Showing posts with label හිම. Show all posts
Showing posts with label හිම. Show all posts

Friday, 8 February 2019

ගූගල් ඩූඩල් පෙබරවාරි 8: ක්‍යුබෙක් ශිශිර සැණකෙළිය

සීතල දැඩි වුණාම හිම වැටෙනකොට මිනිස්සු පුළුවන් ඉක්මනින් ගෙවල්  ඇතුලට ගිහින් විවේක සුවයෙන් ඉන්නවා කියලද හිතන්නේ? ඔව්. සීතලෙන් ආරක්ෂා වෙලා ඉන්න පුළුවන් තරම් උත්සහ ගන්නවා. හැබැයි එහෙමයි කියල මාස තුන හතරක් කම්මැලිකමේ ඉන්නත් බැහැනේ. සොබාදහම දුන් දේවල් විඳිනවා. එහෙම රසවත්ව සොබා දහම වින්දනය කරන උත්සවයක් ගැන අද ගුගල් ඩූඩල් හි සඳහන් වෙන Quebec Winter Carnival.
කියුබෙක් කියන්නේ කැනඩාවේ විශාලම ප්‍රාන්තය වගේම විශේෂ ප්‍රාන්තයක්. ඒ ගැන කෙටි විස්තරයක් කළොත් ආසියාව හොයාගෙන නැගෙනහිර දෙසට ගිය යුරෝපින් ඇමරිකා මහද්වීපයට ගොඩ බැස්සානෙ. මුලදී පෘතුගාලය, එනගලන්තය, ප්‍රංශය, ස්පඥ්ඥය  ඔය කොහෙන් ආවත් ඇති තරම් ඉඩ තියෙන මහාද්වීපය හිතු හැටියේ අල්ලගත්තා. පහු වෙනකොට තමන්ට කියල කොටස් වෙන් කරගන්න පටන් ගත්තා. උතුරු ඇමරිකාවේ කැනඩාව තියන ප්‍රදේශයේ මුල ඉඳන්ම පදිංචි වුණේ ප්‍රංශයෙන් හා බ්‍රිතාන්‍යයෙන් ආ අයයි. මේ නිසා රටවල් දෙකම අයිතිවාසිකම් කියන්න ගත්තා. යුරෝපයේ තිබුණු වෙළඳ තරගයත් මෙයට හේතුවක් වුණා. 1756 ඉඳල 1763 වෙනකල් මේ රටවල් දෙක කැනඩාව තමන්ගේ කරගන්න විශාල යුද්ධයක් කළා.
බ්‍රිතාන්‍යය එයින් දිනුව නිසා ඔවුනට රට අයත් වුණත් 1774 දී පනතක් මගින් ප්‍රංශ ජාතිකයන් වැඩිපුර වාසය කළ ක්‍යුබෙක් ප්‍රදේශයේ අයට කතෝලික ආගම අදහන්නත්, ප්‍රධාන භාෂාව විදියට ප්‍රංශ භාෂාව භාවිතා කරන්නත්, ප්‍රංශ සිවිල් නිතිය ක්‍රියාත්මක කරන්නත් අවසර දුන්නා. වෙන් වෙන් කොටස් ලෙස තිබුණු මෙම ප්‍රාන්ත කැනඩාව නමින් එක රටක් බවට පත්වූ 1867, මුලින්ම එම රටට එක්වූ ප්‍රාන්තයක් ක්‍යුබෙක්. ඉන්පසු දෙවරක්ම කැනඩාවෙන් වෙන්ව වෙනම රටක් බවට පත්වන්නට කැමැත්ත විමසා ජනමත විචාරන තිබුණත් සුළු බහුතරයකින් එම අදහස පරාජය වූ නිසා තවමත් ක්‍යුබෙක් ප්‍රාන්තය කැනඩාවේ කොටසක් ලෙස පවතිනවා.

දැන් අපහු ශිශිර සැණකෙළිය දිහාට හැරුණොත්, අධික ශිතලක් තිබෙන හිම වැටෙන පෙබරවාරි මාසේ මැද පැවැත්වෙන මේ උත්සවය 1894දී ආගමික උත්සවයක් විදියටයි  ආරම්භ වෙලා තියෙන්නේ. ලෝකයේ වැඩියෙන්ම හිම වැටෙන නගරයක් වන ක්යුබෙක් ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන ක්‍යුබෙක් සිටි හි  1955 හිම මිනිසෙක්ගේ මැස්කොට් එකක් සමග දිගටම පවත්වන්නට පටන්ගත් මෙම උත්සවය 65 වන වරටයි අද ආරම්භ වන්නේ. දින දහයක් පුරා පැවැත්වෙන මෙය ලෝකයේ වැඩිම දෙනෙක් සහභාගී වෙන විශාලම ශීත ඍතු උත්සවය ලෙසටයි  සලකන්නේ .
Bonhomme maskot 
දිව රාත්‍රී පෙරහැරවල්, අයිස් වලින් සැදූ මූර්ති, අයිස් මාලිගාවක්, විවිධ ආලෝක සැරසිලි,  ආදිය සහිත මෙම උත්සව මාලාව ශීත සමයේ ආවේණික  අලංකාරය පිළිබිඹු කරන හිම විශ්මලන්තයක් වගේ  ප්‍රීති උළෙලක්. නගරයේ ප්‍රධාන මාවත් සියල්ලක්ම පාහේ විවිධ සැරසිලිවලින් අලංකෘත වෙනවා.  මේ කාලයට තිබෙන - 20℃ ටත්  අඩු  සීතලට සුදුසු ඇඳුමෙන් සැරසුණු නගරයේ මිනිස්සු වගේම සංචරකයොත් එළිමහනට ඇවිත් විවිධ සැණකෙළි අවස්ථාවලට සහභාගී වෙනවා. ආරම්භක උත්සවය හා අවසන් කිරීමේ උත්සවය නගරයේ ප්‍රධාන පුරවැසියා අතින් හිම මාලිගාවෙදී  සිදුවෙන්නේ.

හිම මාලිගය 2014
උත්සවයේ පැවැත්වෙන විවිධ තරග අතරට අයිස් හා හිම මුර්ති තරග, හිම බල්ලන් විසින් ඇදගෙන යන ස්ලෙඩ් තරග, අයිස් හොකී තරග, ලෝරන්ස් ගඟේ කැනොයි පැදීම  ආදිය ඇතුලත්.  වොඩ්කා, බ්‍රැන්ඩි වගේ මත්පැන් අළෙවිසල් වගේම හොට් චොකලට් වැනි උණුසුම් පාන අලෙවිසල්, විවිධ ආපන ශාලා, උණුසුම් ආහාර අලෙවි සැල් ආදිය රාත්‍රියටත්  විවෘතයි.
හිම මුර්ති අඹන ආකාරය දැකගැනීමටත්, අශ්වයින් විසින් අදින ස්ලේ එකක රවුමක් යන්නත් අවස්ථාව තියෙනවා. හිම මත ලිස්සා යාමේ ක්‍රීඩා කිරීම වගේම ස්නෝබෝඩ් ක්‍රීඩාවේ නිරතවෙන්නත් ස්ථාන සකස් කරලා තියනව. මේපල් ගහකින් මේපල් සිරප් එලියට වැගිරෙනකොටම මිදෙන හැටි බලන්නත් පුළුවන්. මේ සීතලේ නාන ඇඳුමින් සැරසී හිම නෑම කරන අයත් ඉන්නවා! පවුලේ සියල්ලන්ට සහභාගී වෙන්න පුළුවන් විවිධ විනෝද ක්‍රීඩා, ගී ගායනා, නැටුම් සංදර්ශණ, ඩාන්ස් පාටි දිවා රෑ   පුරා පැවැත්වෙනවා.
ස්වභාව ධර්මය දෙන දෙයෙහි අගුණ කියමින් කන් කෙඳිරි ගාන්නේ නැතිව සීතල, හිම වගේ දරාගන්න බැරි කාලගුණ තත්වයන් පවා සුවයකට හරවාගෙන එහි රස විඳින හැටිනම් අගය කරන්න ඕනේ.

උදව්:
www.thecanadianencyclopedia.ca/en/article/seven-years-war
www.flightcentre.ca/blog/winter-carnival-in-quebec-city/
www.thetravelempire.com/a-celebration-of-winter-at-the-57th-carnaval-de-quebec/
www.canada.ca/en/canadian-heritage
happytowander.com/quebec-winter-carnival/

Monday, 28 January 2019

හිම ඉවත් කිරීම : Snow 2

හිම වැටීම කිහිප විදියකට වෙනවා. සාමාන්‍ය වැස්ස වගේ දවස පුරා කඩින් කඩ පතිතවීම  වගේම අනෝරා වැස්සක් වගේ කෙටි කාලයක් ඇතුලත හිම වැඩි ප්‍රමානයක් වැටීමත් වෙන්න පුළුවන්. කෙටි කාලයකින් හිම ගොඩක් වැටෙන කුණාටුවක් භයානකයි. පාරවල් අවහිර වෙලා වාහන එහෙමම නවත්වන්න වෙන අවස්ථා පවා ඇතිවෙනවා. පිටතක නවත්තල ගිහින් එද්දී වාහනය නොපෙනෙන ගානට වැහිලා තියෙන්නත් පුළුවන්.
දවස පුරා හිම වැටීමත් ලෙහෙසි නැහැ. වාහනවල ගියත් පයින් ගියත් එක වගේ අසීරුයි.
තද වැස්සකට පාර නොපෙනී යන අවස්ථා වගේ සුදු පාට හිම නිසා මිටරයක්වත් දුර නොපෙනෙන අවස්ථා එනවා. බොහොමයක් වාහන හිම වැටෙන කාලයට දවල් පවා ලයිට් දාගෙන යන්නේ.

හිම වැටෙනකොට ලස්සණයි. ආසයි. ඒත් වතුර වගේ ගලායාමක් නැතිව එකතැන ගොඩ ගැහෙන නිසා හිම වැඩිපුර වැටුනම යන එන මාර්ගවලින් අයින් කරන්න ඕන. ස්ථානය අනුව හිම අයින් කරන්න යොදාගන්න උපකරණ වෙනස්.
ගෙවල් අවට හා වාහනවලට වැටෙන හිම ඉවත් කරන එක නිවැසියන්ගේ හා වාහන අයිතිකරුවන්ගේ වගකීමක්. හිම තියෙද්දී ඒ උඩින් වාහන ධාවනය වුනාම හිම තදවීමෙන්, පසුව අයිස් සැදී ලිස්සනවා. මඩ වගේ වෙනවා.
නිවෙස් අවට හිම අයින් කරන්න විශේෂ සවල් හා කුඩා මැෂින් උපයෝගී කරගන්නවා. හිමවල බර වගේම වැටිලා තියන හිම ප්‍රමාණය අනුව මේ සඳහා දරන්න ඕන වෙහෙස වෙනස්. හිම වැටෙන අවස්ථාවක අවට පරිසරය සෙන්ටිග්‍රේඩ් අංශක බින්දුවට වඩා අඩු නිසා, හිසේ සිට දෙපතුල් දක්වා සීතලට සුදුසු ඇඳුම් ඇඳගෙන සවලෙන් හිම එකතු කරමින් විසි කරලා හෝ තල්ලු කරමින් පාර පාදගන්න ඕනෙ. හැකිතාක් නිවසෙන් ඇතට හිම අයින් කරන්නේ සීතලෙන් එන බලපෑම අඩු කරගන්නයි.

කුඩා යන්ත්‍රවලින් හිම අයින් කරන්න සෙන්ටිමීටර් තුනකට වඩා ඝනට හිම වැටෙන්න ඕනේ. ඊට අඩු ප්‍රමාණයකට එය කාර්යක්ෂම නැහැ.
හිම පතනයකට හසුවූ  වාහනය සීරීමෙන් තොරව හිම ඉවත්කරගන්න පුළුවන් අගට තද රබර් තීරු සවිකරපු කුඩා අත් සවල්, බුරුසු වගේ උපකරණ වාහන තුළ නොවරදවා තිබෙනවා.

මහාමාර්ගවලට වැටෙන හිම ඉවත් කිරීම එම මාර්ග අයත් ප්‍රාදේශීය සභාවල වගකීමක්.  ප්‍රාදේශීය සභා සතුව තිබෙන හෝ පුද්ගලික ආයතන වලින් කුලියට ගන්නා හෝ වාහන වලින් හිම ඉවත් කෙරෙනවා. අධිවේගී මාර්ගවල නම් එකවර මෙවැනි වාහන දෙක තුනකින් හිම අයින් කරන්න වෙනවා. තල්ලු කරගෙන ගොස් මාර්ගය දෙපස ගොඩ ගැසීමයි කරන්නේ.
මිනිසුන්ට ඇවිදින්නට භාවිතා කරන මංතීරුවල හිම අයින් කිරීමත් ප්‍රාදේශීය සභාවලින් කරන්නේ. ඒ සඳහා කුඩා ප්‍රමාණයේ යන්ත්‍ර තිබෙන්නේ.
සාමාන්‍යයෙන් හිම වැඩිපුර වැටෙන බවට කාලගුණ නිවේදන ලද පසු මාර්ගවලට හා ඇවිදින මන්තීරුවල ලුණු කැට ඉසීම කරනවා. එහිදී මුලින් වැටෙන හිම දියවී යනවා. ලුණු මගින් අයිස්වල ද්‍රවංකය පහත හෙලීම නිසා මෙසේ සිදුවන්නේ. නමුත් ලුණු භාවිතා කරන්න පුළුවන් සෙන්ටිමිටරයක්ට අඩු මට්ටමේ අයිස් දිය කරන්නයි. බොහෝ වෙලාවට හිම ඉවත් කිරීමෙන් පසු ඉතිරිවන කොටස් දිය කරන්නයි ලුණු දාන්නේ. ඒ සඳහා විශේෂ ට්‍රක්වල ලුණු පටවාගෙන ගිහින් ඉසීම් උපකරණ මගින් හෝ සමහරවිට සවල් ආධාරයෙන් ලුණු විසිරුවනවා.
මේ විදියට පාරට ලුණු දානවට වාහන හිමියෝ එතරම් කැමති නැහැ. වාහන ඉක්මණින් දිරාපත් වෙන නිසා. මෙයින් පරිසරයට වෙන හානි ගැනත් නිතර කතා වෙනවා. ශාකවලට වගේම ජලයට එකතු වීමෙන් ජලජ ජිවින්ට වෙන හානි ගැනත්, බීමට ගන්නා ජලය දුෂණය ගැනත්  කියවෙනවා.  එහෙත් ලුණු තරම් කාර්යක්ෂමව පහසුවෙන් හා ලාභදායි ලෙස භාවිතා කරන්නට හැකි විකල්ප අඩුයි.

දුම්රිය මාර්ගවල හිම අයින් කරන්න ඒ සඳහා විශේෂිත Railway snow plough  තියෙනවා.

තද හිම පතනයකදී ගුවන් යානා කාල සටහන් වලටත් බාධා පැමිණෙනවා. ගුවන්යානා ධාවන පථ නිසි ලෙස පිරිසිදු කිරීමත්, visibility නියමිත අගයට වඩා වැඩිවීමත් සහතික වනතෙක් ගුවන් ගමන් නවතනවා.
යානය මත තිබෙන හිම ඉවත් කිරීමටත්, ගුවනේදී අයිස් බැඳීම වැලැක්වීමටත්, යානයේ තටු, stabilizers වැනි වැදගත් ස්ථානවල තිබිය හැකි දුෂිත ද්‍රව්‍ය ඉවත් කිරීමටත් මෙවන් දිනවල  ගමන් ආරම්භ කිරීමට මොහොතකට පෙර De-ice කිරීමක් කරනවා. (ගුවන් යානයක් තුල සිටියදී මෙවැනි අවස්ථාවක් අත්දැකීමට ලැබී තියෙනවා.  වීදුරු කූඩුවක් ඇතුලට දාල කූඩුව නාවනවා වගේ හැඟීමක් ආවේ).

මේ හැම විදියෙන්ම අයින් කරන හිම තට්ටු, ස්වාභාවිකව ඉර එලිය ලැබී වාෂ්ප වී හෝ උෂ්ණත්වය වැඩිවී හිම දියවී යනතෙක් හෝ වැස්සක් වැටි දියවෙනතෙක් හෝ පාර දෙපස, නිවෙස් අසල කඳු ගැහිලා තියනව. දවස් කිහිපයක්  යනකොට දුවිලි, කුණු එකතුවෙලා ලස්සණ සුදු ගතිය නැතිවෙනවා. ජලයේම චමත්කාරජනක අවස්ථාවක් වෙන හිම අනිත්‍යය දක්වන්නේ එහෙමයි.

උදව්:
https://jalopnik.com/how-and-why-we-de-ice-aircraft-before-takeoff-1657914108
https://www.foxnews.com/science/

Friday, 9 February 2018

ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා භයානකද? Winter Olympics

ඔලිම්පික් කිව්වම කවුද නොදන්නේ? අවුරුදු හතරකට වරක් ලෝකයේ රටවල් වැඩි ගණනක් සහභාගීවෙන ලොව ඉහළතම, විශිෂ්ඨතම ක්‍රීඩා උළෙල.  ඔලිම්පික් නමින් ප්‍රධාන උළෙල තුනක් තිබේ. ගිම්හාන ඔලිම්පික්,  ශීත ඍතු ඔලිම්පික් හා ආබාධිත වුවන්ගේ ඔලිම්පික් වන පැරාලිම්පික් ඒවාය. ඒ අතුරින් ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා වඩා අනතුරුදායක බව බැලු බැල්මට පෙනීයයි. ලිස්සමින් ක්‍රීඩා කරන, උඩ සිට බිමට පනින, වේගයෙන් පහලට ගමන් කරන, කරණම් ගසන ක්‍රීඩා රැසයි.   ශීත ඍතු ඔලිම්පික් ඉතිහාසය හා මේ වසරේ එහි අඩංගු ක්‍රීඩා ගැන බලමු.
ශීත ඍතු ඔලිම්පික් ඉතිහාසය එතරම්ම දුර නැත. හිම ක්‍රීඩා කිහිපයක් ඔලිම්පික් උළෙලකට මුලින්ම එක් ව තිබෙනුයේ 1908 ලන්ඩන් පැවති තරගවලියේදියි. 1912 ඔලිම්පික් උළෙලට සමගාමිව හිම ක්‍රීඩා සහිත සතියක් පවත්වන්නට යෝජනා වී ඇතත් එය ඵල දරා නැත. 1916 ජර්මනියේ බර්ලින් නුවර ඔලිම්පික් උළෙලට සමගාමිව ශිශිර ක්‍රීඩා සතියක් පවත්වන්නට සියල්ල සැලසුම් කළත් එම වසරේ ඔලිම්පික් උළෙල අවලංගු කෙරුණි. 1920දීත් සාමාන්‍ය උළෙල තුලම ක්‍රීඩා කිහිපයකින් සෑහිමට පත්වන්නට සිදුවිණි.

1924 ප්‍රංශයේ පැවති ඔලිම්පික් උළෙලට සමගාමිව දින 11ක් පුරා ජාතින් 16ක් සහභාගී වූ ඉසව් 16කින් සමන්විත  'International Winter Sports Week'  ප්‍රථම ශීත ක්‍රීඩා ඔලිම්පික් ලෙස හඳුන්වන්නට හැකියි. ඉන් අනතුරුව 1936 තෙක්ම ප්‍රධාන උළෙල පැවැත්වෙන රටේම ඊට සමගාමිව වෙනම ශිශිර ක්‍රීඩා උළෙලක් පැවතුනි.

ලෝක යුද්ධය නිසා දෙවරක්, එනම් වසර අටක් ඔලිම්පික් තරගාවලිය සංවිධානය නොවුණි. නැවත 1948 ඔලිම්පික් උළෙල ආරම්භ වූ අතර, එම වසරේ සිට ශීත ඍතු ඔලිම්පික්, ශීත කාලයේ පැවැත්වීම ඇරඹුණි.  එසේම එය ගිම්හාන උළෙල පවත්වන රටින් වෙනස් රටකයි  පැවැත්වුනේ. 1948 ශිශිර ඔලිම්පික් ජනවාරි 30 සිට පෙබරවාරි 18 දක්වා ස්විට්සර්ලන්තයේ පැවති අතර, ගිම්හාන ඔලිම්පික් ජුලි 29 හා අගෝස්තු 14 අතර පැවතියේ මහා බ්‍රිතාන්‍යයෙයි. ඉන්පසු 1992 දක්වාම මෙලෙස එකම වසරේ වෙනස් කාල වකවානුවක රටවල් දෙකක ගිම්හාන හා ශීත ඔලිම්පික් පවත්වාගෙන ගියේය. 1992 වනවිට රටවල් 64ක සහභාගිත්වයක් තිබු අතර ක්‍රීඩා 12කින් ඉසව් 57ක් පැවැත්වුණි.
1986දී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව හමුවේ ආ ඉල්ලීමකට අනුව ගිම්හාන හා ශිශිර ඔලිම්පික් උළෙල වෙනම වසරවල පවත්වන්නට තීරණය කෙරුණි. ගිම්හාන උළෙල නොතිබෙන ඉරට්ටේ සංඛ්‍යාවක් වන වසරේදී ශිශිර උළෙල පැවැත්වීමට තීරණය විය. එනම් සෑම ඉරට්ටේ වසරකම මාරුවෙන් මාරුවට ශිශිර හා ගිම්හාන ඔලිම්පික් පවත්වන්නටයි. මේ තීරණය අනුව 1994දී මුල්වරට ගිම්හාන උළෙල නොපැවැත්වෙන වසරක නෝර්වේ හිදී රටවල් 67ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1737 දෙනෙක්ගේ සහභාගිත්වයෙන් ශීත ඍතු ඔලිම්පික් ඇරඹුණි. එදා සිට අද දක්වා වසර හතරකට වරක් නොකඩවා ලොව පුරා ශීත රටවල මෙම ක්‍රීඩා උත්සවය මහා ඉහලින් මුලුදෙයි.
23වන ශීත ඍතු ඔලිම්පික් තරගාවලිය දකුණු කොරියාවේ පියෝන්ග්චෑන්ග් හිදී  2018 පෙබරවාරි 9 දින සිට පෙබරවාරි 25 දින දක්වා පැවැත්වෙයි.
සමකාසන්න රටවල් වන අපට නුහුරු ශීත කාලීන ක්‍රීඩා 15ක් සඳහා මෙහිදී ක්‍රීඩකයන් තරග වදිනු ඇත.

1. ඇල්පයින් ස්කීන් Alpine skiing: ස්කින්ග් යනු  පාද දෙකට සවිකරන ලද අඩි පහකට වඩා දිගු පතුරු වැනි විශේෂ උපකරණ ආධාරයෙන් හිම මත ගමන් කිරීමයි.  ක්‍රීඩකයාගේ උස අනුව භාවිතා කරන ස්කී උපකරණවල දිග තීරණය වේ. ඇල්පයින් ස්කීන් වලදී ඉතා උස කඳු මුදුනක සිට දිගු ස්කී උපකරණ හා රිටි දෙකක් ආධාරයෙන් හිමවලින් වැසුණු ප්‍රපාතාකාර කඳු බෑවුම් මත දෙන ලද මාර්ගයක වේගයෙන් ගමන්කිරීම සිදුවේ. වේගය අනුවත්, තාක්ෂණ කුසලතා භාවිතය අනුවත් ජයග්‍රහණ ලබාදෙන වෙන වෙනම ඉසව් ඇත. ඒකල හෝ කණ්ඩායම් ලෙස තරග ඉසව් තිබේ.

2. රට හරහා ස්කී Cross-country skiing: හිමෙන් වැසුණු බිමක ගමන් කරන අයුරු 19 වන සියවසේදී ක්‍රීඩාවක් බවට පත්ව ඔලිම්පික් තරගයක් ලෙස වර්ධනයව ඇත. මෙහිදී තරගකරුවන් සමුහයක්  විවිධ දිගු දුර ප්‍රමාණයන් යටතේ තරග වදිති. රිලේ තරග ඉසව්ද ඇත. තරණය කරන තරගබිම අභියෝග සහිත සමතලා හිම බිමකි. ධාවන වේගය අනුව ජයග්‍රහණ ලැබේ.




3. නිදහස් ආර ස්කීන් Freestyle Skiing: ශීත ඍතු ඔලිම්පික් ආරම්භ වූ දා සිටම තරගාවලියට ඇතුලත් ක්‍රීඩාවකි.  හිම කඳු ඉහලින් පැනුම්, කරණම් ගැසීම්, අහසේ කැරකෙමින් පිනුම් හා කරනම් ගැසීම් ආදිය ඇතුලත්ව ඉහල සිට පහලට හිම මත ධාවනයේ යෙදේ. පැනීමේදී ඉපිලීම, වේගය, දුර, පිනුමේ උස ආදී විවිධ නිර්ණායක යටතේ ඇගයීම සිදුකරයි. විවිධ  නිදහස් ආර කාන්තා හා පිරිමි ඉසව් 10ක් මෙවර ඔලිම්පික් තරගාවලියට ඇතුලත්ය.

4. ස්කී පැනුම් Skii Jumping: සකස්කර ඇති හිම ආකෘතියක ඉහල සිට පහලට වේගයෙන් පැමිණ ඉහලට පැන දිගු දුරක් ගෙවා බෑවුම් තලයක පතිත වේ. නිදහස් ආරේ දී මෙන් කරනම් හා අහසේ පිනුම් ගැසීමක් නැත. ඉහලට ගිය පසු ස්කී හා සමාන්තරව සිරුර පවත්වාගනියි. වරකට එක ක්‍රීඩකයා බැගින් තරග කරන අතර තාක්ෂණ භාවිතය, ධාවන දුර, සුලඟේ දිශාව හා පතිත දුර සලකමින් ලකුණු ක්‍රමයකට ජයග්‍රහණය ලබා දේ. ඒකල හා කණ්ඩායම් ලෙස ඉසව් පහක් මෙවර දැකගත හැකිවේ.

5. සංයුක්ත නොර්ඩික් Nordic Combined:  රට හරහා ස්කී හා ස්කී පැනුම් යන ක්‍රීඩා දෙකම ක්‍රීඩකයින් විසින් එකම තරගයක් තුළ සිදු කළ යුතුවේ.

6. බයැත්ලෝන් Biathlon : රට හරහා ස්කී හෙවත් දිගු දුරක්  හිමමත ධාවනයත්, ඉලක්කයට වෙඩි තැබීමත් යන ක්‍රීඩා දෙක එක් කෙරුණු ඉසව්වකි. කාන්තා, පිරිමි හා මිශ්‍ර ඉසව්වලින් පැවැත්වේ.

7. දිගු ධාවනපථ හා කෙටි ධාවනපථ වේග ස්කේටින් Long Track / Short Track Speed Skating: ස්කේටින් යනු විශේෂ සපත්තු පැළඳ අයිස් මත ලිස්සා යාමයි. වේග ස්කේටින් දීගු ධාවන පථයක් 400m වන අතර කෙටි ධාවන පථයක දුර 111.12m කි. ධාවන පථ දෙකම ඕවලාකාරය. ගෘහස්ථ තරග වන මේවායේදී අයිස් මත ලිස්සමින් (ස්කේට් කරමින්) වේගයෙන් ගමන් කලයුතුවේ. කෙටි ධාවන පථයක දී ඉක්මන් හැරවුම් ඇති නිසා මේ දෙකෙහි ධාවන තාක්ෂණයන් වෙනස්ය. කෙටි ධාවන පථයේ පැවැත්වෙන ඉසව් අටක් ඇති අතර 1500m  දුර ධාවන තරග පවා ඇතුලත්ය. රිලේ තරග කාන්තාවන් සඳහා 3000m වන අතර පිරිමි ඉසව්ව 5000m වේ.  වේගවත්ම තරගකරු හෝ කණ්ඩායම ජය ලබයි. මෙම කෙටි වීඩියෝව තත්පර 15 සිට බලන්න.

අතීතයේ අයිස් බවට පත්වූ ගංගා, ඇල මාර්ග හා විල් මත ප්‍රවාහන ක්‍රමයක් ලෙස ඇරඹි දිගු ධාවන පථ වේග ස්කේටින් ඔලිම්පික් ක්‍රීඩාවක් ලෙස මුල සිටම පැවතුණි. පිරිමි හා කාන්තා ඉසව් 6 බැගින්ද, මිශ්‍ර ඉසව්වක්ද තරගාවලියට අඩංගුය.

8. කර්ලින්ග් Curling: කණ්ඩායමකට ක්‍රීඩකයන් හතරදෙනා බැගින් වන කණ්ඩායම් දෙකක් එකවිට තරග වදින ගෘහස්ථ ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාවේදී 19.96kg බර රවුම් කළු ගලක් අයිස් මත ඇති නියමිත වෘත්තාකාර ඉලක්කයකට යොමු කිරීම සිදුකරයි. එක ක්‍රීඩකයෙක් ගල යොමුකරන අතර අනෙක් ක්‍රීඩකයෝ දිග බුරුසු වැනි උපකරණ වලින් අයිස් පොලව මැදීමෙන් එය නියමිත ඉලක්කයට ගෙනයති. එක කණ්ඩායමක් කළුගල් අටක් යොමුකළ යුතු අතර ඉලක්කයෙන් දෙපස අන්ත දෙකේ සිටින කණ්ඩායම් දෙකට  මාරුවෙන් මාරුවට අවස්ථාව ලැබේ. තරගාවසානයේ ඉලක්කයට ආසන්නම ගල යොමුකළ කණ්ඩායමට  ලකුණක් ලැබේ.

9. ෆිගර් ස්කේටින් Figure Skating:  ෆිගර් ස්කේටින් වලදී නියමිත රටාවකට අලංකාර ලෙස අත් පා හසුරුවමින් නර්තන සැලැස්මක් අනුගමනය කරමින් අයිස් මත සංදර්ශනයක් පවත්වයි. ගෘහස්ථ හිම තටාකවල හිම මත පාවෙන්නාක් මෙන් නර්තන නෙත්සිත් පිනවන සුන්දරත්වයකින් යුතුය. කාන්තා හා පිරිමි අංශ දෙකෙන්ම ඒකල, යුගල හා සමුහ ලෙස ඔලිම්පික් ඉසව් පවතියි. නිර්ණායක පහක් මත ලකුණු ලබාදීම සිදුකෙරේ.

10. අයිස් හොකී Ice Hockey: කණ්ඩායම් ක්‍රීඩාවක් වන අයිස් හොකී ගෘහස්ථ ක්‍රීඩාංගනවල  hockey rink තුළ පැවැත්වේ. සම්පුර්ණයෙන් අයිස් බිමක ස්කේටින් සපත්තු පැළඳ අයිස් මත ලිස්සමින් සිදු කරන මෙම ක්‍රීඩාවේ එක පිලකට ක්‍රීඩකයෝ හයදෙනා බැගින් ක්‍රීඩා කරති. සෑම ක්‍රීඩකයෙක්ටම හොකි පිත්තක් ඇති අතර වල්කනයිස් රබර්වලින් තැනු විශාල කැරම් ඉත්තෙක් වැනි hockey puck පන්දුවක් මෙන් භාවිතා කර ගෝල ලබාගනී. කාන්තා හා පිරිමි ලෙස ඉසව් දෙකකි.

11. බොබ්ස්ලේ Bobsleigh: වංගු සහිත, පටු, කෙටි බැමි ඇති මාර්ගයක අයිස් මත ගුරුත්ව බලයෙන් ක්‍රියාකරන ස්ලෙඩ් උපකරණයෙන් වේගයෙන් ගමන් කරන ක්‍රීඩාවකි. ක්‍රීඩකයන් හෝ කණ්ඩායම් වෙන වෙනම තරග කරන අතර, වේග සැසඳීමෙන් ජයග්‍රහණ ලැබේ. කාන්තා හා පිරිමි තනි, ද්විත්ව හා හතරදෙනෙක් ක්‍රීඩා කරන ඉසව් ඇත.
පහත වීඩියෝවේ මුල් තත්පර 50 බලන්න.


12. ස්කෙලෙටන්  Skeleton:  ඉහල සිට පහලට බෑවුම්ව යන වංගු සහිත පටු  විශේෂිතව නිර්මාණය කරන ලද ලිස්සන අයිස් මාර්ගයක ඉතා වේගයෙන් ගමන් කරන ක්‍රීඩාවකි, ස්කෙලෙටන්. ලෝකයේ පළමු හිම මත ලිස්සායන ක්‍රීඩාව ලෙස සැලකේ. මෙහිදී ක්‍රීඩකයා ලිස්සන උපකරණය මත හිස ප්‍රමුඛව මුහුණ පහලට පිහිටන සේ දිගාවී 1500m වන වක්‍ර නැමුම් සහිත අයිස් පථයේ ඉතා වේගයෙන් ගමන් කරයි. තත්පර 1/100 දක්වා වේගය වාර්තා කෙරේ. සැමවිටම තනි ක්‍රීඩකයෙක් පමණක් එක වරකට ක්‍රීඩා කරන මෙහිද නියත දුරක් ගමන් කරන වේගය අනුව ජයග්‍රාහකයා තෝරයි.

13. ලූජ්  Luge: බොබ්ස්ලෙඩ් හා ස්කෙලෙටන් මෙන්ම තද බැස්මක් ඇති, වංගු සහිත, අනතුරුදායක පටු මගක වේගයෙන් ගමන් කරන තවත් ක්‍රීඩාවකි. ලුගර් නම් ලිස්සන උපකරණය මත උඩුබැලි අතට සිට, පාද ප්‍රමුඛව සිරුරේ අනිච්චානුග ප්‍රතික්‍රියා මගින් වේගය පාලනය කරමින් ගමන්  කරයි. ස්කෙලෙටන්හි මෙන්ම ක්‍රීඩකයා  සම්පුර්ණයෙන් නිරාවරණ හා අනාරක්ෂිත වන අතර තිරිංග කිසිවක් නැත. සිරුරේ බර පන්ති අනුව තරග පැවැත්වේ.  වරකට එක ධාවනය බැගින් සිදුකරන අතර, නියමිත දුර යාමට ගතවන කාලය අනුව දිනුම තීරණ වේ. ඒකල, යුගල හා මිශ්‍ර ඉසව් පහක් මෙවර උළෙලට ඇතුලත්ය.

14. ස්නෝබෝඩ් Snowboard:  සර්ෆින්ග්, ස්කේට්බෝඩ් හා ස්කී යන සියල්ලේ එකතුවක් දැකිය හැකි ක්‍රීඩාවකි. දෙපයට සවිකරන ලද පැතලි තනි ලෑල්ලක නැගී විවිධ මට්ටමේ කඳු පල්ලම් ඇති හිම පොලව මත සමබරතාවය රැකගනිමින් කඳු නගිමින්, හැරෙමින්, උඩ පැන කැරකෙමින්,  බිමට පතිත වෙමින් සිදුකරන ක්‍රීඩාවකි. විවිධ ආර අනුව ඉසව් 11කි. පනින උස, දුෂ්කර තාක්ෂණයන් භාවිතය, ධාවනයේ විවිධත්වය, ස්ථාවරභාවය හා ගලායාම, ප්‍රගතිය ආදී නිර්ණායක යටතේ විනිසුරු මඩුල්ලක් ලකුණු ලබාදේ.

පොදුවේ සලකා බැලූවිට ශීත ඔලිම්පික් ක්‍රීඩා, ගිම්හාන ඔලිම්පික් ක්‍රීඩාවන්ට වඩා අනතුරුදායක බව අධ්‍යයනවල දක්වා ඇත. අධි ශීතල කාළගුණයක කෙරෙන ක්‍රීඩා බොහොමයක අධික වේගයෙන් ගමන් කරන හා/හෝ  වැඩි කාලයක් අහසේ රැඳෙන ස්වභාවයක්  පෙනීයයි.  එහෙත් හිම හා අයිස් මත පරම්පරා ගණනක් ජීවත්වීමේදී ඇතිවූ ගැටලුවලට මුහුණ දුන් ආකාරය අනුව නිර්මාණය වූ මෙම ක්‍රීඩා ශීත රටවල ජිවිතයේ ආන්තික ගුණයන්ද දක්වනු වැන්න.


උදව්:
https://www.historyonthenet.com
https://en.wikipedia.org/wiki/Winter_Olympic_Games
http://time.com/5068205/winter-olympic-sports-pyeongchang-2018
https://www.olympic.org
https://frogtowncurling.org
https://theculturetrip.com/asia/south-korea/

Sunday, 17 December 2017

හිම පියල්ලක හැඩය No Two Alike: Snowflake Bentley

වසර අවසාන උත්සව සමය ආරම්භ වීමත් එක්ක සැරසිලි හා සුබපැතුම්පත්, ගේ දොර, කඩ සාප්පු, පාරවල් දිගේ, අන්තර්ජාලයේ ඉතිරෙන්න අරගෙන... සැරසිල්ලක් විදියට ඉදිරියෙන්ම තියන විසිතුරු හිමපියලි චිත්‍ර රටා සීත රටවල වගේම මේ වෙද්දී ගිම්හානය ගෙවන ඔස්ට්‍රේලියාව වගේ රටවලත්, හිම කැටයක් නොදකින අපේ වගේ ඝර්ම කලාපිය රටවලත් වෙනසක් නැතිවම දකින්න තියනව.
හිමවලට විශේෂ හැඩයක් තියනවද? සුබපැතුම් පත්වල, සැරසිලිවල තියන ලස්සණ හිම රටා මෝස්‌තර ඇත්තටම තියන ඒවාද? මන:කල්පිත නිර්මාණ ද?  කවුද එහෙම  නිර්මාණ මුලින්ම කළේ ?

සුදු පාටට අහසින් පාවෙලා එන හිම පියලි ගැන ආසාවෙන් ඒ ගැන අවධානය යොමුකළ,  අති දක්ෂ, විශිෂ්ඨ  පුද්ගලයෙක් නිසා තමයි අද හිම මෝස්‌තර ලෝකේ පුරා පැතිරිලා තියෙන්නේ. ඒවා දියදම්  දිනිතියගේ අපුර්වතම සුන්දර දායාද බව ලොවට හෙළිකළ ඔහු ගොවිපලක ජීවත්වූ තරුණයෙක්.
1865 ඇමරිකාවේ කුඩා ගමක ගොවිපලක උපන් විල්සන් බෙන්ට්ලි පුංචි කාලේ ඉඳලම හිමවලට පුදුම ආසාවක් දක්වපු කෙනෙක්. හිම වැටෙන කටුක සීතලේ ඔහු හිම අරගෙන ලෑලි උඩ තියල කුතුහලයෙන් නිරීක්ෂණය කරනවා දැක්ක ගුරුවරියක වූ මව ඔහුට අවුරුදු 15දී අන්වීක්ෂයක් තෑගි කළා. අන්වීක්ෂයෙන් හිම නිරීක්ෂණය බෙන්ට්ලිගේ හිතට සතුට මෙන්ම දුකත් ගෙනාවා. මොකද ඔහුට අවශ්‍ය ලෙස සටහන් කරගැනීමට පෙර හිම දියවී ගිය නිසා..

අවුරුදු 17දී පියා එකල සුඛෝපභෝගී භාණ්ඩයක් ලෙස සැලකුණු කැමරාවක් අරන් දුන්නා. මේ දෙකේ එකතුවෙන් තමයි ඔහුම සකස් කරගත් අපුරු අන්වීක්ෂ කැමරාවකින් 1885දී ලෝකයේ මුල්ම හිම පියල්ලක ඡයාරුපය ගන්න බෙන්ට්ලි සමත් වුනේ. සිතල බන්දේසියකට එකතු කරගත් හිම, කුරුළු පිහාටුවක් හා කෙන්දක් උදව්වෙන් සීතකළ  විදුරු කදාවකට මාරු කරලා අන්වීක්ෂයෙන් බලල දියවෙන්න පෙර ඡයාරූප ගැනීම ඔහුම හදාගත් සුක්ෂම ක්‍රමයක්. අවුරුදු 19දීම  photomicrography photograph කියන ඡයාරූපකරණ තාක්ෂණයේ පුරෝගාමියා බවට ඔහු පත්වන්නේ එලෙසයි.
හිම එක්ක වැඩකට නැතිව කාලෙ නාස්ති කරනවා කියල නෑයෝ, අසල්වැසියෝ විහිළු කළත් ඔහු සීත කාලේදී හිම එකතුකරලා පින්තුර ගන්න එක නැවැත්තුවේ නැහැ. විදුලි බලය නොතිබුණු ඒ කාලේ ඔහු මේ පින්තුර ගත්තේ ස්වභාවික ආලෝකයෙන්.
ජලයම වෙනස් අවස්ථාවකින් පවතින විට ඇතිවන මේ හැඩයන් ගේ අපුර්වබව කිසිදු විද්‍යාඥයෙක් නොකළ තරමට ඔහු අධ්‍යනය කළා. "අන්වීක්ෂය තුලින් මම හිම පියලිවල ආශ්චර්යමත් අලංකාරය හා හැඩ දුටුවා. අනිත් අය ඒවා අගය නොකිරීම කණගාටුවක්."


ඔහු පෙන්වා දුන්නේ හිම කියන්නේ අයිස් ස්පටිකයක් බවයි. ඒ හැම ස්පටිකයක්ම ෂඩාශ්‍රාකාර තලයක තියන පැති හයක් ඇති තරුවක්. සෑම තරු අක්ෂයක්ම තවත් සිහින් මෝස්තරවලට බෙදිලා. ඒවත් හැම අක්ෂයේම එකම විදියයි. මේ නිසා හිම පියල්ලකට සමමිතික අක්ෂ හයක් තියනව. (1/6ක් බ්‍රමණය කලවිට සමපාත වෙනවා).
 සාමාන්‍යයෙන් ලොව පවතින අනෙක් සමමිතික දේ සරලයි. වෙන කිසිම ඝනයක නැති සංකීර්ණ සුන්දරත්වයක් පිරිලා තියන සෑම හිම මොස්තරයක්ම ස්වභාව ධර්මයේ විශිෂ්ඨ නිර්මාණයක්. එකිනෙක හිම පියල්ලක එයටම ආවේනික වූ මෝස්තරයක් තිබෙන බවත්  කිසිම හිම මෝස්‌තර  දෙකක් එක සමාන නොවන බවත් තම නිරීක්ෂණ ඇසුරෙන් බෙන්ට්ලි පෙන්වා දුන්නා. No Two Alike. අද්විතීයයි. අනන්‍යයි .කිසිම හැඩයක් නැවත වෙනත් හිම මලක හමුවෙන්නේ නැහැ. හිම පියල්ලක් දියවී යාමත් සමගම ඒ හා ඇති අසිරිමත්  සුවිශේෂී මෝස්තරය කිසිදු සලකුණක් නොතබා සදහටම තුරන් වී යනවා.

මද හිම පතනයකදී වුවත් හිම පියලි ට්‍රිලියන ගණනක් පොලවට පතිත වෙනවා. මේ හැම එකක්ම අතිශය අලංකාර වූ, සොබා දහම නිමවූ මනහර කලා  කෘතියක්..
බෙන්ට්ලි එක හිම කුණාටුවකදී පින්තුර 70- 75ක් බැගින් ගත්තා වගේම ඒ එක එක පින්තුර ගත්තු උෂ්ණත්වය, ඒ වෙලාවේ කාලගුණ තත්වය, වලාකුළුවල ස්වභාවය, සුළං තත්වය ආදියත් සටහන් කරගත්තා. මිට අමතරව තුහින, මීදුම ආදී වායුගෝලීය තත්ත්වයන්ද රූප ගතකර තොරතුරු ලිව්වා. මේ සටහන් විවිධ ආයතනවලට ඉදිරිපත් කළත්, නිසි අධ්‍යාපනයක් නොලද ගොවියෙක් කරන මේ වැඩගැන  උගතුන් උනන්දු වුයේ නැහැ. එහෙත් බෙන්ට්ලිගේ  සටහන්වල විද්‍යාත්මක ස්වභාවය දැක්ක University of Vermont හි මහාචාර්ය පර්කින්ස්, බෙන්ට්ලි සමග එක්ව 1898දී හිම ස්පටික ගැන අධ්‍යයන වාර්තාවක් පලකළා.
බෙන්ට්ලි අතින් ඇඳි හිම මෝස්‌තර තැපැල් පත්වල අලවා නෑයන්ට, යාළුවන්ට සුබපැතුම්පත් ලෙස යැව්වා. එහෙත් අගය කිරීමක් ලැබුවේ කලාතුරකින්. අනිත් අයගේ අධෛර්යය කිරීම්වලින් නොසැලී  දිගටම සඟරා හා පුවත්පත් වලට ලිපි සැපයීමත්, දේශනා පැවැත්වීමත්, ඔහුගේ ආවේනික හිම පර්යේෂණ අධ්‍යයනත් සිදුකළා.

NewYork Times පුවත්පතේ දැන්වීම්වල මේ ෂඩශ්‍රාකාර රමණීය හිම මෝස්‌තර පළවීමත් සමග ඒ ගැන වෙළඳපොල උනන්දුවක් හා ඉල්ලුමක් ඇතිවුනා. බෙන්ට්ලිගේ සුපරික්ෂාකාරී දෙනෙතට හසුව දියවී නොගිය සුන්දරත්වය ලොව පුරා පැතිරෙන්න පටන්ගත්තේ ඉන් පසුවයි. ඔහුට snowflakes Bentley යනුවෙන් නමක්ද පටබැඳුණා.
බෙන්ට්ලි ඇමරිකාවේ කාලගුණ අධිකාරියට ඉදිරිපත් කළ තාක්ෂණික වාර්තා අගයකළ එහි ප්‍රධාන කාලගුණ විද්‍යාඥ ආචාර්ය හම්ප්‍රි ඔහු සමග එක්ව 1931 නොවැම්බර් මස Snow Crystals නම් පොතක් පලකළා. එහි විවිධ හිම පියලි මෝස්‌තර 2400ක පමණ පින්තුර අඩංගු වුනා.  ඒ සමග නිකුත්කළ Snowflakes in Photographs පොතේද තවත් ඡයාරූප 850ක් සහිතයි.
ඉන් මසකට පසු සිතල කාලගුණයේ හිම අධ්‍යනයට ගිහින් අසනීප වූ මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිභාවන්තයා ලෝකයාගේ එතරම් අවධානයක් නොලබාම 1931 දෙසැම්බර් 23දා මියගියා. ඔහුව මිහිදන් කළ දිනයේ සොබාදහම හිමමල් තුහින එම බිම පුරාම ඇතිරුවා.




ඇත්තෙන්ම බෙන්ට්ලි ඔහු ජීවත්වූ සමයට වඩා අනාගතයේ ජීවත්වූ මිනිසෙක්. හිමකැට ගැන ඔහු අධ්‍යයනය කර ඉදිරිපත් කළ කරුණු තහවුරු වුනේ අවුරුදු 30කට පස්සේ. හිම, තුහින හා ජල බින්දු ඇසුරෙන් කරන ලද පර්යේෂණ මගින් කාලගුණ දත්ත ලබාගැනීම නිවැරදි බව දැනගත්තේ අවුරුදු 40කට පස්සේ.
බෙන්ට්ලි ඔහු හඳුනාගත්  හිම රටා වගේම අසමසම ප්‍රතිභාපුර්ණ විශිෂ්ඨයෙක්. වේගයෙන් බිමට වැටි විනාශ වී යන හිම ගැන මෙවන් විශ්වකර්ම අධ්‍යයනයක් කරන්නට අනිත් අයට නැති ඉවසීමක්, උවමනාවක්  හා අවබෝධයක් තිබු නිසාවෙන් ඔහු ලොව කිසිවෙක් නොදුටු සෞන්දර්යයක්  දුටුවා පමණක් නොවේ ඒ මනහර දර්ශණ නොමසුරුව ලොවටත් දැක්වූවා.
අද සැරසිලි, ඇඳුම්, චොකලට්, සුබපැතුම්පත්, ෂොපින් බැග්, කුෂන් කවර, රෙදි, තෑගි දවටන, කේක්  ආදී හැමතැනම පැතිරිලා තියෙන්නේ ඔහු අධ්‍යනය කර සටහන් කරගන ඉතිරි වූ පන්දහස් ගණනක් වූ පින්තුර හෝ
ඒ ඇසුරෙන් චිත්‍ර ශිල්පින් ඇඳි සංස්කරණයන් ය.
ඔබ හිම වැටෙන රටක ජිවත්වන්නේ නම් පියලි ලෙස සැහැල්ලු හිම වැටෙන දිනයක  තද පැහැති රෙදිකඩක් වැටෙන හිම වලට අල්ලා මෙතෙක් කල් ඔබේ ඇසටත් හසුනොවී දියවුණු මේ විචිත්‍ර හැඩ පියවි ඇසින් නරඹන්න.
ඒ වගේම මේ උත්සව සමයේ විචිත්‍රවත් හිම රටා දකිනවිට බෙන්ට්ලි සිහිපත් කර ඔහුගේ කැපවීමට, පරිත්‍යාගයන්ට සිතින් හෝ කෘතඥ වීමට අමතක නොකරන්න. බෙන්ට්ලි විසින් නිරීක්ෂණය කරනු ලැබ, ලෝකයට දුන් හිම මෝස්‌තර දිහා බලා හිතන්නට තිබෙන්නේ අපගේ අවධානයක් නොමැතිව වියැකී යන, අප නොදන්නා කමණිය දේ ලෝකයේ කොතෙක් ඇත්ද කියායි.









උදව්:
Snowflake Bentley : Jaqualine Briggs Martin
https://siarchives.si.edu/history
https://www.theguardian.com/science/gallery
www.snowflakebentley.com
https://www.youtube.com/watch?v=ptLmA263hlk
(2017 දෙසැම්බර් 19 දිවයින පුවත්පතේ පළවිය).

Friday, 30 December 2016

හිම ගැන කතාව :Snow 1


සුදු පාටින් වැහිලා ගිය වහලවල් තියන ගෙවල්, අතුපතර මත හිම රැඳුනු ගස් තියන පින්තුර දකිද්දී කාටත් ආස හිතෙනවා. ලංකාව වගේ හිම වැටෙන අත්දැකීමක් නැති රටක අයට මේ කැමැත්ත වැඩියි. ගොඩක් හිම වැටුණු පසුගිය දාක මගේ ෆේස්බුක් පිටුවේ දාපු කවියකට  ප්‍රතිචාර නිසා හිම ගැන ලිව්වොත් හොඳයි කියල හිතුන.

හැමෝම වගේ ජල චක්‍ර දන්නවනේ. ජල වාෂ්ප අහසට ගිහින් ඝනීභවනය වුණාම වලාකුළු හැදෙනවා. වලාකුළු එකතුවෙලා ජලයෙන් බර වුනාම වහිනවා. මේ සංසිද්ධියම සෙන්ටිග්‍රේඩ් අංශක 0 අඩු උෂ්ණත්වයකදී වුණාම වැස්ස වෙනුවට පුංචි අයිස් ස්පටික එකතුවෙලා හිම ඇතිවෙනවා

මේ හිම පියලි විදියට තමයි බිමට එන්නේ. ඒකත් හැමවිටම එක වගේ නැහැ. සමහර වෙලාවට පාවෙලා යන කුඩා පැතලි සැහැල්ලු හිම වෙන් වෙන්ව එන්නේ. වෙලාවකට අබ ඇට තරම් පුංචියි. වෙලාවකට වැස්ස වගේ දිග තීරු. තද සුළං  තියනවනම් හිම කුඩාම කෑලි වලට වෙන්වෙලා තමයි වැටෙන්නේ.
ඒත් හිම වැස්ස වගේ නෙමෙයි.. බොහොම නිහඬව පොළොවට එන්නේ

                             


අහසේ උෂ්ණත්වය 0͒ C අඩුවෙලා පොලවට සමීප වෙද්දී 2C වැඩිනම් හිම වැටුණු ගමන්ම වගේ දියවෙලා යනවා. . හිම පියල්ලක සාමාන්‍ය විෂ්කම්භය 1.3 cm පමණ වුනත්, 0C අසන්න උෂ්ණත්වයකදී සුළඟ නැතිවිට ඊට වඩා ලොකු, වඩා බර හිම වැටෙනවා

සාමාන්‍යයෙන්  තද හිම පතනයක් වෙන්නේ පොලව මට්ටමේ උෂ්ණත්වය ඍණ 9C වගේ තියන විට. හිම හැදෙන්න වාතයේ තෙතමනයත්, සීතලත් දෙකම ඕනේ. හුඟක්ම සිතල හා වියලි වුණාමත් හිම වැටෙන්නේ නැහැ.
හිම බිමට වැටුනම වතුර වගේ ගලාගෙන යන්නේ නැහැනේ. සිතල අඩු නොවුනොත් මේ විදියට වැටෙන හිම එක උඩ එක එකතු වෙනවා15- 20cm තරම් ප්‍රමාණයක් පැය 12කට අඩු කෙටි කාල සීමාවක් තුල වැටෙන එකට තමයි හිම කුණාටු (snow squall ) කියන්නේ. තද සුළඟත් සමග එන කුණාටු තියනකොට අඩි කීපයක් දුර නොපෙනෙන තරමට සුදු පාටින් වැහෙනවා. හිම කුණාටුවකට පස්සේ බිම විතරක් නෙමෙයි ගස්වල, ගෙවල් වහලවල හිම තට්ටු හිටිනවා.

පොලවේ හිම ටිකක් නම් තියෙන්නේ වැලි අතුරපු පොළවක් උඩ ඇවිදිනවා වගේ දැනෙන්නේ. ඒත් හිම කුණාටුවකට පස්සේ අඩියකට වඩා හිම ගොඩ ගැහුණම මුහුදු වැල්ලේ ඇවිදිනවා වගේ එරී එරී ඇවිදින්න ඕනේ. එහෙම නැත්නම් වතුරේ ඇවිදිනවා වගේ කකුල් අද්දමින් යන්න ඕනේ.



හිම ඇඟට වැටුනම වැස්ස වගේ ඉක්මණින් ඇඳුම් තුලින් උරන්නේ නැහැ. ගසල දැම්මම අයින් වෙනවා. හිම වැටෙන තරම් සිතලකදී තෙතමනය උරා නොගන්න හිම ඇඳුම් අඳින්නම ඕනේ.

 හිම වැටිලා තියෙද්දී  පරිසර උෂ්ණත්වය 0C ට වඩා වැඩිවුනොත් දියවෙන්න ගන්නවා. එහෙම අඩියෙන් හිම දියවී වතුර වේගෙන යන අවස්ථාවක එකවර පරිසර උෂ්ණත්වය අඩු වුනොත් ඒ වතුර අයිස් වෙනවා. උඩින් හිම වුනාට යටින් අයිස් නිසා ලිස්සන්න ගන්නවා. සුදුපාට හිම නැති තැන්වල වතුර ස්තරයක් අයිස් බවට හැරී තිබුණත් පෙනෙන්නේ නැහැ. ඉතා පිරිසිදු නිසා වීදුරු වගේ විනිවිද පෙනෙන හේතුවෙන්. නිසිලෙස පෙනෙන්නේ නැතිනිසා මේවාට Black Ice කියනවා. මෙවැනි අයිස් ස්තරයක් මතට අඩිය තිබ්බොත් නොදැනම ලිස්සන්න පුළුවන්. ඒ නිසා යන එන මාර්ගවල හිම ඉවත්කිරීම අනිවාර්යයෙන් කරන්න ඕනේ.


තෙත ගතිය අඩු හිම වැලි වගේ වුණාට, තෙත වැඩි හිම අතේ ගුලි කරලා බෝල හදන්න පුළුවන්. මෙහෙම හදන හිම බෝල හිම මත රෝල් කළාම තෙත මැටි බෝලයක් වැලිවල රෝල් කරනවා වගේ තව හිම ඒකෙ එතිලා විශාල වෙනවා. මේ වගේ තෙත හිම ගොඩක්  වැටෙන දවස්වලට හිම මිනිස්සු snowman හදන්න පුළුවන්.


 හිම කියන්නේ ජලයේම ඝන අවස්ථාවක්.  මේ චමත්කාරජනක හිම දියවුනාම ජලය බවට පත්වුනත්, නැවත සීතල වුණාම අයිස් මිස ආපසු හිම වෙන්නේ නැත.