Thursday 27 July 2017

ගිනිකඳු අකුණු Volcanic Lightning : විශ්වයේ චිත්තාකර්ශණිය සංසිද්ධි - 6

දැකීමට ප්‍රියජනක මෙන්ම බිය උපදවන අරුමැති ස්වභාවික සංසිද්ධියකි, ගිනිකඳු පිපිරෙන අවස්ථාවල ඇතිවන අකුණු. සෑම ගිනි කන්දක් පිපිරෙන අවස්ථාවේම දක්නට නොලැබෙන මෙය සිදුවීමට විශේෂිත තත්ත්ව නිර්මාණයවිය යුතුය. පසුගිය සියවස් දෙක තුළ 200වරක් පමණ වාර්තා වී ඇති මෙය සිදුවන්නේ කෙසේදැයි අර්ථ දක්වන්නට විද්‍යාඥයෝ තවම වෙහෙසෙති.
සාමාන්‍ය අකුණක් ඇතිවන්නේ වලාකුළු දෙකක් අතර හෝ වලාකුළු හා පොලව අතර ඇතිවන විද්‍යුත් ආරෝපණ වෙනස්වීමක් නිසා එක තැනකින් අනෙක් තැනට අයනීකරණ වායු ධාරාවක් නිර්මාණය වී ඒ ඔස්සේ විදුලිය ගමන් කිරීමෙනුයි. මෙය ස්ථිති විද්‍යුතය නම් වේ.
සාමාන්‍ය ජිවිතයේ නොයෙක් අවස්ථාවල මෙය අත්දැකීමට ලැබේ. ප්ලාස්ටික් රුලක් හිසකේවල තදින් අතුල්ලා කුඩා කඩදාසි කැබලිවලට ලං කළවිට ඒවා රූලට ආකර්ෂණය වන්නේ ස්ථිති විද්‍යුතය නිසාය.

මෙහි ඇති බැලුම හෝ පනාව සාමාන්‍ය අවස්ථාවේ ඇතිවිට එහි ඇති ආරෝපණ විසිරි පවතියි. ඒ නිසා කඩදාසි ඒ වෙත ඇදෙන්නේ නැත. එහෙත් තදින් හිසකේ හෝ එවැනි පෘෂ්ටයක ඇතිල්ලූ විට ආරෝපණ එක තැනකට රැස්වේ. එය කඩදාසි කැබලිවලට ලං කළවිට කඩදාසියේ ඇති විරුද්ධ ආරෝපණ ඒ දෙසට ගමන් කර ආකර්ෂණය සිදුවේ.
වියලි දිනෙක තද අව්වට වියලුනු කෘතීම රෙදි එහෙ මෙහෙ කරන විට ඒ අතර චිරි චිරි ශබ්දයක් ඇතිවනු අසා ඇති. අඳුරු කාමරයක් තුලදී නම් ඒ හඬ සමග සුදුපාට දීප්තිමත් ආලෝක පනිනු දැකිය හැකිය. මෙසේ සිදුවන්නේ ඇඳුමේ එක් ස්ථානයක් අනෙක් ස්ථානයකට වඩා වෙනස් ලෙස ආරෝපණය වීම නිසා ස්ථිති විද්‍යුත් විසර්ජනය වීමෙනි.
සාමාන්‍ය අකුණක් ඇතිවීමේදී ද මෙයම අති විශාල පරිමාණයෙන් සිදුවේ.
ගිනිකඳු විදාරණයේදී ඇතිවන සියුම් අළු අරෝපණයක් නැති දෙයකි. ගිනිකන්ද පිපිරී පිටතට ඒමේදී තදින් රත්වූ අළු අංශු එකිනෙක ඇතිල්ලීමෙන් ඒවා ආරෝපණය වේ. මෙසේ ආරෝපිත වන අළු වළාවක්, තවත් අළු වලාවක් සමග විසර්ජන හට ගැනීමෙනුයි අකුණ ඇතිවන්නේ. සාමාන්‍ය අකුණක් වැසි වලාකුළු දෙකක් අතර සිදුවන ලෙසම ගිනිකඳු අළු වලා දෙකක් අතර පුලිඟු පැනීමකින් ගිනිකඳු අකුණු ඇතිවේ.
ඉතා මෑතක දී සිදුකළ අධ්‍යයනයන්ගෙන් පෙන්වා දී ඇත්තේ ගිනිකඳු අකුණු ක්‍රම දෙකකට නිර්මාණය විය හැකි බවයි.
පොලවට ආසන්නයේ සිදුවන අකුණු ඇතිවන්නේ ඉහත විස්තර කළ ලෙස රත්වූ අළු අධික උෂ්ණත්වය හා පීඩනය යටතේ එකිනෙක ඇතිල්ලීමෙන් ආරෝපිත වීමෙනි. මෙය සිදුවන්නේ පිටවන දුම්වලාව තුල අසන්න ස්ථාන දෙකක් අතරයි. මෙය tribo electricity ලෙස හඳුන්වයි.

අනෙක් ක්‍රමය අධ්‍යනයට හේතු වුයේ 2015 දී චිලි රටේ කැල්බුකෝ ගිනිකන්ද පිපිරීමේදී දුටු අකුණුය. ඒවා සිදුවුයේ ගීනිකන්දට වඩා 100km පමණ ඇතිනි. පොලවට 20km පමණ ඉහළිනි. විද්‍යාඥයන් අනුමාන කරන්නේ ඉහල ගොස් දිගහල කුඩයක හැඩයට විසිරෙන අලුවළා තුනී වීමේදී අළු වලා සමග ඉහලට යන ජලවාෂ්ප මගින් අයිස් සෑදෙන බවයි මෙහිදී සාමාන්‍ය වැහි වලාකුල් අතර ආරෝපණ ඇතිවී, විසර්ජන සිදුවී අකුණු නිර්මාණය වන අන්දමටම ගිනිකඳු වලා අකුණු සෑදෙනු විය හැකිය.

මේ පිපිරීම් හා අකුණු ගැසීම් නිසා ඇතිවන කම්පන තරංග ඉතා ප්‍රබලය. බිය දනවන සුළු ය. ගුවන් ගමන් සඳහා ප්‍රබල බලපෑම් ඇතිකරයි.
"අප දන්නා තාක්ෂණ විධි ක්‍රම අනුව සොයාගත නොහැකි දේ ගිනිකඳු අකුණු අධ්‍යනයෙන් අනුමාන කළ හැකිය.ගිනිකඳු විදාරණයට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳවද කරුණු මතුකරයි." විද්‍යාඥයෝ පවසති.
"මේ සියල්ල අප මෙතෙක් මේ ලොව තියෙනවාදැයි නොදැන සිටි තව බොහෝ ප්‍රශ්න මතු කරනවා.."

උදව්:
http://volcano.oregonstate.edu
www.livescience.com

Monday 10 July 2017

අව්රෝරා Aurora Borealis : විශ්වයේ චිත්තාකර්ෂණිය සංසිද්ධි -5

මිනිස් ඇසට දැකිය හැකි ඉතාම මනහර ස්වභාවික සංසිද්ධියක් වන අව්රෝරා යනු පෘථිවියේ ධ්‍රැව ප්‍රදේශවල පමණක් දැකිය හැකි වර්ණවත් දර්ශනයකි. රාත්‍රී අහස පසුබිම් කරගෙන විවිධ වර්ණ ආලෝක අතිශය කලාත්මකව ලෙලදීමක් හා බැබලීමක් ලෙස දෘශ්‍යමාන වේ. උතුරු අර්ධගෝලයේදී Nothern Lights (උත්තරාලෝක) ලෙස හැඳින්වෙන අව්රෝරා, දක්ෂිණ අර්ධගෝලයේදී හඳුන්වන්නේ Australis ඔස්ට්‍රාලිස් ලෙසයි. සමහරු Nothern lights ලෙස පමණක් හැඳින්වුවත් අව්රෝරා උත්තර හා දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශවල ඕනෑම දවසක සිදුවිය හැකි, වසර 11කට වරක් උච්ච තත්වයට පැමිණෙන නෙත් සිත් පිනවන සංසිද්ධියකි. 
සුර්ය ගිනිසිළුවක් 
කිලෝමීටර මිලියන ගණනකට එපිටින් පිහිටන සූර්යයාගෙන් පිටවන සුර්ය ගිනිසිළුවල අධිවේගී විද්‍යුත් ආරෝපිත අංශු රැලක් මගින් මෙය ඇරඹේ. සැම අතටම විහිදෙන මෙම නිදහස් ඉලෙක්ට්‍රොන (ඍණ ආරෝපිත අංශු) හා ප්‍රෝටෝන (ධන ආරෝපිත අංශු) කොටසක්  සුර්ය සුළං හේතුවෙන් ග්‍රහලෝක දෙසට පැමිණේ. මෙවන් ආරෝපිත අංශු පෘථිවියට සමීප වන්නට පැය 18 සිට දින හතක් දක්වා කාලයක් ගතවේ. පෘථිවියට ලංවත්ම පෘථිවියේ චුම්භක බල ක්ෂේත්‍ර මගින් බොහෝ අංශු පරාවර්තනය කර හැරියත් ඒවායේ ආරෝපණ බල නිසා  සමහරක් චුම්බක බලය අඩු  උත්තර හා දක්ෂිණ ධ්‍රැව වලින් වායුගෝලයට ඇතුළුවේ.  


පෘථිවියේ ධ්‍රැව සමග සුර්යයාගේ සිට පැමිණෙන ආරෝපිත අංශු ගැටෙනවාත් සමග වායුගෝලයේ ඇති ඔක්සිජන් හා නයිට්‍රජන් පරමාණු මේවායේ ඝට්ටනය වේ.  ගැටීමේදී  පෘථිවි වායුගෝලයේ ඇති වායු අංශුවල පරමාණු උත්තේජනය වේ. උත්තේජිත පරමාණුවල බිම් මට්ටමේ ඇති ඉලෙක්ට්‍රොන ඉහල ශක්ති මට්ටම්වලට ගමන් කිරීම නිසා ඒවා සාමාන්‍ය පරමාණුවලට වඩා අධික ශක්තියක් ගනියි. එම අධිශක්ති පරමාණු අස්ථායි ය. එම පරමාණු නැවත ස්ථායි තත්වයට පත්වීමේදී සිදුවන ඉලෙක්ට්‍රොන හුවමාරුවේදී ෆෝටෝන ලෙස ශක්තිය පිටවේ. විවිධ වායු පරමාණුවලට ආවේනිකව විමෝචනය වන විසර්ජන ආලෝක ධාරා  මනහර වර්ණ සැදීමට හේතුවයි.
පොලවට 100km පමණ ආසන්නයේ ඇති ඔක්සිජන් සමග ගැටීමෙන් කොළට හුරු කහ පාටත්, නයිට්‍රිජන් සමග එක්වීමෙන් නිල් හා දම් පාටත් ඇතිකරයි. ඉතා කලාතුරකින් දැකිය හැකි රතු වර්ණය ඇතිවන්නේ 200km ක් දක්වා  ඉහල උන්නතාංශයේ ඇති ඔක්සිජන් පරමාණු සමග විද්‍යුත් ආරෝපිත අංශු ගැටීමෙනි. මේ වර්ණ අංශු චලනයේදී එකිනෙක මිශ්‍රවී රෝස හා සුදු වර්ණයන් දැකිය හැකිවේ.

මෙම අලංකාර අවුරෝරා ආලෝක සාමාන්‍යයෙන් 50km ක් පමණ ඉහලට විහිදුනත්, පොලවේ සිට 640km දක්වා ඉහල විහිදෙන අවස්ථාත් ඇත. සුර්ය සුළං හා වායුගෝලයේ සුළං චලන හේතුවෙන් අත්‍යාලංකාර ලෙලදීම් ද දැකිය හැකි වේ.













මෙම ප්‍රචණ්ඩ භූ චුම්භක කුණාටුව මිනිස් දෑසට විශ්වයේ ශක්තිය දැකිය හැකි ආශ්චර්යමත් අවස්ථාවකි. සුර්යයා නිසා සිදුවන මේ අපුර්ව සංසිද්ධිය පෘථිවියේ පමණක් නොව, බ්‍රහස්පති හා එහි චන්ද්‍රයන්ගේත්, සෙනසුරු, යුරේනස් හා නැප්චුන් ගේද සිදුවන බව සොයාගෙන ඇත.

පෘථිවියේ මෙය වඩාත් හොඳින් දැකිය හැකිවන්නේ කැනඩාවේ උතුරු ප්‍රදේශවල, ඇලස්කාව, ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, නෝර්වේ, සයිබීරියාව වැනි උත්තර ධ්‍රැවයට ආසන්න ප්‍රදේශ හා දක්ෂිණ ධ්‍රැවයට ආසන්න ඇන්ටාක්ටිකාව හා තස්මෙනියාවේ දීය.
පෘථිවියට පිටත චන්ද්‍රිකා මගින්ද අවුරෝරාවල මනහර ඡයාරුප ලබාගෙන ඇත. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන් මේවා දැක සාතිශය සතුටට පත්ව ඇත.

අව්රෝරා විද්‍යාත්මකව පැහැදිලි කිරීමට පෙර වසර දහස් ගණනක් මිනිස් සිත් අමන්දානන්දයට පත්කර ඇත. ලතින් බසින් අව්රෝරා යනු  අරුණාලෝකයයි. ග්‍රීක හා රෝම කථාවල අව්රෝරා හඳුන්වන්නේ අරුණාලෝකයේ දෙවඟන ලෙසයි.  චීන ජාතිකයන් මේවා ආකාශ සර්පයින් ලෙසද, සමහර ආදී වාසීන් ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ආත්මයන් ගිනිගොඩක් වටා නර්තනයේ යෙදෙන ආකාරය ලෙසද අර්ථ දැක්වුහ. තවත් සමහර ආදිවාසී මෙය ඔවුන් දඩයම් කළ සතුන්ගේ ආත්ම රංගන ලෙස දුටහ. දේශ ගවේෂකයන් සිතුවේ මේ ආලෝක මියගිය රණශුරයන් දිව්‍යලෝකයේ අවදිවන ආකාරය බවයි!

මේ වීඩියෝවත් බලා තුටුවන්න.

උදව්:
www.northernlightscentre.ca
www.livescience.com

Sunday 2 July 2017

එළිච්චියකගෙන් සමෝච්ඡ රේඛා ලබා සැදූ යෝධ ඇළ: Yodha Ela

ස්වභාවික ජලාශ ආශ්‍රිතව ගොඩනැගුනු ලෝකයේ බොහෝ  ශිෂ්ටාචාරවලින් වෙනස්ව, ස්වභාව ධර්මයෙන් ඉටු නොවූ කාර්යය ජයගැනීම උදෙසා  කෘත්‍රිම ජලාශ තනා කෘෂිකර්මාන්තය හා වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීම අපගේ ඉපැරණි වාපි හා වාරි කර්මාන්තවල දක්නට ඇති විශේෂත්වයයි. 

රටේ වැඩි කොටසක් අයත්වන වියලි කලාපයේ වාර්ෂික වර්ෂාපතනය 1750mm කට අඩුය. වැස්ස ලැබෙන කාලසීමාව ද මාස හතරකට සීමා වේ. වසරකට 1800mm ක පමණ වාෂ්පිකරණයක් සිදුවීම හේතුවෙන් පසේ තෙතමනය අඩු තත්වයක් පවතියි. ඉහත හේතු නිසාම භූගත ජල මට්ටමද අඩුය. නමුත් පස පෝෂකවලින් පොහොසත්ය. මේ නිසා අපේ මුතුන් මිත්තන් වියලි කලාපය අස්වැද්දීම නම් වූ අභියෝගය සාර්ථකව ජයගැනීම ක්‍රමිකව අධ්‍යයනය කලයුතු වපසරියකි.
පණ්ඩුකාභය රජතුමා (ක්‍රි.පු.437-367) විසින්  වැසි ජලය රැස්කිරීම සඳහා කරවූ විශාල වැව් තුනක් මුල්ම නිර්මිත  ජලාශ ලෙස ඉතිහාසයේ සඳහන් වේ. ඉන් අනතුරුව බොහෝ රජවරු රටේ විවිධ ප්‍රදේශවල වැව් හා ඇළ මාර්ග කරවා ඇත. 
අද අපි එක් යෝධ ඇලක් ගැන පමණක් කතා කළත්, රජරට පුරා දියවර ආරක්ෂා කරන සංකීර්ණ ආරක්ෂක  පද්ධතියක් ලෙසින් යෝධ ඇල සංකල්පය ක්‍රියාත්මක වූ බව පෙනී යන්නේ ගංගා, වැව්, ද්‍රෝණි සම්බන්ධ කරමින් නිමැවූ යෝධ ඇලවල් කිහිපයක් ගැන කියවෙන හෙයිනි.
 * පලවෙනි සියවසේ මහසෙන් රජු හෝ වසභ රජු විසින් ඉදි කරවූ මිනිපේ ඇලහැර යෝධ ඇළ  
 * දෙවෙනි සේන රජුගේ සමයේ දඹුලු ඔයේ ඉහත්තාවේ සිට මල්වතු ඔය දක්වා සෑදවූ යෝධ ඇල හා මල්වතු      ඔය සිට මහකනදරාව වැව දක්වා යෝධ ඇළ   
 * ක්‍රි.ව. 290 සිට මහසෙන් රජු කරවූ බළලු වැව සිට උස්ගල සියඹලන්ගමුව දක්වා දිය ගෙනගිය උතුර යෝධ    ඇළ, කලාවැව හා අනුරාධපුර අභය වැවෙන් මහවිලච්චිය වැවට සැදවූ යෝධ ඇළ, නුවර වැව සිට නාච්චාදුව  වැවට    සෑදු යෝධ ඇළ, කලාවැව සිට තිසා වැවට නිර්මාණය කළ යෝධ ඇළ, මින්නේරිය වැව සිට  කන්තලේ වැවට දිය ගෙනගිය යෝධ ඇළ   
 * දාසෙන්කෙලිය රජතුමා කරවූ  මහවැලි ගඟේ සිට අඹන් ගඟට ජලය ගෙනගිය යෝධ ඇළ 
 * මහා පරාක්‍රමබාහු රජු නිමවූ කාලිංග  යෝධ ඇළ 

ජලය වැඩි ද්‍රෝණියේ සිට ජලය අඩු ද්‍රෝණියට ගෙන යාම, වැවකින් වැවකට ජලය ගෙනයාම, වැසි කාලයට උතුරා යන අතිරික්ත ජලය ගබඩා කිරීම සඳහා වැවකට ගෙනයාම, ද්‍රෝණියේ වැඩිපුර ජලය මුහුදට ගලා යා නොදී  රඳවා ගැනීම වැනි දියවර හුවමාරු අවශ්‍යතා සඳහා යෝධ ඇලවල් ඉදි කල බව පෙනී යයි. 

මේ යෝධ ඇළ අතුරෙන් පුරාණ වාරි ඉංජිනේරු තාක්ෂණය තේරුම් ගැනීමට වඩාත් සුදුසු වන්නේ සැතපුම් 54ක් දිගු වූත්, සමහර තැන්වල අඩි 40ක් පළල වුත්, නොගැඹුරු වූත්, ඉතා අඩු දියබැස්මක් සහිතවුත් පහත් බිමක පිහිටන කලා වැවේ සිට ඊට අඩි හතක් උස් බිමක ඇති තිසා වැව දක්වා අතරමග පෝෂණය කරමින් පොලව දිගේ දියවර ගෙනයන යෝධ ඇල නිර්මාණයයි.
   පළමු සියවස වනවිට ස්වභාවික විල් ලෙස පැවති ජල තටාක, කලා වැව හා බළලු වැව ලෙස සාදවන ලද්දේ වසභ රජුය. ධාතුසේන රජු විසින් මේ වැව් දෙකම යා කොට අති විශාල වැවක් බවට පත්කෙරුණි. ඒ අද පවතින කලාවැව යි. මෙම විසල් වැවේ දියවර කෘෂිකාර්මික කටයුතු හා වෙනත් අවශ්‍යතා සඳහා යොදවා ගැනීමටත්, තිසා වැවේ ජල ධාරිතාව වැඩි කිරීමට යොදවා ගැනීමටත් ධාතුසේන රජතුමා විසින් යෝධ ඇළ  නිර්මාණය කෙරුණි. 
ගැබ්ගත් එලිච්චියක් ගමන් කරවා ඈ යන මග ඔස්සේ තද බෑවුම් හෝ තද නැගුම් නැති මාර්ගය ලකුණු කරගෙන ඒ ඔස්සේ මෙම යෝධ ඇළ කණින ලදැයි ජනප්‍රවාදයේ කියවේ. ස්වභාවික ජලධාරා ගමන් කරන්නේ සමෝච්ච රේඛාවලට ලම්භක නිම්න ඔස්සේය. එසේනම් එලිච්චියගේ ගමන් මාර්ගය මගින් දල සමෝච්ච රේඛා ලබාගෙන, ඒ දිගේ ඇලක් කැන නිම්න මගින් එන ජලය එකතු කිරීමක් කරගෙන ඇත.
එල්ලංගා පද්ධතියක ක්‍රියාකාරිත්වය 

එල්ලංගා පද්ධති (cascade systems) පිහිටන්නේ  නිම්න ඔස්සේය. එල්ලංගා යනු කුඩා ජල පෝෂක ප්‍රදේශයක නිම්න ඔස්සේ ඇති දොළ පාර මගින් සම්බන්ධ වී ජලය ගබඩා කිරීමත් බෙදා හැරීමත්, ප්‍රයෝජනයට ගැනීමත් සිදුකරන කුඩා වැව් පන්තියකි. යෝධ ඇලට ඉහලින් හා පහලින් ඇති නිම්න, ඇල ඔස්සේ බද්ධ වේ. මේ නිසා ඇලට ඉහලින් ඇති එල්ලංගා වල ඇති වැඩිපුර ජලය ඊට කෙලින්ම පහලින් ඇති එල්ලංගා  හා තිරස්ව ඇති එල්ලංගාවලට ලබාදිය හැකිය.  නිම්න ඔස්සේ පහලට ගලන ජලය සමොචඡ රේඛාව ඔස්සේ ගලන යෝධ ඇල මගින් තිරස්ව විහිදී යයි. එනම් දිය වැඩි නිම්නවල ඇති ජලය, අඩු නිම්නවලට බෙදා හදා ගැනීම මෙන්ම වැව් ජලය නොඅඩුව පවත්වා ගැනීමත් සිදුවිය. 
වැසිජලය, එල්ලංගා වල ජලය, හා කලාවැවේ ජලය යෝධ ඇලට එක්වන නිසා එය නිතරම වැවක් සේ පිරි පැවතුනි. මෙහි ජලය ගලන්නේ ද පිරි ඉතිරි යන ආකාරයටයි. එනම්, යම් කොටසක ජලය එකතු වූ විට එම ප්‍රදේශයේ ජල මට්ටම ඉහල යාමත් සමග වැඩිවන ජලයේ පීඩනය නිසා ජලය අනෙක් ප්‍රදේශවලට පැතිර යයි. මේ අනුව ජලය දෙපසටම ගමන් කිරීම සිදුවිය හැකිය. 
යෝධ ඇල මගින් ජලය රඳවා ගැනීමත්, ප්‍රතිචක්‍රීකරණයත්, නැවත උපයෝගී කරගැනීමත්, ධරණීය සංවර්ධනයත් සිදුවිය. එනයින් බලන කළ යෝධ ඇලෙන් කෙරෙන්නේ කලාවැව හා තිසා වැව අතර ඇති සියලුම ජල පද්ධතීන් එකට ඈඳිමකි. කුඩා වැව්, කෙත්වතු, ජලධාරක ප්‍රදේශ, ජලපෝෂක ප්‍රදේශ හා ඇල සම්බන්ධ වී  ස්වභාවික පරිසරයට ද ඒකාබද්ධ වේ. මේ අනුව ප්‍රදේශයම එකම ජල තලයකි.
මහකණුමුල්ල, මානෑව, කිරලෝගම වැනි එල්ලංගා පද්ධති 34ක් ඔස්සේ ගම්මානවල ඇති වැව් 120කට ජලය ලබාදුන් බවත්, යෝධ ඇල දැලවර වර්ග සැතපුම් 180ක විහිදුනු කෙත්යායවල් ඉදිකර අක්කර 1 144 000ක් අස්වැද්දු බවත් සඳහන්වේ. 
මෙහිදී ඇලෙන් පහල ප්‍රදේශවලට පමණක් නොව ඉහල ප්‍රදේශවල වැව් වලටද දියවර සපයා ඇත. මහකනුමුල්ල එල්ලංගාවෙන් අතුරු යෝධ ඇළක් කපා අයිනාගම, ඉහළවැව ආදී වැව් පහකට ජලය ලබා දී ඇත. 
එලිච්චිය ගේ කතාවෙන් වැටහෙන තවත් දෙයක් වන්නේ යෝධ ඇළ පද්ධතිය සම්පුර්ණ සැලසුමක් ඇතිව පටන්ගත් එකක් නොවන බවයි. පියවරෙන් පියවරට පැමිණෙන අඩුපාඩුකම් මග හරවමින්, පරිසරයට වඩාත් සුදුසු ආකාරයට, කඩිනමක් නැතිව නිමවූ  බවක් පෙනී යයි. 
යෝධ ඇලේ බැම්ම ඇත්තේ යටි පැත්තෙන් පමණකි. එය දිය කාන්දු නොවෙන විශේෂ පස් වර්ගයකින් සදා ඇත. උඩු පැත්ත සුළු ආනතියක් සහිත ස්වභාවික බිමකි. ජලය ගලා යන්නේ මතුපිට පොලව ඔස්සේය. ඇලේ දිය වැඩිවනවිට වැව් තාවුල්ලක මෙන් ඇලේ අනෙක් පැත්තට ජලයේ ගැල්ම ඇතිවේ. යෝධ ඇලේ ජලය ගලන්නේ ඉතාම සෙමිනි. භූගත ජලය හැසිරෙන්නේද මේ ආකාරයට ඉතා සෙමින් ජලය වැඩි තැන සිට අඩු තැනටයි. යෝධ ඇල මෙතරම් දික්වී ඇත්තේ නැමි හෙවත් වංගු  රාශියකින් සමන්විත වන නිසයි. පිටපැත්තේ ඉවුරක් නොමැති නිසා සෑම වංගුවකින්ම වතුර පිටාර ගලයි. ඇල ගලායාමේදී උස්බිම් හමුවන හැමතැනකදීම වංගුවක් සහිත දියකලියක් පිහිටුවා තිබේ. වංගු 48ක පිහිටා ඇති දියකලි නිතර ජලයෙන් පිරි පැවතුනි. දියකලියට ජලය පිරි යද්දී තෙරපුමක් ඇති කරමින් උස්බිම තරණය කරයි. මෙම දියකලි මගින්  අලි ඇත්තු, සතා සිපාවෝ  වසර පුරා දිය ලදහ. 
පළමු සැතපුම් 17 ජලය බැස්ම(හෝ නැග්ම) අඟල් 6ක් වීම නොගැඹුරු දියේ ජලය ගලායාමට සැපයු ආධාරකයක් පමණි.  හෙමින් දිග දුරක් ගලන බැවින් වාෂ්පීකරණය මෙන්ම පොලවට උරා ගැනීමත් වැඩියි. වාෂ්පීකරණය නිසා වාතයේ ජලවාෂ්ප ප්‍රමාණය වැඩිවී වාතය තෙතමනයෙන් යුක්ත කිරීමත්, පසෙන් තෙතමනය උරාගැනීම නිසා භූගත ජලයෙන් පෝෂිත පරිසර පද්ධතියක් වර්ධනයත් සිදු විය. වාෂ්පීකරණය අඩු කිරීම උදෙසා ඉවුරු දෙපස ගහකොළ වැවිමෙන් පස සංරක්ෂණය ඉබේම සිදුවිය. 

යෝධ ඇල ගමන් කරන්නේ වැව්වලට ඉහළින් සෙමින්ය. මේ නිසා වැව්වලට රොන්මඩ ගලා එම වැළකුණි. වැව්වල ජලය පාලනය නිසා වැඩි ජලය ගලාඑමක් සිදු නොවිණි. වැසිවලින් එකතුවෙන ජලය අවශ්‍ය වැව්වලට බෙදාහැරුනි. වැසි කාලයේ එකතු කරගන්නා ජලය නියං සමයේ මුදා හැරුණි. යෝධ ඇලේ ජලය බෙදන සෑම සොරොව්වක්ම යොදා ඇත්තේ පතුලට අඩි තුනක් පමණ ඉහළිනි. පතුලේ එකතුවන ලවණ හා ඛනිජ ද්‍රව්‍ය මුසු දිය පැල ගොයමට අහිතකර නිසා හැකිතාක් ඉහලින් එන අලුත් ජලය වැව්වලට මුදාහැරිම මෙහිදී සිදුවිය. වැවෙහිදීත් තව දුරටත් ලවන පතුලේ රැඳීමෙන් පසු කුඹුරුවලට ජලය මුදා හැරුණි. පරිසරය සුරැකීම, වාරිමාර්ග  කළමනාකරණය හා වාරි තාක්ෂණය නිවැරදිව උපයෝගී කරගනිමින්, ප්‍රදේශයේ භූ විෂමතාවත්, ජලයත් ජිවිනුත්  පිලිබඳ මනා අවබෝධයකින් යෝධ ඇළ නිර්මාණය කර  ඇත.
මේ සියල්ල සලකා  බලන විට යෝධ ඇළ, ජලය බෙදාහැරීමට අමතරව පරිසරයට මහඟු සේවයක් කරමින් පස වියලි බවින් ආරක්ෂා කරගැනීමත්, සත්වයන්ට අවශ්‍ය ජලය නොකඩවා සැපයීමත්, පරිසරයේ තෙතමනය පවත්වා ගැනීමත්, භූගත ජල ප්‍රමාණය වැඩි කිරීමත් ආදී පෘථුල සේවාවක් ඉටු කරයි.  මුලික අරමුණ වූ රජරට ජල අවශ්‍යතා සතපමින් ගොවිතැන් කටයුතු  උදෙසා  වැසි ජලයත් ස්වභාවික උල්පත් ජලයත් රැස්කර බෙදා හැරිමට බෑවුමක සමෝච්ඡ රේඛාවක් ඔස්සේ බැම්මක් බැඳ නිර්මාණය කළ, ඉතාම දිගු වැවක් වැනි වාරි තාක්ෂණ ප්‍රාතිහාර්යයකි. 

රජරට  ගොවියා මෙම විශ්වකර්ම ඇළට හා එහි ජලයට දැක්වූ දැක්වූ ගෞරවය හා ආදරය ඒ සඳහා යොදාගෙන ඇති නම් ප්‍රමාණයෙන්ම පැහැදිලි වේ. දිගු බවත් එහි අත්‍යන්ත වූ ප්‍රයෝජනත් නිසා ඔවුන් මෙය ඇලක් ලෙස නොව ගංගාවක් ලෙස සලකා ඇත. එකසිය අටේ මුත්තාගේ ඉන්තේරු නිමිති මාලය නම් ලියවිල්ලේ යෝධ ඇළ නම් කිහිපයකින් කියවේ.
මීරිය නදී : මීරිය යනු සාගරයයි. සාගරයක් බඳු කලාවැවෙන් ඇරඹී සාගරයක් බඳු තිසාවැවෙන් අවසන් වන  නිසා මේ නමින් හඳුන්වයි.
අශ්වාර නදී: වෙනත් ගංගා මෙන් සැඩ පරුෂ ලෙස සතුන්ට කෙත්වතු වලට හානි කිරීමක් නැතිව නිහඬව  සෙමින් ගලන බැවින් අශ්වාර නම කියවේ.
ඉසින් බැසි නදී: රහතුන් වහන්සේලා, ඍෂින් වහන්සේලා පැන් පහසුවිමට පැමිණි බැවින් මේ නම භාවිත  කෙරුනි.
යෝධ කුණ්ඨ නදී: විවිධ හැඩයන් ගනිමින් කෙත්වතු සරු කරමින් ගමන් ගන්න බැවින් ව්‍යවහාර කෙරුණි.
කින්නර නදී: රජ සමයේ  කිඳුරියන් බඳු තරුණ කුමාරිකාවන් මෙම ජලයේ නෑමට ප්‍රියකළ හෙයින් මේ නම  යෙදවුණි.
ජයස්ථාල නදී: කඳු මිටියාවත් ජය ගනිමින් ගමන් කරන බැවින් ජයස්ථාල නමින් හැඳින්විය. මෙම නම  පසුකලෙක ජය ගඟ ලෙස භාවිතයට යෙදවෙන්නට ඇත. 

ක්‍රි.ව. 1200දී මහා පැරකුම්බා රජතුමා විසින් මෙම යෝධ ඇල ප්‍රතිසංස්කරණය කරන ලදී. ඉන් පසුවත් වසර සිය ගණනක් රජරැටියෝ මෙය ප්‍රයෝජනයට ගත්හ. 

ධාතුසේන රජු පරම්පරා ගණනාවකට භාවිතා කල හැකි ලෙස නොමසුරුව දායාද කළ, විවිධ විජාතික ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා වී වසර 1500 සුව සේ භාවිතා කළ අපූර්ව යෝධ ඇලේ අභාග්‍ය සම්පන්න යුගය ආරම්භ වෙන්නේ කඩිනම් මහවැලිය යටතේ මහවැලි එච් කලාපයේ සංවර්ධන පටන් ගැනීමත් සමගයි. මෙම කලාපය කඩිනම්ව සංවර්ධනය සඳහා ලෝක බැංකුව රුපියල් කෝටි ගණනක් ලබාදුන්නේ ඔවුන්ගේ විශේෂඥ උපදෙස් මත ක්‍රියා කිරීමේ එකඟත්වය මතයි. එච් කලාපයේ එල්ලංගා හා යෝධ ඇල සමග බැඳුනු පොකුරු වැව්, ග්‍රාමීය වැව්, යාය වැව්, පෙරහන් වැව් 248ක් විය. පැරණි වාපි කර්මාන්ත ගැන හෝ ජලය බෙදන ආකාරය හෝ පිලිබඳ කිසිදු අවබෝධයක් නොමැති හා පැරණි දේ විනාශ කිරීම උදෙසා පැමිණි විදේශ විශේෂඥ උපදෙස් වුයේ මහවැලියෙන් ජලය ලැබෙන නිසා වැව් අනවශ්‍ය බැවින්, වැව් 127ක් සමතලා කර කුඹුරු අස්වැද්දීමයි. මේවාට විරුද්ධ වූ ගම්මාන නිසා වැව් බිඳ හෙලීම නැවතුවත් එප්පාවල සිට නොච්චියාගම දක්වා යාය වැව් සියල්ල නටබුන් වීමට හැරීය.  
නවීන වාරි තාක්ෂණය හැදෑරු ඉංජිනේරුවෝ මෙම දියවර පිලිබඳ පැරණි තාක්ෂනය හැදෑරීමකින් තොරව ජලය මෙතරම් දුරක් හෙමින් ගමන් නොකර කෙටි දුරකින් ඉක්මණින් තිසා වැවට යවන මං සැලසුම් කළහ. මෙහිදී  යෝධ ඇලේ කිලෝමීටර් 15ක් දුර අඩුවන ලෙස නව ජයගඟක් නිර්මාණය කළහ. එහිදී  මහඉලුප්පල්ලම සිට බටුවත්ත දක්වා කොටස මගහැර පැරණි යෝධ ඇලේ කොටස් කැපී යන පරිදි ගඟ කැපුහ. පැරණි යෝධ ඇලේ මෙන් නොව මෙහි ඉවුරු බැම්ම දෙකක් ඇත. සමහර තැන්වල නව ගඟ ගමන් කරන්නේ පැරණි වැවක සිට තවත් වැවකටය.  ගැඹුර අඩි 50, 60 තරම් හැරූ ස්ථාන වලදී එක එල්ලේ වේගයෙන් ජලය ගලයි. මේ නිසා වැව්වල රොන්මඩ එකතුවීම ඇරඹුණි. මේ වනවිට අලුත් ජයගඟ ගමන් කරන කෝන්වැව, කිරලෝගම වැව රොන්මඩ වලින් පිරී ගැඹුර සීග්‍රයෙන් අඩුවෙමින් පවතියි. 
පැරණි යෝධ ඇල ගමන් කළ, දැනට සිඳී ඇති කොටස්වල ගොඩ ගොවිතැන් කිරීම, බැම්ම කපා නිවෙස් තැනීම, ඉවුරු කපා ගඩොල් තැනීම සිදුවේ. අනවසර අල්ලාගැනීම් හා ඉදිකිරීම් නොමදව සිදුවේ. ඒවා රැකගන්නට කිසිවෙක් නැත. මේ නව 'සංවර්ධන' හේතුවෙන් පැරණි ඇලෙන් පෝෂණය වූ බොහෝ වැව් හා වැව් බැඳී රටේ සශ්‍රිකව පැවති වැව් ගම්මාන වියලී, පානීය ජලය පවා ලබාගත නොහැකි තත්වයට පත්ව ඇත.
යෝධ ඇලට කල විපත මේ ලිපියෙන් කියවන්න 

යෝධයෙක් විලස රජරටට සෙත් සෑදු, වාරි ශිල්පයේ මහා හාස්කමක් බඳු  අනභිභවනිය නිර්මාණයක් වූ යෝධ ඇලට වූ විපත වටහාගෙන පැවතී තත්වයෙන් පුනරුත්ථාපනය කිරීමට යෝජනා හා මුල්ගල් තැබීමක් සිදුවුනත් මේ වනතෙක් ක්‍රියාත්මක වීමක් දක්නට නැත. මේ අනර්ඝ වූ ඓතිහාසික වාරි මාර්ගය මතු පරපුරට උරුම නොවී විනාශයට යාම ගැන වගකිවයුතු මහවැලිය හෝ ජාතික උරුමයන් පිලිබඳ අමාත්‍යංශය  මේ වනතෙක් මෙය ප්‍රති නිර්මාණයට කිසිදු පියවරක් ගෙන නැත. 



උදව්:
භූ ජල විද්‍යාඥ ආචාර්ය පී. බී. ධර්මසේන මහතා 
දේශීය වාරි තාක්ෂණයේ මහිමය ලොවට හෙළිකරන යෝධ ඇල : රත්න බි. ඒකනායක, දිවයින 2010 නොවැම්බර්
ධාතුසේන රජුගේ යෝධ ඇළ සහ පැරණි වාරි තාක්ෂනය : මානෑවේ විමලරතන හිමි , දිවයින 2011 ජනවාරි 23  
ගැබ්ගත් එලිච්චියකගේ පිය සටහන් ඔස්සේ හැදූ යෝධ ඇළ: එප්පාවල බණ්ඩාර ඒකනායක, ලංකාදීප 2012
එලිච්චියක විසින් මග හෙලිකෙරුණු යෝධ ඇළ: කපිල පීරිස් , විදුසර 2012 ඔක්තෝබර්
අපේ ජාතික උරුමයක් වූ යෝධ ඇළ දිනෙන් දින වනසයි: රත්න බී. ඒකනායක, දිවයින 2013 ජූලි 
මහපොළොවත් කම්පා කළ යෝධ ඇලේ මරණය: රත්න බී. ඒකනායක, දිවයින  2013 දෙසැම්බර්  
ජය ගඟට යටවුනු ඉපැරණි යෝධ ඇළ: බණ්ඩාර ඒකනායක, දිනමිණ 2015 ජුනි
Ecology of ancient Tank Cascade Systems in island Sri Lanka: Geekiyange N. et.al. 
www.irrigation.gov.lk