Saturday 29 April 2017

කිසිදු රටකට අයත් නැති බිමකින් බිහිවූ ටියුලිප් උළෙල Tulip Festival

සීත කාලෙ කටුඅතු පොරවාගෙන ඉරිතැලිලා ගිය ගස්, උණුසුම් ඉර එලිය ටිකක් වැටිලා හුස්මක් අරන් හිනාවෙන්න හරිබරි ගැහෙනවා. ඇස්දෙක පියවල අරිනකොට එකපාරම ගස්අතු මල් පුරවාගෙන. සකුරා මල් උඩ පැනපැන හිනාවෙනකොට, ඍතු තුනක්ම පොලව යට ගුලිවෙලා හිටපු ටියුලිප්, හෙමින් කොළ එක දෙක දිග ඇරගෙන සතියට දෙකට පොට්ටුත් හදනවා. ඊළඟට බලද්දී හැමතැනම දීප්තිමත් පාට පාට ටියුලිප් මල්. ලොකු පෙති තුනක් තියන පොලවට ලංව පිපෙන මේ පියකරු මල වසන්තයේ උදාව කියන තවත් සුරම්‍ය සලකුණක්.

මධ්‍ය ආසියාවේ උපන් බව කියන, යුරෝපයේ කලකදී ධන ආකරයක් මෙන්ම උමතුවක් බවට පත්වූ, නෙදර්ලන්තයේ (ඕලන්දයේ) සුවිශේෂ තැනක් ගන්න ටියුලිප් මලට කැනඩාව එක්ක තියෙන්නේ අපුර්වතම ඉතිහාසයක්.
1940 දෙවන ලෝක යුධ සමයේ නාසීන් නෙදර්ලන්තය ආක්‍රමණය කිරීමත් සමග එවක නෙදර්ලන්තයේ කිරුල හෙබවූ විල්හෙල්මිනා රැජින තම පවුල සමග රහසේ එංගලන්තයට පලා ගියා. ඊළඟ මාසයේ ඇගේ එකම දියණිය වන කිරුළට හිමිකම් කියන ජුලියානා කුමරිය තම දරු දෙදෙනා සමග නාවික හමුදාවට අයත් නැවකින් කැනඩාවට සේන්දු වුනේ වැඩි ආරක්ෂාවට. යුද්ධය පවතින කාලසීමාව තුල ඔවුහු කැනඩා රජයේ ආරක්ෂාව යටතේ රටමැද ඔටාවා නුවර වාසය කළා.
කුමරිය නැවත ගැබ්ගත් අතර දරුවා බිහිවීමට නියමිතව තිබුණේ 1943 ජනවාරි මාසයේයි. එහිදී ප්‍රශ්ණයක් මතුවුණා. දරුවා විදේශයකදී උපත ලදහොත් ලැබෙන ද්විත්ව පුරවැසිභාවය, ඔහුට හෝ ඇයට ඔටුන්නට ඇති හිමිකම් අනුපිලිවෙලට බලපෑම් කරනවා.  රජවෙන්න ලැබුනත් නැතත් අනුපිලිවෙල අංකය රාජකීය පවුල්වලට වටිනවා. ආපසු සියරට යාමට ආරක්ෂාවක් හෝ හැකියාවක් නොමැති කුමරිය උදෙසා ගැටලුවට ගෙන ආවේ කදිම විසඳුමක්.
ජුලියානා කුමරිය දරුවා ලැබෙන්නට Ottawa Civic රෝහලට ඇතුලත් කළපසු ඇය සිටි විශේෂ කාමරය කැනඩා රජය විසින් Terra Nullius : Nobodys land එනම්, කිසිවෙකුට අයත් නැති භූමියක් ලෙස තාවකාලිකව ප්‍රකාශයට පත්කළා. මෙය මිත්‍රත්වය උදෙසා රටක් විසින් තව රටක් වෙනුවෙන් පෙන්වූ  විශිෂ්ටතම හිතෛෂිභාවයක්. 1943 ජනවාරි 13 වෙනි දින මාර්ග්රිට් ෆ්රන්සිස්කා කුමරිය උපත ලැබුවේ කිසිවකුට අයත් නැති මෙම භුමියේ. මෙය එදාමෙදාතුර උතුරු ඇමරිකාවේ සිදුවූ එකම රාජකීය උපතයි.
කිසිවෙකුට අයත් නැති භුමියේ මාර්ගරීට් කුමරිය, සොයුරියන් සමග.
 මෙහි සිටින බියට්‍රික්ස් කුමරිය මෑතක් වනතුරු රජ කළා. 
කුමරියගේ උපත සැලවීමත් සමග පාර්ලිමේන්තුවේ සාම ඔරලෝසු කණුවේ කැනඩා ධජය වෙනුවට
නෙදර්ලන්ත ධජය එසවුණා පමණක් නොවේ, එහි ඝණ්ටා පද්ධතිය මගින් ඕලන්ද ගීත වාදනය වුණා.

අපූරු සිදුවීම් පොකුරක් සමග සිදුවූ මාර්ගරිට් කුමරියගේ උපත, ලෝක යුද්ධය මැද සිටි නෙදර්ලන්තය හා බ්‍රිතාන්‍යය දුටුවේ බලාපොරොත්තුවේ හා ප්‍රබෝධයේ සංඛේතයක් ලෙස. වසර පහක් කැනඩාවේ ගතකළ රජ කුමරිය සහ පිරිස, ලෝක යුද්ධය නිමාවත් සමග 1945දී නැවත නෙදර්ලන්තයේ නිදහස ලැබූ කොටසේදී විල්හෙල්මිනා රැජින සමග එකතු වුණා.
ටියුලිප් බල්බ 

ජුලියානා කුමරිය තමන්ට කැනඩාවෙන් ලද උදව් අමතක කළේ නැහැ. කැනඩා රජය හා ජනතාව තම පවුලට හා රටට සැලසු රැකවරණයට කෘතගුණ දැක්වීමටත්, නෙදර්ලන්තය ස්වාධින කරගැනීමට කැනඩාවේ සෙබළුන්ගෙන් ලද සහය අගය කිරීමටත්, එතුමිය තව බොහෝ තෑගි බෝග සමග නෙදර්ලන්තයට විශේෂ වස්තුවක් වූ ටියුලිප් බල්බ (අල) ලක්ෂයක් එව්වා ඔටාවා නුවර පැලකරන ලෙස ඉල්ලීමක් සමග.
ඊළඟ වසරේ තව බල්බ 20000ක් එව්වේ රෝහල් භුමියේ පැලකරනු පිණිසයි.
තෑගි ලෙස ලැබී පොලවට යට කළමුත්, වසන්ත කාලයේ ඉපදී නැතිවෙන කොළ පමණයි මුල් වසරේ දෙකේ දක්නට ලැබුනේ. 1948 ජුලියානා කුමරිය, නෙදර්ලන්ත රැජින ලෙස ඔටුණු පැළඳුවා. ඒ වසරේ දසදහස් ගණනින් ටියුලිප් මල් පිපෙන්න ගත්තා. ( ටියුලිප් පිපෙන්නේ බල්බ සිටුවා වසර දෙක තුනකින් පමණ). රැජිණ සෑම වසරකම නොකඩවා හොඳම වර්ගයේ ටියුලිප් බල්බ එව්වා.
ටියුලිප් මල් පිපෙන්නට පටන්ගැනීමත් සමග කැනේඩියානුවන් තුල ඒ ගැන දැඩි කුතුහලයක්, උනන්දුවක්, ආශාවක් මෙන්ම මනස්කාන්ත ලෙස තමන්ව අගය කිරීම පිළිබඳව පහන් බවකුත් ඇතිවුණා. මෙම අත්‍යාලංකාර වර්ණ දර්ශනය දැකගැනීමට පිට පලාත්වලිනුත් එන්න පටන්ගත්තා. රැජින වර්ෂයක් පාසා එවනු ලබන බල්බ තව තවත් උද්‍යානවල, මංමාවත් දෙපස පැලකිරීම නිසා මල් පිපෙන කාලයේ නගරය සුරඟන උයනක් බඳු වුණා.



1953 දී ප්‍රකට ඡයාරුප ශිල්පියෙක් වන මැලක් කාර්ෂ් ගේ අදහසකට අනුව ටියුලිප් මල් පිපි දිලෙන මැයි මාසයේ සති දෙක තුනක කාලය Canadian Tulip Festival ලෙස උත්සවාකාරයෙන් සමරන්න පටන් ගත්තා. විවිධ ප්‍රදේශවලින් මෙන්ම විදේශයෙනුත් එන ඡයරුප ශිල්පින්, කැමරා ශිල්පින්, පරිසර වේදීන්, පාසල් දරු දැරියන්, විනෝදකාමින් උතුරා යන මෙම උත්සවය එතැන් පටන් සැම වසරකම මැයි මාසයේ දින දහයක් ඔටාවා අගනුවර පැවැත්වෙනවා. 
වසන්තය උදාව සනිටුහන් කිරීමට මෙන්ම සොල්දාදුවන් සැමරීමට යොදාගන්නා මෙම කාලයේ  ටියුලිප් මල් මිලියන ගණනක් පුබුදිනවා. නෙදර්ලන්තයේ හා කැනඩාවේ මිත්‍රත්වය විදහා පෑමක් ලෙස වසරකට අලුත් ටියුලිප් බල්බ ලක්ෂ ගණනක් පැලකරනවා. 
ටියුලිප් උළෙලේ දී විවිධ චිත්‍ර ප්‍රදර්ශන, ඡයරුප ප්‍රදර්ශණ, ඕලන්ද සංස්කෘතික ප්‍රදර්ශණ, ඉකෙබානා වැඩමුළු, ගිනිකෙළි සංදර්ශණ ත් දැකබලාගත හැකියි.


2002 මාර්ගරිට් කුමරිය පැමිණි
අවස්ථාව 
ටියුලිප් උළෙල රස විඳින්නට යන බොහෝ දෙනෙක් ඉතිහාස කතාව  පිලිබඳ එතරම් තැකීමක් නැතිමුත්, නෙදර්ලන්ත රාජකීය පවුල මේ ගැන තවමත් විමසිල්ලෙන් ඉන්නේ. 1967 දී ජුලියානා රැජින සමාරම්භක උත්සවයට පැමිණ තම ත්‍යාගයේ මහිම දැක තුටුවූ අතර, 1995 දීත්, 2002 දීත්  මාර්ගරිට් කුමරිය උළෙල විවෘත කළා. මේ එන සැම ගමනකදීම ටියුලිප් බල්බ ගෙන ඒමත් නොවරදවා සිදු කෙරුණා.
2012 දී කැනඩා විශ්ව විද්‍යාලයකින් මාර්ගරිට් කුමරියට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමුවා. 

කෙදිනක හෝ මේ චිත්තකර්ශණිය මල් දැක්ම බලන්නට ලදහොත් හෝ ඒ ගැන දකින කියවන විටක හෝ ටියුලිප් මලක් දකින විටෙක හෝ ඒ සමග තියෙන කලගුණ සැලකීම නම් වූ  මානුෂික ගුණාංගය සහිත මේ කතාවත් සිහිපත් කරගන්න.

උදව්:
Nothern  Journal 2015/11
www.chc.ca/news/world
www.godutch.com
www.ottawalife.com
www.tulipfestival.ca

1 comment: