Thursday, 16 August 2018

කොලෙන් පිසදැමීමේ කතාව

වැසිකිලි යාමෙන් පසු සබන් යොදා හොඳින් අත සේදීම අපට කුඩාකළ සිටම පුරුදු කළ දෙයක්. ඊට හේතුව ශරීර කෘත්‍යයෙන් පසු වතුර හා අත භාවිතයෙන් පිරිසිදු කරගන්නා නිසා, අතේ ඉතිරිවන යම් විෂබීජයක් ඇත්නම් ඉවත් කර ගැනීමටයි.
බටහිර ජාතීන්ගේ වියලි වැසිකිලි ගැන සාකච්චාවකදී ඔවුන් වියලි වැසිකිලිවලට  හුරුවුයේ හෙවත් ජලය භාවිතා නොකරන්නේ මන්ද යන්න ගැන බොහෝ දෙනෙක් විමසිලිමත් වුනා. මෙතැනදී වියලි වැසිකිලි කියන එකෙන් අදහස් කරන්නේ ජලය කිසිසේත් භාවිතා නොකිරිම නොවෙයි. එහෙම වැසිකිලි වර්ගයකුත් තියෙනව. ඒවායේ මලපහ කෙලින්ම ප්‍රතිචක්‍රීකරණය කෙරෙනවා. කතාවට ලක් වුණේ ශරීර කෘත්‍යයෙන් පසු සෝදා ගැනීමට ජලය නැතිව කඩදාසි භාවිතා කරන වැසිකිලි ගැනයි. දැන් දැන් ලංකාවෙත් මෙවැනි වැසිකිලි  බහුල වෙමින් යනවා.
ආසියානු අපට හුරුවෙන්න අපහසු දෙයක් වියලි වැසිකිලි.  බටහිර අය එහෙම හුරුවෙන්න ඇත්තේ ඇයිද කියල ඉතිහාස තොරතුරු හෙවිම ලෙහෙසි නැති වුනත්,  අධ්‍යාපන ආයතනයකින් ගිය චාරිකාවකදී ඒ ගැන කෙලින්ම නොකියවුණත් යම් අදහසක් ගන්න පුළුවන් වුනා.
යුරෝපින් ඇමරිකා මහද්වීපයට ඇවිත් මුලින් විශාල ඉඩම් හිතු මනාපෙට අත්පත් කරගත්තා. ගොවිතැනට පහසුවෙන්න හින්ද ජලය තියන තැනකට ආසන්නව උස බිමක තමයි ගෙවල් හදාගෙන තියෙන්නේ. විශාල කොටන් දෙකට පලා ඒවා බිත්ති විදියට යොදාගත් log house වල  මුලින් සාමාන්‍ය මිනිසුන් ජීවත්වෙලා තියෙන්නේ.
කුඩා කාමරයක් හෝ දෙකක්ද,  සාලය හා කුස්සියට භාවිතා කරන එක කොටසකින්ද  යුතු ගෙවල්වල සමහරවිට දරුවන් සමග හත් අටදෙනා ජීවත්වෙලා තියනව. කුඩා නිවසක් වීමේ වාසියකුත් තිබිල තියෙනවා. සිතල කාලයට නිවස රත් කරගන්න එතරම් දර එහෙම වැයවෙන්නේ නැහැනේ. නිවස උණුසුම් කරගැනීමට භාවිතා කළ උදුනෙන්ම තමයි ඉවුම් පිහුම් හා වතුර රත් කරගැනීමත් සිදුවෙලා තියෙන්නේ.
වතුර කියන දෙය තරමක් හිඟ දෙයක් විදියටයි සලකන්නේ. ජලය සමීපයේ විසුවත් නිවසට ජලය වෙනම සපයාගත් යුතු නිසා. බාල්දි හෝ  ඒ සඳහා සකස් කළ කූඩ වලින් වතුර ඇදල තියෙන්නේ. මේ විදියට ගෙනෙන වතුර බොහොම අරපරිස්සමින් පාවිච්ච් කරලා. කොච්චර පරිස්සම්ද කියනවනම් නාන්නේ කලාතුරකින්.

සීතල කාලෙට උදේම ලොකු භාජනයකට වතුර උණු කිරීම පටන් ගන්නව. විශාල ලෝහ භාජනයකට වතුර පුරවා එය උදුන මත තබා උයන පිහන අතරේ එය රත්වීමට සැලසීම එක විදියක්.  කුඩා උදුන් තියන අය ලෝහ බාල්දිවල හෝ  කේතල්වල ජලය ටික බැගින් උණුකර නාන ලි බේසම පිරවීමයි කර තිබෙන්නේ. නිවසේ කුඩා ළමයි ඉන්නවනම් උදුන යකඩ බටවලින් වටකරලා තියෙන්නේ. ඒ උඩත් යකඩ තහඩුවක් තියල ඒ මත භාජන තියා රත් කරගැනීම හා ඉවීම කරලා තියෙනවා. ගිම්හාන කාලයේ නිවසෙන් පිටත තැබූ බඳුනට කෙලින්ම ගඟෙන් ගෙනෙන ජලය පුරවා තිබෙනවා.



තරමක් මුදල් තියන අය නාන බේසම විදියට ලෝහ බේසමක් පාවිච්චි කරල තියෙන්නේ.
හවසට ගෘහ මුලිකයා ගොවිබිමෙන් හෝ දඩයම් කර පැමිණි විට ඔහු අර පිරිසිදු උණුසුම් ජල බේසමට බැහැල  ඇඟපත සෝදා ගන්නවා. ඊළඟට වැඩිමහලු  සිට බාල අය දක්වා එකිනෙකා අර වතුරටම බැහැල පිරිසිදු වෙනව. අවසානයේ කුඩාම අත දරුවාව අර සියල්ලන් බැහැල අපිරිසිදු වූ ජලයෙන් සෝදනව. ඒ කියන්නේ වතුර ටික විසි කිරීමට පෙර එයින් උපරිම ප්‍රයෝජන ගන්නවා.
ජල භාජනයේ පිරිසිදුවීම දිනපතාම කෙරුණු දෙයක් නොවේ. සතියට එක දිනක් නාල අනිත් දවස්වලට තෙත රෙදි කැබැල්ලකින් මුහුණ, කිහිලි හා පසු ප්‍රදේශය පිසදා ගැනීමක් කර තිබෙන්නේ.

හිම වැටෙන කාලයට මේ විදිය වෙනස් වෙන්නේ වතුර ගෙනෙන්න ගඟට යන්න ඕනේ නැති නිසා. ගේ වටේ වැටෙන හිම එකතු කරලා උණු කරගන්නවලු. ඉතින් එතකොට ඕනතරම් වතුර තියෙනවනේ කියල හිතන්න පුළුවන්. එහෙත් වතුර උණු කරන්න භාවිතා කරන දර ප්‍රවේසම් කරගත යුතු නිසා දවසකට එක බේසමක් මිස ඊට වඩා උණු කරන්නේ නැහැ. ඒ නිසා අනික් කාලවල වගේමයි සීත කාලයේ වතුර භාවිතයත් අර පරෙස්සමින්. මේවා විස්තර කළේ දැනට සංරක්ෂනය කරලා තියෙන ලොග් හවුස් එකක් ඇති කෞතුකාගාරයක මග පෙන්වන්නෙක්.

උණුසුම් කාලෙටවත් ගඟෙන්, ඇල දොලෙන් නා ගන්න පුළුවන් නේද කියල හිතෙනවා නේද? ඒකත් සිද්දවෙලා නැහැ හේතු දෙකක් නිසා. එකක් ගඟකින් නෑවම ලෙඩ වෙනවයි කියල මතයක් තිබුණු නිසා.  එකල බොහෝ නිවෙස්වල රාත්‍රියට මළමුත්‍ර කිරීම සඳහා බාල්දියක් තිබිල තියනව. එය දිනපතා හිස් කරලා තියෙන්නේ ගඟටයි.  ඉතින් විෂබීජ ශරීර ගතවෙලා රෝගී වෙන්නත් ඇති. 20 වන සියවසේත්  දිනපතා ලන්ඩන් නගරයේ වැසිකිලි බාල්දි එකතුකර ඉවත ලා ඇත්තේ තේම්ස් නදියටයි. පාර්ලිමේන්තුවේ ඒ පැත්තට විශේෂ තිරත්  දාල තියෙනවා ගන්ධය ඇතුලතට නොඑන්න.  අනිත් හේතුව ගංගාවල ජලය උණුසුම්ව තියෙන්නේ වසරකට මාස දෙක තුනක් පමණයි. වතුරේ අධික සිතල නිසා ගඟෙන් ඇල දොලවලින් පිරිසිදු වීමේ හුරුවක් තිබිල නැහැ. ආගම් මගිනුත් යම් තහංචි තිබිල තියනව. මුළු සිරුරම සේදීමෙන් කාමය උද්දීපනය වන නිසා එය නොකළ යුත්තක් බව කියා දී තිබෙනවා. ඒ යුගයේ කන්‍යාරාමවල වෙසෙන පැවිදි කාන්තාවන්ට මුහුණ හා අත් හැර සිරුරේ කොටස් සේදීම තහනම්ව පැවතුණා.

 ස්පාඥ්ඥයේ ඉසබෙලා රැජින ඇගේ අවුරුදු 50ක ජිවිතේ නාල තියෙන්නේ එක දිනයිලු. අවුරුද්දකට එක දිනක් නෑම මධ්‍යකාලින යුරෝපයේ සාමාන්‍ය පිලිවෙතයි.  කාන්තාවන්ගේ වාර්ෂික ස්නානය යෙදිලා තියෙන්නේ මැයි මාසෙට නිසාලු ජුනි මාසයේ June Bride ලා ජනප්‍රිය. මනාලිය මල් කළඹක් ගෙනියන්න හුරුවුණේ සිරුරේ ගන්ධය අන් අයට දැනීම අඩු කරගන්නයි. ප්‍රංශ ජාතිකයන් සුවඳ විලවුන් හදන්න හා නිවෙස්  වටා සුවඳ හමන සයිප්‍රස් වැනි ගස් වර්ග වවන්න පෙළඹිලා තියෙන්නෙත් ඒකයි.
ජනයා රැස්වන තැන්වල  පුද්ගලයෙක් සුවඳ හමන මල්, ගස්වල කොටස්, දොඩම්වල රැන්දු කරාබුනැටි ආදිය රැගෙන යනවලු. ඔහුව හඳුන්වල තියෙන්නේ Nose-gay හෙවත් නහය සතුටින් තියන තැනැත්තා කියල. මිනිස්සු ටිකකට නැවතිලා ඒවායෙන් සුවඳ උරාගෙන තියෙනවා.
පොහොසත් මිනිසුන්ගේ නිවෙස් තුල නාන කාමර හා නාන බේසම් තිබීමෙන් ඔවුන් වඩා සෞඛ්‍ය සම්පන්නව සිට ඇති බව පෙනී යනවා. රාත්‍රියට වැසිකිලි යාම අවශ්‍ය වූ විට ඒ සඳහා පියන සහිත එනැමල් භාජනයක් යොදාගැනීම නිවෙස් ඇතුලත වැසිකිලි ඉදි කෙරෙන තෙක් ලොව පුරාම සිදුවුණා.
මේ ලිපිය ලියන්න හේතුවුණේ බටහිර රටවල අය මලපහ කිරීමෙන් පසු සිරුරේ පශ්චාත් භාගය පිරිසිදු කරගත්තේ කොහොමද කියන එකත්, එය කඩදාසි කැබලි වලින් පිස දැමීම කරන අද දක්වා ව්‍යාප්ත වුනේ කොහොමද කියන එකත් විමසීමටයි.
අතීතයේ කැලෑවට ගොස් කටයුත්ත නිමවා ගස් කොළවලින් පිසදැමිමයි කර තිබෙන්නේ. මේ සඳහා බූව රහිත, ස්පන්ජිමය, වතුර ගතියක් ඇති ශාක පත්‍ර වර්ග අද දක්වාම යුරෝපයේ හා දකුණු ඇමරිකාවේ ග්‍රාමීය ප්‍රදේශවල භාවිතා කරනවා.

යුරෝපයේ හෝ ඇමරිකාවේ මළපහ කිරීමෙන් පසු වතුර භාවිත කළ බවක් සඳහන් වන්නේ අඩුවෙන්. ශාක පත්‍ර, තණකොළ වර්ග, පිදුරු, පර්ණාංග කොළ, ලයිකන වර්ග, පලතුරු පොතු භාවිතයෙන් පිසදාගෙනයි පිරිසිදුව ඇත්තේ. හිම තිබෙන කාලයට හිම ටිකක් උදව්වෙන් පවිත්‍ර වී තියෙනවා.
පැරණි රෝමයේ වැසිකිලි එකිනෙකාගෙන් ආවරණය වූ ඒවා හෝ ගැහැණු, පිරිමි ලෙස වෙන්කර තිබු ඒවා හෝ නොවේ. ගලා යන ඇල මාර්ගයකට ඉහලින් ලෑල්ලක් සවිකර එය සිදුරුකර එහි වාඩිවී ශරීර කෘත්‍යය කරගැනීමට පහසුකම් සලසා තියෙන්නේ. කර්තව්‍යයෙන් පසු කෝටුවකට සවි කරන ලද මුහුදු හත්තක් වැනි ස්පොන්ජ් එකක් භාවිතා කර පශ්චාත් ප්‍රදේශය පිසගෙන තිබෙනවා. එය ලුණු වතුර හෝ විනාකිරි දැමු බාල්දියක දමා තිබී ඇත්තේ.  පොදු වැසිකිලිවල භාජනවල දැමු මේවා පොදුවේ පාවිච්චි කර තිබෙන්නේ. භාවිතයෙන් පසු හොදින් සෝදා මිරිකා අනෙකාට භාවිතයට බාල්දියට දැමීම යහපත් පුරුද්දක් ලෙසයි සලකල තියෙන්නේ.
දේශ ගවේෂකයන්  ඉවතලන ලෝමත්, ධනවත් හා බලවත් පුද්ගලයන්  ලෝම හෝ භාවිතා කළ රෙදි කැබලි යොදාගෙන පවිත්‍ර වී ඇත්තේ. මේ සියල්ල වියලි තත්වයෙනුයි ප්‍රයෝජනයට ගෙන තිබෙන්නේ.
18වන සියවසේ එංගලන්තයේ හා ඒ අසන්න රටවල එකල සුලබව තිබී ඇති සිප්පිකටු හා බෙලිකටු ආධාරයෙන් පිරිසිදු කරගත් බවත්, ග්‍රීසියේ පිඟන් කටු කුඩු  හා සුමට ගල් වර්ගත්, ජපානයේ අයිස්ක්‍රීම් කෝටු වැනි පැතලි ලි වර්ගත්  භාවිතා කළ බවට සාක්ෂි තිබෙනවා.
බඩ ඉරිඟු කරලේ මදය මෑතක් වනතෙක්ම මළ මාර්ගය අග පිස දැමීමට භාවිතා කරලා තියෙනව. එක වරකට ඉරිඟු කරල් දෙකක්වත් අවශ්‍යයි. රතු කරලක් මුලින් පිස දැමීමටත්, සුදු කරලක් සම්පුර්ණයෙන් පිරිසිදු වෙලාදයි  පරික්ෂා කිරීමටත් යොදාගෙන තියෙනවා.  නිවසෙන් ටිකක් ඇතට වෙන්න ආවරණය වූ තනි වැසිකිලියක් සැදීම (out house) පටන් ගත් පසු එහි ඉරිඟු බඩ දැමූ බාල්දියක් තබා තියෙනවා පිසදා ගැනීමට. මෙයින් පෙනී යන්නේ අතීතයේ සිටම බටහිර ජාතින් වියලි පවිත්‍ර කරගැනීමකට හුරුව  සිට ඇති බවයි.
Outhouse 
වැසිකිලි යාමෙන් පසු පිරිසිදු කිරීමට කඩදාසි කොළ යොදාගැනීම චීනයේ 6වන සියවසේ සිටම කර තිබුනත් එම පුරුද්ද යුරෝපයට පැමිණ තිබෙන්නේ 19වන සියවසේදීයි. තෙතමනය සහිත හතරැස් කඩදාසි ගොනු ලෙස විකිණීමට තිබුණත්, ඒ ගැන එතරම් අවධානයක් යොමුවී නැහැ.
විවිධ දේ මුද්‍රණය කළ පුවත්පත් හා සඟරා කඩදාසි, වෙළඳ ප්‍රචාරක කැටලොග් වැසිකිලි යාමෙන් පසු භාවිතය පසුගිය සියවසේ 90 දශකය දක්වාම යුරෝපයේත් ඇමරිකාවෙත් සිදුකර තිබෙනවා. Outhouse වල හතරැස් කඩදාසි, බඳුනක ලා හෝ එල්ලා තබා ප්‍රයෝජනයට ගැනීමත් සමග ඉරිඟු මද යොදාගැනීම අභාවයට ගොස් තිබෙනවා. ඒ සඳහාම විශේෂිත කොළ රෝල් විකිණීම 50 දශකයේ  සිටම තිබුණත් සාමාන්‍ය නිවෙස්වල භාවිතා වී ඇත්තේ පොත් හා පුවත්පත්වලින් ඉරා වෙන්කර ගත් මුද්‍රිත කඩදාසියි.
යටත් විජිත යුගයේ ආසියානු රටවල ජනතාව උපයෝගී කරගන්නා ජලයෙන් සෝදා පිරිසිදු කිරීමේ ක්‍රම දැක, ඒවා වඩා සෞඛ්‍යාරක්ෂිත බව පිළිගෙන ඇතත් ඒ අදහස් බටහිර රටවලට හඳුන්වා දීම පහසු වී නැහැ. ජල මුද්‍රිත වැසිකිලියක් තුළ සෝදා ගැනීමට වෙනම බිඩේ බේසම් සවි කිරීම 80 දශකයේ ප්‍රංශයට හඳුන්වා දී ඇතත් එය ජනප්‍රිය වී නැහැ.  ජලය භාවිතා කිරීම ගැන ජනතාව පුදුම වූ බවත්, ඒ නිසාම  හුරුව ඇතිකිරීම අපහසු වූ බවත් පෙනී යන්නේ.
ඉතා අඩු වැයකින්,  නිවෙස් තුල භාවිතා කරන වැසිකිලි උපකරණවලටම බිඩේ ෂවර් එකක් සවි කිරීම හඳුන්වා දීමට උත්සහ කර ඇත. ඒ මගින් වැසිකිලිය වියලි තත්වයේ තිබියදීම පුද්ගල පවිත්‍රතාව සිදුකල හැකි බව ආදර්ශනය කර ඇතත්, ඒවා සාර්ථක වී නැත්තේ වියලි පවිත්‍ර කිරීමටම පුරුදු  වී ඇති නිසයි.
වසරකට  ඇමරිකා එක්සත් ජනපදය  තුළ ඩොලර් බිලියන හතක්  toilet papers සඳහා වැය කෙරෙනවා. මේවයින් සිදුවන පරිසර හානිය ගැන කතාබහට ලක්ව ජල භාවිතය පිලිබඳ අවධානය යොමුවෙමින් තිබෙනවා.

එහෙත් නිසි ලෙස පිරිසිදු කරගන්න අපටත් වියලි කොළවලින් පිස දැමීම හුරු කිරීමයි වර්තමානයේ සිදුවෙමින් පවතින්නේ.

උදව්:
Scarborough Museum and facilitators
Black Creek Pioneer Village
apioneerlife.blogspot.com/home-life.html
www.quora.com
www.historyundressed.com/history-of-hygiene-bathing-teeth
www.todayifoundout.com/index.php/toilet-paper

36 comments:

  1. Replies
    1. රස නැති දෙයක් ගැන...නේද?

      Delete
  2. සතියක් කොළ වලින් පස්ස පිහිදල එකම බේසමේ නාන කොට අර අන්තිමට නාවන පොඩි එකා ගැන පුදුම දුකක් ඇති වෙන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. අපි එක්ක ගිය සුදු අයත් it's so..oo..oo unhygienic ගගා කිව්වා. හරියට අපේ මුතුන් මිත්තෝ කළා වගේ.😝

      Delete
    2. උන් ජරා ජාතියක් අේ ඉතිහාසේ
      අපිට අාඩම්බරයි

      Delete
  3. වහා ඉරෙන, සැහැල්ලු ටොයිලට් පේපර් මුලින් ම සොයා ගත් තැනැත්තා ගැන ලිපියක් මේ මෑතකදි කියෙව්වත්, මට ඒ නම මතක හිටියේ නැහැ.
    ඔහු තමයි නූතන ටොයිලට් පේපර්වල නිර්මාතෘ.

    ReplyDelete
    Replies
    1. Joseph Gayetty කියල කෙනෙක් 1850 ගණන්වල. මුලින් විකුණලා තියෙන්නේ අත පිස්නා වගේ පැතලි ෂිට් විදියට 500 ගොඩවල්. එච්චර ජනප්රිය වෙලා නැහැ. පස්ස පිහින්න සල්ලි වියදම් කරන්නේ මොකටද කියල.

      Delete
  4. එකක් අපිට ග්‍රෝතිකයන් කියන බටහිර අය⁣ගේ හැංගී ඇති වතාවත් දැනගත්තා.......
    අගේ නැති අපේ දේ
    ආහාර ගැනීමට අත භාවිතය
    වැසිකිලි කිසෙන් පසු ජලය භාවිතය
    දත් මැදීමට අඟුරු බාවිතය
    එයාලා ගනිද්දී අපි අයින් වෙනවා
    "සංස්කෘතික මිනිසා"
    ඔබතුමියට බෙහෙවින්ම ස්තුතියි.....
    අගනා කරුණු ගොන්නක්

    ReplyDelete
    Replies
    1. ඔබ මතුකළ මේ කරුණ තමයි අවධානයට යොමුවිය යුත්තේ

      Delete
  5. kuthuhalaya dnawu mathrukawak. rasawath liyavillak. sthuthi.

    ReplyDelete
    Replies
    1. අගයනු ලැබීම සතුටක්

      Delete
  6. අපූරු තොරතුරු සමූහයක්. මේ තේමාව මත කටකතා වැනි විස්තර තොරතුරු මිස විෂයබද්ධව ලියැවුන ශාස්ත්‍රීයව අගය කළ හැකි සිංහල ලිපියක් මේ දක්වා හමුව නැති නිසාම මේ ලිපිය අපූරුයි ස්තුතියි බුද්ධීණී

    ReplyDelete
    Replies
    1. සැමදා පරිදි නොමසුරුව අගය කිරීම ගැන ස්තුතියි. එමගින් තව සොයාබලා ලියන්නට දිරි ලැබෙනවා.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  7. සම්පුර්න වු වටිනා ලිපියක් . ස්තූතී

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි දිරි දෙනවට

      Delete
  8. බොහොම ස්තුතියි. තවත් කොටසක් එකතු කරන්නම්.

    මේක කිවුවේ අපට ලෙක්චර්ස් කරපු ජපන් ප්‍රොෆෙසර් කෙනෙක්. ගොඩක් අතීතයේ ජපානයේ ටොයිලට් ගිහින් පිරිසිදු කරගැනීමට යොදාගෙන තියෙන්නේ හරහට දැමූ කඹයක්. ඒ කඹය උඩ එහෙට මෙහෙට ඇඹරිලා තමයි පිරිසිදු කරගන්න ඕන. ගෙදරට අමුත්තෙක් ඇවිත් ගියාම වගේ අවස්තාවක මාරු කලත්, අනිත් වෙලාවට එකම කඹය තමයි භාවිත කරන්නෙ. එකම බේසමෙන් වයස අනුපිළිවෙලට නාන එකත් ජපානයේත් සම්ප්‍රදායිකව සිදු වුනා. හැබැයි දැන් ඉතින් හරිම පිරිසිදු දියුණු ටොයිලට් සීට් සාදන්නන් විදියට ඔවුන් ප්‍රසිද්ධයි. සීත කාලයේ උණුසුම් වෙන්නටත්, ගුද මාර්ගය (හා යෝනි මාර්ග සඳහා වෙන වෙනම) උණුසුම් ජල ධාරාවකින් සේදෙන්නටත්, (ඇතැම් විට) වැසිකිලියේ දොර ඇරගෙන ඇතුලට යනවිටම ඉබේ පියන එසවී ඉබේම ලයිට් වැටෙන්නටත් දැන් ඔවුන් වැසිකිලි හදනවා.

    අපේ රටට ජල සම්පතෙන් කිසිම අඩුවක් නැහැ, කොටින්ම ශ්‍රී ලංකාවේ වාර්ෂික වර්ෂාපතන අගයන් ප්‍රසන්ටේෂන් එකක පෙන්නුවම ජපානයේ ප්‍රොෆෙසර් ලා පුදුම වෙලා, මේක අත්වැරදීමක් ද, කියල අහපු අවස්ථාවක් මම පුද්ගලිකව දන්නව. අපේ රටේ දේශගුණය ඉස්තරම්. එහෙම වෙලත් අපි වෙහෙස වෙලා වැඩ කරලා රට දියුණු කරගන්නේ නැතිව ඉන්න එක නම් ඇත්තටම අපරාදයක්.

    ReplyDelete
    Replies
    1. තවත් වැදගත් තොරතුරු එක් කිරීම ගැන ස්තුතියි මානවිකා. බටහිර රටවලත් සමහර තැන්වල මේ පහසුකම් තියනව.එහෙත් ජනතාව ඒවාට ප්‍රිය ගතියක් නැහැ.
      අපේ රටේ අගේ අපිම නොදැන පිරිසිදු කිරීමටත් වතුර අඩු රටවල ක්‍රමවලට යන එකනේ වැඩේ.

      Delete
  9. අපිත් එක්ක සන්සනදනය කරද්දි සුද්දෝ කියන්නෙ ඉතිහාසයේ ගොඩාක් දුක් විඳපු ජාතියක්, විශේෂයෙන්ම දේශගුණික අභියෝග නිසා. අපිට නම් මොකද රට වටේම මුහුද ගංගා වැව් පොකුණු රට පුරාම. ඇඟට පහසු දේශගුණය, හැමදාම එලවලු පලතුරු.රස්නෙ නිසාම අපි වතුරත් එක්ක තියෙන බැඳීම් වැඩි වෙන්න ඇති. රජ මාළිගයක් තිබුනත් වයිවාරන්න පොකුණු. ස්නානය කියන එක සංස්කෘතියේ කොටසක්.ශරීර කෘත්‍යය කලාට පස්සෙ හොඳට සෝදගෙන අතත් හොඳට හෝදගන්න එක සාමාන්‍ය දෙයක් වෙන්න ඇත්තෙ ඒ නිසා.
    අධික ශීතලත් ජල හිගයත් එක්කෙ ඔවුන්ගෙ සංස්කෘතිය එහෙම හැදෙන්න ඇති. ඒ අභියෝග නිසාමනෙ ඔවුන් අපිට වඩා වේගයෙන් දියුණු වුනේ. අමතක කරන්න එපා, මේ ඔවුන්ගෙ අතීත කතාව. කවදහරි ඔවුන් අපිටත් වඩා පිරිසිදු ජාතියක් වෙලා අපිට හිනා වෙයි. ඒ ඔවුන් කයිවාරු ගහ ගහ එක තැන පල්වෙන පිරිසක් නොවන නිසා.

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත. අනිත් අතට අපේ අය බටහිරෙන් එන ඕන දෙයක් හිස් මුදුනින් පිළිගන්නවනේ ඒ අය එහෙම කරන්නේ මොකද කියලවත් හිතන්නේ නැතිව.

      Delete
  10. ස්තූතියි ලිපියට. කාලයක් තිබ්බ ප්‍රශ්නයකට පිලිතුරු ලැබුනා. බෙ ාහෝමත්ම ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ප්‍රශ්නෙකට ලිපියකින් පිළිතුරු දෙන්න පුළුවන් වීම ගැන සතුටුයි.

      Delete
  11. Balan giyama sudda patta gothrikayi��

    ReplyDelete
  12. ඉතාම සාරවත් එසේම තුලනාත්මක අවධානය යොමු කිරීමට පොළඹවන ලිපියක්. සියලු දෙනාගේම වාගේ ධනාත්මක කොමෙන්ටු කියවූවාට පසු අපට සිදුවී ඇති අභාග්‍ය සම්පන්න දේ ගැන අප කුඩාකාලයේ කට පාඩම් කළ ගැඹුරූ අර්ථයක් ගෙනදෙන කවුරුත් දන්නා කවියක් මෙහිලා සඳහන් කරමි.

    "ඉස්සර කොළ ඇඳපු දන බටහිර පැත්තේ
    විස්තර බලන්නට යති මහමෙර පැත්තේ.
    උස්කර ජය කෙහෙළි නැගු මුළු ලෝ මත්තේ
    ඉස්තිර සිහලු කුලියට යති තේ වත්තේ "

    මෙය එස් මහින්ද හිමියන්ගේ පද්‍යයක් වගෙයි මතක. මා වැරදි නම් නිවැරදි කරන්න.

    ReplyDelete
    Replies
    1. උන් වහන්සේ කියා තිබෙන දේ දැන් එදාටත් වඩා කෙරෙනවනේ

      Delete
  13. මටත් තිබුනා ගැටළුවක්..මේ තරම් වතුර තිබිලත් බටහිර රටවල ඇයි එහෙම කරන්නේ කියලා..ඔන්න දැන් තමයි විසඳුම ලැබුනේ.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන ලියපු එක හොඳයි නේද?

      Delete