Monday, 10 July 2017

අව්රෝරා Aurora Borealis : විශ්වයේ චිත්තාකර්ෂණිය සංසිද්ධි -5

මිනිස් ඇසට දැකිය හැකි ඉතාම මනහර ස්වභාවික සංසිද්ධියක් වන අව්රෝරා යනු රාත්‍රී අහස පසුබිම් කරගෙන සිදුවන, විවිධ වර්ණ ආලෝක අතිශය කලාත්මකව ලෙලදීමක් හා බැබලීමකි. උතුරු අර්ධගෝලයේදී Nothern Lights (උත්තරාලෝක ) ලෙස හැඳින්වෙන අව්රෝරා, දක්ෂිණ අර්ධගෝලයේදී හඳුන්වන්නේ Australis ඔස්ට්‍රාලිස් ලෙසයි. සමහරු Nothern lights ලෙස පමණක් හැඳින්වුවත් අව්රෝරා උත්තර හා දක්ෂිණ ධ්‍රැව ප්‍රදේශවල ඕනෑම දවසක සිදුවිය හැකි, වසර 11කට වරක් උච්ච තත්වයට පැමිණෙන නෙත් සිත් පිනවන සංසිද්ධියකි. 
සුර්ය ගිනිසිළුවක් 
කිලෝමීටර මිලියන ගණනකට එපිටින් පිහිටන සූර්යයාගෙන් පිටවන සුර්ය ගිනිසිළුවල අධිවේගී විද්‍යුත් ආරෝපිත අංශු රැලක් මගින් මෙය ඇරඹේ. සැම අතටම විහිදෙන මෙම නිදහස් ඉලෙක්ට්‍රොන හා ප්‍රෝටෝන  කොටසක්  සුර්ය සුළං හේතුවෙන් ග්‍රහලෝක දෙසට පැමිණේ. මෙවන් ආරෝපිත අංශු පෘථිවියට සමීප වන්නට පැය 18 සිට දින හතක් දක්වා කාලයක් ගතවේ. පෘථිවියට ලංවත්ම පෘථිවියේ චුම්භක බල ක්ෂේත්‍ර මගින් බොහෝ අංශු පරාවර්තනය කර හැරියත් ඒවායේ ආරෝපණ බල නිසා එයින් සමහරක් චුම්බක බලය අඩු  උත්තර හා දක්ෂිණ ධ්‍රැව වලින් වායුගෝලයට ඇතුළුවේ.  


පෘථිවියේ ධ්‍රැව සමග සුර්යයාගේ සිට පැමිණෙන ආරෝපිත අංශු ගැටෙනවාත් සමග වායුගෝලයේ ඇති ඔක්සිජන් හා නයිට්‍රජන් පරමාණු මේවායේ ඝට්ටනය වේ.  ගැටීමේදී  පෘථිවි වායුගෝලයේ ඇති වායු අංශුවල පරමාණු උත්තේජනය වේ. උත්තේජිත පරමාණුවල බිම් මට්ටමේ ඇති ඉලෙක්ට්‍රොන ඉහල ශක්ති මට්ටම්වලට ගමන් කිරීම නිසා ඒවා සාමාන්‍ය පරමාණුවලට වඩා අධික ශක්තියක් ගනියි. එම අධිශක්ති පරමාණු අස්ථායි ය. එම පරමාණු නැවත ස්ථායි තත්වයට පත්වීමේදී සිදුවන ඉලෙක්ට්‍රොන හුවමාරුවේදී ෆෝටෝන ලෙස ශක්තිය පිටවේ. විවිධ වායු පරමාණුවලට ආවේනිකව විමෝචනය වන විසර්ජන ආලෝක ධාරා  මනහර වර්ණ සැදීමට හේතුවයි.
පොලවට 100km පමණ ආසන්නයේ ඇති ඔක්සිජන් සමග ගැටීමෙන් කොළට හුරු කහ පාටත්, නයිට්‍රිජන් සමග එක්වීමෙන් නිල් හා දම් පාටත් ඇතිකරයි. ඉතා කලාතුරකින් දැකිය හැකි රතු වර්ණය ඇතිවන්නේ 200km ක් දක්වා  ඉහල උන්නතාංශයේ ඇති ඔක්සිජන් පරමාණු සමග විද්‍යුත් ආරෝපිත අංශු ගැටීමෙනි. මේ වර්ණ අංශු චලනයේදී එකිනෙක මිශ්‍රවී රෝස හා සුදු වර්ණයන් දැකිය හැකිවේ.

මෙම අලංකාර අවුරෝරා ආලෝක සාමාන්‍යයෙන් 50km ක් පමණ ඉහලට විහිදුනත්, පොලවේ සිට 640km දක්වා ඉහල විහිදෙන අවස්ථාත් ඇත. සුර්ය සුළං හා වායුගෝලයේ සුළං චලන හේතුවෙන් අත්‍යාලංකාර ලෙලදීම් ද දැකිය හැකි වේ.













මෙම ප්‍රචණ්ඩ භූ චුම්භක කුණාටුව මිනිස් දෑසට විශ්වයේ ශක්තිය දැකිය හැකි ආශ්චර්යමත් අවස්ථාවකි. සුර්යයා නිසා සිදුවන මේ අපුර්ව සංසිද්ධිය පෘථිවියේ පමණක් නොව, බ්‍රහස්පති හා එහි චන්ද්‍රයන්ගේත්, සෙනසුරු, යුරේනස් හා නැප්චුන් ගේද සිදුවන බව සොයාගෙන ඇත.

පෘථිවියේ මෙය වඩාත් හොඳින් දැකිය හැකිවන්නේ කැනඩාවේ උතුරු ප්‍රදේශවල, ඇලස්කාව, ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, නෝර්වේ, සයිබීරියාව වැනි උත්තර ධ්‍රැවයට ආසන්න ප්‍රදේශ හා දක්ෂිණ ධ්‍රැවයට ආසන්න ඇන්ටාක්ටිකාව හා තස්මෙනියාවේ දීය.
පෘථිවියට පිටත චන්ද්‍රිකා මගින්ද අවුරෝරාවල මනහර ඡයාරුප ලබාගෙන ඇත. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන් මේවා දැක සාතිශය සතුටට පත්ව ඇත.

අව්රෝරා විද්‍යාත්මකව පැහැදිලි කිරීමට පෙර වසර දහස් ගණනක් මිනිස් සිත් අමන්දානන්දයට පත්කර ඇත. ලතින් බසින් අව්රෝරා යනු  අරුණාලෝකයයි. ග්‍රීක හා රෝම කථාවල අව්රෝරා හඳුන්වන්නේ අරුණාලෝකයේ දෙවඟන ලෙසයි.  චීන ජාතිකයන් මේවා ආකාශ සර්පයින් ලෙසද, සමහර ආදී වාසීන් ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ ආත්මයන් ගිනිගොඩක් වටා නර්තනයේ යෙදෙන ආකාරය ලෙසද අර්ථ දැක්වුහ. තවත් සමහර ආදිවාසී මෙය ඔවුන් දඩයම් කළ සතුන්ගේ ආත්ම රංගන ලෙස දුටහ. දේශ ගවේෂකයන් සිතුවේ මේ ආලෝක මියගිය රණශුරයන් දිව්‍යලෝකයේ අවදිවන ආකාරය බවයි!

මේ වීඩියෝවත් බලා තුටුවන්න.

උදව්:
www.northernlightscentre.ca
www.livescience.com

9 comments:

  1. අප නොදන්නා චිත්තාකර්ෂණීය ස්වභාවික සංසිද්දීන් තව කොතෙක් නම් මේ විශ්වය තුළ ඇති දැයි සෙවුමට ඔබේ මේ ලිපිය කදිම උත්තේජනයක්

    ReplyDelete
    Replies
    1. චිත්තාකර්ශනිය සංසිද්ධි ලිපි පෙලෙන් එවැනි කිහිපයක් ගැන දැනගත් හැකියි. දිරියට තුති.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete