Sunday 13 January 2019

පැනගිය සවුදි තරුණ තරුණියන්ගේ ඉරණම

ගැහැණු වීම නිසාම නොයෙක් හිංසා පීඩා විඳින්නට සිදුවන සවුදි අරාබියෙන් පැනගොස් ඕස්ට්‍රේලියාවේ රැකවරණ ඉල්ලා, නොලැබුනෙන් කැනඩාවේ දේශපාලන රැකවරණ ලබා කැනඩාවට පැමිණි 18 හැවිරිදි රහාෆ් මොහොමඩ් අල් ක්වනන් ගැන මේ දිනවල ප්‍රවෘත්ති පිරි ඉතිරි යයි.

රහෆ් බැංකොක් ගුවන්තොටේ  කාමරය තුළ 
කතාව කෙටියෙන් කිවහොත් රහාෆ් සවුදි අරාබියේ වෙසෙන තම පවුලෙන් මිදී බැංකොක් වෙත ගොස් බැංකොක් ගුවන් තොටුපලේ කාමරයක අගුලු ලාගෙන තමන්ට පවුලෙන් විවාහයකට බල කරන බවත්, ඒ සඳහා කැමැත්ත ගැනීමට තමාට ශාරීරික වද හිංසා කරන බවත් කියා නැවත සවුදි අරාබිය වෙත යාම ප්‍රතික්ෂේප කළාය. එම චෝදනා පිළිනොගත් ඒ වනවිටත් බැංකොක් වෙත පැමිණ සිටි රහෆ් ගේ පියා හා සහෝදරයා ඇයව රැගෙන යාමට තැත් කළත් රහෆ් ට්විටර් පණිවිඩයකින් පැවසුයේ සවුදි තනාපති කාර්යාලය නැවත රටට යන්නට බල කර සිටින නිසා තත්වය වඩා භයානක වන බවයි. නැවත ගියහොත් පවුලේ අය තමාව මරා දමනු ඇති බවට ඇය බිය පලකලාය.
ට්විටර් ඔස්සේ මෙම පණිවුඩය දැකගත් අය මගින් මෙය මාධ්‍ය තුලින් ප්‍රචාරය විය.
රහෆ් තමන්ව බේරගන්න ලෙස ලොවටම ආයාචනය කරමින් ඕස්ට්‍රේලියාවේ රැකවරණ පැතුවත්, සරණාගත ප්‍රශ්ණය උග්‍ර වී සිටින එම රට සරණාගත ඉල්ලීම් සලකා බැලීමට සැහෙන කාලයක් ගතවන බව දන්වා සිටියේය. ලොව පුරා මාධ්‍යයන්ගේ මෙම සිද්ධියට නොසිතු තරම්  ප්‍රචාරයක් ලැබීමත්  සමග සරණාගතයන් පිළිබඳව සහනශීලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන කැනඩා අගමැති ඇගේ ආයාචනය පිළිගෙන ඇයට එම රටට පැමිණීමට අවසර දුන්නාය. කොරියාව හරහා කැනඩාවට පැමිණි ඇයව කැනඩා විදේශ ඇමතිනිය විසින් හරසරින් පිළිගත්තාය.

මෙලෙස සවුදි අරාබියේ සිට රැකවරණ පතා පැනගිය පළමුවැන්නා රහාෆ් නොවේ. අනෙක් අයගේ ඉරණම කුමක් වීද ?
2017 අප්‍රේල් මස සවුදියෙන් ගැලවී පිලිපීනයේ මැනිලා ගුවන් තොටුපලට පැමිණි ඩිනා අලි ලස්ලුම් නම් 24 හැවිරිදි කාන්තාව මෙලෙසම රැකවරණ ඉල්ලා සිටියාය. රහාෆ්ට මෙන් සමාජ ජාල හෝ මාධ්‍යයන්ගෙන් සහය ලබා ගැනීමට වාසනාවක් නොවූ ඇය කෑ ගසමින් දැඩි ලෙස විරෝධය පල කරද්දී බලයෙන් ගුවන් යානයකට පටවාගෙන නැවත ගෙන ගියහ. ඉන්පසු ඇයට සිදුවූ දෙයක් කිසිවෙක් නොදනී.

වසර හයක් තිස්සේ සැලසුම් කර තම සොයුරිය සමග සුක්ෂම ලෙස සවුදියෙන් පිටවී  කැනඩාවට පැමිණ ජිවත්වන සල්වා අල්සරණි නම් 24 හැවිරිදි උපාධිධාරිණිය ගේ කතාව අදහන්නට නොහැකි වික්‍රමයකි.  උපාධියෙන් පසු නිවසටම වී කල් ගෙවමින් පිරිමින් උතුම් යන වදන් අසමින්, ආගම අදහමින්  සිටීම තිත්ත  වූ ඇය බොහෝ ඉවසිලිවන්තව හැඳුනුම්පතත් ගුවන් බලපත්‍රයත් ලබාගත්තාය. එහෙත් ඒවා සඟවා තිබුනේ සොයුරාගේ නිවසේයි. නිවසේ අය නින්දේ සිටි අවස්ථාවක සොයුරාගේ ගෙදරට හොර රහසේ ගොස් ඒවා අතට ගත් ඇය කෙටි කලක් කල රැකියාවෙන් ඉතිරිකළ මුදලෙන් ජර්මනියට ගුවන් ටිකට් ලබා ගත්තාය.
පියාගේ ජංගම දුරකථනය ද රැගෙන ඔහුගේ ගිණුමට ඇතුළු වී තමාටත් නැගනියටත් රටින් පිටව යාමට අවසර දුන් බවට එහි සඳහන් කළාය. සවුදියේ ගැහැණු අයට පිරිමි අයගේ අවසරයකින් තොරව ගමන් බිමන් යාම තහනම් නිසා එය කරන්නට සිදුවූ බව ඇය පවසයි.
මේ කුමන හෝ අවස්ථාවකදී කිසිවෙක්ට හෝ  හසුවී නම් ජිවිතයෙන් වුවද වන්දි ගෙවිමට සිදුවන බව දැනදැනම අවදානම ගත්තේ නිදහසේ ජීවත්වීමට ඇති ආශාව නිසා බව සල්වා කියයි. රටින් පිටව යන දින රාත්‍රියේ ටැක්සියක් ගෙන්වා ගත් ඔවුහු ගුවන් තොටුපලට පැමිණියහ. රියදුරන් විදේශිකයන් නිසා එය අපහසුවක් නොවූ බව සල්වා කියයි. ජර්මනියට පැමිණ නීතිඥවරයෙක්ගේ මාර්ගයෙන් කැනඩාවේ සරණාගත වීසා ලබාගත් ඇය දැන් නැගණිය සමග නිදහස් සාමකාමී ජිවිතයක් ගෙවන්නීය.

සවුදි රජයට එරෙහිව සාමකාමී විරෝධතා දැක්වූ යුරෝපයේ ජීවත්වූ සවුදි රජ කුමරුවන් කිහිපදෙනෙක් ගේ අතුරුදහන් වීම ගැන වාර්තා වෙයි.
2002 දී සුල්තාන් අබ්දුල් අසිස් කුමරු (මැද සිටින) ස්විට්සර්ලන්තයට පැමිණියේ  රෝගී තත්වයකට ප්‍රතිකාර ලබා ගැනීමටයි. ඔහු ජිනීවාහි සිටින අතර පැවැත්වූ සම්මුඛ සාකච්ඡා වලදී සෞදියේ පාලනය හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන විවේචනය කර ඇත. 2003 ජුනි මස 12 දා කුමරු තම මාමා වන එකල රජකළ ෆාහඩ් රජුගේ පුතකු වූ ෆාහඩ් කුමරුට  අයත් මාලිගයට ගියේ උදේ ආහාරය ගැනීම  සඳහා ලැබුණු ඇරයුමක් අනුවයි.
සවුදියේ පාලනය කෙරෙහි සුල්තාන් අබ්දුල් අසිස් කුමරු කර ඇති විවේචන ගැන විසඳුමක් ලබාදීමට සවුදියටපැමිණෙන ලෙස ඉල්ලීමක් කෙරුණි. කුමරු එය ප්‍රතික්ෂේප කල බවත් දුරකතන ඇමතුමක් ලබා ගැනීමට අවශ්‍ය බව කියා ඉවත්වූ මොහොතකින් මුහුණු ආවරණ පළඳි පුද්ගලයන් පස් දෙනෙක් පැමිණ කුමරුට පහර දී, මාංචු දමා ගෙලට සිරින්ජයක් ඇතුල් කර සිහි මුර්ඡා කර ඇති බවත් කියවේ. ඒ මොහොතේම ජිනීවා ගුවන් තොටුපලේ නවතා තිබු එයා ඇම්බියුලන්ස් ගුවන් යානයකට ඔහුව ඇතුළුකර ගෙනගොස් ඇත.
කුමරුගේ සන්නිවේදන නිලධාරී එඩි ෆෙරෙයිරා පවසන අන්දමට ඔවුහු කුමරු පැමිණෙන තෙක් හෝටලයේ බලාසිට ඇති අතර, කුමරුගේ ආරක්ෂක අංශයෙන්ද කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. දහවල හෝටලයේ කළමනාකරු සමග පැමිණි ස්විට්සර්ලන්තයේ  සවුදි තානාපති දන්වා ඇත්තේ කුමරු රියාද් වෙත ගිය බවත්, දැන් ඔවුන්ගේ සේවය අනවශ්‍ය නිසා හෝටලයෙන් ඉවත්විය යුතු බවත්ය.
ඒ වනවිට ජිනීවාහි මානව හිම්කම් කොමිසමේ නායකත්වයේ සිටියේ සවුදි අරාබියයි. ස්විට්සර්ලන්ත රජය හෝ වෙනත් කිසිදු බටහිර සංවිධානයක් පැහැරගෙන ගිය කුමරු සොයාගැනීම හෝ ඔහු ගැන තොරතුරු ලබාගැනීම පිලිබඳ මේ වනතෙක් කිසිවක් කර නැත.

ඊළඟ පැහැර ගැනීම වාර්තා වන්නේ 2015දිය. බින් බන්ඩර් කුමරු රාජකීය පවුල ආරක්ෂා කරගැනීමේ යෙදුනු පොලිසියේ මේජර්වරයෙක් විය. රාජකීය උරුමය පිලිබඳ පවුලේ ගැටළුවක් නිසා ඔහුව බන්ධනාගාර ගත කෙරුණි. ඉන් නිදහස් වූ වහාම ඔහු පැරිසියට ගියේය. 2012 සිටම කුමරු යු ටියුබ් වීඩියෝ නිකුත් කරමින් සවුදි පාලනයේ ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බව කිවේය.
ඔහුටද දිගටම සුල්තාන් කුමරුට මෙන්ම බලපෑම් කරමින් සවුදි අරාබියට එන ලෙස ඉල්ලීම් කර ඇත. වරක් අභ්‍යන්තර කටයුතු පිලිබඳ උප ඇමති සමග ඇතිවූ දුරකථන සාකච්ඡා ඔහු අන්තර්ජාලයට මුදා හැරියේය.
"අපි ඔබව අල්ලන්නේවත් නැහැ. මම ඔයාගේ සහෝදරයනේ. ආපහු එනතෙක් බලා ඉන්නේ" උප ඇමති කියයි.
" එහෙනම් මට එවූ ලියුමේ තිබුනේ සුල්තාන් වගේ ඇදගෙන යනවා කියල ?"
2015 ජුලි වනතෙක්ම කුමරු වීඩියෝ ප්‍රසිද්ධ කළේය. එකවරම වීඩියෝ නැවතුනු අතර කුමරුගෙන් තොරතුරක් නොවීය. ඔහුගේ සමීප මිතුරෙක් වන අල් කලාෆ් කියා තිබුනේ ඔහු මොරෝක්කොවට ගිය අවස්ථාවක මොරොක්කෝ රජයේ උදව් ඇතිව අත්  අඩංගුවට ගෙන සවුදියට ගෙනගොස් ඇති බවට සැක කෙරෙන බවයි. සිදුවූ දෙයක් නිශ්චිතව අද වනතෙක් නොදනී.

ඛලෙඩ් බින් ෆර්හාන් කුමරු 2013දී ජර්මනියට පලාගොස් සිටියේය. 2015 දී ඉතාලි රුසියන් සමාගමක් සමග වෙළඳ හමුවක් සඳහා රෝමයට යාම පිණිස පුද්ගලික ගුවන් යානයකට නැගී මුත් එය ගොඩ බැස්සේ රියාද් නගරයටයි. සවුදි ඔත්තු සේවාව සියල්ල සැලසුම් කර තිබුණි. දැන් ඔහු සිරබත් කයි.

2016 පෙබරවාරි මාසයේ සුල්තාන් බින් ටුර්කි කුමරු තම පෞද්ගලික සහයකයින් 20ක් සමග තම පියා මුණගැසීම සඳහා පැරිසියේ සිට ඊජිප්තුවේ කයිරෝ වෙත යමින් සිටියේය. යානය ගොඩ බැස්සුවේ රියාද් වෙතයි. ගමන්මග වෙනස් වූ බව දැනගත් වහාම කුමරා  විරෝධය දැක්වුවත් යානයේ ගුවන් සේවකයන් මෙන් පෙනී සිටි අය ආයුධ පෙන්වා ඔහුව යටත් කරගත්හ. යානය ගොඩ බැස්වූ වහාම කාර් සහ හමුදා රථ යානය වටකරගත් අතර කුමරා කෑ ගසමින් විරෝධය දක්වමින් සිටියදීම අංකයක් නොමැති රථයක් වෙත ගෙන ගියේය. ගුවන් සේවකයන් හමුදාවේ අය බව පෙනී ගියේය. කුමරා කෑ ගසමින් සහයකයන්ට කිවේ ඔහු ඇතුළු සියලු දෙනාවම පැහැරගත් බව රටවලට දැනුම් දෙන ලෙසයි.
සියලුම සහයකයන්ගේ ගමන් බලපත් හා දුරකථන ඇතුළු ඉලෙක්ට්‍රොනික උපකරණ හමුදා භාරයට ගැනුනි.
දින තුනකට පසු යුරෝපා ජාතින්  දෙදෙනෙක්  සහිත කුමරා ගේ සහයකයින් නිදහස් කර එක පුද්ගලයා බැගින් ගුවන් යානයකට නංවා, අවසන් මොහොතේ ඔවුන්ගේ භාණ්ඩ ලබා දුනි. එහෙත් පැහැරගෙන යාම පිලිබඳ කිසිදු සාක්ෂියක් නැතිවන ලෙස සියලු ඡායාරුප මකා තිබුණි.
මේ කිසිදු පැහැරගැනීමක් ගැන සවුදි රජය හෝ වෙනත් රජයක් හෝ මානව හිමිකම් සංවිධානයක් හෝ මේ වනතෙක් කිසිවක් පවසා නැත.

සවුදියෙන් පිටමන් වී 2004 සිට ජර්මනියේ පුරවැසිබව ලබා ජිවත්වන ඛලෙඩ් කුමරු පසුගිය වසරේ උගුලකින් ගැලවුනේය. සවුදි රෙජීමය විවේචනයට ලක් කරන කුමරාට කයිරෝ හි සවුදි තානාපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස පැවසුයේ නෑදෑයෙක්ගෙන් ලැබෙන්නට ඇති 'මිලියන ගණනක' විශාල මුදලක් ලබාගැනීමටයි. " ඒක උගුලක් බව මට දැනුණා ".
ඉන් දින දෙකකට පසු 2018 ඔක්තෝබර් දෙවෙනිදා වාර්තා වුයේ ඇමරිකාවේ වොෂින්ටනයේ ජිවත්වන මාධ්‍යවේදියෙක් වන ජමාල් ඛශෝගී අතුරුදහන් වූ බවයි. සවුදි පාලනය විවේචනය කරමින් ලිපි ලියන ඔහු ඉස්තාන්බුල්හි සවුදි තානාපති කාර්යාලයට ගියේ විවාහය සඳහා අවශ්‍ය ලිය කියවිලි ලබා ගැනීමටයි. ඔහු නැවත පැමිණියේ නැත.
තමන්ට එරෙහි වන්නන් වෙත සවුදි තෙල් මුදලේ බලවත්කම පෙන්වන ආකාරය මෙම අතුරුදන්විමෙන් පැහැදිලිවේ.
"මටත් තව පොඩ්ඩෙන් ඛශෝගී ට වෙච්ච දේ තමයි වෙන්නේ. අනිත් අයට පාඩමක් උගන්වන්නත් එක්ක මාව අමානුෂික විදියට මරයි " 41 හැවිරිදි ඛලේඩ් කුමරු පවසයි. වසර ගණනාවක සිටම ජර්මනියේ රාජ්‍ය ආරක්ෂක කාර්යාලය කුමරා සමග සමීපව කටයුතු කරයි. නීතිඥයන් හා පොලිසිය නිතර සෙවිල්ලේ සිටිති. එහෙත් තමාට ඇති මරණ තර්ජන හා උගුල් අඩුවක් නොමැති බව කුමරා දනියි.

සවුදි රාජධානිය පිලිබඳ නිරීක්ෂකයන් පවසන්නේ 2015දී සලමන් රජු බලයට පැමිණීමත් සමග මර්දනය ඉහලම තලයකට පැමිණ ඇති බවයි.

උදව්:
සුජීව කොකාවල
https://www.dailymail.co.uk/news/article-6584661/
www.news.com.au/national/saudi-teenager-claims-she-has-been-granted-asylum-in-australia
https://www.bbc.com/news/world-middle-east-46818237
https://www.bbc.com/news/magazine-4092
www.theguardian.com/world/2017/aug/15/saudi-arabia-new-details-of-dissident-princes-abductions
https://www.dailysabah.com/world/2018/10/16/saudi-prince-exiled-in-germany

6 comments:

  1. සිංහලෙන් තවත් වටිනා විචාරයක් සමග දැනුම් සම්භාරයක් ඔබේ මෙහෙවරට ස්තුතියි බුද්ධිනී

    ReplyDelete
    Replies
    1. හැමෝම ලඟදි සිදුවෙච්ච එකම කතාවයිනේ දන්නේ. ඒ නිසා ලියන්න හිතුනේ, ස්තුතියි ගුණසිංහ මහතා

      Delete
  2. එතකොට කැනඩාවට එන සෑම සරණාගතයාම රටේ විදේශ ඇමති එයාපෝට් ඇවිත් පිළිගන්නවද?
    ෂාහ් හරිම හොඳයිනේ. හැබැයි එයාට වෙන වැඩ කරන්න නං වෙලාවක් නැතුව ඇති නේද

    ReplyDelete
    Replies
    1. මේක විශේෂ කේස් එකක් හින්ද ෂෝ එකටත් එක්ක..

      Delete
  3. Saudi Arab is exporting terrorism to other countries. It is killing civilians in Yemen. They are so powerful because of oil. 9/11 attack all done by Saudi nationals

    ReplyDelete
    Replies
    1. True. All those show how oil power of this wealthy country deals with its dissidents.

      Delete