Monday, 16 January 2017

තක්කාලි ජෑම් හා තක්කාලි සෝස් හදන විදිය

හදාගන්න ලෙහෙසි, එහෙත් ගොඩක් දෙනෙක් හදන විදිය ගැන එතරම් දන්නේ නැති ආහාර වර්ග දෙකක් තක්කාලි ජෑම් හා තක්කාලි සෝස් කියන්නේ. ගිම්හාන කාලේ ගෙවත්තේ වගා කරන මට හොඳ තක්කාලි අස්වැන්නක් ලැබෙන නිසා පසුගිය වසරවල මේ කෑම හදන එක අත්හදා බලල, යාලුවන්ටත් දීල කවුරුත් හොඳ කියූ නිසා රෙසිපිය බෙදාගන්න හිතුණා.

ඉස්සෙල්ලම බලමු ආහාර වර්ග දෙකම පිළියෙළ කිරීමේදී කරන්න ඕන දේ.
මුලින්ම හොඳ තක්කාලි තෝරා ගැනීම. ඉදුණු එහෙත් බෙරී නොවුණු තක්කාලි තමයි වඩා සුදුසු. මම වර්ග කිහිපයක් වගා කළා. මේ හැම එකෙන්ම හදන්න පුළුවන් වුනත්, ලොකු තක්කාලි සෝස් සඳහා සුදුසුයි. පුංචිම චෙරි තක්කාලි ජෑම් වලට හොඳයි. හදන්නත් ලෙහෙසියි.

 මේවා කල් තබාගන්න පුළුවන් ආහාර නිසා ගබඩා කරන්න බෝතල් ලැහැස්ති කරගන්න ඕනේ. පරණ ජෑම් බෝතල් හොඳයි. භාජනයකට වතුර පුරවලා  උතුරවන්න. උතුරන වතුරේ  පිරිසිදු කරගත් බෝතල හා මුඩි ගිල්වා තව මිනිත්තු 5ක් විතර නටවන්න. රත්වී තිබියදීම ප්‍රවේසමින් පිටතට ගෙන පිරිසිදු රෙදිකඩක් උඩ මුනින් අතට තියන්න.

දැන් බලමු තක්කාලි සකස් කරගන්න විදිය. ලොකු තක්කාලි නම් පොත්ත ඉවත් කරගන්න ඕනේ. ඒකට උණුවතුරයි, අයිස් වතුරයි ඕනේ. තක්කාලි ගෙඩි හොඳින් සෝදා නැට්ට පැත්ත නෙමේ අනිත් පැත්තේ කතිරයක් කපන්න. අඟල් 1/4ක් තරම් ගැඹුරට කැපුම් යොදන්න ඕනේ.

 දැන් වතුර භාජනයක් උණුකර මේවා කිහිපය බැගින් දාන්න. මිනිත්තුවක් විතර උණු වතුරේ තියෙද්දී පොත්ත රැලි ගතියක් එනවා. පරිස්සමින් හැන්දක් ආධාරයෙන් මේවා එක එක අයිස් වතුර භාජනයට මාරු කරන්න. පොත්ත ලෙහෙසියෙන් ගැලවිලා යනවා. 
චෙරි තක්කාලි වලට මේ දෙය කරන්න ඕනේ නැහැ. (කරන්නත් බැහැ චුටියට අතට අහුවෙන්නෙත් නැහැනේ). 
දැන් ඔන්න සුදානම්.



තක්කාලි ජෑම් 
තක්කාලි ග්‍රෑම් 500
සීනි        ග්‍රෑම්  300
දෙහි යුෂ මේස හැඳි   2
ඉඟුරු      තේ හැඳි    1
සූදුරු කුඩු තේ හැඳි  1/4
කරාබුනැටි තේ හැඳි 1/4
කුරුඳු පොතු 

දැන් අර කලින් කිවූ විදියට පොතු ඉවත් කරගත් තක්කාලි හෝ චෙරි තක්කාලි බ්ලෙන්ඩර් එකක දමා පොඩි කරගන්න. නැත්නම් දැල් පෙරනයක පොඩි කරගන්න. ටිකක් ලොකු කැලි තිබුනත් කමක් නැහැ. රත් වෙද්දී පොඩි කරගන්න පුළුවන්. 

ඉන්පසු මේ පොඩි කරගත් තක්කාලි ලොකු නොන් ස්ටික් පෑන් එකකට හෝ මැටි බඳුනකට දාන්න. ලෝහ භාජන නොගන්නවනම් තමයි හොඳ. සිනි, ඉඟුරු, සුදුරු හා කරාබුනැටි ත් එකතු කරන්න. මේ මිශ්‍රණය එකවර ඉහල උෂ්ණත්වයකට රත්කර, නටන මට්ටමේ මිනිත්තුවක් පමණ තබා එකවර උෂ්ණත්වය හොඳටම අඩු කරන්න. 

මද ගින්නේ/ උෂ්ණත්වයේ මිනිත්තු 30- 45 අතර කාලයක් හෙමින් හිඳෙන්නට අරින්න. මේ අතර කුරුඳු ටිකක් ග්‍රේටර් එකකින් ගාමින් එකතු කරන්න.

 ලී හැන්දක් භාවිතයෙන් ලොකු තක්කාලි කෑලි ඇත්නම් පොඩි කරන්න. චෙරි තක්කාලි භාවිතා කළොත් පොතු තියනව. කමක් නැහැ. 
හිඳීගෙන  එනකොට ජෑම් වගේ හැන්දට එකතු වෙමින් එනවා. පාට තද වෙනවා.
 ඉතින් පදම හරි. ලිප නිවන්න. දෙහි යුෂ එකතු කරල ටිකක් හැඳි ගාල ඕනනම් චුට්ටක් අරන් පාන් පෙත්තක ගාල රස බලන්න. රස්නෙන් තියෙද්දීම කලින් විෂබිජ හරණය කරගත් බෝතල් වලට දමන්න. 
මූඩිය යන්තම් වසා පරිස්සමින් රෙදි කඩකින් වටේ අල්ලාගෙන නටන ජලය භාජනයක භාගයක් පමණ ගිල්වා, මිනිත්තුවක් පමණ තියන්න. එතකොට බෝතලේ වාතය අයින් වෙනවා. වතුරේ තියෙද්දීම මූඩිය තද කරන්න. නිකම්ම මූඩිය සීල් වෙනවා. ( මේ කොටස කරන්න ෂුවර් නැත්නම් නොකළත් කමක් නැහැ. ෆ්‍රිජ් එකේ තියා කල් තියාගන්න පුළුවන්).


තක්කාලි සෝස් 
ලොකු තක්කාලි ගෙඩි 10
දෙහි යුෂ කෝප්ප 1/4 හෝ විනාකිරි මේස හැඳි 2
ලුණු තේ හැඳි 2
වියලි මිරිස් කුඩා කෑලි මේස හැඳි 1
සුදුළුණු ලොකු ගෙඩියක් කුඩාවට කපා 
(කැමතිනම් ලූනු  මේස හැන්දක් කුඩාවට කපා)
කරාබුනැටි තේ හැඳි 1/2
කුඩු කරගත් කරපිංචා කොළ 3
පොල්තෙල්/ ඔලිව් තෙල් මේස හැඳි 2 

කලින් කියා ඇති ලෙස පොත්ත ඉවත් කරගත් තක්කාලි හොඳට බ්ලෙන්ඩ් කරලා ගන්න. භාජනයකට තෙල් දාල සුදුළුනු හා ලූනු එකතු කරන්න. ඒවා රන්වන් පාට වනවිට කෑලි මිරිස් දමා ටිකකින් දෙහි යුෂ හැර අනිත්වා එකතු කරන්න. 
එකවර උෂ්ණත්වය වැඩි කර, විනාඩියක් පමණ නටන්නට හැර, උෂ්ණත්වය අඩු කරන්න. 

අඩු ගින්දරේ පැයක් පමණ හිඳෙන්න අරින්න. ඒ අතර ලොකු කැලි වගේ තියනවනම් ලි හැන්දක පිට පැත්තෙන්  පොඩි කරන්න. වරින් වර හැන්දෙන් කලවම් කරන්න. තරමක් දියර ගතියකින් තිබෙද්දීම දෙහි යුෂ හෝ විනාකිරි මිශ්‍ර කර, කැමති ඝනකම් ගතියට එද්දී ලිපෙන් ඉවත්කර, බෝතල්වල අහුරන්න. 


සැ. යු. සෝස්, ජෑම් තරම් කල් තබාගන්න බැරිය. ෆ්‍රිජ් එකේ දැම්ම වුනත් ඉක්මනින් පුස් වගේ වෙන්න බලනවා. ඒ නිසා ඉක්මනින් අහර රස ගන්වන්න ගන්න. 
මේ ප්‍රමාණ මේ විදියටම අරන් අත හුරු වුණාම තමන්ට ඕන විදියට රස අනුව ජෑම් වලටනම් සීනි , සෝස් වලටනම් මිරිස් වෙනස් කරගන්න. 


මේ රසුදැල්  හඬවන්න උදව්:
පාඨලී දුව 
ස්වාමි පුරුෂයා 
රස ගුණ කියූ පුතා හා යාළුවෝ 

Thursday, 12 January 2017

සියැටෙල් පරිසරවේදියෙක්ද? :ඇමරිකාවේ ආදි වාසීන් 4

Chief Seattle (1780- 1866)
යුරෝපියයන් ඉන්දියාව ලෙස සිතා ඇමරිකාව 'සොයා ගැනීමත්', ඉන්පසු එම බිම අත්පත් කරගැනීමට එහි මුල් පදිංචි කරුවන් සමූල ඝාතනයට ලක්කළ අන්දමත් කලින් ලිපිවල  කියෙව්වනේ. මුල් පදිංචිකාර ගෝත්‍රිකයන් අතරේ 'සියැටෙල්' නාමය විශේෂිතව අද දක්වාම තියෙනවා. ඒ යම් අවස්ථාවක ඔහු සිදුකළ ප්‍රකාශයක් හෝ ලියූ ලිපියක් නිසයි.

සියැටෙල් යනු ඇමරිකා එක්සත් ජනපදයේ වයඹ කෙලවරට වන්නට පිහිටි වොෂින්ටන් ප්‍රදේශයේ වසර  දස දහස් ගණනක් ජිවත් වූ Suquamish ගෝත්‍රිකයන්ගෙන් කෙනෙක්. මෙම ගෝත්‍ර නාමයෙහි තේරුම පිරිසිදු ලවන ජලයේ ජීවත්වන්නෝ යන්නයි. සුක්වමිෂ් ගෝත්‍රිකයෝ මසුන් මැරීමෙන්, බෙරී හා අල වර්ග වැවීමෙන්, තාරාවන් වැනි දියෙහි වෙසෙන කුරුල්ලන් හා මුවන් වැනි ගොඩබිම සතුන් දඩයම් කිරීමෙන් ජිවත් වූ ගෝත්‍රයකි.
සෙඩාර් ලී වලින් සැදු නිවසක්.
ශීත කාලයට සෙඩාර් ලෑලි වලින් සැදූ නිවෙස්වල ජිවත් වූ මොවුහු, අනිත් කාලයට දඩයමේ යද්දී ශාක කොටස්වලින් සැදූ කුඩාරම් වල කාලය ගෙව්වා. ජල මුලාශ්‍ර ආශ්‍රිතව ජීවත්වූ නිසා ගමන් කළේ පාරුවල. සෙඩාර් මුල්වලින් සෑදු කූඩ ජලය ගෙනයන්නත්, උයන්නත් උපයෝගී කරගත්තා. සුප් වර්ග හා අලවර්ග උයාගෙන තියෙන්නේ රත්කළ ගල්කැට මේ කූඩවල පිරවූ ජලයට දමා ජලය රත් කිරීමෙන්. ඔවුන් පරිසරය සමග සහයෝගයෙන් ජිවත් වූ ආකාරය වෙනම කියන්න තරම් ලොකු කතාවක්.
සෙඩාර් කූඩයක් 


මේ අයට මුලින්ම බ්‍රිතාන්‍ය ජාතිකයන් හමුවුනේ 1792දී. සුදු මිනිසුන් ඇවිත් ගස් කපල ඉරුම් මඩු සදනකොටත් කපන්න සුදුසු ගස් සොයා දී මොවුන් උදව් කළා. වනයේ මැරුණු ගස්වල කොට ගෙනත් දුන්නා. කලින් ලිපියේ කිව්වා වගේ වහලුන් ලෙස යොදා ගත්තත්, මේ අහිංසක මිනිස්සු ඒවා කළේ උදව් විදියට. ඔවුහු අවුරුදු 50ක්ම සුදු මිනිසුන් කරන වෙනස්කම් දෙස බලමින්, අන්‍යොන්‍ය ගෞරවය දක්වමින්, ඔවුන් හා වෙළඳ ගනුදෙනු කරමින් ජීවත්වුණා. අනිත් ගෝත්‍ර වලට වගේම මොවුන්ටත් මිෂනාරි බලපෑම්, රෝග ආදියත් නොඅඩුව ලැබුණා. අලුත් තාක්ෂණය හා මුදල් භාවිතය මෙන්ම ඔවුන් අතර කිසි දා නොතිබුණු පුද්ගලික ඉඩම් කියන සංකල්පයටත් යම් මට්ටමකින් අනුගත වෙන්නට වුණා.

1850 දී කොන්ග්‍රසය Oregon Donation Land Claim Act කියලා එකක් ඉදිරිපත් කරලා සුක්විමිෂ් හා අනිකුත් ගෝත්‍රවලට කිව්වා සංක්‍රමණිකයන්ට ඉඩම් දීල අයින් වෙන්න කියල. ඒ ඔවුන්ට රේල් පාරවල් හා ගොඩනැගිලි හදන්න. එතකොට තමයි ගෝත්‍රිකයන්ට මොවුන් සමග සහයෝගයෙන්, සහජීවනයෙන් ජීවත්වෙන්න බැරිබව වැටහුනේ.
ඒ වනවිට සුක්විමිශ් ගෝත්‍ර නායකයා වුනේ සියැටෙල්. ඔහු අවුරුදු විසි ගණන්වලදීම ගෝත්‍රික නායකයෙක් බවට පත්වූ අයෙක්. ඔහු ජීවත්වූ Central Puget Sound ප්‍රදේශයට වෙනත් ගෝත්‍රිකයන්ගෙන් සිදුවූ හොරකම්, කරදර වලට නිර්භීතව, එඩිතරව මුහුණ දුන් නිසයි අඩු වයසින්ම නායකත්වය ලැබී තියෙන්නේ. වසර දස දහස් ගණනක් ඔවුන් ජිවත් වූ භූමියට ඔවුන්ගේ ඇති අයිතිවාසිකම් කෙරෙහි සියලු මානව වර්ගයාගේ වගකීම හා ගරුත්වය ලබාගැනීම පිලිබඳ පාරිසරික ලියමනක් වන  ඔහුගේ ලෝක ප්‍රසිද්ධ කතාව සටහන් වෙන්නේ මේ අවස්ථාවේදීයි. එහි හොඳ පරිවර්තනයක් මෙතනින් බලන්න.


මෙයින් ඔහු අදහස් කල දේ අදවත් තේරුම් ගන්නවාදැයි සැකයි.

 සංක්‍රමණිකයන් කළේ "නුඹලා දරු සම්පත් ලබා වැඩි වර්ධනය වී, පොලව පුරා පැතිර එය යටත් කරගන්න. මුහුදේ මසුන් කෙරෙහිද, අහසේ පක්ෂීන් කෙරෙහිද, සියලු සතුන් කෙරෙහිද බලය පවත්වන්නැයි ඔවුන්ට වදාල සේක."(උත්පත්ති 1:28) යන බයිබල් වචනය පරිසරය වැනසීමට දුන් බලපත්‍රයක් ලෙස ගෙන පරිසර හිතකාමී ස්වදේශිකයන්ගේ නිජබිම්, සංවර්ධනයේ නාමයෙන් වනසා දැමීමයි.
සමහර ගෝත්‍ර යුධ වැදුනා. ඒත් දිනන්න බැරි වූ තැන ඉඩම් දීලා යන්න වුණා. සියැටෙල් තම ගෝත්‍රයේ ආරක්ෂාවත්, කාරුණික බවත්, දිගුකාලීන මිත්‍රත්වයත් සලකා ඉතා අකමැත්තෙන් වුවත් ඔවුන්ගේ ප්‍රදානයන් අරගෙන පසුබෑවා. රජය ඉඩම් හිලව්වට සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය දුන්නා. ගෝත්‍රිකයන්ට මසුන් මැරීමේ හා දඩයම් කිරීමේ අයිතිය 'පිළිගත්තා'. අධ්‍යාපනය කිව්වත් ඉංග්‍රීසි හා ආගම් අධ්‍යාපනය මිස ඔවුන්ගේ ගෝත්‍ර භාෂාව හා ජීවත්වීමට අදාල අධ්‍යාපනය නෙවේ.
සංක්‍රමණිකයන් හා සහයෝගිව සිටි නිසා සියටෙල්ට පිළිගැනීමක් ලැබී ඔවුන් සිටි පෙදෙස සියැටෙල් ලෙස නම් කළා.
එහෙත් ඔවුන්ගේ ඉඩම් කොල්ලකෑම හා පරිසරය විනාශ කිරීමත්, මුල් පදිංචිකරුවන්ට හිරිහැර කිරිමත් නැවැත්තුවේ නැහැ. එදා සංක්‍රමණිකයන් වූ අද ඇමරිකානුවන්ගේ තාඩන පීඩනවලට ලක්වෙමින්, උතුරේ මුල්ලට තල්ලු වෙමින් තවමත් මේ ගෝත්‍ර තම අභිමානය රැකගනිමින් ජිවත් වෙනවා.

2010 කැනඩාවේ පැවති ගෝත්‍රික උත්සවයකදී රැඟුම් දැක්වූ සුක්වමිෂ් කණ්ඩායමක් 
සියැටෙල් හා සියලු ආදි වාසි ගෝත්‍රිකයන් දැන සිටියා මිනිසා පරිසරයේ කොටසක් බව. මිනිසාට පරිසරය 'ජයගැනීම' කළ නොහැකි බව. මේ ආදිවාසීන් පරිසරය කුමක්ද, මිනිසා කවුරුන්දැයි ඉහල අවබෝධයකින් යුතුව සිටියා. ඒ බව පැහැදිලි වෙනවා සියැටෙල් ගේ මේ කීමෙන් "" මිනිස් වර්ගයා පරිසර ජිවන දැල වියා නැත. මිනිසුන් එම දැලේ එක නුලක් පමණි. හැමදේම එකට බැඳී, සම්බන්ධ වී ඇති දේය. අප ඒ දැලට කරන මොනයම්ම දෙයක් වේද, එය අප අපටම කරගන්න දෙයකි. ..""

ඔවුන්ට පරිසරය ගැන තිබු ඥාණය හා දැනුමෙන් දාහෙන් පංගුවක්වත් නැති අය දැන් 'පරිසරවේදීන්' වී සියැටෙල් ඒ ගොඩට දා ගැනීම විහිළුවක්.
1998 සිට විවිධ අවස්ථාවල කැනඩාවේ හා ඇමරිකාවේ දේශපාලන නායකයන් මේ සියලු සිදුවීම් ගැන විධිමත් සමාව අයැදීම් සිදු කළත්, විනාශ වූ දෙයට අලගු තියන්නටවත් එයින් නොහැකියි.

ගෝත්‍රිකයන් නුගත්, නොදියුණු කොටසක් ද? ඊළඟ ලිපියෙන්.


රසුදැල් හඬවන්න උදව්:
http://www.greenworldtrust.org.uk
www.historynet.com  
http://www.californiaindianeducation.org/famous_indian_chiefs
google maps

Tuesday, 10 January 2017

CN කුළුණ : කැනඩාවේ සුවිශේෂ ස්ථාන 3


 අපුර්ව ඉංජිනේරු විස්කමක් වන, කැනඩාවේ ජාතික සංඛේතයක් බඳුව භාවිතා කරන, ටොරොන්ටෝ නගරයේ පිහිටි Canadian National Tower හෙවත් CN Tower, බුරාජ් ඩුබායි හදන තුරුම ලෝකයේ උසම කුලුණ ලෙස පැවතුනා. 1995දී ලෝකයේ ඉංජිනේරු පුදුමයක් ලෙස නම් කෙරුණු මෙහි උස මිටර් 553  හෙවත් අඩි 1815කි.
ටොරොන්ටෝ නගරයේ ඔන්ටාරියෝ විල ආසන්න බිමක 1973දී ඉදිකිරීම් ඇරඹුණු මෙම කුලුන නිම කරන්න මාස 40ක් ගතවී තිබෙනවා. විවෘත කළේ 1976දී. 
මේ කුළුණ ආරම්භයේ සිට අවසානය දක්වා සෑදු අන්දම විස්තර මේ website එකෙන් බලන්න පුළුවන්. ඉහලම තියන සුදුපාට කොටස සවි කරල තියෙන්නේ හෙලිකොප්ටරයක් ආධාරයෙන්.





CN කුලුන තුල විශේෂ ස්ථාන කිහිපයක් තියනවා.

1.) 113වෙනි තට්ටුවේ තියන අඟල් 2 1/2 ඝනකම විදුරු පොලව. :
සමහරු බයෙන් තැති ගැනුනත්, සමහරු නිදහසේ ගමන් කරමින් හෝ උඩ පනිමින් යනවා. නිරතුරු පරික්ෂාවට ලක්වෙන මේ පොලව වසරකට වරක් අලුත්වැඩියා කරනවා. 38000kg බරක් මේ වීදුරුවට උසුලන්න හැකි බවට සහතික වෙනවා.

2.)එක පැත්තකට හා බිමට විදුරු යොදා තිබෙන විදුලි සෝපාන හා මිනිත්තුවකින් තට්ටු 113ක් ඉහලට යන සීඝ්‍රගාමී සෝපාන

3.)අංශක 360 කරකැවෙන අවන්හල : අඩි 1152 උසදී සෙමෙන් භ්‍රමණය වන මෙහි ආහාර ගනිමින් වටේම නරඹන්න පුළුවන්. සම්පුර්ණ වටයක් යාමට මිනිත්තු 72ක් ගතවෙනවා. මෙය ලෝකයේ උසින්ම පිහිටන කැරකෙන අවන්හල යි. කැරකෙන වේගය මෙතනින් බලන්න.

 4.) අඩි 1465ක් (447m) ඉහලින් තියන Sky pod.:මෙහි බොහෝ ගුවන්විදුලි , රුපවාහිනී සම්ප්‍රේෂණගාර  තියනවා. පැහැදිලි කාලගුණයක් තියන දවස්වලට 100km එපිටින් තියන නයගරා ඇල්ලත්, නිව්යෝක් ජනපදයත් පේනවා.
5.) සිනමාහල් කිහිපයක් ඇති අතර එකක මෙම කුලුණ ගොඩ නැගු ආකාරය මිනිත්තු 15කින් පෙන්වනවා.

පඩි 1776ක් තිබෙන පඩිපෙළ දිගේ ඉහලට නැගීමත්, අඩි 356ක් ඉහල ප්‍රධාන පොඩ් එක මත ඇති ගැට්ටේ ඇවිදීමත් කරන අය බහුලයි..skywalk කියල කියන්නේ.

බොහෝ ආරක්‍ෂිත උපාය මාර්ග අනුගමනය කරන මෙම කුලුනට ගෑස් උපකරණ ගෙන යාම සපුරා තහනම්. මෙහි ඇති අවන්හල් වලවත් ගෑස් භාවිතයක් නැහැ. නිරතුරු සෑම අංශයක්ම පරික්ෂා කෙරෙන මෙහි හදිසි ගින්නක් ඇති වුවහොත් භාවිතා කළහැකි ජෙනරේටර් වලින් ක්‍රියාකරන සෝපානයක්ද තියනවා.

අනෙක් ගොඩනැගිලි වලට වඩා ඉතා ඉහලින් පිහිටන නිසා වසරකට අකුණු 75ක් පමණ මේ කුළුණට වදිනවා. කුළුණ ඉහලම ඇති රේඩියෝ, රුපවාහිනී ඇන්ටෙනා සිට පොලවේ ඇති ෂඩශ්‍රාකාර අත්තිවාරමේ හරයේ, පොලවට මීටර් හයකට පහල දක්වා 
යන 56cm ඝනකම් තඹ කම්බි 42ක් මගින් මේ අකුණු, කුලුනට හානියක් නොවෙන ලෙස බිම්ගත කරනවා. මෙම භූගත කිරීම් පද්ධතිය නිසා කුලුනට මේ දක්වා අකුණු හානි සිදුවී නැත. 
මේ කුලුනේ පිහිටන විශේෂ කාලගුණ දත්ත මධ්‍යස්ථානය මගින් කුළුණ වටා වර්ගමීටර් 36ක් ඇතුලත සිදුවන අකුණු දත්ත රැස්කර ඒවා කුලුනේ පිටත සිදුවන නඩත්තු හා අනෙක් කාර්යයන්ට උපයෝගී කරගැනීමට ලබාදෙනවා.

CN කුලුන එක් එක් රාත්‍රියට විවිධ වර්ණයන් ගෙන් ආලෝකමත් කරනවා.මයික්‍රෝ ප්‍රොසෙසර් එකකින් පාලනය වන මෙහි වර්ණ මිලියන ගණනක් නිපදවිය හැකියි. LED මගින් කරන මේ ආලෝකමත් කිරීම එතරම් නඩත්තුවක් ඕන නැති එකක්ලු. සෑම දිනකම ඉර බැස යාමත් සමග කැනඩාවට ගරු කිරීමක් ලෙස රතු හා සුදු වර්ණයන්ගෙන් ආලෝකමත් කරන කුළුණ ඉන්පසු එම දිනයට අනුකූලව වර්ණ ගන්වයි. ජාතික නිවාඩු දින, විශේෂ ජාතික උත්සව දිනවලට හැරුණු විට, දේශපාලනික නොවන පුණ්‍යායතන වල ඉල්ලීම් අනුව, ඔවුන්ට කැමති වර්ණ ආලෝක ගැන්වීම් සිදු කරනවා. සති සඳහා වර්ණ ගන්වන හේතු හා වර්ණ මෙතනින් බලන්න

කුරුළු සංක්‍රමණ සිදුවන වසන්තයේ හා සරත් කාලයේ (මාර්තු,අප්‍රේල් හා ඔක්තෝබර් නොවැම්බර්) කුලුණ  වටා ආලෝකය භාවිතා කරන්නේ ඉතා අඩුවෙනි. කුරුළු රංචු ඒ වෙත ආකර්ෂණය වීම වැළැක්වීමටයි.

කැනඩා ඩොලර් මිලියන 63ක් වූ CN කුලුනේ ඉදිකිරීම් සඳහා වැයවූ මුදල වසර 15ක් ඇතුලත ගෙවා දමා අවසන් වුණා. වසරකට මිලියන දෙකක් පමණ මෙය නරඹන්න එන නිසා පුදුමයකුත් නොවෙයි.මුදල් අය කරනවනෙ බලන්නත්, 

http://www.where.ca/tag/cn-tower
http://www.blogto.com
http://www.cntower.ca/