Sunday, 2 July 2017

එළිච්චියකගෙන් සමෝච්ඡ රේඛා ලබා සැදූ යෝධ ඇළ: Yodha Ela

ස්වභාවික ජලාශ ආශ්‍රිතව ගොඩනැගුනු ලෝකයේ බොහෝ  ශිෂ්ටාචාරවලින් වෙනස්ව, ස්වභාව ධර්මයෙන් ඉටු නොවූ කාර්යය ජයගැනීම උදෙසා  කෘත්‍රිම ජලාශ තනා කෘෂිකර්මාන්තය හා වෙනත් කටයුතු සඳහා යොදවා ගැනීම අපගේ ඉපැරණි වාපි හා වාරි කර්මාන්තවල දක්නට ඇති විශේෂත්වයයි. 

රටේ වැඩි කොටසක් අයත්වන වියලි කලාපයේ වාර්ෂික වර්ෂාපතනය 1750mm කට අඩුය. වැස්ස ලැබෙන කාලසීමාව ද මාස හතරකට සීමා වේ. වසරකට 1800mm ක පමණ වාෂ්පිකරණයක් සිදුවීම හේතුවෙන් පසේ තෙතමනය අඩු තත්වයක් පවතියි. ඉහත හේතු නිසාම භූගත ජල මට්ටමද අඩුය. නමුත් පස පෝෂකවලින් පොහොසත්ය. මේ නිසා අපේ මුතුන් මිත්තන් වියලි කලාපය අස්වැද්දීම නම් වූ අභියෝගය සාර්ථකව ජයගැනීම ක්‍රමිකව අධ්‍යයනය කලයුතු වපසරියකි.
පණ්ඩුකාභය රජතුමා (ක්‍රි.පු.437-367) විසින්  වැසි ජලය රැස්කිරීම සඳහා කරවූ විශාල වැව් තුනක් මුල්ම නිර්මිත  ජලාශ ලෙස ඉතිහාසයේ සඳහන් වේ. ඉන් අනතුරුව බොහෝ රජවරු රටේ විවිධ ප්‍රදේශවල වැව් හා ඇළ මාර්ග කරවා ඇත. 
අද අපි එක් යෝධ ඇලක් ගැන පමණක් කතා කළත්, රජරට පුරා දියවර ආරක්ෂා කරන සංකීර්ණ ආරක්ෂක  පද්ධතියක් ලෙසින් යෝධ ඇල සංකල්පය ක්‍රියාත්මක වූ බව පෙනී යන්නේ ගංගා, වැව්, ද්‍රෝණි සම්බන්ධ කරමින් නිමැවූ යෝධ ඇලවල් කිහිපයක් ගැන කියවෙන හෙයිනි.
 * පලවෙනි සියවසේ මහසෙන් රජු හෝ වසභ රජු විසින් ඉදි කරවූ මිනිපේ ඇලහැර යෝධ ඇළ  
 * දෙවෙනි සේන රජුගේ සමයේ දඹුලු ඔයේ ඉහත්තාවේ සිට මල්වතු ඔය දක්වා සෑදවූ යෝධ ඇල හා මල්වතු      ඔය සිට මහකනදරාව වැව දක්වා යෝධ ඇළ   
 * ක්‍රි.ව. 290 සිට මහසෙන් රජු කරවූ බළලු වැව සිට උස්ගල සියඹලන්ගමුව දක්වා දිය ගෙනගිය උතුර යෝධ    ඇළ, කලාවැව හා අනුරාධපුර අභය වැවෙන් මහවිලච්චිය වැවට සැදවූ යෝධ ඇළ, නුවර වැව සිට නාච්චාදුව  වැවට    සෑදු යෝධ ඇළ, කලාවැව සිට තිසා වැවට නිර්මාණය කළ යෝධ ඇළ, මින්නේරිය වැව සිට  කන්තලේ වැවට දිය ගෙනගිය යෝධ ඇළ   
 * දාසෙන්කෙලිය රජතුමා කරවූ  මහවැලි ගඟේ සිට අඹන් ගඟට ජලය ගෙනගිය යෝධ ඇළ 
 * මහා පරාක්‍රමබාහු රජු නිමවූ කාලිංග  යෝධ ඇළ 

ජලය වැඩි ද්‍රෝණියේ සිට ජලය අඩු ද්‍රෝණියට ගෙන යාම, වැවකින් වැවකට ජලය ගෙනයාම, වැසි කාලයට උතුරා යන අතිරික්ත ජලය ගබඩා කිරීම සඳහා වැවකට ගෙනයාම, ද්‍රෝණියේ වැඩිපුර ජලය මුහුදට ගලා යා නොදී  රඳවා ගැනීම වැනි දියවර හුවමාරු අවශ්‍යතා සඳහා යෝධ ඇලවල් ඉදි කල බව පෙනී යයි. 

මේ යෝධ ඇළ අතුරෙන් පුරාණ වාරි ඉංජිනේරු තාක්ෂණය තේරුම් ගැනීමට වඩාත් සුදුසු වන්නේ සැතපුම් 54ක් දිගු වූත්, සමහර තැන්වල අඩි 40ක් පළල වුත්, නොගැඹුරු වූත්, ඉතා අඩු දියබැස්මක් සහිතවුත් පහත් බිමක පිහිටන කලා වැවේ සිට ඊට අඩි හතක් උස් බිමක ඇති තිසා වැව දක්වා අතරමග පෝෂණය කරමින් පොලව දිගේ දියවර ගෙනයන යෝධ ඇල නිර්මාණයයි.
   පළමු සියවස වනවිට ස්වභාවික විල් ලෙස පැවති ජල තටාක, කලා වැව හා බළලු වැව ලෙස සාදවන ලද්දේ වසභ රජුය. ධාතුසේන රජු විසින් මේ වැව් දෙකම යා කොට අති විශාල වැවක් බවට පත්කෙරුණි. ඒ අද පවතින කලාවැව යි. මෙම විසල් වැවේ දියවර කෘෂිකාර්මික කටයුතු හා වෙනත් අවශ්‍යතා සඳහා යොදවා ගැනීමටත්, තිසා වැවේ ජල ධාරිතාව වැඩි කිරීමට යොදවා ගැනීමටත් ධාතුසේන රජතුමා විසින් යෝධ ඇළ  නිර්මාණය කෙරුණි. 
ගැබ්ගත් එලිච්චියක් ගමන් කරවා ඈ යන මග ඔස්සේ තද බෑවුම් හෝ තද නැගුම් නැති මාර්ගය ලකුණු කරගෙන ඒ ඔස්සේ මෙම යෝධ ඇළ කණින ලදැයි ජනප්‍රවාදයේ කියවේ. ස්වභාවික ජලධාරා ගමන් කරන්නේ සමෝච්ච රේඛාවලට ලම්භක නිම්න ඔස්සේය. එසේනම් එලිච්චියගේ ගමන් මාර්ගය මගින් දල සමෝච්ච රේඛා ලබාගෙන, ඒ දිගේ ඇලක් කැන නිම්න මගින් එන ජලය එකතු කිරීමක් කරගෙන ඇත.
එල්ලංගා පද්ධතියක ක්‍රියාකාරිත්වය 

එල්ලංගා පද්ධති (cascade systems) පිහිටන්නේ  නිම්න ඔස්සේය. එල්ලංගා යනු කුඩා ජල පෝෂක ප්‍රදේශයක නිම්න ඔස්සේ ඇති දොළ පාර මගින් සම්බන්ධ වී ජලය ගබඩා කිරීමත් බෙදා හැරීමත්, ප්‍රයෝජනයට ගැනීමත් සිදුකරන කුඩා වැව් පන්තියකි. යෝධ ඇලට ඉහලින් හා පහලින් ඇති නිම්න, ඇල ඔස්සේ බද්ධ වේ. මේ නිසා ඇලට ඉහලින් ඇති එල්ලංගා වල ඇති වැඩිපුර ජලය ඊට කෙලින්ම පහලින් ඇති එල්ලංගා  හා තිරස්ව ඇති එල්ලංගාවලට ලබාදිය හැකිය.  නිම්න ඔස්සේ පහලට ගලන ජලය සමොචඡ රේඛාව ඔස්සේ ගලන යෝධ ඇල මගින් තිරස්ව විහිදී යයි. එනම් දිය වැඩි නිම්නවල ඇති ජලය, අඩු නිම්නවලට බෙදා හදා ගැනීම මෙන්ම වැව් ජලය නොඅඩුව පවත්වා ගැනීමත් සිදුවිය. 
වැසිජලය, එල්ලංගා වල ජලය, හා කලාවැවේ ජලය යෝධ ඇලට එක්වන නිසා එය නිතරම වැවක් සේ පිරි පැවතුනි. මෙහි ජලය ගලන්නේ ද පිරි ඉතිරි යන ආකාරයටයි. එනම්, යම් කොටසක ජලය එකතු වූ විට එම ප්‍රදේශයේ ජල මට්ටම ඉහල යාමත් සමග වැඩිවන ජලයේ පීඩනය නිසා ජලය අනෙක් ප්‍රදේශවලට පැතිර යයි. මේ අනුව ජලය දෙපසටම ගමන් කිරීම සිදුවිය හැකිය. 
යෝධ ඇල මගින් ජලය රඳවා ගැනීමත්, ප්‍රතිචක්‍රීකරණයත්, නැවත උපයෝගී කරගැනීමත්, ධරණීය සංවර්ධනයත් සිදුවිය. එනයින් බලන කළ යෝධ ඇලෙන් කෙරෙන්නේ කලාවැව හා තිසා වැව අතර ඇති සියලුම ජල පද්ධතීන් එකට ඈඳිමකි. කුඩා වැව්, කෙත්වතු, ජලධාරක ප්‍රදේශ, ජලපෝෂක ප්‍රදේශ හා ඇල සම්බන්ධ වී  ස්වභාවික පරිසරයට ද ඒකාබද්ධ වේ. මේ අනුව ප්‍රදේශයම එකම ජල තලයකි.
මහකණුමුල්ල, මානෑව, කිරලෝගම වැනි එල්ලංගා පද්ධති 34ක් ඔස්සේ ගම්මානවල ඇති වැව් 120කට ජලය ලබාදුන් බවත්, යෝධ ඇල දැලවර වර්ග සැතපුම් 180ක විහිදුනු කෙත්යායවල් ඉදිකර අක්කර 1 144 000ක් අස්වැද්දු බවත් සඳහන්වේ. 
මෙහිදී ඇලෙන් පහල ප්‍රදේශවලට පමණක් නොව ඉහල ප්‍රදේශවල වැව් වලටද දියවර සපයා ඇත. මහකනුමුල්ල එල්ලංගාවෙන් අතුරු යෝධ ඇළක් කපා අයිනාගම, ඉහළවැව ආදී වැව් පහකට ජලය ලබා දී ඇත. 
එලිච්චිය ගේ කතාවෙන් වැටහෙන තවත් දෙයක් වන්නේ යෝධ ඇළ පද්ධතිය සම්පුර්ණ සැලසුමක් ඇතිව පටන්ගත් එකක් නොවන බවයි. පියවරෙන් පියවරට පැමිණෙන අඩුපාඩුකම් මග හරවමින්, පරිසරයට වඩාත් සුදුසු ආකාරයට, කඩිනමක් නැතිව නිමවූ  බවක් පෙනී යයි. 
යෝධ ඇලේ බැම්ම ඇත්තේ යටි පැත්තෙන් පමණකි. එය දිය කාන්දු නොවෙන විශේෂ පස් වර්ගයකින් සදා ඇත. උඩු පැත්ත සුළු ආනතියක් සහිත ස්වභාවික බිමකි. ජලය ගලා යන්නේ මතුපිට පොලව ඔස්සේය. ඇලේ දිය වැඩිවනවිට වැව් තාවුල්ලක මෙන් ඇලේ අනෙක් පැත්තට ජලයේ ගැල්ම ඇතිවේ. යෝධ ඇලේ ජලය ගලන්නේ ඉතාම සෙමිනි. භූගත ජලය හැසිරෙන්නේද මේ ආකාරයට ඉතා සෙමින් ජලය වැඩි තැන සිට අඩු තැනටයි. යෝධ ඇල මෙතරම් දික්වී ඇත්තේ නැමි හෙවත් වංගු  රාශියකින් සමන්විත වන නිසයි. පිටපැත්තේ ඉවුරක් නොමැති නිසා සෑම වංගුවකින්ම වතුර පිටාර ගලයි. ඇල ගලායාමේදී උස්බිම් හමුවන හැමතැනකදීම වංගුවක් සහිත දියකලියක් පිහිටුවා තිබේ. වංගු 48ක පිහිටා ඇති දියකලි නිතර ජලයෙන් පිරි පැවතුනි. දියකලියට ජලය පිරි යද්දී තෙරපුමක් ඇති කරමින් උස්බිම තරණය කරයි. මෙම දියකලි මගින්  අලි ඇත්තු, සතා සිපාවෝ  වසර පුරා දිය ලදහ. 
පළමු සැතපුම් 17 ජලය බැස්ම(හෝ නැග්ම) අඟල් 6ක් වීම නොගැඹුරු දියේ ජලය ගලායාමට සැපයු ආධාරකයක් පමණි.  හෙමින් දිග දුරක් ගලන බැවින් වාෂ්පීකරණය මෙන්ම පොලවට උරා ගැනීමත් වැඩියි. වාෂ්පීකරණය නිසා වාතයේ ජලවාෂ්ප ප්‍රමාණය වැඩිවී වාතය තෙතමනයෙන් යුක්ත කිරීමත්, පසෙන් තෙතමනය උරාගැනීම නිසා භූගත ජලයෙන් පෝෂිත පරිසර පද්ධතියක් වර්ධනයත් සිදු විය. වාෂ්පීකරණය අඩු කිරීම උදෙසා ඉවුරු දෙපස ගහකොළ වැවිමෙන් පස සංරක්ෂණය ඉබේම සිදුවිය. 

යෝධ ඇල ගමන් කරන්නේ වැව්වලට ඉහළින් සෙමින්ය. මේ නිසා වැව්වලට රොන්මඩ ගලා එම වැළකුණි. වැව්වල ජලය පාලනය නිසා වැඩි ජලය ගලාඑමක් සිදු නොවිණි. වැසිවලින් එකතුවෙන ජලය අවශ්‍ය වැව්වලට බෙදාහැරුනි. වැසි කාලයේ එකතු කරගන්නා ජලය නියං සමයේ මුදා හැරුණි. යෝධ ඇලේ ජලය බෙදන සෑම සොරොව්වක්ම යොදා ඇත්තේ පතුලට අඩි තුනක් පමණ ඉහළිනි. පතුලේ එකතුවන ලවණ හා ඛනිජ ද්‍රව්‍ය මුසු දිය පැල ගොයමට අහිතකර නිසා හැකිතාක් ඉහලින් එන අලුත් ජලය වැව්වලට මුදාහැරිම මෙහිදී සිදුවිය. වැවෙහිදීත් තව දුරටත් ලවන පතුලේ රැඳීමෙන් පසු කුඹුරුවලට ජලය මුදා හැරුණි. පරිසරය සුරැකීම, වාරිමාර්ග  කළමනාකරණය හා වාරි තාක්ෂණය නිවැරදිව උපයෝගී කරගනිමින්, ප්‍රදේශයේ භූ විෂමතාවත්, ජලයත් ජිවිනුත්  පිලිබඳ මනා අවබෝධයකින් යෝධ ඇළ නිර්මාණය කර  ඇත.
මේ සියල්ල සලකා  බලන විට යෝධ ඇළ, ජලය බෙදාහැරීමට අමතරව පරිසරයට මහඟු සේවයක් කරමින් පස වියලි බවින් ආරක්ෂා කරගැනීමත්, සත්වයන්ට අවශ්‍ය ජලය නොකඩවා සැපයීමත්, පරිසරයේ තෙතමනය පවත්වා ගැනීමත්, භූගත ජල ප්‍රමාණය වැඩි කිරීමත් ආදී පෘථුල සේවාවක් ඉටු කරයි.  මුලික අරමුණ වූ රජරට ජල අවශ්‍යතා සතපමින් ගොවිතැන් කටයුතු  උදෙසා  වැසි ජලයත් ස්වභාවික උල්පත් ජලයත් රැස්කර බෙදා හැරිමට බෑවුමක සමෝච්ඡ රේඛාවක් ඔස්සේ බැම්මක් බැඳ නිර්මාණය කළ, ඉතාම දිගු වැවක් වැනි වාරි තාක්ෂණ ප්‍රාතිහාර්යයකි. 

රජරට  ගොවියා මෙම විශ්වකර්ම ඇළට හා එහි ජලයට දැක්වූ දැක්වූ ගෞරවය හා ආදරය ඒ සඳහා යොදාගෙන ඇති නම් ප්‍රමාණයෙන්ම පැහැදිලි වේ. දිගු බවත් එහි අත්‍යන්ත වූ ප්‍රයෝජනත් නිසා ඔවුන් මෙය ඇලක් ලෙස නොව ගංගාවක් ලෙස සලකා ඇත. එකසිය අටේ මුත්තාගේ ඉන්තේරු නිමිති මාලය නම් ලියවිල්ලේ යෝධ ඇළ නම් කිහිපයකින් කියවේ.
මීරිය නදී : මීරිය යනු සාගරයයි. සාගරයක් බඳු කලාවැවෙන් ඇරඹී සාගරයක් බඳු තිසාවැවෙන් අවසන් වන  නිසා මේ නමින් හඳුන්වයි.
අශ්වාර නදී: වෙනත් ගංගා මෙන් සැඩ පරුෂ ලෙස සතුන්ට කෙත්වතු වලට හානි කිරීමක් නැතිව නිහඬව  සෙමින් ගලන බැවින් අශ්වාර නම කියවේ.
ඉසින් බැසි නදී: රහතුන් වහන්සේලා, ඍෂින් වහන්සේලා පැන් පහසුවිමට පැමිණි බැවින් මේ නම භාවිත  කෙරුනි.
යෝධ කුණ්ඨ නදී: විවිධ හැඩයන් ගනිමින් කෙත්වතු සරු කරමින් ගමන් ගන්න බැවින් ව්‍යවහාර කෙරුණි.
කින්නර නදී: රජ සමයේ  කිඳුරියන් බඳු තරුණ කුමාරිකාවන් මෙම ජලයේ නෑමට ප්‍රියකළ හෙයින් මේ නම  යෙදවුණි.
ජයස්ථාල නදී: කඳු මිටියාවත් ජය ගනිමින් ගමන් කරන බැවින් ජයස්ථාල නමින් හැඳින්විය. මෙම නම  පසුකලෙක ජය ගඟ ලෙස භාවිතයට යෙදවෙන්නට ඇත. 

ක්‍රි.ව. 1200දී මහා පැරකුම්බා රජතුමා විසින් මෙම යෝධ ඇල ප්‍රතිසංස්කරණය කරන ලදී. ඉන් පසුවත් වසර සිය ගණනක් රජරැටියෝ මෙය ප්‍රයෝජනයට ගත්හ. 

ධාතුසේන රජු පරම්පරා ගණනාවකට භාවිතා කල හැකි ලෙස නොමසුරුව දායාද කළ, විවිධ විජාතික ආක්‍රමණයන්ගෙන් ආරක්ෂා වී වසර 1500 සුව සේ භාවිතා කළ අපූර්ව යෝධ ඇලේ අභාග්‍ය සම්පන්න යුගය ආරම්භ වෙන්නේ කඩිනම් මහවැලිය යටතේ මහවැලි එච් කලාපයේ සංවර්ධන පටන් ගැනීමත් සමගයි. මෙම කලාපය කඩිනම්ව සංවර්ධනය සඳහා ලෝක බැංකුව රුපියල් කෝටි ගණනක් ලබාදුන්නේ ඔවුන්ගේ විශේෂඥ උපදෙස් මත ක්‍රියා කිරීමේ එකඟත්වය මතයි. එච් කලාපයේ එල්ලංගා හා යෝධ ඇල සමග බැඳුනු පොකුරු වැව්, ග්‍රාමීය වැව්, යාය වැව්, පෙරහන් වැව් 248ක් විය. පැරණි වාපි කර්මාන්ත ගැන හෝ ජලය බෙදන ආකාරය හෝ පිලිබඳ කිසිදු අවබෝධයක් නොමැති හා පැරණි දේ විනාශ කිරීම උදෙසා පැමිණි විදේශ විශේෂඥ උපදෙස් වුයේ මහවැලියෙන් ජලය ලැබෙන නිසා වැව් අනවශ්‍ය බැවින්, වැව් 127ක් සමතලා කර කුඹුරු අස්වැද්දීමයි. මේවාට විරුද්ධ වූ ගම්මාන නිසා වැව් බිඳ හෙලීම නැවතුවත් එප්පාවල සිට නොච්චියාගම දක්වා යාය වැව් සියල්ල නටබුන් වීමට හැරීය.  
නවීන වාරි තාක්ෂණය හැදෑරු ඉංජිනේරුවෝ මෙම දියවර පිලිබඳ පැරණි තාක්ෂනය හැදෑරීමකින් තොරව ජලය මෙතරම් දුරක් හෙමින් ගමන් නොකර කෙටි දුරකින් ඉක්මණින් තිසා වැවට යවන මං සැලසුම් කළහ. මෙහිදී  යෝධ ඇලේ කිලෝමීටර් 15ක් දුර අඩුවන ලෙස නව ජයගඟක් නිර්මාණය කළහ. එහිදී  මහඉලුප්පල්ලම සිට බටුවත්ත දක්වා කොටස මගහැර පැරණි යෝධ ඇලේ කොටස් කැපී යන පරිදි ගඟ කැපුහ. පැරණි යෝධ ඇලේ මෙන් නොව මෙහි ඉවුරු බැම්ම දෙකක් ඇත. සමහර තැන්වල නව ගඟ ගමන් කරන්නේ පැරණි වැවක සිට තවත් වැවකටය.  ගැඹුර අඩි 50, 60 තරම් හැරූ ස්ථාන වලදී එක එල්ලේ වේගයෙන් ජලය ගලයි. මේ නිසා වැව්වල රොන්මඩ එකතුවීම ඇරඹුණි. මේ වනවිට අලුත් ජයගඟ ගමන් කරන කෝන්වැව, කිරලෝගම වැව රොන්මඩ වලින් පිරී ගැඹුර සීග්‍රයෙන් අඩුවෙමින් පවතියි. 
පැරණි යෝධ ඇල ගමන් කළ, දැනට සිඳී ඇති කොටස්වල ගොඩ ගොවිතැන් කිරීම, බැම්ම කපා නිවෙස් තැනීම, ඉවුරු කපා ගඩොල් තැනීම සිදුවේ. අනවසර අල්ලාගැනීම් හා ඉදිකිරීම් නොමදව සිදුවේ. ඒවා රැකගන්නට කිසිවෙක් නැත. මේ නව 'සංවර්ධන' හේතුවෙන් පැරණි ඇලෙන් පෝෂණය වූ බොහෝ වැව් හා වැව් බැඳී රටේ සශ්‍රිකව පැවති වැව් ගම්මාන වියලී, පානීය ජලය පවා ලබාගත නොහැකි තත්වයට පත්ව ඇත.
යෝධ ඇලට කල විපත මේ ලිපියෙන් කියවන්න 

යෝධයෙක් විලස රජරටට සෙත් සෑදු, වාරි ශිල්පයේ මහා හාස්කමක් බඳු  අනභිභවනිය නිර්මාණයක් වූ යෝධ ඇලට වූ විපත වටහාගෙන පැවතී තත්වයෙන් පුනරුත්ථාපනය කිරීමට යෝජනා හා මුල්ගල් තැබීමක් සිදුවුනත් මේ වනතෙක් ක්‍රියාත්මක වීමක් දක්නට නැත. මේ අනර්ඝ වූ ඓතිහාසික වාරි මාර්ගය මතු පරපුරට උරුම නොවී විනාශයට යාම ගැන වගකිවයුතු මහවැලිය හෝ ජාතික උරුමයන් පිලිබඳ අමාත්‍යංශය  මේ වනතෙක් මෙය ප්‍රති නිර්මාණයට කිසිදු පියවරක් ගෙන නැත. 


උදව්:
භූ ජල විද්‍යාඥ ආචාර්ය පී. බී. ධර්මසේන මහතා 
දේශීය වාරි තාක්ෂණයේ මහිමය ලොවට හෙළිකරන යෝධ ඇල : රත්න බි. ඒකනායක, දිවයින 2010 නොවැම්බර්
ධාතුසේන රජුගේ යෝධ ඇළ සහ පැරණි වාරි තාක්ෂනය : මානෑවේ විමලරතන හිමි , දිවයින 2011 ජනවාරි 23  
ගැබ්ගත් එලිච්චියකගේ පිය සටහන් ඔස්සේ හැදූ යෝධ ඇළ: එප්පාවල බණ්ඩාර ඒකනායක, ලංකාදීප 2012
එලිච්චියක විසින් මග හෙලිකෙරුණු යෝධ ඇළ: කපිල පීරිස් , විදුසර 2012 ඔක්තෝබර්
අපේ ජාතික උරුමයක් වූ යෝධ ඇළ දිනෙන් දින වනසයි: රත්න බී. ඒකනායක, දිවයින 2013 ජූලි 
මහපොළොවත් කම්පා කළ යෝධ ඇලේ මරණය: රත්න බී. ඒකනායක, දිවයින  2013 දෙසැම්බර්  
ජය ගඟට යටවුනු ඉපැරණි යෝධ ඇළ: බණ්ඩාර ඒකනායක, දිනමිණ 2015 ජුනි
Ecology of ancient Tank Cascade Systems in island Sri Lanka: Geekiyange N. et.al. 
www.irrigation.gov.lk  

9 comments:

  1. යෝධ ඇලේ ඉතිහාසය හා වර්තමාණ තත්වයය පිළිඹඳව දීර්ඝව හා ඉතා පැහැදිළිව කරුණු ‍රැස්කළ වටිනා ලිපියක් ! ස්තූතියි ඔබතුමියට !

    ReplyDelete
    Replies
    1. අගය කරනු ලැබීම සතුටක්

      Delete
  2. මේ ලිපිය කියවා මුලින් හදවතට විශාල සතුටකුත්, පසුව විශාල දුකකුත් ඇතිවූවා. අද අපට ඉතිරිව ඇත්තේ අතීතය ගැන හඩමින් මියයාම පමණයි. අපෙන් පසු පරම්පරාවට අතීතය හෝ අනාගතය ගැන කිසිඳු හැගීමක් නැහැ. අතීතය නොදන්නා එකාට වර්තමානයක් හෝ අනාගතයක් නැතැයි එදා අපේ අත්තම්මලා කියූ කතාව අද සැබෑ වී තිබෙනවා. අටුවා ටීකා නැතිවාට අද රටේ සිදුවන දෑ අසන දකින ඔබ මෙය මැනවින් දන්නවා ඇති. ඉතිහාසය පාඩම අපේ කාලය වන විටත් පාසැල් පාඨමාලවෙන් ඉවත් කර තිබුන නිසා අපේ පරම්පරාවේ බොහෝ දෙනෙකුත් මේ දේවල් ඉගෙන ගත්තේ නැහැ. ජය ඇල වැව් බැඳී රට පරදවන පරාජ ඇලක් වී ඇත්තේ වසර දහස් ගණනාවක ඉතිහාසයක් ඇති වාරි මාර්ග පද්දතියක් සහ ගොවි පරම්පරා සියල්ලක් පරදවමින් වීම ඛේදවාචකයක් නොවේද? ස්තුතියි Buddhinie ඔබට

    ReplyDelete
    Replies
    1. කඩිනමට මුදල් ගන්න එකඟ වී විනාශ කර දැමුයේ රටක් වටිනා තාක්ෂණයක්. දේශීය දේ ගැන තැකීමක් නොකර විදෙස් උපදෙස් ක්‍රියාත්මක කිරීම නිසයි මේ දේවල් වුනේ. කඩිනමෙන් මුදල් ගසා කන්න උන් කියන ඕන දේකට එකඟ වුනා. මේවයෙ වටිනාකම අගය දන්න අය නගපු හඬ පහසුවෙන් යටපත් කළා.තවමත් පිලිසකර කරතැයි බලා ඉන්න මිනිස්සු ඉන්නවා.

      Delete
  3. මට කියන්න තියෙන්නෙත් රේණුකා +Renuka Wimalarathna මිතුරිය කියපු දේම තමා ,,කණගාටුයි , බොහොම ඉස්තුතියි ලිපියට බුද්ධිණි. වටිනා විස්තර පෙළක්. බොහොම තුටින් කියෙව්වෙමි!

    ReplyDelete
    Replies

    1. අදයි මේ පැත්තෙ ආවෙ...

      යෝධ ඇල ගැන පුංචි කාලේ ඉගෙන ගත්තට, අහල තිබුනට, ඊට වඩා ගොඩක් දේ මේ ලිපියෙන් දැනගත්තා....
      නවීන ඉංජිනේරු තාක්ෂණයට වඩා විශ්ෂ්ඨ අපේ පුරාණ තාක්ෂණය විනාශ වෙලා තියෙන්නේ මේ වගේ අවිදිමත් දේ නිසයි.... යෝධ ඇලේ වත්මන් තත්වය ගැන බොහොම කනගාටුයි....

      අපූරු වූ වැදගත් සටහනක්... ස්තුති රසුදැල්...

      Delete
    2. @ Suri අගය කිරීම ගැන ස්තුතියි

      @ නිර්මාණි,පරිසරයෙන් වැඩක් ගන්න ඒක වෙනස් කරන්න ඕනෙ පරිස්සමින්. ආදි කාලෙ සිට කළේ මොකද්ද? කළේ කොහොමද ? ඒවයෙන් හානි වුනාද? යොදන්න ඇති පිලියම් මොනවද? වගේ දේ තමයි පරිසර සංවේදී වාර්තා වලට ඇතුලත් වෙන්න ඕනෙ. වෙන රටක හරිගිය දෙයක් අපේ රටට ආදේශ කිරීම වැරදි.
      දිගටම එන්න මේ පැත්තේ

      Delete