බිත්තිවල චිත්‍ර ඇඳීම මනුෂ්‍යයා ප්‍රජාවක් ලෙස සමුහිකරණය වෙන්න පටන්ගත් ගමන් ඇරඹුණු දෙයක්. ඒකෙ ඉතිහාසය වෙනම හදාරන්න ඕනේ දෙයක්.
පාසල් බිත්තිවලට අධ්‍යාපනික චිත්‍ර එකතුවීම මතක ඇති කාලයේත් තිබුණා. මම උගත් පාසලක 1960 ගණන්වල පැවති අධ්‍යාපනික ප්‍රදර්ශනයකට ඇන්ද චිත්‍ර තිබුණා. පසුකාලීනව ඒවා උඩින් තනි පාට ගෑවත් ඒ වෙනතෙක් බිතු සිතුවම් බලල සතුටුවුනේ මම විතරක් නොවේ. පාසල් තාප්පවල හා ප්‍රථමික පන්තිකාමර අවට චිත්‍ර ඇඳීම 90 දශකයේ බොහෝ ප්‍රචලිත වුණා.
අධ්‍යාපනික නොවූ බිත්ති චිත්‍ර හදිසියේ විශාල ලෙස දකින්න ලැබුණම මම ඇස් අදහාගත නොහැකි පුදුමයට පත්වුනා. කැනඩාවේදී දිනක් දුම්රියෙන් ගමන් කරද්දී දුම්රිය මග එක පසෙක විශාල ගොඩනැගිලි බිත්තිවල තිබුණු චිත්‍ර දැකල හුස්ම පහලට නොදා බලන් හිටියා. HUNGER GAMES කියල ලොකුවට අමුතුම කලාත්මක ත්‍රිමාණ අකුරින් කලුසුදුවට ලියා තිබුණු හැටිත් ඒ අසබඩ බිත්ති මෙන්ම අත්හැර දැමු සේ පෙනුණු වාහනයකත් විවිධ වර්ණ හා කළු සුදු චිත්‍ර දුටු හැටිත් හොඳට මතකයි (මෙය අද දකින්නට නැහැ). එයින් පසු අද වෙනකල් දුම්රිය ගමනේ යෙදෙනවානම් ඒ පැත්තෙන් වාඩිවී දුම්රිය ස්ථාන දෙකක් අතර හමුවෙන ඉතා ඉක්මනින් වෙනස්වීම්වලට බඳුන්වන ඒ චිත්‍ර නැරඹීම මගේ පුරුද්දක්.
ග්‍රැෆිටි, එහෙම නැත්නම් කුරුටු බලි ඇඳීම, ඒ කියන්නේ තමුන්ට අයත් නැති තැනක තීන්ත, මාකර්, ස්ටිකර්, ස්ප්‍රේ පේන්ට් ආදිය භාවිතයෙන් ලිවිම, චිත්‍ර ඇඳීම, සීරිම ආදිය නීතියෙන් තහනම් දෙයක් විදියටයි බොහෝ රටවල සලකන්නේ. එය එම පරිසරයේ වෙසෙන පුද්ගලයන්ගේ යම් හැඟීම් ප්‍රදර්ශනයක් වුවත්, බිත්තිය අයිති පුද්ගලයාගේ කැමැත්තක් නැතිව සිදුවී ඇති නිසාත්, අයිතිකරුට හෝ ආයතනවලට ඒවා ඉවත්කිරීමට මුදලක් යන නිසාත් එය හානියක් ලෙස සලකා නීතියෙන් තහනම් කර තිබෙනවා. අතීතයේ සිටම බිත්ති චිත්‍ර, පාලන අධිකාරයට විරුද්ධ අදහස් ප්‍රකාශ කිරීමට යොදාගෙන ඇති නිසා කිසිදු රටක ඒවා අනුමත කිරීමක් දක්නට නොහැකියි.
අයිතිකරුගේ නීතිමය කැමැත්ත ඇතිව බිත්ති සිතුවම් නිර්මාණයට ( මියුරල් painting) අවසර ලැබුනත්, ඉන් පසු වෙනත් පුද්ගලයන් ඒ අවට බිත්තිවල චිත්‍ර හා අකුරු ඇඳීම බහුල බව අසන්නට ලැබෙනවා. ඒ නිසා අවසර දෙන අයටත් ගැටලුවලට මුහුණ දීමට සිදුවෙනවා.
උපාලි ආනන්ද ගේ චිත්‍රයක් |
කලාවක් ලෙස මේ ගැන බොහෝ දේ අධ්‍යයනය කළ අය ඇති. එහෙත් ලංකාවේ ප්‍රසිද්ධ කලාවක් ලෙස ග්‍රැෆිටි දකින්න නැහැ. කැනඩාවේ නම් මෙය කලා ශිල්පයක් ලෙස ප්‍රචලිත වගේම වෘත්තීය ග්‍රැෆිටි ශිල්පිනුත් ඉන්නවා. සමහරු mural artist ලෙස පෙනී සිටීමට කැමති වුනත් graffiti artist ලෙසයි බොහෝ දෙනව හඳුන්වන්නේ.
ටොරොන්ටෝ නගරයේ බිත්ති චිත්‍රවල ආරම්භය කොතනදැයි සෙවීම අසීරු වුවත් 1960 ගණන්වල පොදු ස්ථාන හා ගොඩනැගිලිවල චිත්‍ර ඇඳීම හා වෙනත් නිර්මාණ කිරීම ගැන අවධානයක් ලැබී තියෙනවා. 60 දශකයේ අග භාගයේ බ්ලොර් විදියේ එක් වෙළඳ සලක ඉදිරි බිත්තියේ චිත්‍ර ඇඳීමෙන් පසුව ඊට ලැබුණු අවධානය නිසා අනෙක් වෙළඳ සල් ඒ චිත්‍ර ශිල්පියා ලවාම තම වෙළඳසල් බිත්තිවලත් සිතුවම් අන්දවා ගත් බව කියවෙනවා. සමහර තැන්වල තවමත් දෘශ්‍යමාන ඒවා සාමාන්‍ය ජීවිතය නිරුපනය වන මිනිස් රුප හා පරිසර චිත්‍ර.
1980 දශකයේ දී බිත්ති චිත්‍ර අනවශ්‍ය දෙයක් ලෙස සලකා ඇඳීම අධෛර්ය කළත් ඒවායේ අඩුවක් නොවූ බව කියවෙනවා. එකල වැඩිපුර තිබී ඇත්තේ වර්ණ එකක් හෝ දෙකක් භාවිතා කරමින් යම් යම් වචන ලිවිම, ස්ප්‍රේ කිරීම හා කුරුටු ගෑමයි. මාතෘකා වී ඇත්තේ දේශපාලනය, ආදරය, ජීවිතය, කාමය වැනි අදහස්ය.
ටොරොන්ටෝ විවිධ ජාතින් මිශ්‍රව, වැඩිම සංස්කෘතික මිශ්‍රණයක් දක්නට ඇති නගරයක් නිසා ඒ සියල්ල බිත්ති මත කලාවක් ලෙස නිරුපනයේ වැදගත්කමක් දුටු අය සිටියත් එය නගරයේ අලංකාරය වනසන දෙයක් ලෙස දැක ඒවාට විරුද්ධව කටයුතු කිරීම වැඩියෙන් සිදුවිය.
2008 දී තරුණ විරැකියාවට විකල්පයක් ලෙස කුරුටු ග්‍රැෆිටි ඉවත්කර සෞන්දර්යාත්මක බිත්ති චිත්‍ර (murals) හඳුන්වාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර දැනුවත් කිරීම්, අරමුදල් සපයාගැනීම් සඳහා තරුණයන් යොදවා ඇත. එම වැඩසටහන ඉතා සාර්ථක වී ඇති බව ක්‍රමයෙන් අඩුවන කුරුටු ග්‍රැෆිටිත්, සිඝ්‍රයෙන් වර්ධනය වන තාක්ෂණික දියුණුවක් පෙන්වන නව කලාත්මක ග්‍රෆිටිත් පෙන්නුම් කරනවා. මේ පින්තුරයේ තිබෙන්නේ ජලය බැස යන ප්‍රධාන නලයක් වටා ඇඳි චිත්‍රයි.
ඉන්පසු විවිධ ආයතන හා සංවිධාන මගින් Street Art හෙවත් කලාවක් ලෙස ග්‍රැෆිටි ප්‍රචලිත කිරීමට මුදල් යෙදවීමට පටන්ගත්තා. තනි ශිල්පින් හෝ කණ්ඩායමක් යොදවා තෝරාගත් බිත්තිවල සෞන්දර්යාත්මක චිත්‍ර ඇඳීම දිරිමත් කරමින් තිබෙනවා. මේ මගින් ස්ටුඩියෝ පවා ඇති, දක්ෂ ග්‍රැෆිටි ශිල්පින් බිහිවුණා. එම ආයතනවලින් ශිල්පීන්ගේ චිත්‍ර ඇතුලත් නාමාවලි ප්‍රසිද්ධ කර තිබෙනවා.
මෑතකදී එක ප්‍රදේශයක පාලමක් අවට ඇඳි චිත්‍ර වලින් සමහරක්, දරුවන් බියගන්වන සුළු යයි පැමිණිල්ලක්ද ලැබී තිබුණා. එය ඇත්තටම ගෝලීය උණුසුම ගැන කියවෙන චිත්‍ර මාලාවක කොටසක්. පරිසරය රැකගැනීම කලයුතු බව නිරතුරු මතක් කරගැනීමට එය උපකාර වනු ඇති බවයි නිර්මාණශිල්පින්ගේ අදහස වුනේ.
ටොරොන්ටෝ නාගරික (ඩවුන්ටවුන්) Entertainment District ඒ කියන්නේ සුප්‍රසිද්ධ CN ටවර් එහෙම තියන සංචාරක ආකර්ෂණ ප්‍රදේශයේ මාවත් කිහිපයක්ම මෙලෙස බිත්ති චිත්‍රවලින් සම්පුර්ණ වෙලා තියනව. එම මාවත්වල නම් අනෙකක් වුනත් දැන් ඒවා හැඳින්වෙන්නේ ග්‍රැෆිටි ඇලි Graffiti Alley කියලයි. බොහෝ සංචාරකයෝ මෙය නැරඹීමටත්, ඒ පසුබිමේ ඡායාරූප ගැනීමටත් අමතක කරන්නේ නැහැ.
වර්තමානයේ බිත්තිවලින් එහාට ගොස් ත්‍රිමාණ කණු ආදිය මතත් නිර්මාණ කිරීමට දිරි ගන්වනවා. පසුගිය වසරේ ශිල්පින් 17 දෙනෙක් යොදාගෙන හයිවේ එකක් යට වාහන මාරුවන පාරක කණු 13ක නිර්මාණය වූ සිතුවම් මේ.
ලංකාවේ වුණත් පාලම් පොදු තාප්ප අලංකරණයට මුදලක් යොදවන්න කෙනෙක් හිතනවානම් රැකියා අවස්ථා නිර්මාණය කරන්නත් පුළුවන්.
උදව්:
උපාලි ආනන්ද සොයුරා
Jenifer Anzin
www.rcmp-grc.gc.ca/en/gazette/graffiti
www.cbc.ca/arts/exhibitionists
muralroutes.ca/multiplicity-meet-artists/
mcfcrandall.blog/tag/graffiti-people/
www.cp24.com/news/