Tuesday 1 January 2019

ගුගල් දින වැදගත්කම: ජනවාරි 1

දිනපතා පාහේ ගූගල් මුල් පිටුවේ එම දිනයට සම්බන්ධ යම් විශේෂ දෙයක් පලවෙනවා. දිනය පිළිබඳව හෝ ඒ දිනයට අදාළ විශේෂ දෙයක්, තැනැත්තෙක් පිළිබඳව. මට හිතුන දිනපතා මේ පලවෙන දෙය සිංහලට පරිවර්තනය කරලා ලියන්න.
මෙය දිනපතා පාහේ පලවෙන නිසා වැඩි විස්තර හොයන්න, අතුරු කතා එකතු කරන්න හැමදාම ඉඩක් ලැබෙන එකක් නැහැ. කෙටියෙන් සරලව හෝ ලියන්න බලාපොරොත්තු වෙනවා. සමහරවිට දින දෙකක් හෝ තුනක් එකවර ලියවෙන අවස්ථා එන්නත් පුළුවන්. මෙය ලියන්නට වන්නේ Google.ca පිටුවට අනුවයි.

ජනවාරි 1
නව ග්‍රෙගරියන්  දින දර්ශනයේ මෙන්ම ජුලියන් දින දර්ශනයේ වසරේ මුල්ම දිනයයි, ජනවාරි 1. ජුලියන් දින දසුනේ මෙම දිනය ආරම්භය, මුල පිරීමට අධිපති  ජානුස් දෙවියන් වෙනුවෙන් වෙන්කර ඇත. මුළු ජනවාරි මාසය නම්කර ඇත්තේද එම දෙවියන් වෙනුවෙනුයි.
ජුලියන් දින දසුනට පෙර තිබු ආදි මාස දහයේ රෝම වසර ආරම්භ වුනේ මාර්තු පලවෙනිදායින්. ලතින් බසින් සෙප්ට්-7, ඔක්ට් -8 ආදී ලෙස නිසා මාර්තු සිට 7-10 දක්වා වූ මාස එම අංක නාමයන් සහිතව 7 වන මාසය සෙප්ටෙම්බර්, 8 වන මාසය ඔක්ටෝබර්, 9 වන මාසය නොවෙම්බර්, 10 වන මාසය ඩිසෙම්බර් අයුරින් හැඳින්විණි.
දින ගණන අනුව මාර්තු - දින 31, අප්‍රේල් දින 29, මැයි දින 31, ජූනි දින 29, ක්වින්ටිලිස් දින 31, සේක්ස්ටිලිස් දින 29, සෙප්ටෙම්බර් දින 29, ඔක්තෝබර් දින 31, නොවැම්බර් දින 29, දෙසැම්බර් දින 29.
දින 365ට අවශ්‍ය දින ගණන සම්පුර්ණ කිරීමට හිස් දින ගණනාවක් හා අන්තර මාස යොදා ගැනුනි.
Numa Pompilius 
වසර අගට ජනවාරි (දින 29) හා පෙබරවාරි (දින 28) මාස එකතු  කළේ ක්‍රි.පූ. 700 දී රෝමයේ දෙවන රජ වන නූමා පොම්පිලියස්  විසිනි. ක්‍රි. පූ. 153දී රෝමයේ උසස් බලධාරීහු නව වසර ආරම්භක දිනය මාර්තු සිට ජනවාරි වෙත ගෙනගියහ. මේ සියලු මාස හා දින චන්ද්‍රයා මුලික කරගෙන භාවිතා විය.
ක්‍රි.පූ. 45දී ජුලියස් සීසර් අධිරාජයා චන්ද්‍ර මාස දිනයන්හි ඇති වෙනස්කම් සලකා බලා පැරණි දින දර්ශණය වෙනස් කල බවට ආඥා කළේය. ඒ අනුව සූර්ය මාස සලකමින්  ජනවාරි පලමුවෙනිදායින් ආරම්භවෙන ජූලියන් දින දර්ශනය භාවිතය ආරම්භ විය. මෙය දින 30 හෝ 31 ඇති මාස 11 හා දින 28 ඇති මාසයක් වසර හතරකට වරක් දින 29 ඇති ලෙස වඩා නිවැරදි ලෙස සැලකුණි.  එහෙත් මධ්‍යතන යුරොපා සමයේ නැවත මේවා ඉවත්කර ක්‍රිස්තියානි දින අනුව ජේසු උපත ලද දෙසැම්බර් 25 නව වසර සැමරුනි.
නිශ්චිත සුර්යදින අනුගමනය කළ රටවල්ද විය. නිශ්චිත සුර්ය දින දර්ශනවලට වඩා ජුලියන් දින දර්ශනය වෙනස් වුයේ වසරකට මිනිත්තු 11 1/2කි.
බ්‍රිතාන්‍යය දිගටම ජුලියන් දින දසුන භාවිතා කල අතර, ප්‍රංශය, පෘතුගාලය, ජර්මනිය ආදී අනෙක් යුරෝපා රටවල් නිශ්චිත සුර්ය මාස අනුගමනය කළහ. මුලදී එතරම් වෙනසක් නොවුනත් සියවස් ගණනක් ගතවෙත්ම මෙම දින දසුන් අතර වෙනස දින 10ක් දක්වා වැඩිවිය. මෙම වෙනස සකස් කිරීම සඳහා ජුලියන් දින දසුනේ වූ වැරදි නිවැරදි කර XIII ග්‍රෙගරි පාප් වහන්සේ විසින් 1582 දී ග්‍රෙගරි දින දර්ශනය හඳුන්වා දුනි. මෙහිදී 1500, 1700 වැනි අගට බින්දුව එන වසර, හතරෙන් ඉතිරි නැතිව බෙදුනත් අධික අවුරුදු ලෙස නොගැනෙන බවත්, අගට බින්දු දෙකක් එන වසර 400න් ඉතිරි නැතිව බෙදුනහොත් පමණක් අධික අවුරුදු ලෙස ගැනෙන බවත් ප්‍රකාශයට පත්වීමෙන් ඇතිවන වෙනස අවම කරගැනුනි.
අද දක්වා ලොව පුරා බොහෝ රටවල භාවිතාවන මෙම ග්‍රෙගරියන් දින දර්ශනය සත්‍ය සුර්ය ගමනෙන් වෙනස් වන්නේ වසරකට තත්පර 26කි. එනම් මෙම දින දසුනත් සත්‍ය සුර්ය ගමනත් අතර දිනක වෙනසක් ලැබීමට වසර 3 323ක් ගතවේ.
කතෝලික ආගම අනුගමනය කරන රටවල් නව කැලැන්ඩරයට වහාම අනුගත වුහ.
ප්‍රොතෙස්තන්ත රටවල් නව දින දර්ශණය භාරගන්නට බොහෝ කල් ගත්හ. බ්‍රිතන්‍යය හා එහි යටත් විජිත 1752 තෙක්ම නව වසර ඇරඹුවේ මාර්තු මාසයෙයි.
ලෝකයේ අනෙක් රටවල් හා කටයුතු කිරීමේදී ඇති පහසුව සලකමින් බොහෝ රටවල් පසු කාලීනව මෙම දින දර්ශනය අනුගමනය කරන්නට හුරු වුවද, තවමත් තමන්ගේ සුපුරුදු නව වසර වෙනත් දිනවල සමරන ජාතීහු ලොව පුරා අඩුවක් නොමැතිව වාසය කරති.
උදාහරණ: චීන හා වියට්නාම නව වසර චන්ද්‍ර වර්ෂයේ මුල් දිනය - මෙය ජනවාරි 20 හා පෙබරවාරි 20 අතර දිනක සැමරේ.
පර්සියානු නව වසර - මාර්තු 21. ඉරාන ජාතිකයන්, මධ්‍ය ආසියානුවන් හා ක්රිමියනුවන් වසර දහස් ගණනක සිට සමරති.
රොෂ් හෂානා - යුදෙව් නව වසර. සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ දිනකට යෙදෙයි.
සෙලෙමේ ස බොසොතෝ - දකුණු අප්‍රිකා හා ලෙසොතෝ නව වසර. දක්ෂිණ අර්ධ ගෝලයට ශිශිර ඍතුව ඇරඹීමත්, අස්වනු නෙලා අවසන් වීමත් සමග අගෝස්තු පළමුවෙනිදා.

බොහෝ රටවල සිරිත්ද අනුගමනය කරමින් වෙඩි හඬ පතුරුවමින් අපි අද ඇරඹුයේ ග්‍රෙගෝරියන් දින දර්ශනයේ 2019 ජනවාරි පලමුවෙනිදායි.

උදව්:
Google.ca
www.infoplease.com/curious-history-gregorian-calendar
www.infoplease.com/calendar-holidays/major-holidays/history-new-year
en.wikipedia.org/wiki/New_Year's_Day

2 comments:

  1. වටිනා උත්සාහයක්. සිංහලයට පෙරලා නැවත පළ කළයුතුය යන වටිනා සිතිවිල්ල මුලින්ම ඇති වුනේද එය ක්‍රියාත්මක කරන්නට පළමු පියවර තැබුවේද ඔබයි. ඒ වෙනුවෙන් ස්තුතිය හා සුබපැතුම් පිරිනමමි

    ReplyDelete
    Replies
    1. පළමු ලිපිය පලකළ වහාම දිරිමත් කිරීම ගැන ගුණසිංහ මහත්තයට ස්තුතියි.

      Delete