Tuesday, 28 April 2020

කැනඩාවේ COVID තතු 2

නෙත ගිය හැමතැන - දළු මල් අබරණ
වසන්ත සමයයි එළැඹෙන්නේ
වෙනදට ආදරෙන් පිළිගන්න වසන්ත සමය මේ වසරේ තනිවෙලා. හිමිහිට මතුවෙන කොළ හා මල් දිහා බලන්නවත් සන්සුන් හිතක් මිනිස්සුන්ට නැහැ. දවසින් දවස වැඩිවෙමින් යන සංඛ්‍යා දිහා බලාගෙන මෙහි නිමක් ගැන පතමින් කවදාක නිදහසේ වසත් සුව විඳින්නද කියල බලාපොරොත්තු දල්වාගෙන ඉන්නේ.

අප්‍රේල් මාසය එළඹුනත් කැනඩාවේ කොවිඩ් රෝගීන් ගණන අඩුවුණේ නැහැ. එළඹෙන තත්වයන්ට අනුව නීතිරීති වෙනස් කරමින්, මහජනතාවට නිවසේ රැඳී සිටිමින් මේ භාරදුර කාර්යයේ ඉදිරිපෙළ ඉන්න අයට පිටිවහලක් වෙන්න කියල දිනපතා රජයෙන් ඉල්ලන්නේ.
කැනඩාවේ මේ ප්‍රශ්ණය දෙස දැඩි අවධානය යොමුකළ මුල්ම දවසේ ඉඳල ඉතා වැදගත් දෙයක් සිදුවෙනවා. හැම දිනකම EST වේලාවෙන් උදේ 11.15 ට පමණ අගමැති ජස්ටින් ට්රුඩෝ මහතා රජයේ තීරණ, රජය ගන්නට බලාපොරොත්තු වෙන පියවර, පාර්ලිමේන්තුවේ ගත් තීරණ, මහජනයාගෙන් බලාපොරොත්තු වන දේ ආදිය ගැන ජනතාව අමතමින් කියා සිටීමයි. මේ කතාවට කිසිම දිනයක රෝග වාර්තා, මියගිය ගණන ආදිය අඩංගු වෙන්නේ නැහැ. පාලනය සම්බන්ධ දේවල් පමණයි. සියලු ජනයා එකලෙස දැනුවත් වීම නිසා ඔවුනට වඩා දැනුවත් තීරණ ගෙන සෞඛ්‍යය රැකගෙන ආරක්ෂා වීමට හැකිවනු ඇතැයි මෙයින් බලාපොරොත්තු වෙනවා.

ඔහු ද නිරෝධායනයට ලක්වී සිටි නිසා මුල සිටම තම නිවසෙන් පිටතට පැමිණ මේ සුදානම් සහිත කතාව පවත්වන්නේ. ඉඳහිට දවසක මාධ්‍යවලට ප්‍රශ්ණ අසන්නට දෙනවා. Teleconferencing ක්‍රමයට ප්‍රශ්ණ අහන්නේ. සැමට ආදර්ශයක් දෙමින් ආරක්ෂක නිලධාරීන් පවා එකිනෙකාට දුරින් සිටින්නේ.
දුර ගැන කියද්දී දැන් පුද්ගලික දුරස්ථභාවය මීටර් දෙකක් රැකගන්න උපදෙස් දෙන්නේ.

අගමැතිතුමාගේ කතාවට අමතරව වරින්වර ප්‍රාන්ත ප්‍රිමියර් හා ප්‍රදේශයේ නගරාධිපතිත් ජනතාව දැනුවත් කරනවා. මේ අය විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළත් සියල්ලෝ මෙම ප්‍රශ්නයේදී එකම අරමුණක් ඇතිව ක්‍රියා කරනවා. ප්‍රාන්ත සෞඛ්‍ය අධ්‍යක්ෂ දිනපතා රෝගීන් හා මරණත්, සෞඛ්‍ය අංශයේ තීරණත් දැනුම් දෙනවා. ඔවුන්ගේ තීරණ සියල්ල, ඉහලින් ලැබෙන තීරණ වලට අනුගත නිසා වැරදි අවබෝධයන් ඇතිවන්නේ නැහැ.

අප්‍රේල් මාසයේ වැදගත් තීරණ රාශියක් ගෙන මහජනතාවට යම් සහන සැලසුවා.
* කලින් ලිපියේ තිබුන වගේ කැනඩාවේ නිරෝධායන මධ්‍යස්ථාන නැහැ. රෝගී ඇසුරක් ගැන සැකනම් හෝ පිටරටක සිට පැමිණියේ නම් නිවසේ හෝ මුලික පහසුකම් ඇති තැනක දින 14ක් නිරෝධායනය වීම අනිවාර්යයි. රෝගය වැලඳී ඇති බවට ස්ථිර වුවත් නිවසේ අනෙක් අය සමග සම්බන්ධ නොවී වෙන්ව සිටින්නට අවශ්‍යයි. මහජන සෞඛ්‍ය අධිකාරියෙන් ඔවුන්ට උපදෙස් ලබාදෙනවා.
* රෝගය පැතිරීම වැලැක්වීමට ගත් පියවර හේතුවෙන් රැකියා අහිමිවූ අයට හා වෙළඳ ව්‍යාපාර වැසීමට සිදුවූ අයට ආර්ථික හා මුල්‍ය පහසුකම් සැපයීම ඉතා වැදගත් තීරණයක්. ඉක්මණින් සිදූවූ පාර්ලිමේන්තු රැස්වීමකින් පසු මේ සඳහා වූ මිලියන ගණනක මුදල අනුමත වුණා. එම මුදල් ලබාගැනීමට ලියාපදිංචි වීමත් සිදුකළේ වෙනස්ම ක්‍රමයකට. මේ සඳහා සුදුසුකම් ලැබීමට පසුගිය වසර තුළ අවමයෙන් $ 5000ක ඉපැයීමක් කළයුතුව තිබුණා. ලබාදෙන මුදලින් කොටසක් නැවත ගෙවිය යුතුයි.
ලියාපදිංචියට  අනුගමනය කළ ක්‍රමය වුයේ ඉල්ලුම් කරන පුද්ගලයාගේ උපන් මාසයයි.   සඳුදා ජනවාරි සිට මාර්තු දක්වා උපන්දින ඇති අය ලියාපදිංචි විය යුතුව තිබුණා. අඟහරුවාදා අප්‍රේල් සිට ජූනි  දක්වාත්, බදාදා ජුලි සිට සැප්තැම්බර් දක්වාත්, බ්‍රහස්පතින්දා ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වාත් ලියාපදිංචි සිදුකළා. සිකුරාදා වෙන්වුණේ මේ සතිය තුල යම් ගැටළු ඇතිවූ අයටයි. මේ ක්‍රමය ඉතා සාර්ථකව සිදුවූ බව වාර්තා වුණා.
* තවමත් කැනඩාවේ emergency order නිසා ක්‍රියාත්මක වන්නේ  අත්‍යවශ්‍ය සේවා පමණයි. ඒ අතුරින් විශේෂයෙන් ඉදිරි පෙළ සේවය කරන අයට වැටුප් වර්ධනයක් ලබා දිමටත් තීරණය වුණා. වෛද්‍ය සේවා සහ වැඩිහිටි නිවාස ආදියේ සේවය කරන අයට මේ වර්ධකය හිමිවනු ඇති.

* වෙන රටවල ජිවත්වන කැනඩා පුරවැසියන්ට  දීමනාවක් දීමත් කෙරෙනවා.

* පුරවැසියන් වැඩි දෙනෙක් නිවෙස්වල සිටින නිසා විදුලි ගාස්තු අඩු කිරීමට ක්‍රියා කළා.

*විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන්ට ගිම්හාන නිවාඩුවේ රැකියා කර උපයාගැනීම උගහට නිසාත්, අන්තර්ජාල භාවිතයට වැඩි මුදලක් වැයවෙන නිසාත් ඔවුන්ට දීමනාවක් යෝජනා වී තිබෙනවා. මේ සියල්ලෝ මාර්තු මාසයේ සිට අන්තර්ජාලය ඔස්සේ ඉගෙනුම සිදු කරන්නේ.

දීර්ඝ කරන ලද පාසල් නිවාඩුව අවසන් වීමත් සමග අප්‍රේල් මස මුල් සතියේ සිට දුරස්ථ ඉගැන්වීම් ආරම්භ වුණා. මේ සඳහා මුලින්ම ගුරුවරුන්ට තාක්ෂණික උපකරණ සහ අන්තර්ජාල පහසුකම් තිබේදැයි සොයා බැලුවා. සිසුන්ගේ නිවසේ පරිගණක, ලැප්ටොප්, ක්රෝම්බුක් , iPad වැනි තාක්ෂණික උපකරණ තිබේදැයි සමීක්ෂණ සිදුකර, එසේ නොමැති සිසුනට පාසලට අයත් උපකරණ ලබාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වුණා. කලින් සැලසුම් කරන ලද අවස්ථාවක් නොවෙන නිසාත්, සියලු ගුරුවරු සියලු ඉගැන්වීම් අන්තරජාලය ඔස්සේ සිදුකළ යුතු නිසාත්, දිනපතා එන ගැටලුවලට මුහුණ දෙමින් ක්‍රමයෙන් දෙමාපියන්, දරුවන් හා ගුරුවරු මේ ක්‍රමවලට අනුගත වෙමින් සිටින්නේ.

පාසල් හා විශ්ව විද්‍යාල නැවත ආරම්භය මැයි අග දක්වා දැනට කල් දමා තිබුණත්, ගිම්හාන නිවාඩුවෙන් පසු අලුත් වසර ආරම්භ වන සැප්තැම්බර් මාසයේවත් සමුහ ලෙස එක් රැස්වන ස්ථාන ආරම්භ කිරීම සැක සහිතයි.

කැනඩා -ඇමරිකා දේශ සිමාව තවමත් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට පමණයි විවෘත කර තිබෙන්නේ.
කැනඩාවේත් හැමෝම කියන දේ අහගෙන ඒ විදියටම ඉන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ අනවශ්‍ය රැස්වීම් සිදුකරන, නීතියට පිටතින් පස් දෙනාට වඩා එක් රැස්වෙන අයට දඩ ගැසීම සිදු කරනවා. නොවටිනා මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ විකිණීමත් දඩ ලැබීමට හේතු වෙනවා. රැකියාවට යා හැකිව තිබියදී නොයා සිට මුදල් ලබාගන්න අය ගැනත් අවධානය යොමුවෙලා තියෙන්නේ.

රෝගය සමග අනාගතයේ එන ගැටළු ගැනත් අවධානය යොමු කරණවා. මතුවිය හැකි ආහාර හිඟයට පිළියම් ලෙස එළඹෙන ගිම්හාන කාලයේ ගෙවතු වගා කිරීම දිරිමත් කරන අතර, වගා කිරීමට ඉඩක් නොමැති අයට Community Garden සංකල්පය අනුව තමා වෙසෙන ප්‍රදේශයේ වගාව සඳහා රජයේ ඉඩම් වෙන්කර දීම මේ දිනවල කෙරෙනවා.

වැඩිහිටි හා විශ්‍රාමික වියට පත්වූ පසු ඔවුන් සඳහා වන විශේෂ නිවස්නවල ජීවත්වීම කැනඩාවේ සුලබයි.
වැඩිහිටි නිවාස හා long term care වල වෙසෙන අය සිඝ්‍රයෙන් රෝගයට ගොදුරු වී මියයාම රජයට මුහුණ දෙන්න සිදුවූ විශාල ප්‍රශ්ණයක්. සේවා සපයන පුද්ගලයන්  බොහෝවිට නිවස්න කිහිපයක සේවය කිරීම නිසා මෙම පැතිරීම වේගවත් වූ බව හඳුනා ගැනුණා. සේවය කරන අය රෝගී වීමත් සමග එක පුද්ගලයෙක්  එක ස්ථානයක පමණක් සේවය කළ යුතු ලෙස නීති පැනවුණා.  රෝගීන් වැඩිවීමත්, සේවය කරන අය අඩුවීමත් හේතුවෙන් ඇතිවූ ගැටලුවට පිළියම් ලෙස එම මධ්‍යස්ථානවල සේවය උදෙසා හමුදාව යොදවනු ලැබුවා.

දිනපතා මතුවන ගැටලුවලට පිළියම් යොදමින්, ඇතිවන තත්ත්ව විග්‍රහ කරමින්, රෝගය වලක්වාගෙන, රෝගීන් හා මරණ අඩු කරගන, මහජන ආරක්ෂාව කෙරෙහි ප්‍රමඛතාව දීමයි මුල සිටම කැනඩාව අනුගමනය කළ පිළිවෙත වුණේ. දැනටමත් කැනඩා සෞඛ්‍ය සේවය අවදානම් මට්ටමකට පැමිණ තිබෙන්නේ. වෙනත් රටවල සෞඛ්‍ය සේවයේ යෙදී තිබෙන, කැනේඩියානු සුදුසුකම් අවසන් කර නැති වෛද්‍යවරුන්ටත්  ලියාපදිංචි වීමට ඉල්ලීම් කරනු ලැබුවා. ඔවුන්ට අධීක්ෂණයට යටත්ව මාසයක කාලසීමාවකට තාවකාලික බලපත්‍ර ලබා දී තිබෙනවා.
දැනට රෝගය සම්බන්ධව කැනඩාවේ තත්වය High risk :ඉහල අවදානම් ලෙසයි ගැනෙන්නේ.
දිනපතා රෝගීන් මෙන්ම මරණ සංඛ්‍යා ද ඉහල නගිනවා. බොහෝ රටවල් මෙන්ම කැනඩාවද උත්සහ කරන්නේ වක්‍රය සමතලා කර සෞඛ්‍ය පහසුකම් වලට ඔරොත්තු දෙන ප්‍රමාණයක රෝගීන් පවත්වා ගැනීමටයි.

දැනට සති  හතක් පුරා පවත්වාගෙන යන හදිසි තත්වය ලිහිල් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් තවමත් නැත. ජනතාවගේ අවම අවශ්‍යතා සපුරා ගැනීමට රජයෙන් සියලු ආධාර දෙන අතර, කෙටි කාලීන ලිහිල් කිරීමක් පවා මෙතෙක් සිදුකළ සියලුම කැපකිරීම් අවදානමක යොදවනු ඇති බව නිතර ජනතාවට අවධාරණය කෙරෙනවා. සුළු ව්‍යාපාර ආරම්භක දිනය ගැන ඇසු පැනයකට පිළිතුරු දෙමින් ඔන්ටේරියෝ ප්‍රාන්ත අගමැති කීවේ " මෙය මාර්ග සිතියමක්. දින දර්ශනයක් නොවේ".
                         
                            ' THIS IS A ROAD MAP .  NOT A CALENDAR'

උදව්:
www.bnnbloomberg.ca/
www.canada.ca/en/public-health/services/diseases/2019-novel-coronavirus-infection.html
https://www.cbc.ca/news/canada/toronto/internationally-trained-doctors-covid-19
https://www.thestar.com/news/canada/2020/04/10/

Saturday, 25 April 2020

කොරෝනාවයිරස් සමයේ මානසික සුවපත් බව

ලොව වෙලාගෙන ඇති වයිරස පැතිරීම නිසා රෝගය ගැනත්, රෝගීන් හා මරණ ගැනත් වෙන කවරදාකටත් වඩා තොරතුරු වැඩියි. වසංගතය හේතුවෙන් නිවසට වී බොහෝ දිනක් හිඳිම, අවිනිශ්චිතභාවය, හෝ ස්වකිය පවුලේ කෙනෙක් අවදානම් රැකියාවක යෙදීමට සිදුවීම නිසා මේ තත්වය ශාරීරිකව මෙන්ම මානසිකව හා මනෝ විද්‍යාත්මකව කරන බලපෑම් ඉහලයි.  කාහටවත් අවනත නොවෙන වයිරසයක් නිසා මුළු සමාජ ජිවිතයම බිඳ වැටී, එය සෑම පුද්ගලයෙක්ටම බලපාමින් තියෙන්නේ.
අප කිසිවෙක් මින් පෙර මුහුණ දී නැති, කවදා නිමක් දකියිදැයි කිසිවෙක්ට නිශ්චිතව කිව නොහැකි, ඉදිරියට මොන තත්වයක් එළඹෙදැයි නොදන්නා මෙවන් තත්වයකදී මානසික සෞඛ්‍යය රැකගන්නා අන්දම පිළිබඳව ලොව බොහෝ ආයතන උපායමාර්ග ඉදිරිපත් කරලා තියනවා.

1. තොරතුරු දැනගැනීම. එහෙත් අනවශ්‍ය ලෙස ප්‍රවෘත්ති ආදිය නිතර නොබැලීම
අප කිසිවෙක් නිශ්චිතව නොදන්නා රෝගයක් හා එහි පැතිරීමේ ස්වභාවය ගැන දැනසිටීම අත්‍යවශය දෙයක්. තමන් ජිවත්වන ප්‍රදේශයේ එහි පැතිරීම අධ්‍යයනය රෝගයෙන් වැලකි සිටීමට පහසුවක්.
එහෙත් වැරදි තොරතුරු මෙන්ම විශ්වාසදායක නොවෙන තොරතුරුද අන්තර්ජාල අවකාශයේ බහුලයි. එමෙන්ම සංවේදී තොරතුරු නිතර ප්‍රචාරය වෙන වෙබ් ලොව පුරා තියෙනවා. ඒවායෙන් තොරතුරු ලබාගෙන විශ්ලේෂණය කරන අයට මිස, නිවසේ රැඳී සිටින හෝ වෙනත් රැකියාවක යෙදෙන කෙනෙක්ට ඒවායින් එතරම් ප්‍රයෝජනයක් නැහැ. එමනිසා හැමවිටම
  • විශ්වාසදායක තොරතුරු දෙන අඩවි කිහිපයකට ඔබේ සෙවුම් සීමා කරන්න.
  • තොරතුරු ලබාගන්නා කාලසීමාව සීමා කරන්න. බොහෝ ප්‍රවෘත්ති හා සමාජ ජාල මගින් අනවශ්‍ය තරම් තොරතුරු ලබා ගැනීම චිත්ත පීඩනය වැඩිවීමට හේතු වෙනවා. 
  • ඔබට ලැබෙන තොරතුරු වලින් ඔබ පිඩාවට පත්වන බව දැනෙයි නම්, ඒවා ඔබ සිත කරදරයට පත්කරයි නම් මාධ්‍ය භාවිතයට සීමා පනවගන්න. 
  • ඔබ දන්නා, විශ්වාසදායක අය ශෙයා කරන දේ පමණක් තෝරාගන්න. වෙනත් තොරතුරු ශෙයා කිරීමේදී හොඳින් සැලකිලිමත්වන්න. අනවශ්‍ය තොරතුරු හා වැරදි තොරතුරු නිසා අනෙක් පුද්ගලයන් කලබලයට පත්විය හැකිය.
2. ඔබට පාලනය කළහැකි දේ ගැන අවධානය යොමු කරන්න.
ලෝකයේ හෝ ඔබ සිටින රටේ හෝ ඔබ සිටින ප්‍රදේශයේ වයිරසය පැතිරීම ඔබට පාලනය කළ නොහැකියි. ඔබ එම පාලන ක්‍රියාවන්ට සක්‍රියව දායක වන රැකියාවක නොයෙදී නිවසේ සිටියිනම්,
  • දිනය සමබරව සැලසුම් කරන්න 
  • නිවසේ හා නිවැසියන් ගැන අවධානයෙන් ඒ අයට වැඩි ප්‍රයෝජනයක් සැලසෙන අයුරිනුත්, අලස බව නොදැනෙන අයුරිනුත් ඔවුන් සමග ප්‍රබෝධයෙන් සම්බන්ධ වෙන්න. සියල්ලන් එක්ව ආහාර ගන්න.
  • නිවස පිරිසිදුව තබාගන්න. මේ සඳහා නිවසේ අයව සහභාගී කරගන්න.
  • ස්වකීය ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න. නිවසින් බැහැර නොගියත් දිනපතා පිරිසිදු වීම, ඇඳුම් මාරුකිරීම, හිස පිරිම, දත් මැදීම, නෑම ආදිය සුපුරුදු ලෙස සිදු කරන්න. 
  • නිවසේ සිට රැකියාව කරන්නේ වුවත් දිවා ආහාර විවේකය, තේ විවේකය ලබාගන්න. දිනය අවසානයේ එම ස්ථානය පිරිසිදු කර, එතනින් ඉවත්වෙන්න. 
  • රෝගය බෝවීමෙන් වැළකීමට ලොව පුරා මිනිසුන් අනුගමනය කරන දේ අනුගමනය කරන්න.  
 *  නිතර දෙඅත් සබන් යොදා සෝදන්න. පිටතකට ගොස් පැමිණි විට මෙය  අනිවාර්යයි.  
  *  මුහුණ අතපත ගෑමෙන් වලකින්න   
  *  ප්‍රමාණවත් නින්දක් ලබාගන්න. මෙය ප්‍රතිශක්තිය දියුණු කරයි.         
  *  හිරුඑළිය සිරුරට පතිතවීමට සලස්වන්න. ගෙවත්තක් ඇත්නම් එළිමහනේ පැය කිහිපයක් ගත කරන්න. 
   *  අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසෙන් පිටව ගමනේ නොයෙදෙන්න. 
   *  නිවසෙන් පිටත යනවිට මුහුණු ආවරණයක් නිසි ලෙස පළඳින්න. පිටස්තර පුද්ගලයන්ගෙන් මීටර් 2ක්වත් දුරින් සිටින්න.
තරුණ, නිරෝගී බව පෙනෙන කෙනෙක් මගින් වුවත් රෝගය පැතිරීමට ඉඩ ඇති බව දැන සිටින්න. බාහිර ගමන් බිමන් යාමේදී එය තරයේ සිතට ගන්න.

3. ඔබට භෞතිකව එකිනෙකාගෙන් වෙන්ව සිටීමට සිදුවුවත්, නිතර අන් අය හා සම්බන්ධතා පවත්වන්න.
දැනට රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් නැති නිසා  රෝගයෙන් වැළකීමට උත්සාහ දැරීම පමණයි කරන්නට හැකිවන්නේ. ඒ සඳහා ප්‍රමුඛතම කරුණක් වන්නේ අනෙත් අයගෙන් ඈත්ව සිටීමයි. (physical distancing). ප්‍රබල සමාජ සත්වයෙක් වන මනුෂ්‍යයා වවිධ සම්බන්ධතා ඇති කරගැනීම නිතැතින් සිදුවන දෙයක්. එකිනෙකාගෙන් දුරස්ව විසීම කාංසා, මානසික ආතතිය හා මානසික අවපීඩන තත්ත්ව ඇති කිරීමට මෙන්ම ශාරීරික සෞඛ්‍යයටත් බලපෑම් කරනවා. එමනිසා එකිනෙකා සමග වෙනත් ක්‍රම භාවිතයෙන් සම්බන්ධතා පවත්වා ගැනීම වැදගත්.
  • පවුල, සමීප නෑදෑයින් සහ සමීප මිතුරන් සමග නිතර සම්බන්ධතා පවත්වන්න. පවුලේ අය දැනට වෙසෙන්නේ ඔබ සමග නොවේනම් නිතර දුරකථනය, ස්කයිප්, වට්සැප්, ෆේස්බුක් චැට් ආදී තාක්ෂණ යොදා ගනිමින් ඔවුන් සමග සම්බන්ධ වී කතාබහ කරන්න. හැකි විටෙක වීඩියෝ යොදාගැනීමෙන් එකිනෙකා දුරස් බව දැනීම අඩුකර ගැනීමට හැකියි. එය කාංසා හා අනෙකුත් මානසික පසුබෑම් තත්ත්ව සමනයට බෙහෙවින් උපකාර වෙයි. 
  • සමාජ ජාල භාවිතය පවුලේ අය, නෑදෑ මිතුරන් අතරට සීමා නොකර විවිධ ක්ෂේත්‍ර ඇතුලත්ව සිදු කරන්න.  තමා සමුහයක, රටක, ලෝකයක වෙසෙන බව දැනවීමට එය උපයෝගී වෙනවා.
    හැබැයි, එම සමාජජාලම ඔබේ සිතේ අයහපත් තත්ත්ව වර්ධනයට හේතු විය හැකි බැවින් හැකිතාක් එහි ඇති විකල්ප තෝරාගැනීම් හැකියා (option) ගැන දැනුවත් වී අනවශ්‍ය වචන හා පීඩාකාරී පුද්ගලයන් ඈත් කිරීමට සිතට ගත යුතුයි. 
  • හැම කතාබහකදිම වයිරසය හා ඒ ගැන තොරතුරුවලින් පරිබාහිර දේ ගැනත් අවධානය යොමු කරන්න. සිතට සතුට ගෙන දෙන සිනා කතා, වෙනත් කතා හා නිර්මාණ මෙන්ම ජිවිතයේ වෙනත් අංශ සඳහා වැඩි ඉඩක් දෙන්න. අලුතින් සිතන්න. 
4. ඔබේ ශරීරය හා අධ්‍යාත්මය ගැන අවධානය යොමු කරන්න. 
  • ඔබේ සිරුරට මෙන්ම සිතට කාරුණික වන්න. මෙවන් වටපිටාවක හිතේ පීඩනය සාමාන්‍යයි. එය ඔබට පමණක් සිදුවන්නක් නොවේ.
  • හැකිතාක් එදිනෙදා වැඩ කාලසටහනකට අනුව කරන්න. උදය පිබිදීම, ආහාර ගැනීම, දරුවන්ගේ වැඩ කටයුතු, නිවසේ සිට රැකියාව ආදිය පවා විවිධත්වයක් ඇතිවන ලෙස සැලසුම් කර, එය අනුගමනය කිරීමෙන් ඔබට සාමාන්‍ය ජිවිතයක් ගතකරන බව දැනෙනු ඇති.  
  • ඔබ අනුගමනය කරන ආගමක් දහමක් ඇත්නම් ඒ සඳහා කාලයක් යොදවන්න. 
  • ඔබ කැමති විනෝදාංශයක යෙදෙන්න. පොත් කියවීම, චිත්‍රපටියක් නැරඹීම, අලුත් කෑමක් අත්හදා බැලීම, නිර්මාණයක් කිරීම, වගාවක් කිරීම, මල් සැකසුමක් කිරීම, දරුවන් සමග වීඩියෝ නොවෙන ක්‍රීඩාවක නිරතවීම වැනි ඔබ කැමති දෙයක් අලුතින් හිතා බලා තෝරාගන්න. තමන්ගේ සැඟවුණු කුසලතා ඔප මට්ටම් කරගැනීමට මෙම කාලය යොදවන්න පුළුවන්. 
  • එලියට බැස හිරුඑළියේ වැඩක නිරතවෙන්න. නිවසෙන් පිටත ඇවිද යා හැකිනම් පිටස්තර පුද්ගලයන්ගෙන් දුරස්ථ භාවය රැකගෙන කෙටි දුරක් ඇවිදින්න. අසල්වැසියා සමග ඈතින් සිට වචනයක් දෙකක් කතා කරන්න. 
  • තනිව සිතා බෙහෙත් ගැනීමෙන් හා මත්ද්‍රව්‍ය ගැනීමෙන් වලකින්න. 
  • ශාරීරික ව්‍යායාම කිරීමට ක්‍රමයක් යොදාගන්න. ඇවිදීම, බයිසිකල් පැදීම, වත්තේ පිටියේ වැඩ කිරීම මෙන්ම අන්තර්ජාලයේ සොයාගන තනිව අනුගමනය කල හැකි, විශේෂ උපකරණ අනවශ්‍ය  යෝග ව්‍යායාම් වැනි දෙයක් අනුගමනය කරන්න. 
  • සිරුර ඉහිල් කරන මානසික ව්‍යයමයන්හි යෙදෙන්න. සුඩොකු වැනි ගැටළු විසඳීම, භාවනා කිරීම, යෝග ව්‍යායාම ආදියෙහි දිනපතා යෙදෙන්න. එය ඔබේ කාලසටහනට ඇතුලත් කරගන්න. 
5. අනෙක් අයට උදව් වන්න. කාරුණික වන්න. 
ඔබ ශාරීරිකව සමාජයෙන් ඈත්ව සිටිමින් වුවද සමාජයට සේවය කල හැකි ආකාර ගැන සිතන්න. ඔබේ හැකියාවන් නිර්මාණාත්මකව යොදාගනිමින් අන් අයට උදව් කරන්න. 

අවධානය යොමු විය යුතු අංශ :
සෞඛ්‍ය පුරුදු අනවශ්‍ය ලෙස වැඩියෙන් කරන්නට යොමුවෙන පවුලේ සාමාජිකයන් ගැන අවධානයෙන් සිටින්න. අත් සබන් යොදා සේදීම අවශ්‍ය වුවත් එය අනවශ්‍ය ප්‍රමාණයකින් කරනවානම් තේරුම් කර දී, සීමා පනවන්න.
කාමරයටම සීමා වී සිටින්නට උත්සහ දරනවානම් ඔබ සමග පිටතට කැඳවා ගන්න.  

හැඟීම් ද පහසුවෙන් පැතිරෙන්න පුළුවන්. ඔබට පිහිටක් අවශ්‍ය තරම් කාංසා හා ශෝකිය තත්වයක් දැනෙයි නම් හොඳ සවන්දීමේ හා උපදෙස් දීමේ හැකියාවක් ඇති කෙනෙක් තෝරාගන්න. වයිරසය ගැන ඍණාත්මක අදහස් දරන, ඔබේ බිය වැඩි කරන්නට යොමු කරවන අයගෙන් ඉවත්වෙන්න. හොඳින් සවන් දෙන්න හැකි, සමබර, ධනාත්මකව හිතන අය මේ වෙලාවේ වැදගත්. ඒ අය පමණක් කතාබහට තෝරාගන්න.

උදව්:
https://search.creativecommons.org/
www.helpguide.org/articles/anxiety/coronavirus-anxiety.ht
www.mentalhealth.org.uk/coronavirus
www.vox.com/identities/2020/3/21/21188362/manage-anxiety-pandemic
www.sciencemag.org/careers/it-s-ok-feel-anxious
www.theatlantic.com/photo/2020/03/photos-life-coronavirus-era/608101/
https://ca.portal.gs/