Wednesday, 31 January 2018

සීතල පරිසරයක දිවි තරණය කරන සත්තු

ජිවිතේ අභියෝගයක් ආවොත් මොකද කරන්නේ? මුහුණ දීම. ඊට හැඩ ගැසීමට උත්සහ කිරීම .. බැරිනම්? එතනින් ඉවත්ව දුරකට යාම. නැත්නම් සැඟවීම ...අධි සීතල පරිසරයක ජීවත්වෙන සත්තුත් සීතල කියන අභියෝගයේදී ඔය ක්‍රමවලින් එකක් තමයි අනුගමනය කරන්නේ.
මිනිසුන්ටත් අභියෝගයක් වෙන සීත කාලයට ඇඳුම් වලින් හා වෙනත් තාක්ෂණික ක්‍රම වලින් මුහුණ දීමේ හැකියාව නැති නිසා සත්තු පරිසරයට අනුව ඔවුන්ගේ හැකියාව හා ස්වභාවය භාවිතා කරමින් සිත කාලය තරණය කරති.


පර්යටනය Migration: බොහෝ ශක්තිමත් සතුන් මෙන්ම සමහර දුර්වල සේ පෙනෙන සතුනුත් සිත කාලයට පෙර එම ප්‍රදේශයෙන් ඉවත්වී උණුසුම ඇති ප්‍රදේශ කරා ගමන් ගනිති. පර්යටනයේදී ප්‍රධාන ලක්ෂණ කිහිපයක් හඳුනාගත හැකිය.
1. තම සුපුරුදු පරිසරයෙන් ඉවත්වී දිර්ඝකාලින සංචාරය
2. ඒවා රේඛිය මාර්ග වීම
3. අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගැනීම වැනි විශේෂ හැසිරීම් දැක්වීම
4. ආපසු පැමිණීම
5. තම කාර්යය කෙරෙහි ඇති තීව්‍ර සැලකිල්ල.
ආක්ටික් තුරිතයාගේ පර්යටන මග 
කුරුල්ලන්, ක්ෂීරපායින්, උරගයින්, මාළුන්, උභයජිවින් මෙන්ම කෘමින්ද මෙලෙස පර්යටනය වන බව නිරීක්ෂිතය.
මොවුන් අතරින් ආක්ටික් තුරිතයා Arctic tern නම් කුරුල්ලා වසරකට කිලෝමීටර් 71000ක්  ආක්ටික් ප්‍රදේශයේ සිට ඇන්ටාර්ටික්  ප්‍රදේශයටත් sooty shearwater කුරුල්ලා කිලෝමීටර් 64000ක් නවසීලන්තයේ සිට ඇමරිකාවේ උණුසුම් පෙදෙස්වලටත් ගමන් කරයි. උකුසුවර්ග, රාජාලි වර්ග, තාරාවන්, පාත්තයන්, හංසයන්, කොක් වර්ග, පෙලිකන් පර්යනටනයේ  යෙදෙන පක්ෂීන් අතර සිටිති. සීතලෙන් ආරක්ෂාවීම මෙන්ම ආහාර හිඟකමට සාර්ථකව මුහුණ දීමත් මෙලෙස ප්‍රදේශ වෙනස් කිරීමෙන් ලැබෙන වාසියකි.
දිගු දුරක් ගමන් කරන අතරමග තන්හි නැවතී අහර ගැනීම හා විඩා නිවාගැනීම සිදු කරත්. සමුහ ලෙස පියාසර කරන කුරුල්ලෝ එකම ස්ථානවල මෙලෙස නවතිමින්  යන බව සොයාගන ඇත. එනම්, පොලවේ සමහර ස්ථාන ඔවුහු පර්යටනයේදී සලකුණු ලෙස භාවිතා කරති.
පර්යටනය වීමේදී දිශාව සොයාගන්නේ ඉරෙහි පිහිටීම හෝ තරුවල පිහිටීම  මග පෙන්වීමක් ලෙස භාවිතා කිරීමෙන් බව සිතිය හැකිය. විද්‍යාඥයන් අනුමාන කරන්නේ සමහර කුරුල්ලන්  පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රයද උපකාර කරගන්නා බවයි. ගඳ සුවඳ අඝ්‍රානයද පර්යටනයට උපකාරී වන බව පෙනී යන කරුණකි.
සමහර කුරුල්ලන් එතරම් දුරක් ගමන් නොකරන අතර උස කඳු මුදුන්වල සිට පහත්බිම් කරා පැමිණීමක් පමණක් දක්නට ලැබෙනවා.
ස්ටෙප්ස් තණබිම්වල ජිවත්වන Saiga ඇන්ටිලොප් නම් ගෝන වර්ගය සිත කාලයට පෙර උණුසුම් ප්‍රදේශ සොයා කිලෝමීටර් 1000ක් පමණ ගමන් කරයි. ටිබෙටයේ උස කඳු මුදුන්වල ජිවත්වන චිරු නම් ඇන්ටිලොප් වර්ගයද සිතල කාලයේ සමුහ ලෙස ගමන් කරන ක්ෂීරපායි සත්වයෝය.
නත්තල් සීයාගේ කරත්තය ඇදගෙන යන බව කියවෙන කැරිබු මුව වර්ගය උතුරු ඇමරිකාවේ මෙන්ම ග්‍රීන්ලන්තයේත්, යුරෝපයේත් ජීවත්වේ. සීත කාලයේ පළමු හිම පතනයත් සමග සමුහ ලෙස දකුණු ප්‍රදේශවලට ගමන් කරන මොවුහු වසරකට කිලෝමීටර් 1600ක් පමණ ගමන්කරති.  එල්ක් නම් මුව වර්ගය උස කඳු මුදුන්වල සිට පහත ප්‍රදේශවලට පැමිණේ.
තල්මසුන් උණුසුම් පරිසරයක් සොයායන තවත් සත්ව වර්ගයකි. සිතල කාලයේදී (උත්තර ධ්‍රැවයට දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා) සැතපුම් 5000-7000 පමණ දුරක් උණුසුම් ජලය ඇති සමකාසන්න ප්‍රදේශවලට පිහිනමින් ගමන් කරන ඔවුහු පැටවුන් දමන්නේ උණුසුම් ජලයෙයි. ගිම්හාන කාලයේදී ආහාර සැපයුම් ඇති සුපුරුදු ධ්‍රැවාසන්න ප්‍රදේශවලට නැවත ගමන්ගනිති.
චිනුක් නම් සැමන් මත්ස්‍ය වර්ගයද උණුසුම් ප්‍රදේශවල බිත්තර දැමීම සඳහා කිලෝමීටර් 300ක පමණ දුර පිහිනති.
සමහර වවුල් වර්ගද සීත කාලයේදී එම පරිසරය අත්හැර යති.
Monarch butterflies 

සමනලුන් වර්ගද පර්යටනය කිරීම තරමක පුදුමයට කරුණක්. සැහැල්ලු පියාපත් ඇති එතරම් දුර පියඹීමට හැකියාවක් නැති නමුත් ඇමරිකාවේ උතුරු ප්‍රදේශවල රොකි කඳුවැටි ආසන්නයේ ජිවත්වන මොනාෂ් 
සමනල්ලු 
සෑම වසරකම කිලෝමීටර් 2500ක් පමණ දකුණු දෙසට පියඹති.  ඔවුන්ගේ සුපුරුදු අහර ලැබෙන ගස්වර්ග සිත කාලයේදී මල් නොදරන නිසාත්, සීතලට ඔරොත්තු දීමේ හැකියාවක් නොමැති නිසත් මෙලෙස පර්යටනය වේ. මුල් පරම්පරා තුනක් උන්ට ආහාර ඇති උණුසුම් සමයේ උතුරු ප්‍රදේශවල ගස්මත යැපෙමින් ජිවතවන අතර සතරවෙනි පරම්පරාව සීත කාලය තරණය කර තම වර්ගයා රැක ගැනීමට පර්යටනය කරති.  වැඩි ආයු කාලයක් ඇත්තේද සිව්වන පරම්පරාවේ සමනලුන්ටයි. එනම්, පරම්පරා තුනක් විසු පෙදෙස අත්හැර දකුණු දෙසට ගමන් කරන අතර සිත කාලයේ උණුසුම් පෙදෙසක කාල තරණය කර, වසන්ත කාලයේදී නැවත පැමිණෙති.
බත්කුරන් හා කුරුමිණි වර්ගද පර්යටනය කරමින් දිවි රැකගනිති.

ශිශිර නිද්‍රාව Hibernation : සීතල කාලය පුරාම හෝ ඉන් කොටසක් දීර්ඝ කාලින නින්දේ ගත කරමින් එම කාලය තරණය කරන ක්ෂීරපායි සත්තු සිටිති. පර්යටනය සිදුකිරීම සඳහා සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව අති විශාල ශක්ති ප්‍රමාණයක් වැයවෙන නිසා විකල්පයක් ලෙස ශිශිර නිද්‍රාවෙහි යෙදේ. මෙයින් ඔවුන්ට වාසි කිහිපයක් ලැබේ. ආහාර අඩු එම කාලය අවම ආහාර ප්‍රමාණයකින් ගෙවාගත හැකිවීමත්, පරිවෘත්තිය ක්‍රියාවලින් අඩුවීම නිසා ශක්තිය ඉතිරි කරගත හැකිවීමත්, අනෙක් සතුන්ට ගොදුරුවීමෙන් වැළකීමට හැකිවීමත් ප්‍රධානය. මෙලෙස නිදා සිටීම නිසා සිරුරේ උෂ්ණත්වය අංශක කිහිපයක් පහල වැටීමෙන් හර්දය ගැස්මද අඩුවී පරිවෘත්තිය සඳහා වැයවෙන ශක්ති ප්‍රමාණය තව දුරටත් අඩුවේ. සමහර සත්තු මේ කාලය තුල බහිශ්‍රාවය සිදු කරන්නේද අඩුවෙනි.
වලසුන් කිහිපදෙනෙක් ගුහාවක් තුළ එකට ලංවී නිද්‍රාවෙන් ගතකරති. ශීත කාලයට පෙර හොඳින් අහර අනුභව කිරීම නිසා ඇතිවූ මේද තට්ටුව මගින් අවශ්‍ය ශක්තිය ලබාදේ. සිරුරේ උෂ්ණත්වය අනතුරුදායක මට්ටමට පහල වැටුනහොත් ඔවුන් අනිච්චනුගත ලෙස අවදිවී සිරුරු සෙලවීම නිසා නැවත උෂ්ණත්වය වැඩි වේ.
ලේන් වර්ග, උරුලෑ වර්ග, ඉත්තෑවන්, වවුල් වර්ග මෙලෙස සිසිර නින්ද නිසා ශීත කාලයේ දිවි රැකගනිති.
ක්ෂීරපායින් පමණක් නොවේ මත්ස්‍යයෝද කලාතුරකින් නිද්‍රාව ශීත කාල තරණයට යොදා ගනිති. නිවෙස්තුල  ඇතිකරන ගෝල්ඩ්ෆිෂ් මසුන් එළිමහන් පොකුණුවල දැමුවිට ශීත සමයේ මිදෙන ජලයේ අයිස් මට්ටමට පහලින් නිසලව පාවෙමින් නින්දේ සිටිති.
දිරායන කොටන් යට හෝ ගල් යට දින සියයක් පමණ නිද්‍රාවේ ගතකරන පක්ෂි වර්ග සිටිති.
නයි වර්ග රංචු ලෙස එකට එතෙමින් ගස් ගල් මත හෝ යට නිදමින් ශිශිර තරණයේ යෙදෙති. හිම දියවීමත් සමග එකිනෙකාගෙන් වෙන්වී පිටතට ඇදෙති.
ශීත රටවල මි මැසි වර්ගවල වැඩකාර මැස්සන් හා පිරිමි මැස්සන් ශීත කාලය ලබනවිට මිය ගියත් මීමැසි රැජින පොලවේ ගුලක් තුල හෝ වියලි කොළ ගොඩක් තුළ හෝ දිරායන කොටයක් තුල හෝ ශීත නිද්‍රාවේ මාස ගණනක් ගතකර පරිසර උෂ්ණත්වය යහපත් වූ විට පිටතට පැමිණ නව මීමැසි රංචුවක් බිහි කරගනියි.
ගොළුබෙල්ලන් සිය කටුව තුලට වැදී හුණු හා සෙවල යොදාගත් ශ්‍රාවයකින් විවරය ආවරණය කරගනියි. කටුව ඇතුලත තෙතමනය රැකෙන නිසා ඉතා දිගුකලක් තරණය කිරීමේ හැකියාව ඇත.

පරිසරයට හැඩගැසීම Adapt 
කටුක ශීත පරිසරයට ඔරොත්තු දෙමින් ජිවත්වන සත්තුද දක්නට ලැබේ. මොවුහු ශීත කාලයට ගැලපෙන පරිදි සිරුරේ වෙනස්කම් කරගනිමින් ජීවත්වෙති. රෝම ඇති සතුන්ගේ රෝම දිගුව හා ඝනව වැඩිම දැකිය
හැකිවේ.මෙසේ වැඩෙන රෝම බොහෝවිට සුදු පැහැතිය. එමගින් හිම මත ගමන් කිරීමේදී අනෙක් සතුන්ගේ ගොදුරු බවට පත්වීමෙන් වැළකේ. මෙම සතුන්ගේ පතුල ඝනකම් හා විශාල වන අතර රෝම වලින් ආවරණය වේ. ගෙල වටාද කන් තුලද දිගු රෝම වැඩී, සීතලට වඩාත් සංවේදී සිරුරු කොටස් ආරක්ෂා වේ. නරි හා වෘක වර්ග, ලේන් වර්ග, ගෝන හා මුව වර්ග මෙලෙස සීතලට ඔරොත්තු දෙමින් දිවි රැකගනීති. 
ශීත කාලයට පෙර වැඩි ආහාර ප්‍රමාණයක් අනුභව කිරීම නිසා සමේ ඇතිවන දුඹුරු මේද ස්ථර පරිවාරක ලෙස ක්‍රියා කිරීමෙන් සීතල සංවේදනය අඩුවේ. ආහාර සොයාගත නොහැකි විට මේද ස්ථර දියවී ශක්තිය ලබාදේ. 

හිමෙහි ජිවත්වන හිම බස්සන් හිම සුදු පැහැ ගන්නා අතර හිම මත සිටගෙන සිටීමට හැකිවන සේ පාද පිහාටු රැසකින් ආවරණය වී ඇත. නිය, තියුණු හා උල් වන අතර පිහාටුවල ශබ්ද නොනැගෙන සේ පියාසැරියේ යෙදෙන අතරම හිම මත දුවන මියන් ආදී සතුන් ගොදුරු කරගැනීමේ විශේෂ හැකියාවෙන් යුක්තය.
සමහර වෘක වර්ග සීත කාලයේදී එකම ආහාර වර්ගය මත නො යැපී විවිධවූ ආහාර ගැනීමට හුරුවේ.
හිමෙහි ජිවත්වන සමහර සත්තු එකිනෙකා මත යැපෙමින් සහයෝගිව ජිවත්විමෙන්ද දිවි රැකගනිති. ෆ්ලයින් ස්ක්විරල් ලෙස හැඳින්වෙන ලේනුන් හා මියන් වර්ගයක් එකම ගුහාවේ එකිනෙකගේ උණුසුමින් ආරක්ෂා වෙති.  හිම සහිත පරිසරය හැර නොයන මුව හා ගෝන වර්ග එකිනෙකාගේ පා සලකුණු ඔස්සේ ගමන් කිරීමෙන් ශක්තිය ඉතිරි කරගනිති.
මස්ක්රැට් නම් මී වර්ගය පස් හා මැටි යොදා ගනිමින් ජල පහරක් අයිනේ නිර්මාණය කරගන්නා නිවෙස්තුළද, බිවරයන් ජල මාර්ග හරස්කර වේලි බැඳීමෙන් සදා ගන්නා නිවාස තුලද රැස් කරගත් ආහාර බුදිමින්  සීත කාලය නිසලව හා ආරක්ෂාකාරීව ගතකරති. විස්තර මේ ලිපියෙන්
සීත කාලයේත් එළිමහනේ නිතර දක්නට ලැබෙන ලේන් වර්ග ඇත. මොවුහු බොහෝවිට යැපෙන්නේ සීත කාලයට පෙර එක්රැස් කරගත් ආහාර මගිනි. සීත කාලයේත් ඉඩ ලැබෙන සැමවිටම පිටතට විත් සොයාගන්නට තිබෙන තරම් ආහාර හැකිතාක් එක්රැස් කරගනිති.
අළු ලේනා වරින් වර වෙව්ලනු දැකිය හැකිවේ. උන් වෙව්ලන්නේ සීතලට නොව, දේහ උණුසුම වැඩි කර ගැනීමටයි.
කැනඩාවේ රොකි කඳුවල වෙසෙන  Painted turtle නම් ඉබි වර්ගය බිත්තර දමා පැටවුන් පිටතට එන්නේ සිත කාලයට මදක් පෙරයි. වෙනත් ඉබ්බන් මෙන් පොකුණකට ගොස් එහි පතුලේ සිත කාලය ගතකරනු වෙනුවට මෙම පැටවුන් වැලි යටම සිටිති. වැලි මත හිම වැටී අධික සීතලක් පැමිණියද තම රුධිරයේ උෂ්ණත්වය අඩු කර ගනිමින් දිවි රැකගනිති. ඝනකම් සමෙන්ද මීට ආධාර ලැබේ.
ගෙම්බන් පරිසරයට ඉතා සංවේදී සත්වයන්ය. ඇලස්කාවේ වෙසෙන ගස් ගෙම්බන් වර්ගයක් කොළ ගොඩවල් යට සැඟවී ඉන්න අතරතුර තද සීතලෙන් කැටි නොගැසෙන රසායන ද්‍රව්‍යයක් නිපදවාගෙන  සිරුර මිදීමෙන් ආරක්ෂා කරගනිති.
සිරුරේ ඇති ජලය ඉවත්කර සම්පුර්ණයෙන් වියලී නිසලව සීත කාලය තරණය කරන Upis කුරුමිණියා ඉතාම අධික සිතලටත් ඔරොත්තු දෙයි.
කුරුල්ලන්ට ක්ෂිරපායින්ට වඩා වැඩි පරාසයක උෂ්ණත්වය වෙනස් කරගත හැකිය. එහෙත් තද සීතලෙන් රැකීමට යම් උපක්‍රම භාවිතා කල යුතුය. කුරුල්ලන්ගේ පිහාටු ඉතා හොඳ පරිවාරකයක් ලෙස ක්‍රියාකරයි. සීතල කාලයේදී පිහාටු පුම්බගෙන සිටින්නේ සිරුරේ උෂ්ණත්වයෙන් පිහාටු අතර ඇති වාතය උණුසුම් කිරීමටයි. එසේම පිහාටු තෙල් ස්තරයකින්  වැසී පැවතීම නිසා තෙතමනයෙන් ආරක්ෂා වේ.එක පාදයකින් සිටගෙන අනිත් පාදය පිහාටු අතර සඟවා උණුසුම් කරගෙන ඉන්පසු උණුසුම් වූ පාදයෙන් සිටගැනීම තවත් ක්‍රමයකි.
කුඩා කුරුල්ලන් පඳුරු හෝ ගස්බෙනවල රංචු ලෙස ජිවත්විමද දක්නට ලැබේ.  මෙහිදී ඔවුන් ගොදුරු කරගන්න සත්වයින්ගෙන් ආරක්ෂාවක් ලබාගැනීම පහසුවේ. වර්ග හා කුඩා සිරුරක් ඇති රංචු ලෙස වෙසෙන පක්ෂි වර්ග හිම වැටෙන විට පවා වීදුලි හා ටෙලිෆෝන් කම්බි මත එකිනෙකාට ගෑවී නොගෑවී ඉන්න දර්ශනය සුලබය. මෙහිදී එකිනෙකාගේ සිරුරේ උණුසුම බෙදාගෙන උණුසුම රැකගනිති. එකවිට කෙටි රවුමක් පියඹා යාමෙන් සිරුරුවල උෂ්ණත්වය අනවශ්‍ය ලෙස පහල යාමෙන් වැලකි අඩු ශක්ති ප්‍රමාණයකින් වැඩි උණුසුමක් ලබාගනිති.

සැඟවීම   සමහර සත්තු හිම යට හැංගි සිත කාලය තරණය කරති. සිරුරේ රෝම මගින් උණුසුම ආරක්ෂා කරගැනීමට අපොහොසත් වන හික්මීයන් වැනි කුඩා මී වර්ගත්, වෙනත් කුඩා ක්ෂීරපායි සතුනුත්, ගෙඹි වර්ගත් හිම යට සැඟවී ජීවත්වෙති. ඉග්ලු නිවෙසක් තුල හිඳින්නාක් මෙන් ආරක්ෂාවත් පරිවාරක බවත් එමගින් ලැබේ.
පොලවට ආසන්නයේ උමං පද්ධති හාරාගෙන ඒ තුළ සැඟවී ජිවත්වන ground hog වැනි සතුන්ද වරින්වර පිටතට පැමිණ පිරිසිදු වාතය ලබාගෙන ඉක්මනින් සැඟවී දිවි ගෙවති.
ගස්වල තෙතමනය ඇති පොත්ත යට සැඟවී දිවි ගලවාගන්නා කුරුමිණි වර්ගද  සිටිති.
උදව්:
Migration: The biology of life in the move, Hugh Dingle
Monarch Butterfly: Gail Gibbons
evolutionbiology.com
www.earthrangers.com/wildwire
discovermagazine.com
www.allaboutbirds.org
www.businessinsider.com
www.nature.org
www.lpzoo.org/blog

10 comments:

  1. සෑහෙන තොරතුරු ටිකක් මන් කල්පනා කරේ අර වගේ සර්ප රංචුවකට වැරදිලාවත් වැටුනොත් උඩක වගේ ඉදන් හනේ ඉතින්..........

    ReplyDelete
    Replies
    1. බුදු අප්පේ රස්තිටත් හිතෙන දේවල්. 🙃එයාල නින්දෙන් ඇහැරිලා ගැට ඇරගන්නකොට දුවන්න වෙලාව තියෙයි.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. වටිනා තොරතු මහ ගොඩක්! අද (පෙබරවාරි 02) මෙහේ අය (ඇ.එ.ජ.) ගුල් තුළ සැඟව සිටින Ground hog මතු පිටට පැමිණ තමන්ගේ හෙවනැල්ල පෙනේ දැයි බලයි. හෙවනැල්ල පෙනුනොත් තව සති හයක් යනතුරු සීතල පවතී. හෙවනැල්ල නොපෙනෙුනොත් සීත කාලය ඉක්මණින් නිම වී උනුසුම් බව පැමිණෙයි. මේ පුරාවෘතයේ එලෙස පැවසෙන බව අසන්නට ලැබුණා. මේ කතාව කැනඩා වැසියන් තුළත් හමුවන්නේද?

    මගේ කොමෙන්ටුව තෙවරක්ම ඉවත් කරන්නට වුනේ මේ පුරාවෘතය පිළිබදව පරස්පර විස්තර අසන්නට ලැබුණ නිසයි. තවදුරටත් වැඩිදුරට විමසද්දි අවසානයට සංස්කරණය වූ පුරාවෘත්තය මෙලෙසයි.

    ReplyDelete
    Replies
    1. කැනඩාවේ අය ඇමරිකාවේ කට්ටිය ground hog දිහා බලල කියන දේ අහන් ඉන්නවා. මේ ගැන මම 'කාලගුණ අනාවැකි කියන පරිසරය ' ලිපියේ ලියා තියනව. ලිපියේ දුඹුරු පාටින් 'විස්තර මේ ලිපියෙන්' කියන තැන ක්ලික් කලොත් බලන්න පුළුවන්. ඒ පුරාවෘත්තය ඇත්ත වගේ මට හිතෙන්නේ

      Delete
  6. "According to legend, if the rodent emerges from his dwelling and sees his shadow, six more weeks of winter should be expected.

    But if Phil doesn't see his shadow, spring is in for an early arrival." - https://www.nbcnews.com/news/us-news/groundhog-day-2018-punxsutawney-phil-predict-if-winter-will-be-n843976
    මේ උපුටනය අනුව ග්‍රවුන්ඩ්හොග් තම සෙවනැල්ල දැක්කොත් තවත් සතිහයක් සීත කාල අපේක්ෂා කළ යුතු බවත් නුදුටුවොත් වසන්තය කලින් උදාවන බව කියවෙයි. මේ අනුව මා එවා ඇති ඉහත කොමෙන්ටුව නැවත සංස්කරණය විය යුතුව පවතියි.

    ReplyDelete
    Replies
    1. එහෙම නේද කලිනුත් කියා තියෙන්නේ. හෙවනැල්ල දැක්කොත් සීත කාලේ දිගයි.

      Delete
  7. මේ ලින්ක් එක මේ දිනය උත්සව දිනයක් සේ සැමරිම සිරිත බව පැහැදිලි කරයි https://www.youtube.com/watch?v=ug7voYQnUaE

    ReplyDelete