, ගැටුම් සටන් මෙන්ම කාන්තාවන් හිස පීරන, බටර් සාදන කැටයම්ද මේ අතර වේ.
පටන් හි Rani ki vav කැටයම් හා මුර්ති 
එයින් පැහැදිලි වන්නේ බීමට පිරිසිදු ජලය ලබාගැනීම, සතුන්ට දීම, කෘෂිකාර්මික කටයුතුවලට යොදාගැනීම හැරුනුකොට සමාජමය හා සංස්කෘතිකමය කාර්යයක්ද මෙම ජල මුලාශ්‍ර ආශ්‍රිතව සිදුව ඇති බවයි. මේවායේ උත්කර්ෂවත් යුගයේ මෙම ගොඩනැගිලි නිදහසේ රැස්වීමට, විවේක කාලය ගත කිරීමට, උෂ්නවත් පරිසරයෙන් මිදීමට සිසිල් අභයභූමියක් ලෙස යොදාගෙන තිබේ. භාවනා කිරීම් ඇතුළු ආගමික කටයුතු උදෙසා උපයෝගී කරගැනීමත් සිදුව ඇත. ඒ අතර ජලයේ ඇති වටිනාකම අවබෝධ කරදීමක්ද, ජල කළමනාකරණය හා තිරසාර සංවර්ධනයද සිදුවූ බව පෙනෙයි.

සුන්දර හා අසුන්දර ඉතිහාසයන් කැටිකරගත් පියගැට ලිං අතර රාණි රූප්බා බිසවගේ අනුවේදනීය කතාවද ලියවී ඇත. අහමදාබාදයට උතුරින් මෙම ලිඳ ඉදි කෙරෙමින් පවතින අතරතුර සිදුවූ මුස්ලිම් ආක්‍රමණ හේතුවෙන් රණ වීර් සින්ග් රජු මරා දැමුණි. රජතුමා මියයාමෙන් පසු තම අත පැතූ මුස්ලිම් රජු ලවාම ඒ වනවිට ඉදිකෙරෙමින් පැවතුනු ලිඳ නිමකරවා, එය පරික්ෂා කරන අයුරින් ඉහල මාලයටම ගිය සුරූපී බිසව, අඩලාජ් නම් වන ලිඳටම  පැන දිවි තොර කරගත්තාය. ඉන්පසු සාමාන්‍ය මිනිසුන්ගේ අයිතියට පැවරු මෙහි  බිත්තිවල එම ආදර කතාව අත්‍යාලංකාර පද්‍ය අයුරින් කැටයම් කර තිබේ.

රාජස්ථානයේ ෂපුරා පඩිපෙල් ලිඳ 
වසර දහස් ගණනක් තිස්සේ වයඹ දිග ඉන්දියාවේ උසස් ඉන්දීය  සම්ප්‍රදායික සංස්කෘතිකාංගයක් ලෙසින් පියගැට පොකුණු දහස් ගණනක් නිර්මාණය වී ඇතත් එයින් වැඩි ප්‍රමාණයක් දැනට භාවිතා කල නොහැකි මට්ටමේ ඇත. නොසලකා හැරිම නිසා වියලි ගිය ලිං හැරුණු විට, කර්මාන්ත සඳහා භූගත ජලය යොදාගැනීම නිසා ජල මට්ටම් පහත වැටීමත්,  දැනට පවතින ජල මට්ටමට ඉහලින් ලිං පිහිටීමත් නිසා සිඳී ගිය අවස්ථාද දක්නට ඇත. මේ ප්‍රදේශවල පසුගිය කාල වකවානුවේ ඇතිවූ දරුණු නියඟ තත්වයන්ද මෙම විනාශ තීව්‍ර කර තිබේ.
වසර 5000ක් පැරණි Dholavira ලිඳේ නටබුන් 
ප්‍රතිසංස්කරණය ගැන අවධානයක් නොයෙදවීම නිසා විනාශයට පත්වූ ඒවා මෙන්ම වටිනාකම හා අගය නොදැන අවභාවිතය නිසා වැනසෙමින් පවතින ලිං ද ඇත.

විදෙශිකයන්ගේ දැඩි අවධානයක් යොමුවෙමින් පවතින ගුජරාට් ප්‍රාන්තයේ ඇති පියගැට පොකුණු සංරක්ෂණය කිරීමේ වැඩ සටහන් වර්තමානයේ ක්‍රියාත්මකයි. ප්‍රාන්තය පුරා ඇති පොකුණු නැවත පිළිසකර කිරීමට විවිධ සටහන් දියත් වෙමින් පවතී.



පටන්වල ඇති ඇති සුක්ෂ්ම් කැටයම් 500 කින් සමන්විත, ජලයෙන් යට ඇති තට්ටු දෙකත් ඇතුළුව තට්ටු නමයකින් සමන්විත  Rani ki vav හෙවත් රැජිනගේ පොකුණ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර ඇත. 11වන සියවසේ උදයමති රැජින විසින් ඉදි කරවන ලද මෙය 13වන සියවසේ ගංවතුරකට හසු වුවත් 1960දී නැවත ප්‍රතිස්ථාපනය කරන ලදී. ඉතා විශාල හා සියලු සම්ප්‍රදායික මෝගල් හා ඉන්දීය මනස්කාන්ත සියුම් කලා ශිල්පයන්ගෙන් සමන්විත සුවිසල් පොකුණ මෙම විඩියෝවෙන් නරඹන්න.


මානව වර්ගයාගේ පැවැත්මට ජලයේ ඇති වටිනාකම නොමදව වටහා දෙන මෙම සුවිශේෂ කලා නිර්මාණ සමුහය, වසර සිය දහස් ගණනක ගෘහ නිර්මාණ ශිල්පයේ විශ්මය දක්වන අතර ඓතිහාසික ශිෂ්ඨාචාරයන්හි කලාත්මක ශිල්පිය දක්ෂතාද රමණියව පෙන්නුම් කරදෙයි.

උදව්:
www.ancient-origins.net/history/beautiful-utilitarian-stepwells-india-are-danger-becoming-extinct-
https://indianexpress.com/article/cities/mumbai
https://www.hampionline.in/city-guide/stepped-tank-in-hampi
www.travelplanet.in/down-the-steps-and-into-indian-history-top-10-stepwells
www.indianeagle.com/travelbeats/rani-ki-vav-the-queen-of-stepwells-in-india/
www.ancient-origins.net/history/

Saturday 27 June 2020

බිත්තර හා කිරි නොමැති ආහාර සැදීම

බිත්තර නැතිව කෑම සෑදීම 
අනුන් උයන ඒවා හොඳට කාල බිල හිටපු මට විවාහවෙලා ගිය ගෙදර මස්, මාළු බිත්තර  නැති කෑමට හුරුවෙන්න වුණා. උයන්න ටිකක් හොර මම ඒ වෙනසට කැමතිවුනා. ඒත් ඉතින් වෙන වෙන රසකැවිලි හදන්න, බේක් කරන්න ගියාම තමයි අභියෝගය ආවේ. බිත්තර නැතුව කේක් හදන්නේ කොහොමද? ඒ කාලේ ඉන්ටනෙට් තිබුනෙත් නැහැනේ. තරුණි, සිරිකත පත්තර පෙරළන් බැලුවත් ලැබුනෙ නැහැ උදව්වක්. අහම්බෙන් අම්මගේ කුකරි පොතක වෙසක් කේක් කියල රෙසිපියක් හමුවුණා. දරුවන්ගේ උපන්දින වලට නොවරදවා හදපු මෝස්‌තර කේක් කරලියට ආවේ එහෙමයි.
ඒ රෙසිපියේ බිත්තර හා සිනි වෙනුවට condensed milk හෙවත් උකුකිරි/ටින්කිරි  යොදාගත්තේ.
බිත්තරවලින් කෙරෙන්නේ මොකක්ද?
1. binding :ද්‍රව්‍ය එකට බඳවා තැබීම
2. leavening :අමුද්‍රව්‍ය අතර වාතය රඳවා ආහාරය පිපුම් ගතියක් ලබාදීම
3. moisture : තෙතමනය රඳවා ගැනීම
4. රස හා පෙනුම ලබාදීම

මේ සියලු දෙය රසේ හෝ පෙනුමේ වෙනසක් නොදැනෙන්න උකුකිරි මගින් ලැබුණා. කවුරුත් විශ්වාස කලෙත් නැහැ බිත්තර නොයොදා හැදුවේ කියල.
පසු කාලෙක වෙනත් දේවලුත් බිත්තර වෙනුවට ආදේශක ලෙස යොදාගන්න පුළුවන් බව දැනගත්තා.
  •  🍌 🥑   පොඩිකරගත් ඉදුණු කෙසෙල් හෝ ඉදුණු අලිපේර : බිත්තරයක් වෙනුවට මේවයින් ග්‍රෑම් 65ක් ප්‍රමාණවත්. කෙසෙල්වල රස තරමක් එන අවස්ථා තියනව. 
  •  සෝයා කර්ඩ්/ ටෝෆු  : ඒ කියන්නේ ඝන සෝයා කිරි. මේවත් එක බිත්තරයක් වෙනුවට 60g ප්‍රමාණවත්. ඔම්ලට් වුනත් හදන්න පුළුවන්. 
  •  විනාකිරි හා බේකින් සෝඩා : බේකින් සෝඩා තේ හැන්දකට විනාකිරි මේස හැන්දක් මිශ්‍ර කළාම බොහෝ ආහාරවල බිත්තර වෙනුවට ගන්න පුළුවන්. මේවා මිශ්‍ර කරන්න ඕන බැටර් එක තුලදිමයි. 
  • යෝගට් හෝ බටර්මිල්ක් : කේක්, කප් කේක් වලට කදිමයි. 
  •  හුලංකිරිය පිටි (Arrowroot powder) : බිත්තරයක් වෙනුවට හුලන්කිරිය පිටි මේස හැඳි දෙකක්  වතුර මේස හැඳි තුනක දියකරලා ගන්න.
  • කවුපි, කඩල, මුං ඇට තම්බපුවම ඉතුරුවෙන වතුර (aquafaba): බිත්තරයක් වෙනුවට දියර මේස හැඳි තුනක් ඇති. මාෂ්මෙලෝස්, බ්‍රවුනිස් එහෙම හදන්න නියමයි.

Apple sauce 
  •  🥜 පීනට් බටර්, ආමන්ඩ් බටර් : බිත්තරයක් වෙනුවට මේවා මේස හැඳි තුනක් යොදාගෙන බිස්කට් එහෙම හදන්න පුළුවන්.  
  • ඇපල් මදය පොඩිකරල සීනි එක්ක උණු කරලා හදන ඇපල් පියුරි/ ඇපල් සෝස්  කෙසෙල් වගේම යොදාගන්න පුළුවන්. වෙනස් රසක් එන්නෙත් නැහැ.
  • Flex seed කුඩු දාන්න පුළුවන්. බිත්තරයක් වෙනුවට ෆ්ලෙක්සිඩ් තේ හැන්දක  ප්‍රමාණයක් සමග එළවලු තෙල් ටිකක් යොදන්න පුළුවන්. 
  •  සෝඩා වතුර දාන්නත් පුළුවන්.
  •  Egg Replacer නමින් කඩෙන් ගන්න තියනව. අර්තාපල් පිටි හා තවත් ද්‍රව්‍ය වලින් හදල තියෙන්නේ. 
from Amma 's recipe book 

බිත්තර allergy අයට හා බිත්තර නොකන වෙජිටේරියන් අයට මේ ක්‍රම අත්හදා බලන්න පුළුවන්.                  .   🥐🥞🍰 🍩🥮 🥪🧀🍪🧁🍩🍹

සත්ව කිරි නැතිව කෑම සෑදීම
සර්ව භක්ෂක ඉඳල ශාක භක්ෂක වුනු මට ඊළඟ ආහාර අභියෝගය එන්න තව වසර ගණනාවක් ගියා. දුව පොඩිකාලේ සිටම සතුන්ට හරිම ආදරෙයි.  2015 යාපනේ ගිය වෙලාවේ නැවතිලා හිටි ගෙදර එළදෙනුන්ගෙන් කිරි ගන්න විදිය දැකල හරිම සතුටු වුනා. එයා කිව්වේ එලදෙනවත්, ඉන්න තැනත් පිරිසිදු කරලා, පැටියටත් දීල ඒ වගේ කිරි ගන්න එක ඒ සතුන්ගේ වාසනාවක් කියල. මම කිව්වා අපි පොඩිකාලේ බිව්වේ එහෙම ගන්න කිරි කියල.
කලක සිටම වානිජමය කිරි නිෂ්පාදනයේදී  සතුන්ට සිදුකරන කරදර ගැන කියමින් හිටියා. එළදෙනුන් නිතර බලෙන් ගැබ් ගැන්වීම, පැටවුන් ඉතා කුඩා කළම මවගෙන් ඈත් කිරීම, පිරිමි පැටවුන් කුඩා කල මසට ගැනීම, මෙලෙස ශාරීරික හා මානසික වධයන්ට ලක් කරන මව්දෙනගේ ප්‍රජනන හැකියා අඩුවෙත්ම සැලකිලි අඩු කර පසෙක දැමීම වැනි නිෂ්පාදන ක්‍රියාවලියේ සත්ව හිංසන ගැන නිතර පැමිණිලි!
ඇමරිකන් හා යුරෝපා රටවල වගේම ජපානයේත් සත්ව ආහාර වලින් වැලකීම ගැන උනන්දුවක් වේගයෙන් පැතිර යනවා. කිරිවලට ආදේශක ගැන කලක සිටම පර්යේෂණ සිදු කරනවා. මුලින් ගෝවා ගැන පර්යේෂණ කළත් පෝෂණය හා අනෙකුත් ගුණ සැලකු විට ආදේශක ලෙස වඩා සුදුසු සෝයා හා ආමන්ඩ් ලෙසයි නිර්දේශ වී තිබෙන්නේ. කැනඩාව රටක් විදියටම කිරි නිෂ්පාදන ආහාර ගැනීම අඩු කරන්න මෙවර food guide එකෙන් යොමුවුණා.
ගිය වසර අග දුව කිව්වා ඊළඟ වසරේ ඉඳන්  vegan වෙනවා කියල. ඒ කියන්නේ සත්ව කිරි බොන්නේ හෝ කිරිවලින් සාදන ආහාර ගන්නේ නැහැ කියල. ඒ සඳහා සාධාරණ හේතුත් කිව්වා. අපි හැමදෙනාම එයාගේ අදහසට ගරුකරලා එයට ඉඩ දුන්නා. නමුත් ආහාර වර්ග හදද්දී ආයේ ලොකු අභියෝගයක්.
හැබැයි මම මුලින් වෙජිටේරියන් වුනු කාලේ වගේ අමාරු නැහැ. දැන් හුඟක් අය වීගන් ආහාර ක්‍රම අනුගමනය කරන හින්ද ආහාර වර්ග වගේම රෙසිපිත් හොයාගන්න පුළුවන්. හැම අසුරුමේම 'අඩංගු දේ' සඳහන් හින්ද තෝරගන්නත් පහසුයි.
දුව එයාට ඕනකරන ආහාර තෝරාගෙන ආව. මුලින් තනියම එයාගේ ආහාර හදාගත්ත. ගෙදර අනිත් අය විගන් වුනේ නැහැ. කොරෝනා කාලේ හැමෝම ගෙදර ඉන්න වුනාම විශේෂ ආහාර හැදීමත් වැඩිවුණා. මටත් ක්‍රම හොයන්න වුණා කාටත් කන්න පුළුවන් වර්ග හදන්න.
දැනට අපි යොදාගන්න ක්‍රම මේවයි.
1. සෝයා කිරි, හේසල්නට් කිරි  හෝ ආමන්ඩ් කිරි භාවිතය: රසයේ තරමක වෙනසක් තිබුණත් බොන්නත්, කිරි යොදාගෙන හදන ආහාර හැම එකක්ම හදන්නත්  පුළුවන්. මේවට සිනි එකතු කරන අවස්ථා තියන නිසා මිලට ගැනීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.
2. ඕට්ස් කිරි: හුඟක් ආහාර හදද්දී කිරි වෙනුවට රෙසිපියේ සඳහන් ප්‍රමාණයට වඩා අඩුවෙන් භාවිතා කරන්න පුළුවන්.
3. රයිස් මිල්ක්: රතු හාල්වලින් හදන කිරි වෙළඳ පොලේ තියනව.  ඇත්තටම මම හාල්වලින් කිරි හදන්න පුළුවන් කියල දැනගෙන හිටියේ නැහැ. මේවට ඉහල ඉල්ලුමක් තියනව.
4. සත්ව කිරි නොවෙන බටර්, චීස් ආදියත් වෙළඳ පොලේ තියනව. සාමාන්‍ය කජු, ආමන්ඩ් හා මැකඩමියා කියන කජු වර්ග වලින්  මෙම බටර් හා චීස් හදන්නේ.  සත්ව කිරි හා සමානම පෝෂණ කොටස් තියනවා වගේම සිරුරට ගුණදායක HDL කොලෙස්ටරෝල් තියෙන නිසා රෝග සැදීමේ අවදානම අඩුයි. පීසා, ලසඥ්ඥ, රැප්ස් වගේ චීස් අවශ්‍ය ආහාර ඒවායින් හදාගන්න පුළුවන්.
5. සෝයා ටෝෆු භාවිතය.
6. බටර්මිල්ක් අවශ්‍ය රෙසිපි වලට ඒ වෙනුවට ලෙමන් යුෂ, විනාකිරි, cream of tartar, ටෝෆු භාවිතය
8. රටකජු කිරි (peanut milk) භාවිතය
7. ග්වෝකමොලි: අලිපේර උපයෝගී කරගෙන හදන බටර් වැනි දෙයක්. සැලඩ් සඳහා වගේම බටර් වෙනුවටත් ගන්න පුළුවන්
8. පොල් කිරි භාවිතය 🙂🙂


මේවට අමතරව ජෙලටින් කුඩුවල සත්ව ඇටකටු කොටස් අඩංගු නිසා moss jelly/ Agar agar භාවිතා කරනවා. Agar කියන්නේ මුහුදු ඇල්ගී පැලෑටියක්. ඒවා වියලා වියලි පැළෑටි කොටස් ලෙස හෝ කුඩු ලෙස පැකට් කර විකුනන්න තියනවා. ජෙලටින්වල සිසිල් ගුණය හා ප්‍රතිශක්තිකරණ ගුණ නිසිලෙස තිබෙන්නේ එම මුහුදු ඇල්ගීවලයි. උණු වතුර දාල හැදුවම සාමාන්‍ය ජෙලටින්වලට වඩා ටිකක් ඝනයි.

 බඩු ගන්න කඩේ ගියාම භාණ්ඩ හැම එකේම කිරි හෝ සත්ව කොටසක් ගෑවිලා තියනවද කියල පරික්ෂා කරන එකට සැහෙන කාලයක් යොදවන්න වෙනවා. 🧐  මාගරින් වල පවා කිරි හෝ කිරි කොටස් අඩංගු විය හැකිය කියල තියනවනේ. හොයල හොයල ගෙනාවමත් may contain milk කියල තියනව. එහෙම තියෙන්නේ එකම කර්මාන්ත ශාලාවේ යන්ත්‍රවලින් සත්ව කිරි අඩංගු ආහාරත් හදන නිසාලු.
ලෝකෙම මිනිස්සු සත්තුන්ගෙන් කිරි ගන්න එක නැවත්තුවම ඒවා හරියයි.  🤔

උදව්:
විකල්ප ආහාර පිලිබඳ කියා දුන් සැමට
www.healthline.com/nutrition/egg-substitutes
www.huffingtonpost.ca/2016/06/16/aquafaba-recipes
www.peta.org/living/food/everything-you-need-to-know-about-vegan-cheese/
www.mybluprint.com/article/milk-substitutes
www.purewow.com/food/vegan-buttermilk-substitute






Monday 25 May 2020

එම්බ්‍රොයිඩර් හා විෂිවන්කා දිනය Vyshyvanka

මේ පින්තුරේ ඉන්නේ කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන ඉවාන් බේකර්. ඔහු යුක්රේනියානු ජාතික පරම්පරාවකින් පවත එන්නෙක්. ඔහු විෂිවංකා දිනය සමරන්න ඇඳගෙන ඉන්නේ අවුරුදු ගණනකට පෙර ඔහුගේ ආච්චිඅම්මා සහ සීයා එම්බ්‍රොයිඩර් කරලා ඔහුට තෑගි දුන්නු කමිසයක්.

ආසියාවෙන් පැමිණි බවට සාක්ෂි ඇති එම්බ්‍රොයිඩර් කිරීම යුක්රේනයේ සියවස් ගණනක් පැවතුණා. මුලින්ම ආරක්ෂාව සලසන දෙයක් ලෙස සැළකු රෙදි එම්බ්‍රොයිඩර් කිරීම පසුව සෞන්දර්යාත්මක භාවිතා ලෙස ව්‍යාප්ත වුණා. 19 වන සියවස වනවිට ආගමික, සම්ප්‍රදායික සැරසිලි හා ඇඳුම් සඳහා ලෙස ක්ෂේත්‍ර තුනකින් වර්ධනය දකින්නට පුළුවන්. සමහරු සම්ප්‍රදායික මෝස්‌තර හා ක්‍රම අනුව මැසීම කළ අතර, සමහර අය අලුත් නිර්මාණ හඳුන්වා දෙමින් ඒවා අත්හදා බලනව. ක්‍රමශිල්ප ඉගෙනුම එතරම් අපහසුවක් නැති බවත්, කුඩාකළ සිට හුරු නොවුනහොත් ප්‍රයෝගික කුසලතා ප්‍රගුණ කළ නොහැකි බවත් ඔවුන්ගේ අත්දැකීමයි. සැමදා එකලෙස ජනප්‍රිය වූ මෙම කලාව, තාක්ෂණය හා යොදාගන්නා අමුද්‍රව්‍ය අංශවලින් ක්‍රමයෙන් වැඩි දියුණු වුණා.
ඉතාම අලංකාර මෝස්‌තර හා ක්‍රමශිල්ප පරම්පරාවෙන් පරම්පරාවට උරුම කෙරුණු අතර, ප්‍රදේශයන්ට හා ගම්වලට ආවේණිකව පැතිරුණා. මේ අනුව එම්බ්‍රොයිඩර් යුක්රේන ඉතිහාසය, සම්ප්‍රදාය හා සංස්කෘතිය සනිටුහන් කරන පාරිශුද්ධ සංඛේතයක් ලෙස සැලකෙනවා. 
යුක්‍රේන ජාතිකයන් එම්බ්‍රොයිඩර් මෝස්‌තර සඳහා යොදාගන්න ප්‍රධාන වර්ණ 6ක් තියෙනව. එම වර්ණ භාවිතා කරන්නට ඔවුන්ගේම වූ හේතුත් තියනව. 
රතු: මිනිස් ජිවිතයේ ආදරය හා විනෝදය සංඛේතවත් කරන්නේ. ගැහැණු අය හා දරුවන් ගේ කමිස බොහෝවිට රතු වර්ණයෙන් යුතුයි.
නිල්: භෞතික හා අධ්‍යාත්මික නිර්මලත්වය සංඛේතවත් කරයි. පිරිමි අයගේ සහ පිරිමි දරුවන්ගේ කමිස සඳහා මේ වර්ණය වැඩිපුර යොදනවා.
කළු: පොලව හා සරුබව නිරුපනය කරනවා.
රන්වන් (කහ): සමෘද්ධිය හා ධනවත්කම නිරුපණයට යොදාගනී.
කොළ: කාන්තා වර්ණයක් ලෙස තාරුණ්‍යය, සුන්දරත්වය මෙන්ම වසන්ත සමය නිරුපණයට යොදාගන්නේ.
සුදු:  පවිත්‍රත්වය සංඛේතවත් කරයි. අතීතයේ අවිවාහක කාන්තාවන් සුදු වර්ණයෙන් එම්බ්‍රොයිඩර් කළ ඇඳුම් ඇඳ තිබෙන්නේ.

රටේ ප්‍රදේශය අනුව එම්බ්‍රොයිඩර් සඳහා යොදාගන්නා මෝස්‌තර, ක්‍රමශිල්ප  හා වර්ණයන්ගේ වෙනස්කම් පවතිනවා. 
උතුරු හා කඳුකර ප්‍රදේශවල පැරණි ක්‍රම හා ජ්‍යාමිතික මොස්තරත්, රතු, නිල්, කළු වර්ණ අතරින් එකක් හෝ දෙකක් පමණක් යෙදීමත් දක්නට ලැබෙනවා.  
මධ්‍ය හා නැගෙනහිර ප්‍රදේශවල මල් මෝස්‌තර යොදාගැනීම බහුලයි. Outline එකකින් මෝස්තරය යොදා මැද පිරවීම මේ ප්‍රදේශයන්හි මනබඳින නිමයුම්වල දකින්නට හැකියි. මෙයිනුත් පෝල්ටාවා ප්‍රදේශයේ ලා නිල්, ලා කොළ, අළු වර්ණ මෙන්ම සුදු පසුබිම මත සුදු පැහැය යොදාගැනීම බහුලයි. Open work හෙවත් සිදුරු සහිතව එම්බ්‍රොයිඩර් කිරීමත් එම ප්‍රදේශවල ජනප්‍රියයි. 
බටහිර හා සෙසු ප්‍රදේශවල ජ්‍යාමිතික මෝස්‌තර සමගින් එකිනෙකින් කැපී පෙනෙන වර්ණ යොදාගන්නවා. සමහර ප්‍රදේශවල cross stitch යොදාගන්න අතර, curly stitch නම් ක්‍රමයකුත් ස්මෝක් කිරීමත් බහුලයි. බියුකොවිනා ප්‍රදේශයේ වර්ණ නමයක නූල් සමග වර්ණවත් පබළු වර්ග යොදා මනස්කාන්ත නිර්මාණ කරන බව ප්‍රකටයි. 

යුක්‍රේනයේ සෑම ප්‍රදේශයකම එම්බ්‍රොයිඩර් කමිස Vyshyvanka නිර්මාණ දක්නට ලැබෙන අතර,  සම්ප්‍රදායික ක්‍රමය වුණේ කමිස අතේ ඉහල කොටස (උරහිසට පහලින් කොටස) එම්බ්‍රොයිඩර් කිරීමයි. එය 10-15cm  පළල වූ අතර සමහරවිට ඊට යටින් කුඩා තීරුවක් ද ඇතුලත් කළා. කමිසයේ කොලරය, ඉදිරිපස, පහල කෙලවර, අත් අග මෝස්‌තර මුල් මෝස්තරයට අනුගතව ඇතුලත් කළා.
කමිස හැර වෙනත් ඇඳුම් කොටස් සඳහා මෝස්‌තර යෙදීම ප්‍රදේශ අනුව වෙනස්වෙනවා. බෝයිකොස් පළාතේ සායවලත්, පොලිසියාවේ ඒප්‍රන් හා විවාහක කතුන්ගේ හිස් පළඳනා වලත් අලංකෘත එම්බ්‍රොයිඩර් යොදනවා. 
මෙලෙස පළාත්, ප්‍රදේශ, නගර හා ගම අනුව මැහුම් ශිල්ප, සම්ප්‍රදායන් හා එම්බ්‍රොයිඩර් මොස්තරවල වෙනස්කම් බහුලයි.

විෂිවංකා දිනය කියන්නේ මොකක්ද? 
Lesya Voroniuk 
යුක්රේන භාෂාවෙන් විෂිවංකා කියන්නේ එම්බ්‍රොයිඩර් කළ කමිසයට. වසන්ත කාලයේදී මනබඳින  මෝස්‌තර සහිත විෂිවංකා ඇඳීම ඔවුන්ගේ ඉතිහාසය පුරාම තිබුණා. ඒ සඳහා විශේෂිත දිනයක් තිබුනේ නැහැ. 2006 දී විශ්ව විද්‍යාල සිසුවියක වන ලෙස්යා වොරෝනියුක් එකම දවසක සියලු දෙනා විෂිවංකා ඇඳුම් අඳින ලෙසට යෝජනා කළා. මුලින් විශ්ව විද්‍යාලයේ කිහිප දෙනෙක් පමණක් ඒ සඳහා යොමුවුණත්, ක්‍රමයෙන් එම අදහස වේගයෙන් පැතිරී, යුක්‍රේනය පුරාමත්, ලොව පුරා වෙසෙන යුක්රේන ජාතිකයන් අතරත් ඉතා ජනප්‍රිය වුණා. මේ අනුව ඔවුහු මැයි මාසයේ තුන්වෙනි බ්‍රහස්පතින්දා දිනය විෂිවංකා දිනය ලෙස නම්කළා.

දැන් එම දිනය ප්‍රදර්ශන, සංදර්ශන, පෙරහැර ආදිය පවත්වන ඉතා ජනප්‍රිය දිනයක්. ගැහැණු පිරිමි, ලොකු කුඩා හැමදෙන පිටතට පැමිණ මේවට සහභාගී වෙමින් සතුටුවෙනවා. ඒ වගේම විෂිවංක මෝස්‌තර ලොව පුරාම ජනප්‍රිය වීමටත් මේ දිනය හේතුවුණා.


2014 සිදුවූ රුසියානු ආක්‍රමණයත්, යුක්රේනයේ නැගෙනහිර කොටසක් වන ක්‍රිමියාව අනීතික ලෙස රුසියාව විසින් අත්පත් කරගැනීමත් වැනි අවස්ථාවල තම පරමාධිපත්‍යය රැකගැනීමට යුක්රේනියානු ජාතිකයන් දැරූ වෙහෙස ආදිය ස්මරණයත් මෙදින සිදුකිරීම පසුව එකතුවූ අංගයන්. 
එනම්, විෂිවන්කා දිනය ඔවුන්ගේ නිදහස, ප්‍රජාතන්තවාදය හා ස්වාධීනභාවය රැකගැනීමට කළ කැපකිරීම් සිහිපත් කර අගය කරන දිනයක්ද වෙනවා.


මෙම දිනයේ ලෝකයේම වෙසෙන යුක්රේන සම්භවයක් ඇති අය අලංකාර, කලාත්මක, අනබිභවනිය මෝස්‌තර සහිත කමිස ඇඳ ඔවුන්ගේ විවිධත්වයෙන් යුතු එකමුතුබව, අභිමානය සහ ආදරය ලොවට දක්වනවා.


උදව්:
.international/ukraine-top-news/vyshyvanka-day-in-ukraine-how-is-it-celebrated
112.international/article/embroidery-day-in-ukraine-ornament-of-the-age
en,wikipedia.org/wiki/Ukrainian-embroidery
www.unian.info/society/10551081-nation-code-ukrainians-celebrate-vyshyvanka-day
http://www.encyclopediaofukraine.com/

Tuesday 28 April 2020

කැනඩාවේ COVID තතු 2

නෙත ගිය හැමතැන - දළු මල් අබරණ
වසන්ත සමයයි එළැඹෙන්නේ
වෙනදට ආදරෙන් පිළිගන්න වසන්ත සමය මේ වසරේ තනිවෙලා. හිමිහිට මතුවෙන කොළ හා මල් දිහා බලන්නවත් සන්සුන් හිතක් මිනිස්සුන්ට නැහැ. දවසින් දවස වැඩිවෙමින් යන සංඛ්‍යා දිහා බලාගෙන මෙහි නිමක් ගැන පතමින් කවදාක නිදහසේ වසත් සුව විඳින්නද කියල බලාපොරොත්තු දල්වාගෙන ඉන්නේ.

අප්‍රේල් මාසය එළඹුනත් කැනඩාවේ කොවිඩ් රෝගීන් ගණන අඩුවුණේ නැහැ. එළඹෙන තත්වයන්ට අනුව නීතිරීති වෙනස් කරමින්, මහජනතාවට නිවසේ රැඳී සිටිමින් මේ භාරදුර කාර්යයේ ඉදිරිපෙළ ඉන්න අයට පිටිවහලක් වෙන්න කියල දිනපතා රජයෙන් ඉල්ලන්නේ.
කැනඩාවේ මේ ප්‍රශ්ණය දෙස දැඩි අවධානය යොමුකළ මුල්ම දවසේ ඉඳල ඉතා වැදගත් දෙයක් සිදුවෙනවා. හැම දිනකම EST වේලාවෙන් උදේ 11.15 ට පමණ අගමැති ජස්ටින් ට්රුඩෝ මහතා රජයේ තීරණ, රජය ගන්නට බලාපොරොත්තු වෙන පියවර, පාර්ලිමේන්තුවේ ගත් තීරණ, මහජනයාගෙන් බලාපොරොත්තු වන දේ ආදිය ගැන ජනතාව අමතමින් කියා සිටීමයි. මේ කතාවට කිසිම දිනයක රෝග වාර්තා, මියගිය ගණන ආදිය අඩංගු වෙන්නේ නැහැ. පාලනය සම්බන්ධ දේවල් පමණයි. සියලු ජනයා එකලෙස දැනුවත් වීම නිසා ඔවුනට වඩා දැනුවත් තීරණ ගෙන සෞඛ්‍යය රැකගෙන ආරක්ෂා වීමට හැකිවනු ඇතැයි මෙයින් බලාපොරොත්තු වෙනවා.

ඔහු ද නිරෝධායනයට ලක්වී සිටි නිසා මුල සිටම තම නිවසෙන් පිටතට පැමිණ මේ සුදානම් සහිත කතාව පවත්වන්නේ. ඉඳහිට දවසක මාධ්‍යවලට ප්‍රශ්ණ අසන්නට දෙනවා. Teleconferencing ක්‍රමයට ප්‍රශ්ණ අහන්නේ. සැමට ආදර්ශයක් දෙමින් ආරක්ෂක නිලධාරීන් පවා එකිනෙකාට දුරින් සිටින්නේ.
දුර ගැන කියද්දී දැන් පුද්ගලික දුරස්ථභාවය මීටර් දෙකක් රැකගන්න උපදෙස් දෙන්නේ.

අගමැතිතුමාගේ කතාවට අමතරව වරින්වර ප්‍රාන්ත ප්‍රිමියර් හා ප්‍රදේශයේ නගරාධිපතිත් ජනතාව දැනුවත් කරනවා. මේ අය විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළත් සියල්ලෝ මෙම ප්‍රශ්නයේදී එකම අරමුණක් ඇතිව ක්‍රියා කරනවා. ප්‍රාන්ත සෞඛ්‍ය අධ්‍යක්ෂ දිනපතා රෝගීන් හා මරණත්, සෞඛ්‍ය අංශයේ තීරණත් දැනුම් දෙනවා. ඔවුන්ගේ තීරණ සියල්ල, ඉහලින් ලැබෙන තීරණ වලට අනුගත නිසා වැරදි අවබෝධයන් ඇතිවන්නේ නැහැ.

අප්‍රේල් මාසයේ වැදගත් තීරණ රාශියක් ගෙන මහජනතාවට යම් සහන සැලසුවා.
* කලින් ලිපියේ තිබුන වගේ කැනඩාවේ නිරෝධායන මධ්‍යස්ථාන නැහැ. රෝගී ඇසුරක් ගැන සැකනම් හෝ පිටරටක සිට පැමිණියේ නම් නිවසේ හෝ මුලික පහසුකම් ඇති තැනක දින 14ක් නිරෝධායනය වීම අනිවාර්යයි. රෝගය වැලඳී ඇති බවට ස්ථිර වුවත් නිවසේ අනෙක් අය සමග සම්බන්ධ නොවී වෙන්ව සිටින්නට අවශ්‍යයි. මහජන සෞඛ්‍ය අධිකාරියෙන් ඔවුන්ට උපදෙස් ලබාදෙනවා.
* රෝගය පැතිරීම වැලැක්වීමට ගත් පියවර හේතුවෙන් රැකියා අහිමිවූ අයට හා වෙළඳ ව්‍යාපාර වැසීමට සිදුවූ අයට ආර්ථික හා මුල්‍ය පහසුකම් සැපයීම ඉතා වැදගත් තීරණයක්. ඉක්මණින් සිදූවූ පාර්ලිමේන්තු රැස්වීමකින් පසු මේ සඳහා වූ මිලියන ගණනක මුදල අනුමත වුණා. එම මුදල් ලබාගැනීමට ලියාපදිංචි වීමත් සිදුකළේ වෙනස්ම ක්‍රමයකට. මේ සඳහා සුදුසුකම් ලැබීමට පසුගිය වසර තුළ අවමයෙන් $ 5000ක ඉපැයීමක් කළයුතුව තිබුණා. ලබාදෙන මුදලින් කොටසක් නැවත ගෙවිය යුතුයි.
ලියාපදිංචියට  අනුගමනය කළ ක්‍රමය වුයේ ඉල්ලුම් කරන පුද්ගලයාගේ උපන් මාසයයි.   සඳුදා ජනවාරි සිට මාර්තු දක්වා උපන්දින ඇති අය ලියාපදිංචි විය යුතුව තිබුණා. අඟහරුවාදා අප්‍රේල් සිට ජූනි  දක්වාත්, බදාදා ජුලි සිට සැප්තැම්බර් දක්වාත්, බ්‍රහස්පතින්දා ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වාත් ලියාපදිංචි සිදුකළා. සිකුරාදා වෙන්වුණේ මේ සතිය තුල යම් ගැටළු ඇතිවූ අයටයි. මේ ක්‍රමය ඉතා සාර්ථකව සිදුවූ බව වාර්තා වුණා.
* තවමත් කැනඩාවේ emergency order නිසා ක්‍රියාත්මක වන්නේ  අත්‍යවශ්‍ය සේවා පමණයි. ඒ අතුරින් විශේෂයෙන් ඉදිරි පෙළ සේවය කරන අයට වැටුප් වර්ධනයක් ලබා දිමටත් තීරණය වුණා. වෛද්‍ය සේවා සහ වැඩිහිටි නිවාස ආදියේ සේවය කරන අයට මේ වර්ධකය හිමිවනු ඇති.

* වෙන රටවල ජිවත්වන කැනඩා පුරවැසියන්ට  දීමනාවක් දීමත් කෙරෙනවා.

* පුරවැසියන් වැඩි දෙනෙක් නිවෙස්වල සිටින නිසා විදුලි ගාස්තු අඩු කිරීමට ක්‍රියා කළා.

*විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන්ට ගිම්හාන නිවාඩුවේ රැකියා කර උපයාගැනීම උගහට නිසාත්, අන්තර්ජාල භාවිතයට වැඩි මුදලක් වැයවෙන නිසාත් ඔවුන්ට දීමනාවක් යෝජනා වී තිබෙනවා. මේ සියල්ලෝ මාර්තු මාසයේ සිට අන්තර්ජාලය ඔස්සේ ඉගෙනුම සිදු කරන්නේ.

දීර්ඝ කරන ලද පාසල් නිවාඩුව අවසන් වීමත් සමග අප්‍රේල් මස මුල් සතියේ සිට දුරස්ථ ඉගැන්වීම් ආරම්භ වුණා. මේ සඳහා මුලින්ම ගුරුවරුන්ට තාක්ෂණික උපකරණ සහ අන්තර්ජාල පහසුකම් තිබේදැයි සොයා බැලුවා. සිසුන්ගේ නිවසේ පරිගණක, ලැප්ටොප්, ක්රෝම්බුක් , iPad වැනි තාක්ෂණික උපකරණ තිබේදැයි සමීක්ෂණ සිදුකර, එසේ නොමැති සිසුනට පාසලට අයත් උපකරණ ලබාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වුණා. කලින් සැලසුම් කරන ලද අවස්ථාවක් නොවෙන නිසාත්, සියලු ගුරුවරු සියලු ඉගැන්වීම් අන්තරජාලය ඔස්සේ සිදුකළ යුතු නිසාත්, දිනපතා එන ගැටලුවලට මුහුණ දෙමින් ක්‍රමයෙන් දෙමාපියන්, දරුවන් හා ගුරුවරු මේ ක්‍රමවලට අනුගත වෙමින් සිටින්නේ.

පාසල් හා විශ්ව විද්‍යාල නැවත ආරම්භය මැයි අග දක්වා දැනට කල් දමා තිබුණත්, ගිම්හාන නිවාඩුවෙන් පසු අලුත් වසර ආරම්භ වන සැප්තැම්බර් මාසයේවත් සමුහ ලෙස එක් රැස්වන ස්ථාන ආරම්භ කිරීම සැක සහිතයි.

කැනඩා -ඇමරිකා දේශ සිමාව තවමත් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට පමණයි විවෘත කර තිබෙන්නේ.
කැනඩාවේත් හැමෝම කියන දේ අහගෙන ඒ විදියටම ඉන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ අනවශ්‍ය රැස්වීම් සිදුකරන, නීතියට පිටතින් පස් දෙනාට වඩා එක් රැස්වෙන අයට දඩ ගැසීම සිදු කරනවා. නොවටිනා මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ විකිණීමත් දඩ ලැබීමට හේතු වෙනවා. රැකියාවට යා හැකිව තිබියදී නොයා සිට මුදල් ලබාගන්න අය ගැනත් අවධානය යොමුවෙලා තියෙන්නේ.

රෝගය සමග අනාගතයේ එන ගැටළු ගැනත් අවධානය යොමු කරණවා. මතුවිය හැකි ආහාර හිඟයට පිළියම් ලෙස එළඹෙන ගිම්හාන කාලයේ ගෙවතු වගා කිරීම දිරිමත් කරන අතර, වගා කිරීමට ඉඩක් නොමැති අයට Community Garden සංකල්පය අනුව තමා වෙසෙන ප්‍රදේශයේ වගාව සඳහා රජයේ ඉඩම් වෙන්කර දීම මේ දිනවල කෙරෙනවා.

වැඩිහිටි හා විශ්‍රාමික වියට පත්වූ පසු ඔවුන් සඳහා වන විශේෂ නිවස්නවල ජීවත්වීම කැනඩාවේ සුලබයි.
වැඩිහිටි නිවාස හා long term care වල වෙසෙන අය සිඝ්‍රයෙන් රෝගයට ගොදුරු වී මියයාම රජයට මුහුණ දෙන්න සිදුවූ විශාල ප්‍රශ්ණයක්. සේවා සපයන පුද්ගලයන්  බොහෝවිට නිවස්න කිහිපයක සේවය කිරීම නිසා මෙම පැතිරීම වේගවත් වූ බව හඳුනා ගැනුණා. සේවය කරන අය රෝගී වීමත් සමග එක පුද්ගලයෙක්  එක ස්ථානයක පමණක් සේවය කළ යුතු ලෙස නීති පැනවුණා.  රෝගීන් වැඩිවීමත්, සේවය කරන අය අඩුවීමත් හේතුවෙන් ඇතිවූ ගැටලුවට පිළියම් ලෙස එම මධ්‍යස්ථානවල සේවය උදෙසා හමුදාව යොදවනු ලැබුවා.

දිනපතා මතුවන ගැටලුවලට පිළියම් යොදමින්, ඇතිවන තත්ත්ව විග්‍රහ කරමින්, රෝගය වලක්වාගෙන, රෝගීන් හා මරණ අඩු කරගන, මහජන ආරක්ෂාව කෙරෙහි ප්‍රමඛතාව දීමයි මුල සිටම කැනඩාව අනුගමනය කළ පිළිවෙත වුණේ. දැනටමත් කැනඩා සෞඛ්‍ය සේවය අවදානම් මට්ටමකට පැමිණ තිබෙන්නේ. වෙනත් රටවල සෞඛ්‍ය සේවයේ යෙදී තිබෙන, කැනේඩියානු සුදුසුකම් අවසන් කර නැති වෛද්‍යවරුන්ටත්  ලියාපදිංචි වීමට ඉල්ලීම් කරනු ලැබුවා. ඔවුන්ට අධීක්ෂණයට යටත්ව මාසයක කාලසීමාවකට තාවකාලික බලපත්‍ර ලබා දී තිබෙනවා.
දැනට රෝගය සම්බන්ධව කැනඩාවේ තත්වය High risk :ඉහල අවදානම් ලෙසයි ගැනෙන්නේ.
දිනපතා රෝගීන් මෙන්ම මරණ සංඛ්‍යා ද ඉහල නගිනවා. බොහෝ රටවල් මෙන්ම කැනඩාවද උත්සහ කරන්නේ වක්‍රය සමතලා කර සෞඛ්‍ය පහසුකම් වලට ඔරොත්තු දෙන ප්‍රමාණයක රෝගීන් පවත්වා ගැනීමටයි.

දැනට සති  හතක් පුරා පවත්වාගෙන යන හදිසි තත්වය ලිහිල් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් තවමත් නැත. ජනතාවගේ අවම අවශ්‍යතා සපුරා ගැනීමට රජයෙන් සියලු ආධාර දෙන අතර, කෙටි කාලීන ලිහිල් කිරීමක් පවා මෙතෙක් සිදුකළ සියලුම කැපකිරීම් අවදානමක යොදවනු ඇති බව නිතර ජනතාවට අවධාරණය කෙරෙනවා. සුළු ව්‍යාපාර ආරම්භක දිනය ගැන ඇසු පැනයකට පිළිතුරු දෙමින් ඔන්ටේරියෝ ප්‍රාන්ත අගමැති කීවේ " මෙය මාර්ග සිතියමක්. දින දර්ශනයක් නොවේ".
                         
                            ' THIS IS A ROAD MAP .  NOT A CALENDAR'

උදව්:
www.bnnbloomberg.ca/
www.canada.ca/en/public-health/services/diseases/2019-novel-coronavirus-infection.html
https://www.cbc.ca/news/canada/toronto/internationally-trained-doctors-covid-19
https://www.thestar.com/news/canada/2020/04/10/

Saturday 25 April 2020

කොරෝනාවයිරස් සමයේ මානසික සුවපත් බව

ලොව වෙලාගෙන ඇති වයිරස පැතිරීම නිසා රෝගය ගැනත්, රෝගීන් හා මරණ ගැනත් වෙන කවරදාකටත් වඩා තොරතුරු වැඩියි. වසංගතය හේතුවෙන් නිවසට වී බොහෝ දිනක් හිඳිම, අවිනිශ්චිතභාවය, හෝ ස්වකිය පවුලේ කෙනෙක් අවදානම් රැකියාවක යෙදීමට සිදුවීම නිසා මේ තත්වය ශාරීරිකව මෙන්ම මානසිකව හා මනෝ විද්‍යාත්මකව කරන බලපෑම් ඉහලයි.  කාහටවත් අවනත නොවෙන වයිරසයක් නිසා මුළු සමාජ ජිවිතයම බිඳ වැටී, එය සෑම පුද්ගලයෙක්ටම බලපාමින් තියෙන්නේ.
අප කිසිවෙක් මින් පෙර මුහුණ දී නැති, කවදා නිමක් දකියිදැයි කිසිවෙක්ට නිශ්චිතව කිව නොහැකි, ඉදිරියට මොන තත්වයක් එළඹෙදැයි නොදන්නා මෙවන් තත්වයකදී මානසික සෞඛ්‍යය රැකගන්නා අන්දම පිළිබඳව ලොව බොහෝ ආයතන උපායමාර්ග ඉදිරිපත් කරලා තියනවා.

1. තොරතුරු දැනගැනීම. එහෙත් අනවශ්‍ය ලෙස ප්‍රවෘත්ති ආදිය නිතර නොබැලීම
අප කිසිවෙක් නිශ්චිතව නොදන්නා රෝගයක් හා එහි පැතිරීමේ ස්වභාවය ගැන දැනසිටීම අත්‍යවශය දෙයක්. තමන් ජිවත්වන ප්‍රදේශයේ එහි පැතිරීම අධ්‍යයනය රෝගයෙන් වැලකි සිටීමට පහසුවක්.
එහෙත් වැරදි තොරතුරු මෙන්ම විශ්වාසදායක නොවෙන තොරතුරුද අන්තර්ජාල අවකාශයේ බහුලයි. එමෙන්ම සංවේදී තොරතුරු නිතර ප්‍රචාරය වෙන වෙබ් ලොව පුරා තියෙනවා. ඒවායෙන් තොරතුරු ලබාගෙන විශ්ලේෂණය කරන අයට මිස, නිවසේ රැඳී සිටින හෝ වෙනත් රැකියාවක යෙදෙන කෙනෙක්ට ඒවායින් එතරම් ප්‍රයෝජනයක් නැහැ. එමනිසා හැමවිටම
  • විශ්වාසදායක තොරතුරු දෙන අඩවි කිහිපයකට ඔබේ සෙවුම් සීමා කරන්න.
  • තොරතුරු ලබාගන්නා කාලසීමාව සීමා කරන්න. බොහෝ ප්‍රවෘත්ති හා සමාජ ජාල මගින් අනවශ්‍ය තරම් තොරතුරු ලබා ගැනීම චිත්ත පීඩනය වැඩිවීමට හේතු වෙනවා. 
  • ඔබට ලැබෙන තොරතුරු වලින් ඔබ පිඩාවට පත්වන බව දැනෙයි නම්, ඒවා ඔබ සිත කරදරයට පත්කරයි නම් මාධ්‍ය භාවිතයට සීමා පනවගන්න. 
  • ඔබ දන්නා, විශ්වාසදායක අය ශෙයා කරන දේ පමණක් තෝරාගන්න. වෙනත් තොරතුරු ශෙයා කිරීමේදී හොඳින් සැලකිලිමත්වන්න. අනවශ්‍ය තොරතුරු හා වැරදි තොරතුරු නිසා අනෙක් පුද්ගලයන් කලබලයට පත්විය හැකිය.
2. ඔබට පාලනය කළහැකි දේ ගැන අවධානය යොමු කරන්න.
ලෝකයේ හෝ ඔබ සිටින රටේ හෝ ඔබ සිටින ප්‍රදේශයේ වයිරසය පැතිරීම ඔබට පාලනය කළ නොහැකියි. ඔබ එම පාලන ක්‍රියාවන්ට සක්‍රියව දායක වන රැකියාවක නොයෙදී නිවසේ සිටියිනම්,
  • දිනය සමබරව සැලසුම් කරන්න 
  • නිවසේ හා නිවැසියන් ගැන අවධානයෙන් ඒ අයට වැඩි ප්‍රයෝජනයක් සැලසෙන අයුරිනුත්, අලස බව නොදැනෙන අයුරිනුත් ඔවුන් සමග ප්‍රබෝධයෙන් සම්බන්ධ වෙන්න. සියල්ලන් එක්ව ආහාර ගන්න.
  • නිවස පිරිසිදුව තබාගන්න. මේ සඳහා නිවසේ අයව සහභාගී කරගන්න.
  • ස්වකීය ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න. නිවසින් බැහැර නොගියත් දිනපතා පිරිසිදු වීම, ඇඳුම් මාරුකිරීම, හිස පිරිම, දත් මැදීම, නෑම ආදිය සුපුරුදු ලෙස සිදු කරන්න. 
  • නිවසේ සිට රැකියාව කරන්නේ වුවත් දිවා ආහාර විවේකය, තේ විවේකය ලබාගන්න. දිනය අවසානයේ එම ස්ථානය පිරිසිදු කර, එතනින් ඉවත්වෙන්න. 
  • රෝගය බෝවීමෙන් වැළකීමට ලොව පුරා මිනිසුන් අනුගමනය කරන දේ අනුගමනය කරන්න.  
 *  නිතර දෙඅත් සබන් යොදා සෝදන්න. පිටතකට ගොස් පැමිණි විට මෙය  අනිවාර්යයි.  
  *  මුහුණ අතපත ගෑමෙන් වලකින්න   
  *  ප්‍රමාණවත් නින්දක් ලබාගන්න. මෙය ප්‍රතිශක්තිය දියුණු කරයි.         
  *  හිරුඑළිය සිරුරට පතිතවීමට සලස්වන්න. ගෙවත්තක් ඇත්නම් එළිමහනේ පැය කිහිපයක් ගත කරන්න. 
   *  අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසෙන් පිටව ගමනේ නොයෙදෙන්න. 
   *  නිවසෙන් පිටත යනවිට මුහුණු ආවරණයක් නිසි ලෙස පළඳින්න. පිටස්තර පුද්ගලයන්ගෙන් මීටර් 2ක්වත් දුරින් සිටින්න.
තරුණ, නිරෝගී බව පෙනෙන කෙනෙක් මගින් වුවත් රෝගය පැතිරීමට ඉඩ ඇති බව දැන සිටින්න. බාහිර ගමන් බිමන් යාමේදී එය තරයේ සිතට ගන්න.

3. ඔබට භෞතිකව එකිනෙකාගෙන් වෙන්ව සිටීමට සිදුවුවත්, නිතර අන් අය හා සම්බන්ධතා පවත්වන්න.
දැනට රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් නැති නිසා  රෝගයෙන් වැළකීමට උත්සාහ දැරීම පමණයි කරන්නට හැකිවන්නේ. ඒ සඳහා ප්‍රමුඛතම කරුණක් වන්නේ අනෙත් අයගෙන් ඈත්ව සිටීමයි. (physical distancing). ප්‍රබල සමාජ සත්වයෙක් වන මනුෂ්‍යයා වවිධ සම්බන්ධතා ඇති කරගැනීම නිතැතින් සිදුවන දෙයක්. එකිනෙකාගෙන් දුරස්ව විසීම කාංසා, මානසික ආතතිය හා මානසික අවපීඩන තත්ත්ව ඇති කිරීමට මෙන්ම ශාරීරික සෞඛ්‍යයටත් බලපෑම් කරනවා. එමනිසා එකිනෙකා සමග වෙනත් ක්‍රම භාවිතයෙන් සම්බන්ධතා පවත්වා ගැනීම වැදගත්.
  • පවුල, සමීප නෑදෑයින් සහ සමීප මිතුරන් සමග නිතර සම්බන්ධතා පවත්වන්න. පවුලේ අය දැනට වෙසෙන්නේ ඔබ සමග නොවේනම් නිතර දුරකථනය, ස්කයිප්, වට්සැප්, ෆේස්බුක් චැට් ආදී තාක්ෂණ යොදා ගනිමින් ඔවුන් සමග සම්බන්ධ වී කතාබහ කරන්න. හැකි විටෙක වීඩියෝ යොදාගැනීමෙන් එකිනෙකා දුරස් බව දැනීම අඩුකර ගැනීමට හැකියි. එය කාංසා හා අනෙකුත් මානසික පසුබෑම් තත්ත්ව සමනයට බෙහෙවින් උපකාර වෙයි. 
  • සමාජ ජාල භාවිතය පවුලේ අය, නෑදෑ මිතුරන් අතරට සීමා නොකර විවිධ ක්ෂේත්‍ර ඇතුලත්ව සිදු කරන්න.  තමා සමුහයක, රටක, ලෝකයක වෙසෙන බව දැනවීමට එය උපයෝගී වෙනවා.
    හැබැයි, එම සමාජජාලම ඔබේ සිතේ අයහපත් තත්ත්ව වර්ධනයට හේතු විය හැකි බැවින් හැකිතාක් එහි ඇති විකල්ප තෝරාගැනීම් හැකියා (option) ගැන දැනුවත් වී අනවශ්‍ය වචන හා පීඩාකාරී පුද්ගලයන් ඈත් කිරීමට සිතට ගත යුතුයි. 
  • හැම කතාබහකදිම වයිරසය හා ඒ ගැන තොරතුරුවලින් පරිබාහිර දේ ගැනත් අවධානය යොමු කරන්න. සිතට සතුට ගෙන දෙන සිනා කතා, වෙනත් කතා හා නිර්මාණ මෙන්ම ජිවිතයේ වෙනත් අංශ සඳහා වැඩි ඉඩක් දෙන්න. අලුතින් සිතන්න. 
4. ඔබේ ශරීරය හා අධ්‍යාත්මය ගැන අවධානය යොමු කරන්න. 
  • ඔබේ සිරුරට මෙන්ම සිතට කාරුණික වන්න. මෙවන් වටපිටාවක හිතේ පීඩනය සාමාන්‍යයි. එය ඔබට පමණක් සිදුවන්නක් නොවේ.
  • හැකිතාක් එදිනෙදා වැඩ කාලසටහනකට අනුව කරන්න. උදය පිබිදීම, ආහාර ගැනීම, දරුවන්ගේ වැඩ කටයුතු, නිවසේ සිට රැකියාව ආදිය පවා විවිධත්වයක් ඇතිවන ලෙස සැලසුම් කර, එය අනුගමනය කිරීමෙන් ඔබට සාමාන්‍ය ජිවිතයක් ගතකරන බව දැනෙනු ඇති.  
  • ඔබ අනුගමනය කරන ආගමක් දහමක් ඇත්නම් ඒ සඳහා කාලයක් යොදවන්න. 
  • ඔබ කැමති විනෝදාංශයක යෙදෙන්න. පොත් කියවීම, චිත්‍රපටියක් නැරඹීම, අලුත් කෑමක් අත්හදා බැලීම, නිර්මාණයක් කිරීම, වගාවක් කිරීම, මල් සැකසුමක් කිරීම, දරුවන් සමග වීඩියෝ නොවෙන ක්‍රීඩාවක නිරතවීම වැනි ඔබ කැමති දෙයක් අලුතින් හිතා බලා තෝරාගන්න. තමන්ගේ සැඟවුණු කුසලතා ඔප මට්ටම් කරගැනීමට මෙම කාලය යොදවන්න පුළුවන්. 
  • එලියට බැස හිරුඑළියේ වැඩක නිරතවෙන්න. නිවසෙන් පිටත ඇවිද යා හැකිනම් පිටස්තර පුද්ගලයන්ගෙන් දුරස්ථ භාවය රැකගෙන කෙටි දුරක් ඇවිදින්න. අසල්වැසියා සමග ඈතින් සිට වචනයක් දෙකක් කතා කරන්න. 
  • තනිව සිතා බෙහෙත් ගැනීමෙන් හා මත්ද්‍රව්‍ය ගැනීමෙන් වලකින්න. 
  • ශාරීරික ව්‍යායාම කිරීමට ක්‍රමයක් යොදාගන්න. ඇවිදීම, බයිසිකල් පැදීම, වත්තේ පිටියේ වැඩ කිරීම මෙන්ම අන්තර්ජාලයේ සොයාගන තනිව අනුගමනය කල හැකි, විශේෂ උපකරණ අනවශ්‍ය  යෝග ව්‍යායාම් වැනි දෙයක් අනුගමනය කරන්න. 
  • සිරුර ඉහිල් කරන මානසික ව්‍යයමයන්හි යෙදෙන්න. සුඩොකු වැනි ගැටළු විසඳීම, භාවනා කිරීම, යෝග ව්‍යායාම ආදියෙහි දිනපතා යෙදෙන්න. එය ඔබේ කාලසටහනට ඇතුලත් කරගන්න. 
5. අනෙක් අයට උදව් වන්න. කාරුණික වන්න. 
ඔබ ශාරීරිකව සමාජයෙන් ඈත්ව සිටිමින් වුවද සමාජයට සේවය කල හැකි ආකාර ගැන සිතන්න. ඔබේ හැකියාවන් නිර්මාණාත්මකව යොදාගනිමින් අන් අයට උදව් කරන්න. 

අවධානය යොමු විය යුතු අංශ :
සෞඛ්‍ය පුරුදු අනවශ්‍ය ලෙස වැඩියෙන් කරන්නට යොමුවෙන පවුලේ සාමාජිකයන් ගැන අවධානයෙන් සිටින්න. අත් සබන් යොදා සේදීම අවශ්‍ය වුවත් එය අනවශ්‍ය ප්‍රමාණයකින් කරනවානම් තේරුම් කර දී, සීමා පනවන්න.
කාමරයටම සීමා වී සිටින්නට උත්සහ දරනවානම් ඔබ සමග පිටතට කැඳවා ගන්න.  

හැඟීම් ද පහසුවෙන් පැතිරෙන්න පුළුවන්. ඔබට පිහිටක් අවශ්‍ය තරම් කාංසා හා ශෝකිය තත්වයක් දැනෙයි නම් හොඳ සවන්දීමේ හා උපදෙස් දීමේ හැකියාවක් ඇති කෙනෙක් තෝරාගන්න. වයිරසය ගැන ඍණාත්මක අදහස් දරන, ඔබේ බිය වැඩි කරන්නට යොමු කරවන අයගෙන් ඉවත්වෙන්න. හොඳින් සවන් දෙන්න හැකි, සමබර, ධනාත්මකව හිතන අය මේ වෙලාවේ වැදගත්. ඒ අය පමණක් කතාබහට තෝරාගන්න.

උදව්:
https://search.creativecommons.org/
www.helpguide.org/articles/anxiety/coronavirus-anxiety.ht
www.mentalhealth.org.uk/coronavirus
www.vox.com/identities/2020/3/21/21188362/manage-anxiety-pandemic
www.sciencemag.org/careers/it-s-ok-feel-anxious
www.theatlantic.com/photo/2020/03/photos-life-coronavirus-era/608101/
https://ca.portal.gs/