Thursday, 16 March 2017

බෙල්ල කරකවන බස්සා : එන්න යන්න පියාඹන්න

"මොකද අනේ බස්සා වගේ බලන් ඉන්නේ?" ඇසපිය නොහෙලා බුම්මං බලන් ඉන්න අයගෙන් අහල ඇති නේ? හ්ම්... මුලින්ම බස්සෙක් දැක්ක දවසේ ඌ දිහා මාත් බස්සෙක් වගේ පුදුමෙන් බලාගෙන හිටිය මතකයි. බෙල්ල කරකවන, ඇස් ලොකු, රවුම් මුණකුයි වකුටු හොටකුයි තියන මීක් සද්දයක් නැති මේ අරුම පුදුම සතා ගැන ප්‍රශ්න ගොඩක් එදා හිතේ ඇතිවුණා.
බස්සන්ට බෙල්ල සම්පුර්ණ වටයක් කරකවන්න පුලුවන්ද?
පෙනෙන්නේ එහෙමයි නේද? ඒත් උන්ට බෙල්ල   රවුමක්ම කරකවන්න බැහැ. අපිට බෙල්ල හරවන්න පුළුවන් අංශක 180 නේ. ↔.. බස්සන්ට 270°ක් පුළුවන්. (360°නෙමෙයි).
මේ හැකියාව බස්සන්ට ලැබෙන්න හේතු කිහිපයක් තියනවා. අනිත් බොහෝ කුරුල්ලන්ගේ ඇස් හිස දෙපැත්තේ පිහිටලා තිබුනත් බස්සන්ගේ ඇස් මුහුණ ඉදිරියේ පිහිටලා තියන නිසා උන්ට ඉදිරිය විතරයි පෙනෙන්නේ. මේ ලොකු ඇස් කුහර තුල සවි වෙලා තියන නිසා චලනය කරන්න බැහැ. ඒ කියන්නේ ඇස් බෝල එහා මෙහා කරන්න බැහැ ඒ නිසා වටපිට පෙනෙන ප්‍රමාණය වැඩි කරගන්න උරහිස් වල හොඳ පාලනයක් ඇතිව මුළු හිසම හරවන්න පුළුවන් විදියට හැඩගැහිලා තියෙන්නේ.
බොහෝ බස්සන් නිශාචර, මාංශ භක්ෂක සතුන්. ඔවුන් ගොදුරු සොයා යන්නේ රාත්‍රී කාලයට නිසා වැඩි සද්ද නිකුත් වුනොත් ගොදුර මග ඇරෙනවා. බස්සන්ව ගොදුරු කරගන්න එන විලොපින්ගෙන් බේරෙන්නත් මුළු සිරුරම නැතිව හිස පමණක්  චලන හැකියාව වාසියක්.

බස්සන්ට කළුවරේ ඇස් පේනවද?
නිශාචර හැම සතාටම කළුවරේ සංවේදනයක් ලැබෙන්න ඕනේ. අඳුරේ පෙනෙන්න පුළුවන් වෙන්න බස්සට විශාල ඇස් තියෙන්නේ. ඒ තුල යෂ්ටි සෛල වැඩිපුර තියන නිසා ඉතා අඩු ආලෝකයක් තිබුනත් පෙනෙනවා. එත්, තද කළුවරේ පෙනෙන්නේ නැහැ. බස්සන්ගේ ඇසි පියත් විනිවිද පෙනෙන පටලයක්.

බස්සන්ට කන් තියනවා නේද?
ඔව්. හොඳ ශ්‍රවණ හැකියාවකුත් තියනව. සමහර බස්සන්ගේ පූසන් ගේ වගේ කන් තියනව දැකල ඇතිනේ. ඒ නියම කන් පිහිටන තැන
නෙමෙයි. ඇත්තම කන් කුඩා සිදුරු දෙකක්. අපේ වගේ නෙමෙයි බස්සන්ගේ කන් සිදුරු, මට්ටම් දෙකක තියෙන්නේ. වම් පැත්තේ ඇහැට ඉහලින් අනිත් පැත්තේ ඇහැට ටිකක් පහලින්. කන්වල පිහිටීමේ වෙනස්කම් උන්ට ශබ්ද එන දිශාව තීරණය කරගන්න උදව් වෙනවා. ඇස් වටේ හා කන් වගේ තියන පිහාටු වලින් කෙරෙන්නේ වටපිටාවේ ශබ්දය කන් සිදුරුවලට යොමු කරන එකයි.
හිසේ හැඩයත් මෙයට උපකාරී වෙනවා. රේඩාර් තැටියකින් තරංග එක තැනකට යොමු කරනවා වගේ හිසේ තැටි හැඩයෙන් ශබ්දය කන් සිදුරු වෙත යොමු කරනවා. ශබ්දය ඉතා ඉක්මනින් හඳුනාගෙන, ගොදුර තිබෙන තැන තීරණය කර,  සැනෙකින් ඩෑහැගන්න බස්සන් ශුරයන් වෙන්නේ මේ නිසයි. කළුවරේ ගොදුරු හොයාගන්නේ ශබ්දය පමණක් උපයෝගී කරගෙන. සිත හිමේ ඉන්න බස්සෝ හිම යටින් දුවන මියන් වැනි ගොදුරු, ශබ්දය මගින් හඳුනාගෙන අල්ලගන්නත් දක්ෂයෝ.

හොට මොකද වකුටු?
බොහෝ මාංශ භක්ෂක පක්ෂීන්ගේ හොට වකුටු, එය ගොදුර ඉරා ගැනීමට පහසුවක් නිසයි. බස්සන්ගේ උල් වකුටු හොටෙන් මුලින්ම ගොදුරේ ගෙල පිටුපසින් අල්ලා, කොඳුඇට පෙළ බිඳ දැමීමයි කරන්නේ.
ගොළුබෙල්ලන් වැනි සතුන්ගේ කටුවෙන් සත්වයාව එලියට ගන්නත් හොට උපකාර වෙනවා.
බස්සන්ගේඇඟිලි හතරක් තියන පාද උන්ගේ ජිවන රටාවට බෙහෙවින් වැදගත්. උල් නිය සහිත පාදවලින් අල්ලාගන්නා සතුන් තද කර, අගුලු දමා ගැනීමේ හැකියාවක් තියනව. මහපට ඇඟිල්ල අවශ්‍ය විට ඉදිරියට හෝ පසුපසට කරකැවීමේ හැකියාවකුත් තියනව. ගස් අතු මත වසා සිටීමේදීත්, අතුමත නිදා ගැනීමේදීත් මෙය වැදගත්. සිරුරේ උෂ්ණත්වය පාලනයටත් පාද උදව් වෙනවා. හිම බස්සන්ගේ පාද සුදු පාට පිහාටුවලින් වැසි තිබෙන්නේ.
නිහඬව ගොදුරක් වෙත ලඟාවෙන්න පියාපත් ඉටු කරන්නේ විශාල මෙහෙයක්. අනිත් කුරුල්ලන්ගේ මෙන් වාතය කපාගෙන යන හඬක් නොනැගෙන්නේ පිහාටු අග පනාවක් මෙන් සැකසී පිටුපසට නැමී තිබෙන නිසයි. හාවන් වැනි දිගු කන් ඇති සතුනට පවා නොදැනෙන්නට ඔවුන් වෙත ලඟාවෙන්නේ මේ නිහඬ පිහාටු සහිත පියාපත් විදහා පියෑඹීමෙන්.

 ඔහොම අල්ලගන්න ගොදුරට මොකද වෙන්නේ?
owl pellet 
බඩගිනි නම් හැම ගොදුරක්මත්, මකුළුවන්, පනුවන් වැනි කුඩා සතුනුත්, ඒ වෙලාවේම මරා ගිලිනවා. ඒ ආහාරය යන්නේ එක ආමාශයකට. එහිදී  දිරවන්න පුළුවන් පෝෂ්‍ය කොටස් තේරීමකට ලක් කරලා ventriculus කියන ඊළඟ ආමාශයට යවනවා. ඉතුරු වෙන ඇට කෑලි, දත්, රෝම, කුඩා කුරුල්ලන්ගේ පිහාටු, මාළු කොරල වැනි ඒවා මුල් ආමාශයේදී ගුලියක් බවට පත්වෙනවා. ඒ ගුලි වමාරනවා. Owl pellet කියන මේ ගුලි හැදෑරීමෙන් බස්සන්ගේ ආහාර ගැන හොඳ අධ්‍යයනයක් කරන්න පුළුවන්.
ගොදුරු වැඩිපුර ලැබෙන කාලයට ආහාර කල් තබා ගැනීමකුත් කරනවා. ගස් බෙනවල හැන්ගිමෙන් හෝ හිම බස්සන් නම් හිම යට තැබීමෙන් මෙහෙම කල් තියා ගන්නවා.
බස්සන් හුම් ගානවා විතරද?
බකමුනා හ්ම්..හ්ම්..ඊට අමතරව කෑ ගැසීමත්, සිහින් උස් හඬ නැගීමත්, පැටවුන්ගේ ආරක්ෂාව සඳහා නයින් මෙන් පිඹීම් ශබ්ද ඇති කිරීමත් කරනවා.

බස්සන් බිත්තර දාන්නේ වෙනත් කුරුල්ලන් විසින් අත්හැර දැමු කූඩුවල. ප්‍රමාණයෙන් කුඩා බස්සන් ගස් බෙන හෝ කොට්ටෝරු ගුල් වල බිත්තර දමනවා. පොලවේ ගුහාවලත් සමහර වර්ග ඉන්නවා. බස්සන් දින දෙක තුනකට එක බිත්තරය බැගින් බිත්තර 7ක් පමණ වරකට දානවා. බිත්තර සංඛ්‍යාව තීරණය වෙන්නේ ලැබෙන ආහාර ප්‍රමාණය, පරිසර උෂ්ණත්වය ආදිය මතයි. බකුසියත්, බකුස්සත් මාරුවෙන් මාරුවට බිත්තර
රැකිම සිදු කරනවා. එක අයෙක් බිත්තර රකිනකොට අනිත් කෙනා ගොදුරු සොයාගෙන එනවා.
බිත්තරයෙන් එලියට එන පැටවුන්ගේ ඇස් වැහිලා තියෙන්නේ. ඇස් පෑදී, පිහාටු වැඩී, පියෑඹීමේ හා දඩයම් කිරීමේ හැකියාව ලබාගන්න සති 9-10ක් ගතවෙනවා. ඒ වෙනතෙක් දෙමාපිය රැකවරණය ලැබෙනවා.
සමහර බස්සන් අවුරුදු 10- 20 තරම කාලයක් ජීවත්වෙනවා. සිරුරේ ප්‍රමාණය විශාල බස්සන් වැඩි කාලයක් ජීවත්වෙන බවයි පෙනී යන්නේ.

බස්සන් අනිත් සතුන්ට වඩා බුද්ධිමත්ද?
උන්ගේ සිරුරේ විදියත්, මිනිසුන් වගේ ඍජුව පිහිටන කඳ ස්වභාවයත්, විශාල ඇසුත් නිසා අමුතු බුද්ධිමත් බවක් පෙනුනත් තමන් ඉන්න පරිසරයට හැඩගැසී ඊට අනුවර්තනය වී ජීවත්වීමේ අනිත් සතුන්ට තියන හැකියාවට
අමතරව විශේෂ බුද්ධියක් ඇතිබවක් පෙනෙන්න නැහැ.
බස්සන් සාමාන්‍යයෙන් තනිව ජිවත්වන සත්වයන්. රංචු ලෙසින් දකින්නට ලැබෙන්නේ බසු පවුලයි. මෙසේ රංචු ලෙස ඉන්නකොට Parliament of owls කියලයි කියන්නේ ☻☹

මිනිසා ජිවත්වන ප්‍රදේශ ආශ්‍රිතවත්, ඝන කැලෑවලත්, කාන්තාරවලත්, සිත හිමයේත් ආදී පුළුල් පරිසරවල බස්සන් වර්ග 216ක් දිවි ගෙවනවා. මානව ගහනය වැඩිවීමත්, මිනිසුන්ගේ නව සොයාගැනීම් හා ඉදිකිරීම් නිසාත්, කැලෑ හෙළිකිරීමත්, පරිසර උෂ්ණත්ව වෙනස්වීම් නිසාත් ඔවුන්ගේ වාසභූමිඅහිමි වීම, ගොදුරු අඩුවීම හේතුවෙන් වඳවී යාමේ තර්ජනය ඇති බස්සන් විශේෂ ගණනාවක් තියනවා.

උදව්:
Owls :Deborah Kops
Scientist Teresa -Scientists in the Classroom program
The Owl Foundation Ontario
WARD's Natural Science Establishment poster
www.owlpages.com

12 comments:

  1. //බස්සන්ගේ ඇසි පියත් විනිවිද පෙනෙන පටලයක්//
    හොද වෙලාවට මිනිස්සුන්ට ඔහොම එකක් නොතිබුනේ

    ReplyDelete
    Replies
    1. රස්තිට හිතෙන දේ.... මම හරි ආසයි එයාල ඇහිපිය ගහනවා බලන් ඉන්න. විදුරු දොරක් ඇරෙනවා වැහෙනව වගේ

      Delete
  2. ආසම කරන හොඳ ලිපියක්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. සතුටුයි. ස්තුතියි...!!!

      Delete
  3. අපේ ගෙදර අඹ ගහට කාලෙකට බස්සො රෑනක් එනව..මං ආසම උන්ගෙ අර අමුතු බැල්මටයි සද්දෙටයි...කරුණු ටික උනන්දුවෙන් ඔන්න කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. බස්සො සාමාන්‍යයෙන් රංචු පිටින් ඉන්නේ නැහැ කියලයි කියන්නේ.. බසු පවුලක් වෙන්න ඇති. මාත් ආසයි උන්ගේ ඇස්වලට

      Delete
  4. ''රෑ නොනිදයි ..හ්ම්ම් හ්ම්ම්ම්
    දවල් නිදි හ්ම්ම්ම් හ්ම්ම්ම්

    බකුසු රාල දවල් නිදයි - උකුසු දෑස රෑට අරියි ...''

    ශිරෝමාලා ගායනා කල මේ ගීතය කුඩා කාලයේ මා කැමතිම ගීයක්..

    බස්සා හඬන රැයකට පසුවදා මරණයක් අසන්නට ලැබීම ඒ කාලේ අනිවාර්යෙන් සිදු වුනු දෙයක්. විදුලි බලය නැති කාලයේ රාත්‍රියේ රැහයියන්ට අමතරව බස්සෙක් ඇඩිම හෝ නරියෙක් හු කිම සහ පසුවදා අසන්නට ලැබෙන මරනය අතර සම්බන්ධය හොයා ගන්න හිත වෙහෙසපු තරම අදටත් මතක් වෙනවා..

    යුරෝපයත්බස්සන්ට ප්‍රසිද්ධ තැනක්.එංගලන්තය, වේල්සය , ස්කොට්ලන්තය පමණක් නොවෙයි ප්‍රංශය, ජර්මනිය, බෙල්ජියම, නෙදර්ලන්තය, ඉතාලිය, ස්විට්සර්ලන්තය වැනි විවිධ රටවල ගම්මාන හරහා ගමන් කිරීමේදී දකින්නට ලැබෙන කුරුළු වර්ග අතර බස්සා අනිවාර්යයි. යුරෝපයේ බස්සෝ සාපේක්ෂව ඉතා විශාලයි..අපේ රටේ බස්සෙකු මෙන් හතර පස් ගුණයක් විතර..මේ අතරින් වෙල්සයේදී දැක ඇති සුදු සහ දුඹුරු මිශ්‍ර බස්සා හරිම ලස්සන සතෙක්

    මෙහෙ ඉන්න ඇතැම් සුදු ආච්චිලා බස්සන්ගේ ආකෘති, පින්තුර, විසිතුරු බදු එකතු කිරීම විනෝදාංශයක් ලෙස කරනවා. සුදු ජාතිකයින් බැස්සා හඳුන්වන්නේ අලංකාර පක්ෂියෙක් ලෙස..

    බස්සා ගැන නොදැන හුන් අගනා විද්‍යාත්මක ලිපියක්..

    හ්ම්ම් හ්ම්ම්

    ස්තුතියි

    ReplyDelete
  5. කැනඩාවේත් බොහෝ අය බස්සන්ට ආසයි. ෆාම්වල එහෙම මිතුරෙක් විදියට සලකන්නේ. අනතුරට පත් බස්සන් රැගෙනවිත් තුවාල සුවපත් කර, නැවත මුදාහරින තැනක් The Owl foundation කියන්නේ. මේ බොහෝ විස්තර ගත්තේ එතනින්. නැවත කැලයට ගිහින් survive වෙන්න බැරි අයව කුඩුවල දාල zoo එකක් වගේ ප්‍රදර්ශනය කරනවා.

    ReplyDelete