Thursday 9 August 2018

පළඟටි රෑන් වසංගතේ Locust Swarm

මහන්සියෙන් වවා හදාගෙන ඵල නෙලන්නට ඔන්න මෙන්න තියන වගාබිමක් වැහෙන්න වලාකුලක් වගේ මහ විශාල කෘමි රෑනක් ඇවිත් දවස් දෙක තුනක් ඇතුලත සියල්ල කා දමා විනාශ කළොත් මොකද හිතෙන්නේ?  හිතන්නවත් ඉඩ නොතියා සිදුවෙන මේ සිදුවීම බයිබලයේ පවා සඳහන් වෙන වසංගතයක් බඳු තත්වයක්. එදා සිට අද දක්වා ඉතිහාසය පුරා වරින් වර මිනිසුන්ට මුහුණ පාන්නට වන මෙය හඳුන්වන්නේ Locust Swarm කියල. වාසනාවකට ලංකාව වගේ රටවලට බලපෑමක් නැතිවුණත් ලොව බොහෝ රටවල් මෙයින් පීඩා විඳිනවා.

 මේ ගැන මුලින්ම කියෙව්වේ ලෝරා ඉන්ගල්ස් ගේ Little House කතා මාලාවේ On the Banks of Plum Creek  පොතෙන්. (මිදි ඔය අසබඩ කියල සිංහලට පරිවර්තනය වෙලා තියනව). එයාල  මාස ගණනක් මහන්සි වෙලා වගා කරපුවා පළඟටියන් වැනි කෘමි රෑනක් ඇවිත් දවස් තුන හතරක් තුල ගිල දමා ඉගිල ගිය හැටි ඒ පොතේ විස්තරාත්මකව තියනව. 1870 ගණන්වල වුනු ඒ සිදුවීමෙන් පස්සේ ලෝරලා ජීවත්වූ ඇමරිකාවේ විස්කොන්සින් ප්‍රදේශයට එවන් ආක්‍රමණයක් වාර්තා වෙලා නැතත් ලොව පුරා සෑම වසරකම රටවල් කිහිපයකින්ම අසන්නට ලැබෙන ව්‍යසනයක්, ලොකස්ට් රංචු වසංගතේ.

රැහැයියන් හෝ පළඟටියන් බඳු පියාපත් සහිත කෘමි විශේෂයක් ලෝකස්ට් කියන්නේ.
රැහැයියන් අයිතිවෙන Acrididae කුලයටයි අයිති වෙන්නේ. කන්නෙත් කොළ වර්ග හා ධාන්‍ය වර්ගයි. පාද එකිනෙක ඇතිල්ලීමෙන් හෝ පියාපත් ඇතිල්ලීමෙන් හඬ නිකුත් කරන්නේ. පිටුපස පාද ආධාරයෙන් පැනීම කරනවා. තනිව සිටියොත් පළඟටි මෙන්ම පාඩුවේ හානියක් නොකර ජිවත්වන්නේ. මිනිසුන්ට හෝ සතුන්ට විෂ ඇතුල් කිරීමක් හෝ විදීමක් කරන්නේද නැහැ. පලාපෙත්තන්ගෙන් උන් වෙනස් වන්නේ ගහණයේ ප්‍රමාණය හා පරිසර තත්ත්ව අනුව උන්ගේ  ශරීර වර්ණය, හැඩය හා හැසිරීම වෙනස්වන නිසයි.  තමා වෙසෙන පරිසරයේ කුමක් සිදුවූවත් පලාපෙත්තන් කිසිදු වෙනස්කමක් නැතිව තමන්ගේ පුරුදු ආකාරයට ක්‍රියා කරන අතර තැනින් තැනට ගමන් කරන්නේ නැහැ. එහෙත් ලෝකස්ට් වර්ග පරිසර තත්ත්ව  අනුව තම චර්යා වෙනස්ව ප්‍රදර්ශනය කර  රංචු පිටින් දිගු දුරක් සංචරණය කරන  සත්ව විශේෂයක් බවට පත්වෙනවා.

යුරෝපා,ආසියා, අප්‍රිකා, ඇමරිකා හා ඕස්ට්‍රේලියා මහද්වීපවල රටවල් 60කට වැඩි ගණනක හමුවන ලෝකස්ට්  මිනිසුන්ට කෙලින්ම කරදර නොකළත්, ලෝකයේ භූමියෙන් 20%ක පමණ අක්කර දහස් ගණන් වගා විනාශ කිරීම නිසා රටවලට දැඩි ආර්ථික හානි සිදුකරන සත්වයෙක්. කෘමි ලොවෙන් සිදුවන මහාම ව්‍යසනය වන මෙය වසංගතයක් වන්නේ කෙසේද කියා බලමු.

සාමාන්‍ය කෘමි ජිවන චක්‍රයක් ඇති ලොකස්ට් බිත්තර දමන්නේ පස තුළයි. සති දෙකකින් බිත්තරවලින් පිටතට එන තටු නැති  කොලපාට පෙත්තන් කිහිප විටක් හැව අරිමින් සති 4 - 6 අතර තටු තිබෙන වැඩුණු සතෙක් වෙනවා. පරිසරය සීත හෝ වියලි නම් සුහුඹුල් සතෙක් වෙන්න මිට වඩා කාලයක් ගතවෙනවා. වැඩුණු සතෙක් බවට පත්වී සති 4කට පසු ඔවුන්ට බිත්තර දැමීමේ හැකියාව ලැබෙනවා.

සාමාන්‍ය පරිසර තත්ත්ව යටතේ තනි තනිව හානියක් නොකර ජිවත්වන ලොකස්ට් වසංගත තත්වයට පත්වන්නේ කෙසේදැයි මෑතක් වන තෙක්ම ගැටලුවක්. ආදිවාසීන් locust weather කියා හඳුන්වන වියලි කාලගුණයකට පසුව එන උණුසුම් දින ගණනාවක් සහ හොඳ වර්ෂාපතනයක් ඇති වසරවලයි ලොකස්ට් ගහනය වැඩිවී රංචුවක් ලෙස ඇවිත් පරිසරයේ ඇති ශාක කා දමන්නේ. මෙවැනි කාලගුණයක් ඇතිවිට ශාකත්  සරුසාරව වැඩෙනවා.
 වියලි කාලගුණය නිසා හෝ කාන්තාර වැනි ප්‍රදේශවල ජිවත්වන විට ආහාර අඩු නිසා හෝ මෙම සතුනට ආහර ඇති කුඩා ප්‍රදේශයකට කොටුවීමට සිදුවනවා. දැඩි වර්ෂාව සමග වැඩි බිත්තර ප්‍රමාණයක් ලෑම නිසා ගහනය වැඩිවීමක් පෙන්නුම් කරනව. බිත්තරවලින් පිටතට එන තටු නැති පළඟටි එකිනෙකාට කිට්ටුවෙන් සිට ඇවිදීමට පටන් ගන්නවා.  මෙලෙස කුඩා ප්‍රදේශයක වැඩි ජනගහනයක් විසීම තුලින් ඔවුන්ගේ හැසිරීමේ විශාල වෙනසක් එකවර ඇතිවනවා. ඔවුන්ගේ පාද ශක්තියෙන් වැඩිවන අතර, ශරීර වර්ණයද වෙනස් වීමට පටන්ගන්නවා.

කේම්බ්‍රිජ් වීශ්ව විද්‍යාලයේ ආචාර්යවරු දෙපලක් සිදුකල පර්යේෂණයකින් පෙනී  ගියේ මෙලෙස කාණ්ඩ ගැසීමේ දී  ලොකස්ට් කෘමීන්ගේ මොලය සාමාන්‍ය තනිව වෙසෙන ලොකස්ට් කෘමීන්ට වඩා 30%ක් විශාල වන බවත්, ඔවුන්ගේ මොලයේ පෙනීම  හා ආඝ්‍රාණයට අදාළ කොටස්ද සාපේක්ෂව විශාලව වැඩෙන බවත්ය.

කාණ්ඩ ගැසීමේදී පමණක් වෙනසක් වීමට හේතුවන්නේ කුමක්ද සෙවීමේදී මෙම  සතුන් ලඟින් සිටීම නිසා උන් ඇවිදීමේදී පසුපාද පැය ගණනක්  එකිනෙකාගේ පසුපාදවල  ඇතිල්ලීම නිසා සෙරටොනින් නම් ස්නායුක රසායනයක් නිපදවෙන බව සොයාගත්තා. මිනිසුන් ඇතුළු සමහර සතුන්ගේ මොලයේ ඇති  රසායන ද්‍රව්‍යයක් වන සෙරටොනින්, ලොකස්ට් පාද හා පියාපත් පාලනය වන ස්නායු තුළ ඇතිවී, පාද හා පියාපත් වෙනස්වීම්  වලට ලක් කරනවා. ආහාර  තිබෙන තැන සොයාගැනීමටත්  ඒ වෙත යාමේදී මුහුණ දෙන්නට සිදුවන අභියෝග ජය ගැනීමටත් මේ අනුවර්තන සියල්ල වැදගත්.  එසේම මොලයේ විශාලත්වයත් සමග අනෙක් සතුන්ටත් පණිවිඩ යවා තවත් ගහනය එක්රැස්  කරගැනීමක් ද සිදුවෙනවා.
දිනකට මීටර් දෙසීයක් සිට කිලෝමීටරයක් තරම් දුර ඇවිදින අතරම ඒ මග තිබෙන ශාක කොටස් ආහාර ලෙස ගනිමින් සති කිහිපයක් තුළ මිලියන ගණනක අති විශාල ගහණයක් එකතු කරගන්නවා.

ඊළඟට එළඹෙන්නේ පියාඹන අවධියයි. සිසිල් පරිසරයක් ඇති හවස් වරුවක ආහාර ඇති තැන ඉලක්ක කරගෙන දිනකට කිලෝමීටර් 50- 100ක් පමණ පියෑඹීම ආරම්භ කරනවා. කුඩා සතුන් වුවත්  මිලියන ගණනක් එකවිට පියාඹන විට ඇතිවන තත්වය සිතන්න. මීටර් ගණනක් ඝන, කිලෝ මීටර් ගණනක් දිග වලාකුලකින් පරිසරයම වැසී  මහා කුණාටුවක් වැනි භයන්කාර ශබ්දයක්...ඔවුහු සමුහ වශයෙන් එක්වී පියසලමින් දිනකට පැය නමයක් පමණ ගමන් කරන අවස්ථා තිබෙනවා.
 මේ විඩියෝවෙන් දැක්වෙන්නේ 2017 වසරේ රුසියාවේ ලොකස්ට් swarm එකක්.


මෙලෙස මිලියන ගණනක් එකවිට ගමන් කලත් ඔවුන් එකිනෙකා අතර ඝට්ටන ඇති නොවීමත් පුදුමයක් නේද? තවත් සතෙක් ගැටීමට එනවිට උන්ගේ ඇස් අතර ඇති විශාල නියුරෝනයක් මගින් පිපිරීමක් වැනි ශක්තියක් නිකුත් කරයි. මේ නිසා අනෙකා ලංවිම වැළකේ. මෙය මිලිතත්පර 45ක් වැනි ක්ෂණික කාලයකින් සිදුවෙන බවයි පැවසෙන්නේ. ඔවුන්ගේ සංකීර්ණ ඇස්වලට තත්පරයකදී මිනිස් ඇස දකිනවට වඩා වැඩි රුප ප්‍රමාණයක් දකින්නටත් හැකියි.
මෙසේ එකිනෙකා හා නොගැටී දුර පියාසර කරමින් තෝරාගත් ප්‍රදේශයක නැවතී වර්ග කිලෝමීටර සිය ගණනක වපසරියක් වසාගෙන පරිසරයේ තිබෙන ගහකොළ කා දමනවා.  ආහාර කා දමන විශාල යන්ත්‍රයක් මෙන් එක පෙදෙසක දින දෙක තුනක්ම සියලු ගහකොළ අවසන් වන තෙක් කා දමන මොවුහු නැවත වෙනත් ස්ථානයකට පියාඹිම අරඹනවා.
ඔවුන් ආහාරයට ගන්නා ශාක විවිධයි. බඩ ඉරිඟු, දුම්කොළ, කපු, රටකජු, තණකොළ වර්ග, දෙහි කුලයේ ශාක, එළවලු, පලතුරු ආදී වෙනස් ශාක මත යැපෙන නිසා ප්‍රදේශයන් පියඹා ගිය පසු මුළු පළාතම කාන්තාරයක් මෙන්  ප්‍රයෝජනයට ගත නොහැකි ශාක කොටස් පමණක් ඉතිරි වන්නේ. ඊළඟට සුළඟ හමන  දිශාව ඔස්සේ පියඹා තවත් ශාකවලින් සරු ස්ථානයක් තෝරා ගන්නව.

සාමාන්‍ය මතය වන්නේ එක ප්‍රදේශයක් වසංගත තත්වයෙන් විනාශ වන්නේ වසර 17කට වරක්  බවයි. එහෙත් වසර දහස් ගණනක් තිස්සේ සෑම වසරකම ලොව පුරා කොහේ හෝ ස්ථානයක රංචු ලෙස ඇවිත් මිනිසුන්ගේ ආහාර භෝගවලට හානි පමුණුවයි. මේ කරන විනාශය නිසා මෙම සතුන් විනාශ කිරීම අවශ්‍ය වුවත් ඔවුන් රංචු ගැසීම ඇරඹුණු පසු එය එතරම් පහසු නැහැ.  ආහාර ගැනීමට නවතින ස්ථානයේ වර්ග කිලෝමීටර ගණනක් පුරා රසායන ද්‍රව්‍ය ඉස උන් මියයාමට සැලසිය හැකි මුත් ඊළඟට මියගිය සතුන්  ගොදුරු කරගන්නා පක්ෂීන් ආදී වෙනත් සතුනට වෙන බලපෑම නිසා පරිසරයට තවත් අතකින්ද හානි සිදුවේ. ඒ නිසා ලොව පුරා විවිධ තැන්වල  මධ්‍යස්ථාන පිහිටුවා ලොකස්ට් රංචු ගැසීම වැලැක්වීමට නිරීක්ෂණ සිදු කෙරෙනවා. එහෙත්  ෆයිල් කටුවක් තරම් වන මේ සත්වයාගේ රංචු චර්යාව ජය ගැනීමට තවමත් මිනිස් සත්වයන්ට සම්පුර්ණ හැකියාවක් ලැබී නැහැ.


උදව්:
On the Banks of Plum Creek :Laura Ingalls Wilder
www.independent.co.uk/news/science/solved-the-mystery-of-why-locusts-swarm
sciencecases.lib.buffalo.edu/cs/files/locusts
www.researchgate.net/figure/Desert-Locust-life-cycle
blogs.bu.edu/bioaerial/the-locust-swarm-a-threat-to-the-global-economy/
http://www.fao.org/ag/locusts/common/ecg/en/

18 comments:

  1. https://www.huffingtonpost.com/boria-sax-/a-plauge-of-locusts_b_7951026.html

    ReplyDelete
  2. බොහෝ මහන්සිවී ලියන ලද ලිපියක්.
    අපට විශ්ව විද්‍යාලයේදී (වසර 50 කට එහා) ecology වලට ඔය සිද්ධිය ගැන කියා දුන්නා.මෙම පළගැටියන් රංචුව නිසා සම්පූර්ණ අහස කළු වලාවකින් මෙන් පැයක් පමණ වේලා වැසීගිය බවක් කියවුනා. ක්‍රිස්තු පූර්ව 300 දි පමණ ඇරිස්ටෝටල් විසින් සකස් කරන ලද ලිපියකත් "Locust menace" ගැන කියා තිබෙන බව අපේ දේශක තුමා සඳහන් කළා වගේ මතකයි

    ReplyDelete
    Replies
    1. මහන්සියේ තරමට තමයි ලිපියට කරුණු එකතු වෙන්නේ. බොහොම ස්තුතියි කවදත් වගේ අගය කිරීම ගැන
      මනුෂ්‍ය ඉතිහාසයත් සමගම ඉඳිමින් හානි කරඇති සත්ව විශේෂයක් නේද?

      Delete
  3. මේ කෘමි උවදුර ගැන කලින් අසා තිබුණත් මෙතරම් සාරවත්ව සවිස්තරව එක ලිපියක් තුළ සම්පිණ්ඩනය වී තිබුණ බවට මතකයක් නම් නෑ බුද්ධිණීගේ මහන්සියට ආචාර කරමින් ස්තුතිවන්තවෙමි

    ReplyDelete
    Replies
    1. නොමසුරුව අගය කිරීම ගැන මගේ නොමද ස්තුතිය!😇

      Delete
  4. මම මෙහෙම ෆිල්ම් එකක් ගොඩක් කලින් දවසක බලල තියෙනවා

    ReplyDelete
  5. ෆිල්ම් හදන්නත් වැඩක් තමයි.

    ReplyDelete