Tuesday 31 December 2019

මුසු නොවෙන මුහුදු: Gulf of Alaska

ලෝකයේ සාගර හතක් ඇතිබව අපි ඉගෙනගෙන තියනව. හඳුනාගැනීමේ පහසුවට මිනිසුන් විසින් බෙදා වෙන්කර තිබෙනවා මිස ඇත්තටම මේ එකම සමුද්‍ර තටාකයක්. එකම ජලය නැගෙමින් බිඳෙමින් ගලමින් එහෙමෙහෙ ගමන් කරන්නේ.  මේ එකම සමුදුරු තටාකයේ  මුහුදු දෙකක් හමුවෙන මුත්, ඒවායේ ජලය එකිනෙක මිශ්‍රවන බවක් නොපෙනෙන, පැහැදිලිව වෙනස් වර්ණවලින් යුක්තව තියෙන අපුර්ව ස්ථානයක් ලෝකයේ තියෙනවා. ඒ Gulf of Alaska ලෙසින් හැඳින්වෙන පැසිෆික් සාගරයත් ආක්ටික් සාගරයත් හමුවන ස්ථානය. හරියටම කිව්වොත් උතුරු පැසිෆික් සාගරයත්, ආක්ටික් සාගරයේ බෙරින්ග් මුහුදත් හමුවන ස්ථානය.
ඉතා පැහැදිලි ලෙස දැකිය හැකි අන්දමින් සාගර දෙක හමුවන ස්ථානය පෙන නගන අතර වෙනස් වර්ණයන්ගෙන් යුක්තව පවතිනවා. ඒ අතරමැද තිරය පැහැදිලිව දක්නට තියෙනවා. මෙය වෙරල තීරයක් නොවෙන අතර මුහුද මැදදී දැකිය හැකි සංසිද්ධියක්.
මේ සඳහා හේතු දැක්වීම් මෙන්ම විවිධ මතයන්ද ලොව පුරා දක්නට ලැබෙනවා. මුලින්ම මෙවැනි චිත්තකර්ශනිය ස්ථානයක් ඇතිවීමට හේතු සොයා, ඉන් අනතුරුව අනෙකුත් මතයන්ගේ නිරවද්‍යතාව විමසමු.
මෙම මුහුදු හමුවන තිරය පිහිටන්නේ වසර 30 000 කට පෙර අයිස් යුගයේ ආසියානුවන් ඇමරිකානු මහද්වීපයට පැමිණි බෙරින්ගියා පාලම හැදුනු  රුසියාවේ සයිබීරියාව හා උතුරු ඇමරිකාවේ ඇලස්කාව අතර ප්‍රදේශයට මදක් පහලින්. ගල්ෆ් ඔෆ් ඇලස්කා ඇලස්කාවට වගේම කැනඩාවේ කොටසකටත් මායිම් වෙනවා. (ඇලස්කාව ඇමරිකාවට අයිති මුත් කැනඩාවට පමණක් භූමියෙන් සම්බන්ධ ජනපදයක්).

පිහිටීම අනුව නම් මිනිසුන් විසින් නම් කරන ලද සාමාන්‍ය සාගර දෙකක් හමුවන ස්ථානයක්. ආක්ටික් සාගරය වගේම පැසිෆික් සාගරයෙත් තියෙන්නේ මුහුදු වතුර. කිසිම ආකාරයක ගල් පරයක් හෝ වෙනත් මුහුදේ ගොඩනැගීමක් ඇත්තෙත් නැහැ.

එහෙම පැහැදිලිව පෙනෙන වෙනස්කම් ඇතිවෙන්නේ කොහොමද?
වෙනස තියෙන්නේ ජලයේමයි. ජලයේ ඇති භෞතික හා ජෛව විද්‍යාත්මක වෙනස්කම් නිසායි වර්ණ වෙනස්කමක් සහිත මිශ්‍ර නොවෙන ස්වභාවයක් පෙනෙන්නේ.  මුහුදු දෙකෙහි ඇති ජලයේ ලවණතා වෙනස, ඝනත්ව වෙනස, උෂ්ණත්ව වෙනස සහ මෙම ස්ථනයේ ඇති දියසුලිවල ස්වභාවය නිසා සිදුවන දෙයක්.
කොපර් ගංගාව 
ගල්ෆ් ඔෆ් ඇලස්කා ඉහල කොටසට ජලය ගලා එන ප්‍රධාන මගක් වන්නේ ඇලස්කාව මැදින් ගලා එන සැතපුම් 286ක් දිග කොපර් ගංගාවයි. ඇලස්කාව තුල ග්ලැසියර ඇති ප්‍රදේශයෙන් පටන්ගෙන ඛාදනය වන ග්ලැසියර් කොටස් සමග අධික ඛනිජ ප්‍රමාණයක් සහිත මැටි රැගෙනයි මෙම නදිය මුහුදට එකතු වන්නේ. බලාපොරොත්තු විය හැකි පරිදිම අධික මිරිදිය ප්‍රමාණයක් අඩංගු නිසා දකුණු දෙසින් ඇති පැසිපික් සාගරයට වඩා ලවණතාව මෙන්ම කරදිය සාන්ද්‍රණය ද අඩුයි. මෙලෙස ලවනතවයේ ඇති වෙනස නිසා ඝනත්වයද වෙනස් වෙනවා. ඝනත්වයෙන් වෙනස් නිසා ජලය එකිනෙක මිශ්‍රවීම සිදුවන්නේ අඩුවෙන්. මැටි හා අඩු ලවනතාව ඇති ජලය නිසා අඩු වර්ණයක් එම ජලයේ දැකිය හැකිවන අතර, ලවනතාව වැඩි කරදිය සහිත උතුරු පැසිෆික් මුහුද තද වර්ණයෙන් යුක්ත වෙනවා.
ජලයේ ඇති ප්ලවාංග වල වර්ණය මුහුදු ජලයේ වර්ණ වෙනසට තවත් හේතුවක්. ඉහත විස්තර කර ඇති පරිදි ලවනතාව, ඛනිජ ප්‍රමාණය ආදිය වෙනස් නිසා ඒ මත සැදෙන ශාක ගහනයන් වෙනස් වෙන අතර ඒ මත යැපෙන මුහුදු ජිවින්ද විවිධත්වයෙන් යුතු වෙනවා. නිතිපතා ගලා ආ ජලයේ ඇති ඛනිජ තැන්පත්වීම හේතුවෙන් එම කලාපය අධික පෝෂණ මාධ්‍යයක් නිසා ශාක ප්ලවාංග වැඩි ප්‍රමාණයක් වැඩෙමින් තියෙනවා. ඒ නිසා ජලය තද වර්ණයෙන් යුතුයි.  ගලා එන ග්ලැසියර ඛාදන ශීත මිරිදිය ජලයේත්, ආක්ටික් සාගරයෙන් එන ජලයේත්  ශාක ප්ලවාංග අඩු ප්‍රමාණයක් තිබීම එම ජලය වර්ණයෙන් අඩු වීමට හේතුවක්.
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෙක් වන මහාචාර්ය කෙන් බ්රුලන්ඩ් පවසන්නේ  ඛනිජ ප්‍රමාණයක් රැගෙන මුහුදට වැටෙන ග්ලැසියර් කොටස් ඉතා සෙමින් චලනය වන Subpolar දියවැල් සමග වාමාවර්තව චලනය වෙන අතර  ඊට පහලින් ඇති උතුරු පැසිෆික් දියවැල් චක්‍ර  දක්ෂිණාවර්තව චලනය වන බවයි. මෙලෙස ජලධාරා දිශාවන් දෙකකට චලනය වන නිසාත් එකිනෙක හා මිශ්රවීමේ අවස්ථාව අඩුවී වර්ණ වෙනස එලෙසම පවත්වාගෙන යනවා.
ඊළඟ කරුණ උෂ්ණත්ව වෙනස. ග්ලැසියර කොටස් සමග එන ජලය මෙන්ම ආක්ටික් ප්‍රදේශයෙන් එන ජලයද අනිවාර්යයෙන්ම පැසිෆික් සාගරයේ ඇති මුහුදු ජලයට වඩා උෂ්ණත්වයෙන් අඩුයි. එම උෂ්ණත්ව වෙනසත් මෙම ජල ප්‍රවාහ දෙක එකිනෙක මුසුවීම පමා කරනවා.

මුහුදු හමුවන ස්ථානයන්හි ජලය මිශ්‍ර නොවීම ගැන ඇති අසත්‍ය මත වන්නේ ලෝකය තුල ඇති මෙවැනි එකම ස්ථානය බවයි. එකිනෙකට වෙනස් ලවනතා, උෂ්ණත්ව ඇති ඕනෑම සමුද්‍ර දෙකක් හමුවන තැනක මේ ආකාරයේ වර්ණ වෙනසක් හා ජලය එකිනෙක මුසු නොවීමේ ස්වභාවයක් දකින්නට පුළුවන්. අත්ලාන්තික් සාගරය හා මධ්‍යදරණි මුහුද හමුවන ජිබ්රෝල්ටා සන්ධිය එයින් එකක්.
ජලය  මිශ්‍ර නොවෙනවා යන්න අනෙක් සත්‍ය නොවෙන කරුණයි. විවිධ හේතු නිසා ජලය එකිනෙක මිශ්‍ර වීමට මැලි බවක් දැක්වූවත් එකිනෙක හමුවන ස්ථාන නිරතුරු චලනය වෙමින් පවතින අතර ජලය මිශ්‍ර වී සමුදුරු දියවැල් ඔස්සේ විවිධ දිශාවන්ට ගමන් කරනවා.
පින්තුරවල දකින්නට ඇති පරිදි ස්ථිර රේඛාවක් ලෙස නොවෙනස්ව මෙම තීරුව පවතින්නේද නැහැ.  ජල තරඟවල වේගය අනුව එහෙ මෙහෙ යමින්, සමහරවිට හඳුනාගත නොහැකි ලෙස ජල වර්ණ මිශ්‍ර වෙනවා..
බොහෝ ලිපි ආදියේ සඳහන් වෙන්නේ මෙය අත්ලාන්තික් හා පැසිෆික් සාගර හමුවන තැනක් ලෙස වුවත් එය එසේ නොවෙන බව ලෝක සිතියමක් දෙස බැලීමෙන් පැහැදිලි කරගත හැකියි. අත්ලාන්තික් හා පැසිෆික් සාගර හමුවන්නේ දකුණු ඇමරිකා මහාද්වීපයේ චිලි රටට අයත් කෙලවර තුඩක් වැනි කේප් හෝන් වලට පහලින් පමණයි. ඒ මන:කල්පිත සීමාව කේප් හෝන් සහ ඇන්ටාක්ටිකාව සම්බන්ධ කරන ඍජු රේඛාවකි. එතන මෙවන් සාගර වෙන්කර හඳුනාගත හැකි ලකුණක්  පියවි ඇසින් දකින්නට ලැබෙන්නේ නැහැ.

උදව්:
http://ccom.unh.edu/theme/law-sea/gulf-alaska-margin-obliques
https://www.youtube.com/watch?v=NA5-XGcj0LQ
www.truthorfiction.com/two-oceans-meet-but-do-not-mix-in-the-gulf-of-alaska/
https://earthobservatory.nasa.gov/images/83754/springtime-in-the-gulf-of-alaska
researchgate.net/figure/Gulf-of-Alaska-region-geography-and-location-of-previous-DSDP
https://blogpatagonia.australis.com/

Tuesday 24 December 2019

නත්තල් සීයාගේ නිල නිවස Rovaniemi

සාමය, සතුට, බලාපොරොත්තු සමගම නත්තලත් එක්කම එන තව දේ අතර නත්තල් ගස්, තෑගි, නත්තල් සීයා ප්‍රමුඛයි. විවිධාකාරයෙන් නත්තලට සම්බන්ධ වූ මේ දේවල් ඇත්ත දේට සම්බන්ධ කිරීම ලොව පුරා සිදුනවා.
නත්තල් සීයා ගැන හැමදෙනාම තුල තියෙන්නේ බලාපොරොත්තු පොදි බැඳගත් ආදරයක්. උතුරුකරයේ ලස්සන තැනක ඉන්න නත්තල් සීයා තෑගි බෙදන්න පිනිමුවන් බැඳපු කරත්තෙන් එනකල් බලා ඉන්න සිඟිත්තෝ ලොව පුරාම ඉන්නවා. නත්තල් සීයා තෑගි දෙන්න  පිටත්වෙන්න කලින් ගිහින් ඔහුව බැහැදකල එන්න පුළුවන් නත්තල් සීයාගේ ගමක් තියන බව දන්නවද? නත්තල් සුරංගනා කතාවකින් ගත්ත වගේ හිමෙන් වැසුණු ගස්, හිම පිරුණු පාරවල්, හිමෙන් ආවරණය වෙච්ච වහලවල් තියෙන, පිණිමුවන් ඉන්න පින්තුරයක් වගේ පළාතක ඔහු ඇත්තටම ඉන්නවා.

නත්තල් සීයාගේ ගෙදර තියෙන්නේ පින් කරපු අය ඉන්න පින්ලන්තේ. ඔහු ඉන්නේ උත්තර ධ්‍රැවයේ කියලනේ අපි අහල තියෙන්නේ. ඒක තරමක් දුරට හරි. හරියටම කිව්වොත් පින්ලන්තයේ හෙල්සින්කි නගරයේ ඉඳල කිලෝමීටර් 822 කට උතුරින් තියෙන Rovaniemi  නගරයේ තමයි නත්තල් සීයාගේ ගෙදර තියෙන්නේ. ලැප්ලෑන්ඩ් ප්‍රදේශයේ ප්‍රධාන නගරය වන රෝවියනෑමි නගරයෙන් කිලෝමීටර් 8ක් උතුරට ගියාම නත්තල් සීයාගේ ගෙදර ඇතුලත් ගම තියෙනවා.
පහන් පෙලට ඉහලින් තියෙන නිල් පාට රේඛාවෙන්
සංඛේතවත් කරන්නේ ආක්ටික් චක්‍රයයි
ආක්ටික් චක්‍රය ලෙසින් ලෝක සිතියමේ හඳුන්වන අක්ෂාංශ 66͒ තිබෙන චක්‍රය ඒ ගම හරහා යනවා.  ආක්ටික් චක්‍රයට ඉහලින් පිහිටන භුමි ප්‍රදේශ ගිම්හානයේ මුළු දවස පුරාම වගේ ඉර දක්නට ලැබෙන අතර ශිශිර කාලයේ ඉතා දිගු රාත්‍රී කාල සහිතයි. පැයක් දෙකක් තරම් සුළු වෙලවකටයි ඉර පායන්නේ. දෙසැම්බර් මාසයේ සාමාන්‍ය උෂ්ණත්වය රින 10͒ C ත් - 20͒ C ත් අතර. අඩුම උෂ්ණත්ව වාර්තා වෙන්නේ ජනවාරිවල.
රෝවියනෑමි නගරයේ ගුවන් තොටුපලක් තියන නිසා හෙල්සින්කි නුවර ඉඳන් ගුවන් මගින් යන්න පුළුවන්. බස් හා දුම්රිය සේවාත් තියනව. 
සංචාරකයන් සඳහා හෝටල්, tree house, AirBnB ආදී පහසුකම් තියනව. නියම නත්තල් හැඟීම් දැනවෙන නත්තල් කාලෙට ඉල්ලුම වැඩි හින්ද අනිත් කාලවලට වඩා ටිකක් මිලයි. පිටත හෝටලයක නැවතිලා ගම බලන්න එන්න කැමති අයට ඒ සඳහා බස් සේවා තියනව.
Santa Clause Village එකට යන්න මුදලක් අය කරන්නේ නැහැ. විනෝද වෙන්න බොහොමයක් අවස්ථා ඒ වටපිටාවේ තියනවා.
හැබැයි නත්තල් සීයාගේ ගෙදරදී ඔහුව මුණ ගැහෙන්න කලින් වෙලාවක් වෙන් කරගන්න ඕන. පුංචි දොරවල් ජනෙල ඇති නත්තල් සීයාගේ ගෙදරට ඇතුල්වෙලා ඒ තුලින් ගමන් කරන එක පුංචි දරුවෙක්ට කෙතරම් සතුටක් ඇති කරයිද? ඒ ඇවිදගෙන යන අතරමග නත්තල්  සීයාගේ නත්තල් ආච්චි පොඩි ළමයින්ට රසකැවිලි හදමින් ඉන්නවා දකින්නත් පුළුවන්. ඒ වගේම නත්තල් සීයාගේ උදව්කාර අඟුටුමිට්ටෝ ඔවුන්ගේ කම්හලේ තෑගි සකස් කරනවා බලන්නත් පුළුවන්. සමහර වෙලාවට නත්තල් සීයා ලඟට යන්න මග පෙන්වන්න අඟුටුමිට්ටෙක් උදව් කරන්නත් එනවා. ලොව පුරා දරුවන්ගෙන් ලැබුණු ලිපි කියවමින් ඉන්න, තෑගි බෙදන්න යන්න සුදානම් වෙන නත්තල් සියා ලඟට වෙලා ඉන්න කුඩා කණ්ඩායමකට විනාඩි 5ක ඉඩක් ලැබෙනවා. පුංචි දරුවන්ගේ හීනයක් වගේ මේ අවස්ථාව ලබාගත් පියෙක් පවසා තිබුණේ " මට මගේ දුවට නත්තල් සීයා කෙනෙක් අන්දවල  පෙන්වන්න තිබුණ. මුදල් වියදම් කර පොඩි අට්ටලෙකුත් හදල අඟුටුමිට්ටෝ ටිකකුත් පෙන්වන්න තිබුණා. ඒත් මෙවන් පරිසරයක ඇත්තම නත්තල් සීයා කියල ඒත්තු ගැන්වෙන විදියට ඔහු හමුවීමට ලබා දීමෙන් ඇය ලැබූ සතුට මිල කරන්න බැරි අනගි අවස්ථාවක්".
නත්තල් සීයා මුණගැහෙන සුවිශේෂ අවස්ථාවට අමතරව තව විනෝද වෙන්න බොහොමයක් දේවල් සීයාගේ නිලලත් ගමේ තියනව. එයින් තවත් වැදගත් ස්ථානයක් ගමේ තැපැල්හල.
ලොව පුරා  සිඟිත්තෝ නත්තල් සීයාට එවන ලියුම් හුවමාරු වෙන මේ තැපල් හලෙන් එම තැපැල් හලට විශේෂ මුද්දරයක් සහිතව ලෝකේ ඕනෑම රටකට ලිපි යවන්න පුළුවන්. නත්තල කාලේදී ලිපි කටයුතු කෙරෙන්නේත් නත්තල් සීයාගේ අඟුටු මිට්ටෝ වගේ සැරසුණු අය අතින්. මේ ගමේ තෑගි, සිහිවටන, ඇඳුම්, චිත්‍ර ආදිය  ගන්න පුළුවන් කඩ සාප්පුත් තියනවා. කන්න බොන්න රෙස්ටුරන්ට් හා බීමහල් අඩුවක් නැහැ. 
ඊට අමතරව මුදල් ගෙවා හිම බල්ලන් යෙදු  හෝ පිණිමුවන් ඇදගෙන යන ස්ලේ එකක රවුමක් යන එකත් මේ ගමේදී කරන්න පුළුවන්. snowmobile එකක් කුලියට අරගෙන පැය දෙක තුනක සවාරියක් කැලැව මැද්දෙන් යන්නත් පුළුවන්.
හිමමත ලිස්සීම හිමමත ස්කෙටින්ග් වගේ සාමාන්‍ය හිම ක්‍රීඩා කරන්නත් අවස්ථාව තියනව.
හිමවලින් ආවරණය වෙච්ච Arctic Snow Hotel එකේ නැවතිලා ඉන්න අසීරුනම් දැකබලාගෙන එන්නත් පුළුවන්. වීදුරුවලින් නිර්මිත වහලක් තියන Snowman World Glass Resort සුවපහසු, සුඛෝපභෝගී නවාතැනක්.  SantaClause පාර්ක් එකේ විනෝද වෙන්නත් පුළුවන්. ඒ වගේම රාත්‍රියට අව්රෝරා බලන්න චාරිකාවක නිරත වෙන්නත් පුළුවන්.
මේ හැම දෙයක සඳහාම අය කිරීමක් කරනවා. ලබාගන්න හැකි අත්දැකීම් වලට මිලක් නැහැ.
නත්තල් සීයාගේ ගම බලන්න දැන් වසරකට ලක්ෂ පහක් පමණ සංචාරකයින් පිරිසක් එනවා. ඒක නත්තල් සීයාගේ ගම හින්ද ඔහු හැමදාම ගෙදර ඉන්නවා. ඉතින් වසර පුරාම සංචාරකයින්ට ඇවිත් ඒ කාලයට සුදුසු විනෝදාත්මක අත්දැකීම් ලබන්න පුළුවන්.

නත්තල් සීයාගේ ගම කාගේ සංකල්පයක්ද?
නත්තල් සීයා ලෙස සැලකෙන සාන්ත නිකොලස් තුමා ජීවත්වුයේ තුර්කියේ. එහෙත් නත්තල් සීයා උත්තර ධ්‍රැවයේ ජිවත්වන බවට මුලින්ම නිර්මාණයක් ඉදිරිපත් කර තිබුනේ 1866 පළවූ Harper නම් සඟරාවකයි. 1927 පින්ලන්ත රේඩියෝ වැඩසටහනකදී මාර්කස් නම් වැඩ සටහන් ඉදිරිපත් කරන්නෙක් ලැප්ලෑන්ඩ් හිදී නත්තල් සීයාගේ සෙල්ලම් බඩු හදන කම්හල හමුවූ බවට වැඩසටහන් කිහිපයක් කළා. දෙවෙනි ලෝක යුධ සමයේ මෙම ප්‍රදේශය දරුණු  සටන්වලින් විනාශ වී ගියා.
Roosvelt Cottege 
1950 දී ලෝක යුද්ධයෙන් විනාශ වූ ප්‍රදේශවල චාරිකාවක නිරතවුණු එවක ඇමරිකානු ජනාධිපති රූස්වෙල්ට් මහතාගේ බිරිඳ වන එලිනෝර් රුස්වෙල්ට් මැතිනිය මෙම ප්‍රදේශයට පැමිණීම සනිටුහන් කරන්නට එවක ආක්ටික් චක්‍රය ගමන් කරන ලෙස සැලකු ස්ථානයක ගොඩනැගිල්ලක් ඉදිකළා.
1957 දී ඉතා උස ගස් සහිත යුරෝපයේ වනාන්තර දකින්නටත්, ගිම්හාන කාලයේ දවස පුරා හිරු දකින්නටත් සුදුසු තැන් ලෙස රෝවියනැමි නම් කළත්,  සංචාරක මධ්‍යස්ථනයක් ලෙස දියුණු කිරීමේ අදහස පින්ලන්ත සංචාරක මණ්ඩලය අනුමත කළේ 1984දියි. ඒ අනුව නත්තල් සීයාගේ නිවස, තැපැල්හල සහිතව ප්‍රදේශයක් නිර්මාණය කර, නත්තල් සීයාගේ නිලලත් ගම ලෙස ප්‍රසිද්ධියට පත්කළා. ඉන්පසු යුරෝපයේත්, ඇමරිකාවෙත් මෙම ස්ථානය පිළිබඳව ප්‍රචාර සිදුකළා.
සත්‍යය උත්තර ධ්‍රැවය අයිති වන්නේ තමන්ට බව ප්‍රකාශ කරන ඩෙන්මාර්කය ආදී රටවල් නොසතුටට පත්වුණත් දැන් ලෝකයේම ප්‍රසිද්ධ නත්තල් සීයාගේ ප්‍රධාන තිප්පල වන්නේ රෝවියනෑමි ය.
මේක ලියන්න වැඩිමනත් හේතු වුනේ දෙවෙනි ලෝක යුද්ධය කාලේ සම්පුර්ණයෙන් වගේ විනාශවෙලා ගිය, ඉතා අවාසිදායක දේශගුණික පරිසරයක් තියෙන මේ වගේ ප්‍රදේශයක්, අති සාර්ථක සංචාරක ආකර්ෂක මධ්‍යස්ථානයක් කිරීමේ සිතුවිල්ලේ සිට ක්‍රියාත්මකය දක්වා ඇති වැදගත්කම දක්වන්නයි. අධික ශීතල ආක්ටික් කලාපයේ, ශීතල කාලයක පවා සංචාරකයින් අද්දවාගෙන රටට මුල්‍ය උපදවාගැනීමේ මෙම Official Village of Santa Clause :නත්තල් සීයාගේ නිල ග්‍රාමය අදහස ඕනෙම රටක දියුණුවට ගන්න පුළුවන් ආදර්ශයක්.  

උදව්:
www.youtube.com/watch?v=JH9jCaHWkhM
how-rovaniemi-finland-became-the-official-hometown-of-santa-claus/

Saturday 30 November 2019

අනුගමනය කරනවානම් 3: කෑම වේලට මග පෙන්වීම Food Guide

" තෙල් කෑම අඩු කරන්න, දියකිරෙන් උයල කන්න. බත් කෝප්ප බාගයක් විතර කන්න.."
"බලමාලු, ඉස්සෝ, දෙල් වගේ ගිනියම් කෑම මේ කසාය බොන අතරේ ගන්න එපා." වෛද්‍යවරයෙක්, පෝෂණවේදියෙක් හෝ වෙද මහත්මයෙක්ගෙන් පුද්ගලික උපදෙස් ලැබෙන අවස්ථාවක හැර ආහාරයක් කෙසේ සකස් විය යුතුද කියල පොදුවේ මහජනයා දැනුවත් වීමක් ලංකාවේ තියනවද කියා සැකයි.


ආහාරවල පෝෂක කොටස් තියෙන බව ඉගෙනගන්නේ කුඩාකල ඉඳන්මනේ. සමබල ආහාරයක ඒ පෝෂ්‍ය කොටස් සියල්ල තියෙන්න ඕන බවත් දන්නවා. ඒත් වරකට ගන්නා ආහාරය කොපමණ වෙන්න ඕනෙද පෝෂ්‍ය කොටස් අනුපාතය කොතරම් වෙන්න ඕනෙද කියන එක ගැන එතරම් විස්තර කිරීමක් පාසලේ පාඩම්වල අඩංගු වුනේ නැහැ. ඒ වගේම පෝෂ්‍ය කොටස් සාමාන්‍ය භාවිතයේ තියන වචනවලින් නෙමෙයි, කබෝහයිඩ්රේට්, ප්‍රෝටීන් වගේ වෙනස් වචනවලිනුයි විස්තර කරන්නේ.
ඇමරිකා එකසත් ජනපදයේ කරන ලද පර්යේෂණවලින් හෙළිවුණේ මිනිසුන්ගේ වැරදි පෝෂණ පුරුදුවලට හේතුවන්නේ ආහාර හා පෝෂක පිලිබඳ නොදනුවත්බව කියායි.
කැනඩාවේ ආහාර ගැන පොදුවේ දැනුවත් කිරීම මධ්‍යම රජයේ වගකීමක් යටතට ගැනෙන්නේ. ඒ සඳහා කා හටත් දැනුවත් විය හැකි Food Guide සංකල්පය භාවිතයේ පවතිනවා.
මෙය මුලින්ම සමාජගත කර තිබෙන්නේ 1942 තරම් අතීතයේ යි. දෙවෙනි ලෝක යුද්ධ සමයේ රට පුරා පැතිරුණු මන්ද පෝෂණය ගැන අවධානය මෙන්ම යුද්ධයට යන සොල්දාදුවන් ශක්තිමත් කිරීම හා රෝග පීඩාවලින් රැකගෙන ශරීර සෞඛ්‍යය නිවසේ සිටම ශක්තිමත් කිරීමත්, කාර්යයේ යෙදෙන සියල්ලන් කාර්යක්ෂම කිරීමත්, නිරෝගී මව් පරපුරක් ඇතිකිරීමත් මුලින් නිකුත් කළ 'ආහාර නීති' පොත් පිංචේ මුලික අරමුණ වුණා. (තුවක්කුවක් කර තබාගෙන යන කිරි බෝතලය 😃).
කිරි, පලතුරු, එළවලු, පාන් හා සීරියල්, මස්-මාළු, බිත්තර යන ආහාර කාණ්ඩ හයට අයත් ආහාර මුලින් අනුභව කර, තවත් කැමති දෙයක්  කන්නටයි උපදෙස් දී තිබෙන්නේ.

1944  ආහාර නීතිවල ඇතිකළ වෙනස්කම් මගින් රටට අවශ්‍ය කෘෂි කටයුතු කෙරෙහි බලපෑමක් ඇති කිරීමටද දැනුවත් කිරීම යොදාගැනී තිබෙනවා.
1961 Food Guide 
කිරි ඇරෙන්නට වෙනත් කිසි ආහාරයක් ගතයුතු ප්‍රමාණ ගැන නිර්දේශ කිරීමක් 1949 හෝ 1961 වර්ණවත් පත්‍රිකාවේ හෝ නැහැ. නමුත් මුලික අරමුණ වූ ආහාර තෝරාගැනීම හා පෝෂණය ප්‍රවර්ධනය කිරීම නොකඩවා පවත්වාගෙන ගොස් තිබීම දකින්නට හැකියි. 1961 වෙනස්කම්වලට ආහාර නීති යන නම වෙනස්කර, ආහාර සඳහා මගපෙන්වීම (food guide) යෙදීම ඇතුලත්. ක්‍රමිකව කලින් වසරවලට වඩා වැඩි ආහාර වපසරියක් ගැන දැනුවත් කර තිබෙනවා. කිරි ආහාර විශේෂිත ජන කාණ්ඩ උදෙසා ප්‍රමාණාත්මක උපදෙස් දක්වනවා.
මේ සෑම අවස්ථාවකම මහජනයා භාවිතා කරන හා ඔවුන්ට වැටහෙන ආකාරයෙන් වචන භාවිතා කර දැනුවත් කිරීම් සිදුකර ඇති අයුරු බලන්න.
1977 දී සිදුකළ වෙනස වුයේ පලතුරු හා එළවලු එකම කාණ්ඩයක් යටතට ගැනීමයි. මේ වනවිට මන්ද පෝෂණයෙන්  බැහැර වී සිටි කැනේඩියානු ජනතාව ගන්නා ආහාර හා ආහාර සම්බන්ධිත නිදන්ගත රෝග අතර සම්බන්ධය සලකමින් රජයට විද්වත් කමිටුවකින් නිර්දේශ ඉදිරිපත් කෙරුණා. ඒ අනුව තෙල් ආහාර, සීනි, ලුණු හා මධ්‍යසාර සිමා කිරීමට ඉල්ලීම් ඇතුලත් වුණා.
එනම් කැනඩා ආහාර උපදේශන පත්‍රිකාවල පරමාර්ථය වී තියෙන්නේ සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ගැනීම උදෙසා අධ්‍යාපනික උපකරණයක් වීමයි. ඒ සඳහා පෝෂණය පිලිබඳ නව සොගැනීම් මෙන්ම, ජාතික පෝෂණ අරමුණු, ආහාර පරිභෝජන රටා පිලිබඳ අධ්‍යයන මෙන්ම ආහාර නිපදවීමේ හා සැපයීමේ ගැටළු ගැනත් අවධානය යොමුකර තිබෙනවා. 
එම සොයාගැනීම් සියල්ල වඩා ප්‍රායෝගික, විවිධත්වය සහිත ආහාර තෝරාගැනීමට යොදාගැනීම උදෙසා මෙම guide සකස් වී තිබෙනවා.

1982 දී දිනකට එක් එක් කාණ්ඩයෙන් දිනකට ගතයුතු ආහාර ප්‍රමාණය නිර්දේශ කර තිබෙනවා. උදා. පාන් සහ ධාන්‍ය කාණ්ඩය 3 -5 වරක්, එළවලු හා පලතුරු 4- 5, මස්, මාළු කාණ්ඩය දෙවරක්, කිරි හා කිරි ආහාර වයස් හා ජන කාණ්ඩ අනුව.

Food Guide ඉතිහාසයේ විප්ලවීය වෙනසක් සිදුවුණු 1992 සටහනේ ආහාර ඉදිරිපත් කර තිබෙන්නේ දේදුන්නක ආකාරයටයි. ආහාර කාණ්ඩ සඳහා නව නම් සහිතව එය ඉදිරිපත් කර තිබුණා. ධාන්‍ය ආහාරත්, එළවලු හා පළතුරුත් වැඩියෙන් ගැනීමට උනන්දු කිරීමක් සිදුකර ඇති අතර,  මෙතෙක් මුල් තැන දුන් කිරි ආහාරවලට හිමිව තිබුණේ තුන්වෙනි තැනයි. කාඩ්පතක් සේ සකස්ව තිබූ උපදෙස් පතෙහි පිටුපස, ගතයුතු ආහාර ප්‍රමාණයන් නිර්දේශිතව තිබුණා. එක් එක් ආහාර මිනුම් ප්‍රමාණ සහිතව දැක්වීමත් විශේෂිතයි. පුද්ගලයන් අනුව ගතයුතු ආහාර වෙනස්වන බවට විශේෂ සටහනක් ඇතුලත් වුණා.
2007 නැවත සංශෝධන සහිතව ඉදිරිපත් කර, 2019 වසර දක්වාම භාවිතා වූයේ කොටස් හයකින් සමන්විත තුනට නැමිය හැකි පත්‍රිකාවකි. මෙහි වයස් කාණ්ඩ මෙන්ම ස්ත්‍රී පුරුෂ භාවය අනුවද, ගැබිණි, කිරිදෙන මව්වරු ආදී ලෙස ගත යුතු ආහාර විශේෂිතව දක්වා තිබුණා.  ආහර ගතයුතු ප්‍රමාණ ගැන නිර්දේශත් විස්තරාත්මකව සඳහන්.
එළවලු පලතුරු ප්‍රමුඛතා පෝෂ්‍ය කොටස ලෙස ගැනුණු අතර, කිරි හා කිරි ආහාර යන්න  කිරි සහ විකල්ප ආහාර ලෙස සෝයා, පරිප්පු ආදිය අඩංගු වන සේ වෙනස් කර තිබූනා.   එසේම ජල පානයත්,  දිනපතා ශාරීරික යෝග්‍යතා ව්‍යායාම්වල යෙදීමත් අවධාරණය කර තිබීම වැදගත්. ආදිවාසි ආහාර ක්‍රම ගැන මෙන්ම කැනඩාවේ වෙසෙන විවිධ ජාතීන්ගේ ආහාර ගැනත් සැලකිල්ලක් දැක්වීමත් මෙම පත්‍රිකාවේ විශේෂයි. ඇසුරුම්වල එන පෝෂක විස්තර කියවා අවබෝධ කරගැනීමේ කොටසකුත් අඩංගුයි.

ක්‍රමිකව මානව ආහාර විධි වෙනස් වීමත්, ආහාර නිසා හටගන්නා රෝගයන් වැඩිවීමත් නිසා නැවත උපදේශන වෙනස් කිරීමක් අවශ්‍ය බවට පසුගිය වසරවල යෝජනා මතුව ආව. දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාගැනීම තව දුරටත් කැනේඩියානුවන්ගේ ප්‍රමුඛ ගැටළුවක් නොවූ අතර අධි පෝෂණය හා ආහාර වැඩිපුර ගැනීම ගැටළුවක් බව පෙනීගියා. එයට හේතුව Food Guide හි සමහර උපදේශයන් හි සාවද්‍ය කරුණු බවට චෝදනා එල්ලවුණා.  ආහාර ගතයුත්තේ කොපමණක්ද යන්න පමණක් නොවේ, ගුණාත්මකව ආහාර ගත යුත්තේ කෙසේද යන්නත් අවධාරණය විය යුතු බව යෝජනා අතර වුණා.
වසර ගණනාවක් තිස්සේ කරන ලද පර්යේෂණ, අනෙක් රටවල පර්යේෂණ ප්‍රතිඵල, අධ්‍යයන, සමීක්ෂණ, උපදේශන, ආදියෙන් පසුව 2019 වසරේ නව ආහාර මග පෙන්වීම් සටහනක් දොරට වැඩියා.
පිටු 26කින් යුතු පැහැදිලි ඉදිරිපත් කිරීමක් සහිතව එන මෙය, සරල රූප සටහන් පිටු දෙකකින් හැමට වටහාගත හැකි ලෙස සකසා තියෙනවා.
ගත යුතු ආහාර ප්‍රමාණ පිඟානක ආකාරයෙන් ඉදිරිපත් කර ඇති අතර,  එය වටහාගැනීම පහසුයි.
වඩාත් වැදගත් ප්‍රධාන මාර්ගෝපදේශ තුනක් ඇතුලත්.
1. ගුණාත්මක ආහාරයක පදනම
  • ධාන්‍ය, එළවලු, පලතුරු, ප්‍රෝටීන් ආහාර දිනපතා ගන්න. ප්‍රෝටීන් ආහාරවලදී ශාකමය ප්‍රෝටීන්වලට වැඩි තැනක් දෙන්න.
  • අසන්තෘප්ත මේද අඩංගු ආහාර ගන්න. 
  • ජලය පානය කරන්න. 
2. වැළකිය යුතු ආහාර පාන 
  • පිළියෙළ කරන ලද (processed) ආහාර ගැනීමෙන් මේද, ලුණු හා සීනි අනවශ්‍ය තරමින් ආහාරයට එකතුවිය හැකි බව.
  • මධ්‍යසාරවල පෝෂණ ගුණයක් නැති අතර, එය රෝගවලට හේතු වන බව.
3. ආහාර සම්බන්ධ දක්ෂතා 
  • ගුණාත්මක ආහාර වේලක් ලබාගැනීම උදෙසා පෝෂ්‍යදායි ආහාර නිවැරදිව පිසීමේ දක්ෂතා දියුණු කිරීම 
  • පෝෂ්‍යදායි ආහාර තෝරාගැනීම උදෙසා ආහාර ලේබල් නිවැරදි දැනුවත් කිරීම්වලින් යුතු වීම 
ආහාර පුරුදු ගැන සැලකිලිමත් වීම, ආහාරය වින්දනය කිරීම මෙන්ම සියලුදෙනා එකතුවී අහර ගැනීමත් අවධාරණය කර තිබෙනවා.
කිරි ආහාර හා සත්ව ආහාර නිෂ්පාදනයන් ගැන ඇති චෝදනා සලකා බැලීමෙන් පසු සම්පුර්ණ ආහාර වේලක කිරි සහ බිත්තර සඳහා ඉතා කුඩා කොටසක් පමණක් වෙන්කර තිබීමත්, මස් මාළු සඳහා එතරම් අවධානයක් නොදීමත් අනාගත නිෂ්පාදන ක්‍රියාවලියේදී සත්ව හිංසන අඩු කිරීමටත්, වංචා සහගත සත්ව ආහාර නිෂ්පාදන අඩු කිරීමටත් මග පාදනු ඇති.
කැනඩාවේ රජයේ ප්‍රකාශන අතරින් දෙවනුවට ඉල්ලීම ඇති ප්‍රකාශනය වන්නේ Canada Food Guide වීමෙන් එහි වැදගත්කම මනාව පැහැදිලි වනු ඇති. අතීතයේ සිටම ජාතියක් ලෙස සමෝධානිතව පාසල්වල පමණක් නොව, ප්‍රජා මධ්‍යස්ථාන, සන්නිවේදන ආයතන ඇතුළු සැමගේ සහය ඇතිව ජනගත වූ මෙය රටේ ජනතාවගේ අභිවෘද්ධිය සලකමින් සැකසුනක්. මෙහි පැහැදිලි කර ඇති ආකාරයට එය නිශ්චිත, නොවෙනස් එකක් නොවෙයි. මහජන අදහස්, නව සොයාගැනීම් ඇතුළු බොහෝ දේ අනුව කලින් කලට වෙනස්වන දෙයක්.

නිරෝගිමත් ජාතියක් ගැන කතා කරන හැමදෙනාම රටක් ලෙස ආහාර හා පෝෂණ ගැටළු ගැන සැලකිලිමත්ව, අතීත ආහාර රටා ගැන අධ්‍යයනය කර, ඒවායිනුත් අදහස් අරගෙන, මේ වගේ අදහසක් ප්‍රයෝගිකව බලගන්වා, පොදුවේ අනුගමනය කළ හැකිනම් යහපතක් වෙනු ඇති.

උදව්:
Canada's Food Guide through the Years: Globe and Mail 2018 April
S. Grewal
https://medicine.utoronto.ca/magazine/article/food-guide
www.cbc.ca/news/health/the-politics-of-food-guides
www.theglobeandmail.com/life/health-and-fitness/canadas-food-guide
https://brighterworld.mcmaster.ca/articles/canadas-new-food-guide-a-fail-on-culture-and-sustainability/
www.canada.ca/en/health-canada/services/canada-food-guide/about/history-food-guide.html
www.canada.ca/canada-food-guide/resources/canada-food-guide-presentation-eng.pdf

Friday 27 September 2019

ගූගල් ඩූඩල් සැප්තැම්බර්: එක දිනක නිදහස ලැබූ රටවල් පහක්, ගූගල් උපන්දිනය

සැප්තැම්බර් 15: රටවල් පහක නිදහස් දිනය 
මධ්‍යම ඇමරිකාවේ පිහිටි රටවල් පහක් වසර 300 ගණනක් පැවති ස්පාඥ්ඥ යටත් විජිත භාවයෙන් මිදී නිදහස් රාජ්‍ය ලෙස ප්‍රකාශයට පත්කළේ 1821 සැප්තැම්බර් 15 දායි. එම රටවල් වන්නේ ගෝතමාලාව, එල් සැල්වදෝරය, කොස්ටාරිකාව, හොන්ඩුරාසය, හා නිකරගුවාවයි.  මෙම රටවල් පහේම ජාතික කොඩිවල නිල්පාට තීරු දෙකෙන් අදහස් වන්නේ පැසිෆික් සාගරයේ සිට කැරිබියන් මුහුද දක්වා යන අදහසයි.

සැප්තැම්බර් 16: බී.බී. කින්ග් 
අප්‍රිකානු ඇමරිකානු ජනප්‍රිය සංගීත ශානරයක් වන බ්ලූස් සංගීත රටාව ලොව පුර ජනප්‍රිය කරවූ එහි රජු ලෙස හඳුන්වන බී. බී. King 1925 මෙවන් දිනක ඇමරිකාවේ මිසිසිපි ජනපදයේ නගරයක උපත ලැබුවා. කිංග් ඔහුගේ වාසගම වුවත් බී. බී. කොටස් නමට එකතු වුයේ මුල් යුගයේ වීදිවල සංගීත වාදනය කරන විට ඔහුගේ සංගීතය ප්රිඅ කළවුන් ආදරයට Beale Street Blues Boy ලෙස හැඳින්වූ නිසයි. පසුව Bee Bee ලෙසත් අවසාන BB ලෙසත් ඔහුගේ නම ලොව පසිඳු විය. කුඩාකල සිටම සංගීතයට මහත් ඇල්මක් හා දක්ෂතාවක් දැක්වූ ඔහු තම නිසග හැකියා දියුණු කරගනිමින්, බ්ලුස් සංගීත ගිටර වාදකයන්ට ආදර්ශ සැපයුවා. බොහෝ දෙනෙක් ඔහුගේ ගිටාර වදන රටාවල අභාෂය ලැබුවා . 70 ගණන්වලදී  ලොව පුරා ප්‍රසංග 300 ඉක්මවා පැවැත්වූ වසර තිබුණා. ඉහලම සංගීත සම්මාන වන ග්‍රැමි සම්මාන 15කට හිමිකම් කි කිංග්, ධවල මන්දිරයේ පවා ප්‍රසංග පැවත්වීමට වාසනාව ලැබුවා.

සැප්තැම්බර් 22: කඳු නගින්නිය ජුන්කෝ ටබෙයි  (1939- 2016)

1939 සැප්තැම්බර් 22 ජපානයේ ෆුකුෂිමා අසල කුඩා නගරයක උපන් ජන්කෝට කඳු නැගීමේ ආශාව ඇතිවූයේ අවුරුදු 10දී පාසලෙන් ගිය නාසු කන්ද නැගීමට ගිය ගමනේදීය. අඩි 4 අඟල් 9ක කුඩා සිරුරකින් යුතු දෙදරු මවක වූ ඇය, ජපානයේ පළමු කඳු නගින්නියන්ගේ සමාජය ඇතිකළේ ගැහැණුන් දරුවන් හා ගේදොර බලාකියාගෙන සිටිය යුතුයි සිතන සම්ප්‍රදායික සමාජ පසුබිමක් තිබියදී 1969දියි.
1975 මැයි මාසයේ ලොව පළමුවෙන් එවරස්ට් සමිට් තරණය කල කාන්තාව බවට පත්වූයේ අතිශය අසීරු ගමනකින් පසුවයි. 21 දෙනෙක්ගෙන් යුතු කණ්ඩායමක් සමග අඩි 9000ක් නැගීමෙන් අනතුරුව අවලාන්ච් නම් දරුණු හිම කුණාටුවකින් ඔවුන් නැවතී සිටි තාවකාලික කඳවුර සම්පුර්ණයෙන්ම යටවුණා. දින තුනකට පසු නැවත ගමන් ඇරඹු ජුන්කෝ, එක්  ෂර්පාවරයෙක් (නේපාලයේ කඳු නගින විශේෂඥ පුද්ගලයන් ෂර්පා නම්වේ) සමග පමණක් එවරස්ට් කඳු මුදුන තරණය කළේ  ලෝකයේ එවරස්ට් තරණය කළ 36 වන පුද්ගලයා බවට පත්වෙමින්.
නැවත ජපානයට සැපත්වුනු ඇයට සුබ පැතුම් ගලා එන්නට වුනා. ඒ අතර ජපන් අධිරාජයා ද වුණා. " නැවත ගෙදර සාමාන්‍ය තත්වයට පත්වෙන්න මාස දෙකතුනක් ගියා. මගේ තුන් හැවිරිදි දියණිය කැමරාවලට බයවෙලා හිටියේ".
එයින් තම කඳු නැගීම නවත්වුයේ නැති ජුන්කෝ 70 වියට එළඹෙන විට ලොව මහද්වීප හතේම රටවල් 56කට අයත් උස් කඳු තරණය කර තිබුණා. සිරුරේ පිළිකාවක් තිබියදී පවා තම කඳු නැගීම නැවත්වුයේ නැහැ. " අත් නොහැර ආශාකරන ඔබේ ගවේෂණ කරගෙන යන්න" දිරිමත් ඇය ලොවට දෙන පණිවිඩයයි..


සැප්තැම්බර් 27: ගූගල් 21 උපන්දිනය 
කලකට පෙර ගෘප් එකක පලකිරීමට ලියු ලිපියක් මේ වෙනුවෙන් දාන්නම්.
ගුගල් මොකද්ද කියල නොදන්නේ ඉන්ටනෙට් සැපයුමක් භාවිතා නොකළ කෙනෙක් විතරයි. ඒත් තව ටිකක් විස්තර බලමු.
ඇත්තටම මොකද්ද මේ ගුගල්?
ගුගල් කියන්නේ 1998දී ඇමරිකාවේ ආරම්භ කළ අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයක, ඒ කියන්නේ ඉන්ටර්නෙට් සර්ච් එන්ජින් එකක සන්නාමය. මේ වෙබ් අඩවිය විවිධාකාර තොරතුරු ඉතා ඉක්මනින් ලබාගැනීම උදෙසා දත්ත මෙහෙයුම් ක්‍රියාවලියක් සැකසුවා පමණක් නෙවේ, ආරම්භ කර ඉතාම කෙටි කාලයකින් මිනිසුන් අන්තර්ජාලය ගැන හිතන, කතාකරන විදිය වෙනස් කරන්නත් සමත් වුණා.
මේ නම ආවේ කොහොමද?
ගුගල් හදපු ලැරී පේජ් හා සර්ජි බ්‍රින් බලාපොරොත්තු වුනා මිලියන ගණනක් වන ජනගහනයෙන් වැඩි දෙනෙක් මෙය උපයෝගී කරගනියි කියල.ඒ නිසා නොගිනිය හැකි අංකයක් වන දහයේ සියයේ බලය වන 10^100ට කියන googol කියන නමයි යෝජනා වුණේ. එය ලිවීමේදී google කියල වෙනස් කරලා.
මුල් පිටුව බොහෝවිට එකම වගේ වුනාට භාවිතා කරන රට, ඒ රටේ විශේෂ දේ, ලෝකයේ විශේෂ සිදුවීම් ආදිය අනුව සමහර දාට වෙනස් වෙනවා.
දැන් බහුජාතික තාක්ෂණික සමාගමක් වන මෙමගින් බොහෝ සේවා ලබා දෙනවා. පින්තුර හොයාගන්න පුළුවන් ඉමේජ්, ලෝකේ බොහෝ ස්ථාන හොයාගන්න පුළුවන් මැප්, භාෂා පරිවර්තන සේවය, ප්‍රවෘත්ති,විද්‍යුත් තැපැල්, දත්ත ගබඩා කරන්න ඩ්‍රයිව්, බ්ලොග්, වීඩියෝ, දුරකථන, පරිගණක, චැට් ඇප් ....නිතර අලුත් සැපයුම් .
ගුගල් කියන එක හැම භාෂාවේම වගේ අලුත් නාමපදයක් හරි ක්‍රියා පදයක් හරි වෙලා. අපිත් කියන්නේ 'ඕක ගූගල් කරලා බලන්න', 'ගුගලේවත් නෑ', 'ගූගල් දෙයිය තමයි කිව්වේ' වගේ දේවල්.
ඔවුන් එයට නම දැමීමෙන් බලාපොරොත්තු වූ, මිලියන ගණනක් ජනතාව මෙය භාවිතා කරයි කියන අදහස නම් හරියටම හරි ගිහින්.

Wednesday 28 August 2019

පාට නොපෙනෙන ලෝකය Colour Blindness

"මේ මොන පාටද ?" ඉතා කුඩා වියේ සිට ඇසෙන, අසන මේ පැනයෙන් තම වරදක් නොමැතිව අපහසුතාවයට පත්වෙන දහස් ගණන් ජනයා අප අතර සිටින බව දන්නවා ද? එදිනෙදා බොහෝ දේ විස්තර කිරීමේදී වර්ණ යොදාගැනීම අපේ පුරුද්දක්. එය පහසුවක්. එහෙත් වර්ණ යොදාගැනීම තේරුම් ගත නොහැකි, තමන්ට යම් ආබාධිත තත්වයක් ඇතිබව දැන හෝ නොදැන එදිනෙදා ජිවිතයේ අපහසුතාවයට පත්වෙන එහෙත් විශේෂ අවස්ථාවල හැර හඳුනාගැනීමට ලක් නොවන තත්වයකි, වර්ණ අන්ධතාව. වචනයේ අර්ථයෙන් ගතහොත් එය නොපෙනි යාමක් වූවත් ඇත්තෙන්ම සිදුවන්නේ colour deficiency හෙවත් වර්ණ හඳුනාගැනීමේ ඌනතාවකි.
වචනයෙන් අසා තිබුණත්, සමහරවිට එයට ගොදුරු වී තිබුණත් ඒ ගැන වැඩි දැනුමක් නොමැති අය බහුලයි.
වර්ණ අන්ධතාව යනු කුමක්ද?
බොහෝ දෙනෙක්ට වර්ණ ගැන එකම ආකාරයේ අත්දැකීම් ඇත. සාමාන්‍ය වර්ණ දෘෂ්ඨියක් ඇති අයට විවිධ වර්ණ ප්‍රභේද ලක්ෂ ගණනක් හඳුනාගත හැකිය. වර්ණ අන්ධතාව ඇති අයට සමහර වර්ණ අතර වෙනස හඳුනාගත නොහැකිය. එහෙත් තදබල ඌනතාවක් නොමැතිනම් ඒ බව ඔවුනට හෝ අන් අයට වැටහීමක් නොමැති වේ.
බොහෝවිට ආරයෙන් එන වර්ණ අන්ධතාවට හේතුවන්නේ photopigment වල ඇති අසාමාන්‍යතාය. වර්ණ හඳුනාගන්නා කොටස් ඇත්තේ  ඇසේ දෘෂ්ඨි විතාන මධ්‍යයේ වැඩිපුර කේන්ද්‍රගතවී ඇති කේතු සෛලවලයි. ජානමය හේතු මත මෙම කේතු සෛලවල අසමානතා ඇතිවීම හෝ සමහර වර්ණවලට ප්‍රතිචාර දක්වන කේතු සෛල නොමැතිවීම වර්ණ අන්ධතාව ඇතිකරයි.

වර්ණ අන්ධතාවට හේතු: 
වර්ණ හඳුනාගැනීමට හේතුවන ජාන සමහරක් පිහිටා ඇත්තේ මව්පියන්ගෙන් දරුවන්ට ලක්ෂණ දායාද වන වර්ණදේහ යුගල 23 අතුරින් ලිංගික වර්ණදේහ නම් වන වර්ණදේහ යුගලයේ X වර්ණදේහයේ ඇති ජාන වලිනි. එහි ඇති නිලීන ජානයක් වර්නාන්ධතාව ඇතිකරයි. එසේම 7 වන වර්ණදේහයේ ද වර්ණ හඳුනාගැනීමට හේතුවන ජාන පවතී. මෙමගින් දෙමාපියන්ගෙන් දරුවන්ට මෙම ඌණතාව සම්ප්‍රේෂණය විය හැකිය.
ලොව පිරිමි 8%කටත්, ගැහැණු 4%ටත් වර්ණ අන්ධතාව ඇතිබව දැනට ඇති දත්ත මත කියවේ.
ආරය හැර යම් රෝග තත්වයන් නිසාද වර්ණ අන්ධතාව ඇතිවිය හැකිය.
පාකින්සන් රෝගය, ඇසේ සුද, පිටියුටරි ග්‍රන්ථියේ ආරමය තත්වයක් වන Kallman's Syndrome, LHON නම් දෘෂ්ටි ස්නායු ආබාධ, දියවැඩියාව, දෘෂ්ඨි විතානයේ පිළිකා, හදිසි අනතුරු හේතුවෙන් මොලයට හෝ දෘෂ්ඨි විතානයට හානි පැමිණීම මෙන්ම සමහර ඖෂධ හේතුවෙන්ද වර්ණ හඳුනාගැනීමේ අපහසුතා ඇතිවිය හැකිය.

වර්ණ අන්ධතාවයේ ප්‍රභේද: 
1. රතු-කොළ වර්ණ අන්ධතාව : වඩා සුලභ වර්ණ පෙනීමේ ඌනතාවයි. මෙම ඌනතාව ඇති පුද්ගලයන්ට රතු හා කොළ වර්ණ වෙන්කර හඳුනාගැනීම අපහසුය. මෙහිද හඳුනාගැනීමේ ප්‍රබලතාව මත තවත් කොටස් හතරකි.
Protanomaly: රතු, තැඹිලි, කහ එකම ලෙස පෙනෙන අතර පෙනෙන වර්ණද ප්‍රබල නැත.
Protanopia: රතු වර්ණය කළු ලෙසත්, තැඹිලි, කහ, කොළ වර්ණ කහ ලෙසත් පෙනෙයි.
Deteranomaly: කහ සහ කොළ වර්ණ වඩා රතට හුරුවට පෙනෙන අතර, දම් හා වයලට් වර්ණ වෙනසක් නොපෙනේ.
Deuteranopia: රතු වර්ණ කහ දුඹුරු පාටිනුත්, කොළ වර්ණය බේජ් පාටිනුත් පෙනෙයි.

2. නිල් -කහ වර්ණ අන්ධතාව: නිල් කේතු photopigment  නොපිහිටීම හෝ අසමානතා නිසා ඇතිවන තත්වයකි. එතරම් සුලබ නැත. මෙහිද ප්‍රභේද දෙකකි.
Tritanomaly: නිල් පැහැය කොළට හුරුවට පෙනෙන අතර, රතු හා රෝස පැහැයෙන් කහ වෙන්කර හඳුනාගත නොහැකිය.
Tritanopia: නිල් පාට කොළ පැහැයෙන්ද, කහ පාට වයලට් හෝ අළු පැහැයෙන්ද පෙනෙයි.

3. පුර්ණ වර්ණ අන්ධතාව: මෙය ඇති පුද්ගලයින්ට කිසිදු වර්ණයක් නොපෙනේ. දෘෂ්ඨියේ පැහැදිලි බවද අඩු විය හැකිය. ඉතාම දුලබ තත්වයකි.

මෙතනට ක්ලික් කිරීමෙන් එන වෙබ්සයිට් එකට ගොස් වෙනස් වර්ණ අන්ධතාවයෙන් යුතු පුද්ගලයන්ට පෙනෙන අයුරු ඔබත් විඳින්න.

වර්ණ අන්ධතාව හඳුනාගැනීම 
දෘෂ්ඨි විශේෂඥයන් සතුව වර්ණ අන්ධතා හඳුනාගැනීමේ පරීක්ෂණ රැසක් ඇත.
රතු-කොළ වර්ණ අන්ධතාව හඳුනාගැනීමේ වඩා ජනප්‍රිය පරීක්ෂණය ඉෂිහාරා පරීක්ෂණයයි. මෙහිදී එම වර්ණ දෙකෙන් මුද්‍රිත තල 38ක් උපයෝගි කරගනියි. පසුබිම කොළ නම් අංක හෝ මාර්ග(path)  රතුවෙන්ද පසුබිම රතුනම් අංක හෝ මාර්ගකොළ පාටින්ද ඇති මෙම තලමගින් අංක ගැන දැනුමක් ඇති අයව පරික්ෂාවට ලක් කල හැකිය. මේවා වැඩි දියුණු කර අනෙක් ප්‍රබේධ හඳුනාගැනීමට පරීක්ෂණ සාදා ඇත.
මිට අමතරව Cambridge color test, HRR Pseudoichromatic color test, Hue test ආදී පරීක්ෂණ ගණනාවක් ඇත.
ඔබටම හඳුනාගත හැකි පරීක්ෂණත් අන්තර්ජාලයේ ඇතත් දෘෂ්ඨි විශේෂඥයෙක් ලවා පරික්ෂා කරවාගැනීම වඩා සුදුසුය. අන්තර්ජාලයේ ඇති එක පරීක්ෂණයක් මෙතනින් හමුවේ.

වර්ණ අන්ධතාව නිසා එදිනෙදා ඇතිවන අපහසුතා:
වර්ණවලින් නිරුපනය වන වගු, චාට් ආදිය කියවීමේ අසීරුතාව නිසා හඳුනාගෙන නැති සිසුවෙක් පාසලේදී අපහසුතාවට පත්විය හැකිය. කොළපාට ලෑලිවල කහපාටින් ලිවීමේදී හඳුනාගැනීමේ අපහසුතා ඇතිවිය හැකිය. වර්ණ භාවිතා කර සිදුකරන ක්‍රියාකාරකම් වලදී හා හඳුන්වාදීම් වලදී සිසුන්ට පැහැදිලි නොමැතිවිය හැකිය. මෙයින් සාමාජීය හා අධ්‍යාපනික පසුබෑම් ඇතිවිය හැකිය.
වාහන පැදවීමේදී වර්ණ සංඥා නිසිලෙස හඳුනා නොගැනීමෙන් අනතුරු සිදුවිය හැකිය. විශේෂයෙන් සංඥා තිරස්ව ඇති තැන්වල මෙම අපහසුතාව ඇතිවේ.
සිතියම් කියවීම, එදිනෙදා කටයුතුවල  වර්ණ ගැලපීමේදී බාධක ඇතිවේ. වර්ණ අන්ධතා ඇති අයට කෙසෙල් තේරීම අපහසු බව පර්යේෂණ වලින් හෙළිවී ඇත.
ගුවන් නියමු, විදුලි කාර්මික, මෝස්‌තර නිර්මාණය, චිත්‍ර හා මුර්ති ශිල්පය, ගෘහ අලංකරණය වැනි රැකියාවල නිරතවීමට වර්ණ අන්ධතාව  බාධාවකි.  සුපවේදය, ගුරු වෘත්තීය වැනි  රැකියාවන්හි  දීද ගැටළු ඇතිකළ හැකි තත්වයකි.

වර්ණ අන්ධතාව සඳහා ප්‍රතිකර්ම: 
වර්ණ අන්ධතාවට පිළියම් නැත. එහෙත්,
1. සමහර අන්ධතාවන් තරමක් සමනය කරන ඇස් කන්නාඩි වර්ග වෙළඳ පොලේ ඇත. මේවා එළිමහනේ තද ආලෝකය ඇතිවිට වර්ණ හඳුනාගැනීමට ඉවහල් වේ.
2. අන්තර්ජාලයේ, නවතම රුපවාහිනීවල, පරිගණක වල වර්ණ අන්ධ පුද්ගලයන්ට උපයෝගී කරගත හැකි ඇප් අඩංගුය. මෙවැනි ඇප් භාවිතයෙන් වර්ණ අන්ධ පුද්ගලයන්ට අපහසු දෙයක් වන ඇඳුම් සඳහා වර්ණ ගැලපීම කල හැකිය. සමහර චිත්‍රපටිවල වර්ණ අන්ධ අය සඳහා වූ විශේෂ පිටපත් ඇත.
3. මාර්ග සංඥා සඳහා වර්ණ වලට අමතරව රූප හෝ සලකුණු දීම.

මෙම තත්වයන් ඇතිවීම වලක්වා ගැනීමට
1. විවාහයට පෙර දෙදෙනාම රෝග වාහකයන් නොවන බව තහවුරු කරගැනීම
2. අනතුරුවලින් හිස් ආරක්ෂා කරගැනීමට සුදුසු හිස්වැසුම් පැළඳීම
3. දැඩි හිරු රශ්මියෙන් ඇස් ආරක්ෂා කරගැනීමට සුදුසු අව් කණ්ණාඩි පැළඳීම
කළ හැකිය.

පර්යේෂණ කෙරෙමින් පවතින ක්ෂේත්‍රයක් වන මෙහි, කේතු සෛලවල දෘෂ්ඨි හැකියාව වර්ධනය කිරීම පිලිබඳ අවධානය යොමුවී ඇත. එසේ වැඩි දියුණු කරගන්න දෘෂ්ඨිය ජිවිත කාලය පුරා පවත්වා ගැනීමේ තෙරපි පිලිබඳ පර්යේෂණ කරන්නේ ඇස්වල ආරක්ෂාව පවත්වාගන්නා අතර, ඵලදායිතාව රැකගැනීමටයි. වර්ණ හඳුනාගත නොහැකි වෙනස් ලොවක දිවි ගෙවන අයට ලොවේ අලංකාරය දැකීමට මේ පර්යේෂණ අනාගතයේ මහත් පිටිවහලක් වනු ඇත.

උදව්:
nei.nih.gov/health/color_blindness/facts
www.allaboutvision.com/conditions/colordeficiency.htm
www.smallbusiness-solution.com
www.color-blindness.com/50-facts-about-color-blindness/
https://99u.adobe.com/articles/59737/how-can-we-make-design-better-for-the-color-blind

Wednesday 21 August 2019

ගෙවත්තේ වවන විෂ සහිත මල්වර්ග

වාසනාව ළඟා කරගැනීම උදෙසා නිවෙස තුල තබා තිබුණු ශාකයක පත්‍රයක් කෑම නිසා රෝගී වූ දරුවෙක් ගැන ලඟදි වෛද්‍යවරු ලියා තිබුනා. අපි නොදන්නවා වුණත් අප අවට විෂ සහිත ගස් වගේම, මල් පිපෙන ශාකත් බොහොමයක් තියනව.
ගෙවත්තට වර්ණය හා අලංකාරය එකතු කරන මේ මල්වර්ග වවන්න එපා කියල නෙමෙයි කියන්නේ. ඒ ගැන දැනුවත් වී සැලකිලිමත් වෙන්න කියල. විශේෂයෙන් පොඩි දරුවන් හා සුරතලයට ඇතිකරන සතුන් සිටින ගෙදරක වැඩි අවධානයක් යොමු කරන්න.

1. හයිඩ්රෙන්ජියා Hydrangea :
ඉතා අලංකාර නිල්පාට  හා රෝස පාට පොකුරු මල් පිපෙන හයිඩ්‍රන්ජියා  ගෙවත්තකට හැඩයක් එකතු කරනවා. එහෙත් බල්ලන් බළලුන් මේ මල් කුඩා කොටස් හපන්න කැමතියි. සයනයිඩ් යන්තම අඩංගු මෙම මල් වැඩි ප්‍රමාණයක් ශරීරගත වීම කුඩා සුරතලුන්ට භයානක තත්ත්ව ඇති කරන්න පුළුවන්. මිනිසුන්ට විෂ නැතිවුණත්. වැඩි ප්‍රමාණයක් ශරීර ගතවීමෙන් වමනය, පාචනය, මලානික ගතිය ඇතිකරවන්න පුළුවන්.

2. ක්ලෙමටිස් වර්ග Clematis: විශාල මල් පිපෙන මල්වැල් වත්තකට ආශීර්වාදයක් වුණත් ක්ලෙමටිස් වැලක් ගැන සැලකිලිමත් වෙන්න ඕන මල්වල විෂ සහිත බවත්, අසාත්මික විය හැකිත් නිසයි. මෙම පුෂ්පයෙහි ග්ලයිකොසයිඩ් වර්ගයක් වන ඇනිමොනින් අඩංගුයි. එම දල විෂ මිනිසුන්ටත් සතුන්ටත් අසාත්මිකතා ඇතිකරනවා. ක්ලෙමටිස් පුෂ්පය  ඇල්ලීම වුනත් සමහරුන්ට අසාත්මික වෙන්න පුළුවන්. ඒ නිසා අතු කපන වෙලාවට ග්ලවුස් පාවිච්චි කරන්න ඕන. යම් හෙයකින් මේ මල් සැපුවොත් කටේ දැවිලි ගතියක් ඇතිවෙන්න පුළුවන් වගේම කුඩා ගෙඩි හෝ තුවාල ඇතිවෙන්න ඉඩ තියනව.
මලේ තිත්ත රසය හින්ද සත්තු  කන්නේ නැතිවුණත් යම් විදියකින් කැවුනොත් අශ්වයන් පවා දැඩි ලෙස කෙල වැගිරීම, විඩා ගතිය පෙන්වනවා. ඉක්මනින් මේ ලක්ෂණ පහවෙලා යනවා.

3. වරා Calotropis :
මුහුදුබඩ ප්‍රදේශවල ඉබේ හැදෙන වරාමල් සුදු හෝ දම් පාටින් පොකුරු පිපෙන්නේ. වරා ශාකයේ හැම කොටසක්ම පාහේ බෙහෙත් විදියට ගන්නවා වුණත්, හරිහැටි නොදැන හිතුමතේ භාවිතා කරන්න සුදුසු නැති ශාකයක්. අවශ්‍ය කොටස් ගන්න ඕනේ ඒ ගැන හොඳ දැනුමක් තියන අයගේ උපදෙස් පරිදි  ප්‍රමාණවත් මාත්‍රා වලින් පමණයි. මෙහි කඳේ හා පත්‍රවල ඇති කිරිවල කැලොට්‍රොපින් අඩංගුයි. ඒ මගින් ඇස් අන්ධ වෙන්න පුළුවන්.

4. කනේරු Oleander: රතු, රෝස, කහ, සුදු ආදී විචිත්‍ර වර්ණයෙන් යුක්තව අතිශය සුවඳවත් මල් පොකුරු පිපෙන නිසා ගෙවත්තකට එකතු කරගන්න ආස හිතෙන ශාකයක් කනේරු.  වැඩි සාත්තුවක් නැතිව හැදෙන නිසාත්, අඩු ජල සැපයුමකින් වුනත් වැඩෙන නිසාත් උද්‍යාන අලංකරණයට බහුලව යොදා ගැනෙනවා.
කහ පාට කනේරු බීජය විෂ සහිත බව වැඩිදෙනෙක් දන්නවා වුනත්, සැම වර්ගයකම කනේරු ශාකවල සියලුම කොටස් විෂ සහිතයි. මලක කොටසක් වුණත් කුඩා දරුවෙක්ට භයානක ප්‍රතිඵල ඇති කරන්න පුළුවන්. කනේරු ශාක පුරාම හර්දයට විෂ සහිත Cardiac glycoside තියනවා. මෙම මල් ජලයට වැටීමෙන් එම ජලය පවා විෂ වෙන්න හැකි නිසා ජල මුලාශ්‍ර ආශ්‍රිතව වැවීම නොකළ යුතුයි. ශාක කොටස් පිලිස්සීමෙන් නැගෙන දුම් ද විෂ සහිතයි. මෙම මලෙන් මි මැස්සන් පැණි ගෙන සාදන මි පැණි පවා විෂ වෙන්න පුළුවන්.  කනේරු විෂ ශරීරගත වීමේ ලක්ෂණ වන්නේ විජලනය, හර්දය ක්‍රියාකාරිත්වය අඩුවීම, උණ, අතපය අනිච්ඡානුග ලෙස ගැස්සීම,වමනය, පාචනය  ආදියයි. ප්‍රතිකාර පමා වුවහොත් මරණය පවා ඇතිවන්න පුළුවන්.

5. නියඟලා Gloriosa : අතිශය රමණිය මලක් වන නියඟලා සැදෙන්නේ වැල්වලයි. මුළු ශාකයම විෂ සහිත වන අතර දහවලට අලයේ විෂ වැඩි බවත්, රාත්‍රියට මලෙහි විෂ වැඩි බවත් සඳහන්. ආයුර්වේදයේ ඖෂධයක් ලෙස භාවිතා කළත් නිසි මාත්‍රාව හා සංයෝජනය නොදැන  ආහාරයට නොගත යුතු ශාකයකි. බොහෝවිට හුලන්කිරිය අලය ලෙස වරදවා වටහාගෙන අහරයට ගැනීමෙන් සිදුවූ මරණ වාර්තා වෙලා තියනවා. පානිය ජලය ඇති ස්ථානවල වැවී තිබීමත් සුදුසු නැහැ.
විෂ ශරීර ගතවූ පසු බඩ රිදීම, වමනය, ලේ පාචනය  වැනි  ලක්ෂණ දකින්නට හැකි අතර, හර්දය, වකුගඩු, පෙනහළු ආදී ප්‍රධාන ඉන්ද්‍රියයන්ට හානි පමුණුවන නිසා මරණය අත්වේ.

6. බාලොලියා/ ගඳපාන Lantana: වල් පැලෑටියක් ලෙස සැලකෙන ඉතා සරුවට කැලෑවට හැදෙන වසර පුරා වර්ණවත් පොකුරු මල් පිපෙන පඳුරු ලෙස වැවෙන ශාකයක්. ඉදුණු ඵල මිහිරි රසකින් යුක්තයි. පැල සකසන්නන් නව ප්‍රභේද පවා සැදීමට යොමුව ඇත්තේ මල්වල සුන්දරත්වය නිසයි. එහි ඇති මිහිරි සුවඳ හා මල්පැණි මි මැස්සන්, සමනලුන් ආකර්ෂණය කරගැනීමට සමත් වෙනවා.
මෙම ශාකයේ සියලු කොටස් අක්මාවට හානිකරන විෂ සහිතයි. (Liver  toxin ). මෙම ශාකයේ කොටස් අනුභවය මානසික අවපිඩනය, තෙහෙට්ටුව ඇති කිරීමට හේතු වන අතර, වැඩිපුර අහරයට ගැනීම නිසා වමනය හා අක්මාවේ ක්‍රියාකාරිත්වයට හානි  ඇතිවිය හැකියි.

7. රෝඩෝඩෙන්ඩ්‍රන් Rhododendron :
පඳුරු  ලෙස මද සෙවනේ වැඩෙන, අලංකාර පොකුරු ලෙස සුදු, රෝස, දම්, රතු වර්ණයන්ගෙන් යුක්තව පිපෙන රෝඩෝඩෙන්ඩ්‍රෝන් උද්‍යාන අලංකරණයේ බහුලව යොදාගන්න ශාකයක්. ඇසිලියා ලෙසද හඳුන්වන්නේ මෙම වර්ගයේම ශාකයි. බෝ කරගැනීම පහසු නිසාත්, දීර්ඝ කාලයක් මුළුල්ලේ මල් පිපි පවතින නිසාත් එතරම් උස නොයන නිසාත් බොහෝ දෙන මෙම ශාකයට ප්‍රියයි.
පෙත්තක කුඩා කොටසක් කෑමට ගත්තත් ඇස් දැවිල්ල හා වමනය ඇතිවන්න පුළුවන්. හුස්ම ගැනීමේ අපහසුතා සහ රුධිර පීඩනය අඩු කරන මෙම මල්, වලිප්පු තත්වයන් ඇතිකර සිහි මුර්ච්ඡා කරවීමට සමත්. මරණය සිදුවීමට නම් මල් විශාල ප්‍රමාණයක් ශරීරගත විය යුතුයි. සුරතල් සතුන් මෙම ශාකයෙන් ඇත්කර තැබීම වඩා සුදුසුයි.

8. මෝනිං ග්ලෝරි Morning Glory: නිල්, දම්, රෝස පැහැ මල් හටගන්නා ගිරිතිල්ල  කුලයේ වැල් වන මේවයේ මල් උදේ කාලයේ පිපි ඉක්මනින් පරවී යනව වුණත්, වර්ණ හා හැඩයේ විචිත්‍ර බවත්, නඩත්තුව අපහසු නොවන නිසාත් හොඳින් අව්ව ඇති උද්‍යානවල, ගෙමිදුල්වල  පිපි තිබෙනු දැකිය හැකියි. මලේ විෂ බවක් නොමැති වුවත් බිජවල විෂ සහිත ලයිසර්ජික් අල්කලොයිඩ් අඩංගුයි. ආහාරයට එක්වීමෙන් පාචනය ඇතිවිය හැකියි. විශාල ප්‍රමාණවලින් ශරීර ගත වුණහොත් අක්මාවේ ක්‍රියාකාරිත්ව දෝෂ  ඇතිවෙන්නත් පුළුවන්.

9. මිනීමල් Periwinkle:
මිනි පිට්ටනිවල පොලව වසාගෙන ඉබේ හැදෙන නිසා මෙම නම ලද, දම් රතු හා සුදු වර්ණ මල් පිපෙන කුඩා ශාක තරමක විෂ සහිතයි. දේශීය වෛද්‍ය ක්‍රමවල අධි රුධිර පීඩනයට ප්‍රතිකාර ලෙස යොදාගත්තත්, හිතුමතේ භාවිතය සුදුසු නොවන්නේ වැඩි මාත්‍රා හේතුවෙන් රුධිර පීඩනය පහත වැටීමේ ඉඩක් ඇති නිසයි. දියවැඩියාව සුව කිරීමටත් යොදාගන්න ශාකයක් වෙන මෙහි ඇල්කලොයිඩ් සමුහයක් අඩංගුය.

10. ඩෑෆඩිල් Daffodil : ලොව පුරා වර්ග දහස් ගණනක් පැතිරී ඇති අලංකාරයට හා සැරසිලි සඳහා ගන්න ශාකයක් වන ඩෆඩිල් ලංකාවේ තවම ගීතවලට පමණක් සිමා වී තිබෙන මලක්. එහෙත් ඊට සුදුසු පරිසර තත්ත්ව ඇති නිසා වගාකරුවන්ගේ අවධානය යොමුවෙන්න පුළුවන්. පොලවට ආසන්නව මල් පිපෙන ශාකයක් වෙන මෙහි සුදු, කහ, තැඹිලි වර්ණවලින් යුතු මල් පිපෙයි.
විෂ සහිත ලයික්‍රොනින් අඩංගු වෙන්නේ බල්බවලයි. එහෙත් මල සමහරුන්ට ඉස රදය වැනි අසාත්මිකතා ඇති කරනවා.  සැපීම තුලින් පෙති ශරීරගතවීම නිසා වමනය, ඔක්කාරය, පාචනය, හර්ද ක්‍රියාකාරිත්වයේ අසමානතා ඇතිවෙන්න පුළුවන්. සතුනට  හාරගත හැකි තරම් අඩු ගැඹුරක පස තුල බල්බ තියෙන නිසා පැලය මිය ගිය පසුත් එය තිබු තැන ගැන අවධානයෙන් සිටීම වැදගත්.

මිනිසුන් සාමාන්‍යයෙන්ම තමනට හොඳ නැති දේ කරා ඇදී යන සත්ව වර්ගයක්.  සමහර අලංකාර මල් අපිටත් අපේ ආදරණීයයන්ටත් විපත් ඇති කරන්න පුළුවන්. එහෙම කියල ලස්සණ මල් වවන්නේ නැතිව ඉන්න බැහැනේ. අයහපත් පැත්ත ගැන දැනුවත් වෙලා, ඒ ගැන අවධානයෙන් සිටිමින් එහි සුන්දරත්වය විඳීමයි කල යුත්තේ.
උදව්:
https://balconygardenweb.com
https://gardenerspath.com
www.thedailygardener.com
අපේ ඔසුපැල Medicinal Plants of Sri Lanka

Tuesday 30 July 2019

ගූගල් ඩූඩල් ජූලි : නොගැයුනු වීරයෝ Unsung heroes

ජුලි 12:  Rene Favaloro (1923- 2000)
"අපි, සමුහයක් ලෙස, තනි පුද්ගලයෙක්ට වඩා වැදගත්. වෛද්‍ය විද්‍යාවේ දියුණුව හා  සංවර්ධනය හැමවිටම වසර ගණනාවක් තිස්සේ සමුහයක් ලෙස එකතු කරගත් දැනුම හා දක්ෂතා වල ප්‍රතිඵලයක්". කිරීටක ධමනි බයිපාස් සැත්කම්, සායනික පුහුණුව උදෙසා  හඳුන්වා දුන් ආර්ජන්ටිනා ජාතික ශල්‍ය වෛද්‍ය රීනි ෆැවලොරෝ ලියා ඇත.
1923 ජූලි 12දා (මීට වසර 96කට පෙර) උපතලද මොහු පාසල් වියේදී ද මිනිස්කම් පිළිබද දැඩිව සිතුවේය. 1949 වෛද්‍ය උපාධිය ලද ෆවලෝරෝ, තම වෛද්‍ය දිවියේ මුල් වසර 12 ගතකළේ ගොවියන් වෙසෙන, කාන්තාරයකට මායිම් වූ දුෂ්කර පෙදෙසක ප්‍රාන්ත වෛද්‍යවරයෙක් ලෙසයි. කෙටි කලකින් ඔහුගේ සොහොයුරාද වෛද්‍ය උපාධිය ගෙන ඔහුට එක්විය. දෙදෙනා එක්ව අඩු පහසුකම් සහිත එම ප්‍රදේශයේ සැත්කම් සිදුකිරීමට ශල්‍ය වෛද්‍ය කාමරයක් සදා ගත්හ. හෙදියන් පුහුණු කළහ. ලේ බැංකුවක් හා වෛද්‍ය සහයක මධ්‍යස්ථානයක් ගොඩනැගුහ. ඊට අමතරව රෝගවලින් වළකින්නේ කෙසේදැයි රෝගීන් නිරතුරුවම දැනුවත් කළහ.
රීනි තම අත්දැකීම් ඇසුරෙන් ඒත්තු ගත්තේ සෞඛ්‍ය සේවාව යනු ආර්ථික තත්වයන් මත බලනොපාන මුලික මිනිස් අයිතිවාසිකමක් බවයි. 'හැම වෛද්‍යවරයෙක්ම, හැම විද්‍යාඥයෙක්ම තම ජීවිතය හා සේවාව මානව වර්ගයා වෙනුවෙන් කැප කළ යුතුයි". ඔහු නොයෙක් වර පැවසීය.
ග්‍රාමීය ප්‍රදේශයේ සේවය කරන අතරතුර නිරතුරුව ප්‍රධාන නගරයට ගොස් දැනුම යාවත්කාලින කරගත්හ. 1962දී රීනි එක්සත් ජනපදයේ ක්ලිව්ලන්ඩ් වෙත යන්නේ වැඩිදුර ඉගෙනීම පිනිසයි. එහිදී cine angiogrphy, එනම් රුධිර නාල තුළ චලන ඡායාරුප ගැනීම හා කියවීම හඳුන්වා දුන් මේසන් සෝන්ස් සමග අධ්‍යයනය කිරීමේ අවස්ථාව ලද්දේය.
පළමු කිරීටක ධමනි සැත්කම අතරතුර 
අන්ජියෝග්‍රෑම් පිළිබඳව බොහෝදුර ඉගෙනීමෙන් පසු අවහිර වූ කිරීටක ධමනි වෙනුවට වෙනත් රුධිර නාලයක් යෙදවීම ඵලදායි ලෙස කල හැකි බව රීනි වටහාගත්තේය. එය සාර්ථකව කලහැකිබව ඔහු පෙන්වා දුනි.
1957 මැයි 9වනදා දොස්තර ෆවලෝරෝ විසින් 51 වියැති කාන්තාවකගේ අවහිර වූ කිරීටක ධමනියක් සැත්කමට ලක් කළේය. ඇයව heart-lung යන්ත්‍රයකට සම්බන්ධ කර, හර්ද ක්‍රියාකාරිත්වය නවත්වා, ඇයගේ පාදයෙන් ගත් රුධිර නාල කොටසක් ධමනියේ අවහිර වූ කොටස දෙපසින් සම්බන්ධ කර රුධිරය ගමන් කිරීමට නව මාවතක් නිර්මාණය කළේය. මෙම ඓතිහාසික සැත්කම සාර්ථක විය. එදා සිට ගතවූ අඩ සියවස තුළ මෙම සැත්කම ලොව පුරා නොගිනිය හැකි තරම් ජිවිත බේරාගැනීමට සමත් විය. 
1970දී නැවත ආර්ජන්ටිනාවට ගිය දොස්තර ෆවලොරෝ, ඔහුගේ නමින් වෛද්‍ය ආයතනයක් බුවනොස් අයර්ස් නගරයේ පිහිටවිය. එම මධ්‍යස්ථානය රෝගීන්ගේ මුල්‍යමය හැකියාව නොව, රෝගී අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් සේවය කිරීමට යෙදවිණි. ඔහුගේ එම තාක්ෂනය හා අදහස් මුළු ලතින් ඇමරිකාවේම වෛද්‍යවරුන්ට යහපත් මග පෙන්වීමක් විය.

ජුලි 29 Chiune Sugihara (1900- 1986)
දෙවෙනි ලෝක යුද්ධය ආරම්භ වීමට ආසන්නයේ සුගිහාරාට ලිතුවේනියාවේ ජපානය නියෝජනය කරන උප කොන්සල් ලෙස පත්වීමක් ලැබුණි. යුද්ධය ප්‍රකාශ කිරීමත් සමගම යුදෙව් පවුල් ඔහුගේ නිලනිවාස ඉදිරියේ පෙළ ගැසෙමින් ඉල්ලුයේ ලන්දේසී පාලනය යටතේ තිබු Curacao රටට ජපානය හරහා ගමන් කිරීමට වීසා නිකුත් කරන ලෙසයි. මෙය ඉතා මානුෂික ඉල්ලීමක් වූ නිසා සුගිහරා ඒ සඳහා අවසර ඉල්ලමින් පණිවිඩ තුනක් යැවිය. ඒ සියල්ල ජපාන රජය විසින් බලය යොදවා ප්‍රතික්ෂේප කළේ 'දැනට වීසා නැති කිසිම සංචාරකයෙක්ට ජපානය හරහා පිටත්වන්නට හැකි ආකාරයේ වීසා නිකුත් නොකරන්න" ලෙසින් සඳහන් කේබල් පණිවිඩයක් එවීමෙනි. 'No exceptions' එහි වැඩි දුරටත් සඳහන් විය.
" මෙය මානුෂික ප්‍රශ්නයක් ලෙස සලකන්න. මගේ රැකියාව මට වැඩක් නැහැ" සුගිහාරා නැවත විදේශ අමාත්‍යාංශය අමතා උත්සහ කලත් ප්‍රතිඵලය එකසේ විය.
ජර්මන් ජාතිකයන් අතින් මරණයට පත්වීමට නියමිත මනුෂ්‍ය ජිවිත දහස් ගණනක් බේරාගැනීමට වෙනත් මගක් නොදුටු සුගිහාරා තම ඉහල නිලධාරී අණ නොතකමින් දහස් ගණනක් වූ යුදෙව් අනාථයන්ට ජපානය හරහා ගමන් කිරීමට හැකිවන සේ වීසා නිකුත් කිරීම ඇරඹුයේ තම රැකියාව හා අනාගතය පරදුවට තබමිනි. ඒ 1940 ජූලි 29 වෙනිදා ය.
තම ක්‍රියාවේ නිවැරදි භාවය ගැන හිතා බැලු ඔහු ඒ ගැන පහලවූ සැක ඉවත ලා වීසා ලිවිම ආරම්භ කළේය. දින ගණනාවක් පුරා දිවා රෑ වෙනසක් නැතිව, හරිහැටි නිදි නොලබා ඔහු දිගටම දහස් ගණනක් වීසා ලිව්වේය. "මගේ ඇඟිලි ඇකිලිලා ගියා. මැණික් කටුවේ ඉඳල උරහිසට යනකල් හැම තැනම රිදෙන්න ගත්ත. ඒත් මම නැවැත්තුවේ නැහැ". ඔහුගේ මෙම අවදානම් සහගත ක්‍රියාවට සහයෝගය දැක්වූ බිරිඳත් ඔහුගේ අත් සම්බාහනය කරමින් ඔහුට තවත් ලියන්නට උපකාර කළාය. ඒ වනවිට සියලුම රටවල තානාපතින් ඉවත් කරන ලෙස ලද අණින් ඔහුට රුමෙනියාවට යාමට සිදුවිය. ඔහුට රටෙන් පිටවීමට නියමිත දුම්රියේ නැගීමට යන අවසාන මොහොත දක්වා ඔහු දුම්රිය වේදිකාවේදී පවා මගීන්ට වීසා ලියාදුනි.
"නිවැරදි දේ කරන්න, එය නිවැරදි නිසා. දඩයක්කරුවෙක්ට වුනත් තමන් වෙත ඉගිලී රැකවරණය පතන කුරුල්ලෙක්ව මරන්න බැහැ. මම එය කළ යුතුව තිබුණා. මගෙන් රැකවරණය ඉල්ලා ආ දහස් ගණනක්  ජනතාවට පිටුපාන්න මට බැරිවුණා".
රුමේනියාවේදී රජයට අපක්ෂපාති වීම චෝදනාව යටතේ  වසර දෙකක සිර දඬුවමක් නියම විය. එසේම ජපානයට සැපත් වූ වහාම රජයේ නියෝග පිළිපැදීමට අපොහොසත් වූ නිසා  ඔහුගේ සේවය අත්හිටවූ බව දැනුම් දුනි. ඉතා හොඳ අනාගතයක් තිබු රැකියාව ඔහුට අහිමි විය. තම දරු පවුල නඩත්තු කිරීම උදෙසා අඩු වැටුප් ලැබෙන රැකියා කිරීමට සිදුවූ අතර දුක්ඛිත ජිවිතයක් ගත කිරීමට සිදුවිය.  ඔහු කළ කැපකිරීම පිලිබඳ යුද්ධය නිමවූ පසුවවත් කිසිවෙක්ගේ අවධානයට ලක් නොවීය.

ඔහු නිසා දිවි බේරාගැනීමට සමත්ව පසුව ඊශ්‍රායලයේ විදේශ සේවාවක ඉහල තනතුරක් දරු පුද්ගලයෙක් 1968දී සුගිහාරාව සොයාගැනීමට සමත්විය. සුගිහාරා විසින් කල සේවය ලොවට හෙලි කළේ එම තැනැත්තාය.
ජෙරුසෙලමේ Holocaust Memorial හි සුගිහාරා නමින් පැලයක් රෝපණය වූ අතර, ඔහු  Righteous Among Nations (සදාචාරාත්මකව නිවැරදි දේ ජාතීනට සිදුකළ) කෙනෙක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණි. හෙළිදරව් නොවූ දස දහසක් ජිවිත බේරාගත් වීරවරයෙක් ලෙස ඔහු ලිතුවෙනියවෙත් ජපානයේත් සැලකිල්ලට බඳුන් විය.

'යමෙක්ට තමන් විශ්වාස කරන නිවැරදි දේ කර, අනිත් අයගේ ජිවිත බේරාගන්නට දිනකට පැය 18ක් 20ක් වැය කරන්නට තරම් ධෛර්යයක් ඇත්නම් ලොවේ මිනිසුන් ඔහු හඳුනාගත යුතුයි. ගෞරව කලයුතුයි'. සුගිහාරා වෙනුවෙන් ගමන් බලපතක ආකාර ඩූඩලය නිර්මාණය කළ මැතිව් ක්රුක්ශෑන්ක් පවසයි.

ජූලි 30: මුතුලක්ෂ්මි රෙඩ්ඩි (1886- 1968)
තම දිවිය පුරාම සමාජයෙන් එන බාධක බිඳ හෙලමින් ඉදිරියට ගොස්, අනෙකුත් කතුනටද සේවය සැලසූ  සාර්ථක කාන්තාවක ඉන්දියාවේ තමිල්නාඩුවේ දී උපන්නේ 1886 ජූලි 30 වන දාකයි.
ලාබාල වියේදී විවාහවන ලෙස දෙමාපියන් කල ඉල්ලීම නොතැකු ඇය ඉගෙනීමට තමන්ගේ ඇති කැමැත්ත අනුව විභාග සියල්ල සමත්ව එවක පිරිමි පාසලක් වූ මහරාජා කොලේජ් වෙත ගියාය. සමාජයෙන් එල්ලවූ සියලු බාධක හා පාසලෙන් එලියට ඇද දමන බවට එල්ල වූ තර්ජන ගණනකට නොගත් ඈ, පිරිමි අතර උගෙන විශිෂ්ඨ ලෙස සමත්ව, ශිෂ්‍යත්වයක්ද ලැබ ගනිමින් මදුරාසි වෛද්‍ය විද්‍යාලයේ ප්‍රථම ශිෂ්‍යාව ලෙස ලියාපදිංචි වූවාය.
ඉන්දියාවේ මුල්ම වෛද්‍යවරියන් අතරට එක්වූ ඇය කාන්තා හා ළමා රෝහලක ශල්‍ය වෛද්‍යවරියක ලෙස සේවය කළාය. දොස්තර සුන්දර රෙඩ්ඩි සමග විවාහ වූයේද ඔහු කාන්තාවනට වෙනසකින් තොරව සලකන බවට අවබෝධ කරගත් නිසාය.
ඇය මහත්මා ගාන්ධි ගේ ඉන්දියාව නිදහස කිරීමේ සටනට සහය දක්වුවාය. ඒ අතර පොදු වෛද්‍ය සේවා දියුණු කිරීමෙහි නියැලුනාය. කාන්තාවන්ට අධ්‍යාපනය දීම, ඔවුන්  බල ගැන්වීම හා නිසිතැන් ලබා දීම උදෙසා නොකඩවා ක්‍රියා කළාය.
පසු කාලීනව වෛද්‍ය වෘත්තියෙන් ඉවත් වූ ඇය නිතිය හදාරා මදුරාසි නීති කවුන්සිලයට සම්බන්ධ වුවාය. එහිදී දැරියන්ගේ විවාහ වීමේ වයස ඉහල දැමීම උදෙසා හා ඔවුන්ගේ ශ්‍රමය අඩු මිලට සුරාකෑමට එරෙහිව නොබියව ක්‍රියා කරමින් අනභිබවනීය සේවයක් සිදුකළාය.
රෙඩ්ඩි ගේ සොයුරිය පිළිකාවකින් මිය යාමෙන් පසු 1954දී අදායර් පිළිකා සංගමය පිහිටුවීමේ මුලිකත්වය ගත් ඇය, එය ලොව ඉහලම තැනක් ගන්නා පිළිකා මර්දන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට අනගි මෙහෙයක් සිදුකළාය. අද එම මධ්‍යස්ථානයෙන්  වසරකට ප්‍රතිකාර ගන්නා රෝගීන් ගණන 80 000 ඉක්මවයි.
ඉතා පහත් තැනක තිබු කාන්තා අධ්‍යාපනය දියුණු කිරීම, කාන්තාවනට නිසි තැන ලබාදීම, විවාහ වයස වැඩිකර ලීම වැනි ඉන්දීය කාන්තාවන්ගේ උන්නතිය උදෙසා මුතුලක්ෂ්මි කළ කැප කිරීම් හේතුවෙන් අද වනතෙක් සිය ජීවිතවල නව ආලෝකයක් ලැබු ඉන්දීය තරුණියන් මිලියන ගණනකි. ඇය වෛද්‍ය හා නීති ක්ෂේත්‍රයන්ගේත්, පොදුවේ කාන්තා අභිවෘද්ධිය උදෙසාත් කළ අනගි සේවයට උපහාර පිණිස ඇය 1956 දී ඉන්දියාවේ ඉහලම සම්මානයක් වන පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබුවාය.

උදව්:
www.google.com/doodles/rene-favaloros-96th-birthday
https://artsandculture.google.com/
www.google.com/doodles/celebrating-chiune-sugihara
https://en.wikipedia.org/wiki/Muthulakshmi_Reddi