Thursday 16 July 2020

ඉන්දියාවේ පියගැට පොකුණු Stepwells

අපේ අසල්වැසි ඉන්දියාවේ විවිධ ස්ථානවල පිහිටා තිබෙන මනස්කාන්ත පඩිපෙල් වලින් සමන්විත ලිං හා පොකුණු ප්‍රෞඩ ඉතිහාසයක් මෙන්ම නෙත් පිනවන දසුනක්ද ගෙන එන නිසා ලොවේම අවධානය දිනාගැනීමට සමත්වෙමින් සිටියි. පන්සල්, කෝවිල්, දේවස්ථාන අසල ජල මුලාශ්‍රයක් තිබීම ඓතිහාසික හා සම්ප්‍රදායික පෙරදිග  ලක්ෂණයකි.  දේවස්ථානය පවිත්‍ර කිරීම, පුජා ද්‍රව්‍ය පිරිසිදු කිරීම ආදිය උදෙසා කලාත්මක අංගයන්ගෙන් අනුනව සාදා ඇති ලිං හා පොකුණු වැඩිපුර භාවිතයට ගත්තේ දඹදිව රාජකීයයන් හා උසස් පවුල්වල අය බව පැවසේ. පිහිටි ප්‍රදේශයේ බාවිතා වන භාෂාව අනුව ඒවා තීර්ථ, කල්‍යාණි, පුෂ්කරණි, පුඛුරි, තලබ් වැනි නම් වලින් හඳුන්වයි. පොලව මට්ටමට තරමක් පහලින් පිහිටි මේවට බැසීමට හැකිවන සේ අලංකාර පියගැටපෙළ සමුහ නිර්මාණ කර තිබීම පොදු ලක්ෂණයකි.
Hampi හි පුෂ්කරිණි 
දෙව්ලොව හා පොලව අතර සීමාව තීර්ථය(ජලය) ලෙස බොහෝ හින්දු කතාවල අරුත් ගැන්වේ. පවිත්‍ර කිරීමේ හා ප්‍රතිසංස්කරණයේ අගයට අමතරව වන්දනීය හා කැපකිරීමේ අරුතින්ද ජලය භාවිතා වේ. මේ සමහර ලිං පොකුණුවලින් නෑමෙන් රෝග නැසෙන බවට මතයන් ඇති නිසා ඒවා වඩා ජනප්‍රියය. අතීත ශිෂ්ඨාචාරයන්හි Great bath of Mohendajaro වැනි ස්ථානද ප්‍රචලිතයි. වසර පන්දහසකට පෙර ඉදිකරන ලද මුල්ම Stepwell එකෙන් පසු මධ්‍යකාලින  යුගයේ වැඩිම ප්‍රමාණයක් ඉදිව ඇත. අතීත සමෘද්ධිමත්  යුගයන්හි පියගැට පෙළ සහිත නිර්මාණාත්මක ලිං සහ පොකුණු 3000ක් පමණ ඉන්දියාව පුරා විසිර තිබෙන්නට ඇත.

එදවස පටන්ම ජනාකීර්ණව  පැවති දිල්ලිය වැනි ප්‍රදේශවලත්,  වෙනත් ජනාකීර්ණ ප්‍රාන්තවලත්  ඉතිරිව ඇති පොකුණු ආශ්‍රිත ඉදිකිරීම් වලින්  පෙනී යන්නේ ජල සංරක්ෂණයට හා බෙදාහැරීමටත්, ආගමික කටයුතුවලටත්, එදිනෙදා භාවිතයටත් අමතරව ගම් වැසියන්ගේ ප්‍රජා මධ්‍යස්ථාන ලෙස මෙම පරිසරය යොදාගෙන ඇති බවයි. සමහර පඩිපෙල් පොකුණු  පාරවල්  අසල ඉදිකර තිබීමෙන් මගීන්ට විවේකය සපයන ස්ථාන ලෙස භාවිතා කල බව පැහැදිලි වේ.
මොධෙරා හි Surya Kund 
මෝසම් හා වියලි කාලගුණය අතර දෝලනය වන ඉන්දියාවේ සමහර පෙදෙස්වල  ජලය ගබඩා කර තබාගැනීම වැදගත් විය. නිසි කල වැසි නොලැබුණහොත් ඒ සමග එන සාගත හා මරණය නිසා, නොකඩවා ලැබෙන ජල සම්පතක් තිබීම ප්‍රමුදිත කරුණක් විය.

අධි වියලි කාන්තාරමය කාලගුණයක් ඇති රාජස්ථාන හා ගුජරාට වැනි ඉන්දියාවේ වයඹ දිග පෙදෙස්වල සාදා ඇති පොලව තුලට දිවෙන පියගැට සිය ගණනක් සහිත, තට්ටු ගණනාවක් පසුකර යායුතු ලිං හා පොකුණු මගින් ජලය සැපයීමත්, ආගමික මෙහෙයක් සිදු කිරීමත් යන්නට  වඩා වැඩි යමක් සිදුවන බව පැහැදිලිය.
මේවා හඳුන්වන්නේ බවුරි (හින්දි භාෂාවෙන් ලිඳ) හෝ වව් නම්වලිනි. Stepwell නමෙන් සඳහන් පරිදිම භූගත ජල මට්ටම දක්වා දිවයන සේ පඩිපෙල් නිර්මාණය කර ඇති  මේවා සාදා ඇත්තේ පොලවේ පහල මට්ටමෙන් ජලය ලබා ගැනීමට බව පෙනී යයි. එනම් වියලි කාලගුණික තත්වයන් ඇති විට ජලය ලබාගැනීමේ විශ්වාසනිය මුලාශ්‍රයක් ලෙසයි. පියගැට  ලිංවල ප්‍රධාන අංග දෙකකි. උස් ලෙස බැඳී බිත්ති හා අතරමග නැවතුම් සහිත පඩිපෙල්. හයවෙනි හා හත්වෙනි සියවස්වල ඉතා උසස් මට්ටමකින් පැවතී බවට සාක්ෂි ඇති මෙම මානව ජල ධාරක, ජල සංරක්ෂණය සිදුකරන අතර  ගෘහ නිර්මාණ ශිල්පි ගුණයන්ද නොමදව හුවා දක්වයි.
Champaner හි helical vav 
වැසි සහිත කාලගුණයකදී ජල මට්ටම වැඩිවෙන හෙයින් වැඩිපුර පහල බැසීම අනවශ්‍ය වුවත් වියලි කාලවලදී ජලය ඉතිරිව ඇති මට්ටම අනුව බැසිය යුතු පියගැට සංඛ්‍යාව තීරණය වේ.
රාජස්ථානයේ Chand baori 
මෙම  විශේෂිත වූ සංකීර්ණ නිමැවුම් ප්‍රමාණයෙන්,  හැඩයෙන් හා සැලැස්මෙන් එකිනෙකට වෙනස්ය.  සමහර ලිං හෝ පොකුණු සරල එක ගල් පඩිපෙලක් පමණක් ඇති ඒවාය. සමහර ඒවා පැති කිහිපයකින් ලඟාවිය හැකි මට්ටම්  කිහිපයකින් යුතු සිය ගණන් පඩිපෙල් වලින් බැසිය හැකි  විශාල ආවාටයක් බඳු සංකීර්ණ ඒවාය.
ඒ අතරිනුත් සමහරක් බෙහෙවින් සැලසුම් කරන ලද, මුර්ති ආදියෙන් අලංකෘත දිගු පියගැටපෙළ සහිත ඒවාය. ගලින් නෙලා ඇති, කුලුනු සහිත තට්ටු කිහිපයකින් පසු ළඟාවිය හැකි මේවායේ ගමන්කළ හැකි කොරිඩෝර මෙන්ම  උෂ්ණත්වය වැඩි දිනවල මිනිසුන්ට විවේකිව රැඳී සිටිය හැකි මණ්ඩපවලින්ද සමන්විතයි. වඩාත් සිත්ගන්නේ සියුම් කලාත්මක කැටයම්වලින් සපිරුණු බිත්ති හා කුලුනුයි. නව ග්‍රහයන්,  වෘක්ෂය, දේව කතා, නැටුම්, ගැටුම් සටන් මෙන්ම කාන්තාවන් හිස පීරන, බටර් සාදන කැටයම්ද මේ අතර වේ.
පටන් හි Rani ki vav කැටයම් හා මුර්ති 
එයින් පැහැදිලි වන්නේ බීමට පිරිසිදු ජලය ලබාගැනීම, සතුන්ට දීම, කෘෂිකාර්මික කටයුතුවලට යොදාගැනීම හැරුනුකොට සමාජමය හා සංස්කෘතිකමය කාර්යයක්ද මෙම ජල මුලාශ්‍ර ආශ්‍රිතව සිදුව ඇති බවයි. මේවායේ උත්කර්ෂවත් යුගයේ මෙම ගොඩනැගිලි නිදහසේ රැස්වීමට, විවේක කාලය ගත කිරීමට, උෂ්නවත් පරිසරයෙන් මිදීමට සිසිල් අභයභූමියක් ලෙස යොදාගෙන තිබේ. භාවනා කිරීම් ඇතුළු ආගමික කටයුතු උදෙසා උපයෝගී කරගැනීමත් සිදුව ඇත. ඒ අතර ජලයේ ඇති වටිනාකම අවබෝධ කරදීමක්ද, ජල කළමනාකරණය හා තිරසාර සංවර්ධනයද සිදුවූ බව පෙනෙයි.

සුන්දර හා අසුන්දර ඉතිහාසයන් කැටිකරගත් පියගැට ලිං අතර රාණි රූප්බා බිසවගේ අනුවේදනීය කතාවද ලියවී ඇත. අහමදාබාදයට උතුරින් මෙම ලිඳ ඉදි කෙරෙමින් පවතින අතරතුර සිදුවූ මුස්ලිම් ආක්‍රමණ හේතුවෙන් රණ වීර් සින්ග් රජු මරා දැමුණි. රජතුමා මියයාමෙන් පසු තම අත පැතූ මුස්ලිම් රජු ලවාම ඒ වනවිට ඉදිකෙරෙමින් පැවතුනු ලිඳ නිමකරවා, එය පරික්ෂා කරන අයුරින් ඉහල මාලයටම ගිය සුරූපී බිසව, අඩලාජ් නම් වන ලිඳටම  පැන දිවි තොර කරගත්තාය. ඉන්පසු සාමාන්‍ය මිනිසුන්ගේ අයිතියට පැවරු මෙහි  බිත්තිවල එම ආදර කතාව අත්‍යාලංකාර පද්‍ය අයුරින් කැටයම් කර තිබේ.

රාජස්ථානයේ ෂපුරා පඩිපෙල් ලිඳ 
වසර දහස් ගණනක් තිස්සේ වයඹ දිග ඉන්දියාවේ උසස් ඉන්දීය  සම්ප්‍රදායික සංස්කෘතිකාංගයක් ලෙසින් පියගැට පොකුණු දහස් ගණනක් නිර්මාණය වී ඇතත් එයින් වැඩි ප්‍රමාණයක් දැනට භාවිතා කල නොහැකි මට්ටමේ ඇත. නොසලකා හැරිම නිසා වියලි ගිය ලිං හැරුණු විට, කර්මාන්ත සඳහා භූගත ජලය යොදාගැනීම නිසා ජල මට්ටම් පහත වැටීමත්,  දැනට පවතින ජල මට්ටමට ඉහලින් ලිං පිහිටීමත් නිසා සිඳී ගිය අවස්ථාද දක්නට ඇත. මේ ප්‍රදේශවල පසුගිය කාල වකවානුවේ ඇතිවූ දරුණු නියඟ තත්වයන්ද මෙම විනාශ තීව්‍ර කර තිබේ.
වසර 5000ක් පැරණි Dholavira ලිඳේ නටබුන් 
ප්‍රතිසංස්කරණය ගැන අවධානයක් නොයෙදවීම නිසා විනාශයට පත්වූ ඒවා මෙන්ම වටිනාකම හා අගය නොදැන අවභාවිතය නිසා වැනසෙමින් පවතින ලිං ද ඇත.

විදෙශිකයන්ගේ දැඩි අවධානයක් යොමුවෙමින් පවතින ගුජරාට් ප්‍රාන්තයේ ඇති පියගැට පොකුණු සංරක්ෂණය කිරීමේ වැඩ සටහන් වර්තමානයේ ක්‍රියාත්මකයි. ප්‍රාන්තය පුරා ඇති පොකුණු නැවත පිළිසකර කිරීමට විවිධ සටහන් දියත් වෙමින් පවතී.



පටන්වල ඇති ඇති සුක්ෂ්ම් කැටයම් 500 කින් සමන්විත, ජලයෙන් යට ඇති තට්ටු දෙකත් ඇතුළුව තට්ටු නමයකින් සමන්විත  Rani ki vav හෙවත් රැජිනගේ පොකුණ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙසද නම් කර ඇත. 11වන සියවසේ උදයමති රැජින විසින් ඉදි කරවන ලද මෙය 13වන සියවසේ ගංවතුරකට හසු වුවත් 1960දී නැවත ප්‍රතිස්ථාපනය කරන ලදී. ඉතා විශාල හා සියලු සම්ප්‍රදායික මෝගල් හා ඉන්දීය මනස්කාන්ත සියුම් කලා ශිල්පයන්ගෙන් සමන්විත සුවිසල් පොකුණ මෙම විඩියෝවෙන් නරඹන්න.


මානව වර්ගයාගේ පැවැත්මට ජලයේ ඇති වටිනාකම නොමදව වටහා දෙන මෙම සුවිශේෂ කලා නිර්මාණ සමුහය, වසර සිය දහස් ගණනක ගෘහ නිර්මාණ ශිල්පයේ විශ්මය දක්වන අතර ඓතිහාසික ශිෂ්ඨාචාරයන්හි කලාත්මක ශිල්පිය දක්ෂතාද රමණියව පෙන්නුම් කරදෙයි.

උදව්:
www.ancient-origins.net/history/beautiful-utilitarian-stepwells-india-are-danger-becoming-extinct-
https://indianexpress.com/article/cities/mumbai
https://www.hampionline.in/city-guide/stepped-tank-in-hampi
www.travelplanet.in/down-the-steps-and-into-indian-history-top-10-stepwells
www.indianeagle.com/travelbeats/rani-ki-vav-the-queen-of-stepwells-in-india/
www.ancient-origins.net/history/

4 comments:

  1. හරිම රසවත් තොරතුරු ටිකක් නෙවෙයි හුඟක්!

    ඔයා 'ඇත් පොකුණ' බලලා තියෙනවද? මං දන්නේ නැහැ ඒකද මෙව්වාද වැඩිය පරණ කියලා නම්. නමුත් ඒකත්, ඊට වඩා කුඩා තව ළිං ගණනාවකුත් මෙවැනි පඩි පේළි සහිතව ඉදි කරලා තියෙනවා.

    ඇත් පොකුණ කොච්චර ලොකුද කියනවා නම් වර්තමාන ඔලිම්පික් පිහිනුම් තටාකයකට වැඩිය විශාලයිලු!

    ReplyDelete
    Replies
    1. ඇත් පොකුණ දැක්කම පුදුම හිතෙනවා අවුරුදු දහස් ගණනක් ගතවෙලත් ඉතිරිවෙලා තියන කොටස් අනුව ඒ කාලේ කොහොම තියෙන්න ඇතිද කියල. ලංකාවෙත් ඉන්දියාවේත් එකම කාල සීමාවක තමයි මේ තාක්ෂණ හා ගෘහ නිර්මාණ ශිල්ප භාවිතා වෙන්න ඇත්තේ. කුට්ටම් පොකුණ එහෙමත්.
      මේ ලිපිය ලියද්දි දැක්ක සමහර යුරෝපිය කලා ශිල්පින් විස්තර හොයන්න එද්දී ඉන්දියාවේ අයවත් දැනගෙන හිටියේ නැති පොකුණු තිබුනලු. මමත් මේක හොයන්න හිතුවේ ඉන්දියාවේ පදිංචි ලංකාවේ කෙනෙක් එයාගේ ගමේ තියන පොකුණ ගැන අහල තිබුණ දැකල.

      Delete







  2. it is the best website for all of us. it provides all types of software and apps which we need. you can visit this website.
    https://zzcrack.com/

    ReplyDelete