Friday, 19 October 2018

කැනඩාවේ කංසා නීතිගත කිරීම - ඊයේ, අද, හෙට

කැනඩාවේ ගංජා (cannabis) නීතිගත කළබව දැනගෙන ලංකාවේ ඒ ගැන ලොකු පිබිදීමක් කතාබහක් ඇතිවෙලා තියෙන බව පෙනෙනවා. බොහෝ දෙනෙක් මෙහි සත්‍යය වටහා නොගෙන ගංජා භාවිතය යහපත් දෙයක් ලෙස පිළිගත්තා වැනි අදහසක් දෙනු දකින්නට තිබෙනවා. එසේම ලංකාවේ එය නීතිගත නොකළ යුත්තේ නීති නිසි ලෙස ක්‍රියාත්මක නොවන නිසා වැනි අදහසුත් තියනවා. ලංකාවේ වැවීම පුළුල්ව නීතිගත කළොත් ආදායමක් උපයගන්න පුළුවන් කියල  හිතන අයත් ඉන්නවා.
කොඩියේ මේපල් කොළය ඉවත්කර ගංජා කොළය ආවද ?
Cannabis, ගංජා, කංසා, මරිජුවානා කියන්නේ එකක්ද? ඒවායේ වෙනස්කම් තියනවද? ගුණ අගුණ මොනවද වගේ ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍යනම් 'අපි නොදන්න මල් තණමල්විල මල් '  බ්ලොග් ලිපියෙන් බලාගන්න පුළුවන්. 

ලෝකයේ කංසා ප්‍රධාන හේතු දෙකක් මත භාවිතා කරනවා. Medical Marijuana (ඖෂධයක් ලෙස) හා Recreational Marijuana (විනෝදයට )
ඈත අතීතයේ පටන් විවිධ රටවල ඖෂධයක් ලෙස කංසා ශාකයේ කොටස් යම් මාත්‍රාවලින් යොදාගෙන තියෙනවා. පැරැන්නෝ කඹ වර්ග සැදීමට හා රෙදි විවිමටත් මේරු ශාකය භාවිතා කර තිබෙනවා,
කංසා ශාකයේ හඳුනාගත් හා නොගත් රසායන ද්‍රව්‍ය 400කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. මෙයින් දෙකක් ඖෂධ සඳහා සුදුසු යයි හඳුනාගෙන තිබෙනවා.
1. Tetrahydrocannabinol - THC : මනසේ ක්‍රියාවලි වෙනස්කම්වලට බලපාන කොටස
2. Cannabidiol - CBD : මනසේ වෙනස්කම් වලට බලපෑමක් නැති
ඖෂධිය කංසා සැකසීමේදී වැඩිපුර අඩංගු වන්නේ CBD ය.
Recreational Marijuana වල වැඩිපුර අඩංගු වන්නේ THC රසායනිකයයි.  THC වැඩිවීමෙන්  මානසික සැහැල්ලුව, හේතු රහිත දුක හෝ සතුට, තීරණ ගැනීමේ හැකියාව අඩුවීම, සාමාන්‍ය ජිවිතයේ ගැටළු අමතක වීම වැනි ස්නායු වල හඳුනා ගැනීමේ හැකියාව නොමඟ යැවිමකින් පටන්ගෙන සිහි මද බව හෝ සම්පූර්ණයෙන්ම සිහිය මුර්ඡාවීම දක්වා බරපතලවිමට පුළුවන්.

ශ්‍රී ලංකාවද ඇතුළු ලෝකයේ බොහෝ රටවල ඖෂධයක් ලෙස කංසා භාවිතයත්,  කංසා වැවිමත් යම් දැඩි සීමා සහිතව නීතිගත කර තිබෙනවා. ඒ පිලිබඳ විස්තරයක් මේ විකිපීඩියා අඩවියෙන් බලන්න.

විනෝදාස්වාදය සඳහා කංසා භාවිතයට මේ වනතෙක් නීතියෙන් ඉඩ දී තිබුණේ දකුණු අප්‍රිකාවත්, ජෝර්ජියාවත්  උරුගුවේ රාජ්‍යයත් පමණයි. එයිනුත් මුලින් සඳහන් කළ රටවල් දෙකේ පුද්ගලික භාවිතය  සඳහා ළඟ තබාගැනීම හැර විකිණීම තහනම්ය. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත කිහිපයක නීතිගත වුනත් ෆෙඩරල් රජයට අනුව  කංසා භාවිතය නීති විරෝධිය. ඒ අනුව සියලු භාවිතා සඳහා කංසා නීතිගත කළ දෙවැනි රට බවට කැනඩාව ඔක්තෝබර් 17වනදා පත්වුණා.

කැනඩාවේ 2001 වසරේ සිට ඖෂධිය මැරුවානා නිත්‍යානුකුල වූ අතර, රජයෙන් විශේෂ අවසරය ලද රෝගීන්ට නියමිත පැල ගණනක් තබා ගැනීමට අවසර දුන්නා. 2013දී මධ්‍යම රජයේ වැඩ සටහනක් යටතේ අනුමැතිය ලද සීමිත පිරිසකට වාණිජ පරමාර්ථ උදෙසා කංසා වැවිමටත්, ළඟ තබා ගැනීමටත් අවසර දුන්නා. පසුගිය වසරේ සිට ඖෂධිය කංසා අවසර ලත් වෙළඳ සැල්වල විකිණීම සිදුකළා.
විනෝදාස්වාදය සඳහා වැවීම හා විකිණීම නිතිගත කලයුතු පනත්  2017 අප්‍රේල් මස ඉදිරිපත් වූ අතර, නොවැම්බර් මාසයේ එයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණා. පසුගිය ජුනි මාසයේ සෙනෙට් සභවේ අනුමැතිය ලද පසුවයි නව නීති සම්පාදනය සම්පුර්ණ කර පසුගියදා නිත්‍යානුකුල බව ලැබුවේ.

විනෝදාස්වාදය සඳහා වැවීම හා විකිණීම නීතිගත කිරීමට හේතු මොනවද?
නීති කෙතරම් තිබුණත් ඒවා ගරු නොකරමින් ජයටම හොර රහසේ නිවෙස් තුළ කන්සා වැවීම කැනඩාවේ බොහෝ පෙදෙස්වල සිදුවුණා. සාමාන්‍ය පදිංචියට නිවෙස් මිලට ගෙන බේස්මන්ට් මට්ටමේ කංසා වැවීම අධික ලාභයක් ලැබූ ව්‍යාපාරයක් බව කියනවා. එම නිවෙස් හඳුනාගැනීමට ශීත කාලයේ හෙලිකොප්ටර් භාවිත කරන්නට සිදුවුණා.
මෙම පැල වැවීමට ඉහල  උෂ්ණත්වයක්  හා කෘතීම ආලෝකය ලබාදිය යුතුයි.  එලෙස සිදුකරන විට පිටවන උෂ්ණත්වයෙන් වහලවල රැඳෙන හිම දියවන ආකාරය අනුව සැක සහිත නිවෙස් හඳුනාගනු ලැබුවා.
මිට අමතරව නිවෙස්වල පසුපස ගෙවත්තේ ගිම්හාන කාලයට වවන ස්ථානත් සොයාගත් අවස්ථා නිතර වාර්තා වුණා.
ඩොලර් මිලියන ගණන් හුවමාරුවන අනීතික කංසා ව්‍යාපාරය වැලැක්වීමට  රජයට විශාල වැයක් දරන්නට සිදුවූ අතර, වයස් භේදයකින් තොරව කන්සවලට ඇබ්බැහිවීම් නිසා ඒවායින් ඔවුන් මුදවා ගැනීමට හා ඇතිවන රෝගවලට ප්‍රතිකාර කිරීමටත් මුදල් වෙන් කිරිම සිදුවුණා.
කංසා වැවීම හා විකිණීම නීතිගත  කළහොත් තරුණ පරපුර දැනුවත් කර එයින් වලක්වා ගැනීම පහසුවන අතර, විකිණීමෙන් ලැබෙන ලාභය මැර කල්ලි අතට යාම වැළක්වී, ඔවුන් මගින් සිදුවන සංවිධානාත්මක අපරාධ සිදුවීම අඩු කල හැකි වෙතැයි බලාපොරොත්තු වෙනවා.
මුදල් ඉපයීම හා තරුණයන් වලක්වා ගැනීම යන අන්ත දෙක එකවර බලාපොරොත්තු වීම තරමක විහිළු සහගත දෙයක් ලෙස පෙනුනත්, කංසා වැවීම වැලැක්වීම හා ඒ ඇසුරින් සිදුවන අපරාධ වැලැක්වීමට වසරකට වැය කලයුතු අධික මුදල රජයට ඉතිරිවන අතර, නීතියෙන් පිටස්තරව ක්‍රියාකරන්නන් අතට යන මුදලක් උපයාගැනීමට රජයට හැකි වෙනවා.
ආර්ථික වටිනාකම් ඇති ශාකයක් ලෙස සැලකුවිට ඇමරිකා එක්සත් ජනපදය මෙමගින් වසරකට ඩොලර් බිලියන 8කට වැඩි ප්‍රමාණයක් උපයන අතර, කැනඩාව දැනට වසරකට ඩොලර් මිලියන 500ක් උපයයි. නීතිගත කිරීමත් සමග වසරකට ඩොලර් මිලියන 618ක වර්ධනයක් බලාපොරොත්තු වන අතර, 2020 වනවිට වසරකට ඩොලර බිලියන 5 ක් ඉපයීමට හැකිවනු ඇති කියා හිතනවා.
නීතිගත කිරීමත් සමගම අධික ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්වීම නිසා ප්‍රධානපෙලේ සමාගම් කිහිපයක්ම තම ව්‍යාපාර පුළුල් කර මහා පරිමාණ වගා ආරම්භ කර තිබෙනවා. දැනටමත් ඖෂධිය නිෂ්පාදන කරන සමාගම්, ඩොලර් බිලියන ගණන් යොදවා තරගයට වැටි තිබෙන අතර, අපනයන කටයුතු පුළුල් කර තිබෙනවා. තවත් සමාගම් ක්‍රමික අධ්‍යයන සිදුකරමින් සිටින්නේ.

නීතිගත කළ පමණින් ඕනෑම කෙනෙක්ට නිදහසේ කංසා වැවීමටත්, ළඟ තබා ගැනීමටත්, නිදහසේ ඒවා භාවිතා කිරීමටත් හැකියාව ඇතැයි සිතිය හැකි වුනත්, සත්‍යය එය නොවේ. දුම්බීම, මත්පැන් පානය මෙන්ම මේවා භාවිතයටත් සීමා පනවා තියෙන්නේ.

නිෂ්පාදනය ආරක්‍ෂිත හා ක්‍රමානුකුල වීමට මහා පරිමාණ නිෂ්පාදකයන් ඒ සඳහා බලපත්‍රයක් ලබාගත යුතු අතර, හැමවිටම පුහුණුවක් ලද අය සේවයට යොදාගත යුතු වෙනව. රජයේ නිරතුරු අධීක්ෂණයට ලක්වීමත් සිදුවනු ඇති. වෙළඳ සලක විකිණීමට බලපත් ලබාගැනීම අත්‍යවශ්‍යයි. වෙළඳදැන්වීම් පළකිරීම ඉඳුරාම තහනම්. මත්පැන් හා දුම්වැටි අලෙවි කරන වෙළඳසල්වල කන්සා නිෂ්පාදන විකිණීම නොකෙරෙනු ඇති.
ඕනෑම කෙනෙක්ට තම නිවසේ පැල 4ක් වැවීමට අවසර ඇති අතර පැල විකිණීම හා ග්‍රෑම් 30කට වඩා විකිණීම තහනම්. මල් දරන පැල ප්‍රසිද්ධ ස්ථානවල තබාගැනීමත් නීති විරෝධිය.
එසේම පැකට් කිරීමේදී කුඩා දරුවන්ට විවෘත කල නොහැකි ආරක්‍ෂිත ආකාරයට එය සිදු කල යුතුයි. කුඩා ළමයින්ගේ අවධානය ගැනීම වලක්වන්න වර්ණවත් අලංකාර ඇසුරුම් නොයෙදීමට වගබලා ගත යුතු වෙනවා. විශාල අකුරින් අවවාද පාඨයක් සඳහන් කිරීමත් අවශ්‍යයි.

කංසා ශාකයේ නිෂ්පාදන ගබඩා කර තබා ගැනීමට අවසර තිබුණත්, බලපත් රහිතව ප්‍රවාහනයට හෝ ගෙනයාමට හෝ තැපෑලෙන් යැවීමට අවසර ඇත්තේ 30g ට අඩු ප්‍රමාණයක් පමණයි. එසේම අවසර ලද සමාගම්වලට මිස වෙනත් පුද්ගලයන්ට කැනඩාවෙන් පිටතට ගෙනයාම හෝ පිටතින් රටට ගෙන ඒම සපුරාම තහනම්. 
දැනට ග්‍රෑම් එකක් කැනඩා $10ක පාලන මිලකට අලෙවි කරන අතර, යුකොන් ප්‍රාන්තයේ පමණක් $8කි. අලෙවි කරන කංසා ග්‍රෑම් එකකට $1ක බද්දක් අය කරයි.
අවුරුදු 18ට අඩු කෙනෙක්ට නිෂ්පාදන විකිණීම වසර 14ක් දක්වා සිර දඬුවම් ලැබිය හැකි වරදකි.
නීතිගත කළ පමණින් ඕනෑම කෙනකුට ඕනෑම තැනක භාවිතයට අවසර නැහැ. ප්‍රාන්තයට අනුව නීති තරමක් වෙනස්. මැනිටෝබා ප්‍රාන්තයේ නිවෙස් තුල පමණක් කංසා භාවිතා කලයුතු අතර, අනෙක් ප්‍රාන්තවල දුම්බීමට අවසර ඇති ස්‌ථාන පමණක් යොදාගත හැකියි.
මත්පැන් මෙන්ම කංසා භාවිතයෙන් පසුත් වාහන පැදවීම තහනම්ය. රුධිර මිලිලිටරයට THC නැනොග්රැම් 2කට වඩා අඩංගු වීම සිර දඬුවම් ලදහැකි වරදක්.

දැනට වියලි කංසා, ඇට හා තෙල් අලවි කරන අතර අනාගතයේ රසකැවිලි, කේක් හා  පානයන්ද වෙළඳ පොලට එනු ඇති. අනාගතයේ Online මිලට ගැනීමේ පහසුකම් ඇතිවුණත් එසේ මිලට ගත හැකිවන්නේ රජයෙන් පමණයි.

සිසුන් දැනුවත් කිරීමේ පත්‍රිකාවක් 
මේ කිසිවකින් කංසා භාවිතයේ ආදීනව නොසලකා හැරීමක් සිදුවන්නේ නැහැ. මත්පැන්, දුම්වැටි මෙන්ම නිත්‍යානුකුලවීම ලෙස සලකන්නේ කංසා සමාජීයව, සෞඛ්‍යමයව, ආර්ථිකව යහපත් කියා  පිළිගැනීමක් නෙවෙයි. එයින් සිදුවිය හැකි හානිය හා ගැටළු එලෙසමයි. මේ නිසා මීට සමානුපාතිකව පාසල්වල දරුවන් දැනුවත් කිරීම සිදුවෙනවා.

නීති රීති අනුගමනය කරන්නන් මෙන්ම නොකරන්නන් සෑම සමාජයකම සිටින නිසාත්, සම්පුර්ණ නිතිගත  කිරීමක හොඳ නරක දකින්නට තරම් අධ්‍යයන කරන්නට  පසුබිමක් මින් පෙර අවස්ථාවක් නැති නිසාත්  මෙහි අනාගත ප්‍රතිඵල කෙසේ වේදැයි පුරෝකතනය සීමාවෙලා තියෙන්නේ.
මත්පැන් දුම්වැටි මෙන් සාමාන්‍ය ලෙස සමාජගත වී භාවිතය යම් ජන සංඛ්‍යාවකට සීමාවනු ඇතැයි සිතිය හැකි මෙන්ම, පුළුල්ව මිලදී ගැනීමේ හැකියාව නිසා අයහපත් ප්‍රතිඵල වැඩිවනු ඇතැයිද සිතන්නට පුළුවන්. සෞඛ්‍ය සේවා මේ ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු වෙනු ඇති. නීතිගත කිරීම් නිසා ආදායම අහිමි වූ අප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් හා කළුකඩ කරුවන් නිහඬ වෙයි කියා සිතන්නටත් බැහැ.

මත්ද්‍රව්‍යයක් සමාජගත වීමක වාසි අවාසිවලට  වඩා මේ පසුපස තිබෙන ඩොලර් බිලියන ගණනක මුදල් කන්දරාව ගැන වැඩි අවධානයක් තිබෙන බවනම් පැහැදිලියි.

උදව්:
aththammageathbeheth.blogspot.com/2016/09/cannabis.html
docmj.com/2017/06/05/difference-medical-recreational-marijuana/
www.en.wikipedia.org/wiki/Legality_of_cannabis#S
www.cnbc.com/the-us-falling-behind-other-countries-like-canada-on-marijuana
www.nytimes.com/2018/10/16/world/canada/cannabis-legalization-industry.html
indicaonline.com/blog/5-differences-between-american-and-canadian-recreational-cannabis/

11 comments:

  1. කංසා, කාංසාව පලවා හරින බව කියනවා.
    ⁣සෑහෙන වටින ලිපියක්.
    ලංකාවට මෙම ශාකය පාලිත තත්ව යටතේ වගා කරන එක ගැන ⁣ෙ ස ායා බලන්න වටිනවා.
    අනික විශාල වගාවන් විනාශ කරන්න පෙර එහෙම නොකර අපනයනය සඳහා යෙදිය හැකි නම්..............
    👍

    ReplyDelete
    Replies
    1. දැනටත් ලංකාවේ ඖෂධයක් ලෙස වගා කිරීම නිතිගතයි. බටහිර ඉල්ලුම ඇති රටවල ප්‍රමිතියට නිෂ්පාදනය කරන්න පුලුවන්නම් ඉල්ලුමක් තියෙයි. හැබැයි දැන්නම් මිලියන ගණන් වැය කරන අධි පොහොසත් සමාගම් තමයි නිෂ්පාදනයට පිවිසිලා ඉන්නේ.

      Delete
    2. කැනඩාවේ කංසා නීිති ගත කිරීම ගැන බොහෝ තොරතුරු දැනගත්තා ...
      වටිනා ලිපියක්...

      Delete
    3. @ තුසිත,ස්තුතියි

      Delete
  2. තවම අපි හිතන රටාව වෙනස් වෙන්නේ නැතිව මේවා කොහේ කෙරෙන්නද? ඉන්දියාවේ හරක් මස් නොකෑවට රට යවන්නේ.

    ReplyDelete
  3. තුති කරුණුවලට. කාලීන ව වටිනා ලිපියක්. ශාකයකට, දියුණු යයි කියන මිනිසාට කළ හැකි බලපෑම ගැන අදහස් ද ඉස්මතු වුණා.

    ReplyDelete
  4. ඇත්තටම කංසා නීති විරෝදී උනේ කොහොමද? කියල විමසුවානම් මේ මාතෘකාව ගැන බොහෝ අයට වැදගත් වෙයි!
    මේගැන මම ලියපු ලිපියක් https://lankasithuwili.blogspot.com/2018/08/wathsala-wijayalath-phd.html

    ReplyDelete
    Replies
    1. පක්ෂ විපක්ෂ කරුණු තියනව. ඖෂධයක් විදියට අතීතයේ සිට භාවිතා වෙලා තියනව. බටහිර පර්යේෂණ නොකළ කියල අයහපත් කියා කියන්න බැහැනේ

      Delete