Saturday, 29 April 2017

කිසිදු රටකට අයත් නැති බිමකින් බිහිවූ ටියුලිප් උළෙල Tulip Festival

සීත කාලෙ කටුඅතු පොරවාගෙන ඉරිතැලිලා ගිය ගස්, උණුසුම් ඉර එලිය ටිකක් වැටිලා හුස්මක් අරන් හිනාවෙන්න හරිබරි ගැහෙනවා. ඇස්දෙක පියවල අරිනකොට එකපාරම ගස්අතු මල් පුරවාගෙන. සකුරා මල් උඩ පැනපැන හිනාවෙනකොට, ඍතු තුනක්ම පොලව යට ගුලිවෙලා හිටපු ටියුලිප්, හෙමින් කොළ එක දෙක දිග ඇරගෙන සතියට දෙකට පොට්ටුත් හදනවා. ඊළඟට බලද්දී හැමතැනම දීප්තිමත් පාට පාට ටියුලිප් මල්. ලොකු පෙති තුනක් තියන පොලවට ලංව පිපෙන මේ පියකරු මල වසන්තයේ උදාව කියන තවත් සුරම්‍ය සලකුණක්.

මධ්‍ය ආසියාවේ උපන් බව කියන, යුරෝපයේ කලකදී ධන ආකරයක් මෙන්ම උමතුවක් බවට පත්වූ, නෙදර්ලන්තයේ (ඕලන්දයේ) සුවිශේෂ තැනක් ගන්න ටියුලිප් මලට කැනඩාව එක්ක තියෙන්නේ අපුර්වතම ඉතිහාසයක්.
1940 දෙවන ලෝක යුධ සමයේ නාසීන් නෙදර්ලන්තය ආක්‍රමණය කිරීමත් සමග එවක නෙදර්ලන්තයේ කිරුල හෙබවූ විල්හෙල්මිනා රැජින තම පවුල සමග රහසේ එංගලන්තයට පලා ගියා. ඊළඟ මාසයේ ඇගේ එකම දියණිය වන කිරුළට හිමිකම් කියන ජුලියානා කුමරිය තම දරු දෙදෙනා සමග නාවික හමුදාවට අයත් නැවකින් කැනඩාවට සේන්දු වුනේ වැඩි ආරක්ෂාවට. යුද්ධය පවතින කාලසීමාව තුල ඔවුහු කැනඩා රජයේ ආරක්ෂාව යටතේ රටමැද ඔටාවා නුවර වාසය කළා.
කුමරිය නැවත ගැබ්ගත් අතර දරුවා බිහිවීමට නියමිතව තිබුණේ 1943 ජනවාරි මාසයේයි. එහිදී ප්‍රශ්ණයක් මතුවුණා. දරුවා විදේශයකදී උපත ලදහොත් ලැබෙන ද්විත්ව පුරවැසිභාවය, ඔහුට හෝ ඇයට ඔටුන්නට ඇති හිමිකම් අනුපිලිවෙලට බලපෑම් කරනවා.  රජවෙන්න ලැබුනත් නැතත් අනුපිලිවෙල අංකය රාජකීය පවුල්වලට වටිනවා. ආපසු සියරට යාමට ආරක්ෂාවක් හෝ හැකියාවක් නොමැති කුමරිය උදෙසා ගැටලුවට ගෙන ආවේ කදිම විසඳුමක්.
ජුලියානා කුමරිය දරුවා ලැබෙන්නට Ottawa Civic රෝහලට ඇතුලත් කළපසු ඇය සිටි විශේෂ කාමරය කැනඩා රජය විසින් Terra Nullius : Nobodys land එනම්, කිසිවෙකුට අයත් නැති භූමියක් ලෙස තාවකාලිකව ප්‍රකාශයට පත්කළා. මෙය මිත්‍රත්වය උදෙසා රටක් විසින් තව රටක් වෙනුවෙන් පෙන්වූ  විශිෂ්ටතම හිතෛෂිභාවයක්. 1943 ජනවාරි 13 වෙනි දින මාර්ග්රිට් ෆ්රන්සිස්කා කුමරිය උපත ලැබුවේ කිසිවකුට අයත් නැති මෙම භුමියේ. මෙය එදාමෙදාතුර උතුරු ඇමරිකාවේ සිදුවූ එකම රාජකීය උපතයි.
කිසිවෙකුට අයත් නැති භුමියේ මාර්ගරීට් කුමරිය, සොයුරියන් සමග.
 මෙහි සිටින බියට්‍රික්ස් කුමරිය මෑතක් වනතුරු රජ කළා. 
කුමරියගේ උපත සැලවීමත් සමග පාර්ලිමේන්තුවේ සාම ඔරලෝසු කණුවේ කැනඩා ධජය වෙනුවට
නෙදර්ලන්ත ධජය එසවුණා පමණක් නොවේ, එහි ඝණ්ටා පද්ධතිය මගින් ඕලන්ද ගීත වාදනය වුණා.

අපූරු සිදුවීම් පොකුරක් සමග සිදුවූ මාර්ගරිට් කුමරියගේ උපත, ලෝක යුද්ධය මැද සිටි නෙදර්ලන්තය හා බ්‍රිතාන්‍යය දුටුවේ බලාපොරොත්තුවේ හා ප්‍රබෝධයේ සංඛේතයක් ලෙස. වසර පහක් කැනඩාවේ ගතකළ රජ කුමරිය සහ පිරිස, ලෝක යුද්ධය නිමාවත් සමග 1945දී නැවත නෙදර්ලන්තයේ නිදහස ලැබූ කොටසේදී විල්හෙල්මිනා රැජින සමග එකතු වුණා.
ටියුලිප් බල්බ 

ජුලියානා කුමරිය තමන්ට කැනඩාවෙන් ලද උදව් අමතක කළේ නැහැ. කැනඩා රජය හා ජනතාව තම පවුලට හා රටට සැලසු රැකවරණයට කෘතගුණ දැක්වීමටත්, නෙදර්ලන්තය ස්වාධින කරගැනීමට කැනඩාවේ සෙබළුන්ගෙන් ලද සහය අගය කිරීමටත්, එතුමිය තව බොහෝ තෑගි බෝග සමග නෙදර්ලන්තයට විශේෂ වස්තුවක් වූ ටියුලිප් බල්බ (අල) ලක්ෂයක් එව්වා ඔටාවා නුවර පැලකරන ලෙස ඉල්ලීමක් සමග.
ඊළඟ වසරේ තව බල්බ 20000ක් එව්වේ රෝහල් භුමියේ පැලකරනු පිණිසයි.
තෑගි ලෙස ලැබී පොලවට යට කළමුත්, වසන්ත කාලයේ ඉපදී නැතිවෙන කොළ පමණයි මුල් වසරේ දෙකේ දක්නට ලැබුනේ. 1948 ජුලියානා කුමරිය, නෙදර්ලන්ත රැජින ලෙස ඔටුණු පැළඳුවා. ඒ වසරේ දසදහස් ගණනින් ටියුලිප් මල් පිපෙන්න ගත්තා. ( ටියුලිප් පිපෙන්නේ බල්බ සිටුවා වසර දෙක තුනකින් පමණ). රැජිණ සෑම වසරකම නොකඩවා හොඳම වර්ගයේ ටියුලිප් බල්බ එව්වා.
ටියුලිප් මල් පිපෙන්නට පටන්ගැනීමත් සමග කැනේඩියානුවන් තුල ඒ ගැන දැඩි කුතුහලයක්, උනන්දුවක්, ආශාවක් මෙන්ම මනස්කාන්ත ලෙස තමන්ව අගය කිරීම පිළිබඳව පහන් බවකුත් ඇතිවුණා. මෙම අත්‍යාලංකාර වර්ණ දර්ශනය දැකගැනීමට පිට පලාත්වලිනුත් එන්න පටන්ගත්තා. රැජින වර්ෂයක් පාසා එවනු ලබන බල්බ තව තවත් උද්‍යානවල, මංමාවත් දෙපස පැලකිරීම නිසා මල් පිපෙන කාලයේ නගරය සුරඟන උයනක් බඳු වුණා.



1953 දී ප්‍රකට ඡයාරුප ශිල්පියෙක් වන මැලක් කාර්ෂ් ගේ අදහසකට අනුව ටියුලිප් මල් පිපි දිලෙන මැයි මාසයේ සති දෙක තුනක කාලය Canadian Tulip Festival ලෙස උත්සවාකාරයෙන් සමරන්න පටන් ගත්තා. විවිධ ප්‍රදේශවලින් මෙන්ම විදේශයෙනුත් එන ඡයරුප ශිල්පින්, කැමරා ශිල්පින්, පරිසර වේදීන්, පාසල් දරු දැරියන්, විනෝදකාමින් උතුරා යන මෙම උත්සවය එතැන් පටන් සැම වසරකම මැයි මාසයේ දින දහයක් ඔටාවා අගනුවර පැවැත්වෙනවා. 
වසන්තය උදාව සනිටුහන් කිරීමට මෙන්ම සොල්දාදුවන් සැමරීමට යොදාගන්නා මෙම කාලයේ  ටියුලිප් මල් මිලියන ගණනක් පුබුදිනවා. නෙදර්ලන්තයේ හා කැනඩාවේ මිත්‍රත්වය විදහා පෑමක් ලෙස වසරකට අලුත් ටියුලිප් බල්බ ලක්ෂ ගණනක් පැලකරනවා. 
ටියුලිප් උළෙලේ දී විවිධ චිත්‍ර ප්‍රදර්ශන, ඡයරුප ප්‍රදර්ශණ, ඕලන්ද සංස්කෘතික ප්‍රදර්ශණ, ඉකෙබානා වැඩමුළු, ගිනිකෙළි සංදර්ශණ ත් දැකබලාගත හැකියි.


2002 මාර්ගරිට් කුමරිය පැමිණි
අවස්ථාව 
ටියුලිප් උළෙල රස විඳින්නට යන බොහෝ දෙනෙක් ඉතිහාස කතාව  පිලිබඳ එතරම් තැකීමක් නැතිමුත්, නෙදර්ලන්ත රාජකීය පවුල මේ ගැන තවමත් විමසිල්ලෙන් ඉන්නේ. 1967 දී ජුලියානා රැජින සමාරම්භක උත්සවයට පැමිණ තම ත්‍යාගයේ මහිම දැක තුටුවූ අතර, 1995 දීත්, 2002 දීත්  මාර්ගරිට් කුමරිය උළෙල විවෘත කළා. මේ එන සැම ගමනකදීම ටියුලිප් බල්බ ගෙන ඒමත් නොවරදවා සිදු කෙරුණා.
2012 දී කැනඩා විශ්ව විද්‍යාලයකින් මාර්ගරිට් කුමරියට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමුවා. 

කෙදිනක හෝ මේ චිත්තකර්ශණිය මල් දැක්ම බලන්නට ලදහොත් හෝ ඒ ගැන දකින කියවන විටක හෝ ටියුලිප් මලක් දකින විටෙක හෝ ඒ සමග තියෙන කලගුණ සැලකීම නම් වූ  මානුෂික ගුණාංගය සහිත මේ කතාවත් සිහිපත් කරගන්න.

උදව්:
Nothern  Journal 2015/11
www.chc.ca/news/world
www.godutch.com
www.ottawalife.com
www.tulipfestival.ca

Friday, 21 April 2017

දියුණු රටක කසල කළමනාකරණය -Waste management

ක්‍රියාත්මක කරන අයට ගන්න - අනිත් අයට දැනගන්න..

නිවෙස්වලින්, කාර්යාලවලින්, කර්මාන්තශාලාවලින් ඉවත් කරන ඝන අපද්‍රව්‍ය නිසි ලෙස ඉවත් කිරීම හැම රටකටම අභියෝගයක්. ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් සිටින රටක් වන කැනඩාවේ ඉවතලන අපද්‍රව්‍ය කළමනාකරණය ගැන තොරතුරු මේ ලිපියෙන් ගෙන එන්න හිතුවේ කාලීන අවශ්‍යතාවක් හැටියට. මේවා මේ විදියටම නොවුනත් ආදර්ශයක් ලෙස ගෙන, නිසි ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රම අපේ රටට උචිත විදියට සකස් කරගැනීම එතරම් අපහසුවක් නැහැ උනන්දුවක්, උවමනාවක් තියනවනම්.
පරිසරය රැකගැනීම යටතේ ජාතික මට්ටමේත්, ප්‍රාන්ත මට්ටමේත්, නගරසභා මට්ටමේත් වගකීමක් වන මෙහි සෑම තලයකටම කසල කළමනාකරණය පිලිබඳ නීතිමය බලයක් ද ඇත.

මෙහිදී ප්‍රධානම හා වැදගත් දේ අපද්‍රව්‍ය වර්ග කිරීමයි.
අපද්‍රව්‍ය ප්‍රධාන ලෙස වර්ග හයයි.
1. කොළ පාට බඳුන්  - ඉවත  දමන ආහාර හා      කාබනික ද්‍රව්‍ය.: Organic
2. නිල් පාට බඳුන්   - ප්‍රතිචක්‍රීකරණය කල හැකි ද්‍රව්‍ය :Recycling
3. අළු පාට බඳුන් - ඉහත දෙකට අයත් නොවන නිවෙස්වලින් ඉවත්කරන අපද්‍රව්‍ය :Garbage
4. වත්තේ කොළ රොඩු ආදිය :Yard Waste
5. ඉලෙක්ට්‍රොනික උපකරණ : Electronic Waste
6. නිවෙස්වල භාවිතා කර ඉවත්කරන පරිසරයට අනතුරුදායක අපද්‍රව්‍ය :Household Hazardous Waste

අදාළ අපද්‍රව්‍ය සරලව මෙසේය.
1. කොලපාට බඳුන්: ඉතිරිවූ ආහාර, එළවලු පලතුරු ලෙලි, බිත්තර කටු, ආහාර ගෑවුනු සිනිදු කඩදාසි, භාවිතා කළ tea bag, තේ හා කෝපි මන්ඩි, සත්ව වසුරු, මල්, පස්
2. නිල්පාට බඳුන්: නොබිඳුණු බෝතල්, ප්ලාස්ටික්, ඇදෙන සුළු මෘදු පොලිතින්, ලෝහ, කඩදාසි, කාඩ්බෝඩ්, රිජිෆෝම් පිඟන්, කෝප්ප, පොලිස්ටයිරින්.
පන්තියක කසල බඳුනක් 
3. අළුපාට බඳුන් : කලුපාට ප්ලාස්ටික්, ඇලුමිනියම් ෆොයිල්, බබල් රැප්( විදුලි උපකරණ වටේ එන), බිඳුණු විදුරු භාජන, කැඩුණු ලි බඩු,  ඉවර වූ පෑන්, පොලිතින් ආහාර දවටන, ප්ලාස්ටික් හැඳි ගෑරුප්පු, හිසකෙස්, නිය
4. වත්තේ කොළ රොඩු:  නියමිත බඳුනක් නැත. ගස් අතු කුඩා කොටස් වලට කඩා විශාල කඩදාසි කවර හෝ අඬු සහිත පෙට්ටියක දමා තැබුවිට ගෙනයයි.
5. ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය: පරිගණක, දුරකථන, කී බෝඩ්, TV, කැමරා, ස්පිකර්  ආදී දේ භාරගන්න මධ්‍යස්ථාන ඇත. බැටරි ඉවත්කරන ලද උපකරණ, අළු පාට බඳුන් ගෙනයන දිනයට වෙනම පෙට්ටියක දමා හෝ පෙනෙන සේ බිමින් තැබුවිට ගෙනයයි.
6. අනතුරුදායක අපද්‍රව්‍ය: මෙයට අයත්වන්නේ විෂ ද්‍රව්‍ය, ගිනිගන්නා ද්‍රව්‍ය, පුපුරන ද්‍රව්‍ය, විඛාදනය විය හැකි ද්‍රව්‍ය. එනම්, වාහන වල ඔයිල් ෆිල්ටර් වැනි නිෂ්පාදන, තෙල්වර්ග සහිත බඳුන්, ඖෂධ, ඉවිමෙන් පසු ඉතිරිවන තෙල්,මධ්‍යසාර සහිත ක්‍රීම් වර්ග, තීන්ත සහිත බඳුන්, පොලිෂ් බඳුන්, බැටරි වර්ග, කෘෂි රසායන, කෘමි නාශක බඳුන්,ෆ්ලොරසන්ට් ටියුබ්, ගෑස් ටැංකි, ටයර්  ආදිය.
මේවා භාරගන්න මධ්‍යස්ථානවලට ගොස් භාරදිය යුතුයි. 10kg ට වඩා වැඩි ප්‍රමානයක් ඇත්නම් විශේෂ සේවාවකට කතා කිරීමෙන් ගෙනයාමේ පහසුකම් ලැබේ.

සෑම නිවසක් තුලම 1,2,3 වර්ගවල අපද්‍රව්‍ය සඳහා වැසිය හැකි කුඩා බඳුන් වෙන වෙනම තිබිය යුතු අතර, තනි නිවෙස් සඳහා නිවසෙන් පිටත විශාල බඳුන් තිබිය යුතුයි. නිවෙස් සමුහයක් තිබෙන ගොඩනැගිලි සඳහා සහ පාසල්, කාර්යාල, කම්හල් ආදිය සඳහා අති විශාල බඳුන් ගොඩනැගිල්ලෙන් පිටත තැබිය යුතුයි. මේ සියලු බඳුන් එකම ප්‍රමිතියකින් යුක්තයි. රැගෙන යාමට එන වාහනවලට පහසුවෙන් පරිහරණය කළහැකි සේ සකසා තිබේ. 

1,2,3,4,5 එකතු කිරීම සඳහා වෙනම ට්‍රක් රථ පැමිණේ. ආහාර හා කාබනික ද්‍රව්‍ය සතිපතා එකතු කරන අතර නිල් බඳුන් හා අළු පාට බඳුන් සති දෙකකට වරක් එකතු කරයි. වත්තේ කොළ රොඩු එකතු කරන්නේ අළු පාට බඳුන්වල කසල ගෙනයන දවසටමයි.
අපද්‍රව්‍ය එකතුකරන දින සඳහන් වාර්ෂික දින දර්ශනය මගින් දන්නා නිසා අදාළ දිනට පෙර දින රාත්‍රී නිවස තුල තිබෙන බඳුන් පිටත බඳුන්වලට හිස් කර, එකතු කිරීමට නියමිත බඳුන් පාර අයිනේ තැබීම කලයුතු වෙනවා.
අදාළ ට්‍රක් රථය පැමිණ බඳුන්වල කසල එකතු කරගන්න අයුරු වීඩියෝව බලන්න. එහි ගෙනයන්නේ එක වර්ගයක අපද්‍රව්‍ය පමණයි.

අපද්‍රව්‍ය වර්ග කිරීම ගැන  මහජනතාව දැනුවත් කිරීමට නොයෙක් ක්‍රම උපයෝගී කරගනී.
  • අපද්‍රව්‍ය එකතු කිරීම් වාර්ෂික දින දර්ශනයේ අපද්‍රව්‍ය වර්ග කිරීම විස්තරාත්මකව පළකර ඇත.
  • පාසල්, කාර්යාල, හෝටල්, පොදු ස්ථාන ආදී හැමතැනම වර්ග කරන ලද කසල බඳුන් තැබීම.
  • දැනුවත් කිරීමේ  වැඩසටහන්, අත් පත්‍රිකා, පොත් පිංච මගින් නිතර මහජනතාව දැනුවත් කිරීම.
  • පාසලේ විවිධ විෂයයන් යටතේ මේ ගැන සාකච්ඡ කිරීම 
  • පාසලේ සෑම පන්තියකම කසල වර්ගීකරණය ගැන පෝස්ටර් තිබෙන අතර කසල වර්ග සඳහා වෙනම බඳුන් තිබීම 
  • අදාළ නාගරික වෙබ් අඩවිය 
මීළඟට ගෙනයන අපද්‍රව්‍ය වලට සිදුවන දේ බලමු.
කොලපාට බඳුනේ හා වත්තේ කොලරොඩු  කොම්පෝස්ට් සැදීම පිණිස ඒ සඳහා වූ මධ්‍යස්ථාන වෙත යොමු කරයි. සාදන කොම්පෝස්ට් වසරේ වගා කටයුතු කරන කාලය වන අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා
නොමිලේ ලබා ගැනීමට වෙනම ස්ථාන පිහිටුවා ඇත. සාමාන්‍යයෙන් පවුලකට කියුබික් මීටරයක පස් ප්‍රමාණයක් ගෙන යා හැකිය. සමහර කොම්පෝස්ට් මධ්‍යස්ථාන ඒවා පැකට් කර විකිණීම ද සිදුකරයි.
නිල් බඳුනේ ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරන මධ්‍යස්ථාන වෙත යොමු කරයි. මෙහිදී අපද්‍රව්‍ය යන්ත්‍ර මගින් හෝ මිනිස් ශ්‍රමයෙන් වර්ගීකරණය කර වෙන් වෙන් ස්ථාන වෙත යොමු කරයි. මේවා බොහෝවිට පුද්ගලික සමාගම්ය. ඔවුහු ද්‍රව්‍ය එකිනෙකට අදාළ ලෙස ප්‍රතිචක්‍රීකරණය සිදුකරති.


ඉහත දෙකටම අයත් නැති garbage එහෙම නැත්නම් ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි කසල  බිම් පිරවීම (Landfilling) සඳහා යෙදවීම හෝ දහනය හෝ සිදුකරයි.
බොහෝ නගරවල සෞඛ්‍යාරක්ෂිත ලෙස බිම් පිරවීම භාවිතා වේ. මෙහිදී කරන්නේ ස්වාභාවිකව හෝ මිනිස් ක්‍රියාකාරකම් නිසා පොලවේ වලක් මෙන් ඇති ස්ථාන තෝරාගෙන ඉවතලන කසල තුනී ස්තරයක් ලෙස ඇතිරිමයි. ඉන්පසු එය වැසෙන සේ කුණු රහිත තුනී පස් තට්ටුවක් යොදයි. මෙලෙස තෝරාගත් බිම පිරෙන සේ මාරුවෙන් මාරුවට කසල හා පස් පුරවයි.
සාමාන්‍යයෙන් ජනයා වෙසෙන ප්‍රදේශයට ඇතින් ඇති බිම් තෝරා ගත්තත් ජනගහනය වැඩිවෙමින් නගර විශාලවිමේදී මෙම පුරවන ලද බිම් උද්‍යාන, කාර්මික උද්‍යාන හා ගොල්ෆ් පිටි සඳහා යොදා ගනියි. අසමතුලිත පොලවේ ස්වභාවය නිසා පිරවූ බිම් පහසුවෙන් හඳුනා ගත හැකිය.
මෙවැනි කසල දහනය කිරීම (Incineration) තවත් ක්‍රමයකි. ප්‍රතිචක්‍රීකරණයෙන් පසු ඉතිරිවන ද්‍රව්‍ය හා වෙනත් කසල, දහන මධ්‍යස්ථානවලදී තද තාපයට හසුකර බිඳ වැට්ටවිමෙන් පසුව දහනය කරයි. කසල ගිනිගැනීමෙන් ලැබෙන තාපය මගින් විශාල බොයිලර්වල ජලය උණුකර, ලැබෙන වාෂ්ප මගින් විදුලිය නිපදවා ගොඩනැගිලි උණුසුම් කිරීමට හෝ කර්මාන්තශාලාවල යන්ත්‍ර ක්‍රියා කරවීමට යොදාගනී. ඉතිරිවන ලෝහ කොටස් ප්‍රතිචක්‍රීකරණය කරන අතර, අළු බිම් පිරවීමට යොදයි.

ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කරන ස්ථානවලින් භාරගෙන උපකරණ ගොනුකර අනුමත ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වලට ප්‍රවාහනය කෙරේ. මේවා කසල සමග එක් නොවීමට වග බලා ගනියි.

අනතුරුදායක අපද්‍රව්‍ය  එකතු කිරීමෙන් පසු වෙනවෙනම වර්ග කෙරේ. ඒ එක එකක් අදාළ ප්‍රතිකර්ම සඳහා යොමුකෙරේ.
බැටරි: නැවත භාවිතයට ගත හැකි ලෝහ හා ප්ලාස්ටික් වෙන්කර ඒවා නැවත අලුත් කොටස් සැදීම සඳහා යොදවයි. ඇසිඩ් තනුක කර ස්පටිකිකරණය හෝ නව බැටරිවලට යොදවා ගැනීම හෝ කරයි. පසට එක්වීමක් සිදු නොකෙරේ.
තීන්ත වර්ග: මිනිස් ශ්‍රමය යොදවා වර්ග කරන තීන්ත අතරින් එක සමාන වර්ණ ඇති ඒවා නැවත තීන්ත සැදීමට යොදවයි. එලෙස ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි තීන්ත මගින් සිමෙන්ති හා හුණුගල් වලට ආදේශක සදයි. ඉතාම සුළු ප්‍රමාණයක් බිම් පිරවීමට යවයි.
ඔයිල් ෆිල්ටර් හා වාහන තෙල්: කුණු, රසායන ද්‍රව්‍ය හා ජලය ඉවත්කර අලුත් වාහන තෙල් ලෙස යොදාගනී.
ඖෂධ: කල්ගිය හෝ භාවිතා නොකළ ඖෂධ, නැවත මිලදී ගත් ඔසුසලට භාරදීමට මහජනයා උනන්දු කරවයි. එම ස්ථානවලින් හා භාරගන්න මධ්‍යස්ථානවලින් එකතු කරන ඖෂධ උදාසීන කර, විෂ නසා බිම් පිරවිමට යොමු කරයි.
Incinerator
කෘමිනාශක හා කෘෂි රසායන: පාලිත තත්ත්ව යටතේ ඉහල තාපයකට ලක්කරයි. රසායනිකයන් වෙනස්වූ පසු තව දුරටත් ඇති දුෂිත ද්‍රව්‍යත්, රසදිය, ෆියුරින් වැනි දේත් ඉවත්කර ඉතිරිවන අපද්‍රව්‍ය බිම් පිරවීමට යොදවයි.
පෙට්‍රල්, ඩිසල් වැනි ඉන්ධන: ක්‍රමානුකුලව එකට මිශ්‍රකර 'අපද්‍රව්‍ය ඉන්ධන' සාදයි. සිමෙන්ති පෝරණුවල ක්‍රියාකාරිත්වය සඳහා යොදාගන්නේ මෙම අපද්‍රව්‍ය ඉන්ධනයි.
ඉවිමෙන් පසු ඉවත්කරන තෙල්: ආපනශාලා අදින් ඉවත්කරන භාවිතා කළ තෙල් 100%කම ප්‍රතිචක්‍රීකරණය කරයි.
සිරින්ජ : ලෝහ තුඩු සහිත භාවිතාකළ සිරින්ජ වෙනම පෙට්ටිවල අසුරා දහන මධ්‍යස්ථාන වෙත යවයි.
ෆ්ලොරසන්ට් ටියුබ්: ප්‍රමාණය හා වර්ගය අනුව වෙනම අසුරා ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථාන වෙත යවයි. එහිදී මේවා තෙරපීමකට ලක් කර ඇලුමිනියම් වැසුම්, තඹ කොටස්, විදුරු, රසදිය අඩංගු කුඩු වෙන්කරයි. ඒවා වෙනම පිරිසිදු කර නිෂ්පාදන මධ්‍යස්ථානවලට යොමු කරයි.

විකිරණශීලි අපද්‍රව්‍ය බැහැර කිරීම
කැනඩාව තුළ නිපදවෙන විකිරනශීලි අපද්‍රව්‍ය බැහැරකිරීම ඉතා ආරක්‍ෂිත ලෙස ඒ සඳහා විශේෂිතවූ බැහැර කිරීමේ ස්ථානවලදී සිදුකෙරේ. කැනේඩියානුවන්ගේ හා පරිසරයේ සෞඛ්‍යය සහ ආරක්ෂිතබව තහවුරු කෙරෙන පරිදි මෙවැනි ස්ථාන පවත්වාගෙන යාම පාලනය හා බලපත්‍ර යාමනය සිදු කරන්නේ Canadian Nuclear Safety Commission නම් කොමිසමක් මගිනි. එනම්, එය නාගරික බල ප්‍රදේශයේ වගකීමක් නොව, මධ්‍යම රජයේ වගකීමකි.

මේ අනුව ඉවතලන කසල වලින් 50%කට වැඩි ප්‍රමාණයක් නැවත භාවිතා කල හැකි ලෙස ප්‍රතිචක්‍රීකරණය කරයි. පුද්ගලික ඉඩම්වල කොම්පෝස්ට් සැදීමට උනන්දු කරවයි.

     ප්‍රතිචක්‍රීකරණය කරන දේ                                                     නව ද්‍රව්‍ය

Sunday, 2 April 2017

ගී කියන වැලි වැටි Singing Sand : විශ්වයේ චිත්තාකර්ෂණිය සංසිද්ධි 1

විශ්වයේ ස්වාභාවිකව සිදුවන පුදුමාකාර දේ ඔබ දැක හෝ අසා තිබෙනවා ඇති. විද්‍යාඥයන් පවා මවිතයට පත්කරන මේ සංසිද්ධි සමහරවිට සිදුවන්නේ කලාතුරකින් වගේම දකින්නේ ඉතා සුළු පිරිසකි.

අජටාකාශගාමින්, සමුද්‍ර, ජිව, භෞතික විද්‍යාඥයන්, භූ විද්‍යාඥයන් විසින් පර්යේෂණ කර ඇති මෙවැනි ආකර්ෂණිය සංසිද්ධි (phenomina ) අතරින් එකකි, ගී කියන වැලි වැටි.
චීන හා මැද පෙරදිග සාහිත්‍යයන්හි කියවෙන, මාර්කෝ පෝලෝ දේශ ගවේශකයා වැලි වාදන ලෙස සටහන් කර ඇති කාන්තාරවල හඬවල් කුරිරු ආත්මයන් විසින් ඇති කරන බවයි පැරැන්නන් විසින් සිතනු ලැබුවේ.
විවිධ පරීක්ෂණ වලින් පසු ගී ගයන වැලි වැටි පිලිබඳ තරමක විද්‍යාත්මක පැහැදිලි කිරීම් ගෙන එන්නට විද්‍යාඥයන් සමත්.
වැලි ගායනා වර්ග දෙකකි.
1. Booming : පහතින් යන ගුවන් යානයක හඬ මෙන් විශාල හඬක් දෙන නාද
2. Squeaking : විසිල් හඬ වැනි හීන් උස් නාද
මේ වීඩියෝව අසන්න

විශාල නාද ඇතිවන්නේ කාන්තාරවල වැලිකඳු කඩාහැලෙන අවස්ථාවල වන අතර,
සිහින් නද ඇතිවන්නේ ඒ මත ඇවිදීමක් වැනි ඒ හරහා යමක් යැවෙන අවස්ථාවකයි. වෙරළවල අසන්නට ලැබෙන්නේ සිහින් නද යි. අසන්න 

ගෝබි කාන්තාරයට මුල් වරට යන අය මේ නාදවලින් අමන්දානන්දයට පත්වන බවත්, සමහරවිට කලබල වන බවත්  කියැවේ. පටිගත කරන ලද හඬ විශාල සංගීත භාණ්ඩයක හඬක් වැනිය.
1997දී ඇමරිකාවේ විශ්ව විද්‍යාලයක භෞතික විද්‍යාඥයන් දෙදෙනෙක් කළ පරීක්ෂණ සමුහයකින් පසු සොයාගත්තේ ගී ගයන වැලි ලීටර් 4ක් නිහඬ කරවීමට ජල බින්දු පහක් ප්‍රමාණවත් බවයි. තවත් විද්‍යාඥයන් දෙදෙනෙක්ගේ සොයාගැනීම් හෙළි කරන්නේ හඬ නගන විශේෂිත වැලිවල සිලිකා ජෙල් ආවරණයක් ඇති බවයි. නාද හා අනුනාද ඇතිවන්නේ මෙම සිලිකාජෙල් වල ක්‍රියාකාරිත්වයෙන් විය හැකි බව ඔවුහු අනුමාන කරති.

2001දී කළ පර්යේෂණයකින් පෙන්වා දුන්නේ මේ වැලි එහා මෙහා තෙරපීමෙන් ගායනය කරවිය හැකි බවයි. ස්ටීවන් ඩොඩි හා පිරිසක් විසින් කළ මෙම පර්යේෂණයේ අවසන් නිගමනය වුයේ වැලි ගායනා ඇතිවන්නේ මුළු වැටියේ එකවර ඇතිවන ධ්වනිය නිසා නොව, මිලියන ගණනක් වූ තනි තනි වැලිකැටවල චලනකම්පණ  මගින්  බවයි. වැලිකැට විවිධ වේගයන්ගෙන් චලනයෙන් අවශ්‍ය සංගීත නාද නිපදවා ගතහැකි බව ඔහු ප්‍රායෝගිකව පෙන්වා දුනි.
 ස්වාභාවිකව නාද ඇතිවීමට වැලිකැට චලනය එකවර සිදුවිය යුතුය(synchronize). එසේ නැතහොත් එකම සංඛ්‍යාතයකින් චලනය විය යුතුය. මෙම දහස් ගණනක් වූ කම්පණ එකට එක්වී වාතය තල්ලු කිරීමෙන් හඬ ඇතිවේ. එකිනෙකින් නිදහස් වැලි එකවර එකිනෙක හා  චලනය වන්නේ මන්දැයි තවම රහසකි.

සැම වෙරලකම හෝ කාන්තාරයකම නොමැති, උතුරු හා දකුණු ඇමරිකාව, අප්‍රිකාව, ආසියාව, අරාබිය, හවායි දුපත් වැනි ලෝකයේ ස්ථාන 30ක පමණක් ඇති මෙම වැලි වැටි ශබ්ද නගන්නේ පවිත්‍රව හා වියලිව තිබුනොත් පමණි. එසේම වැලි කැටයක් 0.1ත් 0.5ත් අතර විශ්කම්භයකින් යුක්ත විය යුතුයි. එම ප්‍රමාණය අනුව නිපදවෙන හඬ වෙනස් වේ.
මේ තත්වයන් ඉතා හොඳින් ඇති අඟහරු ග්‍රහලොව තුල වැලි වාද්‍ය ප්‍රසංග ඇසිය හැකිව ඇති.
දැනට සිදුවන වායු හා වෙරල දුෂණ නිසා අනාගතයේ මේ අපුර්ව සංසිද්ධිය පෘථිවි තලයෙන් තුරන්ව යා දැයි සැක මතුවේ.

උදව්:
Mystery of Singing Sands :E. R. Yarham
The Most Fascinating Phenomena : S. Buskermolen
news.nationalgeographic.com
www.livescience.com