Friday 30 December 2016

හිම ගැන කතාව :Snow 1


සුදු පාටින් වැහිලා ගිය වහලවල් තියන ගෙවල්, අතුපතර මත හිම රැඳුනු ගස් තියන පින්තුර දකිද්දී කාටත් ආස හිතෙනවා. ලංකාව වගේ හිම වැටෙන අත්දැකීමක් නැති රටක අයට මේ කැමැත්ත වැඩියි. ගොඩක් හිම වැටුණු පසුගිය දාක මගේ ෆේස්බුක් පිටුවේ දාපු කවියකට  ප්‍රතිචාර නිසා හිම ගැන ලිව්වොත් හොඳයි කියල හිතුන.

හැමෝම වගේ ජල චක්‍ර දන්නවනේ. ජල වාෂ්ප අහසට ගිහින් ඝනීභවනය වුණාම වලාකුළු හැදෙනවා. වලාකුළු එකතුවෙලා ජලයෙන් බර වුනාම වහිනවා. මේ සංසිද්ධියම සෙන්ටිග්‍රේඩ් අංශක 0 අඩු උෂ්ණත්වයකදී වුණාම වැස්ස වෙනුවට පුංචි අයිස් ස්පටික එකතුවෙලා හිම ඇතිවෙනවා

මේ හිම පියලි විදියට තමයි බිමට එන්නේ. ඒකත් හැමවිටම එක වගේ නැහැ. සමහර වෙලාවට පාවෙලා යන කුඩා පැතලි සැහැල්ලු හිම වෙන් වෙන්ව එන්නේ. වෙලාවකට අබ ඇට තරම් පුංචියි. වෙලාවකට වැස්ස වගේ දිග තීරු. තද සුළං  තියනවනම් හිම කුඩාම කෑලි වලට වෙන්වෙලා තමයි වැටෙන්නේ.
ඒත් හිම වැස්ස වගේ නෙමෙයි.. බොහොම නිහඬව පොළොවට එන්නේ

                             


අහසේ උෂ්ණත්වය 0͒ C අඩුවෙලා පොලවට සමීප වෙද්දී 2C වැඩිනම් හිම වැටුණු ගමන්ම වගේ දියවෙලා යනවා. . හිම පියල්ලක සාමාන්‍ය විෂ්කම්භය 1.3 cm පමණ වුනත්, 0C අසන්න උෂ්ණත්වයකදී සුළඟ නැතිවිට ඊට වඩා ලොකු, වඩා බර හිම වැටෙනවා

සාමාන්‍යයෙන්  තද හිම පතනයක් වෙන්නේ පොලව මට්ටමේ උෂ්ණත්වය ඍණ 9C වගේ තියන විට. හිම හැදෙන්න වාතයේ තෙතමනයත්, සීතලත් දෙකම ඕනේ. හුඟක්ම සිතල හා වියලි වුණාමත් හිම වැටෙන්නේ නැහැ.
හිම බිමට වැටුනම වතුර වගේ ගලාගෙන යන්නේ නැහැනේ. සිතල අඩු නොවුනොත් මේ විදියට වැටෙන හිම එක උඩ එක එකතු වෙනවා15- 20cm තරම් ප්‍රමාණයක් පැය 12කට අඩු කෙටි කාල සීමාවක් තුල වැටෙන එකට තමයි හිම කුණාටු (snow squall ) කියන්නේ. තද සුළඟත් සමග එන කුණාටු තියනකොට අඩි කීපයක් දුර නොපෙනෙන තරමට සුදු පාටින් වැහෙනවා. හිම කුණාටුවකට පස්සේ බිම විතරක් නෙමෙයි ගස්වල, ගෙවල් වහලවල හිම තට්ටු හිටිනවා.

පොලවේ හිම ටිකක් නම් තියෙන්නේ වැලි අතුරපු පොළවක් උඩ ඇවිදිනවා වගේ දැනෙන්නේ. ඒත් හිම කුණාටුවකට පස්සේ අඩියකට වඩා හිම ගොඩ ගැහුණම මුහුදු වැල්ලේ ඇවිදිනවා වගේ එරී එරී ඇවිදින්න ඕනේ. එහෙම නැත්නම් වතුරේ ඇවිදිනවා වගේ කකුල් අද්දමින් යන්න ඕනේ.



හිම ඇඟට වැටුනම වැස්ස වගේ ඉක්මණින් ඇඳුම් තුලින් උරන්නේ නැහැ. ගසල දැම්මම අයින් වෙනවා. හිම වැටෙන තරම් සිතලකදී තෙතමනය උරා නොගන්න හිම ඇඳුම් අඳින්නම ඕනේ.

 හිම වැටිලා තියෙද්දී  පරිසර උෂ්ණත්වය 0C ට වඩා වැඩිවුනොත් දියවෙන්න ගන්නවා. එහෙම අඩියෙන් හිම දියවී වතුර වේගෙන යන අවස්ථාවක එකවර පරිසර උෂ්ණත්වය අඩු වුනොත් ඒ වතුර අයිස් වෙනවා. උඩින් හිම වුනාට යටින් අයිස් නිසා ලිස්සන්න ගන්නවා. සුදුපාට හිම නැති තැන්වල වතුර ස්තරයක් අයිස් බවට හැරී තිබුණත් පෙනෙන්නේ නැහැ. ඉතා පිරිසිදු නිසා වීදුරු වගේ විනිවිද පෙනෙන හේතුවෙන්. නිසිලෙස පෙනෙන්නේ නැතිනිසා මේවාට Black Ice කියනවා. මෙවැනි අයිස් ස්තරයක් මතට අඩිය තිබ්බොත් නොදැනම ලිස්සන්න පුළුවන්. ඒ නිසා යන එන මාර්ගවල හිම ඉවත්කිරීම අනිවාර්යයෙන් කරන්න ඕනේ.


තෙත ගතිය අඩු හිම වැලි වගේ වුණාට, තෙත වැඩි හිම අතේ ගුලි කරලා බෝල හදන්න පුළුවන්. මෙහෙම හදන හිම බෝල හිම මත රෝල් කළාම තෙත මැටි බෝලයක් වැලිවල රෝල් කරනවා වගේ තව හිම ඒකෙ එතිලා විශාල වෙනවා. මේ වගේ තෙත හිම ගොඩක්  වැටෙන දවස්වලට හිම මිනිස්සු snowman හදන්න පුළුවන්.


 හිම කියන්නේ ජලයේම ඝන අවස්ථාවක්.  මේ චමත්කාරජනක හිම දියවුනාම ජලය බවට පත්වුනත්, නැවත සීතල වුණාම අයිස් මිස ආපසු හිම වෙන්නේ නැත.

6 comments:

  1. සිංහලෙන් පළවුන හරවත් රසවත් පාඩමක් වගේ.! 'වින්දනය තුළින් දැනුම'
    මෙහෙට හිම වැටෙන අවස්ථාවන් හැම වසරකදීම සෑහන්න දකින්න පුළුවන් කමක් නැහැලු.(ඇට්ලන්ටා) . ඒ හින්ද පසුගිය පාර හිම බලන්න හෙලන් සිටි දක්වා ගියා. ඒත් පැයකට වඩා හිමවැස්ස විඳින්න ලැබුණෙ නෑ.

    ReplyDelete
    Replies
    1. මුලින්ම හිම වැටෙනකොට ආස වුනත් වැඩි වෙනකොටනේ අපහසු..

      Delete
  2. i have never read such a beautiful article about snow before. it is like a fairy tale. The writing style is very impressive.

    ReplyDelete
    Replies
    1. Thank you so much Anil for your appreciation and encouragement...☃️

      Delete
  3. හොඳ ලිපියක්... මේකේ තව කොටස් තියෙනවද...?

    ReplyDelete
  4. 'හිම පියල්ලක හැඩය ' කියල තව එකක් තියනව. ශීත ඍතු ඔලිම්පික් ගැනත් එකක් ලිව්වා...ආයේ හිම වැටෙද්දී තව එකක් ලියන්න හිතන් ඉන්නේ.❄️☃️

    ReplyDelete