Sunday 26 March 2017

මනමාලි නැව් : Bride Ships

විශ්ව විද්‍යාලේ ඊළඟ නැව එනකල් පෙරමග බලන් ඉන්නේ තමන් ගොඩබට නැවෙන් කෙල්ලක් යාලු කරගන්න බැරිවුණු අය. මේ ආදර බන්ධනයක් සබැඳි නැව් කතාව ඇමරිකා- යුරෝපා මනාලි නැව් ඉතිහාසයේ පුරුකක් වෙන්නත් පුළුවන්.
කොලොම්බස් ගේ ගොඩබැසීමෙන් පසුව දැනට දකුණු ඇමරිකාව පවතින ප්‍රදේශයේ රන්, රිදී තිබෙන බව දැනගත් බ්‍රිතාන්‍ය හා ප්‍රංශ රජවරු ඔවුන්ගේ වැසියන් සමුහ ලෙස ඇමරිකා මහද්වීපයට එවන්නට පටන් ගත්තා. මේ අය එතරම් දකුණු දෙසට නොයා දැන් ඇමරිකා එක්සත් ජනපදය හා කැනඩාව පවතින උතුරු ඇමරිකාවයි පදිංචි වෙන්න තෝරාගත්තේ.
නිර්භීත නාවිකයන් සමග කණ්ඩායම් කිහිපයක් ආ ගිය පසු 1663 දී 14වන ලුවී රජතුමා උතුරු ඇමරිකාවේ ශක්තිමත් ප්‍රංශ රාජධානියක් පිහිටුවන්නට තීරණය කළා. එය සිදුකිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට  Jean Talon නම් පුද්ගලයාව බලධාරියෙක් ලෙස පත්කළා. ඇමරිකාවේ ආදිවාසීන් ලිපි පෙලේ සඳහන් වූ අන්දමට යුරෝපා ජාතින් ස්වදේශික මිනිසුන් මර්දනය කරමින් සිටි යුගයයි මේ. සමහර සංක්‍රමණිකයන් ස්වදේශික මිනිසුන් සමග සමගිව උපක්‍රමශීලි ලෙසින්  ක්‍රමයෙන් ඉඩම් අත්පත් කරගත්තත්, බොහෝ ප්‍රදේශවල ප්‍රංශ ජාතිකයන්ට බලකොටු තනාගෙන ඒ තුලයි ජීවත්වන්නට සිදුවූයේ.  ඒවාටත් ස්වදේශී ඇමරිකානුවන් වරින් වර පහර දුන්නා. මෙම තත්වයන්ට මුහුණ දීම සඳහා ප්‍රංශ රජතුමා විසින් හොඳම සොල්දාදුවන්ගෙන් සැදුම් ලත් භට ඛණ්ඩයක් 1665 දී එවනු ලැබුවා. ඔවුහු ආයුධ සන්නද්ධව ආදිවාසී ගම්මානවලට කඩා වැදී, නිවාස ගිනි තබා, දේපල කොල්ල කමින් ආදිවාසීන්ව මරා දමන්න පටන් ගත්තා. අවසානයේ එතරම් අවි බලයක් හෝ යුධ ශක්තියක් නොතිබූ ආදිවාසීන්ට සාමය සඳහා කැමැත්ත පළකර, ඉඩම් දී පසුබසින්න වුණා.
සමහර චිත්‍රපටවල ආදිවාසීන් අශ්වයන් පිට යන දර්ශන තිබුනත්, 1665 දී ටැලෝන්ට උදව් පිණිස ගෙන්වූ අශ්වයින්, ආදිවාසීන් මුලින්ම දුටු අශ්වයින් ලෙස සඳහන් වෙන්නේ. ඔවුහු උන්ව හැඳින්වුයේ French moose ලෙසයි.
මෙලෙසින් ආදිවාසීන් පලවා හැර ඉඩකඩම් අත්පත් කරගත් ප්‍රංශ ජාතිකයන්ගේ ප්‍රධාන අරමුණ වුයේ මෙම නව ප්‍රංශයේ (New France)  ජනගහනය වැඩිකර ගැනීමයි. එහි ඒ වන විට සිටි ජනගහනයෙන් වැඩි කොටසක් අවිවාහක සෙබළුන් හා අලුත පදිංචි වූ පිරිමි නිසා ටැලෝන්,  'දියණියන් නැවක්' එවන ලෙස රජුගෙන් ඉල්ලීමක් කළා.
ප්‍රංශ රජු විසින් මව්පියන් අහිමි අනාථ තරුණියන්, යාචක තරුණියන් හා ගම්වල අන්ත දුගී තරුණියන් එක්කර ඔවුනට සරුසාර දිවියක් ලබාදීමේ පොරොන්දු මත නැවකට නංවනු ලැබුවා.
අලුත් ඇඳුම් මෙන්ම රජුගෙන් දායාද ලෙස එක්  අයෙකුට එළදෙනක්, ඌරන් දෙදෙනෙක්, කුකුලන් දෙදෙනෙක්, ලුණු දැමු හරක්මස් බැරල් දෙකක් හා ක්‍රවුන් 11ක මුදලක් ලැබුණා.

මේ තරුණියන් හා සතුන් රැගත් නැව් 1665 සිට 1671 දක්වා වරින්වර දැනට කැනඩාව තිබෙන ප්‍රදේශයට ගොඩ බැස්සා. පසුව යැවු නැව්වලට යහපත් අනාගතයක් පැතූ නිර්භීත, මධ්‍යම පන්තික තරුණියන්ද එක්වුණා.
මෙසේ මනාලියන් රැගෙන නැවක් පැමිණෙන විට තරුණයන් ද ඔවුන් මුණ ගැසීමට සුදානම්ව සිටියා. වෙහෙසකර දීර්ඝ ගමනකින් පසු වුවත්, ගොඩබට වහාම ඔවුනොවුන් කෙරේ පැහැදුණු අයව ඒ වෙලාවේම විවාහ කරදීම පිණිස පුජකයන් සුදානම්ව සිටියා. තරුණයෙක් ගේ යෝජනාවක් රජුගේ දියණියක් අතින් ප්‍රතික්ෂේප වුනේ නැහැ.
විවාහයෙන් පසු කාන්තාව පිරිමියාගේ දේපලක් බවට පත්වුණා. මොන වද වේදනා වින්දත් දික්කසාද වීමකට නීතියෙන් ඉඩක් තිබුනේ නැහැ.
රජු ගේ හා ටැලෝන් ගේ සැලසුම සාර්ථක වී 1670 වනවිට වසරකට ළදරුවන් 700 පමණ බැගින් ඉපදුණා.

එහෙත්,
මනාලි නැව් කතාව එතනින් නැවතුනේ නැහැ.
වික්ටෝරියානු අධිරාජ්‍යය පවතින සමයේ එංගලන්තයේ ආර්ථික අවපාතයක් ඇතිවුණා. ඒ වනවිට එහි ජනගහනයෙන් වැඩි කොටසක් ගැහැණු අයයි. මධ්‍යම පාන්තික තරුණියකට පවා විවාහයට සුදුස්සෙක් සොයාගැනීම අපහසු තත්වයක තිබුණේ. මෙලෙස දුගී බවත්, අවිවාහක බවත් ඉහල යාම සමග පල්ලිය හා  සමාජ සේවය කරන ඉහල පන්තියේ ප්‍රභූ කාන්තාවන් එකතු වී Colombia Emigration Society නම් සංවිධානයක් ඇති කළා.
මේ වනවිට උතුරු ඇමරිකාවේ රන් නිධි සොයාගෙන පොහොසත් පවුල් ඇතිවෙමින් තිබුණා. ඒ නිසා අවිවාහක සුදු ජාතික තරුණයන්ට විවාහ වියහැකි තරුණියනුත්, පොහොසත් පවුල්වලට සේවය කළහැකි කාන්තාවනුත් අවශ්‍යතාවක්ව පැවතුණා.
කොලොම්බියා සංගමය,  දියමන්ති හා රත්රන් සොයා ගනිමින් පවතින රටේ පදිංචියට යාමෙන් මේ දුගී දිවියෙන් ගැලවී නව දිවියක් ඇරඹිය හැකි බවට තරුණියන්ට ඒත්තු ගැන්වුවා. ඒ සඳහා වන සියලු වියදම් තම සංගමයෙන් දරන බවටත් පොරොන්දු වුණා.
ප්‍රංශ මනාලි නැව් මෙන්ම මේ කොලොම්බියා සමාජයේ නැව්වලත් මුලින්ම නැව්ගත කළේ රැකියා විරහිත දුප්පත් තරුණියන්, කම්හල්වල සේවය කළ දුගී තරුණියන් හා ලාබාල වියේදීම වැන්දඹු වූ තරුණ පෙනුමක් ඇති අය. ඒ සියලුම දෙනා දුගී බවෙන් විනිර්මුක්ත වීමේ ආශාවෙන් ඉතා කැමැත්තෙන් මේ ගමනට එක්වී තිබෙන්නේ.
ප්‍රංශ මනාලි නැව්වලින් වසර 200කට පසු 1862ත් 1870ත් අතර බ්‍රිතාන්‍ය මනාලි නැව් හතරක් කොලොම්බියා  සමාජය මගින් එවන්නට යෙදුණා. මේ ගමන එතරම් සුව පහසු එකක් වුනේ නැහැ. ප්‍රධාන තට්ටුවලින් පහල කුඩා ඇඳන් තබා ඇති එහා මෙහා හැරෙන්නවත් ඉඩක් නැති පුංචි කාමරවල තරුණියන් අට දෙන බැගින් රඳවා
සිටියා. මේ කාමර අපිරිසිදු, ගල් අඟුරු බොයිලර් වලින් එන දුමෙන් පිරුණු, පිරිසිදු වාතය හිඟ තැන්. පල්ලියෙන් පත්කළ වැඩිහිටි ස්ත්‍රීන් විසින් මම තරුණියන් නැවේ ගමන් කරන අනෙක් පිරිමි අය සමග සම්බන්ධතා ඇති නොවීමට වග බලා ගනු ලැබුවා.
නැවේ ගමන් කරන අන් අයට මෙන් ආහාර සැපයීමක් වුනෙත් නැහැ. සපයනු ලැබූ සීමිත ජල ප්‍රමාණයෙන් ආහාර උයා ගැනීමත් ඔවුන්ටම කරන්නට සිදුවුණා.
ශීතකරණ නොතිබූ මේ කාලයේ අලුත් මස්, කිරි, බිත්තර ආදිය ලබාගැනීමට ගවයන්, කුකුළන් හා ඌරන් ද ගෙන ගියා. මේ සතුන් නැවේ උඩ තට්ටුවල සිටි බවත්, තද කුණාටු වලදී එයින් විසිවී මුහුදට වැටුණු බවත් සඳහන් වෙනවා. එසේ වූ පසු ආහාර  සැපයුම අඩු වුයේත් තරුණියන්ටයි.
මේ නැව්වල ගිය ගැහැණු විවාහ දිවියක් ගැන සිහින දකිමින් ගිය අන්දමටම පිරිමි අය රත්රන් ගැන සිතමින් ගිය බවයි කියවෙන්නේ.

මාස තුනක් පමණ මුහුදේ යාත්‍රා කිරීම නිසා රෝගී වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව හැරුණුකොට වැඩි දෙනෙක් ගමනාන්තයට පැමිණියා. මෙම නැව් ගොඩබැස ඇත්තේ දැනට බ්‍රිටිෂ් කොලොම්බියා තිබෙන කැනඩාවේ බටහිර වෙරලටයි.
නැව් පැමිණෙන දිනය පළාතේම නිවාඩු දිනයක් බවට පත්කර තිබුණා. තරුණියන්ව පෙළ ගස්වා රැස්වීම ශාලාවකට ගෙනගිය බවත්, තරුණයන් එතැනට පැමිණ මනාලියන් තෝරාගත් බවත් සඳහන් වෙනවා.
නැව්වල පමණි සියලු දෙනාම සතියක් ඇතුලත ස්වාමි පුරුෂයෙක් හෝ නිවසක රැකියාවක් සොයාගත්තා. ඒ සෑම දෙනාටම ඔවුන් බලාපොරොත්තු වූ ලෙසම එංගලන්තයේ දී ට වඩා යහපත් ජිවන මට්ටමක් ලැබුණා.
මෙවැනි  මනාලි නැව් ගැන මින් පසුවත් වාර්තා වෙනවා.


උදව්:
New France : Livesey R., Smith A.G.
Voyage of Hope :Peter Johnson
anotherdayanotherstory.blogspot.ca
sites.google.com/site/robstalks

Monday 20 March 2017

රීඩූ ඇල මාර්ගය :කැනඩාවේ සුවිශේෂ ස්ථාන 6

යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති අසහාය මානව ඉංජිනේරු නිර්මාණයක් වන රීඩු ඇල මාර්ගය ජලය, ගුරුත්වය, මිනිස් ශක්තිය, ලීවර හා ගියර් පද්ධති ඇසුරෙන් ජල යාත්‍රා එක ජල මට්ටමක සිට තවත් ජල මට්ටමකට ගෙන යා හැකි ලෙස තැනු අපුර්ව නිර්මාණයකි.
1812 සිදුවූ ඇමරිකා- කැනඩා යුද්ධය නිම වීමෙන් පසු,  නැවත යුද්ධයක් ඇති වුවහොත් සැපයුම් මාර්ග අවහිරවීම වැලැක්වීම උදෙසා මෙම ඇල මාර්ගය සැලසුම් කෙරුණි. ඇමරිකා- කැනඩා මායිමේ පිහිටි ශාන්ත ලෝරන්ස් නදිය ඔස්සේ සැපයුම් නැවැත්වීම ඇමරිකවට පහසුවෙන් කල හැකිව තිබිණි. මේ නිසා රට මැද පිහිටි මොන්ට්‍රියල් සිට පංච මහා විල් දක්වා ඇමරිකා තුවක්කු සිමාවෙන් එපිට සම්බන්ධතාවක අවශ්‍යතාව පැන නැගුණි. එම ප්‍රදේශයේ භූ විෂමතා අනුව ගොඩබිම් මාර්ග අතිශය දුෂ්කර වූ නිසාත්, එකල යුද්ධයේ ප්‍රධාන ශක්තිය වුයේ නාවික බලය නිසාත්, අන්ත∶ ජල මාර්ග පද්ධතියක් කෙරේ අවධානය යොමුවිණි. ඒ අනුව ඔටාවා ගඟේ සිට ඔන්ටාරියෝ විල දක්වා ගමන් කරන සේ රීඩු ඇල මාර්ගය යෝජනා විය.


මිනිස් ශ්‍රමයෙන් නිර්මාණය වූ මෙම ඇල මාර්ගය සැදීම පහසු කටයුත්තක් වුයේ නැත. ඝණ කැළෑ, මඩ වගුරු, විශාල ගල් සහිත මාර්ගයේ මිනිස් අතින් කණිමින් දහස් ගණන් කම්කරුවන්, පෙදරේරුවන්, වඩුවන්, කම්මල්කරුවන් මෙන්ම ගවයින්, අශ්වයින් යොදාගනිමින් සහසක් බාධක ජයගැනුමට සිදුවුණි. භුමිය විවිධ තලවල පිහිටි නිසාත්, ඉහල සිට පහලට මෙන්ම පහල සිට ඉහළටත් නාවික ගමනාගමනය සිදුවිය යුතු නිසාත් සිමෙන්ති අගුල් (lock ) 47ක් හා වේලි 52ක් නිර්මාණය කිරීමට සිදුවිය.

 මෙම අගුල් විශේෂිතය. ජල අගුලක් (lock) යනු එක් ජල මට්ටමක සිට ඊට ඉහල හෝ පහල ජල මට්ටමකට යාමේදී දෙපසින් ජලය යා නොහැකි ලෙස දොරටු යොදා සෑදු, චතුරශ්‍රාකාර වහලක් නැති කාමරයක් වැන්නකි. යාත්‍රාව එක ජල මට්ටමකට පැමිණි විට අගුලේ ජලය ඒ මට්ටමට ගෙන ඒ පැත්තේ දොර විවර කර නැව අගුලට ඇතුළු කරයි.
ඉන්පසු එම දොර වසා, වැල්ව විවර කර ජලය පිරෙන්නට හෝ ඉවත් කිරීමට හැර අනෙක් පැත්තේ ජල මට්ටමට සමාන කරයි. ඉන්පසු දොර හැර යාත්‍රාව ඉදිරියට යාමට ඉඩ සලසයි.
රීඩු ඇල මාර්ගයේ අගුලු ක්‍රියා කරවන්නේ මිනිස් බලයෙනි.                                                                                                                              


රීඩු ඇල වසර දෙකකින් නිම කිරීමට සැලසුම් කර තිබුනත්, 1832 දී මෙය නිම කරන විට වසර හයක් ගතව තිබුණි. මැලේරියාව, අනෙකුත් රෝග හා අනතුරු නිසා අහිමි වූ ජිවිත සංඛ්‍යාව 22කි.

1815 සමයට එළඹීමෙන් පසු මේ වනතෙක් නැවත යුද්ධයක් ඇති නොවුණු නිසා කිසිදු දිනෙක රීඩු ඇල මාර්ගය එහි මුලික අරමුණ වූ යුධ සැපයුම් ප්‍රවාහනයට යෙදවුනේ නැත. විවෘත කිරීමෙන් පසු කලක් වාණිජ නැව්, බෝට්ටු ගමනාගමනය සඳහා උපයෝගී කරගත් මෙය අද විනෝදාස්වාදය උදෙසා යොදාගන්න ජල පද්ධතියක් වී ඇත. ඇල මාර්ගයේ ගල් බිත්ති, පොකුණු හා පාලම් ඔටාවා නගරයට අපුර්ව සුන්දරත්වයක් එක්කර ඇත.

එක අගුලක ජලය පිරීමට සැහෙන කාලයක් ගතවන බැවින් ඉතා අලස ලෙස කාලය ගෙවන්නට සුදුසු එහෙත් බලා සිටීමෙන් නෙත පිනවන දසුනකි.

ජල සංචාරකයන්ගේ නොමද ඇගයීමට ලක්ව ඇති මේ උත්කෘෂ්ට නිර්මාණය සියවස් දෙකක් සාර්ථකව ක්‍රියාත්මක වන, තවත් සියවස් ගණනාවක් වුවද සක්‍රිය තත්වයේ පවත්වා ගතහැකි සැබෑ ලෝක උරුමයකි.


උදව්:
Discover Canada's Capitol Region map
www.rideau-info.com
www.thecanadianencyclopedia.ca

Thursday 16 March 2017

බෙල්ල කරකවන බස්සා : එන්න යන්න පියාඹන්න

"මොකද අනේ බස්සා වගේ බලන් ඉන්නේ?" ඇසපිය නොහෙලා බුම්මං බලන් ඉන්න අයගෙන් අහල ඇති නේ? හ්ම්... මුලින්ම බස්සෙක් දැක්ක දවසේ ඌ දිහා මාත් බස්සෙක් වගේ පුදුමෙන් බලාගෙන හිටිය මතකයි. බෙල්ල කරකවන, ඇස් ලොකු, රවුම් මුණකුයි වකුටු හොටකුයි තියන මීක් සද්දයක් නැති මේ අරුම පුදුම සතා ගැන ප්‍රශ්න ගොඩක් එදා හිතේ ඇතිවුණා.
බස්සන්ට බෙල්ල සම්පුර්ණ වටයක් කරකවන්න පුලුවන්ද?
පෙනෙන්නේ එහෙමයි නේද? ඒත් උන්ට බෙල්ල   රවුමක්ම කරකවන්න බැහැ. අපිට බෙල්ල හරවන්න පුළුවන් අංශක 180 නේ. ↔.. බස්සන්ට 270°ක් පුළුවන්. (360°නෙමෙයි).
මේ හැකියාව බස්සන්ට ලැබෙන්න හේතු කිහිපයක් තියනවා. අනිත් බොහෝ කුරුල්ලන්ගේ ඇස් හිස දෙපැත්තේ පිහිටලා තිබුනත් බස්සන්ගේ ඇස් මුහුණ ඉදිරියේ පිහිටලා තියන නිසා උන්ට ඉදිරිය විතරයි පෙනෙන්නේ. මේ ලොකු ඇස් කුහර තුල සවි වෙලා තියන නිසා චලනය කරන්න බැහැ. ඒ කියන්නේ ඇස් බෝල එහා මෙහා කරන්න බැහැ ඒ නිසා වටපිට පෙනෙන ප්‍රමාණය වැඩි කරගන්න උරහිස් වල හොඳ පාලනයක් ඇතිව මුළු හිසම හරවන්න පුළුවන් විදියට හැඩගැහිලා තියෙන්නේ.
බොහෝ බස්සන් නිශාචර, මාංශ භක්ෂක සතුන්. ඔවුන් ගොදුරු සොයා යන්නේ රාත්‍රී කාලයට නිසා වැඩි සද්ද නිකුත් වුනොත් ගොදුර මග ඇරෙනවා. බස්සන්ව ගොදුරු කරගන්න එන විලොපින්ගෙන් බේරෙන්නත් මුළු සිරුරම නැතිව හිස පමණක්  චලන හැකියාව වාසියක්.

බස්සන්ට කළුවරේ ඇස් පේනවද?
නිශාචර හැම සතාටම කළුවරේ සංවේදනයක් ලැබෙන්න ඕනේ. අඳුරේ පෙනෙන්න පුළුවන් වෙන්න බස්සට විශාල ඇස් තියෙන්නේ. ඒ තුල යෂ්ටි සෛල වැඩිපුර තියන නිසා ඉතා අඩු ආලෝකයක් තිබුනත් පෙනෙනවා. එත්, තද කළුවරේ පෙනෙන්නේ නැහැ. බස්සන්ගේ ඇසි පියත් විනිවිද පෙනෙන පටලයක්.

බස්සන්ට කන් තියනවා නේද?
ඔව්. හොඳ ශ්‍රවණ හැකියාවකුත් තියනව. සමහර බස්සන්ගේ පූසන් ගේ වගේ කන් තියනව දැකල ඇතිනේ. ඒ නියම කන් පිහිටන තැන
නෙමෙයි. ඇත්තම කන් කුඩා සිදුරු දෙකක්. අපේ වගේ නෙමෙයි බස්සන්ගේ කන් සිදුරු, මට්ටම් දෙකක තියෙන්නේ. වම් පැත්තේ ඇහැට ඉහලින් අනිත් පැත්තේ ඇහැට ටිකක් පහලින්. කන්වල පිහිටීමේ වෙනස්කම් උන්ට ශබ්ද එන දිශාව තීරණය කරගන්න උදව් වෙනවා. ඇස් වටේ හා කන් වගේ තියන පිහාටු වලින් කෙරෙන්නේ වටපිටාවේ ශබ්දය කන් සිදුරුවලට යොමු කරන එකයි.
හිසේ හැඩයත් මෙයට උපකාරී වෙනවා. රේඩාර් තැටියකින් තරංග එක තැනකට යොමු කරනවා වගේ හිසේ තැටි හැඩයෙන් ශබ්දය කන් සිදුරු වෙත යොමු කරනවා. ශබ්දය ඉතා ඉක්මනින් හඳුනාගෙන, ගොදුර තිබෙන තැන තීරණය කර,  සැනෙකින් ඩෑහැගන්න බස්සන් ශුරයන් වෙන්නේ මේ නිසයි. කළුවරේ ගොදුරු හොයාගන්නේ ශබ්දය පමණක් උපයෝගී කරගෙන. සිත හිමේ ඉන්න බස්සෝ හිම යටින් දුවන මියන් වැනි ගොදුරු, ශබ්දය මගින් හඳුනාගෙන අල්ලගන්නත් දක්ෂයෝ.

හොට මොකද වකුටු?
බොහෝ මාංශ භක්ෂක පක්ෂීන්ගේ හොට වකුටු, එය ගොදුර ඉරා ගැනීමට පහසුවක් නිසයි. බස්සන්ගේ උල් වකුටු හොටෙන් මුලින්ම ගොදුරේ ගෙල පිටුපසින් අල්ලා, කොඳුඇට පෙළ බිඳ දැමීමයි කරන්නේ.
ගොළුබෙල්ලන් වැනි සතුන්ගේ කටුවෙන් සත්වයාව එලියට ගන්නත් හොට උපකාර වෙනවා.
බස්සන්ගේඇඟිලි හතරක් තියන පාද උන්ගේ ජිවන රටාවට බෙහෙවින් වැදගත්. උල් නිය සහිත පාදවලින් අල්ලාගන්නා සතුන් තද කර, අගුලු දමා ගැනීමේ හැකියාවක් තියනව. මහපට ඇඟිල්ල අවශ්‍ය විට ඉදිරියට හෝ පසුපසට කරකැවීමේ හැකියාවකුත් තියනව. ගස් අතු මත වසා සිටීමේදීත්, අතුමත නිදා ගැනීමේදීත් මෙය වැදගත්. සිරුරේ උෂ්ණත්වය පාලනයටත් පාද උදව් වෙනවා. හිම බස්සන්ගේ පාද සුදු පාට පිහාටුවලින් වැසි තිබෙන්නේ.
නිහඬව ගොදුරක් වෙත ලඟාවෙන්න පියාපත් ඉටු කරන්නේ විශාල මෙහෙයක්. අනිත් කුරුල්ලන්ගේ මෙන් වාතය කපාගෙන යන හඬක් නොනැගෙන්නේ පිහාටු අග පනාවක් මෙන් සැකසී පිටුපසට නැමී තිබෙන නිසයි. හාවන් වැනි දිගු කන් ඇති සතුනට පවා නොදැනෙන්නට ඔවුන් වෙත ලඟාවෙන්නේ මේ නිහඬ පිහාටු සහිත පියාපත් විදහා පියෑඹීමෙන්.

 ඔහොම අල්ලගන්න ගොදුරට මොකද වෙන්නේ?
owl pellet 
බඩගිනි නම් හැම ගොදුරක්මත්, මකුළුවන්, පනුවන් වැනි කුඩා සතුනුත්, ඒ වෙලාවේම මරා ගිලිනවා. ඒ ආහාරය යන්නේ එක ආමාශයකට. එහිදී  දිරවන්න පුළුවන් පෝෂ්‍ය කොටස් තේරීමකට ලක් කරලා ventriculus කියන ඊළඟ ආමාශයට යවනවා. ඉතුරු වෙන ඇට කෑලි, දත්, රෝම, කුඩා කුරුල්ලන්ගේ පිහාටු, මාළු කොරල වැනි ඒවා මුල් ආමාශයේදී ගුලියක් බවට පත්වෙනවා. ඒ ගුලි වමාරනවා. Owl pellet කියන මේ ගුලි හැදෑරීමෙන් බස්සන්ගේ ආහාර ගැන හොඳ අධ්‍යයනයක් කරන්න පුළුවන්.
ගොදුරු වැඩිපුර ලැබෙන කාලයට ආහාර කල් තබා ගැනීමකුත් කරනවා. ගස් බෙනවල හැන්ගිමෙන් හෝ හිම බස්සන් නම් හිම යට තැබීමෙන් මෙහෙම කල් තියා ගන්නවා.
බස්සන් හුම් ගානවා විතරද?
බකමුනා හ්ම්..හ්ම්..ඊට අමතරව කෑ ගැසීමත්, සිහින් උස් හඬ නැගීමත්, පැටවුන්ගේ ආරක්ෂාව සඳහා නයින් මෙන් පිඹීම් ශබ්ද ඇති කිරීමත් කරනවා.

බස්සන් බිත්තර දාන්නේ වෙනත් කුරුල්ලන් විසින් අත්හැර දැමු කූඩුවල. ප්‍රමාණයෙන් කුඩා බස්සන් ගස් බෙන හෝ කොට්ටෝරු ගුල් වල බිත්තර දමනවා. පොලවේ ගුහාවලත් සමහර වර්ග ඉන්නවා. බස්සන් දින දෙක තුනකට එක බිත්තරය බැගින් බිත්තර 7ක් පමණ වරකට දානවා. බිත්තර සංඛ්‍යාව තීරණය වෙන්නේ ලැබෙන ආහාර ප්‍රමාණය, පරිසර උෂ්ණත්වය ආදිය මතයි. බකුසියත්, බකුස්සත් මාරුවෙන් මාරුවට බිත්තර
රැකිම සිදු කරනවා. එක අයෙක් බිත්තර රකිනකොට අනිත් කෙනා ගොදුරු සොයාගෙන එනවා.
බිත්තරයෙන් එලියට එන පැටවුන්ගේ ඇස් වැහිලා තියෙන්නේ. ඇස් පෑදී, පිහාටු වැඩී, පියෑඹීමේ හා දඩයම් කිරීමේ හැකියාව ලබාගන්න සති 9-10ක් ගතවෙනවා. ඒ වෙනතෙක් දෙමාපිය රැකවරණය ලැබෙනවා.
සමහර බස්සන් අවුරුදු 10- 20 තරම කාලයක් ජීවත්වෙනවා. සිරුරේ ප්‍රමාණය විශාල බස්සන් වැඩි කාලයක් ජීවත්වෙන බවයි පෙනී යන්නේ.

බස්සන් අනිත් සතුන්ට වඩා බුද්ධිමත්ද?
උන්ගේ සිරුරේ විදියත්, මිනිසුන් වගේ ඍජුව පිහිටන කඳ ස්වභාවයත්, විශාල ඇසුත් නිසා අමුතු බුද්ධිමත් බවක් පෙනුනත් තමන් ඉන්න පරිසරයට හැඩගැසී ඊට අනුවර්තනය වී ජීවත්වීමේ අනිත් සතුන්ට තියන හැකියාවට
අමතරව විශේෂ බුද්ධියක් ඇතිබවක් පෙනෙන්න නැහැ.
බස්සන් සාමාන්‍යයෙන් තනිව ජිවත්වන සත්වයන්. රංචු ලෙසින් දකින්නට ලැබෙන්නේ බසු පවුලයි. මෙසේ රංචු ලෙස ඉන්නකොට Parliament of owls කියලයි කියන්නේ ☻☹

මිනිසා ජිවත්වන ප්‍රදේශ ආශ්‍රිතවත්, ඝන කැලෑවලත්, කාන්තාරවලත්, සිත හිමයේත් ආදී පුළුල් පරිසරවල බස්සන් වර්ග 216ක් දිවි ගෙවනවා. මානව ගහනය වැඩිවීමත්, මිනිසුන්ගේ නව සොයාගැනීම් හා ඉදිකිරීම් නිසාත්, කැලෑ හෙළිකිරීමත්, පරිසර උෂ්ණත්ව වෙනස්වීම් නිසාත් ඔවුන්ගේ වාසභූමිඅහිමි වීම, ගොදුරු අඩුවීම හේතුවෙන් වඳවී යාමේ තර්ජනය ඇති බස්සන් විශේෂ ගණනාවක් තියනවා.

උදව්:
Owls :Deborah Kops
Scientist Teresa -Scientists in the Classroom program
The Owl Foundation Ontario
WARD's Natural Science Establishment poster
www.owlpages.com

Saturday 11 March 2017

Tribes: ආදිවාසී ගෝත්‍ර දැන්.. :ඇමරිකාවේ ආදි වාසීන් 8

කෙනෙක්ව පහත්කර සැලකීමට 'ගෝත්‍රිකයන්', ගෝත්‍රික මානසිකත්වය', 'නොදියුණු ගෝත්‍රික ලක්ෂණ' වැනි වචන නිතර භාවිතා කරනවා ඔබ අසා දැක ඇති. ඒ යුරෝපින් විසින් යටත් විජිත ලෙස පැවතී රටවලට ගෝත්‍රිකයන් ගැන අදහස් ලබාදුන් හැටියි. මෙයින් දශක කිහිපයකට පෙර වනතෙක් ස්වදේශී ඇමරිකානුවන් ගැන ලෝකයේ අනෙක් අය දැන සිටියේ යුරෝපින්හෙළිකළ අන්දමට හරි ඇඳුමක් පැලඳුමක් නැති, කිසි තාක්ෂණික දැනුමක් නැති, බිලි පුජා පවත්වන ම්ලේච්ඡ ජන වර්ගයක් ලෙස ය. තවමත් අපේ රටවල හුඟක් අය හිතා ඉන්නේ එහෙම.
ඒත්, පසුගිය ලිපිවලින් ඔබට වැටහෙන්නට ඇති වසර දස දහස් ගණනක්, පරම්පරා ලක්ෂ ගණනක් ඇමෙරිකා මහාද්වීපය පුරා පැතිරී ජිවත් වූ එහි මුල් පදිංචිකරුවන්, අප භාවිතා කරන තාක්ෂණික උපකරණ නැතිවත් අපට වඩා දැනුම, ආකල්ප හා කුසලතාවන්ගෙන් බොහෝ ඉදිරියෙන් සිටි බව.

පරිසරය හා ස්වභාවික ලෝකය ගැන ඉතාම වර්ධනීය දැනුමක් හා අවබෝධයක් ඔවුනට තිබුණා. විශ්වයේ නීති හා එහි රටා ගැන දිගුකාලීන නිරීක්ෂණයෙන් ලබා තිබු දැනුම, නව තාක්ෂණ අභිබවා උසස් මට්ටමක තිබෙන්නේ. පෘථිවිය, ග්‍රහලෝක, තාරකා හා විශ්වය ගැන ඉතාම ඉහල දැනුමක් තිබුණා.

කාලගුණය, ඍතු විපර්යාස, භූගෝලය, සත්ව හැසිරීම් රටා ගැන පරම්පරා ගණනක දැනුම උපයෝගී කරගෙන ඒවා එකිනෙක නිවැරදිව සම්බන්ධ කිරීමේ හැකියාවක් තිබුණා. ශාක වර්ධනය, මුහුදු මට්ටමේ හා ජල මට්ටමේ වෙනස්වීම, පස සංරක්ෂණය, ගොවිතැන, පරිසර විද්‍යාව වසර දස දහස් ගණනක් ප්‍රායෝගිකව, නිවැරදිව යොදා ගත්තා. දැන් මහා සංකල්ප ලෙස කතාකරන 'ධරණිය සංවර්ධනය, තිරසාර සංවර්ධනය,  ජල කළමනාකරණය' ඔවුන් පළපුරුද්දෙන් අනුගමනය කළා.
කපුවලින් රෙදි සෑදීම, කඩදාසි සෑදීම, ලේඛන කලාව, දැනුම ලේඛනගත කිරීම සිදුකළේ වසර දහස් ගණනක් සිට. අංක විද්‍යාව, ගණිතය අංශයෙන් උසස් දියුණුවක් ආසියාව හා සමානවම ලබා තිබුණා.


ඔවුන්ගේ කලා ශිල්ප හා  සෞන්දර්යාත්මක කුසලතාත් සුළුකොට හිතන්නට බැහැ. තම පවුලේ තත්වය හුවා දක්වන්නට, පරම්පරාවේ අය සිහිගන්වන්නට, ජනකතා දක්වන්නට හා විශේෂ අවස්ථා සිහිගන්වන්නට  තනන්නට ඇතැයි සැලකෙන totem pole කලාකෘතිවල ආකර්ෂණිය වර්ණ සංයෝජන හා හැඩතල උසස් මට්ටමක තිබෙන්නේ. සෑම ගෝත්‍රයකටම  ආවේනික නැටුම්, සංගීත ගැයුම් වැයුම් කුසලතා තිබෙනවා.
ඔවුන්ගේ භාෂාවලින් අනෙක් භාෂා පෝෂණය වූ අවස්ථාත් දක්නට ලැබෙනවා.

භුමියට අයිතියක් නොකියා, පොලවට ගෞරව කරමින් එය පරිහරණය කරමින් පරිසරයට අනුව ජීවිතය හැඩ ගස්වාගෙන, පරිසරය හා සබැඳි ව ඉන්නට ඔවුන් දැන සිටියා. ඔවුන්ව අනුගමනය කළානම් අද ලෝකයේ පාරිසරික ගැටළු මෙලෙස උග්‍ර වෙන්නේ නැහැ.

ගොඩනැගිලි සැදීම, පාරවල් තැනීම දියුණුවක් නම් එහි ඉහලම තලයක සිටි ගෝත්‍ර සිටියා. වසර දහස් ගණනකට පසු අදටත් පවතින සමහර ඉදිකිරීම්, තාක්ෂණික දියුණුවෙන් අර්ථ දක්වන්නවත් බැහැ.
සමහර සංස්කෘතීන්ට හොඳින් සැලසුම් කළ ගම්, නගර හා ගොවිපලවල් තිබුණා. ඔවුහු ගංගා නිවැරදිව සිතියම්ගත කළා.
විශාල ප්‍රදේශයක පැතිර සිටි මිනිසුන් පාලනයට යොදාගත් පාලන ක්‍රම ආදර්ශයට ගත්තත් වරදක් නැහැ.

යුරෝපින් බලෙන් ඉඩම් අත්පත් කරගෙන, යුද්ධ කර, රෝග පතුරවා ඔවුන් සමුල ඝාතනය නොකරන්නට අදටත් ඒ දැනුම් සම්භාරය අප අතරේ තිබෙන්නට ඉඩ තිබුණා. දෙමාපියන්ගෙන්  දරුවන් වෙන්කර  ඔවුනට ගැති පුද්ගලයන්  බිහිකර ගැනීමට අධ්‍යාපනය දීමෙන් පාරම්පරික දැනුම විනාශ වී ගියා.

සියල්ල තමනට අවැසි ලෙස වාසියට හරවාගෙන, ඒ සඳහා උදව් ද  ආදිවාසින්ගෙන් ලබාගෙන, 1924 දී The Indian Citizenship Act කියල එකක් හදල සංක්‍රමණික ඇමරිකානුවන් විසින් භුමියේ අයිතිකරුවන් වන මොවුනට ඇමරිකාවේ පුරවැසිභාවය දෙනු ලැබුවා!!!

දැනට තිබෙන ගෝත්‍ර සමහරක් 
සියල්ල ඉවසා දරාගෙන, පාඩු විඳගෙන හැකි තරමින් තම ගෝත්‍රවල ගුණ ආරක්ෂා කරගෙන ගෝත්‍ර 567ක මිලියන දෙකක පමණ  ජනතාවක් ඇමරිකාවේ ජීවත්වෙනවා.
දැනට ඉතිරි වී සිටින ගෝත්‍ර තවමත් තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා. තම වර්ගයා වෙනුවෙන් නීති සකසාගෙන ස්වාධින වීමට උත්සහ දරනවා.
මේ දිනවලත් ඇමරිකාවේ පොලව යට තෙල් ගෙනයාම සඳහා නල එලීමේ උත්සාහයකට එරෙහිව උද්ඝෝෂණ කරනවා. එයින් ස්වභාවික ජල බැස්මට වෙන හානිය ගැන කරන පහදා දීම් රජයට නොඇසෙන ගානයි. ඔවුන් පහත්කොට සලකා අදහස් නොසලකා හැරිම අදටත් තියනවා.

තමන් අතින් වරදක් වූ බව පිළිගෙන, එයට සමාව අයැදීමක් ලෙස දැන් අප ජිවත්වන්නේ ඔවුන්ගේ නිජබිම්වල බැව් සිහිපත් කෙරෙන වාක්‍යයක් කීම කැනඩාවේ සමහර ප්‍රාන්තවල පාසල්වල සිදුවෙනවා.

යුරෝපින්ගෙන් පැවත එන නව ඇමරිකානුන්ගෙන් බැටකන මේ ගෝත්‍රිකයන් නොදියුණු, ම්ලේච්ඡ ජාතින් නොවන බව ඔබ දැන් දන්නවා. අද ගෝත්‍රිකයන් ගැන කතා කරන්නේ පිට සක්වල ජීවින් සමග පවා සබඳතා තිබු, බොහෝ අංශවලින් ඉහල දැනුමක් හා තාක්ෂණයක් තිබු, විශ්මිත නිර්මාණ කරනලද ජන කොටසක් ලෙස.

දැන් ඔවුන්ගේ සත්‍ය කතාව ඔබත් දන්නා නිසා 'ගෝත්‍රික' වචනය නොදියුණු බව පෙන්වන්නට භාවිතා කරන්න එපා. මේ ලිපි පෙළ කියවූ ඔබ අන් අයවත් දැනුවත් කරමින්, ලොව පුරා ආදිවාසීන්ට ලැබිය යුතු නිසි ගෞරවය වචනවලින් පවා ලබාදෙනු ඇතැයි උදක්ම බලාපොරොත්තු වෙනවා.

උදව්:
www.burkemuseum.org
www.native-languages.org
www.facebook.com/NativeAmericans 
 අහම්බෙන් හමුවී කතාබහ කළ ආදිවාසීන් සියලු දෙනාට

Monday 6 March 2017

අජිනොමොටෝ අපට මොටෝ

සම්බෝලෙට චුට්ටක් දැම්මම රස වැඩිවෙන, කරියට තේ හැන්දක් දැම්මම රස උනන, චීන කෑමවල රසයට හේතු වෙනවයි කියන, සිරුරට විස රසායන ද්‍රව්‍යක් කියල අහල තියෙන විවාදාත්මක අජිනොමොටෝ ගැන තොරතුරු හොයල ලියන්න හිතුනේ ආහාර වර්ණක ගැන ලිපියකදී ඒ ගැන මතුවූ නිසයි.
මොනවද මේ අජිනොමොටෝ කියන්නේ?
මොනො සෝඩියම් ග්ලුටමේට් (MSG ) කියන රසායනිකයට. මෙය මුලින්ම හඳුනාගත්තේ ස්වභාවික මුහුදු ශාක සාරවලින් රසකාරකයක් හදන්න පර්යේෂණ කළ කිකුනේ ඉකෙඩා නම් ජපන් ජාතික විද්‍යාඥයෙක්, 1908දී. රසායනිකව බැලුවොත් 78%ක් ග්ලුටමික් අම්ලය, 21%ක් සෝඩියම් හා 1%ක් වෙනත් ද්‍රව්‍ය තියෙන්නේ.
MSG අණුක සැකැස්ම 
MSG අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ලයක් ලෙස ප්‍රෝටීන් වලට බැඳිලා අපේ සිරුරෙත්, කිරි ආහාර, මස්, මාළු, තක්කාලි, නිවිති, මිදී වැනි එළවලු පලතුරුවලත් ස්වාභාවිකව අඩු සාන්ද්‍රනයෙන් තියනවා.
MSG වලින් සිරුරට තියන ප්‍රයෝජන මොනවද?
ශරීර පරිවෘත්තිය ක්‍රියාවලියට, ඒ කියන්නේ වැඩෙන, කැඩෙන , හැදෙන, පෝෂක උරාගන්න, සිරුර පවත්වාගන්න ක්‍රියාවලට සහභාගී වෙනවා. මොලයෙන් නිපදවෙන ග්ලුටමෙට් මගින් අවයවවල සාමාන්‍ය ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නත්, ස්නායු මගින් පණිවිඩ ගෙනයන්නත් උදව් වෙනවා.  බඩවැල්වල මුලික ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරනවා.
මිට අමතරව වයස්ගත වී ගඳ සුවඳ දැනීම අඩුවූ අයට ආහාර සඳහා ප්‍රියතාවක් ඇති කිරීමටත් යොදා ගන්නවා. සාමාන්‍ය ලුනුවලට වඩා අඩු සෝඩියම් ප්‍රමාණයක් තියන නිසා සෝඩියම් අඩුවෙන් අවශ්‍ය අයටත් ප්‍රයෝජනවත්.
සාමාන්‍ය වැඩුණු මිනිසෙකුගේ මොලය, වකුගඩු, අක්මාව වැනි අවයව වලත්, පටක වලත් ස්වාභාවිකව ඇතිවන ග්ලුටමෙට් 2kg පමණ අඩංගුයි. මේ සියල්ල සිරුර තුළදී වෙනත් ප්‍රෝටීන් වලට බැඳී පවතින්නේ. එසේ පවතින විට සිරුරට අයහපතක් නැහැ.

MSG අනිත් ප්‍රෝටීන හෝ ඇමයිනෝ අම්ලවලට නොබැඳෙන ලෙස වෙන්කර ගත්විට රසක්, සුවඳක් නැති ලුණු වර්ගයක්. එහෙත් ආහාරයට එක් කළාම එම ආහාරයේ රසත් සුවඳත් වර්ධනය කරනවා. වෙන්කරගත් MSG දැම්මම ඇතිවන  සැර ලුණු රසට උමාමි ගුණය(savory) කියල කියනව.

මුල්ම අජිනොමොටෝ සලකුණ 
ලිපිය මෙතනට කියවල කඩේට දුවල ගිහින් සුදු පාට කැට තියන අජිනොමොටෝ ගේන්න කලින් ඉතුරු ටිකත් කියවලම ඉන්න..

ආචාර්ය ඉකෙඩා විසින් MSG හඳුනාගත් පසුව අජිනමොටෝ කොම්පැනියත්  සමග එක්ව පේටන්ට් බලපත්‍රයක් ලබාගෙන අජිනොමොටෝ නමින් ජපානයේත්, චීනයේත් සාමාන්‍ය ලෙස විකිණීම ඇරඹුනා.
දෙවන ලෝක යුද්ධය කාලේ ජපාන සෙබළුන්ගේ ආහාරවල විශේෂ රසයට ඇලුම් කළ ඇමරිකානු සෙබළුන්ගෙන් අජිනොමොටෝවලට ඉල්ලීම වැඩිවීමත් සමග 1950 සිට මෙය පාලනයකින් තොරව අලෙවි වීමට පටන් ගත්තා. රසායනාගාරවල කාර්මික ලෙස නිෂ්පාදනය ඇරඹුනා. අජිනොමොටෝ සමාගම විවිධ රටවල තම ශාකා ඇරඹුවා. 1959 දී ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය "MSG සාමාන්‍යයෙන් ආරක්‍ෂිත බව හඳුනාගත හැකිය' කියල ලේබලයකුත් නිකුත් කළා.

මෙයින් අවුරුදු දහයකට පසු ආහාර ගැනීම පටන්ගෙන මිනිත්තු 20කින් පමණ ඇතිවන  හිරිවැටීම්, හර්දයේ අසමාන ගැස්ම, හිසරදය, වමනය වැනි රෝග ලක්ෂණ ඇති රෝගයක් මතුවුනා. රෝගීන් හැමදෙනාම නිතර චීන අවන්හල්වලින් ආහාර ගත් අය නිසා එම රෝගය 'චීන අවන්හල් සින්ඩ්‍රෝමය' ලෙස නම් කළා. මෙම රෝගයට හේතු පිලිබඳ කළ පර්යේෂණවලදී MSG අඩංගු ආහාර ගන්න අය අතර යම් සංකුලතා ඇති බව සොයාගත්තා.
+ ඉරුවාරදය ඇතිවීම
+ හද ගැස්මේ අසමානතා
+ බර වැඩිවීම
 + නින්දේදී ගෙරවීම හා නින්දේදී හුස්ම ගැනීමේ අපහසුතා
+ නින්ද නොයාම
+ ගැබිණි මවක වැඩිපුර MSG ආහාරයට ගතහොත් දරුවා ආහාරවලට අසාත්මික වීම
+ ප්‍රොස්ටේට් ග්‍රන්ථි ඉදිමීම
+ නිතර කිවිසුම් යාම, සොටු ගැලීම
+ කාංසා සහගත හැසිරීම්
+ දිගු කාලින භාවිතයෙන් මලපහ කිරීමේ අපහසුතා හා වකුගඩු ක්‍රියාකාරිත්වයේ විකෘතිතාත්, පිරිමින්ගේ වඳ භාවයත් ඇතිවිය හැකියි.
 මේ රෝගී තත්වය හඳුන්වන්නේ MSG Symptom Complex කියලයි.

ස්නායු වෛද්‍ය රසල් බ්ලේලොක් විස්තර කරන පරිදි MSG මගින් මානව ස්නායු සෛල අධික ලෙස උත්තේජනය කරනවා.
රසායනාගාර පරීක්ෂණවලදී ග්ලුටමෙට් එන්නත් කළ සතුන්ගේ මොලයේ ස්නායු හානිවුනු බව පෙනී ගොස් තිබෙනවා.
ග්ලුටමෙට් මගින් උත්තේජනය වන සෛල ඇස්වල, ස්නායු පද්ධතියේ හා අග්න්‍යාශයේ තිබෙනවා. නින්ද නොයාම ඇතිවන්නේත් මොලයේ සෛල වෙනස් ලෙස උත්තේජනය නිසයි.
ස්නායු උත්තේජනයට දිව හුරුවීම නිසා MSG අඩංගු ආහාරවලට ඇබ්බැහි වීමක්ද සිදුවිය හැකියි.

මේ පිලිබඳ වැඩිදුර පර්යේෂණ කළ වෛද්‍ය බ්ලේලොක් පෙන්වා දුන්නේ සිරුරේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය පමණට වඩා කෘතීම ලෙස ග්ලුටමෙට් ලැබීම
*හර්දය ක්‍රියා විරහිත කිරීමට තරම බලවත් වියහැකි බව
* පිළිකා ඇතිකිරීමටද  උපකාරී වන බව.
වෙනත් අය කල පර්යේෂණ වලින්ද MSG වල අහිතකර බව තහවුරු වුණා.  අධි ප්‍රමාණ වලින් සිරුරට MSG ඇතුල් වීමෙන් විවිධ ආබාධ ඇතිවන බව හා මොලයට සිදුවන  හානි නිසා කලහකාරී හැසිරීම් හා කාංසා සහගත හැසිරීම් ඇතිවන බව මියන් යොදාගෙන කළ පර්යේෂණ වලින් පෙනී ගොස් තිබෙනවා.

 MSG වැඩි ප්‍රමාණවලින් දිගු කාලයක් ගැනීමෙන් හර්දයේ අසමාන ගැස්මට අමතරව, හර්දයේ බර වැඩිවීම, හමේ ආසාදන ඇතිවීම, මුඛයේ හිරි ගතිය, ඈලිමැලි ගතිය මෙන්ම කන්වල රැව්දෙන හඬ ඇසීමද  ඇතිවන බව නිරීක්ෂිතයි. ස්ථුලතාව ඇතිවීම (මහත්වීම), මධ්‍ය ස්නායු පද්ධතියේ සංකුලතා, ආහාර මාර්ගයේ පටක ඉදිමීම, ඩිම්බකෝෂ හා පැලෝපිය නාලවල වෙනස්කම්, අක්මාවේ අක්‍රමිකතා,  පිරිමින්ගේ රුධිරයේ හිමොග්ලොබින් වැඩිවීම, ඇස්වලට හානි සිදුවීමත් වෙන බව සොයාගෙන තිබෙනවා. බඩවැල් මගින් MSG සියල්ලම පහේ උරාගන්නවා. ඒ නිසා MSG අඩංගු ආහාර ගත්විට බඩවැල් ඉදිමෙනවා.
මේ අනුව MSG මත්පැන්, නිකොටින් හා සමහර මත්ද්‍රව්‍ය වලටද වඩා භයානක නිහඬ මරුවෙක් බවයි පෙනී යන්නේ.

මේ බව පර්යේෂණ වලින් පෙන්වා දුන් විට බොහෝ රටවල් MSG රසකාරකයක් ලෙස යොදාගැනීම තහනම් හෝ සීමා කළා. එහෙත් සංවර්ධනය වෙමින් පවතින ආසියා, අප්‍රිකා රටවල් දරුණු ලෙස මේ රසායනිකය භාවිතා කරනවා. මහා පරිමාණ ආහාර ව්‍යාපාරවල පමණක් නෙවෙයි සාමාන්‍ය ගෘහනියටත් නැතිවම බැරිවෙන තැනට වෙළඳ දැන්වීම් මගින් පුරුදු කරලා ඇබ්බැහි කරවලයි තියෙන්නේ.

දැන් ඔබ දැනුවත්.
දැනුවත් වූ අය පවා නොමග යැවීමට ආහාර නිෂ්පාදන සමාගම් දැන් වැඩ කරනවා. ඔවුහු MSG නාමය නොදා ඉන්න පරෙස්සම් වෙනවා. ඒ නිසා හැමවිටම MSG අඩංගු මෙම නාමයන් ගැන ඔබ සැලකිලිමත් වෙන්න.
මේවයේ සැඟවිලා තියෙන්නේ MSG.
* ග්ලුටමෙට්             * මොනෝ පොටෑසියම් ග්ලුටමෙට්
 *natrium glutamate *සෝඩියම් කැසිනෙට්
* Textured ප්‍රෝටීන්  * කැල්සියම් ග්ලුටමෙට්
* Glutamic Acid * මොනො සෝඩියම් ග්ලුටමික් ඇසිඩ්
* කැල්සියම් කසිනේට් Calcium Casienate
*ජෙලටින්             * යීස්ට් පෝෂක    * Yeast extract
  * Autolyzed Yeast   * Hydrolyzed ප්‍රෝටීන්

පහත නම් සඳහන් ආහාර නිෂ්පාදනය අතරතුර MSG එක් කිරීම් වෙනවා.
** Powdered milk (පිටිකළ කිරි)     * Natural flavours and flavourings       * Soy sauce
* Soy Protien           *Malt extract  *broth    *Carrageenan                     *Pectin        
* Enzyme modified *Corn starch    *Protien fortified        * Ultra pasteurized    

MSG විෂෙන් ඉවත් වෙන්න මේ දේවල් කරන්න පුළුවන්.
1. ආහාර ලේබල් ප්‍රවේශමින් කියවන්න. MSG කෙලින්ම සඳහන් නම් හෝ ඉහත ලෙස සඳහන් නම් ඒ නිෂ්පාදන ගන්න එපා.
2. අවන්හල් වලදී ඔවුන්ගේ ආහාරවලට MSG දානවද කියල අහන්න. ( ලංකාවෙදිනම් හරි උත්තර ලැබෙයිද මන්ද.)
3. ක්ෂණික ආහාර ගැනීමෙන් වලකින්න. බොහෝ ක්ෂණික ආහාර, පිළියෙළ කළ මස්, මාළු, බැදුම් හා බිම වර්ග වලට රසය හා ඇබ්බැහි වීමේ ගුණය දෙන්න MSG යොදනවා.
4.MSG හේතුවෙන් බඩවැල්වල සියුම් පටල ඉදිමේ. වරින් වර ඔබේ බඩවැල් ශුද්ධ කරන්න. (දන්නවනේ විරේක. ඉස්සරනම් විරේක ගන්න එපා කියල බටහිර වෙදකමේ කිව්වේ).
5. විටමින් C අඩංගු ආහාර ගැනීම (අලුත් පලතුරුවල හා එළවළුවල තියනව)

දැන් අජිනොමොටෝ සමාගම කෝ?
රටවල් 27ක යහතින් තියනවා. විවිධ නම්වලින් නිෂ්පාදන සිදු කරනවා
කෝපි, චිකන් කියුබ්, සුප් කැට,  food seasoning, බිම වර්ග, චීස් වර්ග, රසකාරක, frozen food  හදනවා.
1997 ඉඳන් රුව වඩන ආලේප හදනවා.
1986 සිට පිළිකා නාශක බෙහෙත් හා වෙනත් බෙහෙත් වර්ග නිෂ්පාදනය කරනවා.
1998දී රුසියාවේ පර්යේෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කළා, ජලජ ජීවීන්ගේ ඇමිනෝ අම්ල සංවර්ධනය සම්බන්ධ පර්යේෂණය හා නියුක්ලියෝටයිඩ නිෂ්පාදන පිලිබඳ පර්යේෂණ කරන්න.
 'සෞඛ්‍යමත් මනසක් හා සිරුරක්' සඳහා වන සෞඛ්‍ය හා පෝෂණ සම්මන්ත්‍රණ සංවිධාන කරනවා.
2020 ඔලිම්පික් උළෙලේ නාමකරණ අයිතිය තියෙන්නෙත් අජිනොමොටෝ සමාගමට ..
ලෙඩත් දීල බෙහෙතුත් දෙන සමාගම්.....????


උදව්:
රේණුකා විමලරත්න සොයුරිය
Effect of monosodium glutamate and aspartame on behavioral and biochemical parameters of male albino mice :G. Mohammad Abu-Taweel (2016)
Fact or  Fiction ? The MSG Controversy:  Monica Singh (2005)
Monosodium Glutamate Toxic Effects and Their Implications for Human Intake: A Review V. Husarova et al. (2013)
The Effect of Monosodium Glutamate (MSG) on the Gross Weight of the Heart of Albino Rats O. A. Kingsley et al. (2013)
The Harmful Effects of Monosodium Glutamate : Dr. E. Group (2014)
ajinomoto.com
articles.mercola.com (2009)
fitnesspel.com
glutamate.com

Sunday 5 March 2017

භීතිකා (ෆෝබියා) සහ බය යනු එකක්ද? Phobia

යමකට බියවීම අපි උපතින්ම ගෙනෙන දෙයකි. අපට අනාරක්ෂිත ලෙස හැඟෙන අවස්ථාවල බියවීමට ඉබේම උගනි. බිය යනු ඇත්තෙන්ම අපව අනතුරුවලින් ආරක්ෂා කරගැනීමට ඇති ස්වභාවික ප්‍රතික්‍රියාවකි. උදා. කළුවරට බිය වීම නිසා රාත්‍රියේ එළිමහනේ හැසිරෙන සතුන්ගෙන් ආරක්ෂා වේ. අප ක්‍රමයෙන් වැඩෙන විට ස්වභාවික තත්ත්ව වටහා ගත් පසු  අප බිය දක්වන දේ ක්‍රමයෙන් වෙනස් වේ.
නමුත්, සමහර අයට මේ බිය අනවශ්‍ය ලෙස පවතීනම් එය භිතිකා (phobia) තත්වයක් ලෙස ගැනේ. ඒ කියන්නේ හේතුවක් නොමැතිව දෙයකට, තැනකට, සිදුවීමකට දක්වන සාතිශය බිය, භීතිකා ලෙස ගැනේ. අපව ආරක්ෂා කරන බිය වෙනුවට මෙතන ඇත්තේ සාමාන්‍ය ජිවිතයට බාධා කරන තරමේ බලවත් අසාමාන්‍ය තත්වයකි.
භිතිකාවල ලක්ෂණ:
1. බොහෝ දෙනෙක්ට ගණන් ගත යුතු නැති තරම් සරල සිදුවීම් හෝ දේවල් කෙරේ දක්වන අධිකතර බිය හා කනස්සල්ල.
2. තදබල ශාරීරික ප්‍රතික්‍රියා සමග ඇතිවන කාංසාව, දහදිය දැමීම, වෙව්ලීම,හද ගැස්ම වේගවත් වීම වැනි ලක්ෂණ
3. එම සිදුවීමෙන් මගහැර යාමට දැඩි ලෙස පෙළඹීම
උදා. මකුළුවන් කෙරේ භිතිකා තත්ත්ව ඇති අය නිවසේ දැල් බඳින ඉතා කුඩා මකුළුවෙක් දුටු පමණින් ඉහත ලක්ෂණ දක්වා කෑ ගසමින් ඉවතට දුවයි.

ජනගහනයෙන් 5%කට පමණ භිතිකාමය තත්ත්ව පවතී.

මෙයින් ලොව වැඩිපුරම දක්නට ඇත්තේ සමාජ භිතිකා (social phobia) ය. එනම්, අන් පුද්ගලයින් සමග කතා කිරීමට හෝ අන්තර් ක්‍රියා කිරීමට ඇති බය. මෙය ගුරුවරයෙක් සමග කතා කිරීමට, පන්තිය ඉදිරියට ඒමට තදබල ලෙස අකමැතිවීම දක්වා වර්ධනය විය හැකිය.
Agoraphobia :එළිමහන්, සෙනග ගැවසෙන, පොදු ස්ථානවලට යාමට ඇති බිය. මෙය උග්‍ර වූ විට නිවසෙන් එලියට යාමටත් අකමැති වේ.
Apiphobia : මි මැස්සන්ට ඇති අධි බිය
Arachnophobia : මකුළුවන්ට ඇති අධිබිය
Acrophobia : උස තැන්වලට දක්වන අධි බිය
Aviophobia : ගුවන් ගමන් වලට ඇති අධි බිය
Cynophobia : බල්ලන්ට ඇති අධිබිය
Dendrophobia :විශාල ගස් හා වනාන්තරවලට ඇති අධි බිය
Katsaridaphobia : කැරපොත්තන්ට ඇති අධිබිය
Ophidophobia : නයින්ට ඇති අධි බිය

මෙවැනි තවත් බොහෝ ඒවා ඔබ දන්නවත්, අත්දැකත් ඇති.
සමහර භිතිකා කුඩා කලදී වැඩිවී, වැඩිහිටි වීමත් සමග නැතිවී යයි. ඒත් ඒවා එන්න එන්නම අන් අයටත්, පුද්ගලයාගේ ජීවිතයටත් කරදරයක් වන තරමට ආ විට ප්‍රතිකාර ගත යුතුයි.

මෙවැනි තත්වයක් ඔබට හෝ පව්ලේ කෙනෙක්ට ඇත්නම් ලජ්ජා විය යුතු නැහැ. ප්‍රකට පුද්ගලයන්ට පවා තිබෙන දෙයක් නිසා.
තෝමස් අල්වා එඩිසන් : කළුවරට අධි බිය Nyctophobia
මැඩෝනා : අකුණු වලට අධිබිය Brontophobia
ඔපෙරා වින්ෆ්රි : චුවින්ගම්වලට අධි බිය Chiclephobia

මේ භිතිකා මග හැරවීමට කරන එක සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් වන්නේ ක්‍රමයෙන් එයට නිරාවරණය වන්නට හැරීමයි.
නයින්ට බිය ඇති අයෙක්ට මුලින් නාගයින් ගැන ලියවුනු පොත් කියවන්නට දීමෙන් ඇරඹිය හැකිය. ඊළඟට පින්තුර, ෆොටෝ බලන්නට දීම, සත්ව උද්‍යානයකට ගොස් නයින් නැරඹීමට දීම ආදී ලෙස ක්‍රමයෙන් අසීරුතාව වැඩිවන ලෙස නිරාවරණයට සැලසු විට ඉන් අහිතකර තත්වයක් නොවන බව උගනී. එම පුද්ගලයා කැමතිනම් අත්වැසුම් යුගලයක් දමා නයෙක් ඇල්ලීම හා සත්‍ය ලෙස නයෙක් අතින් ඇල්ලීම දක්වා ප්‍රතිකාර දීර්ඝ කල හැකිය.
ප්‍රතිකාරයෙන් භීතිකාව නැතිවීමට ගතවන කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.
බොහෝ දෙනෙක්ට භිතිකා වලින් තොරව සාමාන්‍ය ජිවිතයක් ගත කිරීමට හැකි තත්වයක් උදා කරගත හැකියි.

උදව්:
phobialist.com
www.mentalhealth.org
Fear and Anxiety : P.J. Lang, M.Davis