Saturday 31 December 2016

කිති කැව්වම හිනා යන්නේ ඇයි ?


කෙනෙක් අපිට කිති කැව්වම හිනා යන්නෙත්, අපිට තනියම කිති කවාගෙන හිනාවෙන්න බැරිත් ඇයි ?
සතුටකට, විනෝදෙකට අන් අය එක්ක හිනා වීමත්, කිති මගින් හිනායාමත් එකක්මද?

මේවා හොයන්න ජර්මනියේ ටියුබින්ගෙන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ඇලන් හර්ච් හා කණ්ඩායමක් කල පර්යේෂණයකදී අපුරු තොරතුරු හෙළිදරව් වෙලා.
තිස් දෙනෙක් යොදාගෙන කරපු මේ පර්යේෂණයේ දී විහිළුවකට හිනාවෙනකොට මොලයේ ක්‍රියාකරන ස්ථානත්, කිති කවද්දී හිනාවෙනකොට ක්‍රියාකරන ස්ථානත් තරමක වෙනස් බව සොයාගත්තා.
සතුටකට හිනවෙද්දී මොලයේ Rolandic operculum කියන ප්‍රදේශය ක්‍රියා කරනවා. කිති කැවීමකදිත් මේ ප්‍රදේශය ක්‍රියා කරනවා. ඒකයි හිනායන්නේ. හැබැයි, කිති කැවීමකදී ඊට අමතරව මොලයේ හයිපොතැලමස නම් ප්‍රදේශයද ක්‍රියාකරන බව ඔවුන් නිරීක්ෂණය කළා.
හයිපොතැලමස යනු බඩගින්න, මහන්සිය, භයානක දෙයකට මුහුණ දීමේදී කළයුත්ත තීරණය වැනි වේදනාත්මක අවස්ථාවල දී උත්තේජනය වන තැනක්.
සාමාන්‍යයෙන් අපට කිති දැනෙන්නේ ගෙල, බඩ වැනි ශරීරයේ දුර්වල ස්ථාන මගිනුයි. මේ දුර්වල ස්ථාන ආරක්ෂා කිරීමට මොලය ප්‍රමුඛතාව දෙනවා. ඒ කියන්නේ කිතිකැවීම සිරුරට තර්ජනයක් ලෙස මොලය දකිනවා. තර්ජනයක දී මුහුණ දීම හෝ පලා යාමට මොලයෙන් අණ කරනවා. මුහුණ දීමේත් දෙවිදියක්. නිර්භීතව හෝ යටත්ව. ඒ අනුව, සිනාසීම යම් යටහත් බවක් දක්වන ආරක්ෂාකාරී යාන්ත්‍රණයක් ලෙසයි ක්‍රියාවට නැගෙන්නේ.
තමන්ටම කිති කවාගෙන හිනාවෙන්න බැරි ඇයි කියන එකත් මෙයින් පැහැදිලි වෙනවා. මොලය එයින් තර්ජනයක් නැතිබව හඳුනාගන්නවා.


කිතිය, මානව පරිණාමයේදී ස්වයං පරික්ෂාකාරීබව වර්ධනය කරන්නට උපයෝගී කරගන්නට ඇතිබවයි අනුමාන කරන්නේ. පැරණි මානවයා දරුවන් කිතිකවා ඔවුන්ව භයානක අවස්ථාවන්ට ඉක්මනින් ප්‍රතිචාර දක්වන්න පුහුණු කරන්න ඇති. සතුන්, තම පැටවුන් කිති කවමින් කරන්නෙත් මෙවැනි පුහුණු කිරීමක් විය යුතුයි.


රසුදැල් හඬවන්න උදව්: 
braindecoder.com
Researchers-discover-laugh-tickled -.dailymail.co.uk
පින්තුර අන්තර්ජාලයෙන් 

එයා සුදු ඇයි? මෙයා කළු ඇයි?


"සුදුනම් අයියේ ලස්සණ ද? පොල් බැයත් හරි සුදු නේද?" පුංචි කාලේ රසවිඳි ගීයක්..
"ලස්සණ බබෙක්. බෝනික්කෙක් වගේ. නිල් පාට ඇස් " කමෙන්ට් එකක්..


මෙසේ කෙනෙක්ගෙන් කෙනෙක්ට ශරීර වර්ණය වෙනස් වෙන්නේ කෙසේද?
මිනිසුන්ගේ ශරීර වර්ණය, ඇස් හා හිසකෙස්වල වර්ණය එකිනෙකින් වෙනස් වෙන්නේ සමේ ඇතිවන 'මෙලනින්' නම් වර්ණක විශේෂයක් නිසයි. මෙලනින් නිපදවෙන්නේ සමේ පිහිටන මෙලනොසයිට් නම් සෛල මගිනි. 

මෙලනින් වර්ණකය ක්‍රියා කරන්නේ කොහොමද? 
මෙලනින් වර්ණකය වැඩි අයගේ සම කළු, දුඹුරු හෝ තලඑළලු පැහැ වෙනවා. මෙලනින් අඩු අයගේ සමේ වර්ණය අඩුයි. පැහැපත්. සුදුයි.
ඇසේ ඉංගිරියාවේ වර්ණය හා හිසකෙස් වර්නයටත් මෙය බලපානවා. මෙලනින් හොඳින් ඇති අයගේ ඇස් කළු පැහැ වන අතර,මෙලනින් අඩුනම් ඇස් නිල්, අලු, කොළ හෝ දුඹුරු වේ.එයිනුත් මෙලනින් තරමක් අඩු අයගේ ඇස් දුඹුරු වන අතර මෙලනින් නොමැති අයගේ ඇස් නිල් පාටය.මෙලනින් අඩුනම් හිසකෙස් හා සමේ රෝම දුඹුරු,රතු හෝ සුදු වේ.

මෙලනින් ඇතිවීමට බලපාන සාධක මොනවාද ?
ජානමය සාධක මෙන්ම හිරුඑළිය. ඒ කියන්නේ දෙමාපිය ශරීර වර්ණයත්, හිරු එලියට සම නිරාවරණය වන ප්‍රමාණයත් බලපානවා. 
හිරුඑළිය මගින් සමේ මෙලනින් නිපදවීම වැඩි කරනවා. තද පාට හමක් ඇති අයගේ වර්ණය තව තද පැහැවීමත්, ලා වර්ණ සමක් ඇති අයගේ සම තද පැහැවීමත් හිරු එළියේ ඇති අල්ට්‍රා වයලට් A කිරණ මගින් සිදු වෙනවා.
ඇත්තටම මෙලනින් මගින් කරන්නේ සම හිරු එළියෙන් ආරක්ෂා කිරීමයි. ඒ නිසයි හිරු එලිය වැඩිපුර ලැබෙන රටවල අයගේ සම ස්වාභාවිකව තද පැහැ වන්නේත්, හිරු එලිය අඩුවෙන් ලැබෙන රටවල අයගේ සම සුදු පැහැ වන්නේත්.

මෙලනින් අඩංගු ආහාර තියනවද?
ආහාරවල මෙලනින් අඩංගු නැහැ. මෙලනින් වර්ණකය නිපදවීම කෙරේ බලපාන ආහාර තියනවා. විටමින් A හා E අඩංගු ආහාර මගින් මෙලනින් නිපදවීම සුදුසු ලෙස වෙනස් කරනවා. කැරට්, වට්ටක්කා, තක්කාලි, කොළ වර්ග, අලුත් පලතුරු, කිරි ආහාර, ධාන්‍ය වර්ග, ශාක තෙල් මේ අතරයි. විටමින් B හා D අඩංගු ආහාර මගින් ශරීරය අහිතකර UV කිරණවලින් ආරක්ෂා කරනවා. මේවා ආහාරයට ගැනීමෙන් සමේ ස්වභාවික වර්ණය රැකගත හැකියි.

විටමින් අඩංගු ආහාර හමේ ගෑමෙන් හම සුදු කරගත හැකිද? 

කැරට්, තක්කාලි, දෙහි, කෝමාරිකා, කහ වැනි දේ මගින් සම පිරිසිදු කරනවා. ඒවා සම තුලට කා වැදී සමේ පැරණි සෛල ඉවත් කිරීමට උපකාර වෙනවා. පිටින් ගෑමෙන් මෙලනින් වලට බලපෑමක් නැතත්, සමේ වර්ණය උද්දීපනය කරනවා. තව විස්තර මෙතනින් බලන්න 

වෙළඳ පොලේ ඇති සමට ගාන ආලේපන මගින් සමේ පැහැපත් බව ලබාගත හැකිද?

ලංකාව වගේ රටක හිරු එලියට නිතර සම නිරාවරණය වන නිසා අපට මෙලනින් අවශ්‍යයි. මෙලනින් පිළිකා ප්‍රතිරෝධකයක් නිසා. ක්‍රීම් වර්ග ගෑමෙන් හිරු කිරණ වැටීම වැලකි, මෙලනින් නිපදවීම අඩු වීමෙන් සම වර්ණ වීම අඩුවෙනවා. ආලේපය නැවැත්වූ වහාම සම කලින් වර්ණයට එනවා. ආලේපන මගින් සම වැසීමෙන් විටමින් D නිපදවීම අඩුවෙන එක තව අවාසියක්. විටමින් D සම ආරක්ෂා කරන අතර, පිලිස්සීමෙන් වලක්වනවා. හිරු එලිය සමට වැටීම කළු සුදු හැමට අත්‍යවශ්‍ය දෙයක්. නිසි පරිදි උදෑසන හිරුඑළිය සමට නොවැටීමෙන් ශාරීරික මෙන්ම මානසික රෝගත් ඇතිවෙනවා.
වෙළඳ පොලේ ආලේපන බොහොමයක සිරුරට නුසුදුසු තරම් රසදිය අඩංගු වෙනවා. එය පසුකාලින අයහපත් ප්‍රතිපල ඇති කරනවා.

සම සුදු කරගත හැකි එන්නත් තියෙනවද?
ඔව්. මෙලනින් නිපදවීම අඩු කරගත හැකි එන්නත් තියෙනවා. ඒවයෙත් රසදිය අඩංගු වෙනවා. දිගුකලින බලපෑම ගැන හොඳක් කියන්න බැහැ. 

ඔබ නොදන්නවත් ඇති සුදු හමක් තියන අය ඒ වර්ණය තද පැහැ වීමට මෙලනින් හදාගන්න එන්නත් හා පෙතිවර්ග පාවිච්චි කරනවා. හිරු එලියට සම නිරාවරණය වීමට සලස්වා වර්ණය
වැඩි කරගන්නවා (Tan කරනවා). හිරු එලිය නැති කාලෙට කෘතීම ලෙස UV කිරණ වලට ලක්වී tan කරගන්නවා. Tan කිරීම සුදු හමක් තියන අය ඉන්න රටවල ව්‍යාපාරයක්.  අපේ රටවලට ඇවිත් හිරුඑළිය ලබාගන්නෙත් සුදු අඩු පැහැපත් සමක් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්. නමුත් ඒ අයගේ සම හිරු එලියට ඔරොත්තු දෙන්නේ නැහැ. ඉක්මනින් පිළිස්සෙනවා. ඒකයි හිරු එලිය නාන්න පෙර ක්‍රීම් අලේප කරන්නේ.


කෘතීම කොයි දේත් හොඳයි කියන්න අමාරුයි. වෛද්‍ය උපදෙස් ගැනීමයි වැදගත් මොන දේ භාවිතා කරන්නත් පෙර.
කෘතීම ආලේපන වලින් ඇත් වී, ස්වභාවික දේ වලින් හදාගන්න ආලේප ගෑමත්, අලුත් එළවලු පලතුරු කෑමත්, පිරිසිදු ඇල් ජලය පානය කිරීමත් මගින් ස්වාභාවිකව සම ආරක්ෂා කරගැනීම තමයි හොඳ.
 ලද දෙයින් තුටු වීම කෝකටත් වඩා හොඳයි.

උදව්:
www.medicinenet.com
articles.mercola.com

සීත රටවල මල්




මාස 5,6 ක කාලයක් පමණක් මල්වල අසිරිය දකින සීත රටවල මල් වර්ග ගැන ඔයාල එක්ක බෙදාගන්න හිතුණා. උත්තර අර්ධගෝලයේ ඉහලින් පිහිටන රටවල දෙසැම්බර් සිට මාර්තු දක්වා 0C ට අඩු දැඩි සීතලත්, සමහරවිට හිම පතනයත් නිසා එළිමහනේ මල් දකින්න නැහැ. මැයි සිට ඔක්තෝබර් දක්වා විතරයි එළිමහනේ ස්වභාවික මල් වවන්න පුළුවන්.

මල් පැල හැදෙන විදිය අනුව වර්ග දෙකකට බෙදන්න පුළුවන්.
1. පෙරනියල් හෙවත් බහු වාර්ෂික - සෑම අවුරුද්දෙම නැවත නැවත වැවෙන ශාක. මේවා ශීත කාලයෙන් පසුව ඉබේම පැල වේ.
2, ඒක වාර්ෂික - එක වසරක් පමණක් හැදෙන අතර නැවත ඊළඟ වසරේ මතුවන්නේ නැත.
මෙයින් බහුවාර්ෂික ගස් නැවත වර්ග කිහිපයකට බෙදිය හැකිය.
i.) ශීත කාලයට පෙර ගස සම්පුර්ණයෙන්ම මිය යන නමුත් පස යට ඇති අල මගින් කාල තරණය කර, වසන්තයේ සිට නැවත දළු ලා හැදෙන ශාක 
උදා : ටියුලිප්, ඩේලියා, ඩෑෆඩිල්, ක්‍රොකස්
daffodil
ii. ශීත කාලයට කොළ හැලි ඉපල් පමණක් ඉතිරි වී, හිම දියවූ පසු නැවත දළු ලා වැඩෙන ශාක
උදා. රෝස, හයිඩ්රෙන්ජිය, සකුරා, ඩියන්තස්
dianthus

iii. ශීත කාලයට සම්පුර්ණයෙන් මිය යන බව පෙනෙන මුත් වසන්තයේදී නැවත දළුලා වැඩෙන ශාක
උදා. කපුරු, පියෝනි, ඩේසි ,ලිලී වර්ග
Pioni



iv. ශීත කාලයට පෙර පසට බිජ එකතු කර මියයන ශාක. එම බිජ කාල තරණය කර වසන්තයේ හා ගිම්හානයේ පැල වීම
උදා. දාස්, සිනියාස්, වද වර්ග, කොලොම්බියන්

ඒක වාර්ෂික ශාක හිම පතනයත් සමග සම්පුර්ණයෙන්ම මිය යනවා. නැවත පැලවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. මේවායේ ඇට රැස්කර තබාගෙන වසන්ත කාලයේ පැල වෙන්නට දැමිය හැකිය.
උදා . පෙටුනියා, මෝනින් ග්ලෝරි, සිංහමුඛ වර්ග
පෙටුනියා 


ජෙරනියම් වැනි ඒවා නිවෙස් තුලට ගෙන ආලෝකය ඇති තැනක කෘතීම උෂ්ණත්වයේ පවත්වා ගෙන තබාගත හැකිය. පිච්ච වර්ගත් එහෙම ආරක්ෂා කරගන්න පුළුවන්.

මේ මල්වර්ග පැලවුනාට එකවර එකම කාලෙක මල් එන්නේ නැහැ. මැයි මාසේ මුලින්ම පිපෙන්නේ ටියුලිප්. ඉන්පසු ඩෆඩිල්, අයිරිස්, චෙරි මල් පිපෙනවා.
රෝස, පියෝනි ස්වාභාවිකව පිපෙන්නේ ජුනි මුල. රෝස නොවැම්බර් දක්වාම දිගටම මල් පිපුනත්, පියෝනි ජුලි වෙද්දීම මල් පිපිලා ඉවරයි. ලිලි පිපෙන්නේ ජුනි අග. මේ ඔක්කොම ජාති ඉවරවෙලා අන්තිමට පිපෙන්නේ කපුරු.
කපුරු මල් පරවෙන කාලේ වෙනකොට සීත කාලේ ඇවිල්ල ඉවරයි.

මේ පින්තුරවල තියෙන්නේ මේ වසරේත්, පසුගිය වසරවලත් මගේ මල් පාත්තිවල හා පෝච්චිවල හැදුනු මල්.

උදව්:
 Professor Murray හා මගේ අසල්වැසි ලින්ඩා.

Friday 30 December 2016

හිම ගැන කතාව :Snow 1


සුදු පාටින් වැහිලා ගිය වහලවල් තියන ගෙවල්, අතුපතර මත හිම රැඳුනු ගස් තියන පින්තුර දකිද්දී කාටත් ආස හිතෙනවා. ලංකාව වගේ හිම වැටෙන අත්දැකීමක් නැති රටක අයට මේ කැමැත්ත වැඩියි. ගොඩක් හිම වැටුණු පසුගිය දාක මගේ ෆේස්බුක් පිටුවේ දාපු කවියකට  ප්‍රතිචාර නිසා හිම ගැන ලිව්වොත් හොඳයි කියල හිතුන.

හැමෝම වගේ ජල චක්‍ර දන්නවනේ. ජල වාෂ්ප අහසට ගිහින් ඝනීභවනය වුණාම වලාකුළු හැදෙනවා. වලාකුළු එකතුවෙලා ජලයෙන් බර වුනාම වහිනවා. මේ සංසිද්ධියම සෙන්ටිග්‍රේඩ් අංශක 0 අඩු උෂ්ණත්වයකදී වුණාම වැස්ස වෙනුවට පුංචි අයිස් ස්පටික එකතුවෙලා හිම ඇතිවෙනවා

මේ හිම පියලි විදියට තමයි බිමට එන්නේ. ඒකත් හැමවිටම එක වගේ නැහැ. සමහර වෙලාවට පාවෙලා යන කුඩා පැතලි සැහැල්ලු හිම වෙන් වෙන්ව එන්නේ. වෙලාවකට අබ ඇට තරම් පුංචියි. වෙලාවකට වැස්ස වගේ දිග තීරු. තද සුළං  තියනවනම් හිම කුඩාම කෑලි වලට වෙන්වෙලා තමයි වැටෙන්නේ.
ඒත් හිම වැස්ස වගේ නෙමෙයි.. බොහොම නිහඬව පොළොවට එන්නේ

                             


අහසේ උෂ්ණත්වය 0͒ C අඩුවෙලා පොලවට සමීප වෙද්දී 2C වැඩිනම් හිම වැටුණු ගමන්ම වගේ දියවෙලා යනවා. . හිම පියල්ලක සාමාන්‍ය විෂ්කම්භය 1.3 cm පමණ වුනත්, 0C අසන්න උෂ්ණත්වයකදී සුළඟ නැතිවිට ඊට වඩා ලොකු, වඩා බර හිම වැටෙනවා

සාමාන්‍යයෙන්  තද හිම පතනයක් වෙන්නේ පොලව මට්ටමේ උෂ්ණත්වය ඍණ 9C වගේ තියන විට. හිම හැදෙන්න වාතයේ තෙතමනයත්, සීතලත් දෙකම ඕනේ. හුඟක්ම සිතල හා වියලි වුණාමත් හිම වැටෙන්නේ නැහැ.
හිම බිමට වැටුනම වතුර වගේ ගලාගෙන යන්නේ නැහැනේ. සිතල අඩු නොවුනොත් මේ විදියට වැටෙන හිම එක උඩ එක එකතු වෙනවා15- 20cm තරම් ප්‍රමාණයක් පැය 12කට අඩු කෙටි කාල සීමාවක් තුල වැටෙන එකට තමයි හිම කුණාටු (snow squall ) කියන්නේ. තද සුළඟත් සමග එන කුණාටු තියනකොට අඩි කීපයක් දුර නොපෙනෙන තරමට සුදු පාටින් වැහෙනවා. හිම කුණාටුවකට පස්සේ බිම විතරක් නෙමෙයි ගස්වල, ගෙවල් වහලවල හිම තට්ටු හිටිනවා.

පොලවේ හිම ටිකක් නම් තියෙන්නේ වැලි අතුරපු පොළවක් උඩ ඇවිදිනවා වගේ දැනෙන්නේ. ඒත් හිම කුණාටුවකට පස්සේ අඩියකට වඩා හිම ගොඩ ගැහුණම මුහුදු වැල්ලේ ඇවිදිනවා වගේ එරී එරී ඇවිදින්න ඕනේ. එහෙම නැත්නම් වතුරේ ඇවිදිනවා වගේ කකුල් අද්දමින් යන්න ඕනේ.



හිම ඇඟට වැටුනම වැස්ස වගේ ඉක්මණින් ඇඳුම් තුලින් උරන්නේ නැහැ. ගසල දැම්මම අයින් වෙනවා. හිම වැටෙන තරම් සිතලකදී තෙතමනය උරා නොගන්න හිම ඇඳුම් අඳින්නම ඕනේ.

 හිම වැටිලා තියෙද්දී  පරිසර උෂ්ණත්වය 0C ට වඩා වැඩිවුනොත් දියවෙන්න ගන්නවා. එහෙම අඩියෙන් හිම දියවී වතුර වේගෙන යන අවස්ථාවක එකවර පරිසර උෂ්ණත්වය අඩු වුනොත් ඒ වතුර අයිස් වෙනවා. උඩින් හිම වුනාට යටින් අයිස් නිසා ලිස්සන්න ගන්නවා. සුදුපාට හිම නැති තැන්වල වතුර ස්තරයක් අයිස් බවට හැරී තිබුණත් පෙනෙන්නේ නැහැ. ඉතා පිරිසිදු නිසා වීදුරු වගේ විනිවිද පෙනෙන හේතුවෙන්. නිසිලෙස පෙනෙන්නේ නැතිනිසා මේවාට Black Ice කියනවා. මෙවැනි අයිස් ස්තරයක් මතට අඩිය තිබ්බොත් නොදැනම ලිස්සන්න පුළුවන්. ඒ නිසා යන එන මාර්ගවල හිම ඉවත්කිරීම අනිවාර්යයෙන් කරන්න ඕනේ.


තෙත ගතිය අඩු හිම වැලි වගේ වුණාට, තෙත වැඩි හිම අතේ ගුලි කරලා බෝල හදන්න පුළුවන්. මෙහෙම හදන හිම බෝල හිම මත රෝල් කළාම තෙත මැටි බෝලයක් වැලිවල රෝල් කරනවා වගේ තව හිම ඒකෙ එතිලා විශාල වෙනවා. මේ වගේ තෙත හිම ගොඩක්  වැටෙන දවස්වලට හිම මිනිස්සු snowman හදන්න පුළුවන්.


 හිම කියන්නේ ජලයේම ඝන අවස්ථාවක්.  මේ චමත්කාරජනක හිම දියවුනාම ජලය බවට පත්වුනත්, නැවත සීතල වුණාම අයිස් මිස ආපසු හිම වෙන්නේ නැත.