Sunday 28 April 2019

බිත්තර, හාවන් සහිත පාස්කු Easter

පාස්කු ගැන බොහෝ ශ්‍රී ලාංකිකයන් දන්නේ ක්‍රිස්තියානි ආගමිකයන්ගේ දුක් ප්‍රාප්තියකින් පසු එළඹෙන සතුට සලසන දිනයක් ලෙසයි. වසන්ත උදාව සමරන මාර්තු අප්‍රේල් සමයේ පැවැත්වෙන පාස්කු, ආගමික උත්සවයක් වුවත් එයට අඩංගු විවිධ චාරිත්‍ර ඊට පෙර සිට විවිධ ජාතින් විසින් අනුගමනය කරන ලද සිරිත්වලට සම්බන්ධ වීමක් දක්නට ලැබේ.  දෙවියන් වහන්සේගේ පුත්‍ර ජේසුස් වහන්සේ කුරුසිය මත දිවි පුදා, අඳුරේ ශක්තිය මැඩ නැවත ඉපදීම සංඛේතවත් කරන පාස්කු එසමයේ අනෙකුත් උත්සවවල තේමාවන්ට ඉතා මැනවින් ගැලපෙන නිසා එම උත්සව මාලාවන් සමග අතිපිහිතව ගමන් කිරීමක් නිරීක්ෂණය කල හැකිවේ.

නත්තල් දිනෙක උපත ලද මිත්‍රස් ගේ අනුගාමික පේගන්වරු  ජේසු උපතට බොහෝ පෙර සිට වසන්ත උදාව සමරති. දිවා රාත්‍රී කාල සමව ලැබෙන වසන්ත සමය ශුද්ධ වූ කාලයක් ලෙස ඔවුහු සැලකුහ. පසුකාලීනව ඔවුන් කාගේ දෙවියන් නිවැරදිදැයි ක්‍රිස්තියානුවන්  සමග අඩදබර කරගත් බව සඳහන්ය. ඊටත් පෙර ඉතිහාසයේ සුමේරියානු දෙවි ඉනන්නා නිරුවතින් එල්ලා මැරූ පසු නැවත උපත ලද බව කියවේ. දෙසැම්බර් 25 දිනක උපත ලද ඊජිප්තු ජාතික හොරස් මරණින් උපත ලද කථාව ඉපැරණිය. ග්‍රීක දෙවි සිබිල් ගේ ආදරවන්තයා වන ඇටිස් කන්‍යාවකගෙන් උපත ලබා මියයාමෙන් පසු වාර්ෂිකව උපත ලබන බව පැරණි ග්‍රීකයෝ ඇදහුහ.
පේගන්වරුන්ගේ  වසන්ත උදා සුර්ය උත්සවවලට අනුව මුල් සියවස්වල ක්‍රිස්තියානි පල්ලි sunrise services පැවැත්වූ බව කියවේ. "වසන්ත උත්සවවල තේමාව වන කටුක ශීතලෙන් මිදීම හා නව ජීවනය, ජේසුස් වහන්සේ දුක්ඛදායක මරණයෙන් පසු උත්ථානය වීම නිසි ලෙස ගැලපුණු හෙයින් පේගන්වරුන්ගේ උත්සව වලට මේවා ක්‍රමයෙන් සම්බන්ධ කල බවක් පෙනෙයි". සිඩ්නි විශ්ව විද්‍යාලයේ ආගමික අධ්‍යයන අංශයේ මහාචාර්ය කුසැක් කියයි.


ක්‍රි.ව. 325දී නිකෙසියා දෙවස්ථාන කවුන්සිලය විසින් පාස්කුව වසන්තය උදාවෙන් පසුව එන පළමු පුරහඳට පසු එළඹෙන ඉරිදාට පැවැත්විය යුතුයි තීරණය කෙළේය. එනිසා පාස්කුව, වසන්ත උදාව මෙන් නියමිත දිනකට සිමා නොවී මාර්තු 22 ත් අප්‍රේල් 25ත් අතර ඉරිදාවක යෙදෙන්නට විය.
පාස්කු යන වචනයට ආසන්න වචන මෙම දිනය උදෙසා බොහෝ රටවල භාවිතා වේ. ග්‍රීකයෝ Pascha ලෙසත්, ඉතාලි ජාතිකයෝ pasqua ලෙසත්, ප්‍රංශ ජාතිකයෝ paques ලෙසත්, ඩෙන්මාර්ක හා ස්වීඩන් ජාතිකයෝ paaske ලෙසත්, ස්පාඤ්ඤ ජාතිකයෝ pascua ලෙසත් මෙම දිනය හඳුන්වති. මෙය යුදෙව්වන් ගේ Passover (හිබ්රු භාෂාවෙන් pesakh) වචනයෙන් බිඳී ආ එකක් ලෙස සැලකේ. යුදෙව්වන් පාස්ඕවර් ලෙස සඳහන් කරන්නේ ක්‍රිස්තු උපතට වසර 1300 කට පෙර සිදුවූ මෝසේස්ගේ නයකත්වය යටතේ පැරණි ඊජිප්තුවෙන් යුදෙව්වන් වහල් බවින් නිදහස් වීමයි. දෙවියන් විසින් ඔවුනට විමුක්තිය ලබාදීම වෙනුවෙන් දින අටක් සමරන මෙම කාලය  මාර්තු මස (පෙර දින දර්ශනයේ වසරේ මුල්ම මස) යෙදී ඇත.
ඉංග්‍රීසි කතාකරන රටවල පාස්කු දිනය සඳහන් වෙන්නේ ඊස්ටර් ලෙසයි. අටවන සියවසේ විසු පුජකවරයෙක් වන බෙඩේ සඳහන් කරන අන්දමට උතුරු යුරෝපයේ සැක්සන්වරු  වසන්තයට හා නව්‍යතාවට අධිපති ලෙස සලකන ඊස්ටර් දෙවඟනගේ නම මෙලෙස යොදාගෙන ඇත. ජර්මන්  ජාතිකයන් භාවිතා කරන ඔස්ටර්න් නමද එම දෙවඟනම හඳුන්වන ඔස්ටාරා නම ඇසුරෙන් ලබා ගන්නට ඇතැයි සැලකේ.

ලංකාවේ බහුලව දක්නට නැතත්  පාස්කුව සමග බැඳුනු දෙයක් ලෙස වර්ණවත් බිත්තර යොදාගැනීම යුරෝපා හා ඇමරිකානු රටවල බහුලය. පේගන්වරු වසන්තයේ සරුබව හා බලාපොරොත්තුව දැනවීමට බිත්තර උපයෝගී කරගෙන ඇත. නව ජිවිතය සංඛේතවත් කිරීමට බාගෙට තම්බන ලද බිත්තරවල මොස්තර ඇඳ තෑගි කිරීම  පෝලන්තය, යුක්‍රේනය වැනි නැගෙනහිර යුරෝපා රටවල ඈත අතීතයේ සිටම සිදුවූ, දැනටත් පවතින චාරිත්‍රයකි. එවන් සිරිත් පාස්කුවට පහසුවෙන් අවශෝෂණය විය. දින හතකට පෙර අළු බදාදා සිට ජේසුස් වහන්සේ කුරුසියේ දිවිදුන් මහ සිකුරාදා දක්වා මස් හා මස්වලින් තැනූ අහර නොගන්නා බොහෝ ක්‍රිස්තු ලබ්ධිකයෝ පාස්කු දින පල්ලි ගොස් පැමිණීමෙන් පසු නැවත ජීවනය සංඛේතවත් කරමින් බිත්තර හා බිත්තර හැඩයට තැනූ චොකලට් අනුභව කරති. බොහෝ රටවල ප්‍රචලිතය. ජේසුන්ගේ සිරුර රඳවා තිබු ගුහාවේ ගල් සංඛේතවත් කිරිමට බිත්තර යොදාගන්න බවටද මතයක් ඇත.
බෑවුමක ඉහල සිට පහලට බිත්තර රෝල් කිරීම මෙම සමයේ ක්‍රීඩාවකි. දෙපස එකිනෙකට මුහුණ ලා සිටගෙන ප්‍රතිවාදියා විසින් එවන බිත්තරය බිත්තරයක් යැවීමෙන් කඩා දැමීමද විනෝද ක්‍රීඩාවක් ලෙස කරති.

හාවන් ඊස්ටර්  දෙවඟනගේ තවත් සංඛේතයකි. සීතලට ගුල් තුලට වී සිටි හාවන් මේ සමයට කුඩා පැටවුන් සමග පිටතට පැමිණේ. පුනර්ජීවනය දැක්වීමට එය කදිම අදහසකි.  1722 ජර්මන් ජාතික මහාචාර්යවරයෙක් ලියු පොතක හාවන් විසින් දරුවන්ට සොයාගන්නට ගෙවතුවල පාට කරන ලද බිත්තර සැඟවීම පිලිබඳ ජනප්‍රවාද ගැන සඳහන් වේ. ඒවාට අනුව ඊස්ටර් හාවන් (Easter bunny) පාස්කු දිනට පෙර දින කූඩයක වර්ණ බිත්තර හා සෙල්ලම් බඩු රැගෙන නිවෙස් අසල සඟවයි. පසුදින උදැසන අවදිවන දරුවෝ බිත්තර සොයාගැනීමේ තරගයක යෙදෙති. බයිබලයට සම්බන්ධ නොමැති මෙවැනි කතා ක්‍රීඩාවන් ලෙසින් දැන් පාස්කුවට ඉබේම ඇතුලත් වී ඇත.
19වන සියවසේ සිටම හාවන් හා බිත්තර පාස්කුව වානිජකරණයට යොදාගෙන ඇතිබව මහාචාර්ය කුසැක් පෙන්වාදෙයි. අලංකාර බිත්තර හා සුරතල් හාවන්ගේ පින්තුර සහිත කාඩ්පත් කරලියට පැමිණ ඇත. කෑමට හැකි ආකාරයේ සීනි හාවන් 19වන සියවසේ ජර්මනියේ නිපදවී ඇත. එංගලන්තයේ චොකලට් සමාගම් චොකලට් හාවන් සහ චොකලට්වලින් තැනූ බිත්තර ආකෘති නිපදවීම ඇරඹුහ.
පාස්කු දිනට පසුදින Easter Monday ලෙස නිවාඩු දිනයක් වන බොහෝ රටවල එම දිනය ක්‍රීඩා හා තරග පැවැත්වෙන මිනිසුන් එකතු වන ප්‍රීතිමත් දිනයක් බවට පත්ව ඇත. වසන්තය වෙනුවට සරත් සමය ලබන දකුණු අර්ධගෝලයේ රටවල් පවා වසන්ත සංඛේත සහිත පාස්කු සමරනු පෙනේ.  14 වන සියවසේ සිට 17 වන සියවස දක්වා ජනප්‍රිය වුනු පාස්කු කැරොල් ගායනා හා නැටුම් ක්‍රමයෙන් වියැකී ගියත් වානිජ්‍ය ලෙස යොදාගත හැකි දේ   බිත්තර ගස් දක්වාම පැතිරීමක් දක්නට ඇත.

බොහෝ රටවල් පසුගිය සතියේ පාස්කු සැමරුම් සිදුකළත් ඔතොඩොක්ස් ක්‍රිස්තියානි ලබ්ධිකයන් එය සිහිපත් කරන්නේ මෙම සතියේයි. දෙවියන් වහන්සේ මුලින්ම ශුභාරංචිය ගෙනෙන ලද්දේ තමන්ට බව විශ්වාස කරන ග්‍රීක, මැද පෙරදිග හා රුසියන් සම්භවයක් ඇති මොවුහු දුක් ප්‍රාප්තිය, උත්ථානය මෙන්ම හාවන් හා බිත්තරද ඇතුළු අනෙක් සියලුම අංගයන් හා එකඟ වුවද, දිනය සතියකින් වෙනස්ව සමරති.

උදව්:
Julian Fox, Festivals- Easter
Jean Cooke, Projects for Easter
www.theguardian.com/commentisfree/
sydney.edu.au/news-opinion/news/2017/04/13/origins-of-easter
redoubtnews.com/2017/03/easter-eggs-bunnies-resurrection

Friday 19 April 2019

ගූගල් ඩූඩල් අප්‍රේල් 10: කළු කුහරයේ ප්‍රථම ඡායාරුපය

කළු කුහර ගැන නොයෙකුත් දේ අසා තිබුණද මුල් වරට කළු කුහරයක සැබෑ ඡායාරුපයක් ගැනීමට විද්‍යාඥයන්ට හැකිවීම ජයග්‍රහණයක්. මිට වසර දෙකකට පෙර රේඩියෝ දුරේක්ෂ මගින් ගත් දත්ත විශ්ලේෂණය කර මාධ්‍යයට නිකුත් කල පළමු සේයාරුවයි අද ගූගල් ඩූඩලයට හේතු පාදක වෙන්නේ. එම ඡායාරූපය හා විස්තර අද දවසේ ලොව පුරා විද්‍යා ජර්නලවල ප්‍රසිද්ධ වුණා.
ලෝක ඡායාරුප ඉතිහාසයේ විප්ලවීය වෙනසක් කල මේ සේයාරුව ගැනීමට ගුවන්විදුලි තරංග රැස් කරන දුරේක්ෂ ජාල අටක් භාවිතා වූ අතර තාරකා විද්‍යාඥයන්, භෞතික විද්‍යාඥයින්, ගණිතඥයන්, ඉංජිනේරුවන්  200 දෙනෙක්ගේ පමණ දායකත්වයක් ඇතුලත්. සේයාරුවට ලක්වූ කළු කුහරය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන ට්‍රිලියන 300කට ඇතින් (ආලෝක වර්ෂ 55) පිහිටි M87 ලෙස නම් කළ මන්දාකිනියක පිහිටි, පෘථිවිය මෙන් මිලියන 3.3ක් විශාල එකකි. එහි ස්කන්ධය සුර්යයාගේ ස්කන්ධය මෙන් බිලියන 6.5 ගුණයකි.

කළු කුහරයක් කියන්නේ කුමක්ද?
අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදයේදී පුරෝකථනය කළ පරිදි කළු කුහරයක් යනු කිසිදු වස්තුවකට මග හැරිය නොහැකි අවකාශ ක්ෂේත්‍රයකි.  කුහරයක් ලෙස හැඳින්වුවද එය හිස් අවකාශයක් නොවන අතර, ද්‍රව්‍ය අතිවිශල ප්‍රමාණයක්, කුඩා ක්ෂේත්‍රයක ඝනකමට ඇසිරි ඇති නිසා එයින් අධිකතර ගුරුත්වාකර්ෂණ බලයක් ඇතිකරයි. මෙය වටා event of horizon : සිද්ධි ක්ෂිතිජ  ලෙස හැඳින්වෙන ක්ෂේත්‍රයක් ඇති අතර  එම සිමාවෙන් ඇතුලතට යන සියල්ල,  නැවත පැමිණීමක් නැති ලෙස කුහරය විසින් උරාගනියි. ඉතා අධික ගුරුත්වාකර්ෂණය හේතුවෙන් ආලෝකයට පවා පිටතට පැමිනිය නොහැකි නිසා එම ක්ෂේත්‍රය දැකගත හැකිවන්නේ කළු අඳුරක් ලෙසයි.
න්‍යාය ඉදිරිපත් කළමුත් මෙවැන්නක් ඇති බවට අයින්ස්ටයින් පවා සැක කළේය.
තාරකා ප්‍රමාණ කළු කුහරයක් ඇතිවන්නේ ස්කන්ධය වැඩි තාරුකාවක් පිපිරීමට ලක්වීමෙන් වුවද නිරීක්ෂණයට ලක්වූ  ආකාර විශාල ප්‍රමාණයේ කළු කුහර සැදෙන්නේ කෙසේදැයි නිශ්චිත නැත. මන්දාකිණි ගැටුම් මගින් බිහිවන බව එක මතයකි.
කළු කුහරයක් සේයාරුවකට නගා පරික්ෂා කළයුතු බවට මුලින්ම මහාචාර්ය Heino Falcke අදහසක් ඉදිරිපත් කලේ ඔහු PhD සිසුවෙක්ව සිටි 1993 දිය.  එය යථාර්තයක් වෙතැයි එකල කිසිවෙක් සිතුවේ නැත. ඔහුගේ අදහස වුයේ විවිධ තරංග ආයාමයන්ගෙන් යුක්ත ආලෝක විමෝචක රැසක් මගින් එය පෘථිවියේ තිබෙන දුරේක්ෂ මගින් හඳුනාගැනීමට තරම් ප්‍රබල වනු ඇති බවයි. ඔහු විසින් 1973දී කියවූ විද්‍යාත්මක පත්‍රිකාවක සඳහන්ව තිබුණේ කළු කුහරයක ඇති අතිවිශාල ගුරුත්වාකර්ෂණය නිසා එය තිබෙනවාට වඩා 2.5 ගුණයක් විශාලව පෙනෙනු ඇති බවයි.
එහෙත් ආලෝක කිරණ මගින් එතරම් දුරක පිහිටි දෙයක සේයාරූ ගැනීම ප්‍රයෝගික නැත. මේ නිසා රේඩියෝ තරංග ගමන් නිරීක්ෂණය යොදාගැනීම සිදුවිය.
කළු කුහරයක ඡායාරුප ලබාගැනීමේ අදහස ක්‍රියාත්මක කිරීම සඳහා ඩොලර් මිලියන 40ක් වැය කරමින් සිදුකළ ව්‍යාපෘතිය නම් කළේද Event Horizon නමින්.
චිලියෙහි පිහිටවූ ALMA දුරේක්ෂ ජාලය 
මෙම විශාල කළු කුහරය ඡායාරුප ගතකිරීමට තරම ප්‍රබල තනි දුරේක්ෂයක් නිපදවී නැති නිසා ලෝකයේ ස්ථාන අටක ස්ථාපනය කරන ලද අති ප්‍රබල රේඩියෝ දුරේක්ෂ ජාලයන් උපයෝගී කරගැනුනි. අති දීර්ඝ interformatory නම් තාක්ෂණයක් මගින් මගින් එකම වෙලාවක සියලු දුරේක්ෂ මගින් රේඩියෝ තරංග දැකගත හැකිය. මෙම ජාලය එක රේඩියෝ තැටියක් ලෙස සැලකුවහොත් එය පෘථිවිය තරම් විශාලය. දුරේක්ෂ ජාලය මගින් 2017 මාර්තු අග හා අප්‍රේල් මස දින දහයක් එක දිගට කළු කුහරය අවට ඇති ring of fire වෙතින් ලබා ගන්නා ලද රේඩියෝ තරංග මගින් දත්ත ලබාගැනුනි. දුරේක්ෂ දෙකක් එක ඉලක්කයක් වෙත එල්ල කර, එමගින් එන රේඩියෝ තරංග දුරේක්ෂ වෙත එද්දී එකිනෙක හා ක්‍රියාකරන රටාව දත්ත ලෙස ලබාගැනුනි.   ඒ දිනවල කාලගුණයෙන්  මේ කාර්යයට සහයක් ලැබුණු බව කියැවේ. මෙසේ දුරේක්ෂ ජාලයෙන් ලබාගත් මුළු දත්ත ප්‍රමාණය පෙටබයිට් 5ක් විය.

දුරේක්ශවලින් ලබාගත් ටෙරාබයිට් සියගණනක් දත්ත මධ්‍යස්ථාන වෙත යැවීමට අන්තර්ජාලය උපයෝගී කරගත නොහැකි විය. දත්ත දෘඪ තැටිවල ගබඩා කෙරුණි. දක්ෂිණ ධ්‍රැවයේ පිහිටෙවු දුරේක්ෂ දත්ත ගුවන් මගින් ප්‍රවාහනයට තවත් මාස හයක් ගතවිය. අසීරු කාර්යය වුයේ දහස් ගණන් හාර්ඩ් ඩිස්ක්වල ගබඩා කළ මෙම අතිවිශාල Event Horizon Telescope දත්ත  විශ්ලේෂණයෙන් ඡායාරුපයක් ලබාගැනීමයි. දත්ත ගබඩා කළ දෘඪ තැටි ඇමරිකා එක්සත් ජනපදයේ MIT Haystack Observatory හා ජර්මනියේ Max Planck Institute of Radio Astronomy වෙත ගෙනගියේය.  ඒවා යැවුයේ සාමාන්‍ය තැපෑලෙනි. මධ්‍යස්ථානවල ඇති සුපිරි පරිගණක මගින් විශ්ලේෂණය සිදුකෙරිණි.  මේ සඳහා රටවල් 20 කට අයත් විද්වතුන් 200ක් පමණ දායකත්වය ලබාදී ඇත.
ටොන් බාගයක් පමණ බර හාඩ් ඩිස්ක්වල ගබඩා කල දත්ත ඡායාරුපයක් බවට පත්කිරීම මහත් අභියෝගයක් විය. ඒ සඳහා නව්‍ය උසස් අල්ගොරිතම් ක්‍රම අවශ්‍ය විය. මේ සඳහා විසදුමක් ගෙන ආවේ පරිගණක විද්‍යාඥවරියක වන MIT ආයතනයේ වැඩිදුර ඉගෙනුම ලබමින් සිටි කේටී බෞමාන්ය. ඇය විසින් EHT ජාලය මගින් රැස් කරගත් දත්ත එකට සම්බන්ධ කරන නව ඇල්ගොරිත්ම් ඉදිරිපත් කළාය. සංකීර්ණ අභ්‍යාස මාලාවක් ඔස්සේ අවසන් සේයාරුව තාක්ෂණ බින්නයක් නොවීමට අවශ්‍ය ගණිතමය විශ්ලේෂණ සිදුකිරීමට එය උපයෝගී කරගැනුණි.
මෙය මානව විද්‍යාවේ තවත් ඓතිහාසික පියවරක් පමණයි. අයින්ස්ටයින්ගේ තවත් න්‍යායක් සැබෑ වීමට අමතරව තවත් බොහෝ සොයාගැනීම් සිදුකරන්නට මෙය ඇරඹුමක් පමණයි.
කළු කුහරයෙන් එහාට:
අප සෞරග්‍රහ මණ්ඩලය අඩංගු ක්ෂිරපථයේ මැද ඇති Sagittarius A නම් කළු කුහරයේ සේයාරු ලබාගැනීම වඩා අසීරු බව කියවෙන්නේ එය කුඩා නිසා හා සිද්ධි සිතිජ ආලෝකය අඩු බැවිනි. එහෙත් මේ ක්‍රමයෙන් එයත් කිරීමට පවතින අවකාශ පැහැදිලිය.
සැබෑ සොයාගැනීම් ඇත්තේ කළු කුහරය තුළයි. ආලෝකයේ වේගයෙන් එය තුලට ඇදී නොපෙනී යන වායු හා අනෙකුත් අංශු පිළිබඳවයි. මේවා ද්‍රව්‍ය ගිලගැනීමක් පමණක් නොකරන බවත් ආපසු වැමෑරීමක්ද කරනු ඇති බවට විසල් කළු කුහර ආලෝක වර්ෂ බිලියන ගණනක් විශාල දීප්තිමත් ප්ලාස්මා ජෙට් නිපදවීම නිරීක්ෂණයෙන් පෙනී යයි. M87 වැනි අති දැවැන්ත කළු කුහර අධ්‍යනයෙන් මන්දාකිනි පරිණාමය හා වර්ධනය වන ආකාරය පිලිබඳ අදහසක් ලබාගත හැකිවෙතැයි බලාපොරොත්තු වේ.
"මන්දාකිණි පරිණාමය ගැන අවබෝධ කරගැනීම වැදගත්. මුල්ම කළු කුහර සිට තාරකා සැදීම හා පසුව ජිවය සැදීම විසල් කතාවක්" තාරකා භෞතික විද්‍යාඥ තෝමස් ක්රිච්බෞම් කියයි. " ඒ කතාවේ කොටස් සම්පුර්ණ කරගන්න අපි කළු කුහර ජෙට් ගැන අධ්‍යයන කරලා දායකත්වය දෙනවා" 

උදව්:
නේරංජන විජේසිංහ