Friday 24 February 2017

ඈන් ගේ අරඹේ ගෙදර හා වටපිටාව : කැනඩාවේ සුවිශේෂ ස්ථාන 5

ලෝකේ පුරාම ජනප්‍රිය වෙලා, භාෂා ගණනාවකට පරිවර්තනය වෙලා, පිටපත් මිලියන 50කට වඩා විකිණී ඇති, දහස් ගණන් චිත්‍රපට, වේදිකා නාට්‍ය, ගුවන් විදුලි නාට්‍ය, සංගීත මියැසි, ටෙලි නාට්‍ය වලට මුලික වුනු Ann of Green Gables වලින් ඇරඹුණු ඈන් කතා මාලාව කියවල තියනවද? 'අරඹේ ගෙදර ඈන්' හා 'ඈන්' නමින්ම  සිංහලටත් පරිවර්තනය වෙලා තියනව. කලකට පෙර මේ කතාව ඇසුරෙන් ජනප්‍රිය ටෙලි නාට්‍යකුත් හැදුණා.
1908 සිට ලුසී මෝඩ් මොන්ට්ගොමරි විසින් රචිත මේ කථා පෙළ ලොව පුරාම අදටත් ජනප්‍රියයි.  පලවී මුල් මාස පහේ පිටපත් 19000ක් විකිණී තියෙනවා.
මුල්ම ඈන් පොත 
ඈන් ලෝකේ වඩාත්ම ආදරයට ලක්වූ නවකතා චරිතයක්.
මැතිව් හා මරිල්ලා නම් සොයුරෙක් හා සොයුරියක අහම්බයෙන් හදා වඩාගත් අනාථ දැරියක වූ, රතු හිසකෙස් ඇති ඈන් නම් බුද්ධිමත්, කටකාර, සිතිවිලි රස මවමින් දකින ගැහැණු ළමයා අතිශය වර්ණනාත්මක පරිසරයක ජිවත් වුනේ. දිලිසෙන වතුර විල්, පාරට මල් කඩා හැලෙන ගස්, සරත් ඉර්තුවේදී විවිධ පාට ගන්න කොළ සහිත ගස්.... කියවද්දී මේ ගම ඇත්තටම තියනවද? මේ එඩ්වඩ් කුමාර දිවයින කොහෙද තියෙන්නේ කියල හුඟ දෙනෙක් හිතන්න ඇති. ඒකත් බොහෝ කතා වගේ රචකයාගේ හිතේ නිර්මාණය වෙච්ච පරිසරයක් කියල හිතන්න ඇති.

අලංකාර, ස්වභාවික පරිසරයක් සහිත මේ පසුබිම කතා රචිකා මොන්ට්ගොමරි මහත්මිය උපන්, හැදී වැඩුණු, කැනඩාවේ කුඩාම ප්‍රාන්තය වන Prince Edward Island -එඩ්වඩ් කුමාර දිවයිනෙහි පිහිටි සැබෑ තැන්. කැනඩාවේ නැගෙනහිර කෙලවරට වන්නට පිහිටි වර්ග කිලෝමීටර් 5666ක් වන මෙම පුංචි දිවයිනේ ප්‍රධාන නගරය කථාවේ පරිදිම චාලට් ටවුන්. ඈන් ෂර්ලි ගේ ඇවන්ලි ගම, කැවන්ඩිෂ් ගම, ශ්ර්වුඩ් ගම තාම ඒ නම්වලින්ම තියනවා.
මොන්ට්ගොමරිගේ කතාවලට පින් සිද්ධ වෙන්න තාම ඒ පරිසරයත් යම්තාක් දුරකට රැකිලා තියනවා.
ඒ විතරක්ද....
දිලිසෙන වතුර විල - පොකුණක් වගේ පුංචි එකක් 
ඇවන්ලි ගමට ගියොත් ඈන්, මරිල්ලා හා මැතිව් මාමා ජීවත්වූ ග්‍රීන් ගේබල්ස් නිවස දකින්න පුළුවන්. ඕනනම් මැතිව් මාමා එක්ක අස්ස කරත්තේ රවුමක් යන්නත් පුළුවන්. මම කිව්වොත් ඈන් හමුවෙන්න පුළුවන් කියල... හීනයක් නෙවේ.. ඇත්තටම...
 මේ චරිත ඇත්තටම තිබුණු ඒවා නොවුනත් ඇත්ත විදියටම මිනිසුන් ගේ සිත් පැහැරගෙන තියන නිසා ඒ විදියට නිර්මාණය කරලා තියනවා කාටත් අත්විඳින්න පුළුවන් වෙන්න....

හැබැයි මේ හේතුව නිසාම දැන්නම් මේ එඩ්වඩ් කුමාර දිවයින විශේෂයෙන් ඇවන්ලි ගම හා කැවන්ඩිෂ් ගම සංචාරක පුරවර. අවුරුද්දකට දසදහස් ගණන් මේ ගමේ සිරි නරඹලා, ග්‍රීන් ගෙබ්ල්ස් විදියට හදල තියන ගේ දැකලා, ඈන් හමුවෙලා, තමන් රස විඳි පොතේ පරිසරය දැකලා, කැළෑවේ මංපෙත් වල ඇවිදලා යන්න එනවා.
මොන්ට්ගොමරි පවුලක ගෙයක් දැන් කෞතුකාගාරයක් ලෙස 







ඇවොන්ලි ගමේ ආකෘති, එකල මිනිසුන් ජිවත් වූ ආකාරය දැක්වෙන සංදර්ශන නරඹන්නත් පුළුවන්. 'ඈන් හා ගිල්බට් ' සංගීත මියැසිය වසර ගණනාවක් මුළුල්ලේ ගිම්හාන කාලයට රඟ දක්වලා ගිනස් පොතටත් ඇතුළු වෙලා තියෙන්නේ.
මොන්ට්ගොමරි මහත්මිය ඉපදුනු නිවස හා ජීවත්වූ නිවස සුරැකිව තිබෙනු දැක බලාගන්නත් පුළුවන්..

දැන්නම් බොහොකොටම මුල්‍යමය ව්‍යාපාර මේ ප්‍රදේශය කේන්ද්‍ර කොටගෙන බිහිවෙලා තියෙන්නේ.


කෞතුකාගාර, පොත්හල්, නාට්‍යගාර විතරක් නෙවෙයි, පැරණි විදියට ඇඳගෙන ඡයරුප ගත හැකි ඡයාරුප ශාලා, ඈන් ක්‍රමයට විවාහ උත්සව ශාලා, ඈන් බෝනික්කෝ, පැරණි ක්‍රමයට හදන ඈන් චොකලට්,..,..
සංචාරකයන්ට පහසුකම් සලසන හෝටල්, ආපනශාලා, සිහිවටන හා තෑගි සාප්පු, ගොල්ෆ් පිටි, නවීන උද්‍යාන...හැමදේම...

පුළුවන් වූ දවසක බලන්න යන්න හිතෙනවා නේද ?

උදව්:
Prince Edward Island booklet
tourismpei.com 
පින්තුර අන්තර්ජාලයෙන්

Monday 20 February 2017

වීදුරු ගෙම්බා : දෙපැත්තටම හරි අය

ගෙම්බො දන්නවනේ? පාර්ලිමේන්තු ගියාම වාසි බලල පනින අය නෙමේ මම අහන්නේ...ඒ ගති තියන මිනිස්සුත් නෙමෙයි. එයාල වගේම නොවුනත් පැන පැන යන, ලෝකේ පුරාම තෙත් පරිසරවල, වියලි පරිසරවල විසිරිලා ඉන්න සත්තු... අපි දැකල තියන කොලපාට, දුඹුරු පාට ලොකු පොඩි ගෙම්බන් වගේම උභයජීවී සතෙක් වුනත්, ගෙම්බෙක්ම වුනත් ඊට  වඩා ටිකක්  වෙනස් මේ ලියන්න යන විදුරු ගෙම්බා..

නමේ හැටියටම මේ සතා විනිවිද පෙනෙන නිසයි මේ නම වැටිලා තියෙන්නේ. බොරු පොරොන්දු විනිවිද භාවයත් නෙමෙයි.. මේ සතා ඇත්තටම විනිවිද පෙනෙනවා. එහෙම වෙන්නේ උගේ හම එහා මෙහා පෙනෙන සුළු නිසා. බඩ පැත්තට හරවල බැලුවොත් උගේ හදවත වැඩකරන හැටි, ලේ නහර, බඩවැල්, අක්මාව, බිත්තර දාන්න ළඟ නම් බිත්තර පවා පෙනෙන්න තියනව. (අපරාදේ නේද ගෙම්බාගේ ඇතුලත නිරීක්ෂණයට ගෙම්බෝ මරල කපල බලන්නේ..?)
ඒත් අපේ රටේනම් වීදුරු ගෙම්බන්ව මේ වනතෙක් හොයාගෙන නැහැ. දකුණු ඇමරිකාවේ, මෙක්සිකෝවේ, මධ්‍ය ඇමරිකාවේ හා ඇමේසන් වනයේ තමයි මේ සතුන්ව දැකල තියෙන්නේ.
දකින්නත් ලේසි නැහැ නියපොත්තක් තරම පුංචි මේ සතුන්ගේ ලොකුම ගෙම්බන් 50mm විතර වෙන්නේ. 10mm තරම් කුඩා සතුන් වැඩි හරියක් ඉන්නේ.

නිවර්තන වැසි වනාන්තරවල ජලය ආශ්‍රිතව තියන ගස් මුදුන්වල තමයි මේ ගෙම්බන් ජිවත්වෙන්නේ. ගස් වැවිල වලාකුළු වගේ ආවරණය වෙලා තියන නිසා වලාකුළු වනාන්තර කියන ඝනව වැවුණු කැලෑවල තමයි ඉන්නේ. ඒත්, මොවුන්ව ගස් ගෙම්බන් ගණයේ සලකන්නෙත් නැහැ. ගලායන දියපාරවල් උඩින් නැමුණු ගස් මුදුන්වල කොළ මත තමයි ජිවත් වෙන්නේ.
දීප්තිමත් කොළ හා ලා කොළ පාට විදුරු ගෙම්බන්ගේ හමේ කළු, සුදු, නිල්, කහ, තද කොළ තිත් පිහිටලා තියනව. මේ හම හරිම සියුම්. තද වැස්සකට වුනත් තුවාල වෙලා යනවා. ඒ නිසා තද වැස්ස අවස්ථාවලට උන් කොලවල යටි පැත්තේ ඉන්නේ.
විදුරු ගෙම්බන්ව කන්න බලාගෙන ඉන්නේ සර්පයෝ, කුරුල්ලෝ හා සමහර මාංශ භක්ෂක ක්ෂීරපායින්. ඒත් සමේ විනිවිදකම නිසා ඉන්න කොලයේ පාටම ගන්න නිසා සතුරන්ට මේ ගෙම්බන්ව දකින්න අසීරුයි. උඩින් බැලුවම අවතාර වගේ පෙනෙනවා ඇත්තේ. කොහොමත් ආරක්ෂාව පිණිස දවල්ට නොසැලී ඉන්න මේ සතුන් ක්‍රියාකාරී වෙන්නේ රාත්‍රී කාලයටයි. හිසේ පිහිටන ඉදිරියට නෙරූ විශාල ඇස් නිසා අඳුරේ වුවත් තම ආහාරය වන මකුළුවන් හා කෘමින් අපහසුවක් නැතිව හොයාගන්න පුළුවන්.

සහකරුවෙක් හොයාගන්න කාලේ වෙනකොට ගැහැණු ගෙම්බන් පහලට ඇවිත්, දියපාර අසල ගස් කොළ මතට වෙලා ශබ්ද කරන්න පටන්ගන්නවා. ශබ්ද ඇසිලා එන අය අතරින් තමන්ට හිත ගිය කෙනා තෝරගත්තට පස්සේ අනිත් අයට ලං නොවෙන්න වෙනස් ශබ්ද නගනවලු.
ඉතින් දෙන්න එකතුවෙලා සතුටින් ඉඳල බිත්තර 20-30 දානවා ඒ ශාක පත්‍රය උඩ. වෙන ගෙම්බෝ බිත්තර දාන්නේ ජලයෙනේ. අනිත් ගෙඹි බිත්තර වගේම මේ බිත්තරත්  ජෙලි වලින් ආවරණය වෙලා තියෙන්නේ. පිරිමි ගෙම්බා ළඟට වෙලා ඉඳල,  එයාව කන්න එන විලොපින්ගෙනුත් බේරිලා, බිත්තර ආරක්ෂා කරගන්නවා.
සාමාන්‍යයෙන් බිත්තර දාන්නේ වැස්ස කාලෙට ඉස්ගෙඩි එලියට එන්න ගණන් තියල. සති දෙකකින් විතර බිත්තර එකින් එක බිඳගෙන ඉස්ගෙඩි එලියට එනකොට ජෙලි ගතිය දියවෙලා යනවා. වැස්ස නැත්නම් ඒ ජෙලිවල රූටල පහල තියන වතුරට වැටෙනවා. ඊටපස්සේ අවුරුද්දක් විතර දියපාරේ ගල් යටට වෙලා ජිවත් වෙනවා. ක්‍රමයෙන් වැඩිලා, කරමල් නැතිවෙලා පෙනහළු හැදිලා, වලිගය නැතිවෙලා පාද එලියට ඇවිත් ගෙම්බෙක් බවට පත්වුනාම වතුරෙන් එලියට ඇවිත් ගස් දිගේ උඩට යනවා.
අනිත් ගෙම්බන්ට වඩා වෙනස් පරිසරයක ජීවත්වෙන මේ සත්තු ගැන පරිසරවේදීන් විශේෂ උනන්දුවක් දක්වනවා.. මේ අලංකාර සතුන් ජිව දර්ශකයක් ලෙස යොදාගන්න පුළුවන් නිසා. ඒ කියන්නේ පරිසරයේ සිදුවන වෙනස්වීම් හඳුනාගන්න පුළුවන් මේ විදුරු ගෙම්බන් නිරීක්ෂණයෙන්. ඔවුන් ජීවත්වෙන පරිසරය අනුව ගෝලීය උෂ්ණත්වය වෙනස්වීම පහසුවෙන් හඳුනාගන්න පුළුවන්ලු.

කොහොම උනත් දැනට වර්ග 60ක් විතර ඉන්න විදුරු ගෙම්බන් වර්ග කිහිපයක්ම වඳ වී යාමේ තර්ජනයට මුහුණ දීල කියලයි ජිව විද්‍යාඥ දත්ත අනුව පෙනෙන්නේ.
ලෝකය ලස්සන කරන මේ අපුරු සතුන් මිනිස් ක්‍රියාකාරකම් නිසා නැතිවී යන එකනම් දුකක්..


උදව්:
දිරි හා ඉඟි දුන් රේණුකා විමලරත්න සොයුරිය
nationalgeographic.com
mudfooted.com
softschools.com
dailymail.co.uk

Saturday 18 February 2017

ඉග්ලු ගෙවල්වල ඉන්න එස්කිමෝවරු :ඇමරිකාවේ ආදී වාසින් 7

සයිබීරියාවේ සිට බෙරින්ගි මාර්ගය ඔස්සේ ඇමරිකා මහද්වීපයට පැමිණ, දකුණු දෙසට ව්‍යාප්ත වී ගිය ආදිවාසීන් ගැන මුල් ලිපිවල තිබුනනේ. මෙසේ පැමිණි අයගෙන් කොටසක් ඔවුනට හුරුපුරුදුව තිබුණු අධි ශීතල දේශගුණය ඇති ප්‍රදේශ ඔස්සේ නැගෙනහිරට,එනම්, දැන් කැනඩාව පවතින ප්‍රදේශයට හා ඉනුත් නැගෙනහිරට සංක්‍රමණය වෙමින් ගියා. අන් අය මෙන්ම ගෝත්‍රවලට බෙදෙමින් ව්‍යාප්ත වුණා. මේ ගෝත්‍ර සියල්ලම දැන් ප්‍රධාන කොටස් තුනක් යටතේ ගැනෙනවා.
1. අත්ලාන්තික් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා ගොඩබිමේ ව්‍යාප්ත වුන ගෝත්‍ර අද හඳුන්වන්නේ First Nations හෝ Aborigins කියායි.
2. සමුද්‍රසන්නයේ සහ උතුරු ආක්ටික් ප්‍රදේශවල දුපත්වල (ග්‍රීන්ලන්තය ඇතුළුව) ජිවත්වන අය Inuit
3. තම ගෝත්‍රික භාවය රැක ගනිමින් යුරෝපා ජාතින් හා මිශ්‍ර විවාහ වී ජිවත්වන පරම්පරා Metis

එතකොට එස්කිමෝ කියන්නේ? අපි දන්නා විදියටනම් ලෝම වාටි තියන හම් ඇඳුම් අඳින, හිමමත ඉග්ලු ගෙවල්වල ජිවත්වන අය.
කලින් ලිපිවල 'රතු ඉන්දියන්වරු' ගැන කිව්වා වගේ 'එස්කිමෝ' නමත් එයට ලක්වන සමහර මිනිස්සු අකමැති, එහෙත් බහුලව භාවිතාවන නමක්. Algoquian කියන වෙනත් ආදිවාසී භාෂාවකින් එස්කිමෝ කියන්නේ 'අමු මාළු කන' කියන එකයි. ඔවුන්ව පහත්කර සලකන්න භාවිතා කරන ඒ නමට  ගෝත්‍රිකයන් කැමති නැහැ. ඔවුන් විසින් තම වර්ගයා හඳුන්වන්න භාවිතා කරන ඉනුඉට් Inuit නමින් තමයි මේ සංස්කෘතික සමුහයන් දැන් හඳුන්වන්නේ.

මොවුන් ජිවත්වෙන්නේ වසරේ අඩු කාලයක් ඉර එලිය ලැබෙන, හිමෙන් වැසීගිය ප්‍රදේශවල. මාස කිහිපයක් දිගු සිත සමයන් ඇති, සමහරවිට ඍන 40, 50 පමණ වන දැඩි සීතලකින් යුතු අයිස් හා හිමෙන් වැසුණු, හිම කුණාටු ගහන, ගහකොලක් නොවැඩෙන මෙම ප්‍රදේශවලට අනුව ඔවුන්ගේ ජිවන ක්‍රමයත් හැඩගැසී තිබෙනවා.
සිත කාලයට ඝන හිම කුට්ටි වලින් ගෙවල් හදාගන්නවා. ඉර එලිය වැටුණුවිට දියවී නැවත ඝනවන අයිස්වලින් හිම කුට්ටි අතර ඉතිරිවන සිදුරු වැසි යනවා. හිම මගින්ම ඇතුලත උණුසුම ආරක්ෂා වන ලෙස මෙම ගෙවල් සැකසී තිබෙන්නේ. අපේ ගෙවල් වගේම විවිධ ප්‍රමාණ වලින් යුතු අර්ධ ගෝලාකාර හැඩ මේවට මොවුන් කියන්නේ Igloo කියලයි. තේරුම 'ගෙදර' කියන එකයි.
මේ එක ගෙදරක පවුලක් හෝ දෙකක් ජීවත්වෙනවා.
ජිවත්වන පෙදෙසේ සතුන් හිඟ වූ විට වෙනත් තැනකට ගමන් කරන සංචාරක ජිවිතයක් ගතකළ ඉනුඉට් ජාතිකයන් ග්‍රීෂ්ම කාලයේ ඉක්මණින් හා පහසුවෙන් ලි දඬු වලින් ගෙයි රාමුව සාදා, සත්ව හම්වලින් කුඩාරමක් බඳු ගේ වසා ගන්නවා. ඒ ගෙවලුත් ඔවුනට 'ඉග්ලු' තමයි. පරිසරයේ ද්‍රව්‍ය වලින් ගෙවල් සාදාගත්තත්, ඔවුන් ඉන්නා පරිසරයේ ලී දඬු හිඟ නිසා ඒවා බොහෝ ආරක්ෂා කළා. යන තැනකට ලි දඬු රැගෙන ගියා.

ඉනුයිට්වරු බොහොම සාමකාමිව පවුල් ජීවිත හා සමාජ ජිවිත ගෙවූ උදවියයි. පුරුෂාධිපත්‍යය හෝ පුරුෂයා බලවත් ලෙස සිතු සමාජයක් නොවේ. සමගිව පවුලේ කාර්යයන් බෙදාගනිමින්, එකිනෙකාට ගරු කරමින්, ඔවුන් සමගම ජිවත්වන වයස්ගත වැඩිහිටියන්ටද ගරු කරමින් දිවි ගෙවූ අයයි. විශාල සතෙක් දඩයම් පිණිස ලැබුනහොත් අසල්වැසි නෑයන් හා බෙදාහදාගෙන සුහදව දිවිගෙවා ඇත්තේ. දරුවන්ටත් දැඩි ආදරයක් දක්වා තියනව.

ඉනුයිට්වරු මස්, මාළු ආහාරයට ගනිමින් ජීවත්වූ දඩයක්ක්කරුවන්. පිරිමි සත්ව දඩයමේ යාම දින චර්යාවේ වැදගත් අංගයක්.
හිම තුල මාළු දඩයම් කරන අයුරු 
කැරිබු, හිම හාවන්, පක්ෂීන්, වොල්රස්, සීල් හා වෙනත් මත්ස්‍යයන් මත යැපුන ඔවුන් 'සමබල ආහාර වේලක්' හෝ කලාතුරකින් ලැබෙන බෙරී හා මුහුදු පැළෑටි හැර වෙන ශාකමය ආහාරවලින් තොරව අවුරුදු දහස් ගණනක් ජීවත්වුණේ කෙසේද? විටමින් D ගන්න ඉර එලිය නැති, කබෝහයිඩ්රේට් අඩු, සත්ව ප්‍රෝටීන් පමණක් ආහාරයට ගත් ඔවුන් ඉතා සෞඛ්‍ය සම්පන්නව ජීවත්වීම Inuit Paradox නමින් හඳුන්වනවා. විටමින් A, D හා E සපිරි සීල් හා වොල්රස් මේද තට්ටු ඔවුන් නිතර අනුභව කළ බවත්, සීත ජලයේ වෙසෙන මසුන් තුල omega 3 හා විටමින් A බහුල බවත් සොයාගත්තේ paradox සෙවීමට කළ අධ්‍යයනවලින්.
ඔවුන් ජීවත්වීමෙන් ලද අත්දැකීම් පරම්පරාවෙන් ගෙනෙමින් පරිසරයට ගැලපෙන 'සමබල ආහාර' එළවලු, පලතුරු නැතිවම හදාගෙන තිබෙනවා. වියලිමෙනුත්, සීල් තෙල්වල ඉවිමෙනුත්, අයිස් යට තැබිමෙනුත්, කල් තබාගත් ආහාරයි  දඩයම් අඩු සීත කාලයේ අනුභවකර තිබෙන්නේ.
සීල් මසුන්ගේ හම ඇඳුම් සකස් කරගැනීමටත්, නිවෙස් ආවරණයටත්, බෝට්ටුවල කොටස් සඳහාත් යොදාගෙන තිබෙනවා. සීල් මේද තට්ටු වලින් සාදාගත් ඉටිපන්දම්වලින් ආලෝකය ලබාගෙන තිබෙනවා.

ක්වමුටික් පාරු 
දඩයම් සඳහා අවශ්‍ය උපකරණ සාදා ගත්තේ සත්ව ඇටකටු, දත් හා සම මගින්. ගමනාගමනය කළේ හිමමත ලිස්සායන ක්වමුටික් පාරු මගිනුත්, හිම බල්ලන් ඇදගෙන යන dogsled මගිනුත්, ක්වුජක් කියන තනි කෙනෙක්ට පමණක් යා හැකි ඔරු මගිනුත්.

ජීවී, අජීවී සැමදේටම ආත්මයක් තියෙන බව විශ්වාස කල මොවුහු මරණින් මතු ජිවිත ගැන විශ්වාස කළා. මුහුදු දෙවඟන ඇදහුවා. ඔවුන්ගේම වූ චිත්‍ර, කලාශිල්ප, නැටුම්, සංගීත මෙන්ම, භයානක හිම වලස්සු, උල් දත් හා නිය ඇති අවතාර ගැන කතාවලින් පෝෂිත ජනකතා සාහිත්‍යයක් ද තිබෙනවා.


යුරෝපින් පැමිණිමත්, ලෝකයේ අනෙක් ප්‍රදේශවල 'දියුණුවත්' එක්ක ඉනුඉට් ගෝත්‍රිකයන්ටත් ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවුණා. 20 වන සියවස මුල වනතෙක් නිදහස්, සාමකාමී ජිවිතයක් ගතකළ මොවුන්ව හඩ්සන් බේ කොම්පැනියත්, ක්‍රිස්තියානි මිෂනාරිනුත් ඉතා පහසුවෙන් ගොදුරු කරගත්තා.
සත්ව හම් හා ලෝම ලාබයට හා පහසුවෙන් ලබාගැනීමට ඉතාම හොඳ ප්‍රභව ලෙස මේ ජන කොට්ඨශය දුටු  Bay කොම්පැනිය භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවා, ඒ අවට පදිංචි වෙන්න ඉනුඉට් ගෝත්‍රිකයන්ව පෙළඹෙව්වා. භූමියට අයිතියක් නොකියන, බෙදා හදාගන්නා  ස්වභාවය අතහරවා ස්ථිර වාසස්ථාන පුරුදුකර, ලෝම වෙළඳ පොලට සහභාගී කරවා ගත්තා. වසර ගණනකින් ප්‍රදේශයේ සම්පත් අඩුවූ විට බේ කම්පැනිය ප්‍රදේශය හැරයාමත් සමග ගෝත්‍රිකයන් අතරමං වුණා.
ක්‍රිස්තියානි මිෂනාරීන් ආගම පැතිරවීම පදනම් කරගෙන නේවාසික පාසල්වලට සියලුම ආදිවාසී ළමයින් බලෙන් ගෙනගියා. විවිධ ගෝත්‍රිකයන් ගේ භාෂා හා වෙනත් වෙනස්කම් නොතැකු යුරෝපා පුජකයන් හා පුජකවරියන් නිසා දරුවන් ඉමහත් සිත් වේදනා හා තැවුල් වින්දා. අනෙක් ගෝත්‍රික ළමයි ඉනුඉට් ළමුන්ගේ හමේ අධික සුදු පැහැය හාස්‍යයට ලක්කර, එස්කිමෝ නමින් ඇමතීම නිසා ඔවුහු දැඩි මානසික පීඩාවලට ගොදුරු වුණා.
1960 ගණන් වනවිට ඉනුඉට් ළමුන් 75%ක් මේ ලෙස දෙමාපිය කැමැත්තෙන් තොරව නේවාසික පාසල්ගතකර තිබෙනවා. මොවුන්ට තම ගෝත්‍රික භාෂාව කථා කිරීමත්, සම්ප්‍රදායික ඇදහිලි පැවැත්වීමත් පල්ලියෙන් තහනම් කළා. මෙම දරුවන්, බලාගැනීමට සිටි අය අතින් දැඩි මානසික, ශාරීරික හා ලිංගික පීඩාවලට ලක් වී තිබෙනවා. ඒවාට එරෙහි වූ සිසුනට 'බෙහෙත් පෙති' දුන් බවත්, ඉන්පසු එම සිසුන් අක්‍රිය ලෙස වෙනත් ලෝකවල මෙන් ජීවත්වූ බවත් බොහෝ ලියවිලිවල තිබෙනවා.
නුහුරු ටින් කෑම මගිනුත්, සරම්ප, ක්ෂය රෝගය වැනි විෂබීජ නිසාත්, රෝගී වී මියගිය සිසුනුත් බොහෝයි. සමහර බෙහෙත් වර්ග අත්හදා බැලීමට 'රසායනාගාර මියන්' ලෙස මේ දරුවන්ව භාවිතා කර තිබෙනවා.
බලෙන් ලබාදුන් අධ්‍යාපනය මගින් ගෝත්‍රික දරුවන්ව ඉතා ඉක්මනින් ක්‍රිස්තියානි ආගමට හැරෙව්වා. අන්තිමට බිහිවුණේ තම ගෝත්‍ර ගැන ලජ්ජාවන, මිහිපිට කොතනටවත් අයත් නැති ජීවින් විශේෂයක්. ඒත් එය ක්‍රිස්තියානි මිෂනාරීන් ගේ පහත දැක්වෙන ආත්මාර්ථකාමී අධ්‍යාපන අරමුණු හා හොඳින් ගැලපුණා.
" ප්‍රාථමික සමාජවලින් එන දරුවන්ට අධ්‍යාපනය ලෙස ලබාදිය යුත්තේ ශිෂ්ට සම්පන්න වීමට හුරු කිරීමත්, සුදු මිනිසුන්ගේ ආර්ථිකයට සුදුසු රැකියා සඳහා වෘත්තීය පුහුණුවක් ලබා දීමත් ය."

වෙළඳුන්, ආගම පතුරුවන්නන් හා රජයයන් උත්සහ කළේ ගෝත්‍රිකයන්ගේ ජිවන ස්වභාවය වෙනස් කිරීමටයි. තම හැකියා හා සුරුකම් පවත්වාගෙන යාමට ඊළඟ පරම්පරාවක් නොමැතිව,  විනාඩි ගණනකින් හිමවලින් ඉග්ලු ගෙයක් තැනීම වැනි සම්ප්‍රදායික විශේෂ කුසලතා නැත්තටම නැතිවුණා. අන්තිමට ඔවුන් රජය මත යැපෙන්නන් වී, අසාර්ථක ජන කොටසක් බවට පත්වුණා. ඉතිරිව සිටින අයත් පෘථිවි ගෝලයේ උණුසුම් වීම හා ඔවුනගේ සුපුරුදු ආක්ටික් පරිසරය අහිමි වීමේ තර්ජනයටයි මුහුණ දෙන්නේ.

ආදිවාසීන් ??? දැන්...

උදව්:
discovermagazine.com
firstpeopleofcanada.com
Inuit: The Canadian Encyclopedia
No Time to say Goodbye : Sylvia Olsen

Saturday 11 February 2017

මායා ශිෂ්ඨාචාරය: ඇමරිකාවේ ආදී වාසින් 6

මායාවරුන් කියූ පමණින් බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ 2012 දෙසැම්බර් 21 දින සිදුවෙතැයි සිතු ලෝක විනාශයක් ගැනයි. ඔවුන්ද, කලින් ලිපිවල කියවූ පරිසරයත්  සමග සහයෝගයෙන්, පරිසරයට ආදරය කරමින් ජිවත්වූ ස්ක්වොමිෂ් ගෝත්‍රිකයන් හා ඉතා ඉහල තාක්ෂණික දියුණුවක් සමග උසස් මට්ටමේ පාලනයක් ගෙනගිය ඇස්ටෙක්, ඉන්කා වැනි ගෝත්‍ර සමුහයන් මෙන්  යුරෝපින් විසින් ඇමරිකා මහාද්වීපය 'හොයාගන්න' කලින් ජීවත්වූ තවත් දියුණු සම්භාව්‍ය ශිෂ්ඨාචාරයක්. ක්‍රිස්තු පූර්ව 2600 සිට දැනට ගෝතමාලා, හොන්ඩුරාස්, එල් සැල්වදෝර් තියන ප්‍රදේශවල වර්ධනය වෙමින් පැතිර තීබු මිලියන 2ක ජනගහනයක් විසු සශ්‍රික රාජ්‍යයක්.

මොකද්ද මේ ලෝක විනාශ කතාව? මායාවරුන් ඉතා උසස් තාරකා විද්‍යා දැනුමක් තිබු අයයි. දුරේක්ෂ වැනි නවීන උපකරණ භාවිතා කල බවට සාක්ෂි නැතත් ඔවුහු  සුර්යයා, චන්ද්‍රයා, ග්‍රහලෝක හා තාරකා චලනයන් අධ්‍යනයෙන් සැකසු විශ්ව දිනදර්ශන 17ක් භාවිතා කළා.
ලෝක විනාශය ලෙස සිතු දිනය ඇත්තටම වර්ෂ 26000කින් සමන්විත එක් දින දර්ශනයක අවසානයක්.  සුර්යයා අප අයත් ක්ෂිරපථයේ සමකය සමග සමපාතව සිටින දිනයයි 2012 දෙසැම්බර් 21 ලෙස මේ දින දර්ශනයේ සටහන් කර ඇත්තේ.
එය ලෝක විනාශයක් ගැන සටහනක් යයි 'දියුණු' ජාතින් මුලාවුණත්, මායා ගෝත්‍රික නායකයෙක් 2012 නොවැම්බර් මස සාකච්ඡවකදී කියා තිබුණේ, එය සූර්ය වර්ෂයක් අවසන් වී නව වර්ෂයක් ලබන්නා සේ එක් විශ්ව වර්ෂයක් අවසන් වී තව එකක ඇරඹීමක් පමණක් බවයි. වසර දහස් ගණනකට පෙර මෙවන් ගණනය කිරීමක් සිදුකර වසර 26000කට වරක් පැමිණෙන නිශ්චිත දිනයක් ගැන කීමට තරම් ඔවුන් තාරකා ශාස්ත්‍රය හා ගණිත හැකියාවෙන් කෙතරම් ඉහල මට්ටමක සිටින්නට ඇත්ද?

චන්ද්‍ර මාසය පිලිබඳ මායා ගණනය කිරීම්, නවීන තාරකා විද්‍යා උපකරණ හා දැනුම ඇසුරෙන් කළ ගණනය කිරීම්වලින් වෙනස් වන්නේ තත්පර දශම ගණනකින් පමණයි. නවීන තාරකා විද්‍යාඥයින්, ජ්‍යොතිශාස්ත්‍රඥයින්, භූ විද්‍යාඥයින් හා ගණිතඥයන් එකතුව කළ හැදෑරීම් මගින් දැනට මායා දිනදර්ශන තුනක ගණනය කිරීම්  වටහාගත හැකිව තිබෙනවා.
Teotihaucan පිරමිඩය 

මායා ශිෂ්ඨාචාරය ලෝක ඉතිහාසයේ දීර්ඝතම කලක් පැවතුණු ශිෂ්ඨාචාරයයි. ඉන් පෙර තිබු ඔල්මෙක් ශිෂ්ටාචාර උරුමයන් හා අදහස් අනුව යමින් බිහිව, වසර 3500ක් පැවති මෙහි තිබු දැවැන්ත නගරවල නටබුන් ගෝතමාලාවේ හා මෙක්සිකෝවේ දක්නට ඇත.
මායා අධිරාජ්‍යයක් නොවේ. ස්වාධින ජනපද 50කින් යුතු රාජ්‍යයකි. සෑම ජනපදයකටම ප්‍රධාන නුවරක් තිබු අතර, ඒවායේ විභූතිමත්, විසිතුරු ගෘහනිර්මාණ හා කලා ශිල්පවලින් අනූන පන්සල්, මාලිගා, පිරමිඩ ආදී ගොඩනැගිලි තිබුණා.  මායාවරු  කෘෂිකාර්මික කටයුතු සඳහා උපකාරවන හිරු, සඳු, වර්ෂාව මෙන්ම බඩඉරිඟු සඳහාද වූ දෙවියන් ගැන වගේම අද්භුත බලවේගත්, අපායත් විශ්වාස කර තිබෙනවා. සෑම ප්‍රධාන නගරයකම පිරමිඩ තනා තිබු අතර ඒවායේ මුදුනේ විවිධ දෙවිවරුන් උදෙසා වූ දේවාල තිබෙනවා. මායා පිරමිඩ  සියල්ලක්ම තරප්පු සහිත ඒවාය. ටෙයෝටිහෝකන් නගරයේ ඇති 'හිරුගේ දෙවොල' පිරමිඩය මිසරයේ ගීසාහි පිරමිඩයට ප්‍රමාණයෙන් සමානයි.

ගණිත ක්ෂේත්‍රයෙන් බැලුකළ මායාවරුන්ට රෝම, ග්‍රීක හා ඊජිප්තු ජාතිකයන්ට වඩා බෙහෙවින් වැඩි ප්‍රයෝගික දැනුමක් තිබු බව පැහැදිලියි. මායාවරුන් ශුද්ධ විද්‍යාවේ නිපුණයන් වුයේ බටහිර අනෙක් ජාතීන්ට වඩා වසර දහස් ගණනකට පෙරයි. බින්දුව අංකයක් ලෙස භාවිතා කළේ, යුරෝපා ජාතින් අරාබි උගතුන්ගෙන් එය දැනගන්නට වසර 1700කට පෙරයි. ගණිතය පිලිබඳ මහත් වූ දක්ෂතා තිබී ඇති අතර සංකීර්ණ ගණිත ගැටළු විසඳීමේ දක්ෂයෝ වුණා.

ඔවුහු ශාක කොටස්වලින් ලියන්නට හැකි පත්  නිපැයූ අතර, ඔවුන් විසින්ම වර්ධනය කරගත් ලේඛන ක්‍රම මගින් නොයෙක් දේ ඒවායේ ලියා තැබුවා. මේ අක්ෂර සංඛේත, මානව හා සත්ව රුප, දිව්‍යමය දේ, වියුක්ත මෝස්‌තර ඇතුලත් සංකීර්ණ ඒවාය. ඉලක්කම් සඳහා ද රුප සංඛේත භාවිතා කර තියෙනවා. කොළවලට අමතරව, ගල්කණු මත, සොහොන් මත, මැටි බඳුන් මත හා වහල වල පරාල මතත් සටහන් තබා තියෙනවා.

දැනට ලෝක ජනගහනයෙන් 60% අනුභව කරන ආහාර වර්ග මුලින්ම වගා කිරීමට පටන්ගත්තේ මායාවරුන්. බඩඉරිඟු, කජු, රටකජු, කොකෝවා, බෝංචි, වට්ටක්කා, බතල, දුම්කොළ, මිරිස්, අන්නාසි, කපු ඔවුන්ගේ ශෂ්‍ය වගාවන්ට අයත් වුණා. හාවන්, මුවන්, කලුකුමන් දඩයම් කර ඇති අතර ආහාර පිණිස තාරාවන් හා කලුකුමන් ඇතිකර තිබෙනවා.
මායා ඉංජිනේරුවන් ජලය රැස්කිරීමට, රඳවා ගැනීමට හා පෙරහන් කිරීමටත්, වසර පුරා කෘෂි කර්මාන්තයට හා පානයට ජලය පවත්වාගෙන යාමටත් දියුණු, උසස් තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කරගෙන තිබෙනවා. වැසිජලය ගබඩා කරගැනීමට විසල් භූගත ජලාශ සාදා තිබෙනවා. වගා කටයුතුවලදීත් වඩා උසස් කෘෂි ක්‍රම උපයෝගී කරගෙන තිබෙනවා.
ගැහැණු අය මැටි භාණ්ඩ නිර්මාණයත්, කපු හා සත්ව හම්වලින් රෙදි නිර්මානයත් කර තිබෙනවා.

ඔවුන් ජීවත්වුණ ප්‍රදේශවල ලෝහ නොතිබුනත්, යකඩ වලටත් වඩා ශක්තිමත්, තියුණු උපකරණ ගල්වලින් සාදාගෙන තිබෙනවා. උල්කාපාත වැටුණු තැන්වල ඇති ඝන පාෂාණ මේ සඳහා යොදාගෙන තිබෙන්නේ.
ඒ වනවිට දකුණු ප්‍රදේශයේ විසු සමහර ගෝත්‍ර ලෝහ උපකරණ භාවිතා කළත්, මායාවරුන් භාණ්ඩ හුවමාරුවෙන් ලද ලෝහ භාවිතා කර ඇත්තේ අලංකාරයටත්, මුදල් ලෙසත් පමණි.
ප්‍රදේශයේ තිබු ස්වභාවික සම්පත් උපයෝගී කරගෙන විවිධවූ දේ සිදුකර තිබෙනවා. හුණුගල් වලින් ගොඩනැගිලි නිර්මාණය හා හැඩගැන්වීමත්, හක්ගෙඩි, වර්ණවත් කුරුළු පිහාටු හා ජේඩ් ගල්වලින් ආභරණ හා විසිතුරු භාණ්ඩ නිපැයිමත්සිදුකර ඇති අතර, ලුණු ආහාර ලෙස හා භාණ්ඩ හුවමාරු ද්‍රව්‍යක් ලෙසත් යොදාගෙන තිබෙනවා.


දිගු වර්ෂා සමයන්හි මඩ පොළොවේ, කැලැ මැදින් යාම අසීරු නිසා නගර අතර ගමනාගමනයට පොළවෙන් අඩි තුනක් උස, අඩි 30ක් පළල ගල් ඇල්ලූ මාර්ග සාදා තිබෙනවා. Sacbs නමින් හඳුන්වන සුදු පාට මෙම පාරවල් 50ක් පමණ දැනට අනාවරණය කරගෙන තිබෙනවා. එක ජනගහන මධ්‍යස්ථානයක සිට තවත් මධ්‍යස්ථානයකටත්, බෙදාහැරීම් ස්ථානවලටත් භාණ්ඩ එහා මෙහා ගෙනගොස් තිබෙන්නේ මිනිස් දම්වැල් වලින්. මේ සඳහා සමාජයේ පහල ස්තරවල මිනිසුන් හා වහලුන්ව යොදාගෙන තිබෙනුයේ. අඩි 50ක් පමණ දිග ලීවලින් තැනූ පාරු ද භාණ්ඩ ප්‍රවාහනයට උපයෝගී කරගෙන තිබෙනවා. රෝද ගැන දැන සිටියත්, ප්‍රවාහනයේදී රෝද යොදාගත් බවට සාක්ෂි නැහැ.

යුරෝපින් ටයරය නිර්මාණයට බොහෝ කලකට පෙර, රබර් කිරි හා ශාක යුෂ මිශ්‍ර කර තැනු පොලාපනින බෝලවලින් මායාවරුන් ක්‍රීඩා කර තිබෙනවා. අත් භාවිතා නොකර, ඉඟ, කලවා හා බාහු භාවිතයෙන් සිදුකල පන්දු ක්‍රීඩාවක් ප්‍රචලිතව තියෙනවා. මිනිසුන් ක්‍රීඩා කර තිබෙන්නේ  I අකුරේ හැඩයට තැනූ සෙල්ලම් පිට්ටනිවලයි.
ක්‍රි. පූ. 300දී මායාවරුන් සිමෙන්ති නිෂ්පාදනය කර, ඒ ඇසුරින් තැනු ගොඩනැගිලි අදත් පවතිනවා. පැරණි ලෝකයේ දිගම එල්ලෙන පාලම මායා නිර්මාණයක්.

7වන සියවසේ, එනම් මායාවරුන්ගේ සම්භාව්‍ය යුගයේ කොටසක දී පාලකයා වූ යෝධයෙක් බඳු මහා පැකල් රජුගේ සොහොන වටා ඇති පිරමිඩයේ ගල් කැටයම් පිටසක්වල හා සබඳතා පැවතී බවට සාක්ෂි සපයන බවට සමහරු සැක කරනවා.

මායා ශිෂ්ටාචාරයේ බිඳ වැටීම ගැනත් විවිධ මත තිබෙනවා. ආහාර හිඟය වලක්වා ගැනීමට ගත් හදිසි කෘෂිකාර්මික පිළියම් වලින් පරිසරය විනාශ වීමත්, භුමිය අධි භාවිතයත්, ක්‍රි.ව. 750ත් 910ත් අතර පුරා වසර 150ක් පරම්පරා දෙකතුනක් පැවතුනු දිර්ඝකාලින නියඟය හේතුවෙන් ජනගහනයෙන් වැඩි කොටසක් මියයාමත් ප්‍රධාන හේතු ලෙස හිතන්නේ.
ඉන්පසු ඉතිරි වූ පිරිස් Yucatan නම් උස් බිම්වල තවත් වසර ගණනාවක් නගර ගොඩනංවාගෙන ජිවත්ව තිබෙනවා. ඒ යුගයේදී ආගමික පුජකවරු අතිනුයි පාලනය සිදුව තිබෙන්නේ. ඉතිහාස කතා, තාරකා ශාස්ත්‍රය  පිලිබඳ වගකීම් දැරූ, සුර්යග්‍රහණ, චන්ද්‍රග්‍රහණ ගැන අනාවැකි කීම පිලිබඳ ප්‍රවීණ අයයි පුජක තනතුරු දරා ඇත්තේ.
 ඒ යුරෝපිය ආක්‍රමණවලට පෙරයි. අහම්බෙන් ගොඩබට ස්පාඥ්ඥ ජාතිකයන් දේවාලවල තිබු වටිනා වස්තුන්ට ආශාවෙන් හා ආගම පැතිරවීමේ උවමනාවෙන් මායා  ප්‍රධානින් මරා දමා, පන්සල් පුළුස්සා විනාශ කිරීමෙන් පසු, ශේෂව තිබු යම් දැනුම් හා හැකියාවන් තව දුරටත් විනාශ වී ගියා. අදටත් මායා ගෝත්‍රිකයන් සමුහ ලෙස හා අන් ජාතින් හා මිශ්‍ර වී ජිවත්වුණත්, අතීතයේ දැනුම් සම්භාරය පවත්වා ගැනීමට තරම් කුසලතා සතු අය ඔවුන් අතර අඩුයි.

ඊළඟට බලමු :ඉග්ලු ගෙවල්වල ඉන්න එස්කිමෝවරු කවුද?

උදව්:
The Ancient Maya - Robert Sharer, Loa P. Traxler
www.livescience.com
www.ancient-code.com
www.crystalinks.com
www.history.com

Saturday 4 February 2017

@ සලකුණ ගැන බලමු

Image result for @ලිපින සලකුණ හෙවත් @ ලොව පුරා අන්තර්ජාල පැතිරීමත් සමග බහුල ලෙස භාවිතයට ගැනුනත් එය පරිගණක නිර්මාණයේ දී නිමැවූ සලකුණක් නොවේ. වසර සිය ගණනක් තිස්සේ විවිධ ආකාරයට භාවිතා වී පසුව යතුරු ලියනයටත්, පරිගණකයටත් ඇතුලත් වූ සංඛේතයකි.
මෙය වාණිජ හා ගණකාධිකරණ කටයුතු සඳහා කාලයක සිටම පොත්පත්වල උපයෝගී කරගෙන තිබේ. එහෙත් ටයිප් රයිටරවල යතුරු පුවරුවට මේ සංකේතය පැමිණ ඇත්තේ 1900න් පසුයි. පරිඝනක යතුරු පුවරුවල ආරම්භයේ සිටම තිබු මෙය, දැන් ජාත්‍යන්තර ඉලෙක්ට්‍රොනික සංඛේතයක් බවට පත්ව ඇත.

දැනට ඇති මුලාශ්‍ර අනුව @ ලකුණ භාවිතයේ ආරම්භය ගැන මත කිහිපයකි. මෙයින් එක මතයක් වන්නේ මෙම ලකුණ ආගමික එකක් බවයි. 1345 කොන්ස්ටන්ටිනෝ මොනාසෙස් විසින් ග්‍රීක භාෂාවෙන් ලියු වාර්තාවල බල්ගේරියා පරිවර්තනවල ආමෙන් වදනේ A අකුර වෙනුවට a රවුමක් කරකවා ලියා ඇත.
මාධ්‍ය කාලින යුගයේදී බයිබලය මිල අධික පැපිරස්වල පිටපත් කරද්දී වැඩි වාර ගණනක් එන at, toward, by, about යන වචන ඉලක්කමකට පසු ආවිට තීන්ත ඉතිරි කරගැනීමට මෙම සලකුණ භාවිතා කර ඇති බව මතයකි.
 වාණිජ කටයුතු සඳහා මෙය නිතර භාවිතා වී ඇතිබව පැරණි සටහන්වලින් පෙනී යයි. 1448 දී ස්පාඥ්ඥයේ තිරිඟු නැව්ගත කල සටහනක at the rate of යන්න කෙටිකර ලිවීමක් ලෙස @ හමුවී ඇත. ඉන්පසු බොහෝ භාණ්ඩ හුවමාරු සම්බන්ධ පොත්පත්වල මේ සලකුණ භාවිතා වී ඇති බවට සාක්ෂි ඇත.


නෝමන් ප්‍රංශ බසින් සඳහන් ගිණුම් පොත් හා ලෙජර සටහන්වල ද 1990 දක්වාම at වදන සඳහා @ ලියා ඇත.
ස්පාඥ්ඥ, පෘතුගීසි හා ඉතාලි ජාතිකයන් බර හා පරිමාව මනින ඒකකයක් විදියට යොදාගත් arroba නැතහොත් රාත්තල් 25ක බර කෙටියෙන් ලියා ඇත්තේ @ ලෙසයි. arroba මනින බුජම් (26L පමණ ) සම්මත ප්‍රමාණයක් ලෙස යොදාගෙන තිබෙනවා. මෙහිදීද සඳහන් කර ඇත්තේ @wine එනම්, ඇරෝබා ප්‍රමාණයක් වූ වයින් යන්නයි.

මෙලෙස වෙළඳ හා වාණිජ කටයුතු සඳහා දිගු කලක් භාවිතා වූ මෙම සලකුණ විද්‍යුත් ලිපින සඳහා යොදාගැනීමත් සමග ලොව පුරා කෙටි කලකින්ම ප්‍රචලිත විය. පරිගණකයේ ⇑ හා 2 එකවර එබීමෙන් ලබාගත හැකි @, ලිපින වලටද සිමා නොවී, පෘථුල ලෙස ව්‍යාප්ත වී, වෙනත් දේ සඳහා ද යොදා ගැනේ. 
අන්තර්ජාල සාකච්ඡ වලදී යොමු කරන තැනැත්තා පැහැදිලි කිරීමට @යොදා අදාල පුද්ගලයාගේ නම ලිවිම ඉන් එකකි. 
ට්විටර් වැනි පණිවිඩ හුවමාරු බ්ලොග්වල පොදුවේ කියවිය හැකි පිළිතුරු සඳහා භාවිතය ප්‍රචලිතය. @ සමග එන නම් ට්විටර් ID ලෙසද යොදා ගැනේ.
විවිධ programing language වල එකිනෙකට වෙනස් භාවිතයන්  සඳහා @ යොදාගනී.
සමහර වීඩියෝ ක්‍රීඩාවල පුද්ගලයෙක් වෙනුවට යොදාගනී. 
ක්‍රීඩා උළෙලක් ගැන දැනුවත් කිරීම් පෝස්ටර්වල කණ්ඩායම් දෙකක් එකිනෙකට එරෙහිව ක්‍රීඩා කරන බව දන්වන්නට යෙදෙන vs වෙනුවට යොදාගැනීම ඇමරිකාවේ දැන් සිදුවේ.
යම් ස්ථානයක් දැක්වීමට @ යෙදීම දැන් බහුලව දක්නට ලැබේ. @ Police Grounds, @ BMICH ආදී ලෙස.
කෙටි පණිවිඩ යවන විට at සහිත වචන සඳහා යොදාගැනීම බහුලය. @mosphere, @yr own rsk 
නවීන චිත්‍ර, වෙළඳ දැන්වීම් හා ගොඩනැගිලි මෝස්‌තරවල යොදාගත් අවස්ථා ඇත.
ටැටූ සලකුණක් ලෙස ද ජනප්‍රියය.
මෙම සලකුණට විවිධ භාෂාවලින් කියන නම් අතර විසිළු ස්වභාවයක් ඇති, සතුන්ට සම්බන්ධ නම් ද වේ.
ලන්දේසි භාෂාවෙන් apenstaartje -වඳුරු වලිගය
ඩෙන්මාර්ක් භාෂාවෙන් snabel  - අලි හොඬ
පින්ලන්ත බසින් kissanhnta - බළල් වලිගය
ජර්මන් බසින් klammeraffe - එල්ලී ඉන්න වඳුරා
හංගේරියානු භාෂාවෙන් kukac -පණුවා
කොරියන් බසින් dalphaengi - ගොලුබෙල්ලා
ග්‍රීක බසින් papaki - තාරා පැටියා
රුසියන් බසින් sobachka -බලු පැටියා
පුදුමයකට වගේ මේ ලකුණට අදටත් නිල ලෙස, පොදුවේ භාවිතා වන සම්මත නමක් නැත.


රසුදැල් හැඬවීමට උදව්:
http://www.atsymbol.com/history.htm
www.britannica.com/art
http://www.atsymbol.com
https://en.wikipedia.org/wiki/At_sign
https://www.vectorstock.com