ලොතරැයියක් ඇදී සිත්සේ වැයකර දිළිඳු වූ මිනිසෙක් සේ ස්වභාවික සම්පතකින් ධනවත්ව බිමටම ඇදවැටුණු රටක කතාවයි මේ.
පැසිෆික් සාගරයේ ඔස්ට්‍රේලියාවට ඊසාන දෙසින් සමකයට කිලෝමීටර් 40ක් දකුණින් පිහිටා ඇති කොරල් පිරි මුහුදකින් වටවූ, ලෝකයේ කුඩාම දිවයිනක් වන නවුරු රාජ්‍යයේ කතාව මූල්‍ය පාලනයේ අසාර්ථකත්වය හා අසමත් ධන කළමනාකරණය කියාපාන ප්‍රතිමුර්තියක්.
ජනගහනය සම්බන්ධ 'අංගම් දිනයක්' නවුරු වැසියන්ට ඇත. ජාතියක් ලෙස නොනැසී පැවතීමට නම් අවම ලෙස දිවයිනේ ජනගහනය 1500 ක් විය යුතුයයි ගෝත්‍රික නායකයෝ හා ඕස්ට්‍රේලියානු බලධාරීහු 1919දී තීරණය කළහ. පළමු ලෝක යුද්ධයෙන් පසු අඩුවූ ජනගහනය 1500 බවට පත්කළ දැරිය ඉපදුනු 1932 ඔක්තෝබර් 26 අංගම් දිනයයි. දෙවන ලෝක යුද්ධයෙන් පසුවත් ජනගහනය අඩුවීමට මුහුණ පෑ ඔවුහු 1500 ඉක්මවුයේ 1949දිය. එම අංගම් දරුවා ඉපදුනේ මාර්තු මස වුවත් දිනය සමරන්නේ ඔක්තෝබර් මාසයේමය.
මෙම දිවයින මුලින්ම වටිනාකමක් ඇති තැනක් ලෙස හඳුනාගනු ලැබුයේ 1886දීයි. වසර මිලියන ගණනක් කුරුල්ලන් වසුරු හෙලීම නිසා, එම වසුරු (Guano) පොසිලකරණය වීමෙන් සෑදුණු නයිට්‍රජන් සපිරි පොස්පේට්වලින් දිවයින පිරි තිබුණී.
පොස්පේට් වල වටිනාකම දැනගත් ජර්මනිය මෙය ඔවුන්ගේ යටත් විජිතයක් බවට ප්‍රකාශ කර, The Pacific Phosphate Company මගින් පොස්පේට් ලබාගැනීම ආරම්භ කළේය. පළමු ලෝක යුද්ධ සමයේ ඕස්ට්‍රේලියානු හමුදා යොදවා බ්‍රිතාන්‍යය විසින් අත්පත් කරගත් මෙම දිවයින 1968දී නිදහස් රාජ්‍යයක් බවට ප්‍රකාශයට පත් කරද්දී අයත්ව තිබුනේ ජපානයටයි. ඒ ජපානය විසින් දෙවන ලෝක යුධ සමයේ දූපත අත්පත් කරගැනීම නිසයි.
පොස්පේට්, පොහොර නිෂ්පාදනයේදී අත්‍යවශ්‍ය දෙයක් නිසා හොඳ ඉල්ලුමක් සමග වටිනාකමක් තිබේ. ලොව පුරා ඇති ඉල්ලුමට අනුව නවුරු රාජ්‍යය, යටත් විජිත සමයේත් ඉන් පසුවත් දිවයිනේ තිබු අඩි ගණනක් ගැඹුරු පොස්පේට් විකිණීමෙන් අති විශාල අදායමක් ලැබීය. 1975 වසරේ ආදායම ඩොලර් බිලියන 2.5ක් විය. පොස්පේට් ධනය නිසා 60, 70 දශකවල ලෝකයේ ඉහලම GDP per capita අගය තිබුණේ නවුරු දිවයිනටයි. ඒ වන විට රටේ ජීවත්වූ 7000ක් දෙනාට අධි සුඛෝපභෝගී ජිවිත ගත කිරීමට මුදල් පමණටත් වැඩිවිය. නව නිවාස හා වාහන සුලභ විය. විශාල හෝටල්, ගොල්ෆ් පිටියක් ඉදි කෙරුණි. රජය ජාතික ගුවන් සේවයක් ආරම්භ කළේය. මෙම ගුවන්සේවය සිංගප්පුරුව ආදී දුර ගමනාන්ත කිහිපයකටත් යෙදවිය.
ඉක්මනින් අවසන්වන ස්වභාවික සම්පතෙන් ලැබෙන මුදල් දීර්ඝ කාලීනව ආයෝජනය කළයුතු බව රජය වටහා ගත්තේය. ඔවුහු Nauru Phosphate Royalties Trust නම් මුල්‍යායතනයක් ස්ථාපිත කළේය. එහෙත් මුදල් ආයෝජනය කරන අයුරු පිලිබඳ අත්දැකීම් ඇත්තවුන් විරල බැවින් බටහිර මූල්‍ය උපදේශකයන් වෙත යොමුවිය. ඔවුන්ගේ උපදෙස් අනුව නවුරු වැසියන්ට කිසිදු අත්දැකීමක් නොමැති සුවිසල් හෝටල් ලොව පුරා මිලදී ගත්හ. නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, පිලිපීනයේ ප්‍රධාන නගරවල විශාල ගොඩනැගිලි මිලට ගත්හ. ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ඉන්දියාවෙන් ඉඩම් මිලට ගත්හ.
මෙලෙස සම්පුර්ණ ආර්ථිකයම එකම ස්වභාවික සම්පතක් මත පමණක් යැපෙමින් කෙටි කාලයකදී ලැබෙන මුදල් යෙදවීමේදී සිදුවන වංචා, දූෂණ, නිසි යටිතල පහසුකම් සංවර්ධනය නොමැතිකම, ප්‍රමාණවත් ආර්ථික වර්ධනයක් නැතිකම ආදියට ආර්ථික විද්‍යාවේදී The Resource Curse ලෙස යෙදුමක් ඇත. නවුරු රාජ්‍යයද සැලැස්මක් නොමැති දේශපාලකයන් හා උපදේශකයන් නිසා එම තත්වයට මුහුණ පෑවේය.
රජයේ මූල්‍ය උපදේශකවරයෙක් ලෙස සිටි ගීත නාට්‍ය රචකයෙක් වූ Duke Minks ලියනාඩෝ ඩා වින්චි ගේ ජීවිතය අලලා ගීත සංධ්වනියක් රචනා කර නිෂ්පාදනය කළේය. මෙය ලන්ඩනයේ ඉහලම රඟහලක රංග ගත කිරීමට පොස්පෙට්වලින් උපයාගත් ඩොලර් මිලියන පහක් යෙදවීමට ඔහු රජය යොමු කරවා ගත්තේය. ඉතා අසාර්ථක වූ සන්ධ්වනියෙන් එම මුළු මුදලම රජයට අහිමි විය.
ගුවන් සේවය මගීන් 30% පමණ ඇතිව (වැඩි කොටසක් හිස්ව) විවිධ ගමනාන්ත කරා ගමන් කළේය. 1980 අග භාගය වන විට ගුවන් සේවය වාණිජ සේවයක් ලෙස පවත්වා ගැනීම උදෙසා ඕනෑම කෙනෙක්ට නොමිලයේ ගමන් පහසුව සලසා දීමට සිදුවිය. බංකොලොත් වූ සේවය අද ගුවන්යානා පහක් පමණක් ඇතිව සමීප ගමනාන්ත සඳහා පමණක් භාවිතා වේ.
ධන කළමනාකරණය සඳහා යොදාගත් බටහිර මූල්‍ය උපදේශකවරු නවුරු රාජ්‍යයේ නොදන්නාකම ප්‍රයෝජනයට ගෙන වැරදි උපදෙස්, අසමත් කළමනාකරණ ක්‍රම කෙරෙහි යොමු කර සිදුකළ වංචා, දුෂණ නිසා විවිධ ව්‍යාපාර සඳහා ආයෝජනය කළ මුළු මුදලම පාඩු වී රටට අහිමි විය.
ඩොලර් 20000ක් ආයෝජනය කරන ඕනෑම කෙනෙක්ට බැංකුවක් ආරම්භ කිරීමට දුන් අවසරයෙන් ප්‍රයෝජන ගත් රුසියානු සමාගමක් නවුරුවේ පැවති ලිහිල් බැංකු ප්‍රතිපත්ති උපයෝගී කරගෙන සෝවියට් රුසියාවෙන් ඩොලර් බිලියන 70ක වංචාවක් සිදුකළ නිසා නවුරු බැංකු කෙරෙහි විශ්වස්‍යතාව බිඳ වැටුණි.
1990 දශකයේ පොස්පේට් නිධි අවසන් වනවිට මුදල්ද අවසන් විය. පොස්පේට් හෑරීම නිසා පොලවේ උල් සහිත හුණුගල් ස්තරය පමණක් ඉතිරිවිය. නිධි හාරන සමයේ ඒවාට ඉඩ දීමට ගස් කපා දැමීමට සිදුවිය. අපද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා තවත් භුමි කොටසක් වෙන් කිරීමට සිදුවිය. මේ හේතු නිසා භූමියෙන් තුන්කාලක්ම ජීවත්වීමට හෝ වගා කටයුතුවලට යෝග්‍ය නොවේ. සියලු වැසියන්ට ජිවත්වීමට සිදුවුයේ වෙරලාසන්නයෙයි. වෙරළේ හිරිගල් හා සමුද්‍ර ජිවින්ටද පොස්පේට් හැරීමේ අතුරුඵල ලෙස හානි සිදුවිය. තිබුණු ගස් කපා දැමුණු මුත් නව ශාක වගා කිරීමට පරිසරය නුසුදුසු විය.මේ නිසා සියලුම ආහාර ආනයනය කිරීමට සිදුවිය. පෝෂ්‍යදායි අලුත් ආහාර නොමැතිව දැන් ජිවත්වන වැසියෝ විවිධ රෝගාබාධවලට ලක්ව සිටිති.
පහසුකම් සැපයීමට අසමත්ව අධ්‍යාපන පද්ධතිය සම්පුර්ණයෙන් පාහේ බිඳ වැටුණි.
වසර 2000දී ඔස්ට්‍රේලියාව බෝට්ටු මගින් යන සරණාගතයන් ගැනීම නතර කෙරුණි. 2001 පැසිෆික් සාගරයේ අතරමං වූ එවන් සරණාගතයන් 434ක් රැගත් බෝට්ටුවක් බේරා ගැනීමෙන් පසු ඔස්ට්‍රේලියාවට ගැනීම ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන්ව නවුරු හා පැපුවා නිව්ගිනියා කඳවුරු සාදා නවත්වා ඔවුන් සඳහා මුදලක් ගෙවීමට ඔස්ට්‍රේලියාව එකඟ විය. 2007 දක්වා මෙලෙස සරණාගතයින් ඇතුල් කළත් සංඛ්‍යාව වැඩිවීමට අනුකුලව පහසුකම් සැපයීමේ අපහසුතා නිසා කඳවුරට සරණාගතයන් ගැනීම අවසන් කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කළේය. මානසිකව හා කායිකව රෝගීව සිටින සරණාගතයන් ගැන විවිධ රටවලින් නවුරු දිවයිනට චෝදනා පැමිණියත්, ඕස්ට්‍රේලියාවේ මුදල් මත යැපෙමින් ඔවුන් රඳවාගෙන සිටින රජයට කළ හැකි දෙයක් නොමැත.
වසර 30කට පෙර මුදල් මත පිහිනූ රාජ්‍යයක්, අත්දැකීම් රහිත පාලකයන්ගේ වැරදි තීරණ, නාස්තිය හා දුෂණ, නිසි කළමනාකරණයක් නොමැතිකම හා නිවැරදි මුල්‍ය පරිපාලනයක් නොමැතිකමින් අද සියලු සම්පත් අහිමි වී, නියඟයෙන් බැටකමින්, දුගී බවේ පතුලටම වැටී ඇත.
උදව්:
https://en.wikipedia.org/wiki/History_of_Nauru
https://dose.com/articles/welcome-to-nauru
www.youtube.com/watch?v=PqSfiMc8egU
www.outwardon.com/article/what-nauru-island
www.nytimes.com/2000/12/the-billion-dollar-shack.html
වර්තමානයේදී ලංකාවටත් සිදු වී ඇත්තේ එයම නොවේද ?
ReplyDeleteවංචා, දුෂණ, අනිසි කළමනාකරණය අතින්නම් එසේමය.
Deleteහෙටානිද්දම අපිත්
ReplyDeleteසෑෑ වෑෑෑෑව්
අද අදම... එයාලනම් ටික කලෙකටවත් ලෝකේ පොහොසත්ම රට වෙලත්...
Deleteතෙල් රටවලුත් නවුරුවල අවදනමේම ඉන්නේ. එක ස්වභාවික සම්පතයිනේ. ඒක ඉවර වෙද්දී හරි ආයෝජනයක් නොකලොත් ඔය ටික තමා.
වටිනා ලිපියක්. ස්තූතියි!
ReplyDeleteඅගය ලැබීම දිරියක්!
Deleteනවුරු දූපත් රාජ්‍යය මුළු ලෝකයටම කදිම පාඩමක් බව කියා දෙන අගනා ලිපියක් බවට පත්ව තිබෙනවා.
ReplyDeleteබොහොම ස්තුතියි.. කාටත් පාඩමක් තමයි
Deleteකෙලින්ම මේ සිද්ධියට අදාළ නැති වුවත් කුරුළු වසුරු වලින් මුදල් ඉපයීම ගැන මගේ අත්දැකීමකුත් මෙයට එකතු කිරීමට අදහස් කළා. මේ අත්දැකීම දකුණු ඉන්දියන් සාගරයේ සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ. මා ඒ රාජ්‍යයේ ප්‍රධාන දුපත වන මාහේ වල වසර කිහිපයක් සේවය කළා. සීෂෙල්ස් රාජ්‍යයේ දූපත් සීය ගණනක් තිබෙනවා. මෙයින් දුපත් හතක පමණක් මිනිසුන් වාසය කරනවා. මේ දිවයින හඳුන්වන්නේ Bird Island කියා. උතුරුකරයේ ශීත ඍතුව ආරම්භ වන විට මුහුදු කිරලු පක්ෂීන් මිලියනයක් පමණ මේ දුපතට පර්යටනය වෙනවා. මොවුන් කුඩු සාදාගන්නේ ඒ දුපතේ පොලොව මතුපිට. ඔවුන්ගේ ආහාරය නොගැඹුරු මුහුදේ ඉතා සුලභ මත්ස්‍ය වර්ගයක්. කිරල්ලු බිත්තර දමා පැටවුන් හදාවඩා ගෙන මාස කිහිපයකට පසු ආපසු යනවා. ඔවුන් ඉතිකර යන වසුරු 'Guano' යන නමින් හඳුන්වන අගනා ස්වාභාවික පොහොරක්. කිරලුන් ගිය පසු රජය මගින් 'Guano' එකතු කර පැකට් වල අසුරා පිටරටවලට අපනයනය කරනවා. වසරකට 'Guano' පොහොර ටොන් තිස්දහසක් පමණ අපනයනය කර විශාල ආදායමක් ලබනවා. මිනිසුන් ලක්ෂයක් පමණ ජිවත්වන මේ කුඩා රාජ්‍යයට මෙය ඉතාම වැදගත් ආදායමක්. මා සේවය කළ උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන්ද එම දූපත ආශ්‍රිත ව්‍යාපෘතිවලට සහභාගී කරවා ගන්නා නිසා මටද එහි යාමට අවස්ථාව ලැබුණා. මේ රටේ නම් මෙම ආදායම් මාර්ගය ඉතාමත් හොඳින් පරිපාලනය කරනවා.
ReplyDelete(මෙම දුපත ගැන මා විසින් ලියන ලද Blog post එකක් 'කුරුළු පාරාදීසයට අධ්‍යාපන චාරිකාවක්' යන නමින් ඇති.)
හැමදාම වගේ ලිපියට තවත් කරුණු සහිත විස්තරයක් එකතු කර වටිනාකමක් දෙනවට ස්තුතියි. Guano ම තමයි දීර්ඝ කාලයක් තිබිල පොසිලකරණය වුණාම පොස්පේට් වෙන්නේ. සරල දෙයක් ගැන අවධානය යොමු කරලා රටට ආදායමක් ඇති කරගැනීම මොනතරම් ආදර්ශයක්ද? අනුනට එහි ආදායම නොදී කළමනාකරණය කරගැනීමත් ලොකු දෙයක්නේ
Deleteඔබේ ලිපියත් බලන්නම්
පොස්පේට් හෙමින් ටික ටික ගත්තනම් දීර්ඝ කාලයක් හොඳ ආර්ථික මට්ටමක ඉන්න තිබුණා.
ReplyDeleteඅපේ එප්පාවලටත් කරන්න ගියේ ඔය ටිකම තමයි.
එප්පාවල පොස්පේට් ගැනත් එය බේරාගත් බාලා තම්පෝ ගැනත් හොඳ කමෙන්ට් එකක් ෆේස්බුක් එකේදී ලැබුනා. ඔහුට එය මෙතන ලියන්න නොහැකි වුනොත් මම පසුව දාන්නම්.
Delete+++++++++++++++++
ReplyDelete++++++++++ :)
Deleteවසුරු වුනත් වටිනව. ඒ වගේම කලමණාකරණයක් නැති වුනොත් මොන ලොක්කටක් කෙල වෙනවා
ReplyDeleteඅන්න ඒකයි ඇත්ත
Deleteඅංගම් දිනය කියන්නෙ මොකක්ද?
ReplyDeleteඒ දුපතේ ජනගහනය අඩුවුනාම ආපහු 1500 වෙනි ළමයා ඉපදෙන දවස.ඒ වුනාට සමරන්නේ පළමු ලෝක යුද්දෙන් පස්සේ 1500වෙනි ළමයා ඉපදුනු ඔක්තෝබර් 26 දවසයි. ඒ ළමයා දෙවෙනි ලෝක යුද්ධ කාලේදී මැරුණාලු.
Deleteඅපටත් මේ ටිකම වෙයිද කියල සැකයි.
ReplyDeleteනිසැකයි
Deleteමේ ලිපියට ෆේස්බුක් තුලින් ආ ප්‍රතිචාර වලින් වැදගත්ම එකක්.
ReplyDeletePiyarathne Kariyawasam : 1996 වගෙ කාලේ ල0කාවේ මේ දෙයම වෙන්න ගියා කියල ...ඒ කියන්නෙ එප්පාවල පොස්පේට් නිධිය ඔය නවුරු අයිලන්ඩ් විනාශ කරපු සමාගම් වලින් එකක් වන අමෙරිකන්-ඕස්ට්‍රේලියන් හවුල් සමාගමකට පවරන්න චන්ද්‍රිකා රජයේ කර්මාන්ත ඇමතිවරයා ( මියගොස් ඇති නිසා නම නොකියමි ) සියලු කටයුතු සුදානම් කලා..පෝස්පෙට් සමාගමට තමන්ගේ ගෝලයෙකු පත් කොට ඔහු හරහා වෘත්තීය සමිති නායකයන්ටත් සේවකයන්ටත් ලස්සන අනාගතයක් උදාකරන බව සහතික කොට ඔවුන් අවනත කොට නිහඬ කොට මෙය කරන්න සියල්ල සුදානම් කොට තිබුනා...මෙහිදි රටට පෙන්වුයේ එප්පවල දැනට නිෂ්පාදනය කරන එකලා පොස්පේට් වෙනුවට ලෝක වෙලඳපොල ජයගත හැකි සුපිරි පොස්පේට් හදන්න පිටරට සමාගමක් හවුල් කරගන්න බවයි.....නමුත් ජාථ්‍යන්තර වාණිජ හා කාර්මික අපරාධ කරුවන් වු සමාගම් ගැන පාථුල හා හසල දැනුමක් තිබුනු මේ රටට නිහඬ අමිල මෙහෙයක් කල නමුත් ඉතා සුලු පිරිසකගෙ පමනක් අගය කිරීමට ලක්වු බාලා තම්පෝ මහතා මේ ගැන මැදිහත්වී යොජිත ගිවිසුම සොයා ගත්හ්තා...ඒක හෙලිවුනාමයි බොහෝ දෙනාගෙ ඇස් ඇරුනෙ..ඒ ගිවිසුම අනුව එප්පවල සිට මරදන්කඩවල දක්වා ( සහ අවස්‍ය වුවහොත් එම සීමාව ඛබරණ දක්වා දිගු කිරීමට යටත්ව ) රජරට පොලොව කැන පෝස්පටෙ ඉවත් කිරීමටත් ත්‍රීකුණාමලය දක්වා දුම් රියෙන් ගෙනයන පොස්පේට් ත්‍රීකුණාමල වරායෙන් නැව්ගත කිරීමට සැලසුම් කලා...අවාසනාවන්තම දේ නම් පොස්පේට් නිධිය සහිත ඕණාම ඉඩමක් රජයට පවරාගෙන කැණීම් කිරීමටත් ඔවුන්ට විකල්ප ඉඩම් ලබාදී ඔවුන් ඉවත් කිරීමටත් බලය පැවරීම සහ පුරාවිද්‍යා රක්ෂිත පවා පවරා ගෙන් අපොස්පේට් ඉවත් කරගැනීමටත් සැලසුම් කර තිබුණා...මේ අවස්තාවේ ඉතා උදාර තවත් නිහඬ චරිතයක් වු මහමන්කඩවල පියරතන හාමුදුරුවො ජීවිත පරිත්‍යාගයක් උනත් කරන්න සුදානමින් සටනට ආවෙ..බාලා තම්පෝ මහතාගේ නිවැරැදිම මග පෙන්වීමෙන් බහුජන ස0විධාන වෘත්තීය සමිති මාධ්‍ය සහයෝගයෙන් ගොඩ නැගුන ජනපවුර උඩින් යන්නට රජයට බැරි උනා,,,,එමෙන්ම තව වසර 450 හෝ ඊටත් පසුව ල0කාවෙ කෘෂිකර්මයට අවශ්‍ය පොස්පේට් සැපයිමට ප්‍රමානවත් මෙම මහඟු පොස්පේට් නිධිය අවුරුදු විස්සකින් හාරා ගෙනයන්නට දී රටේ ණය ගෙවා පොහොසත් වන්නට රජය ගත් අදූරදර්ශි අනුවණ වෑයම පරාජය උනේ බාලා තම්පෝ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ලබාගත් කිසිදා කිසිදු රජයකට මෙය පැවරිය නොහැකි බවට ලබාගත් ඓතිහාසික නඩු තීන්දුව නිසයි...නමුත් අවාසනාව නම් බාලා තම්පෝ වැනි දඹ රත්තරන් මෙන් පිරිසිදු කිසිම කෙනෙකුගෙ මුදලට නොනැමෙන කිසිදු පාලකයකුන හිස නොනැමු නීතිය කාර්මික නීතිය හෝ ජාත්‍යන්තර කාර්මුක ආරවුල් ගැන හා කුප්‍රකට සමාගම් ගැන අවබෝදයක් ඇති සුපිරි බුද්ධිමතකුකු යලි ඉපදීමට ඇති අවම ඉඩකඩයි