Showing posts with label කාසි කතා. Show all posts
Showing posts with label කාසි කතා. Show all posts

Monday, 26 March 2018

කාසි වාසි - නමත් ලේසි

සාමාන්‍යයෙන් ඕන රටක කාසිවලට හෝ නෝට්ටුවලට ඒ කාසියේ හෝ නෝට්ටුවේ වටිනාකමනේ කියන්නේ. සත පනහේ කාසිය නම් සත පනහ කියනව. රුපියලේ කාසියට රුපියල කියනව. එක අතකට වෙන මොනවා කියන්නද? ඒත් කාසි වලට හුරතල් නම් දීල ඒවායින් කතා කරන රටක් දන්නවද?
.
.
.🇨🇦️
හ්ම්.. කැනඩාව තමයි.  🇨🇦 ️🇨🇦
ආව දවස්වල හොල්මන් වගේ.. කාසි අඳුරන්නේ නැතිව මදිවට ඒවාට කියන නම් හොයාගන මතක් තියාගන්නත් එපායැ.
එහෙම වෙනත් නම් කියන්න පටන්ගත්තේ ඇයි කියල හරියටම හේතුවක් හොයාගන්න බැරි වුනත් කියන අන්වර්ථ නම් බැලුවම යම් හේතුවකුත් තියනව.

ළඟදි භාවිතයෙන් ඉවත්වුණු සතයේ කාසියට කියන්නේ Penny කියල. එංගලන්තයේ විදියටයි ඒ.  කාසිය අයින් කරන්න වුණේ ඒක තඹ වලින් මුද්‍රණය කරන්න යන වියදමට සරිලන වටිනාකමක් නැති කමයි, භාණ්ඩවල මිල $ 2.99 වගේ දාන එකෙන් වලක්වන්න කියලයි කිව්වේ. එක කාසියක් මුද්‍රණය කරන්න සත විස්සක් යනවලු. මේ වගේ හේතුවක් නිසා ලංකාවේ සත පහේ හතරැස් තඹ කාසිය අයින් කළේ.  වැඩකට නැති පෙනී කාසිය හින්ද නිරපරාදේ ලාච්චු පිරෙනවා කියලත් මහජනයා පැමිණිලි කලාලු. භාවිතයෙන් අයින් කරන්න අවුරුදු දෙකකට පෙර මුද්‍රණය නවත්තල, ඊළඟ අවුරුද්දේ බෙදාහැරීම නැවැත්තුවා. ජනතාවට දැනුම්දීල 2013 පෙබරවාරි 4 වෙනිදා ඉඳන් බෙදාහැරීම නතර කළේ. තමන් ළඟ තියන සතේ කාසි මුල්‍ය ආයතනයකට දීල ඊට සමාන මුදල් ලබාගැනීමේ පහසුව සැලසුවා. සම්පුර්ණයෙන් භාවිතයෙන් ඉවත්වෙන්න තවත් අවුරුදු තුනක් ගතවුණා. සියලු මිල ගණන් අසන්න සත පහට වටයන්න කිව්වත් තාම මිල ගණන් සතේට ප්‍රදර්ශනය නම් තියනව.


මේ අනුව දැනට භාවිතා කරන අඩුම වටිනාකම තියන කාසිය සත පහ. ඒකෙ සුරතල් නම Nickel. නිකල් කියන්නේ ලෝහයක්නේ. ඒ ලෝහයෙන් තමයි මේ කාසිය හදන්නේ. කැනඩාවේ නිකල් නිධි තියනව. මේ කාසියේ එක පැත්තක බිවරයා කියන සතෙක් ඉන්නේ. අනිත් පැත්තේ ඉතින් සුපුරුදු පරිදි රටේ රාජාණ්ඩු නායිකාව එලිසබෙත් රැජිනගේ පින්තුරේ.

ඊළඟ වටිනාකම තියන කාසිය Dime ඩයිම් කියන අන්වර්ථ නමින් හඳුන්වන සත 10. ඇමරිකාවෙත් සත දහයට ඩයිම් කිව්වත් එයාලගේ කාසියේ මුද්‍රණය කරලා තියෙන්නේ ඒ නමමයි. කැනඩා කාසියේ 10 cents කියල තියෙන්නේ. ප්‍රමාණයෙන් කුඩාම කාසිය වෙන මෙහි එක පැත්තක sail boat නමින් හඳුන්වන රුවල් ඔරුවක පින්තුරය තියෙන්නේ. ඩයිම් එක හදන්නෙත් නිකල්වලින් නිසා ඒකත් නිකල් රිදී පාටයි.


අපේ රටේ වගේම සත 25 තමයි ඊළඟ වටිනාකම තියන කාසිය. ඒකට කියන්නේ කාල කියන තේරුම තියන Quarter කියන නමයි. ඩොලර් එකෙන් හතරෙන් එකයිනේ වටිනාකම. ඒ කාසියේ රැජින නැති පැත්තේ තියෙන්නේ කැරිබු කියන කැනඩාවේ ජීවත්වෙන මුවෙක්ගේ හිස. නිකල් වලින් හදන්නේ මේ කාසියත්. සත පහේ කාසියට තරමක් ප්‍රමාණයෙන් සමානයි.

සත පනහේ කාසියක් වරින් වර මුද්‍රණය කළත් එය එතරම් භාවිතයේ පවතින කාසියක් නෙමෙයි. ඒ ගැන කවුරුත් කතා කරන්නෙත් නැහැ. ඒකට විශේෂ නමකුත් නැහැ.
ඒ නිසා සත විසිපහට පස්සේ සාමාන්‍ය භාවිතයේ පවතින්නේ සත සියයක් වටිනා ඩොලර් එකේ කාසියයි. ඩොලර් එක නොකියා ඒකට කියන්නේ Loonie කියල. එහෙම කියන්න හේතුව කාසියේ ඉන්න කුරුල්ලා. Loon කියන කුරුල්ලා වතුරේ පීනන පින්තුරයක් තියෙන්නේ එක පැත්තක. නිකල් හා තඹ මිශ්‍රණයකින් හදල තියන නිසා රත්රන් පාටට හුරු පැහැයක් තියෙන්නේ. තරමක් විශාල වගේම අනිත් කාසි වලට වඩා බරයි.
කාසියේ ඉන්න කුරුල්ලෙක්ගේ නමින් කාසිය හැඳින්වීම හරි අමුතුයි නේද?


 මීළඟ හා වැඩිම වටිනාකම තියන සංසරණයේ පවතින කාසිය ඩොලර් දෙකේ කාසියයි. ලෝහ දෙකකින් හදල තියන ඩොලර් දෙකේ කාසිය මැද කුඩා රවුම තඹ 92%ක්, ඇලුමිනියම් හා නිකල් සුළු ප්‍රතිශතයක් අඩංගු ලෝහ මිශ්‍රණයකින් හදල තියෙන්නේ. වටේ රිදී පාට රවුම තනිකරම නිකල් වලින් හදන්නේ. අනිත් කාසිවලට වඩා විශාලත්වයෙනුත්, බරිනුත්, ඝනකමිනුත්  වැඩියි.  මැද රන්පාට රවුමේ පෝලර් වලහෙක්ගේ පින්තුරයක් තියෙන්නේ. අනිත් පැත්තේ සුපුරුදු ලෙස රැජින.
මේකට කියන නමනේ වැඩේ. Toonie. ලූනි දෙකක්නේ. ඒ හින්දලු ටූනි කියන්නේ.
මෙතැනින් එහා වටිනාකම් වලට කාසි නැහැ. නෝට්ටු භාවිතා වෙන්නේ.
මේ කාසි හැම එකේම රැජින ඉන්න පැත්තේ රැජිනගේ නමයි D. G. Regina කියලයි තියනව දකින්න ඇතිනේ. එකෙන් අදහස් වෙන්නේ දෙවියන්ගේ ආශීර්වාදයෙන් කියන එකයි. ඒක රාජාණ්ඩු තියන වෙනත් රටවලත්  භාවිතා වන දෙයක්.

සමහර වෙලාවට මේ මෝස්‌තර වෙනස් කරලා සමරු කාසි හදනවා. ඒවත් සාමාන්‍ය සංසරණයට දානවා. මේ සියලු කාසි මුද්‍රණය කරන්නේ කැනඩාවේම Royal Canadian Mint හිදී. ඒ ස්ථානය හා ක්‍රියාවලි ගැන ලියු ලිපිය මෙතනට තට්ටු කරලා කියවන්න පුළුවන්.


උදව් :
www.coinsandcanada.com
www.dreamstime.com
www.economist.com/blogs/newsbook/2013

Saturday, 20 May 2017

ලංකාවට කාසි හදන තැන Royal Canadian Mint

අපි එදිනෙදා පරිහරණය කරන්නේ එකම ප්‍රමිතියෙන් යුතු, එක බඳු ලෝහවලින් සෑදු, එක්‌ බඳුම කාසි. විවිධ වටිනාකම්වලින් යුතු ඒවා එකිනෙකින් සුවිශේෂ ලෙස වෙනස් වියයුතු මෙන්ම එක වර්ගයේ කාසි එක සමාන විය යුතුයි.මේ සියලු තත්වයන් රැකගෙන බාහිර පුද්ගලයන්ට නිෂ්පාදනය කළ නොහැකි විශේෂ කලාවක් හා ශිල්ප රටාවක් ඇතිව මේ කාසි හදන්නේ කොහෙද?
ලංකාවට පමණක් නොව ලෝකයේ රටවල් 88කට අවශ්‍ය එදිනෙදා සංසරණය සඳහා  කාසි බිලියන ගණනක් නිපදවන්නේ කැනඩාවේ රෝයල් කැනේඩියන් මින්ට් Royal Canadian Mint නම් ආයතනයේයි.
Mint ආයතනයේ  කාසි නිෂ්පාදන පරිශ්‍ර දෙකක් පවතියි. එකක් ඔන්ටරියෝ ප්‍රාන්තයේ ඔටාවා අගනුවර තිබෙන අතර අනෙක මැනිටෝබා ප්‍රාන්තයේ විනිපෙග් නුවර පිහිටා ඇත.
ඔටාවා පරිශ්‍රය 
මුලින්ම ඉතිහාසය බලමු.
කැනඩාවට අවශ්‍ය කාසි නිපදවූයේ එංගලන්තයේදීය. එහෙත් වෙනම රටක් ලෙස ස්ථාපිත වූ පසු තමන්ගේම කාසි නිෂ්පාදනය උදෙසා 1908 ජනවාරි 2දා එංගලන්තයේ රෝයල් මින්ට් හි ශාඛාවක් ඔටාවා නුවර පිහිටවීය. මෙහි මුලින්ම නිපදවූයේ එවක රජකළ හත්වන එඩ්වඩ් රජුගේ රුව රැගත් සත පනහේ කාසියකි. 
කැනඩාවේ ප්‍රදේශවල රන් ආකර සොයගැනීමෙන් පසු රත්‍රන් පිරිපහදු කිරීමත් මේ පරිශ්‍රයේම ආරම්භ කෙරුණි.
1911 දී ජෝජ් රජුගේ හිස සහිත රන්කාසි 256 000ක් නිපදවිනි.
1931දී මෙම ආයතනය බ්‍රිතාන්‍යයෙන් ස්වාධීනව රෝයල් කැනේඩියන් මින්ට් ලෙස නම් කෙරුණි.  නවතම රන් පිරිපහදු අංශය ඉදිරි වසර ගණනාවකට එන ඉල්ලුමට  සරිලන සැපයුමක් දීමට හැකිවන ලෙස පුළුල් කරන ලදී. 
1935 ජෝජ් රජුගේ රිදී ජුබිලිය සැමරීම උදෙසා පළමු රිදී ඩොලරය නිෂ්පාදනය විය.
1949 සිට යුධ විරුවන්ට පිරිනැමීම උදෙසා පදක්කම් නිපදවීම ඇරඹුනි.
1982දී ලෝකයේ සුපිරිසිදුම රන් (9999) නිෂ්පාදනය කළ මුල්ම ආයතනය බවට පත්වීමට හැකිවිය.
විනිපෙග් නුවර Mint පරිශ්‍රය . ශ්‍රීලංකා කොඩිය හඳුනාගන්න.
70 දශකය වනවිටත් කැනඩාවේ පරිහරණය කරන සමහර කාසි නිපදවුනේ ඇමරිකාවෙයි. සියලුම කාසි එකතැනක නිපදවීම සඳහාත්, අනෙක් රටවල සංසරණය වන  කාසි නිපදවීම සඳහාත් විනිපෙග් පරිශ්‍රය 1976දී පිහිටවන ලදී.

මෙම ආයතනය පාලනය වන්නේ කොහොමද?
මින්ට් ක්‍රියාත්මක වෙන්නේ රජයට අයත් වානිජ්‍ය සංස්ථාවක් commercial crown corporation  ලෙසයි . රජයට අයත් වුවත් මධ්‍යම රජයෙන් දුරස්ථ භාවයකිනුයි ක්‍රියාත්මක කරනු ලබන්නේ. රජයත් සංස්ථාවත් අතර සම්බන්ධතා පුරුක ලෙස ක්‍රියා කරන්නේත්, වගකීම දරනු ලබන්නේත් මුදල් ඇමතිවරයා ය.

විවිධ කාසි හදන්නේ කොහොමද?
මෙය සිදුවන්නේ පියවර කිහිපයකින්. රන්, රිදී කාසි මෙන්ම එදිනෙදා භාවිතා කරන කාසිද නිපදවීමේදී අනුගමනය කරනු ලබන්නේ එකම පියවර ය.
1. Blank ලෙස හැඳින්වෙන අකුරු නොකෙටු හිස් ලෝහ රවුම් නිපදවීම
  හර ලෝහය දිග පටි ලෙස ඔතන ලද රෝල ලෙසයි එන්නේ. අති විශාල වූ මෙම රෝලවල ඝනකම කාසියේ ඝනකමට ආසන්නය. රෝල දිගහැර ඉහල ධාරිතාවයකින් යුතු විදුම් යන්ත්‍රයකට යවයි.
අදාළ කාසියේ ප්‍රමාණය කපන්නේ මෙහිදීය. සාමාන්‍යයෙන් එම යන්ත්‍රයෙන් විනාඩියකට කාසි 13000ක් පමණ කපනු ලබයි. නිසි ලෙස නොකැපුනු කාසිත් ඉතිරි ලෝහ කොටසුත් ප්‍රතිචක්‍රිකරණයට යොමු කෙරේ.
2. කැපුණු කාසි පිරිසිදු කිරීම හා අග රවුම් කිරීම
රළු කෙලවර ඇත්නම් ඒවා සකසා පිරිසිදු කිරීම හා වටේ ගැටියක් ඇතිකර රවුම් කිරීමත් තරමක් රත් කිරීමත් (annealing )සිදු කරයි.
3. ආරක්‍ෂිත තත්වය වැඩි දියුණු කිරීම 
Mint හි ඇති උසස්තම ලෝහාලේපන තාක්ෂනය උපයෝගී කරගෙන blank වල නිකල්, තඹ වැනි අදාළ ලෝහය ආලේප කරයි. ඕනෑම සම්ප්‍රදායික ලෝහ කාසියකට සරිලන ලෙස ඔවුන්ගේම වූ ස්ථර ලෝහාලේපනය නිසා කාසිවල ආරක්ෂාව ඉතා ඉහල මට්ටමකින් තහවුරු වේ.



4. තත්ත්ව හා ප්‍රමිති පරීක්ෂණය 
ලෝහාලේපනයෙන් පසු වියලා, ඔප දැමීමෙන් අනතුරුව විශේෂිත කැමරාවකින් තවමත් blank තත්වයේ පවතින කාසි සූක්ෂ්ම නිරීක්ෂණයකට ලක් කරයි. මතුපිට බුබුළු ස්වභාවය ඇත්ද,  මට්ටම එක ලෙස පවතීද, වර්ණ වෙනස්කම් ඇත්ද ආදිය මෙතනින් පරික්ෂා කෙරේ. 
5. කාසියට අදාළ මුද්‍රණ සිදු කිරීම 
කිසිදු රටක එකම කාසි මෝස්තරය දීර්ඝ කාලීනව භාවිතා කරන්නේ නැත.(රුපියල වුවත් කලින් කලට මෝස්තරය, වර්ණය ආදිය වෙනස් වේ.) වෙනස්වන මෝස්‌තර රටා ඇතුලත් කාසිය අදාළ රටේ අනුමැතිය ලැබුණු පසු යන්ත්‍රවලට යොමු කරයි. අති  නවීන අධිවේගී මුද්‍රණ යන්ත්‍ර මගින් කාසියේ දෙපස අදාළ අකුරු හා ලාංඡන මුද්‍රණය සිදුකෙරේ. තත්පරයකට කාසි දෙකක් තරම් වේගයකින් මුද්‍රණය කිරීමේ හැකියාව ඇත.
නැවත පරික්ෂාවට ලක්වන කාසි ගණක යන්ත්‍රවලට යොමු කෙරෙන අතර, යම් දෝෂ ඇති කාසි ප්‍රතිචක්‍රීකරණය පිණිස යැවේ. 
නිසිලෙස නිමැවූ කාසි නියමිත සංඛ්‍යාවක් බැගින් රෝල් ලෙස ඔතා, විශේෂිත ලෙස අසුරා ආරක්‍ෂිත සේප්පුවල දමා ලොව පුරා මුල්‍ය ආයතන වෙත යොමු කෙරේ.
 සමහර සමරු කාසි ඉල්ලීම් පරිදි මිනිස් අතින් කැටයම් කරන අවස්ථා ඇත. එවැනි කාසි මිලෙන් අධිකය.
මෙම ක්‍රියාවලිය සිදුවන අතරතුර කිසිදු ලෝහ කොටසක්වත් කුඩු ලෙස හෝ අපතේ නොයන පරිදි සියලු ආරක්ෂක විධි විධාන යොදවා ඇත.

ඔටාවා පරිශ්‍රයේ නිපදවන්නේ රන්, රිදී, ප්ලැටිනම් වැනි වටිනා ලෝහ කාසි, පදක්කම්, සැමරුම් කාසි ආදිය පමණයි. 
මේ පරිශ්‍ර දෙකම අධිකතර ආරක්ෂා යටතේ පැවතුනත්, මහජනයාට නැරඹීම සඳහා පහසුකම් සපයා ඇත. මග පෙන්වන්නෙක් යටතේ මිනිත්තු 45ක කුඩා කණ්ඩායම් චාරිකාවේදී යන්ත්‍ර පවතින තලයට ඉහලින් වීදුරුවලින් ආවරණය වූ කොරිඩෝ මතින් ඇවිද යමින් කාසි සැදීමේ කලාව හා එහි විද්‍යාත්මක ස්වභාවය නැරඹීම හා විස්තර ලබාගැනීම කල හැකිය. චාරිකාවේදී පින්තුර ගැනීම, වීඩියෝ කිරීම සපුරා තහනම්ය. දඬුවම් ලැබිය හැකි වරදකි. 
චාරිකාවට සුදානම් වන අතරතුර ඩොලර් ලක්ෂ 7ක් වටිනා සුපිරිසිදු රන් කුට්ටියක් අතගා බැලීමට හා එසවීමටද අවස්ථාව ලැබේ. සමරු කාසි මිලට ගැනීමේ මධ්‍යස්ථානයක් ද ඇත.

මෙම පරිශ්‍ර වල නිමැවූ විශේෂිත කාසි හා පදක්කම් පිලිබඳ විස්තර 
* තාක්ෂණයෙන් ඉහලම තත්ත්ව යටතේ එකම පියවරකින් නිමවූ ලොව පළමු ත්‍රිමාණ පෙනුම  සහිත කාසිය නිපදවීම -1999

* ලොව පළමු වර්ණ සහිත එදිනෙදා භාවිතා කරන කාසිය නිපදවීම -2004
  යුද්ධයෙන් මියගිය සොල්දාදුවන් සිහිකිරීම උදෙසා රතු පොපි මලක් මෙහි මුද්‍රණය කර ඇත.

*දැනට ලෝකයේ තිබෙන වැඩිම වටිනාකම සහිත කාසිය නිපදවීම - 2007. 
99.999% ක් පිරිසිදු  දඹ රනින් නිපදවූ 100kg බර මෙම කාසිය ලොව විශාලතම රන් කාසිය ලෙස ගිනස් පොතටත් එක්ව ඇත. සංසරණ වටිනාකම ඩොලර් මිලියනයකි. එවැනි කාසි නිපදවූයේ පහක් පමණි. ඉන් එකක් කැනඩාවේ කෞතුකාගාරයක තබා ඇත.   

* ඩිජිටල් මුදලක් ලෙස mint chip නිපදවීම -2012

* 2010 කැනඩාවේ පැවැත්වුණු Winter Olympic හා Winter පැරාලිම්පික් සඳහා RCM හි නිර්මාණය වූ පදක්කම් මගින්  ඔලිම්පික් පදක්කම්වල සැබෑම වෙනසක් ඇති කෙරුණි.
- සෑම පදක්කමක්ම 500g ට වඩා බරින් යුතුවීම හා ඔලිම්පික් ඉතිහාසයේ බරම පදක්කම් වීම
- පදක්කම් මෝස්‌තර එකිනෙකින් වෙනස් ය. කිසිදු පදක්කම් දෙකක් එක බඳු නොවේ. අද්විතීය මෝස්‌තර මගින්  එක් එක් ක්‍රීඩකයාගේ ඉසව්ව හා ජයග්‍රහණය නිරුපනය විය.
- පදක්කම් රවුම් නොවුවා පමණක් නොව එකම තලයක නොපිහිටිම. එනම්, රැලි සහිත වීම. මෙයින් මුහුදු රල, කඳු හා වැටෙන හිම නිරුපනය කෙරුණි.
බ්‍රේල් සහිත පදක්කමක් 
- පදක්කම් නිපදවීම සඳහා  ප්‍රතිචක්‍රීකරණය කරන ලද ලෝහ  යොදා ගැනුනි.
- පැරාලිම්පික් පදක්කම් පිටුපස බ්‍රේල් අකුරුවලින් ලියා තිබීම
-පදක්කම මලකෑම වැලැක්වීම සඳහා විනිවිද පෙනෙන ආලේපයක් කර තිබීම.
-මෙම පදක්කම් සියල්ල puzzle එකක කොටස් ලෙස නිමවා ඇත. ශීත ඍතු ඔලිම්පික් පදක්කම් සියල්ල එකතු කළහොත් විශාල ඔර්කා තල්මසකුගේ රුපයක් ලැබේ. පැරලිම්පික් පදක්කම වලින් ලැබෙන්නේ රේවන් නම් පක්ෂියායි. එනම්, එකිනෙක පදක්කමේ සත්වයාගේ  රුපයේ කොටසක් ඇත. ආදිවාසී කලාවන් ඇසුරෙන් කළ මේ චිත්‍ර අතින් නිමවිය. සියල්ල එකතු කර රුපය සාදා ගැනීමට ජයග්‍රාහකයන් සියලු දෙනා එකතුවිය යුතුය.

රෝයල් කැනේඩියන් මින්ට් ආයතනය ප්‍රතිචක්‍රීකරණය පිලිබඳ අවධානයක් දක්වයි. කාසි ප්‍රතිචක්‍රීකරණය  ලෙස අදහස් දෙකක් මතු වේ. කැට, බෝතල්, ලාච්චු තුල එකතුකරන මුදල් සංසරණයේ යෙදවිම එකකි. එවිට අලුත් මුදල් මුද්‍රණය කිරීමේ අවශ්‍යතාව අඩු වේ. භාවිතා කල නොහැකි හෝ භාවිතයෙන් ඉවත්කරන ලද කාසි නැවත කාසි සැදීමට යෙදවීම අනෙකයි. මෙම කාසි ලබාගන්නා ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානවලට භාරදී, ඒ වටිනාකමට අලුත් මුදල් ලබාගත හැකිය. (සත 50 පැරණි කාසියකට අලුත් සත 50)

නියමිත කාලයක් තුල නිපදවූ කාසි ප්‍රමාණය, පැරණි කාසිවල වටිනාකම තිරණය වීමට බලපායි. මුද්‍රණය වුයේ අඩු ප්‍රමාණයක් නම් ඉල්ලුම වැඩිය. පසු වටිනාකම ඉහල යයි. කාසියක ඉතිහාසය, නිර්මාණ ශිල්පය හා මෝස්තරය අවබෝධ කරගැනීමට එහි භෞතික විස්තරාත්මක ව්‍යුහය වැදගත් ය.
ගුණාත්මකභාවය, ශිල්පිය නිපුනතාව හා නව නිර්මාණාත්මක නිපැයුම් අතින් ලෝකයේ වඩාත්ම ගෞරවයට පත්‍ර වූ නිර්මාණ ආයතනයක් ලෙස රෝයල් කැනේඩියන් මින්ට් ඉදිරියෙන්ම සිටියි.
උදව්:
චාරිකාවේදී පැහැදිලි විස්තර සැපයු මගපෙන්වන්නා
 Mint නරඹන්න යෝජනා කළ හේමා නිශ්ශංක සොයුරා 
Coins from the Royal Canadian Mint -2017
www.mint.ca
සමහර පින්තුර අන්තර්ජාලයෙනි.