Tuesday 30 May 2017

ප්‍රවේගකාරී වඩදිය රළ Tidal Bore : විශ්වයේ චිත්තකර්ශණිය සංසිද්ධි - 3

ගංගාවක් අසල සිටගෙන ඉන්නවිට එකවරම දැඩි රල පහරක් එක්ක මුහුද ගඟ දිගේ ආපස්සට ආවොත් කොහොම වෙයිද?  සන්සුන්ව ගලා යන ගඟ, හිතාගන්න බැරි විදියට විරුද්ධ පැත්තට ගලන්න පටන්ගන්න අවස්ථා පෘථිවි  තලයේ සිදුවේ. Tidal bore ලෙස හැඳින්වෙන මේ විශේෂ සංසිද්ධියේදී ඇතිවන ජලකඳ,  එය යන මාර්ගය දිගේ ඇති ඕනෑම දෙයක් විනාශ කිරීමට තරම් ප්‍රබල විය හැකිය. මෙය කිසිසේත්ම මුහුද ගොඩබිම වෙත එන සුනාමියක් නොවේ.


විද්‍යාඥයන්  පවා මේ දක්වා නිසි ලෙස හේතුවක් දැක්වීමට අපොහොසත්, නිසි ලෙස අවබෝධ කරගෙන නැති,  සන්සුන් ලෙස මුහුද දක්වා ගමන් කරන ගඟක සිට ක්ෂණිකව ඉතා ප්‍රබල ලෙස විරුද්ධ අතට ගලන රල පතරක් දක්වා වන වෙනසකි. ප්‍රවේගකාරී රළ රඳා පවතින්නේ ජල මට්ටමත්, ගංගාධාරයේ දිය බෙත්මත් මතයි. මෙය ඇත්තටම උදම් රළක්, ඒ කියන්නේ වඩදියක්. වඩදිය, බාදිය මුහුදට වැටෙන සැම ගංගාවකම පාහේ සිදුවුනත්, එය සිදුවන වේගය හා ප්‍රමාණය අනුව ප්‍රවේගකාරී වඩදිය රළ අනෙක් උදම්රල වලින් වෙනස් වේ. මෙහිදී  අති විශාල ශක්තිමත් උදම් රලක් ගඟක් දිගේ ඉහලට ඇදී ඒමයි සිදුවන්නේ.

සාමාන්‍ය වඩදිය මෙන් පුන් පොහෝ දිනවල සිදුවිය හැකි ප්‍රවේගකාරී වඩදිය රල ඇතිවීමට ගංගා මෝයේ පිහිටීම වැදගත්.  වඩදිය, බාදිය මට්ටම් අතර විශාල පරතරයක් තිබීම (එනම් අඩි 20ක පමණ පරතරයක් තිබීම) හෝ V හැඩති/ පුනිල හැඩති බොක්කක් තිබිම මෙම සංසිද්ධිය ඇතිවීමට අවශ්‍යයි. මෝය කට අසල නොගැඹුරු, කුඩා පහත් දුපත් සමුහයක් හා වැලි වැටි ඇති ඇමේසන් ගඟේ ද tidal bore ඇතිවේ.
මේවැනි පිහිටීම් ඇතිවිට  ජලය වේගයෙන් මුහුදට ගලාගෙන යන අතර, වඩදිය නිසා මුහුදු ජලය ගඟ දිගේ ඉහලට එයි. නමුත් සාමාන්‍ය වඩදියක් මෙන් මෙය කුමන මොහොතේ ඇතිවේදැයි අනාවැකි කිව නොහැකිය. ක්ෂණිකව නිර්මාණය වන ප්‍රවේගවත් වඩදිය, ගංගා ජලය ගලන දිශාවට විරුද්ධ දිශාවට වේගයෙන් ගමන් කරන්නට පටන් ගනී. එහි ශක්තිය අවසන් වනතුරු 100 km ට වඩා දුරක්, පැය ගණන් වුවත් ගමන් ගත හැකියි. මෙම රල සුනාමියක් මෙන් ගස්ගල්, වාහන පෙරලාගෙන , කිඹුලන්, පිරානා මසුන් පවා ඇදගෙන දෙපස ගොඩබිම් වුවද ආක්‍රමණය කරන අවස්ථා ඇත. වඩාත්ම ශක්තිමත් ප්‍රවේගකාරී රල පැමිණෙන්නේ අගෝස්තු මස පසළොස්වක දින බවයි චීනයෙන් වාර්තා වෙන්නේ. එදිනට දස දහස් ගණන් මිනිස්සු මෙය දැක ගැනීමට රොද බැඳ සිටිති.
2014 අගෝස්තු මස චීනයේ Qiantang ගඟේ දියරල නරඹන්නන් යටකරගෙන
සිමා ඉවුරු පැනගෙන ආ දර්ශනය 
 පැරිසියේ සීනේ ගඟේ සිදුවූ  8' -10' උස රළපහර සහිත වඩදිය රැලෙන් නැව් කැඩී බිඳී ගිලී යාම්ද වාර්තා වුණා. ප්‍රංශයේ මෙන්ම එංගලන්තය, කැනඩාව, බ්‍රසීලය, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, චීනය, මලයාසියාව වැනි රටවල් 22ක ගංගා 78ක පමණක් සිදුවන මෙම අපුර්ව සංසිද්ධියේ තවත් විශේෂයක් වන්නේ දැකීමට පෙර ශබ්දය ඇසිය හැකි වීමයි. මිනිත්තු එකහමාරක මේ වීඩියෝව බලන්න.

"වාෂ්ප දුම්රියක් ළඟ ළඟම එනවා වගේ මුලින් ඇහුනා.එක පාරටම අඩි පහක් විතර උස ජලකඳක් පෙනෙන්න ගත්තා.. එය ක්‍රමයෙන් විශාල වෙමින් අඩි 9ක් උසට මුලින් දැක්ක වගේ දෙගුණයක් උසට අපි හිටපු දිහාවට ආවේ.." බ්‍රිතාන්‍යයේ සිදුවූ tidal bore එකක් ගැන විස්තර කරමින් ජල ක්‍රීඩාකරුවෙක් වන ස්ටීව් කිංග් පවසා ඇත.
ප්‍රචණ්ඩකාරී රල නිසා ගංගාවේ වර්ණය නිල් හෝ කොළ පාට සිට ක්‍රමයෙන් බොර පාට වේ. අවට ගස්කොලන් උදුරාගෙන යාම නිසා එහි ක්‍රීඩා කරන අයට හා ගංගාව භාවිතා කරන අයට අනතුරුදායක විය හැකිය. රළ බැස ගිය පසු රල දිගේ ඉහලට ආ මසුන් සමහරක් මෙන්ම, ගංගාවේ ජීවත්වූ කරදියට ඔරොත්තු නොදෙන මසුන්ද මියගොස් ඉවුරු දිගේ ගොඩ ගසයි.

මෙම විනාශකාරී රල නිසා සතුටුවන අයද දුලභ නොවේ. එයින් වැඩි කොටසක් උදම් රල විනෝදය පිණිස නරඹන අයයි. ප්‍රවේගකාරී රල මත සර්ෆ් ක්‍රීඩාවේ යෙදෙමින් රලෙහි ශක්තිය නිමවනතෙක් ඒ සමග ගමනේ
යෙදෙන්නට ප්‍රියකරන කණ්ඩායම තවත් කොට්ටාශයකි.
වඩදිය රල පසුපසින් ඇදී එන මසුන් ශුර ලෙස ගිලදමන උකුස්සන් කිඹුලන් වැනි මත්ස්‍ය භක්ෂකයන් අනෙකුන්ය.




-බුද්ධිනී රුහුණුහේවා
උදව්:The Most Fascinating Phenomena : S. Buskermolen
www.theatlantic.com
www.bayoffundy.com
www.nationalgeographic.org




Saturday 20 May 2017

ලංකාවට කාසි හදන තැන Royal Canadian Mint

අපි එදිනෙදා පරිහරණය කරන්නේ එකම ප්‍රමිතියෙන් යුතු, එක බඳු ලෝහවලින් සෑදු, එක්‌ බඳුම කාසි. විවිධ වටිනාකම්වලින් යුතු ඒවා එකිනෙකින් සුවිශේෂ ලෙස වෙනස් වියයුතු මෙන්ම එක වර්ගයේ කාසි එක සමාන විය යුතුයි.මේ සියලු තත්වයන් රැකගෙන බාහිර පුද්ගලයන්ට නිෂ්පාදනය කළ නොහැකි විශේෂ කලාවක් හා ශිල්ප රටාවක් ඇතිව මේ කාසි හදන්නේ කොහෙද?
ලංකාවට පමණක් නොව ලෝකයේ රටවල් 88කට අවශ්‍ය එදිනෙදා සංසරණය සඳහා  කාසි බිලියන ගණනක් නිපදවන්නේ කැනඩාවේ රෝයල් කැනේඩියන් මින්ට් Royal Canadian Mint නම් ආයතනයේයි.
Mint ආයතනයේ  කාසි නිෂ්පාදන පරිශ්‍ර දෙකක් පවතියි. එකක් ඔන්ටරියෝ ප්‍රාන්තයේ ඔටාවා අගනුවර තිබෙන අතර අනෙක මැනිටෝබා ප්‍රාන්තයේ විනිපෙග් නුවර පිහිටා ඇත.
ඔටාවා පරිශ්‍රය 
මුලින්ම ඉතිහාසය බලමු.
කැනඩාවට අවශ්‍ය කාසි නිපදවූයේ එංගලන්තයේදීය. එහෙත් වෙනම රටක් ලෙස ස්ථාපිත වූ පසු තමන්ගේම කාසි නිෂ්පාදනය උදෙසා 1908 ජනවාරි 2දා එංගලන්තයේ රෝයල් මින්ට් හි ශාඛාවක් ඔටාවා නුවර පිහිටවීය. මෙහි මුලින්ම නිපදවූයේ එවක රජකළ හත්වන එඩ්වඩ් රජුගේ රුව රැගත් සත පනහේ කාසියකි. 
කැනඩාවේ ප්‍රදේශවල රන් ආකර සොයගැනීමෙන් පසු රත්‍රන් පිරිපහදු කිරීමත් මේ පරිශ්‍රයේම ආරම්භ කෙරුණි.
1911 දී ජෝජ් රජුගේ හිස සහිත රන්කාසි 256 000ක් නිපදවිනි.
1931දී මෙම ආයතනය බ්‍රිතාන්‍යයෙන් ස්වාධීනව රෝයල් කැනේඩියන් මින්ට් ලෙස නම් කෙරුණි.  නවතම රන් පිරිපහදු අංශය ඉදිරි වසර ගණනාවකට එන ඉල්ලුමට  සරිලන සැපයුමක් දීමට හැකිවන ලෙස පුළුල් කරන ලදී. 
1935 ජෝජ් රජුගේ රිදී ජුබිලිය සැමරීම උදෙසා පළමු රිදී ඩොලරය නිෂ්පාදනය විය.
1949 සිට යුධ විරුවන්ට පිරිනැමීම උදෙසා පදක්කම් නිපදවීම ඇරඹුනි.
1982දී ලෝකයේ සුපිරිසිදුම රන් (9999) නිෂ්පාදනය කළ මුල්ම ආයතනය බවට පත්වීමට හැකිවිය.
විනිපෙග් නුවර Mint පරිශ්‍රය . ශ්‍රීලංකා කොඩිය හඳුනාගන්න.
70 දශකය වනවිටත් කැනඩාවේ පරිහරණය කරන සමහර කාසි නිපදවුනේ ඇමරිකාවෙයි. සියලුම කාසි එකතැනක නිපදවීම සඳහාත්, අනෙක් රටවල සංසරණය වන  කාසි නිපදවීම සඳහාත් විනිපෙග් පරිශ්‍රය 1976දී පිහිටවන ලදී.

මෙම ආයතනය පාලනය වන්නේ කොහොමද?
මින්ට් ක්‍රියාත්මක වෙන්නේ රජයට අයත් වානිජ්‍ය සංස්ථාවක් commercial crown corporation  ලෙසයි . රජයට අයත් වුවත් මධ්‍යම රජයෙන් දුරස්ථ භාවයකිනුයි ක්‍රියාත්මක කරනු ලබන්නේ. රජයත් සංස්ථාවත් අතර සම්බන්ධතා පුරුක ලෙස ක්‍රියා කරන්නේත්, වගකීම දරනු ලබන්නේත් මුදල් ඇමතිවරයා ය.

විවිධ කාසි හදන්නේ කොහොමද?
මෙය සිදුවන්නේ පියවර කිහිපයකින්. රන්, රිදී කාසි මෙන්ම එදිනෙදා භාවිතා කරන කාසිද නිපදවීමේදී අනුගමනය කරනු ලබන්නේ එකම පියවර ය.
1. Blank ලෙස හැඳින්වෙන අකුරු නොකෙටු හිස් ලෝහ රවුම් නිපදවීම
  හර ලෝහය දිග පටි ලෙස ඔතන ලද රෝල ලෙසයි එන්නේ. අති විශාල වූ මෙම රෝලවල ඝනකම කාසියේ ඝනකමට ආසන්නය. රෝල දිගහැර ඉහල ධාරිතාවයකින් යුතු විදුම් යන්ත්‍රයකට යවයි.
අදාළ කාසියේ ප්‍රමාණය කපන්නේ මෙහිදීය. සාමාන්‍යයෙන් එම යන්ත්‍රයෙන් විනාඩියකට කාසි 13000ක් පමණ කපනු ලබයි. නිසි ලෙස නොකැපුනු කාසිත් ඉතිරි ලෝහ කොටසුත් ප්‍රතිචක්‍රිකරණයට යොමු කෙරේ.
2. කැපුණු කාසි පිරිසිදු කිරීම හා අග රවුම් කිරීම
රළු කෙලවර ඇත්නම් ඒවා සකසා පිරිසිදු කිරීම හා වටේ ගැටියක් ඇතිකර රවුම් කිරීමත් තරමක් රත් කිරීමත් (annealing )සිදු කරයි.
3. ආරක්‍ෂිත තත්වය වැඩි දියුණු කිරීම 
Mint හි ඇති උසස්තම ලෝහාලේපන තාක්ෂනය උපයෝගී කරගෙන blank වල නිකල්, තඹ වැනි අදාළ ලෝහය ආලේප කරයි. ඕනෑම සම්ප්‍රදායික ලෝහ කාසියකට සරිලන ලෙස ඔවුන්ගේම වූ ස්ථර ලෝහාලේපනය නිසා කාසිවල ආරක්ෂාව ඉතා ඉහල මට්ටමකින් තහවුරු වේ.



4. තත්ත්ව හා ප්‍රමිති පරීක්ෂණය 
ලෝහාලේපනයෙන් පසු වියලා, ඔප දැමීමෙන් අනතුරුව විශේෂිත කැමරාවකින් තවමත් blank තත්වයේ පවතින කාසි සූක්ෂ්ම නිරීක්ෂණයකට ලක් කරයි. මතුපිට බුබුළු ස්වභාවය ඇත්ද,  මට්ටම එක ලෙස පවතීද, වර්ණ වෙනස්කම් ඇත්ද ආදිය මෙතනින් පරික්ෂා කෙරේ. 
5. කාසියට අදාළ මුද්‍රණ සිදු කිරීම 
කිසිදු රටක එකම කාසි මෝස්තරය දීර්ඝ කාලීනව භාවිතා කරන්නේ නැත.(රුපියල වුවත් කලින් කලට මෝස්තරය, වර්ණය ආදිය වෙනස් වේ.) වෙනස්වන මෝස්‌තර රටා ඇතුලත් කාසිය අදාළ රටේ අනුමැතිය ලැබුණු පසු යන්ත්‍රවලට යොමු කරයි. අති  නවීන අධිවේගී මුද්‍රණ යන්ත්‍ර මගින් කාසියේ දෙපස අදාළ අකුරු හා ලාංඡන මුද්‍රණය සිදුකෙරේ. තත්පරයකට කාසි දෙකක් තරම් වේගයකින් මුද්‍රණය කිරීමේ හැකියාව ඇත.
නැවත පරික්ෂාවට ලක්වන කාසි ගණක යන්ත්‍රවලට යොමු කෙරෙන අතර, යම් දෝෂ ඇති කාසි ප්‍රතිචක්‍රීකරණය පිණිස යැවේ. 
නිසිලෙස නිමැවූ කාසි නියමිත සංඛ්‍යාවක් බැගින් රෝල් ලෙස ඔතා, විශේෂිත ලෙස අසුරා ආරක්‍ෂිත සේප්පුවල දමා ලොව පුරා මුල්‍ය ආයතන වෙත යොමු කෙරේ.
 සමහර සමරු කාසි ඉල්ලීම් පරිදි මිනිස් අතින් කැටයම් කරන අවස්ථා ඇත. එවැනි කාසි මිලෙන් අධිකය.
මෙම ක්‍රියාවලිය සිදුවන අතරතුර කිසිදු ලෝහ කොටසක්වත් කුඩු ලෙස හෝ අපතේ නොයන පරිදි සියලු ආරක්ෂක විධි විධාන යොදවා ඇත.

ඔටාවා පරිශ්‍රයේ නිපදවන්නේ රන්, රිදී, ප්ලැටිනම් වැනි වටිනා ලෝහ කාසි, පදක්කම්, සැමරුම් කාසි ආදිය පමණයි. 
මේ පරිශ්‍ර දෙකම අධිකතර ආරක්ෂා යටතේ පැවතුනත්, මහජනයාට නැරඹීම සඳහා පහසුකම් සපයා ඇත. මග පෙන්වන්නෙක් යටතේ මිනිත්තු 45ක කුඩා කණ්ඩායම් චාරිකාවේදී යන්ත්‍ර පවතින තලයට ඉහලින් වීදුරුවලින් ආවරණය වූ කොරිඩෝ මතින් ඇවිද යමින් කාසි සැදීමේ කලාව හා එහි විද්‍යාත්මක ස්වභාවය නැරඹීම හා විස්තර ලබාගැනීම කල හැකිය. චාරිකාවේදී පින්තුර ගැනීම, වීඩියෝ කිරීම සපුරා තහනම්ය. දඬුවම් ලැබිය හැකි වරදකි. 
චාරිකාවට සුදානම් වන අතරතුර ඩොලර් ලක්ෂ 7ක් වටිනා සුපිරිසිදු රන් කුට්ටියක් අතගා බැලීමට හා එසවීමටද අවස්ථාව ලැබේ. සමරු කාසි මිලට ගැනීමේ මධ්‍යස්ථානයක් ද ඇත.

මෙම පරිශ්‍ර වල නිමැවූ විශේෂිත කාසි හා පදක්කම් පිලිබඳ විස්තර 
* තාක්ෂණයෙන් ඉහලම තත්ත්ව යටතේ එකම පියවරකින් නිමවූ ලොව පළමු ත්‍රිමාණ පෙනුම  සහිත කාසිය නිපදවීම -1999

ලොව පළමු වර්ණ සහිත එදිනෙදා භාවිතා කරන කාසිය නිපදවීම -2004
  යුද්ධයෙන් මියගිය සොල්දාදුවන් සිහිකිරීම උදෙසා රතු පොපි මලක් මෙහි මුද්‍රණය කර ඇත.

*දැනට ලෝකයේ තිබෙන වැඩිම වටිනාකම සහිත කාසිය නිපදවීම - 2007. 
99.999% ක් පිරිසිදු  දඹ රනින් නිපදවූ 100kg බර මෙම කාසිය ලොව විශාලතම රන් කාසිය ලෙස ගිනස් පොතටත් එක්ව ඇත. සංසරණ වටිනාකම ඩොලර් මිලියනයකි. එවැනි කාසි නිපදවූයේ පහක් පමණි. ඉන් එකක් කැනඩාවේ කෞතුකාගාරයක තබා ඇත.   

* ඩිජිටල් මුදලක් ලෙස mint chip නිපදවීම -2012

* 2010 කැනඩාවේ පැවැත්වුණු Winter Olympic හා Winter පැරාලිම්පික් සඳහා RCM හි නිර්මාණය වූ පදක්කම් මගින්  ඔලිම්පික් පදක්කම්වල සැබෑම වෙනසක් ඇති කෙරුණි.
- සෑම පදක්කමක්ම 500g ට වඩා බරින් යුතුවීම හා ඔලිම්පික් ඉතිහාසයේ බරම පදක්කම් වීම
- පදක්කම් මෝස්‌තර එකිනෙකින් වෙනස් ය. කිසිදු පදක්කම් දෙකක් එක බඳු නොවේ. අද්විතීය මෝස්‌තර මගින්  එක් එක් ක්‍රීඩකයාගේ ඉසව්ව හා ජයග්‍රහණය නිරුපනය විය.
- පදක්කම් රවුම් නොවුවා පමණක් නොව එකම තලයක නොපිහිටිම. එනම්, රැලි සහිත වීම. මෙයින් මුහුදු රල, කඳු හා වැටෙන හිම නිරුපනය කෙරුණි.
බ්‍රේල් සහිත පදක්කමක් 
- පදක්කම් නිපදවීම සඳහා  ප්‍රතිචක්‍රීකරණය කරන ලද ලෝහ  යොදා ගැනුනි.
- පැරාලිම්පික් පදක්කම් පිටුපස බ්‍රේල් අකුරුවලින් ලියා තිබීම
-පදක්කම මලකෑම වැලැක්වීම සඳහා විනිවිද පෙනෙන ආලේපයක් කර තිබීම.
-මෙම පදක්කම් සියල්ල puzzle එකක කොටස් ලෙස නිමවා ඇත. ශීත ඍතු ඔලිම්පික් පදක්කම් සියල්ල එකතු කළහොත් විශාල ඔර්කා තල්මසකුගේ රුපයක් ලැබේ. පැරලිම්පික් පදක්කම වලින් ලැබෙන්නේ රේවන් නම් පක්ෂියායි. එනම්, එකිනෙක පදක්කමේ සත්වයාගේ  රුපයේ කොටසක් ඇත. ආදිවාසී කලාවන් ඇසුරෙන් කළ මේ චිත්‍ර අතින් නිමවිය. සියල්ල එකතු කර රුපය සාදා ගැනීමට ජයග්‍රාහකයන් සියලු දෙනා එකතුවිය යුතුය.

රෝයල් කැනේඩියන් මින්ට් ආයතනය ප්‍රතිචක්‍රීකරණය පිලිබඳ අවධානයක් දක්වයි. කාසි ප්‍රතිචක්‍රීකරණය  ලෙස අදහස් දෙකක් මතු වේ. කැට, බෝතල්, ලාච්චු තුල එකතුකරන මුදල් සංසරණයේ යෙදවිම එකකි. එවිට අලුත් මුදල් මුද්‍රණය කිරීමේ අවශ්‍යතාව අඩු වේ. භාවිතා කල නොහැකි හෝ භාවිතයෙන් ඉවත්කරන ලද කාසි නැවත කාසි සැදීමට යෙදවීම අනෙකයි. මෙම කාසි ලබාගන්නා ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානවලට භාරදී, ඒ වටිනාකමට අලුත් මුදල් ලබාගත හැකිය. (සත 50 පැරණි කාසියකට අලුත් සත 50)

නියමිත කාලයක් තුල නිපදවූ කාසි ප්‍රමාණය, පැරණි කාසිවල වටිනාකම තිරණය වීමට බලපායි. මුද්‍රණය වුයේ අඩු ප්‍රමාණයක් නම් ඉල්ලුම වැඩිය. පසු වටිනාකම ඉහල යයි. කාසියක ඉතිහාසය, නිර්මාණ ශිල්පය හා මෝස්තරය අවබෝධ කරගැනීමට එහි භෞතික විස්තරාත්මක ව්‍යුහය වැදගත් ය.
ගුණාත්මකභාවය, ශිල්පිය නිපුනතාව හා නව නිර්මාණාත්මක නිපැයුම් අතින් ලෝකයේ වඩාත්ම ගෞරවයට පත්‍ර වූ නිර්මාණ ආයතනයක් ලෙස රෝයල් කැනේඩියන් මින්ට් ඉදිරියෙන්ම සිටියි.
උදව්:
චාරිකාවේදී පැහැදිලි විස්තර සැපයු මගපෙන්වන්නා
 Mint නරඹන්න යෝජනා කළ හේමා නිශ්ශංක සොයුරා 
Coins from the Royal Canadian Mint -2017
www.mint.ca
සමහර පින්තුර අන්තර්ජාලයෙනි.

Friday 12 May 2017

මිරිඟුව Mirage: විශ්වයේ චිත්තාකර්ෂණිය සංසිද්ධි 2

-"මිරිඟුව දක්වා නෙතුයුග රවටා"
"මිරිඟුව නලියන පාර දිගේ.."
"කවදත් නොලැබෙන මිරිඟුව ඒකයි .."ඕනෑ තරම ඒ සම්බන්ධ ගී, කවි අසා ඇති මිරිඟුවත් විශ්වයේ අපුර්ව සංසිද්ධියක්.
අතීතයේ කාන්තාරවල ගමන් කළවුන්ගේ දෙනෙත් රැවටු, වැලි තලාවල මුවන් රැවටෙනවයයි කියන මේ මිරිඟුව මිත්‍යාවක් හෝ මනකල්පිතයක් නොවේ. අදටත් සමතල පාරවල ගමන් කරන අයත් අත්විඳින දෙයක්. ඉතා දිග ගමන්වල යෙදෙන අයගෙන් නිතර අසන්නට ලැබෙන නිසා හිතේ මැවෙන දර්ශන (hallucination) ලෙසත් සමහරු හිතනවා. මොකද ඒ අය අධික වෙහෙසින් යම් නිදහසක් ලබන්නට බලාගෙනම ඉන්න නිසා.
ඒත් මෙය භෞතික විද්‍යාවෙන් පැහැදිලි කළහැකි සංසිද්ධියක් මිස දෘෂ්ටි මායාවක් නොවේ. ඕනෑනම් චායාරුප ගත කරන්නත් පුළුවන්.



ඇත්තටම සිදුවන්නේ පොලව ආසන්නයේ ඇති වායු ස්ථර විවිධ උෂ්නත්වයන්ට රත්වීම නිසා ආලෝකය ගමන් කරන දිශාව වෙනස් වී ගමන් කිරීමයි . මෙය වර්තනය ලෙස හැඳින්වෙන්නේ.
 පැන්සලක් වතුර වීදුරුවක් තුලට දැමුවිට අපට එය නැවි ඇතිලෙස පෙනෙන්නේ වර්තනය නිසයි.


ජලය මත මිරිඟුව ඇතිවීමට හේතුව ජලයත්, වාතයත් අතර සීමාවේදී ආලෝකය හැරී ගමන් කිරීමයි.

කාන්තාරවල හෝ අධික උණුසුම් දිනවල රත්වූ පාරවල මිරිඟුව ඇතිවන්නේ රත්වූ පෘෂ්ටයට කෙලින්ම මතුපිටින් ඇති වාතය  රත්වීම නිසයි. ඊට ඉහලින් ඇති සාපේක්ෂව සිසිල් වාතය තුලින් උණුසුම් වාතය තුලට ආලෝකය ගමන් කිරීමේදී වර්තනය වේ. (නැමේ). මෙහිදී වාත ස්ථර දෙක එකම මාධ්‍යය වුවත් එක් බඳු මාධ්‍ය ලෙස ක්‍රියා නොකරයි. මේ වර්තන කිරණයේ මාර්ගය U හැඩයක් ගනියි.
අපගේ ඇස (මොලය) මෙය අහසින් එන ආලෝක කිරණ වර්තනය ලෙස නොව පොලව මතුපිට ඇති දෙයකින් එන ලෙස දකියි.   වාහනයක යනවිට හෝ පයින් ගමන් කරන විට අප පොලව දෙස බලන්නේ කුඩා කෝණයකින් නිසා ඇස වක්‍ර මාර්ගයෙන් එන කිරණයි  හඳුනාගන්නේ.                   

Photo is loading

කලින් ලිපියේ සඳහන් ගී ගයන කඳුවැටි දුර්ලභ වුවත්, එය මිනිස් ජිවිතවලට මිරිඟුව තරම් බලපෑම් එල්ල කර නැහැ. මිරිඟුව නිසා සතුන් පමණක් නොව අතීත දේශ ගවේෂකයෝ, සංචාරකයෝ මුලාවට පත් වී තිබෙනවා. අධික වෙහෙසින් යුතුව ජලය සොයා යාමේදී මිරිඟුවට රැවටුණු අය අපමණයි.
1818දී බ්‍රිතාන්‍යයේ සිට වයඹ දිගින් අත්ලන්තික් හා පැසිෆික් සාගර සම්බන්ධ වන මාර්ගයක් සොයමින් ගිය ජෝන් හා ජේම්ස් රොස් ග්‍රීන්ලන්තයත්, බැෆින් බොක්කත් අතර ඔවුන්ගේ මාර්ගය අවහිර කරමින් නැගුන කඳු පෙළක් දුටහ 1863දීද රොබට් පියරි නැවත ඒ මග ඔස්සේ ගොස් ජලය මත ඇති මේ කඳු පෙළ දැක වයඹ දිග මාර්ගයක් (Northwest passage) සෙවීම පලක් නොවන බව පවසා වෙනත් මාර්ගයකට යොමු වුහ.

Photo is loading

1913දී ඩොනල්ඩ් මැක්මිලන් ක්රෝක්ර් බිම සොයාගෙන යාමේදී පෙර වාර්තාවී තිබු ස්ථානයට 300km බටහිරට වන්නටත් කඳුපෙලක් ඇතිබව දුටුවේය. ඉර බසින තෙක් නොකඩවා එදෙසට යාත්‍රා කල ඔවුන් දුටු දසුනින් මවිතයෙන් ගල්ගසුනි. එකවරම කඳුපෙළ නොපෙනී ගියේය. එනම්, වයඹ දිග මාර්ගයක් සෙවීමට බාධකයක් ලෙස දවල් කාලයේ දුටු කඳුපෙළ මිරිඟුවකි.

උදව්:
www.physicsclassroom.co
www.planet-science.com
classes/met130