Wednesday 31 January 2018

සීතල පරිසරයක දිවි තරණය කරන සත්තු

ජිවිතේ අභියෝගයක් ආවොත් මොකද කරන්නේ? මුහුණ දීම. ඊට හැඩ ගැසීමට උත්සහ කිරීම .. බැරිනම්? එතනින් ඉවත්ව දුරකට යාම. නැත්නම් සැඟවීම ...අධි සීතල පරිසරයක ජීවත්වෙන සත්තුත් සීතල කියන අභියෝගයේදී ඔය ක්‍රමවලින් එකක් තමයි අනුගමනය කරන්නේ.
මිනිසුන්ටත් අභියෝගයක් වෙන සීත කාලයට ඇඳුම් වලින් හා වෙනත් තාක්ෂණික ක්‍රම වලින් මුහුණ දීමේ හැකියාව නැති නිසා සත්තු පරිසරයට අනුව ඔවුන්ගේ හැකියාව හා ස්වභාවය භාවිතා කරමින් සිත කාලය තරණය කරති.


පර්යටනය Migration: බොහෝ ශක්තිමත් සතුන් මෙන්ම සමහර දුර්වල සේ පෙනෙන සතුනුත් සිත කාලයට පෙර එම ප්‍රදේශයෙන් ඉවත්වී උණුසුම ඇති ප්‍රදේශ කරා ගමන් ගනිති. පර්යටනයේදී ප්‍රධාන ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය.
1. තම සුපුරුදු පරිසරයෙන් ඉවත්වී දිර්ඝකාලින සංචාරය
2. ඒවා රේඛිය මාර්ග වීම
3. අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීම වැනි විශේෂ හැසිරීම් දැක්වීම
4. ආපසු පැමිණීම
5. තම කාර්යය කෙරෙහි ඇති තීව්‍ර සැලකිල්ල.
ආක්ටික් තුරිතයාගේ පර්යටන මග 
කුරුල්ලන්, ක්ෂීරපායින්, උරගයින්, මාළුන්, උභයජිවින් මෙන්ම කෘමින්ද මෙලෙස පර්යටනය වන බව නිරීක්ෂිතය.
මොවුන් අතරින් ආක්ටික් තුරිතයා Arctic tern නම් කුරුල්ලා වසරකට කිලෝමීටර් 71000ක්  ආක්ටික් ප්‍රදේශයේ සිට ඇන්ටාර්ටික්  ප්‍රදේශයටත් sooty shearwater කුරුල්ලා කිලෝමීටර් 64000ක් නවසීලන්තයේ සිට ඇමරිකාවේ උණුසුම් පෙදෙස්වලටත් ගමන් කරයි. උකුසුවර්ග, රාජාලි වර්ග, තාරාවන්, පාත්තයන්, හංසයන්, කොක් වර්ග, පෙලිකන් පර්යනටනයේ  යෙදෙන පක්ෂීන් අතර සිටිති. සීතලෙන් ආරක්ෂාවීම මෙන්ම ආහාර හිඟකමට සාර්ථකව මුහුණ දීමත් මෙලෙස ප්‍රදේශ වෙනස් කිරීමෙන් ලැබෙන වාසියකි.
දිගු දුරක් ගමන් කරන අතරමග තන්හි නැවතී අහර ගැනීම හා විඩා නිවාගැනීම සිදු කරත්. සමුහ ලෙස පියාසර කරන කුරුල්ලෝ එකම ස්ථානවල මෙලෙස නවතිමින්  යන බව සොයාගන ඇත. එනම්, පොලවේ සමහර ස්ථාන ඔවුහු පර්යටනයේදී සලකුණු ලෙස භාවිතා කරති.
පර්යටනය වීමේදී දිශාව සොයාගන්නේ ඉරෙහි පිහිටීම හෝ තරුවල පිහිටීම  මග පෙන්වීමක් ලෙස භාවිතා කිරීමෙන් බව සිතිය හැකිය. විද්‍යාඥයන් අනුමාන කරන්නේ සමහර කුරුල්ලන්  පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයද උපකාර කරගන්නා බවයි. ගඳ සුවඳ අඝ්‍රානයද පර්යටනයට උපකාරී වන බව පෙනී යන කරුණකි.
සමහර කුරුල්ලන් එතරම් දුරක් ගමන් නොකරන අතර උස කඳු මුදුන්වල සිට පහත්බිම් කරා පැමිණීමක් පමණක් දක්නට ලැබෙනවා.
ස්ටෙප්ස් තණබිම්වල ජිවත්වන Saiga ඇන්ටිලොප් නම් ගෝන වර්ගය සිත කාලයට පෙර උණුසුම් ප්‍රදේශ සොයා කිලෝමීටර් 1000ක් පමණ ගමන් කරයි. ටිබෙටයේ උස කඳු මුදුන්වල ජිවත්වන චිරු නම් ඇන්ටිලොප් වර්ගයද සිතල කාලයේ සමුහ ලෙස ගමන් කරන ක්ෂීරපායි සත්වයෝය.
නත්තල් සීයාගේ කරත්තය ඇදගෙන යන බව කියවෙන කැරිබු මුව වර්ගය උතුරු ඇමරිකාවේ මෙන්ම ග්‍රීන්ලන්තයේත්, යුරෝපයේත් ජීවත්වේ. සීත කාලයේ පළමු හිම පතනයත් සමග සමුහ ලෙස දකුණු ප්‍රදේශවලට ගමන් කරන මොවුහු වසරකට කිලෝමීටර් 1600ක් පමණ ගමන්කරති.  එල්ක් නම් මුව වර්ගය උස කඳු මුදුන්වල සිට පහත ප්‍රදේශවලට පැමිණේ.
තල්මසුන් උණුසුම් පරිසරයක් සොයායන තවත් සත්ව වර්ගයකි. සිතල කාලයේදී (උත්තර ධ්‍රැවයට දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා) සැතපුම් 5000-7000 පමණ දුරක් උණුසුම් ජලය ඇති සමකාසන්න ප්‍රදේශවලට පිහිනමින් ගමන් කරන ඔවුහු පැටවුන් දමන්නේ උණුසුම් ජලයෙයි. ගිම්හාන කාලයේදී ආහාර සැපයුම් ඇති සුපුරුදු ධ්‍රැවාසන්න ප්‍රදේශවලට නැවත ගමන්ගනිති.
චිනුක් නම් සැමන් මත්ස්‍ය වර්ගයද උණුසුම් ප්‍රදේශවල බිත්තර දැමීම සඳහා කිලෝමීටර් 300ක පමණ දුර පිහිනති.
සමහර වවුල් වර්ගද සීත කාලයේදී එම පරිසරය අත්හැර යති.
Monarch butterflies 

සමනලුන් වර්ගද පර්යටනය කිරීම තරමක පුදුමයට කරුණක්. සැහැල්ලු පියාපත් ඇති එතරම් දුර පියඹීමට හැකියාවක් නැති නමුත් ඇමරිකාවේ උතුරු ප්‍රදේශවල රොකි කඳුවැටි ආසන්නයේ ජිවත්වන මොනාෂ් 
සමනල්ලු 
සෑම වසරකම කිලෝමීටර් 2500ක් පමණ දකුණු දෙසට පියඹති.  ඔවුන්ගේ සුපුරුදු අහර ලැබෙන ගස්වර්ග සිත කාලයේදී මල් නොදරන නිසාත්, සීතලට ඔරොත්තු දීමේ හැකියාවක් නොමැති නිසත් මෙලෙස පර්යටනය වේ. මුල් පරම්පරා තුනක් උන්ට ආහාර ඇති උණුසුම් සමයේ උතුරු ප්‍රදේශවල ගස්මත යැපෙමින් ජිවතවන අතර සතරවෙනි පරම්පරාව සීත කාලය තරණය කර තම වර්ගයා රැක ගැනීමට පර්යටනය කරති.  වැඩි ආයු කාලයක් ඇත්තේද සිව්වන පරම්පරාවේ සමනලුන්ටයි. එනම්, පරම්පරා තුනක් විසු පෙදෙස අත්හැර දකුණු දෙසට ගමන් කරන අතර සිත කාලයේ උණුසුම් පෙදෙසක කාල තරණය කර, වසන්ත කාලයේදී නැවත පැමිණෙති.
බත්කුරන් හා කුරුමිණි වර්ගද පර්යටනය කරමින් දිවි රැකගනිති.

ශිශිර නිද්‍රාව Hibernation : සීතල කාලය පුරාම හෝ ඉන් කොටසක් දීර්ඝ කාලින නින්දේ ගත කරමින් එම කාලය තරණය කරන ක්ෂීරපායි සත්තු සිටිති. පර්යටනය සිදුකිරීම සඳහා සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව අති විශාල ශක්ති ප්‍රමාණයක් වැයවෙන නිසා විකල්පයක් ලෙස ශිශිර නිද්‍රාවෙහි යෙදේ. මෙයින් ඔවුන්ට වාසි කිහිපයක් ලැබේ. ආහාර අඩු එම කාලය අවම ආහාර ප්‍රමාණයකින් ගෙවාගත හැකිවීමත්, පරිවෘත්තිය ක්‍රියාවලින් අඩුවීම නිසා ශක්තිය ඉතිරි කරගත හැකිවීමත්, අනෙක් සතුන්ට ගොදුරුවීමෙන් වැළකීමට හැකිවීමත් ප්‍රධානය. මෙලෙස නිදා සිටීම නිසා සිරුරේ උෂ්ණත්වය අංශක කිහිපයක් පහල වැටීමෙන් හර්දය ගැස්මද අඩුවී පරිවෘත්තිය සඳහා වැයවෙන ශක්ති ප්‍රමාණය තව දුරටත් අඩුවේ. සමහර සත්තු මේ කාලය තුල බහිශ්‍රාවය සිදු කරන්නේද අඩුවෙනි.
වලසුන් කිහිපදෙනෙක් ගුහාවක් තුළ එකට ලංවී නිද්‍රාවෙන් ගතකරති. ශීත කාලයට පෙර හොඳින් අහර අනුභව කිරීම නිසා ඇතිවූ මේද තට්ටුව මගින් අවශ්‍ය ශක්තිය ලබාදේ. සිරුරේ උෂ්ණත්වය අනතුරුදායක මට්ටමට පහල වැටුනහොත් ඔවුන් අනිච්චනුගත ලෙස අවදිවී සිරුරු සෙලවීම නිසා නැවත උෂ්ණත්වය වැඩි වේ.
ලේන් වර්ග, උරුලෑ වර්ග, ඉත්තෑවන්, වවුල් වර්ග මෙලෙස සිසිර නින්ද නිසා ශීත කාලයේ දිවි රැකගනිති.
ක්ෂීරපායින් පමණක් නොවේ මත්ස්‍යයෝද කලාතුරකින් නිද්‍රාව ශීත කාල තරණයට යොදා ගනිති. නිවෙස්තුල  ඇතිකරන ගෝල්ඩ්ෆිෂ් මසුන් එළිමහන් පොකුණුවල දැමුවිට ශීත සමයේ මිදෙන ජලයේ අයිස් මට්ටමට පහලින් නිසලව පාවෙමින් නින්දේ සිටිති.
දිරායන කොටන් යට හෝ ගල් යට දින සියයක් පමණ නිද්‍රාවේ ගතකරන පක්ෂි වර්ග සිටිති.
නයි වර්ග රංචු ලෙස එකට එතෙමින් ගස් ගල් මත හෝ යට නිදමින් ශිශිර තරණයේ යෙදෙති. හිම දියවීමත් සමග එකිනෙකාගෙන් වෙන්වී පිටතට ඇදෙති.
ශීත රටවල මි මැසි වර්ගවල වැඩකාර මැස්සන් හා පිරිමි මැස්සන් ශීත කාලය ලබනවිට මිය ගියත් මීමැසි රැජින පොලවේ ගුලක් තුල හෝ වියලි කොළ ගොඩක් තුළ හෝ දිරායන කොටයක් තුල හෝ ශීත නිද්‍රාවේ මාස ගණනක් ගතකර පරිසර උෂ්ණත්වය යහපත් වූ විට පිටතට පැමිණ නව මීමැසි රංචුවක් බිහි කරගනියි.
ගොළුබෙල්ලන් සිය කටුව තුලට වැදී හුණු හා සෙවල යොදාගත් ශ්‍රාවයකින් විවරය ආවරණය කරගනියි. කටුව ඇතුලත තෙතමනය රැකෙන නිසා ඉතා දිගුකලක් තරණය කිරීමේ හැකියාව ඇත.

පරිසරයට හැඩගැසීම Adapt 
කටුක ශීත පරිසරයට ඔරොත්තු දෙමින් ජිවත්වන සත්තුද දක්නට ලැබේ. මොවුහු ශීත කාලයට ගැලපෙන පරිදි සිරුරේ වෙනස්කම් කරගනිමින් ජීවත්වෙති. රෝම ඇති සතුන්ගේ රෝම දිගුව හා ඝනව වැඩිම දැකිය
හැකිවේ.මෙසේ වැඩෙන රෝම බොහෝවිට සුදු පැහැතිය. එමගින් හිම මත ගමන් කිරීමේදී අනෙක් සතුන්ගේ ගොදුරු බවට පත්වීමෙන් වැළකේ. මෙම සතුන්ගේ පතුල ඝනකම් හා විශාල වන අතර රෝම වලින් ආවරණය වේ. ගෙල වටාද කන් තුලද දිගු රෝම වැඩී, සීතලට වඩාත් සංවේදී සිරුරු කොටස් ආරක්ෂා වේ. නරි හා වෘක වර්ග, ලේන් වර්ග, ගෝන හා මුව වර්ග මෙලෙස සීතලට ඔරොත්තු දෙමින් දිවි රැකගනීති. 
ශීත කාලයට පෙර වැඩි ආහාර ප්‍රමාණයක් අනුභව කිරීම නිසා සමේ ඇතිවන දුඹුරු මේද ස්ථර පරිවාරක ලෙස ක්‍රියා කිරීමෙන් සීතල සංවේදනය අඩුවේ. ආහාර සොයාගත නොහැකි විට මේද ස්ථර දියවී ශක්තිය ලබාදේ. 

හිමෙහි ජිවත්වන හිම බස්සන් හිම සුදු පැහැ ගන්නා අතර හිම මත සිටගෙන සිටීමට හැකිවන සේ පාද පිහාටු රැසකින් ආවරණය වී ඇත. නිය, තියුණු හා උල් වන අතර පිහාටුවල ශබ්ද නොනැගෙන සේ පියාසැරියේ යෙදෙන අතරම හිම මත දුවන මියන් ආදී සතුන් ගොදුරු කරගැනීමේ විශේෂ හැකියාවෙන් යුක්තය.
සමහර වෘක වර්ග සීත කාලයේදී එකම ආහාර වර්ගය මත නො යැපී විවිධවූ ආහාර ගැනීමට හුරුවේ.
හිමෙහි ජිවත්වන සමහර සත්තු එකිනෙකා මත යැපෙමින් සහයෝගිව ජිවත්විමෙන්ද දිවි රැකගනිති. ෆ්ලයින් ස්ක්විරල් ලෙස හැඳින්වෙන ලේනුන් හා මියන් වර්ගයක් එකම ගුහාවේ එකිනෙකගේ උණුසුමින් ආරක්ෂා වෙති.  හිම සහිත පරිසරය හැර නොයන මුව හා ගෝන වර්ග එකිනෙකාගේ පා සලකුණු ඔස්සේ ගමන් කිරීමෙන් ශක්තිය ඉතිරි කරගනිති.
මස්ක්රැට් නම් මී වර්ගය පස් හා මැටි යොදා ගනිමින් ජල පහරක් අයිනේ නිර්මාණය කරගන්නා නිවෙස්තුළද, බිවරයන් ජල මාර්ග හරස්කර වේලි බැඳීමෙන් සදා ගන්නා නිවාස තුලද රැස් කරගත් ආහාර බුදිමින්  සීත කාලය නිසලව හා ආරක්ෂාකාරීව ගතකරති. විස්තර මේ ලිපියෙන්
සීත කාලයේත් එළිමහනේ නිතර දක්නට ලැබෙන ලේන් වර්ග ඇත. මොවුහු බොහෝවිට යැපෙන්නේ සීත කාලයට පෙර එක්රැස් කරගත් ආහාර මගිනි. සීත කාලයේත් ඉඩ ලැබෙන සැමවිටම පිටතට විත් සොයාගන්නට තිබෙන තරම් ආහාර හැකිතාක් එක්රැස් කරගනිති.
අළු ලේනා වරින් වර වෙව්ලනු දැකිය හැකිවේ. උන් වෙව්ලන්නේ සීතලට නොව, දේහ උණුසුම වැඩි කර ගැනීමටයි.
කැනඩාවේ රොකි කඳුවල වෙසෙන  Painted turtle නම් ඉබි වර්ගය බිත්තර දමා පැටවුන් පිටතට එන්නේ සිත කාලයට මදක් පෙරයි. වෙනත් ඉබ්බන් මෙන් පොකුණකට ගොස් එහි පතුලේ සිත කාලය ගතකරනු වෙනුවට මෙම පැටවුන් වැලි යටම සිටිති. වැලි මත හිම වැටී අධික සීතලක් පැමිණියද තම රුධිරයේ උෂ්ණත්වය අඩු කර ගනිමින් දිවි රැකගනිති. ඝනකම් සමෙන්ද මීට ආධාර ලැබේ.
ගෙම්බන් පරිසරයට ඉතා සංවේදී සත්වයන්ය. ඇලස්කාවේ වෙසෙන ගස් ගෙම්බන් වර්ගයක් කොළ ගොඩවල් යට සැඟවී ඉන්න අතරතුර තද සීතලෙන් කැටි නොගැසෙන රසායන ද්‍රව්‍යයක් නිපදවාගෙන  සිරුර මිදීමෙන් ආරක්ෂා කරගනිති.
සිරුරේ ඇති ජලය ඉවත්කර සම්පුර්ණයෙන් වියලී නිසලව සීත කාලය තරණය කරන Upis කුරුමිණියා ඉතාම අධික සිතලටත් ඔරොත්තු දෙයි.
කුරුල්ලන්ට ක්ෂිරපායින්ට වඩා වැඩි පරාසයක උෂ්ණත්වය වෙනස් කරගත හැකිය. එහෙත් තද සීතලෙන් රැකීමට යම් උපක්‍රම භාවිතා කල යුතුය. කුරුල්ලන්ගේ පිහාටු ඉතා හොඳ පරිවාරකයක් ලෙස ක්‍රියාකරයි. සීතල කාලයේදී පිහාටු පුම්බගෙන සිටින්නේ සිරුරේ උෂ්ණත්වයෙන් පිහාටු අතර ඇති වාතය උණුසුම් කිරීමටයි. එසේම පිහාටු තෙල් ස්තරයකින්  වැසී පැවතීම නිසා තෙතමනයෙන් ආරක්ෂා වේ.එක පාදයකින් සිටගෙන අනිත් පාදය පිහාටු අතර සඟවා උණුසුම් කරගෙන ඉන්පසු උණුසුම් වූ පාදයෙන් සිටගැනීම තවත් ක්‍රමයකි.
කුඩා කුරුල්ලන් පඳුරු හෝ ගස්බෙනවල රංචු ලෙස ජිවත්විමද දක්නට ලැබේ.  මෙහිදී ඔවුන් ගොදුරු කරගන්න සත්වයින්ගෙන් ආරක්ෂාවක් ලබාගැනීම පහසුවේ. වර්ග හා කුඩා සිරුරක් ඇති රංචු ලෙස වෙසෙන පක්ෂි වර්ග හිම වැටෙන විට පවා වීදුලි හා ටෙලිෆෝන් කම්බි මත එකිනෙකාට ගෑවී නොගෑවී ඉන්න දර්ශනය සුලබය. මෙහිදී එකිනෙකාගේ සිරුරේ උණුසුම බෙදාගෙන උණුසුම රැකගනිති. එකවිට කෙටි රවුමක් පියඹා යාමෙන් සිරුරුවල උෂ්ණත්වය අනවශ්‍ය ලෙස පහල යාමෙන් වැලකි අඩු ශක්ති ප්‍රමාණයකින් වැඩි උණුසුමක් ලබාගනිති.

සැඟවීම   සමහර සත්තු හිම යට හැංගි සිත කාලය තරණය කරති. සිරුරේ රෝම මගින් උණුසුම ආරක්ෂා කරගැනීමට අපොහොසත් වන හික්මීයන් වැනි කුඩා මී වර්ගත්, වෙනත් කුඩා ක්ෂීරපායි සතුනුත්, ගෙඹි වර්ගත් හිම යට සැඟවී ජීවත්වෙති. ඉග්ලු නිවෙසක් තුල හිඳින්නාක් මෙන් ආරක්ෂාවත් පරිවාරක බවත් එමගින් ලැබේ.
පොලවට ආසන්නයේ උමං පද්ධති හාරාගෙන ඒ තුළ සැඟවී ජිවත්වන ground hog වැනි සතුන්ද වරින්වර පිටතට පැමිණ පිරිසිදු වාතය ලබාගෙන ඉක්මනින් සැඟවී දිවි ගෙවති.
ගස්වල තෙතමනය ඇති පොත්ත යට සැඟවී දිවි ගලවාගන්නා කුරුමිණි වර්ගද  සිටිති.
උදව්:
Migration: The biology of life in the move, Hugh Dingle
Monarch Butterfly: Gail Gibbons
evolutionbiology.com
www.earthrangers.com/wildwire
discovermagazine.com
www.allaboutbirds.org
www.businessinsider.com
www.nature.org
www.lpzoo.org/blog

Saturday 6 January 2018

ආතර් සී. ක්ලාර්ක්: Arthur C.Clarke අපුර්ව පුද්ගලයෙක්

පිටසක්වලයන්, ඇන්ඩ්‍රෝයිඩ්, පරිකල්පනික ලෝක: ආතර් සී. ක්ලාර්ක් මහතා 
විද්‍යා කථා රචකයෙක්, සමුද්‍ර ගවේෂකයෙක්, උපදේශකවරයෙක්, නව නිපයුම්කරුවෙක්, අනාගතය දකින්නෙක්. පසුගිය දෙසැම්බර් 16 වෙනිදාට වසර සියය සපිරූ ආතර් සී. ක්ලාර්ක් ගේ අපුර්ව දිවියේ වැදගත් සටහන්:
බ්‍රිතාන්‍යයේ සමර්සෙට් ප්‍රාන්තයේ ඉපිද, වැඩි කලක් ශ්‍රී ලංකාවේ ජීවත්වූ ආතර් චාල්ස් ක්ලාර්ක් ගැන ඔබ සිතන දේ ඔබ කවරෙක්ද යන්න මත රඳා පවතියි.
තාක්ෂණඥයන්ට අනුව, ඔහු 1945 දී පණිවිඩ චන්ද්‍රිකා තාක්ෂණය පිලිබඳ සංකල්ප තිබු  කෙනෙකි. නාසා ආයතනය ඒවා සත්‍යාපනය කර ගොඩනැගුවේ ඉන් අවුරුදු 15කට පසුවයි.
වත්මන් තත්වයන් පාදක කරගෙන අනාගතය කියන්නන්ට අනුව, අතිශය වැදගත් වූ අනාගත දැක්මන් පිටුපස සිටි මොළකාරයා ඔහුයි.
චිත්‍රපට ලෝලයන්ට අනුව, ස්ටැන්ලි කබ්රික් සමග 2001: The Space Odyssey නිර්මාණකරුයි. ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය හා ප්‍රථම මුහුද යට දර්ශන රැගත් චිත්‍රපටය වූ රන්මුතුදුව ආයෝජකයා ය.
සමුද්‍ර ගවේෂකයන්ට අනුව, දක්ෂ කිමිදුම්කරුවෙකි. සාගර ආශ්‍රිත ගවේෂණයත්, වෙරළාශ්‍රිත සංචාරක කර්මාන්තත් දියුණු කිරීමේ යෙදුනු පුද්ගලයෙකි. වෙරල සංරක්ෂණ උපදේශකවරයෙකි.
දේශපාලකයන්ට අනුව, න්‍යෂ්ටික ආයුධ පිලිබඳ දැඩි ලෙස විවේචනය කරමින් සාමය උදෙසා උපදෙස් සැපයුවෙකි.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ අයට අනුව ඔහු වසර 23ක් මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය දරුවෙකි. අධ්‍යාපන තාක්ෂණ උපදේශකවරයෙකි.
විද්‍යා ප්‍රබන්ධ ප්‍රියකරන පාඨකයන්ට අනුව, ඔහු සමාන්තර විශ්වයන්, ගැඹුරු අභ්‍යවකාශ තරණයන්, සංකීර්ණ හැඟීම් හා සමාජ ඇති පිටසක්වල ජීවින් පිලිබඳ පරිකල්පනය කරමින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් කථා ලියන්නෙකි.

90 වසරක ජිවිතයේ වැඩි කලක් ඔහු විද්‍යාඥයෙක්, විද්‍යා ප්‍රබන්ධ රචකයෙක්, භෞතික හා පාර භෞතික අබිරහස් පිළිබඳව රුපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක්, සංචාරක කර්මාන්තය දිරිමත් කරන්නෙක්,  නව නිපයුම්කරුවෙක්, අනාගතය දකින්නෙක්, දේශකයෙක් ලෙස විවිධ  කාර්යයන්හි නිරත වුණි.

ගොවියකුගේ හා තැපැල් හලක ටෙලිග්‍රාෆ් ක්‍රියාකරවන්නියකගේ පුතෙක් ලෙස උපත ලද ක්ලාර්ක් කුඩාකළ සිටම විද්‍යාව හා ආකාශ වස්තු කෙරෙහි ඇල්මක් දැක්විය. වයස 13 දී සිදුවූ පියාගේ මරණයත් සමග ඔහුට උසස් අධ්‍යාපනය සිදු කිරීමට මුදල් අගහිගතා ඇතිවිය. ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ සඟරාවක් වූ Astounding Stories of Super-Science කියවන්නට ලැබීමෙන් පසු ඔහු විද්‍යා කථා හා ත්‍රාසජනක ගමන් පිලිබඳ ඇල්මක් ඇති කරගෙන එබඳු ස්වයං නිර්මාණ ලිවීමට පෙළඹුණි. ඔහුගේ මුල් යුගයේ ප්‍රබන්ධයන්හි පවා අන්තර් ග්‍රහ යුද්ධ, අභ්‍යවකාශ ගවේෂණ, අඟහරු ජනාවාස, අභ්‍යවකාශ මධ්‍යස්ථාන ජීවිතය වැනි කරුණු අඩංගුය. ඔහු තාරකා විද්‍යා ක්ෂේත්‍රය පිලිබඳ උනන්දුවක් දක්වන අය සමග එක්ව බ්‍රිතාන්‍ය ග්‍රහලෝක සංගමය නමින් අධ්‍යයන හා පර්යේෂණ සිදුකරන සංගමයක් පිහිටවුයේය.  දෙවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ රේඩාර් තාක්ෂනඥයෙක් හා ඒ පිලිබඳ උපදෙස් දෙන්නෙක් ලෙස ක්ලාර්ක් සේවය කළේය. නැවත උසස් අධ්‍යාපනය ලබා ගණිතය හා භෞතික විද්‍යාවෙන් උපාධිය සම්පුර්ණ කළේය.
ක්ලාර්ක්, අයිසෙක් ඇසිමෝව් හා රොබර්ට් හෙයින්ලෙයික් 1960 සිට විද්‍යා ප්‍රබන්ධ සාහිත්‍යයට ජනප්‍රිය කෘතීන් එක්කළ ලේඛකයෝය. ක්ලාර්ක්, ඇසිමෝව් ගේ හොඳ මිතුරෙකි. ජනප්‍රිය 'ක්ලාර්ක්, ඇසිමොව් treaty 'හි ඔවුහු එකිනෙකාව අගයමින්, විනෝදයට මෙන් එකිනෙකා හා තරග කරන බවක් දක්වති. මේ දෙදෙනාගේම නමින් ඇස්ටරොයිඩ දෙකක් ඇති අතර ක්ලාර්ක් නමින් ඩයිනසොරයෙක්ද ඇත. ඒ Serendipaceratops arthurcclerk ය.

Tata Institute of Fundamental Research ආයතනයේ භෞතික විද්‍යාඥ මහාචාර්ය අර්නබ් භට්ටචාර්යට අනුව ක්ලාර්ක් ගේ විශ්වාස ගතහැකි තාක්ෂණික විස්තරත්, අවිශ්වසනිය කොටස්වලින් තොරවූ ආලෝකයේ වේගයට වැඩි යානා හෝ පිටසක්වල ජීවින් සමග ආදර අන්දර ආදිය ඇතුලත් විද්‍යා ලියවිලි නිසා නවක විද්‍යා ලේඛකයන්ට ඔහුව වීරයෙක් ලෙස ගතහැකි තරම්ය. විද්‍යා ප්‍රබන්ධ කතා සමාලෝචනය කරන ඉන්දීය නීතිඥ ගෞතම් භාතියා විද්‍යා ප්‍රබන්ධ කතා ඉතිහාසයේ වැදගත් පුද්ගලයෙක් ලෙස ක්ලාක්ව  දකියි. 'ඔහුගේ විශේෂිත නිර්මාණ රටාව යම් සිමාවන් තුල පැවතියත්,  චරිත හා සිදුවීම් සිදුවන වේගයත්, කතාවල සමබරතාවයත් ක්‍රමානුකුලව හසුරුවා තිබේ."
සත්‍යය හා ප්‍රබන්ධය අතරේ ඔහු විද්‍යාව තම ආගම කොට සැලකිය. 'මම ධනු ලග්නයේ මුත් ජ්‍යෝතිෂය විශ්වාස කරන්නේ නැත. අපි අඥයියවාදීන්"
එලිසබෙත් රැජින වෙතින් නයිට් නාමයකින් පිදුම් ලැබූ ඔහු විද්‍යාව ජනප්‍රිය කිරීම උදෙසා වූ යුනෙස්කෝ කාලිංග ත්‍යාගයද ලැබිය. ඔහුගේ අනර්ඝ වූ සේවාවන් සඳහා විවිධ ආයතන, විශ්ව විද්‍යාල, සංගම්, රටවල් වෙතින් සම්මාන, සහතික හා නම්බුනාම විශාල ප්‍රමාණයක් පිරිනැමී ඇත.

ක්ලාර්ක් විසින් පෙර කියන ලදුව සත්‍යය වූ අනාවැකි
1. 1945 ඔහුට අවුරුදු 28දී ක්ලාර්ක් Wireless World නම් සඟරාවට පර්යේෂණ ලිපියක් ලියමින් සන්නිවේදන  චන්ද්‍රිකා අදහස ඉදිරිපත් කළේය. අභ්‍යවකාශයේ ස්ථාපනය කෙරෙන චන්ද්‍රිකා තුනක් මගින් මුළු ලොවටම  රේඩියෝ හා රුපවාහිනී සංඥා ලබාගත හැකි ආකාරය එහි සඳහන් විය. එම චන්ද්‍රිකා පෘථිවියේ භ්‍රමණය හා සමපාත වුවහොත් ඒවා පොලවට ඉහලින් එකම ස්ථානයක රැඳී තිබෙන බව ඔහු පහදා දුනි. මෙම අදහස 1960 දී නාසා හි චනද්‍රිකා ස්ථාපනය කිරීමේදී නිවැරදිව යොදාගත් අතර, භූ ස්ථායි චන්ද්‍රිකා පිහිටවූ එම කක්ෂය ක්ලාර්ක් ඔර්බිට් ලෙස නම් කෙරුණි.
2. 1954 දී ක්ලාර්ක් විසින් ඉග්ලු හැඩති වාසස්ථානයක් චන්ද්‍රයා සඳහා සැලසුම් කෙරුවේය. නාසා ආයතනය  2020 දී සඳෙහි ස්ථාපනය කිරීම සඳහා මිට සමාන දෙයක් සංවර්ධනය කරමින් සිටියි.
3. 1964  BBC විඩියෝවකදී ක්ලාර්ක් අනාගතයේ වීඩියෝ ඇමතුම්, ඩිජිටල් ලිපි හා 'අපට අපේ හිතවතුන් ලෝකයේ කොතැනක ඉන්නවාදැයි නොදැන වුවත් ක්ෂණිකව සම්බන්ධ කරගත හැකි සේවා 'ගැන කථාකර ඇත.
4. 1974 දී ඔහු 'සංකීර්ණ සමාජයක ජීවත්වීමේදී අවශ්‍ය සියලු තොරතුරු අඩංගු පුද්ගලික පරිගණක' ගැන සිතුවේය. ඉන් වසර දෙකකට පසු යතුරු පුවරුවට සම්බන්ධ කර ඇති HD තිර ගැන කීවේය. අද භාවිතාවන පරිගණක හා අන්තර්ජාලය මෙය නොවේද?
5. කෘත්‍රිම බුද්ධියේ විප්ලවයක් පැමිණෙන බව ක්ලාර්ක් නිතරම දුටුවේය. බුද්ධිමත් වැසියන් වන්නේ යන්ත්‍ර බව ඔහු විශ්වාස කළේය. ' එම යන්ත්‍ර  නිර්මාණය කරන පුද්ගලයන් බලාපොරොත්තු වනවාටත් වඩා සම්පුර්ණ වෙනසක් කරනු ඇත'. එය දැන් සිදුවෙමින් පවතියි.
6. ලිංගික චර්යා සඳහා රොබෝ යොදවා ගැනීමක් ගැන ඔහු අදහස් කර ඇත. දැනට අත්හදා බැලීම් මට්ටමේ තිබෙන මේවා අනාගතයේ ළමා ලිංගික අපරාධ අඩු කිරීම සඳහා යොදවා ගැනීමට අපේක්ෂිතය.

ඔහු පෙර කි දේ වැරදි ගිය අවස්ථා:
1. " 2014 වෙද්දී එඩින්බෝරෝ හි සිටින වෛද්‍යවරයෙක් නවසිලන්තයේ සිටින රෝගියෙක් සැත්කමට බඳුන් කරනු ඇත". ඔහු පැවසිය. "ගෝලීය සන්නිවේදනය හේතුවෙන් මිනිස්සු තව දුරටත් විනෝදය සඳහා මිස වෙළඳ කටයුතු සඳහා ගමනාගමනය සිදු නොකරනු ඇත. නගරය මිනිසුන් හමුවන මධ්‍යස්ථානයක් යන සම්ප්‍රදායික අදහස මේ වනවිට වියැකී ගොස්ය". එහෙත් දැන් පෙරටත් වඩා නගර මධ්‍යස්ථාන ලෙස උපයෝගී වන අතර, දුරස්ථ සැත්කම් තවම පල දරා නැත.
2.සජිවිකරණය නැවතී, වසර සිය ගණනක් ශිශිර නිද්‍රාවන්හි ගතකර, ස්වකිය රෝගවලින් සුවයක් ලබා මිනිසා අනාගතයේ අවදිවන දිනයක් දැකීමට ක්ලාර්ක් ආශාවෙන් සිටියේය. මෙවන් ක්‍රමයක් තවමත් සොයාගෙන නැත.
3. ක්ලාර්ක් විසින් 1986 පලකළ 'ජුලි 20, 2019' පොතෙහි ජීවිතය ගැන කියා ඇති 'ස්මාර්ට් කාර්, 3D චිත්‍රපටි හා අන්තර්ජාලය පිලිබඳ කරුණු සත්‍ය වී ඇතත්, පෞද්ගලික සිහින දැකීම, රුපවාහිනී චරිතයක් සඳහා තම චරිතය අතිපිහිත කරවීම තවමත් සම්පුර්ණයෙන් ඉටුවී නැත.
4. වඳුරන්, ඩොල්ෆින් වැනි ජෛව ඉංජිනේරු විද්‍යාත්මකව නිමවූ සත්තු මිනිසාට සේවය කරනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය. 'අපේ සුපිරි චිම්පන්සි වෘත්තීය සමිති හදාගෙන අපව අපේ ආරම්භක ස්ථානයට ගෙනයනු ඇත.'
5. 1999 CNN නාලිකාවේදී සිදුකළ අනාවැකි ද පල දරා නැත. කාමර උෂ්ණත්වයේ සිදුවන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවලින්  ශක්තිය නිපදවීම, මානව ක්ලෝනීකරණය, ඉන්දියාවේ ගල් අඟුරු පතල් වසා දැමීම ඒවායි. 2000 මුල් භාගයේදී සියලු න්‍යෂ්ටික අවි අත්හැර දැමීමත්, අභ්‍යවකාශ ශක්ති උත්පාදනයත්, ඉලෙක්ට්‍රොනික නිරීක්ෂණ වැඩිදියුණු වීම හේතුවෙන් අපරාධ නැතිවනු ඇතැයි ඔහු බලාපොරොත්තු විය.

ඔහුගේ සිහින අතරින් සිදුවනු ඇතැයි සිතිය හැකි දේ:
* අභ්‍යවකාශ සෝපාන- 1979 ලියු පරාදීසයේ උල්පත් The Fountains of Paradise පොතේ පොළොවත් අභ්‍යවකාශ චන්ද්‍රිකාත් සම්බන්ධ කෙරෙන සුවිශාල සෝපාන පාලම් ගැන සඳහන්ය. මෙය සත්‍යය වුවහොත් ඔහුගේ භූ ස්ථායි චන්ද්‍රිකාවලට වඩා අනර්ඝ උරුමයක් වනු ඇති අතර ගුරුත්වයෙන් මිදීමට මිල අධික රොකට් අවශ්‍ය නොවනු ඇත. (මෙහි පෘථිවි සම්බන්ධක මධ්‍යස්ථානය ලෙස ඔහු දක්වා ඇත්තේ සිගිරිය හෝ සමනල කන්දයි).
* ප්‍රතිකෘත යන්ත්‍ර - සියලු නව සොයාගැනීම් නිමකරන නව සොයාගැනීමක් ගැන සිතන්න. ඕනෑම දෙයක ඒ හා සමාන පිටපතක් ලබාගතහැකි පිටපත් යන්ත්‍රයක්! සියලු දෙනාටම පහේ සෑම භෞතික දෙයක්ම නිමාවක් නැතිව ලබාගතහැකි නිසා මෙය කෑදර, ම්ලේච්ඡ සමාජයක් බිහිකරනු ඇත. තවම සොයාගෙන නොමැතිවීම යහපතකි.
* මොළ ආවරණ (Braincaps)- සංවේදී ඉන්ද්‍රියයන්ට නොදැනී කෙලින්ම මොලයට ආවේග කවන්නට හැකි ක්‍රමයක් සොයාගනු ඇතැයි ක්ලාර්ක් දිවියේ අවසන් වසරවලදී බලාපොරොත්තු විය. එමගින් නව භාෂාවක් ඉතාම ඉක්මනින් ඉගෙනගැනීමට හැකිවනු ඇතැයිද, අයහපත් මතකයන් මකාදමනු හැකි වෙතැයිද ඔහු සිතිය.
* චන්ද්‍ර නිවාස- තව වසර 50කින් සමහර මිනිසුන් සඳේ ජීවත්වනු ඇතැයි ක්ලාර්ක් අනුමාන කළේය. එසේම අභ්‍යවකාශ ඇඳුම් හෝ වායු මුද්‍රිත පරිසරයෙන් තොරව සමහර ග්‍රහලෝකවල ජිවත්විය හැකි සේ ඒවායේ පරිසරය වෙනස් කර ගතහැකි වනු ඇතැයි ඔහු සිතිය.
* මුදල් භාවිතයේ අවසානය- කාලයත් සමගම ලෝකයේ හුවමාරු ඒකකයක් ලෙස මුදල් වෙනුවට මෙගාවොට් පැය භාවිතා කරනු ඇති බව ඔහු අනුමාන කළේය.
* කාල රේඛාව-
     2021 මිනිසා අඟහරු ලෝකය ජයගනු ඇත.
     2023 ක්ලොනිකරණයෙන් ඩයිනසෝරයන් බිහිකර මුර බල්ලන් වෙනුවට කුඩා ඩයිනසෝරයන් යොදාගනු  ඇත.
     2036 චීනය ලෝකයේ ආර්ථික බලවතා වනු ඇත.
     2050 දෙවියන් පිලිබඳ ඉගැන්වූ සියලු ආගම් අභාවයට ගොස් බුදුදහම මිනිස් සිත් සතන් පුබුදු කරවිය හැකි එකම සමය ලෙස ඉතිරි වේ.
     2095 මානවයන්ට නව සුර්ය ග්‍රහ මණ්ඩලයක් වෙත යා හැකිවේ.
   2019දී උල්කාපාතයක් පෘථිවිය හා ගැටීමෙන් ග්‍රීන්ලන්තයට හා කැනඩාවට හානි කරනු ඇතැයි පැවසූ දෙයනම් නිවැරදි නොවුනොත් වඩා හොඳය.

2008 ක්ලාර්ක් මහතා මියයනවිට නවකථා, ප්‍රබන්ධ, විද්‍යා කථා, කෙටිකථා, තිරනාටක 100ක් පමණ රචනා කර තිබිණ.
ඔහු තම කතාවලින් හොඳම කතාව ලෙස සැලකුවේ 1953දී ලියු Childhood's End ය. එහි මානවයා මුලින්ම පිටසක්වලයන් සමග සම්බන්ධ වන අවස්ථාව දක්වා ඇත. එහි Overlord නම් යක්ෂයන් වැනි වර්ගයක් විශාල අභ්‍යවකාශ යානාවක පැමිණේ. ඔවුනට පෘථිවියේ දරුවන්ගේ අධ්‍යාත්මික බලය පරිණාමය කිරීමට අවශ්‍ය වේ. ක්ලාර්ක් මිය යන තෙක්ම කෙදිනක හෝ පිටසක්වල ජීවින් හමුවෙතැයි දැඩි විශ්වාසයෙන් සිටියේය.
The Songs of Distant Earth (1986) ඔහු වඩාත් ප්‍රියකළ කතාවයි. පෘථිවිය විනාශවීමෙන් පසු ඉතිරිවන ස්වල්ප දෙනෙක්ගේ පණිවිඩයක් දුරස්ථ ග්‍රහලෝකයක් මගින් ලබාගන්නා කතාවකි එය. "මට කියන්න අවශ්‍ය සියලු දේ මේ කතාවේ පවසා තිබෙනවා". ක්ලාර්ක් කිවේය.

හොඳම චිත්‍රපටයක් ලෝකයට දුන් කෙනෙක් ලෙසද
ක්ලාර්ක් සැලකිය හැකිවේ. ඔහු විසින් 1951 දී ලියන ලද The Sentinel නම් කෙටි කතාව ඇසුරෙන් චිත්‍රපට අධ්‍යක්ෂ ස්ටැන්ලි කබ්‍රික් සමග 1968දී නිර්මාණය කරන ලද 2001: The Space Odyssey ලෝකයේ හොඳම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට අතරට ගැනෙයි. මෙම චිත්‍රපටය එලි දැක්වුයේ ඇමෙරිකා එක්සත් ජනපදය හා සෝවියට් රුසියාව අතර අභ්‍යවකාශ තරගයේ උච්චතම කාලයෙයි. චන්ද්‍රයා මත ඇති ටැඹක්, බ්‍රහස්පති වෙත ගමන්ගන්නා අභ්‍යවකාශ යානයක අජටාකාශගාමින් දෙදෙනෙක් HUL 9000 නම් වූ පරිගණකයක් සමග කරන සටනක් මෙම කතාවේ ඇතුලත්ය.
මෙහි තිර රචනය සඳහා ක්ලාර්ක් හා කබ්‍රික් ඔස්කාර් සම්මාන සඳහා ද නිර්දේශ වු අතර, විශේෂ දෘශ්‍ය ඵල සඳහා කබ්‍රික් ඔස්කාර් සම්මාන ලැබිය. පසුව ක්ලාර්ක් විසින් යම් වෙනස්කම් සහිතව මෙම කතාවේම දිගු ලෙසින් 2001, 2010 හා 2061 කෘතීන් තුන එලි දැක්විය.

ශ්‍රී ලංකාවේ සුන්දරත්වයට හා සමුද්‍ර ගවේෂණ සහ  කිමිදීම් සඳහා ඇති ආශාව නිසා රටේ පදිංචි වූ ක්ලාර්ක් 1956දී කිමිදුම් සමාගමක් ඇරඹිය. වෘත්තීය කිමිදුම් කරුවන් පුහුණු කිරීම හා සාගර ආශ්‍රිත සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීම එයින් සිදුවිය. 1959දී තාරකා විද්‍යා සංගමය පිහිටුවා ආධුනික තාරකා විද්‍යා හදාරන අය උනන්දු කළේය.
ඔහු කලාපයේ විද්‍යාඥයන් සමග මිත්‍ර සම්බන්ධතා ගොඩනගා ගත්තේය. 1970 මුල් අවධියේ ග්‍රාමීය ඉන්දියානු ප්‍රදේශවලට රුපවාහිනී විකාශයන් ලබාදීම සඳහා චන්ද්‍රිකා ගුවන්ගත කිරීමට ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථාන උපදේශකයෙක් ලෙස ක්‍රියාකළේය. එහිදී ඔහුට ත්‍යාග ලෙස ලැබුණු රුපවාහිනී යන්ත්‍රය ලංකාවේ ක්‍රියාත්මක වූ ප්‍රථම රුපවාහිනියයි. 1980 මාස තුනක් පකිස්ථානයේ Physical  Research Laboratory හි දී අභ්‍යවකාශයේ සාමකාමී භාවිතා පිලිබඳ දේශන පැවැත්විය.
1981 නේරු අනුස්මරණ දේශනයට ආරාධනා ලැබ සාකච්ඡ කළේ එකල ඇමරිකාවේ Star Wars මිසයිල් පද්ධතිය ගැන දක්වමින් Star Wars and Star Peace තාරකා යුද්ධය හා තාරකා සාමය ගැනයි.

1975දී ශ්‍රී ලංකාව ඔහුට Resident Guest තත්වය පිරිනැමුවේ ඔහුගෙන් රටේ විවිධ ක්ෂේත්‍රයන් උදෙසා වන සේවය සලකමිනුයි. ඉන්පසු 1986 හා 2005 දී ප්‍රධාන රාජ්‍ය සම්මාන තුනක් පිරිනැමුණි.
අධ්‍යාපනික, විද්‍යා පර්යේෂණ, සංචාරක ප්‍රවර්ධන, පරිසර සංරක්ෂණ, සාගර සම්පත් නැණවත්ව පරිහරණය, සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයන්ට ඔහු බුද්ධිමය දායකත්වය මෙන්ම මුල්‍ය අනුග්‍රහ ද  දැක්විය.
1980- 1994 කාලය තුල Discovery හා වෙනත් බොහෝ විදේශ රුපවාහිනී සේවා හරහා විකාශණය වූ ඔහුගේ විද්‍යාත්මක ගවේෂණ වැඩසටහන් මාලාවන් තුලින් ශ්‍රී ලංකාව පිලිබඳ අනර්ඝ සංචාරක ප්‍රවර්ධනයක් ද සිදුවිය. ඒ ඔහු සෑම වැඩසටහනකම කොටස්  සඳහා ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුම ස්ථාන හෝ ස්වභාවික සුන්දරත්වය පසුබිම් කරගත් නිසාය.
1979 සිට 2002 දක්වා ක්ලාර්ක් මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ කුලපති තනතුර හෙබවිය. 1994 දී පර්යේෂණ, සංවර්ධන හා පුහුණු කටයුතු සඳහා පිහිටවන ලද නවීන තාක්ෂණ පිලිබඳ ආතර  සී. ක්ලාර්ක් ආයතනයේ  අනුග්‍රහක දායකත්වය සැපයීය. රූපවාහිනී හඳුන්වාදීමේදී හා ශ්‍රී ලංකාවේ දුරස්ථ සන්නිවෙදන ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කිරීමේදී එතුමා උපදේශකවරයෙක් ලෙස ක්‍රියා කළේය.

1983 ලෝක සන්නිවේදන වර්ෂය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය වොෂින්ටනයේ ආතර් සී. ක්ලාර්ක් පදනමක්  පිහිටවිය. San Diego විශ්ව විද්‍යාලයට අනුබද්ධව පවත්වාගෙන යන Arthur C. Clarke Center for Human Imagination ආයතනය ක්ලාර්ක්ගේ මග පෙන්වීම් අනුගමනය කරමින් විවිධ විෂයයන් යටතේ වන මානව පරිකල්පනයන් ගවේෂණය කරමින් නව න්‍යාය මුලිකාංග සකස් කිරීමෙහි යෙදේ.

"විශ්වයේ සියලු ප්‍රශ්නවලට අපට පිළිතුරු ඇතැයි ව්‍යාජ මවාපෑම් කරන්න අවශ්‍ය නැහැ. එහෙත් සිතාබලා අධ්‍යයනයට වටිනා ප්‍රශ්ණ ඕනෑතරම් තිබේ".

උදව්:
Nimmi Muditha Herath
www.hindustantimes.com/more-lifestyle/aliens-androids-and-imaginary-worlds
imagination.ucsd.edu
nalakagunawardene.com
nalakagunawardene.com/2013/04/12/uttareethara
www.oscars.org/oscars/ceremonies/1969
(2018 ජනවාරි 9 දිවයින පුවත්පතේ පළවිය)