Monday 28 January 2019

හිම ඉවත් කිරීම : Snow 2

හිම වැටීම කිහිප විදියකට වෙනවා. සාමාන්‍ය වැස්ස වගේ දවස පුරා කඩින් කඩ පතිතවීම  වගේම අනෝරා වැස්සක් වගේ කෙටි කාලයක් ඇතුලත හිම වැඩි ප්‍රමානයක් වැටීමත් වෙන්න පුළුවන්. කෙටි කාලයකින් හිම ගොඩක් වැටෙන කුණාටුවක් භයානකයි. පාරවල් අවහිර වෙලා වාහන එහෙමම නවත්වන්න වෙන අවස්ථා පවා ඇතිවෙනවා. පිටතක නවත්තල ගිහින් එද්දී වාහනය නොපෙනෙන ගානට වැහිලා තියෙන්නත් පුළුවන්.
දවස පුරා හිම වැටීමත් ලෙහෙසි නැහැ. වාහනවල ගියත් පයින් ගියත් එක වගේ අසීරුයි.
තද වැස්සකට පාර නොපෙනී යන අවස්ථා වගේ සුදු පාට හිම නිසා මිටරයක්වත් දුර නොපෙනෙන අවස්ථා එනවා. බොහොමයක් වාහන හිම වැටෙන කාලයට දවල් පවා ලයිට් දාගෙන යන්නේ.

හිම වැටෙනකොට ලස්සණයි. ආසයි. ඒත් වතුර වගේ ගලායාමක් නැතිව එකතැන ගොඩ ගැහෙන නිසා හිම වැඩිපුර වැටුනම යන එන මාර්ගවලින් අයින් කරන්න ඕන. ස්ථානය අනුව හිම අයින් කරන්න යොදාගන්න උපකරණ වෙනස්.
ගෙවල් අවට හා වාහනවලට වැටෙන හිම ඉවත් කරන එක නිවැසියන්ගේ හා වාහන අයිතිකරුවන්ගේ වගකීමක්. හිම තියෙද්දී ඒ උඩින් වාහන ධාවනය වුනාම හිම තදවීමෙන්, පසුව අයිස් සැදී ලිස්සනවා. මඩ වගේ වෙනවා.
නිවෙස් අවට හිම අයින් කරන්න විශේෂ සවල් හා කුඩා මැෂින් උපයෝගී කරගන්නවා. හිමවල බර වගේම වැටිලා තියන හිම ප්‍රමාණය අනුව මේ සඳහා දරන්න ඕන වෙහෙස වෙනස්. හිම වැටෙන අවස්ථාවක අවට පරිසරය සෙන්ටිග්‍රේඩ් අංශක බින්දුවට වඩා අඩු නිසා, හිසේ සිට දෙපතුල් දක්වා සීතලට සුදුසු ඇඳුම් ඇඳගෙන සවලෙන් හිම එකතු කරමින් විසි කරලා හෝ තල්ලු කරමින් පාර පාදගන්න ඕනෙ. හැකිතාක් නිවසෙන් ඇතට හිම අයින් කරන්නේ සීතලෙන් එන බලපෑම අඩු කරගන්නයි.

කුඩා යන්ත්‍රවලින් හිම අයින් කරන්න සෙන්ටිමීටර් තුනකට වඩා ඝනට හිම වැටෙන්න ඕනේ. ඊට අඩු ප්‍රමාණයකට එය කාර්යක්ෂම නැහැ.
හිම පතනයකට හසුවූ  වාහනය සීරීමෙන් තොරව හිම ඉවත්කරගන්න පුළුවන් අගට තද රබර් තීරු සවිකරපු කුඩා අත් සවල්, බුරුසු වගේ උපකරණ වාහන තුළ නොවරදවා තිබෙනවා.

මහාමාර්ගවලට වැටෙන හිම ඉවත් කිරීම එම මාර්ග අයත් ප්‍රාදේශීය සභාවල වගකීමක්.  ප්‍රාදේශීය සභා සතුව තිබෙන හෝ පුද්ගලික ආයතන වලින් කුලියට ගන්නා හෝ වාහන වලින් හිම ඉවත් කෙරෙනවා. අධිවේගී මාර්ගවල නම් එකවර මෙවැනි වාහන දෙක තුනකින් හිම අයින් කරන්න වෙනවා. තල්ලු කරගෙන ගොස් මාර්ගය දෙපස ගොඩ ගැසීමයි කරන්නේ.
මිනිසුන්ට ඇවිදින්නට භාවිතා කරන මංතීරුවල හිම අයින් කිරීමත් ප්‍රාදේශීය සභාවලින් කරන්නේ. ඒ සඳහා කුඩා ප්‍රමාණයේ යන්ත්‍ර තිබෙන්නේ.
සාමාන්‍යයෙන් හිම වැඩිපුර වැටෙන බවට කාලගුණ නිවේදන ලද පසු මාර්ගවලට හා ඇවිදින මන්තීරුවල ලුණු කැට ඉසීම කරනවා. එහිදී මුලින් වැටෙන හිම දියවී යනවා. ලුණු මගින් අයිස්වල ද්‍රවංකය පහත හෙලීම නිසා මෙසේ සිදුවන්නේ. නමුත් ලුණු භාවිතා කරන්න පුළුවන් සෙන්ටිමිටරයක්ට අඩු මට්ටමේ අයිස් දිය කරන්නයි. බොහෝ වෙලාවට හිම ඉවත් කිරීමෙන් පසු ඉතිරිවන කොටස් දිය කරන්නයි ලුණු දාන්නේ. ඒ සඳහා විශේෂ ට්‍රක්වල ලුණු පටවාගෙන ගිහින් ඉසීම් උපකරණ මගින් හෝ සමහරවිට සවල් ආධාරයෙන් ලුණු විසිරුවනවා.
මේ විදියට පාරට ලුණු දානවට වාහන හිමියෝ එතරම් කැමති නැහැ. වාහන ඉක්මණින් දිරාපත් වෙන නිසා. මෙයින් පරිසරයට වෙන හානි ගැනත් නිතර කතා වෙනවා. ශාකවලට වගේම ජලයට එකතු වීමෙන් ජලජ ජිවින්ට වෙන හානි ගැනත්, බීමට ගන්නා ජලය දුෂණය ගැනත්  කියවෙනවා.  එහෙත් ලුණු තරම් කාර්යක්ෂමව පහසුවෙන් හා ලාභදායි ලෙස භාවිතා කරන්නට හැකි විකල්ප අඩුයි.

දුම්රිය මාර්ගවල හිම අයින් කරන්න ඒ සඳහා විශේෂිත Railway snow plough  තියෙනවා.

තද හිම පතනයකදී ගුවන් යානා කාල සටහන් වලටත් බාධා පැමිණෙනවා. ගුවන්යානා ධාවන පථ නිසි ලෙස පිරිසිදු කිරීමත්, visibility නියමිත අගයට වඩා වැඩිවීමත් සහතික වනතෙක් ගුවන් ගමන් නවතනවා.
යානය මත තිබෙන හිම ඉවත් කිරීමටත්, ගුවනේදී අයිස් බැඳීම වැලැක්වීමටත්, යානයේ තටු, stabilizers වැනි වැදගත් ස්ථානවල තිබිය හැකි දුෂිත ද්‍රව්‍ය ඉවත් කිරීමටත් මෙවන් දිනවල  ගමන් ආරම්භ කිරීමට මොහොතකට පෙර De-ice කිරීමක් කරනවා. (ගුවන් යානයක් තුල සිටියදී මෙවැනි අවස්ථාවක් අත්දැකීමට ලැබී තියෙනවා.  වීදුරු කූඩුවක් ඇතුලට දාල කූඩුව නාවනවා වගේ හැඟීමක් ආවේ).

මේ හැම විදියෙන්ම අයින් කරන හිම තට්ටු, ස්වාභාවිකව ඉර එලිය ලැබී වාෂ්ප වී හෝ උෂ්ණත්වය වැඩිවී හිම දියවී යනතෙක් හෝ වැස්සක් වැටි දියවෙනතෙක් හෝ පාර දෙපස, නිවෙස් අසල කඳු ගැහිලා තියනව. දවස් කිහිපයක්  යනකොට දුවිලි, කුණු එකතුවෙලා ලස්සණ සුදු ගතිය නැතිවෙනවා. ජලයේම චමත්කාරජනක අවස්ථාවක් වෙන හිම අනිත්‍යය දක්වන්නේ එහෙමයි.

උදව්:
https://jalopnik.com/how-and-why-we-de-ice-aircraft-before-takeoff-1657914108
https://www.foxnews.com/science/

Tuesday 22 January 2019

ගූගල් ඩූඩල් ජනවාරි 22 : භෞතික විද්‍යාඥ ලෙව් ලන්දව්

දින ගණනකට පස්සේ අද ඩුඩල් එකෙන් දාල තියෙන්නේ ලොවට ඉමහත් සේවයක් කළ විද්‍යාඥයෙක් ගැනයි. ස්වභාවික සංසිද්ධි පුරෝකථනය කරන න්‍යායාත්මක භෞතික විද්‍යාවේ බොහෝ මුලයන් සොයාගැනීම උදෙසා දායකත්වය දුන් අති විශේෂ දක්ෂතා තිබුණු සුභග විද්‍යාඥයෙක් වන ඔහු, ලෙව් දේවිදොවිච් ලන්දව්. භෞතික  විද්‍යාවේ දියුණුවට ඔහු විසින් කරන ලද සේවය උදෙසා 1962 දී භෞතික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය ඔහුට පිරිනැමුවා.
සෝවියට් රුසියානු න්‍යායාත්මක භෞතික විද්‍යාඥක් වන ඔහු උපත ලැබුවේ 1908 ජනවාරි 22 දා එවක රුසියන් අධිරාජ්‍යයට අයත්ව තිබු අසර්බයිජානයේ බාකු වල. මොහුගේ යුදෙව් ජාතික පියා ඉංජිනේරුවෙක් වූ  අතර, මව වෛද්‍යවරියක්. ඉතා කුඩා වියේදීම අසමසම ගණිතමය දස්කම් දැක්වූ ඔහු වයස 12 දීම විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබුවා. එහෙත් ඔහුගේ කුඩා වයස සැලකු දෙමාපියෝ ඔහුව බාකු Economical Technical School වෙත යැව්වා.
1922 වයස 14 සම්පුර්ණ වූ පසු බාකු විශ්ව විද්‍යාලයේ ඉගෙනීම ආරම්භ කල ලන්දව් එකවර ගණිතය හා භෞතික විද්‍යාවත්, රසායන විද්‍යාවත් හැදෑරීමට ලියාපදිංචි වුණා. පසුව රසායන විද්‍යාව අත්හැර දැමුවත් ඒ කෙරේ ඇති ආශාව අඩුවක් වුනේ නැහැ.
 1924 දී රුසියාවේ ඉහලම විශ්ව විද්‍යාලයක් වන ලෙනින්ග්‍රාඩ් රාජ්‍ය විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයට බැඳී Theorotical Physics හදාරා වයස 19 වෙද්දී උපාධිය ලැබුවා. ඉන්පසු රොකෆෙලර් පදනමෙන් ලද fellowship නිසා ලොව පුරා සංචාරය කරමින් තමන් ප්‍රියකරන විෂයය සම්බන්ධිත පුද්ගලයන් හමුවීමේ භාග්‍යය ලැබුවා.
නැවත රුසියාවට පැමිනි ලන්දව්ට ඛර්කිව් හි Ukrenian Physico Technical Institute හි න්‍යාය භෞතික විද්‍යා අංශයේ ප්‍රධානියා වන්නට ලැබුණා. අවුරුදු 26 දී ගණිත හා භෞතික විද්‍යා ආචාර්ය උපාධියක් ලබන්නට සමත්වූ ඔහු ඊළඟ වසරේම මහාචාර්යවරයෙක් වීමට සුදුසුකම් ලැබුවා.
1932දී චැඩ්වික් විසින් නියුට්‍රෝනය සොයාගැනීමට පෙර ලන්දව්  තනි විශාල න්‍යෂ්ටියක් සහිත ඝන තාරකා තිබිය හැකි බව පෙන්නුම් කළා. මේවා නියුට්‍රෝන තරු ලෙස දැන් හඳුන්වනවා. න්‍යෂ්ටික බලශක්තියක් ලෙස හයිඩ්‍රජන් උපයෝගී කරගෙන අවසන් වූ ධවල වාමන තරු පිලිබඳ උපකල්පන රාශියක් ඉදිරිපත් කරනු ලැබුවා.

මේ කාලය තුල ඔහු එව්ගේනි ලිෆ්ශිට්ස් සමග වෙළුම් දහයකින් යුත් න්‍යායාත්මක භෞතික විද්‍යාවේ සියලුම අංශයන් ආවරණය වෙන පරිදි Course of Theoritical Physics ග්‍රන්ථ සම්පාදනය කරනු ලැබුවා. මේවායේ කොටස්  තවමත් භෞතික විද්‍යා පාසල් පොත්වල සඳහන් වෙනවා.
 මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලයේත්, යුක්රේන විශ්ව විද්‍යාලයේත් භෞතික විද්‍යා මහාචාර්යවරයෙක් ලෙස දිගටම ඉගැන්වීමේ යෙදුනු ලන්දව් දිගටම පර්යේෂණකරනයේත් යෙදුණා. තරල යාන්ත්‍රණය,  ක්වොන්ටම් ක්ෂේත්‍ර න්‍යාය වැනි දේ ගැනයි පර්යේෂණය කළේ.
භෞතික විද්‍යාවට ඔහුගෙන් වූ දායකත්ව අතර diamagnetism යාන්ත්‍රික න්‍යාය, ක්වොන්ටම් යාන්ත්‍රණයේ density metrix method, Fermi ද්‍රව න්‍යාය, superfluidity න්‍යාය, ලන්දව් gauge වැනි චුම්බක ක්ෂේත්‍රවල ශක්ති නිර්ණය කරන මිනුම් ආදියත් ඇතුලත්.
මොස්කව් වෙත ගිය ඔහු Physical Institute of the USSR Academy of science හි න්‍යාය අංශ ප්‍රධානි වුවා. පරමාණු ඝට්ටන, තාරකා භෞතික විද්‍යාව, පරමාණු හා න්‍යෂ්ටික භෞතික විද්‍යාව, වායුන්හි චාලක ශක්ති න්‍යාය, plasma physics ආදී ක්ෂේත්‍රවල පර්යේෂණ කර සොයාගැනීම් ඉදිරිපත් කළා. ද්‍රව හීලියම් සුපිරි තරලයක් ලෙස විස්තර කිරීමේ න්‍යායක් ඉදිරිපත් කළා.

1937දී ස්ටාලින්ගේ ආඥාදායකත්වය හිට්ලර් සමග සංසන්දනය කල නිසා වසරක් සිරබත් කන්නටත් ලන්දව් ට සිදුවුණා. ප්‍රසිද්ධ භෞතික විද්‍යාඥ ප්යදෝර් කැපිස්ටා ගේ ඉල්ලීමක් අනුව ඔහුට නිදහස ලැබුණි.
ඉන්පසු සෝවියට් හයිඩ්‍රජන් හා න්‍යෂ්ටික බෝම්බ සංවර්ධනය කරන ගණිතඥයන්  රැසකට නායකත්වය දුන් අතර සෝවියට් රුසියාවේ පළමු තාපගතිකමය බෝම්බයේ බලය හා ඵල පිලිබඳ පුරෝකථනය කළා.

ලොව පුරා විවිධ අධ්‍යයන ආයතන වල ගෞරව සාමාජිකත්වය හිමි ලන්දව් නොබෙල් ත්‍යාගය ඇතුළු විවිධ ත්‍යාගවලිනුත්, ඇගයීම් හා පදක්කම් ආදියෙනුත් පිදුම් ලැබී තියෙනවා. ඔහුට ගෞරව ලෙස ඔහු නමින් කුඩා ග්‍රහලෝකයක්ද, සඳේ ආවටයක්ද නම්කර තියෙනවා.
1937දී විවාහ වූ ලන්දෙව් ට ඉගොර් නමින්  පුතෙක් සිටිනවා. පුත්‍රයාද භෞතික විද්‍යාඥයෙක්.
1962දී ඔහුගේ වාහනය අනතුරට ලක්වීම නිසා හිස් කබලේ හා අස්ථිවල සිදුවූ දැඩි හානි හේතුවෙන් ඔහු මාස දෙකක් කෝමා තත්වයේ සිටියා. නැවත සිහි ආවද ඔහුගේ  විද්‍යාත්මක නිර්මාණශීලිබව අහිමිව තිබුනා.  ඉන්පසු ඔහුගේ විද්‍යාත්මක කාර්යයන්හි නිරතවීමේ හැකියාව සම්පුර්ණයෙන් ලැබුනේ නැහැ. අනතුරේ පසු බලපෑම් හේතුවෙන් ඔහු 1968 අප්‍රේල් පළමුවෙනිදා 60 වන වියේදී මියගියා.

ලොවට අනගි මෙහෙයක් කළ, එහෙත් බොහෝ දෙනෙක් නොදන්නා මෙවන් උසස් මිනිසුන් ගැන මතකයට නැංවීමෙන් ගුගල් සමාගම කරන්නේ ඉමහත් සේවයක්.

උදව්:
www.thefamouspeople.com/profiles/lev-landau-7125.php
www.newworldencyclopedia.org/entry/Lev_Landau
https://en.wikipedia.org/wiki/Lev_Landau
www.visions.az/en/news/52/58f06665/

Saturday 19 January 2019

40 වසරක් සේයාරූ 40ක් ගත් Brown Sisters

මේ දවස්වල මුහුණු පොතේ ජයටම අවුරුදු දහයකට පෙර පින්තුරයක් හා අද පින්තුරයක් පළකරන චැලේන්ජ් එකක් යනවා. ෆේස්බුක් මගින් එය කිසිදු විශේෂ හේතුවක් නැතිව ආරම්භ කළත්, පලකරන මුහුණු  ජංගම දුරකථන හා සමාජ ජාලා සමාගම් මුහුණු පරික්ෂා ආරක්ෂණ ක්‍රමවේදය වැඩි දියුණු කරන්න දත්ත ලෙස යොදාගන්නවා කියලත් තිබුණා. කාලය සමග සිදුවන මුහුණේ වෙනස්වීම මෙමගින් නිරීක්ෂණය කර දත්ත ලබා ගැනීමක් කරන බවයි කියවෙන්නේ.
මේ බව කියවද්දී මට අපුරු සිදුවීමක් මතක් වුනා. ඒ අවුරුදු 40ක් නොකඩවා එකම ලෙසට සිට පින්තුර ගත් සොයුරියන් හතර දෙනෙක් ගැනයි.

මෙය ආරම්භ වෙන්නේ 1975දී ඇමරිකා එක්සත් ජනපදයේ මැස්චුසෙට් ජනපදයේ නිකොලාස් නික්සන් ඡායාරුප ශිල්පියා තම බිරිඳගේ නිවසට ගිය අවස්ථාවක විශේෂ හේතුවකින් තොරව "සහෝදරියෝ හතර දෙනාගේ පින්තුරයක් ගනිමුද"  ඇසීමෙන්. ප්‍රතිඵලය වුණේ ගස් හා තණ පිටියක් පසුබිම්ව ගිම්හාන කාලයට සුදුසු ඇඳුමින් සැරසුණු බ්‍රවුන් සොයුරියන්ගේ සරල ඡායාරුපයක්.
1975. Connecticut
ඊළඟ වසරේ එක සොයුරියකගේ උපාධි උත්සවයකට ඡායාරූපයක් ගන්න නික්සන්ට ඇරයුම් ලැබුණා. පින්තුරය ගන්න  සුදානම් වෙන ගමන් නික්සන් ගිය වසරේ පිළිවෙලටම හිටගෙන පින්තුරය ගනිමුද අසා තිබෙනවා. ඔවුන්ගෙන් විරෝධතාවක් ඇවිත් නැහැ.
1976 , Hartford 
ඒ ඡායාරූපය මුද්‍රණයෙන් පැමිණි පසු සැම වසරකම මෙලෙස සේයාරුවක්  ගැනීමට ඔහුට අදහසක් ඇතිවී තිබෙනවා. බිරිඳ ඇතුළු සොයුරියන්ද ඊට කැමතිවී තිබෙනවා.
ඉන්පසු වසර 40ක් පුරා නොකඩවා සෑම වසරකම එකම පිළිවෙලට සිටින සොයුරියන්ගේ සේයාරූ ගැනීම සිදුවුනා. ස්වභාවික ආලෝකයෙන්, විශේෂ සුදානමක් හෝ ඉරියව්වක් නැතිව, casual ලෙස ගත් ඒ සෑම කළු සුදු ඡායාරූපයකම  පාහේ සොයුරියන් කැමරාව දෙස බලා සිටින අතර, සිනාවෙන් තොරව සිටින්නේ. නික්සන් වසරකට මුද්‍රණය කළේ ඔව්න්ගේ එක සේයාරුවක් පමණයි. වමේ සිට පිලිවෙලින් ඒ අය Heather, Mimi, Bebe  හා Laurie. මුල් පින්තුරය ගනිද්දී ඔවුන්ගේ වයස පිලිවෙලින් 23, 15, 25 හා 21ක් විය. නික්සන්ගේ බිරිඳ වැඩිමහල් Bebe ය.

1985, Massachusetts 
"අපි අඳින්න ඕන ඇඳුම කතා කරගත්තේ නැහැ. එදාට හිතෙන එකක් ඇඳගෙන පින්තුරේට පෙනී හිටියේ" බීබි කියයි. එසේම කාලයක් ගතවන විට රැකියා හා වෙනත් හේතු නිසා ඔවුනට ලොව පුරා යාමට සිදුවුවත්, වාර්ෂික ඡායාරූපය ගැනීමට සියලු දෙන වසරකට වරක් හමුවුණා.

Massachusetts College of Arts and Design හි ඡායාරූපකරණය පිලිබඳ ආචාර්යවරයෙක් වූ නික්සන් විසින් තම වෘත්තීය ජීවිතය පුරාම වාර්ෂිකව ගත් මෙම ඡායාරූප ව්‍යාපෘතිය, 2011 දී The Brown Sisters නමින් ලොව පුරා කලාගාර වල ප්‍රදර්ශනය කිරීම ආරම්භ කළා. එම සේයාරූ වලට වෙනම නම් නොතිබූ අතර රැගත් වර්ෂයත් ස්ථානයත් පමණක් සඳහන්. දැන් මේ ඡායාරුප මැසචුසෙට්හි Museum of Modern Art හි ප්‍රදර්ශනය වෙන අතර, 40 වසර සපිරුණු 2014දී පොතක් ලෙසත් එළිදැක්වූවා.
මෙම රූ පෙළ ඡායාරුප ක්ෂේත්‍රයට ඉතා වැදගත් සේම අනෙක් ක්ෂේත්‍රවලත් නොමද අවධානයට යොමුවෙලා තියෙනව.

මේ පින්තුර පෙළ බලාගන්න කැමති අයට මෙතනින් ක්ලික් කර ඒවා සියල්ල වෙනම බලාගන්න පුළුවන්.
තොරතුරු වැඩි ගණනක් තියන මෙතන ක්ලික් කර එන ලිපියට ගියොත්  පින්තුර සියල්ල එකවර බලාගන්නත්, එක සේයාරුවකට ක්ලික් කර එය විශාල වූ පසු, පැත්තෙන් එන  > ලකුණ උපයෝගී කරගෙන ඊළඟ ඡායාරූපවලට  යමින් පිලිවෙලින් බලාගන්නත් හැකියාව තියනව.
කැමතිනම් මෙම වීඩියෝ එකෙනුත් විනාඩි තුනකදී ඡායාරුප 40 සහ ඊළඟ ඡායාරුප තුනත් බලාගන්න පුළුවනි.

 කාලීන වෙනස්කම් මෙන්ම සමාජීය සාධක පවා අධ්‍යයනයට මේ සේයා රු උදහරණ  කරගත හැකිබව මේ ගැන තියන විවිධ විචාරවලින් පෙනී යන්නේ. මේ රූප පෙළින් ඕනෑම කෙනෙක්ට කාලය අපගේ ජිවිතවලට හා සම්බන්ධතාවලට කෙතරම් බලපෑමක් කරයිද යන්න දැකිය හැකිවා මෙන්ම ජීවිතය පිලිබඳ විවිධ අංශවලින් දකින්නත් වේදිකාවක් සපයනවා.
පරම්පරාවක්  පුරා වෙනස් වූ ඇඳුම් මෝස්‌තර, කොණ්ඩා මෝස්‌තර ආදියත්, වයස්ගතවීම නිසා සිරුරේ සිදුවන වෙනස්කම් ආදියත්  කදිමට පිළිබිඹු වෙන මෙම ඡායාරූප පෙළ, සොයුරු පෙම පිලිබඳ සමීප දැක්මකට  උපයෝගී කරගන්න පුළුවන්.

1995, Marblehead, Massachusetts 
සොයුරියන් ගේ සමානකම් මෙන්ම විවිධතා ද පැහැදිලි මෙම රූ වලින් කාලයත් සමග මුහුණුවල සිදුවන වෙනස්කම් සමීපව දැකගත හැකියි. මුහුණේ රැලි මතුවීම, ඇස් වටා හා නළලේ රැලි, සිරුරේ නහර පෑදීම, සමේ වියලි ගතිය හා  පැල්ලම් ඇතිවීම වසරින් වසරට වෙනස්වන ආකාරය කිසිවෙක්ට ප්‍රතික්ෂේප කළ  නොහැකි සත්‍යයයි.  වියපත් වීම යනු මෙයයි.

කාලය විසින් මුව මත අතුරන වෙනස කෙතෙක් වුවත් එකිනෙකා කෙරෙහි ඇති ආදරය නොවෙනස් වනු පමණක් නොව වයසට යනවිට එකිනෙකාට වඩා සමීප ගතියක් දනවන බවටත් මෙම රූ සාක්ෂියි. මුල් ඡායාරූපවල ඉරියව්වලින් දුරස්ථ බවකින්, ස්වාධීනව මෙන් සිටින සොයුරියෝ, වයසට යත්ම එකිනෙකාට වඩා ආසන්න ලෙස සම්බන්ධ බව අත්වලින් හා සිරුරෙන් බැඳී සිටින ස්වභාවයෙන් පෙන්නුම් කරනවා. එනම්, මෝස්‌තර, ජිවන ක්‍රමය, ආශාවන් ආදිය කාලයත් සමග වෙනස් වුවත්, පවුලේ බැඳීම් වඩා ශක්තිමත්ව වර්ධනය වන බවයි.
2005, Cataumet Massachusetts  
සැම වසරකම වඩා සුදුසු ඡායාරුපය තේරීම සිදුකරනවිට මුලදී සොයුරියන්ගේ කැමැත්ත වෙනස් වුවත් කල් ගත වෙත්ම එහි ඒකමතික බවක් තිබුණු බව නික්සන් කියනවා. ඔහුගේ කැමැත්ත වෙනත් ඡායාරූපයකට වුවත් සොයුරියන්ගේ අදහසට හිස නැමීමට සිදුවූ බව ඔහු පවසන්නේ ඔවුනගේ එක්සත් බවට ගරු කරමින්.

අනෙක් විශේෂිතම දෙය මේ සොයුරියන් අපට ඔවුන්ව නිරීක්ෂණයට ඉඩ සැලසුවත්, අවධානය ගෙන ජනප්‍රිය වීමේ ස්වභාවයක් නොමැති බවයි. ඔවුන්ගේ පුද්ගලිකත්වය පිළිබඳවද ශිල්පියා බෙහෙවින් සැලකිලිමත්ව තියෙනව.
අවසන් ඡායාරූපය කරා යනවිට මහත් සංවේගයක් ඉපදුනත්, "අපි කවුරුත් සදහටම මේවයේ ඉන්නේ නැහැ" නික්සන් පිළිගනියි.  ස්පාඥ්ඥයේ මුල් ඡායාරූප 36 ප්‍රදර්ශනය කළ අවස්ථාවේ නරඹන්නන් සංවේදීව හැඬු බව සඳහන්.

අද කොයි අත බැලුවත් සමාජ ජාලවල, කලා නිර්මාණවල, දැන්වීම්වල, පුවත්පත්වල, චිත්‍රවල කාන්තාවන්ගේ සේයාරූ අධික ප්‍රමානයක් දක්නට තිබුණත්,  කාන්තාවක වයස්ගත වන  ආකාරය නිරූපණය ඉතා විරලයි. එපමණක් නොවේ, සදාකාලික යෞවනයේ රැඳී සිටින්නට විවිධ කෘතීම උපක්‍රම යොදාගැනීම සහ ඊට පෙළඹවීමයි  පෙනෙන්නට තියෙන්නේ. එවන් යුගයක ජිවිතයේ  සැබෑ වෙනස්වීම පිලිබඳ පිලිබඳ සත්‍යය නිරාවරණය කරන මෙම රූ පෙළ වඩාත් වටිනාකමකින් ඔපවත්ව බැබලෙන බවයි හිතෙන්නේ.
2014 Wellfleet, Massachusetts 
උදව්:
www.wired.com/story/facebook-10-year-meme-challenge/
www.nytimes.com/interactive/2014/10/03/magazine/01-brown-sisters-forty-years.html
www.newyorker.com/culture/photo-booth/looking-at-nicholas-nixons-forty-third-portrait-of-the-brown-sisters
spotlightstories.co/sisters-photo-every-year-40-years/
www.inspiremore.com/4-sisters-retake-family-photograph-for-40-years/

Sunday 13 January 2019

පැනගිය සවුදි තරුණ තරුණියන්ගේ ඉරණම

ගැහැණු වීම නිසාම නොයෙක් හිංසා පීඩා විඳින්නට සිදුවන සවුදි අරාබියෙන් පැනගොස් ඕස්ට්‍රේලියාවේ රැකවරණ ඉල්ලා, නොලැබුනෙන් කැනඩාවේ දේශපාලන රැකවරණ ලබා කැනඩාවට පැමිණි 18 හැවිරිදි රහාෆ් මොහොමඩ් අල් ක්වනන් ගැන මේ දිනවල ප්‍රවෘත්ති පිරි ඉතිරි යයි.

රහෆ් බැංකොක් ගුවන්තොටේ  කාමරය තුළ 
කතාව කෙටියෙන් කිවහොත් රහාෆ් සවුදි අරාබියේ වෙසෙන තම පවුලෙන් මිදී බැංකොක් වෙත ගොස් බැංකොක් ගුවන් තොටුපලේ කාමරයක අගුලු ලාගෙන තමන්ට පවුලෙන් විවාහයකට බල කරන බවත්, ඒ සඳහා කැමැත්ත ගැනීමට තමාට ශාරීරික වද හිංසා කරන බවත් කියා නැවත සවුදි අරාබිය වෙත යාම ප්‍රතික්ෂේප කළාය. එම චෝදනා පිළිනොගත් ඒ වනවිටත් බැංකොක් වෙත පැමිණ සිටි රහෆ් ගේ පියා හා සහෝදරයා ඇයව රැගෙන යාමට තැත් කළත් රහෆ් ට්විටර් පණිවිඩයකින් පැවසුයේ සවුදි තනාපති කාර්යාලය නැවත රටට යන්නට බල කර සිටින නිසා තත්වය වඩා භයානක වන බවයි. නැවත ගියහොත් පවුලේ අය තමාව මරා දමනු ඇති බවට ඇය බිය පලකලාය.
ට්විටර් ඔස්සේ මෙම පණිවුඩය දැකගත් අය මගින් මෙය මාධ්‍ය තුලින් ප්‍රචාරය විය.
රහෆ් තමන්ව බේරගන්න ලෙස ලොවටම ආයාචනය කරමින් ඕස්ට්‍රේලියාවේ රැකවරණ පැතුවත්, සරණාගත ප්‍රශ්ණය උග්‍ර වී සිටින එම රට සරණාගත ඉල්ලීම් සලකා බැලීමට සැහෙන කාලයක් ගතවන බව දන්වා සිටියේය. ලොව පුරා මාධ්‍යයන්ගේ මෙම සිද්ධියට නොසිතු තරම්  ප්‍රචාරයක් ලැබීමත්  සමග සරණාගතයන් පිළිබඳව සහනශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන කැනඩා අගමැති ඇගේ ආයාචනය පිළිගෙන ඇයට එම රටට පැමිණීමට අවසර දුන්නාය. කොරියාව හරහා කැනඩාවට පැමිණි ඇයව කැනඩා විදේශ ඇමතිනිය විසින් හරසරින් පිළිගත්තාය.

මෙලෙස සවුදි අරාබියේ සිට රැකවරණ පතා පැනගිය පළමුවැන්නා රහාෆ් නොවේ. අනෙක් අයගේ ඉරණම කුමක් වීද ?
2017 අප්‍රේල් මස සවුදියෙන් ගැලවී පිලිපීනයේ මැනිලා ගුවන් තොටුපලට පැමිණි ඩිනා අලි ලස්ලුම් නම් 24 හැවිරිදි කාන්තාව මෙලෙසම රැකවරණ ඉල්ලා සිටියාය. රහාෆ්ට මෙන් සමාජ ජාල හෝ මාධ්‍යයන්ගෙන් සහය ලබා ගැනීමට වාසනාවක් නොවූ ඇය කෑ ගසමින් දැඩි ලෙස විරෝධය පල කරද්දී බලයෙන් ගුවන් යානයකට පටවාගෙන නැවත ගෙන ගියහ. ඉන්පසු ඇයට සිදුවූ දෙයක් කිසිවෙක් නොදනී.

වසර හයක් තිස්සේ සැලසුම් කර තම සොයුරිය සමග සුක්ෂම ලෙස සවුදියෙන් පිටවී  කැනඩාවට පැමිණ ජිවත්වන සල්වා අල්සරණි නම් 24 හැවිරිදි උපාධිධාරිණිය ගේ කතාව අදහන්නට නොහැකි වික්‍රමයකි.  උපාධියෙන් පසු නිවසටම වී කල් ගෙවමින් පිරිමින් උතුම් යන වදන් අසමින්, ආගම අදහමින්  සිටීම තිත්ත  වූ ඇය බොහෝ ඉවසිලිවන්තව හැඳුනුම්පතත් ගුවන් බලපත්‍රයත් ලබාගත්තාය. එහෙත් ඒවා සඟවා තිබුනේ සොයුරාගේ නිවසේයි. නිවසේ අය නින්දේ සිටි අවස්ථාවක සොයුරාගේ ගෙදරට හොර රහසේ ගොස් ඒවා අතට ගත් ඇය කෙටි කලක් කල රැකියාවෙන් ඉතිරිකළ මුදලෙන් ජර්මනියට ගුවන් ටිකට් ලබා ගත්තාය.
පියාගේ ජංගම දුරකථනය ද රැගෙන ඔහුගේ ගිණුමට ඇතුළු වී තමාටත් නැගනියටත් රටින් පිටව යාමට අවසර දුන් බවට එහි සඳහන් කළාය. සවුදියේ ගැහැණු අයට පිරිමි අයගේ අවසරයකින් තොරව ගමන් බිමන් යාම තහනම් නිසා එය කරන්නට සිදුවූ බව ඇය පවසයි.
මේ කුමන හෝ අවස්ථාවකදී කිසිවෙක්ට හෝ  හසුවී නම් ජිවිතයෙන් වුවද වන්දි ගෙවිමට සිදුවන බව දැනදැනම අවදානම ගත්තේ නිදහසේ ජීවත්වීමට ඇති ආශාව නිසා බව සල්වා කියයි. රටින් පිටව යන දින රාත්‍රියේ ටැක්සියක් ගෙන්වා ගත් ඔවුහු ගුවන් තොටුපලට පැමිණියහ. රියදුරන් විදේශිකයන් නිසා එය අපහසුවක් නොවූ බව සල්වා කියයි. ජර්මනියට පැමිණ නීතිඥවරයෙක්ගේ මාර්ගයෙන් කැනඩාවේ සරණාගත වීසා ලබාගත් ඇය දැන් නැගණිය සමග නිදහස් සාමකාමී ජිවිතයක් ගෙවන්නීය.

සවුදි රජයට එරෙහිව සාමකාමී විරෝධතා දැක්වූ යුරෝපයේ ජීවත්වූ සවුදි රජ කුමරුවන් කිහිපදෙනෙක් ගේ අතුරුදහන් වීම ගැන වාර්තා වෙයි.
2002 දී සුල්තාන් අබ්දුල් අසිස් කුමරු (මැද සිටින) ස්විට්සර්ලන්තයට පැමිණියේ  රෝගී තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමටයි. ඔහු ජිනීවාහි සිටින අතර පැවැත්වූ සම්මුඛ සාකච්ඡා වලදී සෞදියේ පාලනය හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන විවේචනය කර ඇත. 2003 ජුනි මස 12 දා කුමරු තම මාමා වන එකල රජකළ ෆාහඩ් රජුගේ පුතකු වූ ෆාහඩ් කුමරුට  අයත් මාලිගයට ගියේ උදේ ආහාරය ගැනීම  සඳහා ලැබුණු ඇරයුමක් අනුවයි.
සවුදියේ පාලනය කෙරෙහි සුල්තාන් අබ්දුල් අසිස් කුමරු කර ඇති විවේචන ගැන විසඳුමක් ලබාදීමට සවුදියටපැමිණෙන ලෙස ඉල්ලීමක් කෙරුණි. කුමරු එය ප්‍රතික්ෂේප කල බවත් දුරකතන ඇමතුමක් ලබා ගැනීමට අවශ්‍ය බව කියා ඉවත්වූ මොහොතකින් මුහුණු ආවරණ පළඳි පුද්ගලයන් පස් දෙනෙක් පැමිණ කුමරුට පහර දී, මාංචු දමා ගෙලට සිරින්ජයක් ඇතුල් කර සිහි මුර්ඡා කර ඇති බවත් කියවේ. ඒ මොහොතේම ජිනීවා ගුවන් තොටුපලේ නවතා තිබු එයා ඇම්බියුලන්ස් ගුවන් යානයකට ඔහුව ඇතුළුකර ගෙනගොස් ඇත.
කුමරුගේ සන්නිවේදන නිලධාරී එඩි ෆෙරෙයිරා පවසන අන්දමට ඔවුහු කුමරු පැමිණෙන තෙක් හෝටලයේ බලාසිට ඇති අතර, කුමරුගේ ආරක්ෂක අංශයෙන්ද කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. දහවල හෝටලයේ කළමනාකරු සමග පැමිණි ස්විට්සර්ලන්තයේ  සවුදි තානාපති දන්වා ඇත්තේ කුමරු රියාද් වෙත ගිය බවත්, දැන් ඔවුන්ගේ සේවය අනවශ්‍ය නිසා හෝටලයෙන් ඉවත්විය යුතු බවත්ය.
ඒ වනවිට ජිනීවාහි මානව හිම්කම් කොමිසමේ නායකත්වයේ සිටියේ සවුදි අරාබියයි. ස්විට්සර්ලන්ත රජය හෝ වෙනත් කිසිදු බටහිර සංවිධානයක් පැහැරගෙන ගිය කුමරු සොයාගැනීම හෝ ඔහු ගැන තොරතුරු ලබාගැනීම පිලිබඳ මේ වනතෙක් කිසිවක් කර නැත.

ඊළඟ පැහැර ගැනීම වාර්තා වන්නේ 2015දිය. බින් බන්ඩර් කුමරු රාජකීය පවුල ආරක්ෂා කරගැනීමේ යෙදුනු පොලිසියේ මේජර්වරයෙක් විය. රාජකීය උරුමය පිලිබඳ පවුලේ ගැටළුවක් නිසා ඔහුව බන්ධනාගාර ගත කෙරුණි. ඉන් නිදහස් වූ වහාම ඔහු පැරිසියට ගියේය. 2012 සිටම කුමරු යු ටියුබ් වීඩියෝ නිකුත් කරමින් සවුදි පාලනයේ ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බව කිවේය.
ඔහුටද දිගටම සුල්තාන් කුමරුට මෙන්ම බලපෑම් කරමින් සවුදි අරාබියට එන ලෙස ඉල්ලීම් කර ඇත. වරක් අභ්‍යන්තර කටයුතු පිලිබඳ උප ඇමති සමග ඇතිවූ දුරකථන සාකච්ඡා ඔහු අන්තර්ජාලයට මුදා හැරියේය.
"අපි ඔබව අල්ලන්නේවත් නැහැ. මම ඔයාගේ සහෝදරයනේ. ආපහු එනතෙක් බලා ඉන්නේ" උප ඇමති කියයි.
" එහෙනම් මට එවූ ලියුමේ තිබුනේ සුල්තාන් වගේ ඇදගෙන යනවා කියල ?"
2015 ජුලි වනතෙක්ම කුමරු වීඩියෝ ප්‍රසිද්ධ කළේය. එකවරම වීඩියෝ නැවතුනු අතර කුමරුගෙන් තොරතුරක් නොවීය. ඔහුගේ සමීප මිතුරෙක් වන අල් කලාෆ් කියා තිබුනේ ඔහු මොරෝක්කොවට ගිය අවස්ථාවක මොරොක්කෝ රජයේ උදව් ඇතිව අත්  අඩංගුවට ගෙන සවුදියට ගෙනගොස් ඇති බවට සැක කෙරෙන බවයි. සිදුවූ දෙයක් නිශ්චිතව අද වනතෙක් නොදනී.

ඛලෙඩ් බින් ෆර්හාන් කුමරු 2013දී ජර්මනියට පලාගොස් සිටියේය. 2015 දී ඉතාලි රුසියන් සමාගමක් සමග වෙළඳ හමුවක් සඳහා රෝමයට යාම පිණිස පුද්ගලික ගුවන් යානයකට නැගී මුත් එය ගොඩ බැස්සේ රියාද් නගරයටයි. සවුදි ඔත්තු සේවාව සියල්ල සැලසුම් කර තිබුණි. දැන් ඔහු සිරබත් කයි.

2016 පෙබරවාරි මාසයේ සුල්තාන් බින් ටුර්කි කුමරු තම පෞද්ගලික සහයකයින් 20ක් සමග තම පියා මුණගැසීම සඳහා පැරිසියේ සිට ඊජිප්තුවේ කයිරෝ වෙත යමින් සිටියේය. යානය ගොඩ බැස්සුවේ රියාද් වෙතයි. ගමන්මග වෙනස් වූ බව දැනගත් වහාම කුමරා  විරෝධය දැක්වුවත් යානයේ ගුවන් සේවකයන් මෙන් පෙනී සිටි අය ආයුධ පෙන්වා ඔහුව යටත් කරගත්හ. යානය ගොඩ බැස්වූ වහාම කාර් සහ හමුදා රථ යානය වටකරගත් අතර කුමරා කෑ ගසමින් විරෝධය දක්වමින් සිටියදීම අංකයක් නොමැති රථයක් වෙත ගෙන ගියේය. ගුවන් සේවකයන් හමුදාවේ අය බව පෙනී ගියේය. කුමරා කෑ ගසමින් සහයකයන්ට කිවේ ඔහු ඇතුළු සියලු දෙනාවම පැහැරගත් බව රටවලට දැනුම් දෙන ලෙසයි.
සියලුම සහයකයන්ගේ ගමන් බලපත් හා දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ හමුදා භාරයට ගැනුනි.
දින තුනකට පසු යුරෝපා ජාතින්  දෙදෙනෙක්  සහිත කුමරා ගේ සහයකයින් නිදහස් කර එක පුද්ගලයා බැගින් ගුවන් යානයකට නංවා, අවසන් මොහොතේ ඔවුන්ගේ භාණ්ඩ ලබා දුනි. එහෙත් පැහැරගෙන යාම පිලිබඳ කිසිදු සාක්ෂියක් නැතිවන ලෙස සියලු ඡායාරුප මකා තිබුණි.
මේ කිසිදු පැහැරගැනීමක් ගැන සවුදි රජය හෝ වෙනත් රජයක් හෝ මානව හිමිකම් සංවිධානයක් හෝ මේ වනතෙක් කිසිවක් පවසා නැත.

සවුදියෙන් පිටමන් වී 2004 සිට ජර්මනියේ පුරවැසිබව ලබා ජිවත්වන ඛලෙඩ් කුමරු පසුගිය වසරේ උගුලකින් ගැලවුනේය. සවුදි රෙජීමය විවේචනයට ලක් කරන කුමරාට කයිරෝ හි සවුදි තානාපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස පැවසුයේ නෑදෑයෙක්ගෙන් ලැබෙන්නට ඇති 'මිලියන ගණනක' විශාල මුදලක් ලබාගැනීමටයි. " ඒක උගුලක් බව මට දැනුණා ".
ඉන් දින දෙකකට පසු 2018 ඔක්තෝබර් දෙවෙනිදා වාර්තා වුයේ ඇමරිකාවේ වොෂින්ටනයේ ජිවත්වන මාධ්‍යවේදියෙක් වන ජමාල් ඛශෝගී අතුරුදහන් වූ බවයි. සවුදි පාලනය විවේචනය කරමින් ලිපි ලියන ඔහු ඉස්තාන්බුල්හි සවුදි තානාපති කාර්යාලයට ගියේ විවාහය සඳහා අවශ්‍ය ලිය කියවිලි ලබා ගැනීමටයි. ඔහු නැවත පැමිණියේ නැත.
තමන්ට එරෙහි වන්නන් වෙත සවුදි තෙල් මුදලේ බලවත්කම පෙන්වන ආකාරය මෙම අතුරුදන්විමෙන් පැහැදිලිවේ.
"මටත් තව පොඩ්ඩෙන් ඛශෝගී ට වෙච්ච දේ තමයි වෙන්නේ. අනිත් අයට පාඩමක් උගන්වන්නත් එක්ක මාව අමානුෂික විදියට මරයි " 41 හැවිරිදි ඛලේඩ් කුමරු පවසයි. වසර ගණනාවක සිටම ජර්මනියේ රාජ්‍ය ආරක්ෂක කාර්යාලය කුමරා සමග සමීපව කටයුතු කරයි. නීතිඥයන් හා පොලිසිය නිතර සෙවිල්ලේ සිටිති. එහෙත් තමාට ඇති මරණ තර්ජන හා උගුල් අඩුවක් නොමැති බව කුමරා දනියි.

සවුදි රාජධානිය පිලිබඳ නිරීක්ෂකයන් පවසන්නේ 2015දී සලමන් රජු බලයට පැමිණීමත් සමග මර්දනය ඉහලම තලයකට පැමිණ ඇති බවයි.

උදව්:
සුජීව කොකාවල
https://www.dailymail.co.uk/news/article-6584661/
www.news.com.au/national/saudi-teenager-claims-she-has-been-granted-asylum-in-australia
https://www.bbc.com/news/world-middle-east-46818237
https://www.bbc.com/news/magazine-4092
www.theguardian.com/world/2017/aug/15/saudi-arabia-new-details-of-dissident-princes-abductions
https://www.dailysabah.com/world/2018/10/16/saudi-prince-exiled-in-germany

Thursday 10 January 2019

ගුගල් ඩූඩල් ජනවාරි 8, 9 - නාදියා හා මොනෑෂ් සමනල්ලු

ජනවාරි 8
ඕස්ට්‍රේලියාවේ ඉපිද ඉන්දීය සිනමාව ජයගත් Fearless Nadia (1908 - 1996):
ඉංග්‍රීසි ජාතික පියෙකුට හා ග්‍රීක ජාතික මවකට දාව 1908 ජනවාරි 8 වනදා ඔස්ට්‍රේලියාවේ පර්ත්හිදී උපත ලද මේරි ඈන් එවන්ස් කුඩා වියේදීම දෙමාපියන් සමග ඉන්දියාවේ පදිංචියට පැමිණියාය.  පෙෂාවෝර්හිදී එළිමහන් නැටුම් කණ්ඩායමකට එකතු වූ මේරි, වයස විසි ගණන්වලදී සර්කස් කණ්ඩායමකට බැඳුනාය.
සාස්තර කරුවෙකුගේ කීමට අනුව තම නම නාදියා ලෙස වෙනස් කරගත් ඇය හින්දි චිත්‍රපට ලොවට පිවිසීමට පෙර එකල තිබු වෙළඳ දැන්වීම් වැනි කෙටි ඉදිරිපත් කිරීම්වලට පෙනී සිටියාය. නිල් ඇස්, දුඹුරු හිසකේ ඇති, උස නාදියා ගේ සාර්ථක සිනමා ජිවිතයේ ආරම්භය 1935දී JBS වාඩියා ගේ Hunterwali චිත්‍රපටයේ  නිර්භීත කාන්තාවකගේ ප්‍රධාන චරිතයයි.
ලෙදර් කොට කලිසමක් ඇඳ මුහුණු ආවරණයක් හා කේප් එකක් පැළඳ රඟපෑ බිය නැති චරිතය නම් කර තිබුණේ Fearless Nadia නමිනි. එහි ජනප්‍රියත්වයෙන් පසු අසාධාරණයට එරෙහිව සටන් වදින, පීඩාකාරී පාලකයන්ගෙන් ජනතාව බේරාගන්නා, සමානත්වය බෙදන, පුරුෂාධිපත්‍යයට එරෙහි වීර චරිතය නොකඩවා රඟපෑවාය. පොකුරු විදුලි පහන් වල එල්ලීම, ධාවනය වන දුම්රියන්ගෙන් පැනීම, සිංහයන් හීලෑ කරගැනීම වැනි ත්‍රාසජනක සටන් ගැටුම් ක්‍රියාදාම අංග බහුල රංගන නොකඩවා ඉදිරිපත් කළාය. ජන හද දිනූ රහස් පරීක්ෂක රංගනයන්ද ඇයගේ රඟපෑම් අතර විය. මේ සියලු චරිත ඉන්දීය චරිත වීමද විශේෂත්වයකි.
රඟපෑමේ දීද ඇය සත්‍ය ලෙසම නිර්භීත වූ බව සමහර සිදුවීම්වලින් පැහැදිලි වේ. වරක් මිනිසෙක් ඔසවා විසි කරන දර්ශනයක් සැබෑ ලෙසම කිරීමට හැකිදැයි ඇසුවිට ඇය එය අත්හදා බලන්නට ඉදිරිපත් වුවාය. එය සාර්ථක වූ විට ඊළඟ සිනමාපට බොහෝවක මිනිසුන් විසිකරන දර්ශන ඇතුලත් විය.
චිත්‍රපට 50ක පමණ රඟපෑමෙන් අනතුරුව නිෂ්පාදක අධ්‍යක්ෂ වාඩියා සමග විවාහ වූ නාදියා 1960 ගණන්වලදී  රංගනයෙන් ඉවත්වුවාය.
හරියටම අවුරුදු 88ක් ජීවත්වූ ඇය මියගොස් ජනවාරි 9 දිනට වසර 23කි.

ජනවාරි 9 
ඉතා අලංකාර සත්ව විශේෂයක් වන මොනෑෂ් සමනලුන් පර්යටනය කරන බව දැන සිටියත් කෙටි ජිවන කාලයක් තිබෙන මෙම සමනලුන් සිසිර ඍතුවේ දී උතුර ඇමරිකාවේ සිට දකුණු ඇමරිකාවට ගොස් නැවත පැමිණීම ගැන තිබුනේ ගැටලුවකි. වසර ගණනාවක් තිස්සේ දහස් ගණන් ස්වේච්ඡා සේවකයෝ, විශ්ව විද්‍යාල සිසුහු  ඇතුළු පිරිස් අඩියෙන්  අඩියට මහාද්වීපය පුරා නිරීක්ෂණය කළහ.
1975 දී කැනේඩියානු සත්ව විද්‍යාඥයෙක් වන ෆ්‍රෙඩ් අර්ක්වාර්ට් විසින් මෙහයවූ කණ්ඩායමේ කෙන් බ්රුගර් හා කැටලිනා ට්‍රේල් විසින් ස්වභාව ධර්මයේ අත්‍යලංකාර රහසක් අනාවරණය කරගත්තේ මෙක්සිකෝවේ සියෙරා මැඩ්රා කඳු පන්තියේ උතුරු කොටසකදීය.
කණ්ඩායම විසින් සලකුණු තබන ලද සමනලුන් ඉතිරි කර ගිය යම් ලකුණු ඔස්සේ ගිය මොවුහු දුටු මනස්කාන්ත දර්ශනයෙන් ගල් ගැසුනහ. සිතල කාලයට ඉතිරි වී තිබෙන කේතුධර ශාකයක් වන ඔයාමෙල් ශාක වසාගෙන සමනල්ලු  රංචු පිටින් සිටියහ.
"උන් හරියට මල් පිරුණු කන්දක් වගේ..සරත් කාලෙ හුළඟට කොළ පාවෙනවා වගේ" මුල්ම දර්ශනයෙන් මන්මත් වුනු විද්‍යාඥයා පැවසිය. ගස් මතත් බිමත් එහෙ මෙහෙ පියාඹමිනුත් සමනල්ලු මිලියන ගණනක් වුහ.
මේ සොයාගැනීම කර අවුරුදු 43ක් වන දිනයේ මේ අපුරු සතුන්ගේ ජිවන චක්‍රය ගැන ලිවිම වටියි. සාමාන්‍ය සමනලුන් මෙන්ම මොනෑෂ් සමනල්ලුත් බිත්තර දළඹුවා, කෝෂය, සමනළයා යන අවධි හතර පසු කරයි. මොවුන්ගේ විශේෂත්වය වන්නේ එක වසරක් තුළ පරම්පරා හතරක් ස්ථාන කිහිපයක ගත කිරීමයි. වසරක් අවසාන වනවිට නැවත පළමු පරම්පරාවේ පළමු අවධිය ආරම්භ කරති.
සිත කාලයේ මෙක්සිකෝවේ උණුසුම් ප්‍රදේශවල ගස් වසාගෙන ශිශිර තරණය කල සමනල්ලු පෙබරවාරි මාර්තු මාසවල පිටතට පැමිණ සහකරුවන් සොයාගනිති. ඉන්පසු උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලට පියඹා යන ඔවුහු මාර්තු අග, අප්‍රෙල්වල මිල්ක්වීඩ් ගස් ඇතුළු තෝරාගත් ගස්වල බිත්තර දමති. මෙය පළමු පරම්පරාවේ පළමු අවධියයි. දින හතරකින් පිටතට එන දළඹුවෝ  ගසේ කොටස් කමින් වැඩෙති. සති දෙකකින් පසු හොඳට වැඩෙන දළඹුවෝ කෝෂයක් සාදාගෙන ශාක පත්‍රයකට හෝ කඳට එල්ලී සිටිති. පිටතින් නොපෙනුනත් වැඩිම වෙනස්කම් සිදුවන්නේ මේ අවධියේයි. දින 10කින් විශාල තටු ඇති මොනෑෂ් සමනල්ලු පියඹා එලියට එති.
බිත්තර දැමීමෙන් පසු පළමු පරම්පරාව අවසන් වේ. මැයි ජුනි වනවිට දෙවන පරම්පරාවේ සමනල්ලු පිටතට ඒ. මේ ආකාරයටම තෙවන පරම්පරාව ජුලි අගෝස්තු වනවිට පියඹන්නට පටන් ගනිති. සැප්තැම්බර් ඔක්තෝබර් වනවිට පිටවන සිව්වන පරපුර කලින් පරම්පරාවලට වඩා වෙනස් වන්නේ ජිවිත කාලයේ දීර්ඝ බව අනුවයි. පෙර අය මෙන් සති දෙකත් හයත් අතර මිය නොයන මොවුහු උණුසුම් කාලගුණ ඇති ඇමරිකාවේ කැලිෆෝනියාව හා මැක්සිකොවට පියාඹමින් යති. ඔයාමෙල් ශාකය වැනි ඔවුහු ප්‍රියකරන ශාක මත වසා මාස හයත් අටත් අතර කාලයක් ගතකරන මොවුහු නැවත උතුරු ප්‍රදේශයට පියඹන්නට සුදුසු කාලය වනවිට පරම්පරා චක්‍රය පටන්ගැනීමට සැරසෙති.

තම වර්ගයා ආහාරයට ගන්න ශාක සිත කාලයේ කොළ හලන නිසාත්, සීතලට ඔරොත්තු නොදෙන සිරුර රැකගැනීමටත් දකුණු දෙසට පර්යටනය වන සොබා දහමේ අපුර්වතම දායාදයක්  තම වර්ගයා ඒ මගින් රැකගන්න අයුරු කදිමය.

උදව්:
www.imdb.com/name/nm0269884/bio?ref_=nm_ov_bio
www.google.com/doodles/fearless-nadias-110th-birthday
www.thehindu.com/entertainment/movies/nadia-the-fearless-khilari/article19433969.ece
www.google.com/doodles/41st-anniversary-of-the-discovery-of-the-mountain-of-the-butterflies
www.monarch-butterfly.com/

Monday 7 January 2019

ගුගල් ඩූඩල් : ජනවාරි 6, 7: කලා ශිල්පින් තිදෙනෙක්

ජනවාරි 6 
ලෙබනන් ජාතිකයන් වුවද ඇමරිකා මහද්වීපයේ කිරුළු දරමින්  කලා ලොවේ මතකයන් ඉතිරි කළ රසවතුන් දෙදෙනෙක්ගේම උපන්දින ජනවාරි 6 වෙනිදායි.

ඛලීල් ජිබ්රාන් (1883- 1931)
නම ඇසු පමණින් කවියෙක්, වියත් කියමන් දේශකයෙක් ලෙසට මතකයට නැගුණත් ඛලීල් ජිබ්රාන්  විසින් තමාව හඳුන්වා ගත්තේ චිත්‍ර ශිල්පියෙක් ලෙසයි. 1883 ජනවාරි හය වෙනිදා ලෙබනනයේ උපත ලද ඛලීල් ජිබ්රාන්, ජිවිතයේ වැඩි කලක් ගතකලේ ඇමරිකා එක්සත් ජනපදයෙයි. විවිධ කලා ක්ෂේත්‍රයන්හි නිපුනයෙක් වූ ඔහු ගැන තොරතුරු දෙව්දුරු අරණේ මුනිවරයා  බ්ලොග් ලිපියෙන් කියවන්න.

ගැස්පෙර් හෙනයින් (1926- 2011)
ලෙබනන ජාතික හෝටල් ව්‍යාපාරිකයෙක් වූ පියා, ගැස්පෙර් තම ව්‍යාපාර කටයුතු ඉදිරියට ගෙනයනු ඇතැයි බලාපොරොත්තු වුනත් ගස්පෙර් ගේ එකම බලාපොරොත්තුව වුයේ කලා ලොවට පිවිසීමයි.  උපන් ගම හැරදා මැක්සිකෝ සිටි වෙත පැමිණි වහාම තවත් දෙදෙනෙක් සමග සංගීත කණ්ඩායමක් සාදාගත් ඔහු  කලකට පසු Los Tricas නමින් තමාගේම සංගීත කණ්ඩායමක් නිර්මාණය කරගත්තේය.
ගැස්පෙර් සිය නමටත් වඩා ප්‍රසිද්ධ වුයේ කැපුලිනා හෝ කැපු නමිනි. ඊට හේතුව සිනමා හා ටෙලිවිෂන් ලොවට පිවිසි පසු viruta නමින් ප්‍රසිද්ධ වූ මාර්කෝ ඇන්ටෝනියෝ සමග බොහෝ චිත්‍රපට හා රුපවාහිනී වැඩසටහන්වල විකටයන් දෙදෙනක් ලෙස එක්ව මේ නම්වලින් පෙනී සිටීමයි. මේ දෙදෙනා එක්ව ඉදිරිපත් කල දර්ශන ඇතුලත් චිත්‍රපට සාතිශය ජනප්‍රිය විය. කැපුලිනා ගේ සලකුණ වුයේ විශාල සිරුර, ලොකු උඩු රැවුල හා ඉදිරිපස දත් අතර හිඩැසයි.
මෙක්සිකෝවට රුපවාහිනී හඳුන්වා දුන් 1950 ගණන්වල රාත්‍රී වැඩ සටහන් අතර මේ කවටයන් දෙදෙනාගේ වැඩ සටහන් ජනප්‍රියත්වයේ ඉහලම තිබුණි. මේ දෙදෙනා එක්ව චිත්‍රපටි 26ක් තැනුහ. පසු කාලිනව දෙදෙනා වෙන්ව රංගනයේ යෙදුනත් කැපුලිනා තිර රචනය සහ චිත්‍රපට නිෂ්පාදනය දිගටම කරගෙන ගියේය. ඔහු King of White Humor ලෙස විරුදාවලි ලැබිය. විකට වැඩ සටහන් අංශයෙන් කොතෙක් ජනප්‍රිය වුවද තම සංගීත දිවිය ගැස්පෙර් කිසි විටෙකත් අමතක කලේ නැත.  ගීත ඇල්බම් 12ක් ලොවට දායාද කළේය. රට වටා යමින් විනෝදාත්මක සංදර්ශන පැවැත්වූ මොහු 1997 දී රංගනයෙන් හා ගායනයෙන් විශ්‍රාම ලැබුවත් අවුරුදු 85 දී මියයන තෙක්ම රුපවාහිනී හා පුවත්පත් සම්මුඛ සාකච්ඡා වලට පෙනී සිටියේය.

ජනවාරි 7 
ෆාරෙල්නිසා සේඩ් (1901- 1991)
විසිවන සියවසේ ශ්‍රේෂ්ඨ කාන්තා කලාකරිනියන් අතර සිටින තුර්කි ජාතික ෆාරේල්නිසා කුමරිය ප්‍රසිද්ධව ඇත්තේ ඇයගේ අති විශාල  වර්ණවලික්ෂ මෝස්‌තර සිතුවම් නිසාය. 1901 ජනවාරි 7 වනදා තුර්කියේ කලාවට ලැදි, උසස්  පවුලක උපත ලද ඇය කුඩාකළ සිටම සිතුවම් ඇඳීම ප්‍රිය කළාය.  චිත්‍රකලාව ඉගෙනීම සඳහා ඉස්තාන්බුල්හි කාන්තා ඇකඩමියකට බැඳුණ මුල්ම කාන්තාවන්ගේ එක් අයෙක් බවටද  පත් වුවාය. වයස 19දී වූ විවාහයෙන් පසු ඇගේ ස්වාමි පුරුෂයා සමග විවිධ රටවල සංචාරය කළාය. ඔහු ඇයව නේකවිධ  ප්‍රදර්ශණ, කෞතුකාගාර ආදිය නැරඹීමට රැගෙන ගියේය. ඉතාලියේ, ප්‍රංශයේ  චිත්‍ර දැක වශීකෘත වූ  ඇය බටහිර නුතන චිත්‍රකලාව කෙරෙහි ඇලුම් ඇති කරගත්තාය.
"මට අතාත්වික වියුක්ත චිත්‍ර කලාකාරියක් වන්නට උවමනාවක් තිබුනේ නැහැ. මම සම්ප්‍රදායික අගයයන් අනුව කලාව කළ කෙනෙක්. එහෙත් ගුවන්යානා ගමන් මගේ දැක්ම වෙනස් කළා. ලෝකයම  උඩු යටිකුරුව දුටුවා. ඉහල සිට බැලුවම මුළු නගරයක්ම අතේ තියනව වගේ දුටුවා. "
බටහිර නවීන චිත්‍ර ශිල්පයන්ට වසඟ වුනු ඇය ඒවා ඇසුරෙන් වෙනස්ම චිත්‍ර නිර්මාණකරණය ඇරඹුවාය. මුලදී ඇය ගැහැනියක වූ නිසා හා මුස්ලිම් වූ නිසා එතරම් අවධානයක් නොලැබුණි. එහෙත් ඇය කැපවීමෙන් දිගටම තම කාර්යය කරගෙන ගියාය. 
ඇයගේ දෙවන විවාහය සිදුවුයේ රජ කුමරෙක් සමගයි. ඔහු තානාපති සේවයේ යෙදුනු නිසා ජර්මනිය හා එංගලන්තයේ පදිංචි වීමට සිදුවිය. වර්ණ විදුරු සහිත ගොතික් චිත්‍ර හා මොසෙයික් රටා ප්‍රිය කළ ඇය ඒ රටා ඇසුරෙන්  වියුක්ත චිත්‍ර ඇඳීම ආරම්භ කළාය. ඒ දෙවන ලෝක යුධ සමයේ බැග්ඩෑඩ් වෙසෙන්නට සිදුවූ කාලයේයි.   දීප්තිමත් වර්ණ සංකලන හා හැඩතල සහිත සිතුවම් විවිධ සංස්කෘතීන්ගේ අභාෂයෙන් ඔපවත් විය.
කිට්ටුවන්ත යෙහෙළියකගේ මරණය ගැන දුක්ව සිටින සමයේ ඇය මීටර් පහක් පළල, අති විශාල කැන්වස් එකක් මත The hell නමින් නිර්මාණයක් කළාය. 
පැරිසියේ ලන්ඩනයේ හා නිව්යෝක් නගරවල ප්‍රදර්ශන පැවැත්වූ ඇය තානාපති බිරිඳක ලෙසත්, කලාකාරිනියක ලෙසත් සමබර ජිවිතයක් ගෙවුවාය. නිලනිවසේ ද කලාගාරයක් තිබුණි. සමවැදුණු සේ කලා කෘති නිමවන අන්දම පිලිබඳ මතකය ඇගේ දරුවන් සතුය. 1958 දී සිදුවූ ඉරාක රාජකීය පවුල සමූලඝාතනයෙන් පසු ඔවුනට තානාපති සේවයෙන් ඉවත්ව සාමාන්‍ය ජිවිතයක් ආරම්භ කිරීමට සිදුවිය. 
1970 දී නැවත ජෝර්දානයට පැමිණි ඇය අතාත්වික චිත්‍රකරණය පිලිබඳ පාසලක් Institute of Fahrelnissa Zeid of Fine Arts නමින් අරඹා, 1991දී  මියයන තෙක්ම කාන්තාවන්ට චිත්‍රකරණය ඉගැන්වීමේ යෙදුණාය.  ෆාහ්රෙල්නිසා සේඩ්  චිත්‍ර පිලිබඳ සංජානනය වෙනසකට ලක් කළාය. තම මුලයනුත්, ස්ත්‍රීත්වයත් නිසා වියැකී නොගොස් ඉතිහාසගත වූවාය. ඇය පෙරදිග හා අපරදිග එක්කළ මාධුර්යයේ සලකුණකි. 
Someone From the Past (1980)






උදව්:
https://www.poetryfoundation.org/poets/kahlil-gibran
https://www.imdb.com/name/nm0376228/bio
https://www.tate.org.uk/art/artists/fahrelnissa-zeid-22764/lists/four-key-works
https://www.tate.org.uk/whats-on/tate-modern/exhibition/fahrelnissa-zeid

Saturday 5 January 2019

ගූගල් දින වැදගත්කම: ජනවාරි 4 - ලුවී බ්‍රේල්

ජනවාරි 4
ආලෝකය නොදකින පිරිසකට ලෝකය දකින්නට ඉඩ සැලසු උදාර මනුෂ්‍යයෙක් ගේ උපන්දිනය ජනවාරි 4.
ලුවී බ්‍රේල් (1809  - 1852)
 අවුරුදු 210 කට පෙර ප්‍රංශයේ පැරිස් නුවර ආසන්නයේ උපත ලද ලුවී බ්‍රේල්, අඳුරේ කියවීමට සොයාගත් ක්‍රමය මගින් ලොවේ මනුෂ්‍ය කොට්ඨාශයකට කළ සේවය වෙන කිසිදු සොයාගැනිමකටත් නොදෙවෙනියි.
නිරෝගී ඇස් පෙනීම සහිත දරුවෙක් ලෙස උපත ලද ලුවී, සිව් හැවිරිදිව සිටියදී සපත්තු මසන්නෙක් වූ පියා උපයෝගී කරගන්නා උල් ආයුධයක් සමග සෙල්ලම් කිරීමට ගොස් එය ඇනීමෙන් ඇසක් තුවාල කර ගත්තේය. එම ඇසේ ඇතිවූ අසාදනය අනෙක් ඇසටත් පැතිරීමෙන් ඔහු පුර්ණ අන්ධ පුද්ගලයෙක් බවට පත්විය.
පාසල්විය එළඹුණු වහාම ඔහුව පාසල් යැවු මුත් කියවීමට ලිවීමට නොහැකිව එය ඵලදායි නොවෙන බව ලුවිට වැටහුණි. ආබාධිත පුද්ගලයන්ට රැකියාවක් හෝ වෙනත් ඵලදායක දෙයක් කිරීමට අවස්ථාවක් නොමැති එකල, බොහෝ ආබාධිතයන්ගේ අවසාන තේරීම වූයේ හිඟමනයි. එහෙත් අන්ධයන් සඳහා වූ ලොව පළමු පාසැල වන පැරිසියේ National Institute for Blind Children වෙත ශිෂ්‍යත්වයක් ලබා ඇතුළු වීමේ භාග්‍යය ලුවිට ලැබුණි.
අවම පහසුකම් ඇති එවැනි පාසලක වේවැල් විවීම වැනි දෙයට අමතරව කියවීම පමණක් ඉගැන්විණි. එකල භාවිතා වූ සාමාන්‍ය අකුරු කොළවල මතුවන සේ සටහන් කිරීමෙන් කියවීම සිදුවිණි. ලිවීමක් සිදුකරන ආකාරය ගැන කිසිවෙක්ට අවබෝධයක් නොතිබුණි.
Barbier ගේ night writing ක්‍රමය 
1821දී මෙම පාසලට පැමිණි කැප්ටන් චාල්ස් බාර්බියර් නම් පුද්ගලයෙක්  ඔහු විසින් සකසාගත්  night writing නම් සංඥා ක්‍රමයක් හඳුන්වා දුනි. මෙය නැපෝලියන් බොනපාට් ගේ ඉල්ලීම පරිදි සොල්දාදුවන්ට රාත්‍රියට හඬ නැගීමෙන් තොරව උපදෙස් හා ස්ථාන පිලිබඳ සන්නිවේදනය කිරීමට ගොඩ නැගුවකි. විවිධ හඬ නිරුපණයට උන්නත කරන ලද තිත් 12 ක් උපයෝගී කරගත් මෙම ක්‍රමය සොල්දාදුවන්ට ඉගෙනීමට අපහසු වූ නිසා හමුදාවෙන් ප්‍රතික්ෂේප වී තිබුණි.
15 වියැති ලුවී බ්‍රේල් සිසුවා ඉතා ඉක්මනින් මෙම ක්‍රමය ඉගෙනගත් අතර උන්නත කරන ලද තිත් මගින් සන්නිවේදනයේ වැදගත්කම වහා වටහා ගත්තේය. ඊළඟ මාස ගණන පුරා ලුවී විවිධ තිත් පද්ධති උපයෝගී කරගෙන නොයෙක් පර්යේෂණ කරමින්, අති සාර්ථක තිත් හයේ ක්‍රමයක් සොයා ගත්තේය. එය එදා සිට අද දක්වාම වෙනසක් නොමැතිව ලොව පුරා සියලු අන්ධ පුද්ගලයන් ලිවීමට හා කියවීමට භාවිතා කරන බ්‍රේල් හෝඩිය යි.

ලුවී සංගීතයටද සමතෙක්  වූ අතර ඕගන් වාදනයේ අති දක්ෂයෙකි.  තමා විසින් වර්ධනය කල තිත් හයේ ක්‍රමය, තමා ඉතා ආශා කරන සංගීතය උදෙසා ද  ව්‍යාප්ත කර සංගීත ස්වර සඳහාද මෙය වැඩි දියුණු කළේය. නොකඩවා පර්යේෂණයෙහි යෙදුනු ඔහු ගණිත ක්‍රම සඳහා ද, විරාම ලකුණු සඳහාද  උන්නත තිත් යෙදවීමේ ක්‍රම සොයා ගත්තේය.

1829 දී ස්වකිය ප්‍රථම පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කළ ලුවී බ්‍රේල් 1837 දී ජනප්‍රිය පාසල් ඉතිහාස පොතක වෙළුම් තුනක් බ්‍රේල් ක්‍රමයෙන් ලියා ප්‍රකාශයට පත් කළේය.
1826 දී  ඔහු ඉගෙනගත් පාසලේම ගුරු වෘත්තියට බැඳුනු අතර ස්වකිය ඛේත ක්‍රමය සිසුනට හඳුන්වා දුන්නේය. එකවරම මෙය තේරුම් ගැනීමට නොහැකි ඇස් පෙනෙන පුද්ගලයන් අතින් ක්‍රමය ප්‍රතික්ෂේප වූ අතර, එක් ගුරුවරයෙක් එය ඉගෙනීම සිසුනට තහනම් කළේය. මේ නිසා රහසින් ඉගෙනීමට පෙලඹුණු දෘෂ්‍යාබාධිත සිසුහු  ඉතා ඉක්මනින් මේ ඛේත කියවීමට මෙන්ම ලිවීමටත් ප්‍රයෝජනවත් බව අවබෝධ කොට ගත් නිසා එය වේගයෙන් ජනප්‍රිය විය. එහෙත් එම පාසැල එම ක්‍රමය නිල වශයෙන් පිළිගත්තේ බ්‍රේල් ක්ෂය රෝගය වැලඳී වයස 43දී මියගොස් වසර දෙකක් ගතවූ පසුවයි.
ඉංග්‍රීසි කතාකරන සමාජය බ්‍රේල් කේත ක්‍රමය පිළිගන්නට තවත් වසර ගනනාවක් ගතවිය.   1932 ලන්ඩනයේදී මුණගැසුණු එංගලන්තයේ හා ඇමරිකාවේ දෘෂ්‍යාබාධිත සංගම්වල නියෝජිතයෝ සම්මත ඉංග්‍රීසි බ්‍රේල් ක්‍රමයට එකඟත්වය පළකළහ. 1957 දී නැවත හමුවී මෙය වැඩි දියුණු කළහ. අතින් ඛේතකරණය වෙනුවට බ්‍රේල් යතුරු පුවරු ලොව පුරා භාවිතයට ගැනීමද ආරම්භ විය. ඉන්පසු ඉලෙක්ට්‍රොනික් යතුරු පුවරුද බ්‍රේල් ලිවීම උදෙසා සැකසුණි.
ලුවී බ්රෙල්ගෙන් ලොවට සිදුවූ සේවය ඇගයීමක් ලෙස ප්‍රංශ රජය 1952 දී ඔහුගේ දේහය ප්‍රංශ ජාතික වීරයන් තැන්පත් කරන Pantheon වෙත ගෙන ආවේය.

ලෝක සෞඛ්‍ය සංවිධාන දත්ත අනුව දැනට ලෝකයේ දෘශ්‍යබාධිත පුද්ගලයෝ මිලියන 285ක් පමණ වාසය කරති. ඒ සියල්ලන්ට ඇස් පෙනෙන පුද්ගලයන්ට මුද්‍රිත දෙයක් මෙන් උපයෝගී කරගත හැකි ක්‍රමයයි, බ්‍රේල්. ලොව සියලුම භාෂාවලට වැඩිදියුණු කර ඇති මෙම ක්‍රමය දැන් පරිගණක භාවිතය උදෙසාද සාර්ථකව උපයෝගී කරගනියි.
"බ්‍රේල් ක්‍රමය තුලින්, සම්පුර්ණයෙන් හෝ අඩක් නොපෙනෙන පුද්ගලයන්ට අන් අය මෙන්ම අධ්‍යාපනය ලබා ගත හැකිය. රැකියාවක් කර, ස්වාධින පුද්ගලයෙක් ලෙස නිදහසේ ජිවත්විය හැකිය. බ්‍රේල් ක්‍රමය භාවිතා කරන පුද්ගලයන්ගෙන් 80%ක්ම රැකියා කරමින් ජිවත්වන බව ජාත්‍යන්තර පර්යේෂණවලින් හෙළිවී ඇත". නවසිලන්ත රාජකීය දෘශ්‍යබාධිත සංගමයේ උපදේශක ලිසෙට් වෙස්ලින්ග් කියයි.
හෙට (ජනවාරි 6 දින) ලුවී බ්‍රේල් මියගොස් වසර 166කි. ආලෝකය නොදකින ජිවිත මිලියන ගණනකට ආලෝකය දුන් බ්‍රේල් නම ලොව තවත් වසර සිය ගණනක් නොමැකි පවතිනු ඇත.


ජනවාරි 5
විශ්වාස කරන්න ! Google Doodle ආරම්භ වූ 1998 සිට මේ දක්වා වසර 20 තුළ කිසිදු ජනවාරි 5 දිනක විශේෂ මුල් පිටුවක් පලවී නැත.

උදව්:
www.google.com/doodles?hl=en-ca
www.caloundracity.asn.au/Francofiles/famous_people/braille
www.britannica.com/biography/Louis-Braille
www.scoop.co.nz/stories/CU1201/S00003/happy-birthday-louis-braille.htm

Thursday 3 January 2019

ගූගල් දින ජනවාරි 2 හා 3: 50 වසක් දිවෙන කාටුන් හා සාවිත්‍රි බායි

ජනවාරි 2 වෙනිදා ගැන මේ වසරේ තිබුණේ සිංගප්පුරුවේ වසරේ පළමු පාසල් දින ලෙසයි. ලංකාවෙත් එහෙමනේ. ගුගල්ට ලංකාව අමතක වෙලා. ඒ නිසා මම හිතුව පසුගිය වසරක මේ වගේ දිනක google doodle පළවුණු වැදගත් දේ පලකරන්න.

ජනවාරි 2 : 
වසර 50 කටත් වැඩි කාලයක් නොකඩවා ප්‍රචාරය කෙරෙන රුපවාහිනී ළමා වැඩසටහනක් Vecernicek. 1965 ජනවාරි දෙවෙනි දින චෙකොස්ලොවේකියාවේ දී ප්‍රචාරය ඇරඹු මෙම වැඩ සටහන දැන් චෙක් ජනරජයේ සංස්කෘතික උරුමයක් තරමටම ජනතාව සමග බද්ධ වී ඇති එකකි. 
ළමුන් නින්දට සුදානම් වන හවස 6.45ට විනාඩි පහත් අටත් අතර කාලයක ප්‍රචාරය වන කෙටි ළමා කතාවක් හෝ ජන කතාවක්  vecernicek වැඩ සටහනට ඇතුලත් වේ. 
මුලදී සතියකට එක වරක් පමණක් ප්‍රචාරය වූ මෙම වැඩසටහන ක්‍රමයෙන් දින ගණන වැඩි කරමින් 1973 සිට දිනපතා විකාශය වේ. මුලදී කළු සුදු වැඩසටහන් වූ මෙය 1973 සිට වර්ණ සහිත කාටුන් වේ.
චෙකොස්ලෝවෙකියව චෙක් හා ස්ලොවේකියා ලෙස වෙන්වීමට පෙර එකම කතාවේ පිටපත් දෙකක් රටේ අදාළ ජන සමුහයා වෙසෙන පළාත්වල ප්‍රචාරය විය. 1993 රටවල් දෙකක් ලෙස වෙන්වූ පසුත් චෙක් රාජ්‍යයේ අද තෙක්ම නොකඩවා ප්‍රචාරය වීම vecernicek විශේෂත්වයයි.
මුලදීම නිර්මාණය වූ මුල් හා පසු තේමා වාදන අදත් උපයෝගී කරගැනේ. කාටුන් අතින් අඳින එකල විනාඩි පහක වැඩ සටහනක් සඳහා පින්තුර 3500ක් පමණ නිර්මාණය කිරීමට සිදුව තිබුණි. නව තාක්ෂණය සමග එයට එතරම් කාලයක් ගත නොවූවත් ඉතා සැලකිල්ලෙන් වැඩි කාලයක් යොදවමින් උසස්  තත්වයේ වැඩසටහනක් ලබා දීමට අදත් එය නිර්මාණය කරන අය සැලකිලිමත් වෙති. කතාංග 10කට නොඅඩු ප්‍රමාණයකින් සමන්විත කථාමාලා ලෙස ප්‍රචාරය වන vecernicek කතාමාලා 500කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට විකාශය වී ඇත.
මෙය ළමයින් අතර  පමණක් නොවේ දෙමාපියන් හා වයසක වැඩිහිටියන් අතරද එක සේ ජනප්‍රියයි. පැරණි කොටස් නැවත ප්‍රචාරය සඳහා වැඩිහිටියන්ගෙන් නොමද ඉල්ලුමක් ඇත.
"අපි එලෙස පැරණි වැඩසටහන් ප්‍රචරය කල විට ඔවුන් ඒවා සිය ළමා කාලයේ කොටසක් ලෙස මතකයට නගනවා" මුල සිටම වැඩ සටහනට දායකත්වය දුන් 90 වියේ පසුවන Zdenika Deitchova  පවසන්නීය. 
"ළමුන් සඳහා වැඩ සටහන් නිෂ්පාදනය, කෙනෙක්ට කළහැකි හොඳම දෙයක්. ක්‍රියාදාම වැඩ සටහන් ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒත් කාලය ගතවීමත් එක්ක ඒවායේ වටිනාකම නැතිවෙනවා. බලද්දි ලජ්ජත් හිතෙනවා. එහෙත් කාටුන් වැඩසටහන් එලෙස වයස්ගත වෙන්නේ නැහැ. අවුරුදු පනහකට පෙර නිෂ්පාදනය කළ වැඩසටහනක් වුනත් එම ගුණාත්මක තත්වයෙන්ම එම උනන්දුවෙන්ම බලන්නට පුළුවන්"

ජනවාරි 3
රටවල් දෙකක ඉපදී සමාජයේ කාන්තාවන් උදෙසා එක්බඳු සේවයක් සැපයූ ජනවාරි තුන්වන දින ඉපදුනු කාන්තාවන් දෙදෙනෙක් ගැනයි මේ.
සාවිත්‍රිබායි පූල් (1831- 1897) : ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගොවි පවුලක සාවිත්‍රි බායි ඉපදුණේ වසර 188කට පෙරයි. ඉන්දියාව බ්‍රිතන්‍ය යටත් විජිතයක් ලෙස තිබු,  බොහෝ ඉන්දියානු කාන්තාවන්ට අධ්‍යාපනය සිහිනයක්ව තිබු එම සමයේ කාන්තා අධ්‍යාපනය වෙනුවෙන් ඉමහත් කාර්යයක් කළ සාවිත්‍රි බායි අදටත් සිහිපත් කරන්නේ කාන්තා අධ්‍යාපනයේ දෙවඟන ලෙසයි.
වයස අවුරුදු නමයේදී අවුරුදු 12ක් වූ ජෝතිරාඕ පූල් හා විවාහ වූ ඇයට දරුවන් ලැබුනේ නැත.  කුල භේදයට එරෙහි අදහස් ඇති සමාජ ක්‍රියාකාරිකයෙක් වූ ජෝතිරාඕ 1948දී ඉන්දියාවේ ප්‍රථම කාන්තා පාසැල පූනේ හිදී විවෘත කළේය. එහි ගැහැණු ළමයින්ට ඉගැන්වූයේත්, දෙමාපියන්ට කාන්තා අධ්‍යාපනයේ වටිනාකම ගැන පහදා දෙනු ලැබුයේත්  සාවිත්‍රි බායි විසිනි. මේ නිසා ඇය ඉන්දියාවේ ප්‍රථම කාන්තා ගුරුවරිය ලෙසද සැලකේ. එම පාසල ඕනෑම කුලයක ගැහැණු දරුවකුට විවෘත කිරීමෙන් එකල සමාජයේ මුල් බැසගෙන තිබු කුල භේදයටද අභියෝග කළාය. ඉන්පසු දෙදෙනා එක්ව තවත් පාසල් 17ක් විවෘත කළහ.
කාන්තාවන් සාක්ෂර කිරීමෙන් නොනැවතුණු ඇය, කුලය හා ස්ත්‍රීයක වීම නිසා සමාජයෙන් සිදුවන අක්‍රමිකතාවනට එරෙහිව ක්‍රියාකාරී දායකත්වයක් සැපයුවාය. කවිය මාධ්‍යයක් ලෙස උපයෝගී කර ගැනීමට ඇය අධ්‍යාපනයට කාව්‍යය යොදාගත් සැමියා මග යමින් කවි ලියුවාය. බිලිඳියන් ඝාතනය, ළමා විවාහ හා වැන්දඹු සතිපුජා වැලැක්වීමට ඇය විසින් නොබියව ඉටු කල මෙහෙය, කාලයට ඉදිරියෙන් සිටි කාන්තාවක බවට ඇයව පත් කර ඇත. කාන්තාවන් බල ගැන්වීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ඇය, සිය හදාගත් පුත්‍රයා සමග මහාමාරිය වසංගතයෙන් පිඩාවට පත් ජනතාවට උදව් කරමින් සිටියදී මහාමාරිය වැළඳීමෙන් මරණයට පත්වූවාය.
කාන්තාවන් ශක්තිමත් කිරීමට නෙක දිරිය දුන් නිර්භීත කාන්තා සලකුණක් ලෙස ඉන්දීය ඉතිහාසයේ සාවිත්‍රිබායි පූල් නොමැකෙන සටහන් තබා ඇත.

එමා ඉහ්රේ (1857- 1911):

1857 ජනවාරි තුන්වැනිදා පෝලන්තයේ උපත ලද එමා ජර්මනියේ  බර්ලින් නුවරට පැමිණියේ විවාහයෙන් පසුවයි. එහිදී ස්ත්‍රී ඇඳුම් නිමවන රැකියාවක් ලැබීමෙන් පසු ඇයට රැකියාවන්හි යෙදෙන කාන්තාවන් මුහුණ දෙන  දුක් ගැහැට ගැන සමීප අත්දැකීම් ලැබුණි. කාන්තා පිහිට උදෙසා යයි පිහිටුවා තිබු Women's Aid Association for Handicraft නම් සංවිධානයට බැඳුනත් එයින් රැකියා පුහුණුව හා මුල්‍ය සහය ලබාදීම වැනි මූලික පහසුකම් හැර වෙන යමක් නොසිදුවන බව දැනගත් එමා ඉන් ඉවත්වී, කාන්තා අයිතීන් පිලිබඳ ලිවීමට පෙළඹුනි. කාන්තාවන්ට පිරිමින් හා සම රැකියා අවස්ථා, වැටුප් මෙන්ම අයිතීන් ලැබිය යුතු බවට ලිපි හා පත්‍රිකා ගණනාවක් ඇය වෙතින් සම්පාදනය වන්නේ ඉන් පසුවයි.
එකල සමාජයේ මුල් බැසගෙන තිබුණු කාන්තාවන්  පිලිබඳ මති මතාන්තර අභියෝගයට ලක් කිරීමක්ද ඇය වෙතින් සිදුවිය. කාන්තාවන්ගේ මොලය පිරිමින්ට වඩා කුඩා නිසා පිරිමින්ට තරම් හැකියා නැති බවට තිබු අදහස ඇය නිර්දය ලෙස විවේචනයට ලක් කළාය.
1885 එමා විසින් ආරම්භ කරන ලද Association for the Representation of the Workers' Interests සංවිධානය ඉක්මනින් ජනප්‍රිය වූයේ එය වැටුප් ගැටළු පිලිබඳ කෙලින්ම කතා කළ නිසාත්, රැකියා කොන්ත්‍රාත් පිළිබඳව එක් එක් නිෂ්පාදන සමාගම් සමග වෙන් වෙන්ව සාකච්ඡ කළ නිසාත්ය. මෙය එමාගේ ජිවිත කාලයම කැපවූ වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වල  ආරම්භය විය. ඉන්පසු ඇය විවිධ වෘත්තීය සමිති හා සමාගම් ගණනාවක් මෙහෙයවූවාය. වර්ජන හා විරෝධතා ව්‍යාපාරවලට නායකත්වය දුන්නාය.
එක් අවස්ථාවකදී පොලිසිය විසින් ඇයගේ  සංවිධානය තහනම් කර සමාජ නීති උල්ලංඝනය කල බවට සඳහන් කරමින් දඩ නියම කරනු ලැබුණි. එහි ප්‍රතිඵලය වුයේ වැඩි අවධානයක් ඔවුන් වෙත ලැබී නිර්ධන පන්ති කාන්තා ව්‍යාපාරයක් ගොඩ නැගීමයි. ඖෂධවේදියෙක් වූ සැමියාගේ මුල්‍ය ආධාර ඇතිව The Worker හා The Equality නමින් සඟරා දෙකක් ආරම්භ කිරීමට ඇය සමත් වුවාය. පසු කාලිනව කොමියුනිස්ට් රටවල කාන්තා අයිතීන් නිසගයෙන් දිනාගැනීමට එමා වෙතින් වූ මෙහෙය සුළුකොට තැකිය නොහැකිය.
එමාගේ ඉහ්රෙර් ජිවිතයේ ඵලදායිම සම්පත ලෙස සැලකුයේ අනුන් වෙනුවෙන් ක්‍රියා කිරීමයි . 

උදව්:
www.radio.cz/en/section/panorama/vecernicek-celebrates-40-years
www.ceskatelevize.cz/porady/0-vecernicek/5626-historie-vecernicku/
en.wikipedia.org/wiki/Večerníček
https://www.thequint.com/neon/social-buzz/savitribai-phule-birth-anniversary
en.wikipedia.org/wiki/Savitribai_Phule
www.google.com/doodles/emma-ihrers-161st-birthday
http://www.fembio.org/biographie.php/frau/biographie/emma-ihrer

Tuesday 1 January 2019

ගුගල් දින වැදගත්කම: ජනවාරි 1

දිනපතා පාහේ ගූගල් මුල් පිටුවේ එම දිනයට සම්බන්ධ යම් විශේෂ දෙයක් පලවෙනවා. දිනය පිළිබඳව හෝ ඒ දිනයට අදාළ විශේෂ දෙයක්, තැනැත්තෙක් පිළිබඳව. මට හිතුන දිනපතා මේ පලවෙන දෙය සිංහලට පරිවර්තනය කරලා ලියන්න.
මෙය දිනපතා පාහේ පලවෙන නිසා වැඩි විස්තර හොයන්න, අතුරු කතා එකතු කරන්න හැමදාම ඉඩක් ලැබෙන එකක් නැහැ. කෙටියෙන් සරලව හෝ ලියන්න බලාපොරොත්තු වෙනවා. සමහරවිට දින දෙකක් හෝ තුනක් එකවර ලියවෙන අවස්ථා එන්නත් පුළුවන්. මෙය ලියන්නට වන්නේ Google.ca පිටුවට අනුවයි.

ජනවාරි 1
නව ග්‍රෙගරියන්  දින දර්ශනයේ මෙන්ම ජුලියන් දින දර්ශනයේ වසරේ මුල්ම දිනයයි, ජනවාරි 1. ජුලියන් දින දසුනේ මෙම දිනය ආරම්භය, මුල පිරීමට අධිපති  ජානුස් දෙවියන් වෙනුවෙන් වෙන්කර ඇත. මුළු ජනවාරි මාසය නම්කර ඇත්තේද එම දෙවියන් වෙනුවෙනුයි.
ජුලියන් දින දසුනට පෙර තිබු ආදි මාස දහයේ රෝම වසර ආරම්භ වුනේ මාර්තු පලවෙනිදායින්. ලතින් බසින් සෙප්ට්-7, ඔක්ට් -8 ආදී ලෙස නිසා මාර්තු සිට 7-10 දක්වා වූ මාස එම අංක නාමයන් සහිතව 7 වන මාසය සෙප්ටෙම්බර්, 8 වන මාසය ඔක්ටෝබර්, 9 වන මාසය නොවෙම්බර්, 10 වන මාසය ඩිසෙම්බර් අයුරින් හැඳින්විණි.
දින ගණන අනුව මාර්තු - දින 31, අප්‍රේල් දින 29, මැයි දින 31, ජූනි දින 29, ක්වින්ටිලිස් දින 31, සේක්ස්ටිලිස් දින 29, සෙප්ටෙම්බර් දින 29, ඔක්තෝබර් දින 31, නොවැම්බර් දින 29, දෙසැම්බර් දින 29.
දින 365ට අවශ්‍ය දින ගණන සම්පුර්ණ කිරීමට හිස් දින ගණනාවක් හා අන්තර මාස යොදා ගැනුනි.
Numa Pompilius 
වසර අගට ජනවාරි (දින 29) හා පෙබරවාරි (දින 28) මාස එකතු  කළේ ක්‍රි.පූ. 700 දී රෝමයේ දෙවන රජ වන නූමා පොම්පිලියස්  විසිනි. ක්‍රි. පූ. 153දී රෝමයේ උසස් බලධාරීහු නව වසර ආරම්භක දිනය මාර්තු සිට ජනවාරි වෙත ගෙනගියහ. මේ සියලු මාස හා දින චන්ද්‍රයා මුලික කරගෙන භාවිතා විය.
ක්‍රි.පූ. 45දී ජුලියස් සීසර් අධිරාජයා චන්ද්‍ර මාස දිනයන්හි ඇති වෙනස්කම් සලකා බලා පැරණි දින දර්ශණය වෙනස් කල බවට ආඥා කළේය. ඒ අනුව සූර්ය මාස සලකමින්  ජනවාරි පලමුවෙනිදායින් ආරම්භවෙන ජූලියන් දින දර්ශනය භාවිතය ආරම්භ විය. මෙය දින 30 හෝ 31 ඇති මාස 11 හා දින 28 ඇති මාසයක් වසර හතරකට වරක් දින 29 ඇති ලෙස වඩා නිවැරදි ලෙස සැලකුණි.  එහෙත් මධ්‍යතන යුරොපා සමයේ නැවත මේවා ඉවත්කර ක්‍රිස්තියානි දින අනුව ජේසු උපත ලද දෙසැම්බර් 25 නව වසර සැමරුනි.
නිශ්චිත සුර්යදින අනුගමනය කළ රටවල්ද විය. නිශ්චිත සුර්ය දින දර්ශනවලට වඩා ජුලියන් දින දර්ශනය වෙනස් වුයේ වසරකට මිනිත්තු 11 1/2කි.
බ්‍රිතාන්‍යය දිගටම ජුලියන් දින දසුන භාවිතා කල අතර, ප්‍රංශය, පෘතුගාලය, ජර්මනිය ආදී අනෙක් යුරෝපා රටවල් නිශ්චිත සුර්ය මාස අනුගමනය කළහ. මුලදී එතරම් වෙනසක් නොවුනත් සියවස් ගණනක් ගතවෙත්ම මෙම දින දසුන් අතර වෙනස දින 10ක් දක්වා වැඩිවිය. මෙම වෙනස සකස් කිරීම සඳහා ජුලියන් දින දසුනේ වූ වැරදි නිවැරදි කර XIII ග්‍රෙගරි පාප් වහන්සේ විසින් 1582 දී ග්‍රෙගරි දින දර්ශනය හඳුන්වා දුනි. මෙහිදී 1500, 1700 වැනි අගට බින්දුව එන වසර, හතරෙන් ඉතිරි නැතිව බෙදුනත් අධික අවුරුදු ලෙස නොගැනෙන බවත්, අගට බින්දු දෙකක් එන වසර 400න් ඉතිරි නැතිව බෙදුනහොත් පමණක් අධික අවුරුදු ලෙස ගැනෙන බවත් ප්‍රකාශයට පත්වීමෙන් ඇතිවන වෙනස අවම කරගැනුනි.
අද දක්වා ලොව පුරා බොහෝ රටවල භාවිතාවන මෙම ග්‍රෙගරියන් දින දර්ශනය සත්‍ය සුර්ය ගමනෙන් වෙනස් වන්නේ වසරකට තත්පර 26කි. එනම් මෙම දින දසුනත් සත්‍ය සුර්ය ගමනත් අතර දිනක වෙනසක් ලැබීමට වසර 3 323ක් ගතවේ.
කතෝලික ආගම අනුගමනය කරන රටවල් නව කැලැන්ඩරයට වහාම අනුගත වුහ.
ප්‍රොතෙස්තන්ත රටවල් නව දින දර්ශණය භාරගන්නට බොහෝ කල් ගත්හ. බ්‍රිතන්‍යය හා එහි යටත් විජිත 1752 තෙක්ම නව වසර ඇරඹුවේ මාර්තු මාසයෙයි.
ලෝකයේ අනෙක් රටවල් හා කටයුතු කිරීමේදී ඇති පහසුව සලකමින් බොහෝ රටවල් පසු කාලීනව මෙම දින දර්ශනය අනුගමනය කරන්නට හුරු වුවද, තවමත් තමන්ගේ සුපුරුදු නව වසර වෙනත් දිනවල සමරන ජාතීහු ලොව පුරා අඩුවක් නොමැතිව වාසය කරති.
උදාහරණ: චීන හා වියට්නාම නව වසර චන්ද්‍ර වර්ෂයේ මුල් දිනය - මෙය ජනවාරි 20 හා පෙබරවාරි 20 අතර දිනක සැමරේ.
පර්සියානු නව වසර - මාර්තු 21. ඉරාන ජාතිකයන්, මධ්‍ය ආසියානුවන් හා ක්රිමියනුවන් වසර දහස් ගණනක සිට සමරති.
රොෂ් හෂානා - යුදෙව් නව වසර. සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ දිනකට යෙදෙයි.
සෙලෙමේ ස බොසොතෝ - දකුණු අප්‍රිකා හා ලෙසොතෝ නව වසර. දක්ෂිණ අර්ධ ගෝලයට ශිශිර ඍතුව ඇරඹීමත්, අස්වනු නෙලා අවසන් වීමත් සමග අගෝස්තු පළමුවෙනිදා.

බොහෝ රටවල සිරිත්ද අනුගමනය කරමින් වෙඩි හඬ පතුරුවමින් අපි අද ඇරඹුයේ ග්‍රෙගෝරියන් දින දර්ශනයේ 2019 ජනවාරි පලමුවෙනිදායි.

උදව්:
Google.ca
www.infoplease.com/curious-history-gregorian-calendar
www.infoplease.com/calendar-holidays/major-holidays/history-new-year
en.wikipedia.org/wiki/New_Year's_Day