Showing posts with label COVID. Show all posts
Showing posts with label COVID. Show all posts

Tuesday, 2 February 2021

මිලියන ගණන් වටිනා 99 මිනිස්සු

අවුරුදු 99ක් වයස්ගත වුණ පසු මරණය එනතෙක් බලා නොඉඳ, තමන්ගේ ජිවිතයෙන් තවත් වැඩක් ගන්න පුළුවන් කියල හිතන අයත් ලෝකේ ඉන්නවා. එහෙම තමන්ගේ ජිවිතයේ තබන පියවරක් පාසා අන්‍යයන්ට වැඩක් කරන්න කොවිඩ් වසංගත  කාලේ ඇවිදින්න හිතපු මිනිස්සු තුන්දෙනෙක් ගැනයි මේ.


තෝමස් මූර් Tom Moore : අවුරුදු 100ට පෙර වට 100ක්: 1920 අප්‍රේල් 30 දින එන්ගලන්තයේ යෝක්ෂයර්හි දී උපත ලැබූ තෝමස් 1939 දී දෙවෙනි ලෝක යුද්ධය ඇරඹෙන්නට මාස අටකට පෙර කැඩෙට් නිලධාරියෙක් ලෙස බ්‍රිතාන්‍ය රාජකීය හමුදා සේවයට බැඳුණි.

ලෝක යුධ සමයේ ඉන්දියාවේත්, බුරුමයේත් සේවය කළ ඔහු යුද්ධය අවසන් වීමෙන් පසු කෙටි කලක් පුහුණු කිරීම් නිලධාරියෙක් ලෙස සේවය කර, 1946දී හමුදා සේවයෙන් සමු ගත්තේය. ඉන් පසු සාර්ථක ව්‍යාපාරයකට සම්බන්ධ වූ ඔහු විශ්‍රාම වයස වන තෙක් එහි ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක් ලෙස සේවය කළේය. 
ලොවට එතරම් විශේෂිත චරිතයක් නොවූ ඔහු පිලිබඳ ලොවම කතා කරන්නට ගත්තේ 2020 මාර්තු මස කොවිඩ් වසංගතය ලොව ගිල ගන්නට පටන් ගැනීමත් සමගයි. 
දස දහස් ගණනින් මිනිසුන් බිලිගත් රෝගය හමුවේ වයස්ගතයන් වඩාත් අනාරක්ෂිත විය. වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවයේ අය කල යුත්තක් හෝ ඖෂධයක් නොදැන මියෙන රෝගීන් දෙස බලමින් තමනුත් ආරක්ෂා වන අයුරු ගැන උකටලී වූහ.
තව මසකින් එළඹෙන තම 100 වෙනි උපන්දිනයට සුදානම්ව සිටි තෝමස් මූර්, තම උකුල් ඇටය බිඳී ගිලන් වූ දා සිට තමන්ට සෞඛ්‍ය සේවා සැපයු බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවයට පෙරලා තම යුතුකම ඉටු කිරීමට වඩාත් සුදුසු අවස්ථාවක් ලෙස මෙය සැලකිය. 
රෝගය ගැන පර්යේෂණ කිරීමට අවශ්‍ය මුදල් උපයා ගැනීම පිණිස තම ගෙවත්තේ වට 100ක් තම ඇවිදින උපකරණය ආධාරයෙන් ඇවිද පවුම් 1000 ක් සපයා ගැනීම ඔහුගේ සැලසුම විය. 
2020 අප්‍රේල් 8 වනදා ඇරඹි ඔහුගේ වට 100 ආරම්භ වූ මුල් පැය 24 තුලම රට පුරා දායකයින්ගෙන් පවුම් 70 000ක් උපයාගැනීමට ලැබුණු නිසා ඔහු දෙවන දිනයේ ඉලක්කය මිලියන එකක් දක්වා ඉහල දැම්මේය. ලොව වටා දැඩි අවධානයක් දිනු ඔහුගේ මෙම 100 laps before 100 ඉතා ඉක්මනින් ඒ ඉලක්කයද පසු කළේය. බොහෝ දෙනෙක් විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කරමින් ඔහුට සහය පල කළහ. අප්‍රේල් 16 වනදා තම වට 100 ඇවිද අවසන් කරන විට ඔහු නමින් අරඹා තිබුණු ටොම් මූර් පදනම පවුම් මිලියන 13ක් උපයාගැනීමට සමත්ව තිබුණි. ඔහුගේ අවසන් පියවර ලක්ෂ ගණනක් ජනයා නිවෙස්වල සිට සජීවීව නැරඹුහ. ඔහුගේ අරමුදල ඉලක්ක බිඳ දමමින් 100වන උපන්දිනය වන විට ලොව දස දෙසින් ගලා ආ මුදලින් පවුම් මිලියන 30ක්  ඉපයීමට සමත්විය. 
කැප්ටන් ටොම් ලද උපන්දින සුබපැතුම් පාසල්
ශාලාවක ප්‍රදර්ශනය කර තිබු අයුරු 


ඔහුගේ උපන්දිනයට දසතින් ආ සුබ පැතුම් අතරට එලිසබෙත් රැජිනගේ සුබ පැතුම් පතක්ද, හමුදා සේවයේ උසස්වීමක් මෙන්ම, රාජකීය ගුවන් සේවයේ විශේෂ සංදර්ශන ගුවන්යානා ආචාරයක්ද ඇතුලත් විය. 


අවුරුදු 99 කදී තම ජිවිතයට තිබුණු අවදානම පවා නොතකා ඔහු කළ මේ නිර්භීත ක්‍රියාවට උපහාර පිණිස මහා රැජින ඔහුට නයිට් නාමයක් පුද කළේය. 2020 ජුලි 17 වනදා වින්ඩ්සර් කාසල් මන්දිරයේ ඉදිරිපස පිට්ටනියේදී සිදුකෙරුණු මෙම විශේෂ උපහාරයෙන් පසු අරමුදලට තවත් මුදල් ගලා එමින් තිබේ. 

කොවිඩ් වයිරසය සමග සටන් කිරීම උදෙසා අනෙකුත් රටවලට පෙර සාර්ථක එන්නතක් නිපදවීමට බ්‍රිතාන්‍යය සමත්වීම පසුබිමේ මෙම අසහාය පුද්ගලයාගේ ක්‍රියාකාරිත්වයටද ඉහලම තැනක් හිමිවී තිබෙනු නිසැකයි. 

මාර්වින් ගෝඩ් Marvin's Million 
බ්‍රිතාන්‍යයේ ටොම් මූර් ගේ අභාෂයෙන් දිරි ලද දෙවන ලෝක යුද්ධයේදී යුධ සේවයේ යෙදුනු කැනඩාවේ වෙසෙන 99 වියැති පුදගලයින් දෙදෙනෙක්ද කොවිඩ් අරමුදලට දායක වීම උදෙසා ඇවිදීම ආරම්භ කළහ.
1920 දෙසැම්බර් 31 දින කැනඩාවේ උපත ලද මාර්වින් අපුර්ව චරිතයකි. දෙවෙනි ලෝක යුධ සමයේ රාජකීය කැනඩා ගුවන් හමුදාවේ සේවය කළ ඔහු, ජර්මනියේ හා ඉතාලියේ භයානක අහස් තලයන්හි ගමන් කිරීමට රේඩාර් විශේෂඥක් ලෙස ගුවන් නියමුවන්ට ආධාර කර ඇත. යුද්ධය නිමවීමෙන් පසු ඖෂධවේදියෙක් ලෙස සේවය කළ ඔහු අවුරුදු 50 දී නිතිය පිලිබඳ උපාධියක් ලැබීය. උසස් අධ්‍යාපන ආයතනයක කථිකාචාර්යවරයෙක් ලෙසද සේවය කර ඇති ඔහු, අවුරුදු 83 දී කැනඩා ආරක්ෂක පාඨමාලාවක් හදාරා A+ සාමාර්ථයක් ලද බව පවසන්නේ ආඩම්බරයෙනි. 

බැලූ බැල්මට 99 වියැති බව කීමට නොහැකි තරම් ක්‍රියාශීලි බවක් දක්වන ඔහු තම මවට හා නැන්දනියට ඔවුන්ගේ ජිවිතයේ අවසන් කාලයේ පිහිටවූ Baycrest Foundation ආයතනයේ දැනට වෙසෙන වයස්ගත පුද්ගලයින් රෝගයෙන් ආරක්ෂා කිරීම උදෙසා පිහිටෙවූ Safeguarding Our Seniors අරමුදලට මුදල් සපයා ගැනීම උදෙසා 'මාර්වින්ස් මිලියන්ස් 'ලෙස නම් කෙරුණු ඇවිදීම ආරම්භ කළේය. තම 100 වන උපන්දිනයට පෙර පියවර මිලියනයක් ඇවිදින බවට ශපථ කළ ඔහු එක පියවරක් උදෙසා එක ඩොලරයක් ආධාර කරන ලෙස ඉල්ලීම් කළේය. ඒ අනුව 2020 අගෝස්තු මස ආරම්භ කර, ඔහුගේ සියවන ජන්ම දිනයට පෙර පියවර මිලියනයක් ඇවිද්දද ඔහුට උපයාගත හැකිවුයේ ඩොලර් ලක්ෂයකට තරමක් වැඩි ප්‍රමාණයක් පමණි. තවමත් වර්ධනය වෙමින් තිබෙන අරමුදල ඔහුගේ අප්‍රතිහත දිරියට උපහාරයක් වෙනු ඇත.  

ජෝර්ජ් මාර්කොව්: 100ට පෙර කිලෝමීටර් 100: 1921 අප්‍රේල් 14 දින රුසියාවේදී උපත ලද ජෝජ් මාර්කොව් දෙවන ලෝක යුධ සමයේ රුසියානු හමුදාවේ සේවය කල අයෙකි. වසර තුනක් ජර්මන් අත් අඩංගුවේ ද පසුවූ ඔහු, යුද්ධය නිමවීමෙන් පසු 1950දී කැනඩාවට සංක්‍රමණය විය.  ලෝ වැසියන් රෝගයෙන් ආරක්ෂා කිරීම උදෙසා පර්යේෂණ කිරීමට අරමුදල් තර කිරීමට සහය ලබාදෙනු පිණිස 'අවුරුදු 100ට පෙර කිලෝමීටර් 100ක් ' ඇරඹීය.  එම අධිෂ්ඨානයෙන් සති හයකදී කිලෝමීටර් 50ක දුරක් ඇවිදීමට සමත්වීමද විශේෂයකි. 


ඩොලර් ලක්ෂයක මුදලක් ඉලක්ක කරන ජෝජ්, ලැබෙන ආධාර මුදල්වලින් 75%ක් Sunnybrook පර්යේෂණ ආයතනයටත්, 25%ක් සවුත්ලේක් රෝහල් පදනමේ Covid 19 Action Fund සඳහාත් ලබාදීමට බලාපොරොත්තු වෙයි. 

තම වයස ඉලක්කමක් පමණක් කරගත් මෙම දිරිය මිනිසුන් ලොව වෙසෙන මිලියන ගණනක් මිනිසුන්ගේ බලාපොරොත්තු ඉහල නැංවීමට, ආදර්ශයක් ලබාදීමට මෙන්ම, බොහෝ දෙනෙක්ගේ දිවි ගලවා ගැනීමටත් දායක වනු ඇත.  

උදව්: 
www.9news.com.au/national/captain-tom-moore-promoted-honorary-colonel-on-100th-birthday
www.udiscovermusic.com/news/captain-tom-moore-uk-no-1
en.wikipedia.org/wiki/Captain_Tom
toronto.ctvnews.ca/i-feel-obligated-99-year-old-veteran-walking-100-km-
www.baycrestfoundation.org/Ways-to-Give/Campaigns/Marvins-Million nationalpost.com/news/canada/marvins-million-veteran-99-walking

Tuesday, 28 April 2020

කැනඩාවේ COVID තතු 2

නෙත ගිය හැමතැන - දළු මල් අබරණ
වසන්ත සමයයි එළැඹෙන්නේ
වෙනදට ආදරෙන් පිළිගන්න වසන්ත සමය මේ වසරේ තනිවෙලා. හිමිහිට මතුවෙන කොළ හා මල් දිහා බලන්නවත් සන්සුන් හිතක් මිනිස්සුන්ට නැහැ. දවසින් දවස වැඩිවෙමින් යන සංඛ්‍යා දිහා බලාගෙන මෙහි නිමක් ගැන පතමින් කවදාක නිදහසේ වසත් සුව විඳින්නද කියල බලාපොරොත්තු දල්වාගෙන ඉන්නේ.

අප්‍රේල් මාසය එළඹුනත් කැනඩාවේ කොවිඩ් රෝගීන් ගණන අඩුවුණේ නැහැ. එළඹෙන තත්වයන්ට අනුව නීතිරීති වෙනස් කරමින්, මහජනතාවට නිවසේ රැඳී සිටිමින් මේ භාරදුර කාර්යයේ ඉදිරිපෙළ ඉන්න අයට පිටිවහලක් වෙන්න කියල දිනපතා රජයෙන් ඉල්ලන්නේ.
කැනඩාවේ මේ ප්‍රශ්ණය දෙස දැඩි අවධානය යොමුකළ මුල්ම දවසේ ඉඳල ඉතා වැදගත් දෙයක් සිදුවෙනවා. හැම දිනකම EST වේලාවෙන් උදේ 11.15 ට පමණ අගමැති ජස්ටින් ට්රුඩෝ මහතා රජයේ තීරණ, රජය ගන්නට බලාපොරොත්තු වෙන පියවර, පාර්ලිමේන්තුවේ ගත් තීරණ, මහජනයාගෙන් බලාපොරොත්තු වන දේ ආදිය ගැන ජනතාව අමතමින් කියා සිටීමයි. මේ කතාවට කිසිම දිනයක රෝග වාර්තා, මියගිය ගණන ආදිය අඩංගු වෙන්නේ නැහැ. පාලනය සම්බන්ධ දේවල් පමණයි. සියලු ජනයා එකලෙස දැනුවත් වීම නිසා ඔවුනට වඩා දැනුවත් තීරණ ගෙන සෞඛ්‍යය රැකගෙන ආරක්ෂා වීමට හැකිවනු ඇතැයි මෙයින් බලාපොරොත්තු වෙනවා.

ඔහු ද නිරෝධායනයට ලක්වී සිටි නිසා මුල සිටම තම නිවසෙන් පිටතට පැමිණ මේ සුදානම් සහිත කතාව පවත්වන්නේ. ඉඳහිට දවසක මාධ්‍යවලට ප්‍රශ්ණ අසන්නට දෙනවා. Teleconferencing ක්‍රමයට ප්‍රශ්ණ අහන්නේ. සැමට ආදර්ශයක් දෙමින් ආරක්ෂක නිලධාරීන් පවා එකිනෙකාට දුරින් සිටින්නේ.
දුර ගැන කියද්දී දැන් පුද්ගලික දුරස්ථභාවය මීටර් දෙකක් රැකගන්න උපදෙස් දෙන්නේ.

අගමැතිතුමාගේ කතාවට අමතරව වරින්වර ප්‍රාන්ත ප්‍රිමියර් හා ප්‍රදේශයේ නගරාධිපතිත් ජනතාව දැනුවත් කරනවා. මේ අය විවිධ දේශපාලන පක්ෂ නියෝජනය කළත් සියල්ලෝ මෙම ප්‍රශ්නයේදී එකම අරමුණක් ඇතිව ක්‍රියා කරනවා. ප්‍රාන්ත සෞඛ්‍ය අධ්‍යක්ෂ දිනපතා රෝගීන් හා මරණත්, සෞඛ්‍ය අංශයේ තීරණත් දැනුම් දෙනවා. ඔවුන්ගේ තීරණ සියල්ල, ඉහලින් ලැබෙන තීරණ වලට අනුගත නිසා වැරදි අවබෝධයන් ඇතිවන්නේ නැහැ.

අප්‍රේල් මාසයේ වැදගත් තීරණ රාශියක් ගෙන මහජනතාවට යම් සහන සැලසුවා.
* කලින් ලිපියේ තිබුන වගේ කැනඩාවේ නිරෝධායන මධ්‍යස්ථාන නැහැ. රෝගී ඇසුරක් ගැන සැකනම් හෝ පිටරටක සිට පැමිණියේ නම් නිවසේ හෝ මුලික පහසුකම් ඇති තැනක දින 14ක් නිරෝධායනය වීම අනිවාර්යයි. රෝගය වැලඳී ඇති බවට ස්ථිර වුවත් නිවසේ අනෙක් අය සමග සම්බන්ධ නොවී වෙන්ව සිටින්නට අවශ්‍යයි. මහජන සෞඛ්‍ය අධිකාරියෙන් ඔවුන්ට උපදෙස් ලබාදෙනවා.
* රෝගය පැතිරීම වැලැක්වීමට ගත් පියවර හේතුවෙන් රැකියා අහිමිවූ අයට හා වෙළඳ ව්‍යාපාර වැසීමට සිදුවූ අයට ආර්ථික හා මුල්‍ය පහසුකම් සැපයීම ඉතා වැදගත් තීරණයක්. ඉක්මණින් සිදූවූ පාර්ලිමේන්තු රැස්වීමකින් පසු මේ සඳහා වූ මිලියන ගණනක මුදල අනුමත වුණා. එම මුදල් ලබාගැනීමට ලියාපදිංචි වීමත් සිදුකළේ වෙනස්ම ක්‍රමයකට. මේ සඳහා සුදුසුකම් ලැබීමට පසුගිය වසර තුළ අවමයෙන් $ 5000ක ඉපැයීමක් කළයුතුව තිබුණා. ලබාදෙන මුදලින් කොටසක් නැවත ගෙවිය යුතුයි.
ලියාපදිංචියට  අනුගමනය කළ ක්‍රමය වුයේ ඉල්ලුම් කරන පුද්ගලයාගේ උපන් මාසයයි.   සඳුදා ජනවාරි සිට මාර්තු දක්වා උපන්දින ඇති අය ලියාපදිංචි විය යුතුව තිබුණා. අඟහරුවාදා අප්‍රේල් සිට ජූනි  දක්වාත්, බදාදා ජුලි සිට සැප්තැම්බර් දක්වාත්, බ්‍රහස්පතින්දා ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වාත් ලියාපදිංචි සිදුකළා. සිකුරාදා වෙන්වුණේ මේ සතිය තුල යම් ගැටළු ඇතිවූ අයටයි. මේ ක්‍රමය ඉතා සාර්ථකව සිදුවූ බව වාර්තා වුණා.
* තවමත් කැනඩාවේ emergency order නිසා ක්‍රියාත්මක වන්නේ  අත්‍යවශ්‍ය සේවා පමණයි. ඒ අතුරින් විශේෂයෙන් ඉදිරි පෙළ සේවය කරන අයට වැටුප් වර්ධනයක් ලබා දිමටත් තීරණය වුණා. වෛද්‍ය සේවා සහ වැඩිහිටි නිවාස ආදියේ සේවය කරන අයට මේ වර්ධකය හිමිවනු ඇති.

* වෙන රටවල ජිවත්වන කැනඩා පුරවැසියන්ට  දීමනාවක් දීමත් කෙරෙනවා.

* පුරවැසියන් වැඩි දෙනෙක් නිවෙස්වල සිටින නිසා විදුලි ගාස්තු අඩු කිරීමට ක්‍රියා කළා.

*විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන සිසුන්ට ගිම්හාන නිවාඩුවේ රැකියා කර උපයාගැනීම උගහට නිසාත්, අන්තර්ජාල භාවිතයට වැඩි මුදලක් වැයවෙන නිසාත් ඔවුන්ට දීමනාවක් යෝජනා වී තිබෙනවා. මේ සියල්ලෝ මාර්තු මාසයේ සිට අන්තර්ජාලය ඔස්සේ ඉගෙනුම සිදු කරන්නේ.

දීර්ඝ කරන ලද පාසල් නිවාඩුව අවසන් වීමත් සමග අප්‍රේල් මස මුල් සතියේ සිට දුරස්ථ ඉගැන්වීම් ආරම්භ වුණා. මේ සඳහා මුලින්ම ගුරුවරුන්ට තාක්ෂණික උපකරණ සහ අන්තර්ජාල පහසුකම් තිබේදැයි සොයා බැලුවා. සිසුන්ගේ නිවසේ පරිගණක, ලැප්ටොප්, ක්රෝම්බුක් , iPad වැනි තාක්ෂණික උපකරණ තිබේදැයි සමීක්ෂණ සිදුකර, එසේ නොමැති සිසුනට පාසලට අයත් උපකරණ ලබාදීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වුණා. කලින් සැලසුම් කරන ලද අවස්ථාවක් නොවෙන නිසාත්, සියලු ගුරුවරු සියලු ඉගැන්වීම් අන්තරජාලය ඔස්සේ සිදුකළ යුතු නිසාත්, දිනපතා එන ගැටලුවලට මුහුණ දෙමින් ක්‍රමයෙන් දෙමාපියන්, දරුවන් හා ගුරුවරු මේ ක්‍රමවලට අනුගත වෙමින් සිටින්නේ.

පාසල් හා විශ්ව විද්‍යාල නැවත ආරම්භය මැයි අග දක්වා දැනට කල් දමා තිබුණත්, ගිම්හාන නිවාඩුවෙන් පසු අලුත් වසර ආරම්භ වන සැප්තැම්බර් මාසයේවත් සමුහ ලෙස එක් රැස්වන ස්ථාන ආරම්භ කිරීම සැක සහිතයි.

කැනඩා -ඇමරිකා දේශ සිමාව තවමත් අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට පමණයි විවෘත කර තිබෙන්නේ.
කැනඩාවේත් හැමෝම කියන දේ අහගෙන ඒ විදියටම ඉන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ අනවශ්‍ය රැස්වීම් සිදුකරන, නීතියට පිටතින් පස් දෙනාට වඩා එක් රැස්වෙන අයට දඩ ගැසීම සිදු කරනවා. නොවටිනා මිලකට අත්‍යවශ්‍ය භාණ්ඩ විකිණීමත් දඩ ලැබීමට හේතු වෙනවා. රැකියාවට යා හැකිව තිබියදී නොයා සිට මුදල් ලබාගන්න අය ගැනත් අවධානය යොමුවෙලා තියෙන්නේ.

රෝගය සමග අනාගතයේ එන ගැටළු ගැනත් අවධානය යොමු කරණවා. මතුවිය හැකි ආහාර හිඟයට පිළියම් ලෙස එළඹෙන ගිම්හාන කාලයේ ගෙවතු වගා කිරීම දිරිමත් කරන අතර, වගා කිරීමට ඉඩක් නොමැති අයට Community Garden සංකල්පය අනුව තමා වෙසෙන ප්‍රදේශයේ වගාව සඳහා රජයේ ඉඩම් වෙන්කර දීම මේ දිනවල කෙරෙනවා.

වැඩිහිටි හා විශ්‍රාමික වියට පත්වූ පසු ඔවුන් සඳහා වන විශේෂ නිවස්නවල ජීවත්වීම කැනඩාවේ සුලබයි.
වැඩිහිටි නිවාස හා long term care වල වෙසෙන අය සිඝ්‍රයෙන් රෝගයට ගොදුරු වී මියයාම රජයට මුහුණ දෙන්න සිදුවූ විශාල ප්‍රශ්ණයක්. සේවා සපයන පුද්ගලයන්  බොහෝවිට නිවස්න කිහිපයක සේවය කිරීම නිසා මෙම පැතිරීම වේගවත් වූ බව හඳුනා ගැනුණා. සේවය කරන අය රෝගී වීමත් සමග එක පුද්ගලයෙක්  එක ස්ථානයක පමණක් සේවය කළ යුතු ලෙස නීති පැනවුණා.  රෝගීන් වැඩිවීමත්, සේවය කරන අය අඩුවීමත් හේතුවෙන් ඇතිවූ ගැටලුවට පිළියම් ලෙස එම මධ්‍යස්ථානවල සේවය උදෙසා හමුදාව යොදවනු ලැබුවා.

දිනපතා මතුවන ගැටලුවලට පිළියම් යොදමින්, ඇතිවන තත්ත්ව විග්‍රහ කරමින්, රෝගය වලක්වාගෙන, රෝගීන් හා මරණ අඩු කරගන, මහජන ආරක්ෂාව කෙරෙහි ප්‍රමඛතාව දීමයි මුල සිටම කැනඩාව අනුගමනය කළ පිළිවෙත වුණේ. දැනටමත් කැනඩා සෞඛ්‍ය සේවය අවදානම් මට්ටමකට පැමිණ තිබෙන්නේ. වෙනත් රටවල සෞඛ්‍ය සේවයේ යෙදී තිබෙන, කැනේඩියානු සුදුසුකම් අවසන් කර නැති වෛද්‍යවරුන්ටත්  ලියාපදිංචි වීමට ඉල්ලීම් කරනු ලැබුවා. ඔවුන්ට අධීක්ෂණයට යටත්ව මාසයක කාලසීමාවකට තාවකාලික බලපත්‍ර ලබා දී තිබෙනවා.
දැනට රෝගය සම්බන්ධව කැනඩාවේ තත්වය High risk :ඉහල අවදානම් ලෙසයි ගැනෙන්නේ.
දිනපතා රෝගීන් මෙන්ම මරණ සංඛ්‍යා ද ඉහල නගිනවා. බොහෝ රටවල් මෙන්ම කැනඩාවද උත්සහ කරන්නේ වක්‍රය සමතලා කර සෞඛ්‍ය පහසුකම් වලට ඔරොත්තු දෙන ප්‍රමාණයක රෝගීන් පවත්වා ගැනීමටයි.

දැනට සති  හතක් පුරා පවත්වාගෙන යන හදිසි තත්වය ලිහිල් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් තවමත් නැත. ජනතාවගේ අවම අවශ්‍යතා සපුරා ගැනීමට රජයෙන් සියලු ආධාර දෙන අතර, කෙටි කාලීන ලිහිල් කිරීමක් පවා මෙතෙක් සිදුකළ සියලුම කැපකිරීම් අවදානමක යොදවනු ඇති බව නිතර ජනතාවට අවධාරණය කෙරෙනවා. සුළු ව්‍යාපාර ආරම්භක දිනය ගැන ඇසු පැනයකට පිළිතුරු දෙමින් ඔන්ටේරියෝ ප්‍රාන්ත අගමැති කීවේ " මෙය මාර්ග සිතියමක්. දින දර්ශනයක් නොවේ".
                         
                            ' THIS IS A ROAD MAP .  NOT A CALENDAR'

උදව්:
www.bnnbloomberg.ca/
www.canada.ca/en/public-health/services/diseases/2019-novel-coronavirus-infection.html
https://www.cbc.ca/news/canada/toronto/internationally-trained-doctors-covid-19
https://www.thestar.com/news/canada/2020/04/10/

Saturday, 25 April 2020

කොරෝනාවයිරස් සමයේ මානසික සුවපත් බව

ලොව වෙලාගෙන ඇති වයිරස පැතිරීම නිසා රෝගය ගැනත්, රෝගීන් හා මරණ ගැනත් වෙන කවරදාකටත් වඩා තොරතුරු වැඩියි. වසංගතය හේතුවෙන් නිවසට වී බොහෝ දිනක් හිඳිම, අවිනිශ්චිතභාවය, හෝ ස්වකිය පවුලේ කෙනෙක් අවදානම් රැකියාවක යෙදීමට සිදුවීම නිසා මේ තත්වය ශාරීරිකව මෙන්ම මානසිකව හා මනෝ විද්‍යාත්මකව කරන බලපෑම් ඉහලයි.  කාහටවත් අවනත නොවෙන වයිරසයක් නිසා මුළු සමාජ ජිවිතයම බිඳ වැටී, එය සෑම පුද්ගලයෙක්ටම බලපාමින් තියෙන්නේ.
අප කිසිවෙක් මින් පෙර මුහුණ දී නැති, කවදා නිමක් දකියිදැයි කිසිවෙක්ට නිශ්චිතව කිව නොහැකි, ඉදිරියට මොන තත්වයක් එළඹෙදැයි නොදන්නා මෙවන් තත්වයකදී මානසික සෞඛ්‍යය රැකගන්නා අන්දම පිළිබඳව ලොව බොහෝ ආයතන උපායමාර්ග ඉදිරිපත් කරලා තියනවා.

1. තොරතුරු දැනගැනීම. එහෙත් අනවශ්‍ය ලෙස ප්‍රවෘත්ති ආදිය නිතර නොබැලීම
අප කිසිවෙක් නිශ්චිතව නොදන්නා රෝගයක් හා එහි පැතිරීමේ ස්වභාවය ගැන දැනසිටීම අත්‍යවශය දෙයක්. තමන් ජිවත්වන ප්‍රදේශයේ එහි පැතිරීම අධ්‍යයනය රෝගයෙන් වැලකි සිටීමට පහසුවක්.
එහෙත් වැරදි තොරතුරු මෙන්ම විශ්වාසදායක නොවෙන තොරතුරුද අන්තර්ජාල අවකාශයේ බහුලයි. එමෙන්ම සංවේදී තොරතුරු නිතර ප්‍රචාරය වෙන වෙබ් ලොව පුරා තියෙනවා. ඒවායෙන් තොරතුරු ලබාගෙන විශ්ලේෂණය කරන අයට මිස, නිවසේ රැඳී සිටින හෝ වෙනත් රැකියාවක යෙදෙන කෙනෙක්ට ඒවායින් එතරම් ප්‍රයෝජනයක් නැහැ. එමනිසා හැමවිටම
  • විශ්වාසදායක තොරතුරු දෙන අඩවි කිහිපයකට ඔබේ සෙවුම් සීමා කරන්න.
  • තොරතුරු ලබාගන්නා කාලසීමාව සීමා කරන්න. බොහෝ ප්‍රවෘත්ති හා සමාජ ජාල මගින් අනවශ්‍ය තරම් තොරතුරු ලබා ගැනීම චිත්ත පීඩනය වැඩිවීමට හේතු වෙනවා. 
  • ඔබට ලැබෙන තොරතුරු වලින් ඔබ පිඩාවට පත්වන බව දැනෙයි නම්, ඒවා ඔබ සිත කරදරයට පත්කරයි නම් මාධ්‍ය භාවිතයට සීමා පනවගන්න. 
  • ඔබ දන්නා, විශ්වාසදායක අය ශෙයා කරන දේ පමණක් තෝරාගන්න. වෙනත් තොරතුරු ශෙයා කිරීමේදී හොඳින් සැලකිලිමත්වන්න. අනවශ්‍ය තොරතුරු හා වැරදි තොරතුරු නිසා අනෙක් පුද්ගලයන් කලබලයට පත්විය හැකිය.
2. ඔබට පාලනය කළහැකි දේ ගැන අවධානය යොමු කරන්න.
ලෝකයේ හෝ ඔබ සිටින රටේ හෝ ඔබ සිටින ප්‍රදේශයේ වයිරසය පැතිරීම ඔබට පාලනය කළ නොහැකියි. ඔබ එම පාලන ක්‍රියාවන්ට සක්‍රියව දායක වන රැකියාවක නොයෙදී නිවසේ සිටියිනම්,
  • දිනය සමබරව සැලසුම් කරන්න 
  • නිවසේ හා නිවැසියන් ගැන අවධානයෙන් ඒ අයට වැඩි ප්‍රයෝජනයක් සැලසෙන අයුරිනුත්, අලස බව නොදැනෙන අයුරිනුත් ඔවුන් සමග ප්‍රබෝධයෙන් සම්බන්ධ වෙන්න. සියල්ලන් එක්ව ආහාර ගන්න.
  • නිවස පිරිසිදුව තබාගන්න. මේ සඳහා නිවසේ අයව සහභාගී කරගන්න.
  • ස්වකීය ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වෙන්න. නිවසින් බැහැර නොගියත් දිනපතා පිරිසිදු වීම, ඇඳුම් මාරුකිරීම, හිස පිරිම, දත් මැදීම, නෑම ආදිය සුපුරුදු ලෙස සිදු කරන්න. 
  • නිවසේ සිට රැකියාව කරන්නේ වුවත් දිවා ආහාර විවේකය, තේ විවේකය ලබාගන්න. දිනය අවසානයේ එම ස්ථානය පිරිසිදු කර, එතනින් ඉවත්වෙන්න. 
  • රෝගය බෝවීමෙන් වැළකීමට ලොව පුරා මිනිසුන් අනුගමනය කරන දේ අනුගමනය කරන්න.  
 *  නිතර දෙඅත් සබන් යොදා සෝදන්න. පිටතකට ගොස් පැමිණි විට මෙය  අනිවාර්යයි.  
  *  මුහුණ අතපත ගෑමෙන් වලකින්න   
  *  ප්‍රමාණවත් නින්දක් ලබාගන්න. මෙය ප්‍රතිශක්තිය දියුණු කරයි.         
  *  හිරුඑළිය සිරුරට පතිතවීමට සලස්වන්න. ගෙවත්තක් ඇත්නම් එළිමහනේ පැය කිහිපයක් ගත කරන්න. 
   *  අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසෙන් පිටව ගමනේ නොයෙදෙන්න. 
   *  නිවසෙන් පිටත යනවිට මුහුණු ආවරණයක් නිසි ලෙස පළඳින්න. පිටස්තර පුද්ගලයන්ගෙන් මීටර් 2ක්වත් දුරින් සිටින්න.
තරුණ, නිරෝගී බව පෙනෙන කෙනෙක් මගින් වුවත් රෝගය පැතිරීමට ඉඩ ඇති බව දැන සිටින්න. බාහිර ගමන් බිමන් යාමේදී එය තරයේ සිතට ගන්න.

3. ඔබට භෞතිකව එකිනෙකාගෙන් වෙන්ව සිටීමට සිදුවුවත්, නිතර අන් අය හා සම්බන්ධතා පවත්වන්න.
දැනට රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් නැති නිසා  රෝගයෙන් වැළකීමට උත්සාහ දැරීම පමණයි කරන්නට හැකිවන්නේ. ඒ සඳහා ප්‍රමුඛතම කරුණක් වන්නේ අනෙත් අයගෙන් ඈත්ව සිටීමයි. (physical distancing). ප්‍රබල සමාජ සත්වයෙක් වන මනුෂ්‍යයා වවිධ සම්බන්ධතා ඇති කරගැනීම නිතැතින් සිදුවන දෙයක්. එකිනෙකාගෙන් දුරස්ව විසීම කාංසා, මානසික ආතතිය හා මානසික අවපීඩන තත්ත්ව ඇති කිරීමට මෙන්ම ශාරීරික සෞඛ්‍යයටත් බලපෑම් කරනවා. එමනිසා එකිනෙකා සමග වෙනත් ක්‍රම භාවිතයෙන් සම්බන්ධතා පවත්වා ගැනීම වැදගත්.
  • පවුල, සමීප නෑදෑයින් සහ සමීප මිතුරන් සමග නිතර සම්බන්ධතා පවත්වන්න. පවුලේ අය දැනට වෙසෙන්නේ ඔබ සමග නොවේනම් නිතර දුරකථනය, ස්කයිප්, වට්සැප්, ෆේස්බුක් චැට් ආදී තාක්ෂණ යොදා ගනිමින් ඔවුන් සමග සම්බන්ධ වී කතාබහ කරන්න. හැකි විටෙක වීඩියෝ යොදාගැනීමෙන් එකිනෙකා දුරස් බව දැනීම අඩුකර ගැනීමට හැකියි. එය කාංසා හා අනෙකුත් මානසික පසුබෑම් තත්ත්ව සමනයට බෙහෙවින් උපකාර වෙයි. 
  • සමාජ ජාල භාවිතය පවුලේ අය, නෑදෑ මිතුරන් අතරට සීමා නොකර විවිධ ක්ෂේත්‍ර ඇතුලත්ව සිදු කරන්න.  තමා සමුහයක, රටක, ලෝකයක වෙසෙන බව දැනවීමට එය උපයෝගී වෙනවා.
    හැබැයි, එම සමාජජාලම ඔබේ සිතේ අයහපත් තත්ත්ව වර්ධනයට හේතු විය හැකි බැවින් හැකිතාක් එහි ඇති විකල්ප තෝරාගැනීම් හැකියා (option) ගැන දැනුවත් වී අනවශ්‍ය වචන හා පීඩාකාරී පුද්ගලයන් ඈත් කිරීමට සිතට ගත යුතුයි. 
  • හැම කතාබහකදිම වයිරසය හා ඒ ගැන තොරතුරුවලින් පරිබාහිර දේ ගැනත් අවධානය යොමු කරන්න. සිතට සතුට ගෙන දෙන සිනා කතා, වෙනත් කතා හා නිර්මාණ මෙන්ම ජිවිතයේ වෙනත් අංශ සඳහා වැඩි ඉඩක් දෙන්න. අලුතින් සිතන්න. 
4. ඔබේ ශරීරය හා අධ්‍යාත්මය ගැන අවධානය යොමු කරන්න. 
  • ඔබේ සිරුරට මෙන්ම සිතට කාරුණික වන්න. මෙවන් වටපිටාවක හිතේ පීඩනය සාමාන්‍යයි. එය ඔබට පමණක් සිදුවන්නක් නොවේ.
  • හැකිතාක් එදිනෙදා වැඩ කාලසටහනකට අනුව කරන්න. උදය පිබිදීම, ආහාර ගැනීම, දරුවන්ගේ වැඩ කටයුතු, නිවසේ සිට රැකියාව ආදිය පවා විවිධත්වයක් ඇතිවන ලෙස සැලසුම් කර, එය අනුගමනය කිරීමෙන් ඔබට සාමාන්‍ය ජිවිතයක් ගතකරන බව දැනෙනු ඇති.  
  • ඔබ අනුගමනය කරන ආගමක් දහමක් ඇත්නම් ඒ සඳහා කාලයක් යොදවන්න. 
  • ඔබ කැමති විනෝදාංශයක යෙදෙන්න. පොත් කියවීම, චිත්‍රපටියක් නැරඹීම, අලුත් කෑමක් අත්හදා බැලීම, නිර්මාණයක් කිරීම, වගාවක් කිරීම, මල් සැකසුමක් කිරීම, දරුවන් සමග වීඩියෝ නොවෙන ක්‍රීඩාවක නිරතවීම වැනි ඔබ කැමති දෙයක් අලුතින් හිතා බලා තෝරාගන්න. තමන්ගේ සැඟවුණු කුසලතා ඔප මට්ටම් කරගැනීමට මෙම කාලය යොදවන්න පුළුවන්. 
  • එලියට බැස හිරුඑළියේ වැඩක නිරතවෙන්න. නිවසෙන් පිටත ඇවිද යා හැකිනම් පිටස්තර පුද්ගලයන්ගෙන් දුරස්ථ භාවය රැකගෙන කෙටි දුරක් ඇවිදින්න. අසල්වැසියා සමග ඈතින් සිට වචනයක් දෙකක් කතා කරන්න. 
  • තනිව සිතා බෙහෙත් ගැනීමෙන් හා මත්ද්‍රව්‍ය ගැනීමෙන් වලකින්න. 
  • ශාරීරික ව්‍යායාම කිරීමට ක්‍රමයක් යොදාගන්න. ඇවිදීම, බයිසිකල් පැදීම, වත්තේ පිටියේ වැඩ කිරීම මෙන්ම අන්තර්ජාලයේ සොයාගන තනිව අනුගමනය කල හැකි, විශේෂ උපකරණ අනවශ්‍ය  යෝග ව්‍යායාම් වැනි දෙයක් අනුගමනය කරන්න. 
  • සිරුර ඉහිල් කරන මානසික ව්‍යයමයන්හි යෙදෙන්න. සුඩොකු වැනි ගැටළු විසඳීම, භාවනා කිරීම, යෝග ව්‍යායාම ආදියෙහි දිනපතා යෙදෙන්න. එය ඔබේ කාලසටහනට ඇතුලත් කරගන්න. 
5. අනෙක් අයට උදව් වන්න. කාරුණික වන්න. 
ඔබ ශාරීරිකව සමාජයෙන් ඈත්ව සිටිමින් වුවද සමාජයට සේවය කල හැකි ආකාර ගැන සිතන්න. ඔබේ හැකියාවන් නිර්මාණාත්මකව යොදාගනිමින් අන් අයට උදව් කරන්න. 

අවධානය යොමු විය යුතු අංශ :
සෞඛ්‍ය පුරුදු අනවශ්‍ය ලෙස වැඩියෙන් කරන්නට යොමුවෙන පවුලේ සාමාජිකයන් ගැන අවධානයෙන් සිටින්න. අත් සබන් යොදා සේදීම අවශ්‍ය වුවත් එය අනවශ්‍ය ප්‍රමාණයකින් කරනවානම් තේරුම් කර දී, සීමා පනවන්න.
කාමරයටම සීමා වී සිටින්නට උත්සහ දරනවානම් ඔබ සමග පිටතට කැඳවා ගන්න.  

හැඟීම් ද පහසුවෙන් පැතිරෙන්න පුළුවන්. ඔබට පිහිටක් අවශ්‍ය තරම් කාංසා හා ශෝකිය තත්වයක් දැනෙයි නම් හොඳ සවන්දීමේ හා උපදෙස් දීමේ හැකියාවක් ඇති කෙනෙක් තෝරාගන්න. වයිරසය ගැන ඍණාත්මක අදහස් දරන, ඔබේ බිය වැඩි කරන්නට යොමු කරවන අයගෙන් ඉවත්වෙන්න. හොඳින් සවන් දෙන්න හැකි, සමබර, ධනාත්මකව හිතන අය මේ වෙලාවේ වැදගත්. ඒ අය පමණක් කතාබහට තෝරාගන්න.

උදව්:
https://search.creativecommons.org/
www.helpguide.org/articles/anxiety/coronavirus-anxiety.ht
www.mentalhealth.org.uk/coronavirus
www.vox.com/identities/2020/3/21/21188362/manage-anxiety-pandemic
www.sciencemag.org/careers/it-s-ok-feel-anxious
www.theatlantic.com/photo/2020/03/photos-life-coronavirus-era/608101/
https://ca.portal.gs/

Monday, 30 March 2020

කැනඩාවේ COVID තතු 1

ලොවම මුහුණ දීල ඉන්න වසංගතයක තත්වය ගැන එක එක රටවල අය විස්තර කරද්දී මටත් හිතුන කැනඩාව COVID-19 වසංගතයට මුහුණ දෙන හැටි ලියන්න.
ජනවාරි මාසය
අපිත් ලෝකේ අනිත් අය වගේම ජනවාරි මාසේ ඉඳන්ම කොරෝනා වයිරසය ගැන, චීනයේ එය පැතිරෙන විදිය ගැන බලාගෙන හිටියා. කැනඩාවේ පළමු රෝගියා හමුවුණේ ජනවාරි මාසයේ. ඔහු වූහාන් ප්‍රදේශයේ සංචාරයකින් පසු පැමිණි කෙනෙක්. ජනවාරි අග වෙද්දී ඔහු සුවවුණා.
තත්වය සෙලවීමකට ලක්වුණේ ජපානයට ගොස් එහි ඇතුල්වීමට අවසර නොලබා නැංගුරම් ලා තිබුණු ප්‍රින්සස් ඩයමන්ඩ් සුඛෝපභෝගී නෞකාවේ කැනේඩියනුවන් කිහිප දෙනෙක් සිටිය නිසා. ඔවුන්ට සියලු පහසුකම් ලැබෙන බවත්, කැනඩා ජාතිකයන් හොඳින් ඉන්න බවත්, ඔවුන්ව රෝගය ගැන දැනුවත් කරමින් තිබෙන බවත් දිනපතා කිව්වේ. නමුත් ක්‍රමයෙන් එහි ආසාදිතයන් ගණන වැඩිවුණු අතර කැනේඩියානු අයත්  රෝගි වුණා. (ඉන් එක අයෙක් පසුව ජපානයේ රෝහලකදී මියගියා).

පෙබරවාරි මාසය
සාමාන්‍ය ජන ජිවිතයේ වෙනසක් වුනේ නැහැ. පුද්ගලික ස්වස්ථතාව ගැන අවධානය වැඩිවුණා. අධික සිතල නිසා එලියට යද්දී හොඳට වැහෙන්න ඇඳුම් ඇඳගෙන, ග්ලව්ස් දාල, බූට්ස් දාල යන නිසා බාහිර පරිසරය කෙලින්ම අතපත ගෑම කොහොමත් අඩුයි.
පෙබරවාරි වල වූහාන් සිටි 150 පමණ ගෙන්වාගත් අතර ඒ කිසි කෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා ගත්තේ නැහැ. හැම දෙනාටම කිව්වේ නිවසේ දින 14ක්  ස්වයං නිරෝධායනය වෙන ලෙසයි. වැඩි පිරිසක්  නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා ඒවාට පහසුකම් සැපයීමේ සුදානමක් තිබුනේ නැහැ. එසේ ස්වයං නිරෝධායනය වෙන අයව දිගටම නිරීක්ෂණය කළා. තමන්ටම රෝගය වැලඳී ඇතිදැයි නිර්ණය කරගත හැකි assessment එකක් එලි දැක්වූවා. වඩා සැක අය රෝගයට අදාල පරීක්ෂණයෙන් තහවුරු වී රෝගීන් වුණත් රෝහලට ඇතුලත් කළේ දින ගණනාවක් රෝග තත්ත්ව පෙන්නුම කළ පසුවයි. ඒ කාලය තුළ අවශ්‍ය උපදෙස් ලැබෙනවා.

ක්‍රමයෙන් රට තුළ රෝගීන් වාර්තා වෙන්න ගත් අතර, වැඩි දෙනෙක් එකිනෙකින් දුරස්ව තිබුණු ප්‍රාන්ත දෙකකිනුයි හමුවුණේ. ඒ හැම දෙනාම පිටරට සංචාරවලින් පසු ආ අය.


පෙබරවාරි මාසයේ කැනඩා රජයේ වෙබ්සයිට් එකේ health කොටසට කොරෝනා ගැන විස්තර ඇතුලත් පිටුවක් ආරම්භ වුණා. සියලු තොරතුරු ප්‍රධාන භාෂා දෙකෙන්ම ලබාගත හැකි වුණා. මේ වෙබ් පිටුව නිතිපතා update වුණා. මේ පිටුවේ අද වනවිට තිබෙන සබැඳියා මෙහෙමයි.
     * COVID-19 අලුත්ම  තත්වය               * අවදානම හා වලක්වා ගැනීම
     * රෝග ලක්ෂණ හා ප්‍රතිකාර             * සුදානම් වන අයුරු
     * ගමනාගමන උපදෙස්                         * කැනඩාවේ ප්‍රතිචාර
මේ එක එක ලින්ක් එකෙන් ගොස් ඒවායේ සබ් ලින්ක් වලින් බොහෝ තොරතුරු ඕන කෙනෙක්ට ලබාගන්න පුළුවන්. මේ ලිපියේ උදව් කොටසේ එම පිටුවේ වෙබ් address එක තියනව.

මාර්තු මාසය
සාමාන්‍යයෙන් මිනිස්සු සතුටින් ඉන්න, වැඩිපුර එලි පහලියට එන කාලේ. සීතල ටික ටික  තුරන්වෙලා, හිම වැටීම අඩුවෙලා, උණුසුම වගේම ඉර පවතින වෙලාව වැඩිවෙමින් තිබෙන කාලය.
මාර්තු මාසය එළඹීමත් එක්ක බොහෝ වෙබ්වල, පාසල්වල, පුස්තකාල ආදියේ  කොරෝනා වයිරසය, එහි බෝවීම හා රෝගය ගැන දැනුවත් කිරීම් ඇරඹුනා.
තවත් කැනේඩියානුවන් රැගත් නෞකාවක් රෝගීන් නිසා ඇමරිකාවේ වරායක නිරෝධායනයට ලක් කිරීමත් සමග cruise ship වල ගමන් යාමෙන් වලකින ලෙස ඉල්ලීම් කළා. බොහෝවිට මේ සුඛෝපභෝගී නෞකාවල ගමන් කරන්නේ වැඩිහිටි අය. ඒ සමගම විදේශිකයන්ට අත්‍යවශ්‍ය නොවෙන දේවලට කැනඩාවට පැමිණීමේ තහනමක් පැනවුවා.

පාසල්වල වසන්ත නිවාඩු සතිය හෝ සති දෙක ලැබෙන්නේ මාර්තු මාසේ මැද. මේ වසරේ ඒ නිවාඩුව යෙදී තිබුනේ මාර්තු 13 සිට.  මේ නිවාඩුවේදී බොහෝ දෙනෙක් විනෝද චාරිකා සහ පිටරට චාරිකා යනවා. රජය ඒ ගැන දැඩි අවධානය යොමුකළා.
පිටරට යන අයගෙන් නැවත රෝගය පැතිරීමේ අවදානම නිසාත් රෝගීන් 60 ඉක්මවීම නිසාත් 12 දා සවස ප්‍රාන්ත රජයෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කළා. ඒ අනුව,
  • පාසල් නැවත ආරම්භ කරන දිනය සති දෙකකින් කල් දැමුවා. ඒ පිටරටකට ගියහොත් නැවත පැමිණි පසු නිරෝධායනයට ඉඩ සලසමින්. 
  • විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වසා දැමුවා..
  • හැකි සෑම කෙනෙක්ටම නිවසේ සිට රැකියාව කරන්න ඉල්ලීමක් කළා.
  • සියලුම දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසා දමනු ලැබුවා.
  • පුස්තකාල, සිනමා ශාලා, නාට්‍යශාලා ඇතුළු මහජනයා ගැවසෙන අත්‍යවශ්‍ය නොවන ආයතන වසා දැමුවා 
  • පාසල් නිවාඩු කාලීන කෑම්ප්, විනෝද ස්ථාන, කොන්සර්ට්  සියල්ල නොපවත්වන බව නිවේදනය කළා 
  • පොදු දෙයකට රැස්විය හැකි වැඩිම සංඛ්‍යාව 5කට සිමා කළා.
මෙහිදී මුළු සමාජයම කැළඹුනා. එදා සවස සියලුම වෙළඳසල් පාරිභෝගිකයන්ගෙන් පිරි ඉතිරි ගියා. රෝගය ගැන වගක් නැතිව රැස්වෙලා ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගත්තා.
මේ කලබලය තිබුණේ දින දෙකතුනක් පමණයි. 13 දා පාසල් පවත්වා නිවාඩු දීමෙන් පසු රජයේ ඉල්ලීම පරිදි ජනතාව හැකිතාක් නිවෙස් තුළම කාලය ගතකළා. ඒ නිසා ඇඳිරි නිතිය වැනි දැඩි ක්‍රියාමාර්ග වෙත එළඹෙන්න වුනේ නැහැ.
අත්‍යවශ්‍ය අහර ද්‍රව්‍ය ගන්න වෙළඳසල්, බැංකු, ඉන්ධන පිරවුම්හල් සේවා කාලය අඩු කර දිගටම ක්‍රියාත්මක වෙනවා.
මේ නීති රීති හා ඉල්ලීම් ඇත්තටම මට්ටම් තුනකින් ක්‍රියාත්මක වුණේ. මධ්‍යම රජයෙන්, ප්‍රාන්ත රජයෙන් හා නාගරික (municipal) මට්ටමෙන්.

රට කම්පනයට පත් තව කරුණක් තිබුනා. එක්සත් රාජධානියේ සමුළුවකට සහභාගී වී පැමිණි අගමැති ට්රුඩෝ බිරිඳට COVID-19 රෝගය වැළඳී තිබීමයි. මේ නිසා ඇය self isolate වුනු අතර, අගමැතිතුමාත් නිවසේ සිට රැකියාව කරන බව පවසමින් ඇය සමගම ස්වයං නිරෝධායනයකට යොමුවුණා. අප අයත් නාගරික සිමාවේ නගරාධිපතිත් කොරෝනා රෝගියෙක් හා සමීපව ඇසුරු කළ නිසා නිවසේ නිරෝධායනය වුණා.

ජාත්‍යන්තර ගුවන් තොටුපල 17ක් ඇතුළු ගුවන් තොටුපළවල් 500ක් තිබෙන කැනඩාවේ මිනිසුන්ගේ ගමනාගමනය සීමාකිරීමේ නීති පැනවීම පහසු නැහැ. නමුත් ක්‍රමයෙන් මධ්‍යම රජය මගින් ගුවන් තොටුපල එකින් එක වසා දමන්නට පටන්ගත්තා. දැනට ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර ගුවන් තොටුපල 4ක් පමණයි.

ක්‍රමයෙන් මහජනතාවගෙන් හා සෞඛ්‍ය අංශවලින් එන ඉල්ලීම් සලකමින්
  • රෙස්ටුරන්ට්, කැෆේ ඇතුළු ජනතාව රැඳී ආහාර ගන්න ස්ථාන වසා දැමුවා. නවතින්නේ නැතිව ආහාර රැගෙන යා හැකි ස්ථාන තවමත් විවෘතයි. 
  • සැලෝන්, ජිම් ආදිය වසන්නට නියෝග කළා.
  • මහජන උද්‍යාන වසා දැමුවා. 
  • පිටරටක සිට පැමිණෙන හැමදෙනට දින 14ක ස්වයං නිරෝධායනය අනිවාර්ය කළා 
  • රෝහල් සහ අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදෙන අයගේ දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන කිහිපයක් නැවත විවෘත කළා. 
  • පොදු ප්‍රවාහන සේවා තරමක් අඩු කිරීම හා ඒවා තුළ එකිනෙකාගෙන් ඈතින් ගමන් කිරීමට ක්‍රමෝපාය ක්‍රියාත්මක කළා.  
  • පාසල් හා උසස් අධ්‍යාපන ආයතන විවෘත කිරීම දින නියමයක් නැතිව කල් දැමුවා. 
මේ සියල්ල සිදුකරන අතර රෝහල් සඳහා අත්‍යවශ්‍ය ග්ලවුස්, පිරිසිදුකිරීම් දියර, මාස්ක් ආදිය නිෂ්පාදනය වැඩි කිරීමට ඒ සඳහා පහසුකම් ඇති වෙනත් දේ නිපදවන කම්හල් යොදා ගනිමින් තියනව. වාහන නිෂ්පාදන ආයතන ඇඳන් හා ventilator නිෂ්පාදනය සඳහා යොමුකර තිබෙනවා. 
වසංගත තත්වය නිසා රැකියා හා අදායම් මාර්ග අහිමි වූ අයටත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටත් මුල්‍ය හා වෙනත් ආධාර සැපයීම ආරම්භ කළා. 
මේ සියලු තත්ත්ව මැද දැනට කැනඩාවේ COVID-19 රෝගීන්ගේ තත්වය


උදව්:
https://www.canada.ca/en/public-health/services/diseases/coronavirus-disease-covid-19.html

Monday, 23 March 2020

COVID -19 හා ස්පාඥ්ඥ උණ එක බඳුද ?

මාර්තු 22 උදේ මේ ලිපිය globalnews.ca වෙබ්සයිට් එකේ දුටු වෙලාවේ ඉඳලම මෙය පරිවර්තනය කරන්න හිත කිව්වා. දෙගිඩියාවකින් හිටියේ මේක සෞඛ්‍යය ජර්නල් එකක් නොවෙන නිසා. එහෙත් හවස් වෙද්දී ටිකක් වෙනස් විදියක කොරෝනා වයිරස් මරණ දෙකක් ටොරොන්ටෝ නගරය තුලිනුත්, ඒ ආසන්න නගරයකිනුත් වාර්තා වුනා.
එක්කෙනෙක් ඇමරිකාවේ සංචාරය කර පැමිණි 70 වියැති කෙනෙක්. රෝගී බවක් දැනුනු නිසා පරික්ෂා කරවාගත් විට කොරෝනා බව දැනගෙන නිවසේ isolate කළ කෙනෙක්. (කැනඩාවේ අමාරු වෙනකල් රෝහල්ගත කරන්නේ නැහැ). නැවත රෝග තත්ත්ව වැඩි නිසා රෝහල්ගත කරලා පැය 24 ගතවෙන්නත් පෙර මියගොස්.
අනිත් තැනැත්තිය පසුගිය දින කිහිපයේම ප්‍රංශය හා ටහිටි රටවල සංචාරය කර ඊයේ පැමිණි 72 හැවිරිදි කාන්තාවක්. රෝග පරීක්ෂාවක් වත් කරගෙන නැහැ. අද හදිසියේ ගෙදරදීම මියගොස්. ඇයට කොරෝනා තිබුණු බව සොයාගෙන තියෙන්නේ ඉන් පසුවයි.
මේ ගැන ප්‍රකාශයක් කල Infection disease specialist කෙනෙක් වෙන Dr. Isaac Bogoch පැවසුයේ මේ රෝගය උත්සන්න වන ආකාරය රෝගියාගෙන් රෝගියාට වෙනස්විය හැකි බවත්, රෝගයේ  වෙනස් ආකාර එළඹිය හැකි බවත්.
ඒ බව ප්‍රවෘත්ති ප්‍රකාශයකින් දැනගත්තම මේ ලිපිය පරිවර්තනය කළ යුතුයි කියා හිතුණා.

ලිපිය ලිව්වේ Rachael D' Amore
National Online journalist
COVID -19 හා ස්පාඥ්ඥ උණ අතර සමානතා
වසර 100 කට පෙර අද මෙන්ම ලොවේ වසංගත තත්වයක් ඇතිවිය.  එය ලොව ඉතිහාසයේ  අතිශය මාරාන්තික තත්වයක් විය. ලොව පුරා මිනිසුන් මිලියන 500 කට (එවක ජනගහනයෙන් 1/3 ) අසාදනය වී 55 000 කට මරණය අත්කර දී තිබේ. එයින් වැඩි හරියක් වැඩිහිටි තරුණ අයයි.
1918 දී පැතිරුණු එම ස්පාඥ්ඥ උණ, ලෝකයේ වසංගත තත්වයන් දෙස බලන ආකාරය, වසංගත වලට මුහුණදෙන ආකාරය හා ප්‍රමාණිකරණය කරන ආකාරය පිලිබඳ මිනුම් ලකුණක් (benchmark) බඳු විය.
COVID 19 වයිරසය ලොව පුරා පැතිරෙමින් උත්සන්න වීමත්, යුරෝපය හා උතුරු ඇමරිකාවේ එහි බලය පැතිරවීමත් සමගම විද්‍යාඥන් හා ඉතිහාසඥයින් එය 20 වන සියවසේ උණ සමග ඇති සමානතා විමසන්නට පෙළඹුනත් වෙනස්කම්ද ඇතිබව වටහා ගත්හ.
"බිය ගෙනදෙන සමානතාත්, හිතට සහනය දෙන අසමානතාත් තිබෙනවා" ජනමාධ්‍යවේදී හා September 1918: War, Plaugue, And The World ලියු ස්කිප් දෙස්හර්ද  කියයි.
'දැනට තියන වෛද්‍ය විද්‍යාවේ ප්‍රවණතා සියල්ල සලකා බැලුවත්, වසංගත තත්වයක් දැන් ලොවේ භයංකාරයි. අපි දැන් ලෝක ප්‍රජාවක්. මිනිස්සු වසර 100 කට එහාදී තිබුනට වඩා ඉතා වේගයෙන් ලොව පුරා ගමන් ගන්නවා. එය වසංගත ඉතාම වේගයෙන් පැතිරෙන්නට පහසුවක් ".

1918 මාර්තු මාසයේ පළමු ලෝක සංග්‍රාමය සමයේ ස්පාඥ්ඥ උණ ආරම්භ වුයේ කොතනදැයි පැහැදිලි නැත. මුල් අවස්ථාව සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ සහිත එකකි. එහෙත් අගෝස්තු මාසයේ දෙවැනි රැල්ල භයානක විය. සමහරු රෝගය වැළඳී පැය  කිහිපයක් තුළ සිරුර නිල් පැහැ ගැනෙමින්, පෙනහළු තුළ දියර පිරෙමින් හුස්ම ගත නොහැකිව  මිය ගියහ.
තුන්වෙනි රැල්ල සිසිර ඍතුව තුළ පැතිරුණු අතර 1920 අවසන් වනතෙක් තුරන් කළ නොහැකිවිය.

ස්පාඥ්ඥ උණද කොරෝනාවයිරසය මෙන්ම ලොව පුරා පැතිරුනේ ගමනාගමනය නිසයි. දැන් ගුවන්යානා වෙනුවට එදා පැතිරුනේ නැව් මගිනි.
ලෝක යුද්ධයේ අවසාන කාලයේ හමුදා ඛණ්ඩවල  ගමන් හේතුවෙන් ඇමරිකාවේ මධ්‍ය බටහිර හා ගිනිකොණ ජනපදවල ඇති හමුදා කඳවුරුවල පැතිරුණු අතර, හමුදා භටයන් මගින් ප්‍රංශයට පැතිරුණු බව සිතිය හැකිය. එතනින් අනෙක් යුරෝපා රටවලත්, සාමාන්‍ය ජනතාව අතරත්  ව්‍යාප්ත විය.
"දැන් තිබෙන ගුවන් ගමන් පහසුව සමග එක මහාද්වීපයක සිට තවත් මහද්විපයකට වයිරස පැතිරීම පැය ගණනකින් සිදුවිය හැකියි" . දෙස්හර්ද පවසයි.
නව කොරෝනාවයිරසය චීනයේ වුහාන් නගරයෙන් ඇරඹී, ඉතා ඉක්මණින් අනෙක් ප්‍රාන්තවලට පැතිරුනි. දෙසැම්බරයේ ඇරඹී, ක්‍රමයෙන් දේශ සිමා හා මුහුදු පැන ගිය එය, දැන් යුරෝපය මධ්‍ය ලක්ෂය කරගෙන ඇත.
මෙලෙස වේගයෙන් පැතිරුණේ ස්පාඥ්ඥ උණ පැතිරුණු සමයේ මෙන්ම ජනගහනයට මෙම රෝගයට ප්‍රතිශක්තිය නැතිවීම නිසයි. මෙම රෝගයට කලින් නිරාවරණය වී නොතිබුණු නිසා මානවයන් තුළ  එම වයිරසයට ප්‍රතිශක්තියක් ගොඩනැගී නැත.

මේ රෝග දෙකෙහි වෙනස්කම්ද ඇත.
ස්පාඥ්ඥ උණෙන් මියගිය වැඩිදෙනා තරුණ අයයි. කොරෝනාවයිරසය තරුණ අයටත් බලපෑවත්, වඩා භයානක වන්නේ වැඩිහිටි ජනගහනයටයි.
රෝග පැතිරුණු කාල දෙකෙහි ඇති සන්නිවේදන වෙනස්කම්  තවත් කරුණකි. 1918දී රෝගය තිබුනත් වාර්තා කලේ බොහෝ වාරනයන්ට යටත්වය. ලෝක යුද්ධයේදී මධ්‍යස්තව සිටි ස්පාඥ්ඥය තත්වය නිවැරදිව වාර්තා කල නිසා රෝගයේ ආරම්භය ලෙස එම රට නම් කළත්, එහි පැතිරීමට සති ගණනාවකට පෙර, ඇමරිකාවෙත් ප්‍රංශයෙත්  රෝගය ව්‍යාප්තව තිබුණි.
"කැනඩාවේ හැලිෆක්ස්, මොන්ට්‍රියල්, ටොරොන්ටෝ, විනිපෙග් නගරවල ඉතා තදින් ස්පාඥ්ඥ උණ පැතිර තිබුණත්, පුවත්පත්වල බොහෝවිට රෝගය ගැන ලියවී තිබෙන්නේ ඇතුල් පිටුවලයි". කැනඩාවේ වෝටර්ලු විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ මහාචාර්ය හෙදර් මක්ඩුගල් පවසන්නීය. "කොරෝනාවයිරසයේ තත්වය ඊට සාපේක්ෂව බොහෝ විනිවිද පෙනෙන ලෙස වාර්තා වෙනවා"
ඇමරිකාවෙත් ස්පාඥ්ඥ උණ රෝගය පැතිරීම හෝ වැලඳීම වැලක්වීමට මහජනතාවට  නිලධාරීන් හෝ පුවත්පත් මගින් එතරම් දැනුවත් කිරීමක් සිදුව නොමැති බව දෙස්හර්ද පවසයි.
කොරෝනා වයිරසයත් උතුරු ඇමරිකාවේ මිලියන ගණන් පුදගලයන්ට වැළඳිය හැකියි.එදාත් රෝගය වැලඳීම වැලැක්වීමට එකිනෙකාගෙන් ඈත්ව විසීම උපයෝගී කරගෙන තිබෙනවා, අද මෙන්ම.
" වැලඳෙන කාලය දුරස් කරගැනීම වැදගත්. බොහෝ දෙනෙක්ට රෝග ලක්ෂණ යන්තම් ඇතිව රෝගය වැළඳෙයි කියා බලාපොරොත්තු වෙනවා" දෙස්හර්ද පවසයි. "ටොයිලට් කඩදාසි හා පාන් හිඟ වෙලා ජීවත්වෙන එක හොඳයි, වෛද්‍යවරු  හා දැඩි සත්කාර ඒකක හිඟ වෙනවට වැඩිය".

උදව්:
https://www.cp24.com/
https://globalnews.ca/news/6707118/coronavirus-spanish-flu-comparison/

Saturday, 1 February 2020

රෝග නිරෝධායන මධ්‍යස්ථානය Quarantine යනු කුමක්ද?

කොරෝනා වයිරසය ආසාදනය නිසා තනි කිරීමකට ලක්වූ චීනයේ වූහාන් ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකික සිසුන් රැසක් සැලසුමක් ඇතිව ලංකාවට රැගෙන විශේෂ රෝහලක රැඳවීම අද දවසේ ප්‍රධාන මාතෘකාවක්. මෙවැනි ස්ථානයක් නිරෝධායන මධ්‍යස්ථානයක් Quarantine Centre ලෙස හැඳින්වෙන්නේ. මේ ගැන කවුරුත් දැනුවත්වීම වැදගත් කියල හිතුන.
Quarantine is
1 : isolation of people, animals, or things (as plants) out of a certain area to prevent the spread of disease or pests. 
2 : a period during which a person or animal with a contagious disease is isolated.
( Merriam- Webster Dictionary)

1. යම් රෝගයක් හෝ පළිබෝධයක් පැතිරවීම වැලැක්වීම උදෙසා මිනිසුන්, සතුන් හෝ පැළෑටි වැනි දේ යම් ප්‍රදේශයකට ඇතුළුවීමෙන් වැලැක්වීම.
2. පැතිරයන රෝගයක් වැලැක්වීමට මිනිසුන් හෝ සතුන් අන් අයගෙන් වෙන්කර තනිකර තැබීම.


වඩා විස්තරාත්මකව කිවහොත් රෝගයක් හෝ පලිබෝධයක් පැතිරවීම වැලක්වීම උදෙසා පුද්ගලයින්, ශාක හෝ භාණ්ඩ චලනයට සිමා පැනවීම. මිනිසුන් මගින් සම්ප්‍රේෂණය වන රෝගයක් උදෙසානම් මෙය රෝගය වැළඳුන බව සායනිකව තහවුරු නොකළ, එහෙත් රෝගයට නිරාවරණය වී යයි සිතිය හැකි පුද්ගලයින් වෙන්කර  රඳවා ගැනීමක් විදියට හඳුන්වන්න පුළුවන්.
රෝගය වැලඳී ඇති බව තහවුරු කල පුද්ගලයන් වෙන්කර තැබීම හඳුන්වන්නේ isolation කියයි. මේ දෙකේ වෙනසක් තිබෙන බව පැහැදිලි ඇති.
උදාහරණයක් විදියට ලාදුරු රෝගයට ඖෂධ සොයාගෙන නොතිබුණු කාලයේ රෝගය  පැතිරීම වැලැක්වීමට රෝගය වැළඳුනු පුද්ගලයන්ට ප්‍රදේශයක් වෙන්කර, පිටස්තර පුද්ගලයන්ට එම ප්‍රදේශයට යාම තහනම් කිරීම. එවැන්නක් හඳුන්වන්නේ Isolation කියල.
 රෝගයට නිරාවරණය වූ බවට සැක, නමුත් රෝගය වැලඳී ඇති බවට තහවුරු නොවූ නිරෝගී පුද්ගලයන් රඳවාගැනීම ක්වොරන්ටින් එහෙම නැත්නම් නිරෝධායනය කියන්නේ. මේක රෝගයක් පැතිරීම වැලක්වීමට ගන්න පූර්ව උපාය මාර්ගයක් කියන්න පුළුවන්.  සාමාන්‍යයෙන් ක්වොරන්ටින් සඳහා නිශ්චිත කාලසීමාවක් තියනවා. කොරෝනා වයිරසයේ  බීජෞෂණ සමය වන දින 14 තුළදීයි රෝග බීජ ඇති කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට සම්ප්‍රේෂණය වීමේ හැකියාව තියෙන්නේ. ඒ නිසා රෝගයට නිරාවරණය වූ බවට සැක සහිත අය හෝ රෝගීන් ඇසුරු කල පුද්ගලයන් වෙන්කර තැබිය යුත්තේ දින 14ක්. ඉබෝලා වයිරසය සඳහා මෙම කාලසීමාව දින 40ක් වුණ අතර, ඇන්ත්‍රක්ස් රෝගය සඳහා එය විෂබිජහරණ යන්ත්‍රයක් යටින් ගමන් කිරීම හා ඊට පෙර ඇඳ සිටි ඇඳුම් විනාශ කිරීම ප්‍රමාණවත් වුණා.
මෙහිදී සැලකිය යුතු කරුණ වෙන්නේ ක්වොරන්ටින් එකක ඉන්නේ නිරෝගී පුද්ගලයන් බවයි. ඒ අයට අවශ්‍ය පහසුකම් සැපයීම, වෙනත් රෝගයක් වැළඳුනහොත් ප්‍රතිකාර සැපයීම මෙන්ම නිරතුරු ඔවුන් පරික්ෂාවට ලක් කිරීම කල යුතුයි. ඒ නිසා එම නිරෝධායන ප්‍රදේශය ඇසුරු කරන්නට හෝ එහි සේවය කරන්නට සිදුවන පුද්ගලයන් උදෙසා වෙනම ආරක්‍ෂිත ඇඳුම් හා විෂබීජ නාශන ක්‍රියාවලියට ලක් වීම සිදුවෙන්නවා. අද කාලයේ දුරකථන හා අනෙකුත් මාධ්‍ය තිබෙන නිසා නිරෝධයනයක ඉන්න පුද්ගලයන්ට තම පවුලේ අය සමග සම්බන්ධතා පැවැත්වීම එතරම් අපහසුවක් නැහැ.
 ඇත්තෙන්ම බැලුවහොත් නිරෝධායන මධ්‍යස්ථානයකට පහසුකම් සැපයීමයි වඩා අභියෝගාත්මක වෙන්නේ. එහි ඉන්නේ බොහෝවිට එකිනෙකා නොහඳුනන පුදගලයන්. ඔවුන්ගේ අවශ්‍යතා හා ප්‍රමුඛතා විවිධයි. මෙවන් මධ්‍යස්ථනයක පුද්ගල සංඛ්‍යාව වැඩිවත්ම ගැටළු වැඩිවෙන්නට ඉඩ තියනවා. පහසුකම් සපයන පුද්ගලයන්ට, ඉතා කුඩා අවශ්‍යතාවකට උදව් කරන්නට වුණත් වෙනම ඇඳුම් පැළඳුම් හා ආවරණ වලින් යුක්තව සැරසෙන්න වෙනවා.අනිත් අතට ඒවායේ ඉන්න සිදුවෙන පුද්ගලයින්ටත් තරමක මානසික පීඩනයක් සහිත දෙයක්. තමන් නිරෝගී වුණත් රෝගී වෙයිද බිය සහ නිරෝගිව සිටිමිනුත් අන් අයගෙන් වෙන්වී සිටීමට සිදුවීම නිසා හිත කරදරෙන් ඉන්න වෙන්නේ. නමුත් මේ සියල්ල වැඩි දෙනෙක්ගේ යහපත පිණිසයි.
බොහෝ රටවල මෙවැනි මධ්‍යස්ථාන සලකුණු කරන්න කහ වර්ණ කොඩියක් ඔසවනවා. එහෙම නැත්නම් කහපාට දැන්වීම් පුවරුවක් ප්‍රදර්ශනය කරනවා. අපේ රටට අලුත් දෙයක් වුනාට සමහර රටවල රෝහල්වලට අනුබද්ධිතව හදිසියකදී මේ සඳහා වෙන් කරන්න පුළුවන් ඉඩක් වෙන් කරලා තියෙන්නේ. ඒ කොටස කහ වර්ණ කරලා තියෙනව සමහරවිට.

විශේෂ අවස්ථාවලදී විශාල ප්‍රදේශයක් හෝ නගරයක් නිරෝධායන කල අවස්ථා අහන්න ලැබෙනවා. කොරෝනා වයිරසය වේගයෙන් පැතිරුණු චීනයේ වූහාන් නගරය දින ගණනාවක් තහනම් කලාපයක් බවට පත්කළේ ඒ අනුව.
රෝගියෙක් බවට සැක සහිත කෙනෙක් තම නිවසේම රඳවා තැබීමත් සමහරවිට අනුගමනය කරන නිරෝධායන ක්‍රමයක්. එයට කියන්නේ self quarantine කියල. ඇම්බියුලන්ස් බස් හා ජංගම බස්වල රඳවා තැබීමත් සමහරවිට කෙරෙනවා.


සමහර රටවල මේ සඳහා නීතියෙන්ම ඉඩ දීල තියනව. ඔස්ට්‍රේලියාව දැඩි නිරෝධායන නීති සහිත රටක්. ඉතා දිගුකලක් ප්‍රධාන ගොඩබිමෙන් වෙන්ව සිටීම නිසා නිර්මිත ඔවුන්ගේ විශේෂ පරිසරය රැකගැනීම උදෙසා  බොහෝ පලිබෝධ හා රෝග සඳහා නිරෝධායන ක්‍රියාවලියක් ක්‍රියාත්මක වෙනවා. සමහර රටවල නීති යටතේ යම් රෝග බහුලව තිබෙන රටවල සංචාරයට යන අයට ප්‍රතිශක්තිකරණ එන්නත් ගැනීම අනිවාර්ය කර තිබෙනවා. යම් රටක මිනිසුන් අතර රෝගයක් පැතිරෙමින් තිබෙන කාලයක ඒ රටේ සංචාරය කර පැමිණියහොත් වෛද්‍ය පරීක්ෂණවලට ලක්ව ප්‍රතිඵල ලබන තෙක් රඳවා ගැනීම් සිදුකිරීම සඳහා රටට ඇතුල්විය හැකි ස්ථාන වලට සම්බන්ධිත නිරෝධායන මධ්‍යස්ථාන පිහිටවා තිබෙනවා. නොයෙකුත් රටවල ආහාර හා පැළෑටි සඳහා නිරෝධායන මධ්‍යස්ථාන තියෙනවා.
අපේ රටට අලුත් දෙයක් වුණාට මානව නිරෝධායන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වීමේ දීර්ඝ ඉතිහාසයක් තියනව. Quarantine වචනය ඉතාලි භාෂාවේ quarantia gioni: දින හතළිහක් වදන් වලින් බිඳී ආ ලෙසයි සැලකෙන්නේ. 12 වන සියවසේ යුරෝපයේ හා ආසියාවේ පැතිර තිබුණු Black Death සම්බන්ධිත වසංගත රෝගය පැතිරීම වැලැක්වීමට වෙනත් රටවලින් පැමිණෙන නැව් ගොඩ බැස්වීමට පෙර දින 40ක් මුහුදේ රඳවා තිබීම මෙම අදහසේ ආරම්භය ලෙස සලකන්න පුළුවන්.
නමුත් ඊට පෙර සිටම ආසියා හා  අප්‍රිකා රටවල යම් රෝග වැළඳුනු පුද්ගලයන් දින හතක් යනතෙක් නිවසේ වෙන්කර තැබීමේ පුරුද්ද තිබුනා. කහ සලකුණක් වෙනුවට කොහොඹ අත්තක් ගෙදර දොරකඩ එල්ලීම අපේ සිරිතක්නේ.
මොනතරම් හොඳ දේ සිදුකළත් ඒ සඳහා එන විරෝධතාත් තියෙනවා. ටයිෆොයිඩ් මේරි නමින් ප්‍රසිද්ධ අයර්ලන්ත ජාතික මේරි මැලෝන් නිරෝධයනයක වසර 26 ක් රඳවා තැබීමට සිදුවීම කාලසීමාව පිලිබඳ ප්‍රශ්න  ඇතිකළා. ඇය උණසන්නිපාත වාහකයෙක්. ඇයට රෝගය වැලඳුනේ නැතිවුණත් ඇය මගින් පුද්ගලයන් ගණනාවකට රෝගය පැතිරුණා. කිසිම කෙනෙක්ට අහර පිළියෙළ කර නොදීමේ පොරොන්දුව මත වසර තුනක් දිවයිනක රඳවා තැබුවත් ඇය පොරොන්දුව කඩකර සෑදු පුඩිමක් හේතුවෙන් තවත් අය රෝගී වීම නිසා ඇයට 1938දී මියයන තෙක් වසර 23ක් නිරෝධායන දිවයිනේ දිවි ගෙවන්නට වුණා.
වැඩි පිරිසක් නිරෝධායන ස්ථානයක තබාගෙන තිබියදී ඒ සැමට අවශ්‍ය මුලික පහසුකම් සැපයීමේ අඩුපාඩු තවත් විරෝධතා එන්නට හේතුවක්.
ඉබෝලා වයිරසය පැතිරුණු කාලයේ එම රටවල ස්වේච්ඡා සේවයට ගිය වෛද්‍ය සේවයේ සමහර අයව නැවත පැමිණි පසු දින 21ක් රඳවා ගැනීම ගැන ඇමරිකා රජයට විවේචන එල්ල වුණා.
නිරෝධායනයක තම ඥාතියෙක් හිතවතෙක් සිටියි නම් ඔවුන් සමග දුරස්තව කතාබහ කර ඔවුන් සැනසීම හිතවතුන්ට කල හැකියි. එසේම එවන් මධ්‍යස්ථාන පවත්වා ගැනීමට මුල්‍ය හා වෙනත් පහසුකම් සඳහා ආධාර සැපයීමත්, ස්වේච්ඡා සේවය සඳහා ඉදිරිපත් වීමත් අනෙක් මහජනතාවට කළ හැකියි. තත්වය තේරුම් ගෙන ඊට සහය වීමෙන් කෙටි කලක් තුළ තම රටේ අදාල රෝගය පැතිරීම වැලැක්වීමට දායක වෙන්න පුළුවන්.

මේ වීඩියෝව ඊයේ (2020 ජනවාරි 31)එක්සත් රාජධානියේ නිරෝධායන ඒකකයක සිටින කෙනෙක් BBC හරහා මුදාහැරි එකක්. මේ ලින්ක් එකෙන් බලන්න. https://www.bbc.com/news/av/uk-51332746/coronavirus-in-quarantine-after-being-repatriated-from-china

උදව්:
https://en.wikipedia.org/wiki/Quarantine
globalnews.ca/news/6479697/how-quarantines-work-in-canada/
https://www.vox.com/2014/10/28/7079655/quarantine-explainer
https://www.npr.org/sections/goatsandsoda/2014/10/30/360120406/awful-moments-in-quarantine-
www.vox.com/2014/10/28/7079655/quarantine-explainer