Thursday 21 March 2019

ගුගල් ඩූඩල් මාර්තු 20, 21: වසන්තය උදාව හා හෝලි උත්සවය

මාර්තු 20 : වසන්ත උදාව 
අද ඩූඩල් එක වෙනදට වඩා වෙනස්. කොටස් දෙකකට බෙදල දාල තියෙන්නේ රටවලට වෙනස් විදියට පෙනෙන්න. ඒක සාධාරණයි. උත්තර අර්ධගෝලයේ රටවලට අද සිදුවෙන සමකයට ඉර මුදුන් වීමෙන් පස්සේ එළඹෙන්නේ වසන්ත ඍතුවයි. මෙතෙක් කල් රාත්‍රී කාලය වැඩියෙනුත් ඉර එලිය අඩුවෙනුත් ලැබුණු සිතල වැඩිපුර තිබුණු මේ රටවල් ක්‍රමයෙන් වැඩි පැය ගණනක් ඉර එළිය තියන දහවල් කාල ලබන්න ගන්නවා. ගහකොළ මල් ඵලවලින්  පිරෙන බලාපොරොත්තුවේ ඍතුව ලෙසයි වසන්තය කවුරුත් දකින්නේ. අඳුරෙන් එලියට එන අදහස ගෙනෙමින් මේ ඩූඩලය පෙනෙන්නේ උත්තර අර්ධගෝලයේ රටවලට පමණයි.

සමකයට ඉර මුදුන් වෙන දවස හෙවත් විෂුවය equinox ලෝකයේ බොහෝ රටවලට දිවා රාත්‍රී සමානව ඒ කියන්නේ පැය 12 බැගින් ලැබෙන දවසක්. නිවර්තන රටවලට මෙය එතරම් දැනෙන්නේ නැතිවුණත් අර්ධගෝල වලට ආසන්නව තියන රටවලට ප්‍රධාන ඍතු වෙනස්වීමක් ආරම්භ වෙන දවසයි. පෘථිවියේ ස්වාභාවිකව පවතින අංශක 23 1/2 ඇලය නිසා අර්ධගෝලවල ධ්‍රැවයන්ට කිට්ටු  රටවලට මේ විදියට ආසන්න ලෙස සමානව දිවා රාත්‍රී කාල තියෙන්නේ කිහිප දිනයි.

දක්ෂිණ අර්ධගෝලයේ තියන රටවලට ග්‍රීෂ්ම ඍතුව නිමවෙමින් ක්‍රමයෙන් රාත්‍රී කාල වැඩි සිතල වැඩි ඉර දුරස්ව පිහිටන කාල සීමාවක් එළඹෙන්නේ. ඒ කියන්නේ ගස්වල කොළ හැලෙන, සිතල වැඩිවෙන, ඉර දකින්න තියෙන කාලසීමාව අඩුවෙන කාලයක් එළඹෙන්නේ. හේමන්ත ඍතුව ලෙස අපි හඳුන්වන ඒ කාලයේ ඉදිරියට එන සීතලට ඔරොත්තු දෙන ව්දියට පරිසරය හැඩ ගැහෙනවා. ඊට සරිලන ඩූඩලයක් දක්ෂිණ අර්ධගෝලයේ රටවල ගුගල් මුල් පිටුවේ තියෙන්නේ.

මේ දෙකම නැතිව වෙන ඩූඩල් එකක්  තියන රටවලුත් තියනව. ඒ පර්සියානු අලුත් අවුරුද්ද සමරන පකිස්ථානය, කසකස්ථානය, උස්බෙකිස්ථානය, තුර්කිය, අසර්බයිජානය යන පුරාණ පර්සියාව ලෙස සැලකු රටවල් හා ඊශ්‍රායලය. සුර්යයා සමකය තරණය කරන මාර්තු 20 හෝ 21 ඔවුන් අලුත් අව්රුද්ද ලබන දිනය ලෙස සලකන්නේ. මෙම දිනය හඳුන්වන්නේ නෝරුස් Nowruz ලෙසයි. නව වසර සමරන සියලුම රටවල් උත්තර අර්ධගෝලයේ පිහිටන නිසා ඔවුන්ටත් මෙය වසන්තයේ ආරම්භයමයි. ඒ හින්ද ඒ රටවලට වෙනස් ඩූඩල් එකක් දීල.
ලොව පුරා පර්සියානු අවුරුද්ද සමරන අයගේ දින 13ක උත්සව සමය මේ සමග ඇරඹෙනවා. නව වසරක් පමණක් නොවේ, ස්වභාව ධර්මයාගේ චක්‍රයේ නැවත ඉපදීම, පුනර්ජීවනය සනිටුහන් කරන දිනක් ලෙසයි අතීතයේ සිටම මේ දිනය සලකන්නේ.
අපේ අලුත් අවුරුද්ද වගේම මේ සඳහා ඔවුන් ගෙවල් දොරවල් පිරිසිදු කරල, අලුත් ඇඳුම් මහල, කෑම පිළියෙළ කරලා සැරසෙන්නේ සති ගණනක් ඉඳලයි. වැඩිහිටියන්ගෙන් දරුවන්ට ඇඳුම් තෑගි ලැබෙනවා.
නව අවුරුදු දිනයට පෙර එළඹෙන බදාදා දිනයේ ගිනි මැලයක් දල්වල ඊට උඩින් එහෙට මෙහෙට පැනල පරණ අවුරුද්දේ අපවිත්‍ර දෙයින් මිදීල පිරිසිදු වෙන චාරිත්‍රයක් තියනව. අපි වගේ නාල පිරිසිදු වෙනවා නෙමෙයි. ඒ වගේම මේ කාලයේදී කුඩා ළමයි මුට්ටි අරගෙන ඒවාට හැඳි වලින් තට්ටු කරමින් ගෙයින් ගෙයට ගොස් රසකැවිලි ඉල්ලගෙන ඒමේ සිරිතකුත් තියනව. මෙය මට සිහිපත් කළේ බටහිර රටවල සමරන හැලොවින් උත්සවයයි.
උත්සව මේසයක් පිළියෙළ කිරීම හැම නිවසකම සිදුවෙනවා. මෙය ඉතා සැලකිල්ලෙන් පිළියෙළ කරන්නක්. මෙහි වසන්ත සමය පිළිබිඹු කරන ද්‍රව්‍ය හතක්  තබනවා. මේ සියල්ල ශබ්දයෙන් ඇරඹෙන ඒවා.

සීබ් (ඇපල් ) - අලංකාරය උදෙසා
සියර් (සුදුළුණු) - නිරෝගිබව උදෙසා
සර්කේ (විනාකිරි) - ඉවසිලිවන්තභාවය  උදෙසා
සොන්බොල් (හයසින්ත් මල්) - වසන්ත සමය උදෙසා
සමානු (පැණිරස පුඩිම) - සාරවත්බව උදෙසා
සබ්සේහ් (පැලවෙමින් පවතින දේ) - පුනර්ජීවනය උදෙසා
සර්කෙහ් (කාසි) -සෞභාග්‍යය උදෙසා
සමහර පවුල් මීට අමතරව sumec නම් කුළුබඩු වර්ගය ඉර උදාව පිලිබිඹු කරන්නත්, නෙලුම් අල (senjed) ආදරය පිළිබිඹු කරන්නත් එකතු කරනවා.
ස ස්වරයෙන් ආරම්භ නොවුනත් පරාවර්තනයට දර්පනයකුත්, වාසනාව උදෙසා ගෝල්ඩ්ෆිෂ් මාලුවෙක් සහිත බෝතලයකුත්, රසකැවිලි හා පලතුරුත් මේසයේ අඩංගු කරනවා. 13 වන දිනයේ මේසය අස්කරන අතර එදා අහර වේල බත් සමග මාළුයි. මෙතෙක් මේසය මත තිබුණු පැළෑටි (සබ්සේහ්) ගලයන ජලයට එකතු කරන්නේ පෙර වසරේ සියලුම අයහපත ඒ සමග ඉවත්ව යන ලෙස පතමින්.

මාර්තු 21: හෝලි උත්සවය
ඉන්දීය චිත්‍රපටි ටෙලි නාට්‍ය නරඹන අපි කවුරුත් දැක තියෙනව වීදිවලට බැහැල වර්ණ කුඩු එකිනෙකාට විසිකරන දවසක්. මෙයත් නව වසර, වසන්තය යන සියල්ල හා බැඳුනු උත්සවයක්. හැබැයි එය හැමවිටම සූර්ය වසන්තය උදාව ලෙස සලකන මාර්තු 20 සමග සමපාත වෙන්නේ නැහැ. ඒකට හේතුව ඔවුන් මෙම හෝලි දිනය යොදාගන්නේ පසළොස්වක දිනයට පසුදින වීමයි. ඉන්දියාවේ එය නිවාඩු දිනයක්.
වර්ණ අතර තියන Google හොයන්න පුලුවන්ද? 

පුන් පෝ දා රාත්‍රී ගිනිමැල දල්වා ඒ වටා වටවී ගීත ගයමින් නර්තනයේ යෙදීම උත්සවයේ මුල් පියවරයි. මෙහි පර්සියානු අලුත් අවුරුද්ද මෙන්ම සමහරු ගිනිමැලය උඩින් දුවමින් පරණ පව් ඉවත්කර පිරිසිදුවිමක් දක්වන අවස්ථා තියෙනවා. මෙයට අතීතයේ සිට එන කතාවකුත් හේතුවෙනවා. හොලිකා නම් යක්ෂයා ඔහුගේ බෑණා වන යහපත් ප්‍රහ්ලඩ් ගිනිගොඩක දවා විනශ කරන්නට සැදූ මුත් ඔහුම එහි දැවී විනාශ වීමෙන් නරක වියැකි හොඳ ඉතිරිවීම සංඛේතවත් කරන්නේ.
ඉන්පසු එළඹෙන දිනයේ උදැසන සිටම විශේෂ වර්ණවත් කුඩු රැගෙන වීදි බසින සැමදෙනාම තරාතිරම නොබලා සැම වෙත මේවා විදීමෙන් හා මුහුණුවල තැවරීමෙන් සියල්ලෝම සතුටු වෙනවා.  වර්ණ මෙම දිනය සඳහා යොදාගත්තේ ගෝපි ක්‍රිෂ්ණා කතාවෙන් ලද පන්නරයකින් කියලයි කියවෙන්නේ. ආදරයේ හා වර්ණයේ මෙම උත්සවය මගින් උස්මිටිකම්, තරහ මරහ  අමතක කර කා හටත් දයාව පාමින් එකමුතුවිමක් දක්වනවා. වතුර බැලුම් හා වතුර විදින උපකරණවලින් අනිත් අයට විදීමට කුඩා දරුවන්ව පවා උනන්දු කරනවා. හැමදෙනාම එකලෙස විනෝද වෙන මෙම දිනය සැබෑවටම සතුට ආදරය පිරුණු දිනයක්. සවස් වත්ම වර්ණයෙන් නැහැවී ගිය තෙත ඇඳුම් මාරුකර පිරිසිදු සුදු  ඇඳුම් ඇඳගන්නා සැමදෙනා වැඩිහිටියන්ට ගුරුවරුන්ට ගෞරව කරනවා.
මම ඉන්දියාවේ සංචාරය කළ විටෙක මෙවැනි හෝලි දිනයක් අත්දැකීමට ලැබුණා. අපිට හෝටලයෙන් පිටතට නොයන ලෙස ඉල්ලීම් කළා. නමුත් වීදිවල සිදුවන මේ අපුර්ව සුන්දර වර්ණ දර්ශන වලින් ඉමහත් ප්‍රීතියක් ලබාගන්න පුළුවන් වුණා. එදාට පරණ ඇඳුම් ඇඳගෙන එලියට යන්නේ හැමදෙනාම වගේ. වර්ණ කුඩුවලින් හා වතුරෙන් නැහැවුණු කිසිවෙක් අනෙක් අය කෙරේ කෝප ගන්නේ නැහැ. වාහන පවා නවත්වා ඒවා තුල සිටින අයටත් වර්ණ වගේම වතුර විදීම කෙරුණා. ඒ අයත් සිනා වී අනිත් පැත්තට පාරේ ඉන්න අයට වර්ණ තවරලා යනු දුටුවේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරයේ, වර්ණයේ හා සතුටේ දිනයක් හෝලි.


උදව්:
www.google.com/doodles/spring-2019-northern-hemisphere
courses.lumenlearning.com/astronomy/chapter/the-seasons/
www.google.com/doodles/nowruz-2019
www.cnn.com/2019/03/20/world/what-is-nowruz-trnd/
https://www.google.com/doodles/holi-2019
https://www.holifestival.org/

Sunday 17 March 2019

ගූගල් ඩූඩල් මාර්තු 17, 18: පැට්‍රික් දිනය හා අන්ධයන්ට මග දැක්වීම

මාර්තු 17: ශාන්ත පැට්‍රික් දිනය St. Patrick's Day 
ලොව පුරා අයර්ලන්ත මූලයන් සහිත රෝමානු කතෝලික, ඇන්ග්ලිකන් හා  Eastern Orthodox  ආගමිකයන් සමරන දිනයක්. අයර්ලන්ත සම්ප්‍රදායයන් හා සංස්කෘතියට ක්‍රිස්තියානිය ඇතුලත් කළ, පසුව ශාන්තුවරය ලැබූ පැට්‍රික් නම් පුජකවරයෙක් මියගිය දිනයයි. සාමාන්‍ය ක්‍රිස්තියානි අය මත්පැන් භාවිතා නොකරන අළු බදාදා හා පාස්කු කාලසීමාවේ දිනයකට යෙදෙන මෙදින මත්පැන් පානය තහනමක් නැත. එසේම මෙම දිනයේ භාවිතා කරන සංඛේත අයර්ලන්තයේ ඓතිහාසිකව  භාවිතා වූ සංඛේතයි.
 ඩූඩලයේ තිබෙන සමමිතික සර්පිලාකාර කොටස් තුන විවිධාකාර අර්ථ දැක්වීම් සහිතයි. නියෝලිතික හා මෙගාලිතික යුගයන්හි අයර්ලන්ත නටබුන්වල පවා මෙම සංඛේතය දකින්න පුළුවන්.
ග්‍රීසිය, සිසිලිය හා අයර්ලන්ත සංස්කෘතියට අයත් කෙල්ටික් දහමේ එය triskele (පාද තුන) ලෙස හඳුන්වන්නේ. තවත් අදහසක් වන්නේ එමගින් අහස, පොලව හා මුහුද සංඛේතවත් කරන බවයි. ආසියානු සම්ප්‍රදායන්හිද අතීත යුගයන් සිටම භාවිතා වූ මෙයට සමාන සංඛේත තිබෙනවා. එය චිරාත් කාලයක් අයර්ලන්තයේ භාවිතා වූ සංඛේතයක් වුවත් පූජක පැට්‍රික් එය කතෝලික දහමේ ශුද්ධවූ ත්‍රිත්වය (පියා, පුත්‍රයා, ශුද්ධාත්මය) සංඛේතවත් කිරීමට යොදාගත්තා.
ශාන්ත පැට්‍රික් දිනයේ යොදාගන්න අනෙක් සංඛේතය ෂම්රොක් නම් පැළෑටියේ පත්‍රයයි. ඇඹිල්ල වැනි  කුඩා ශාකයක් වන මෙහි මල අයර්ලන්ත ජාතික පුෂ්පයයි. මෙම පත්‍රයේ කොටස් තුන මගින්ද ශුද්ධ වූ ත්‍රිත්වය විස්තර කල හැකි බව පැට්‍රික් අදහස් කළා.
මෙම දිනයට අයත් වර්ණය ලෙස සැලකෙන්නේ කොළ පැහැයයි.

අයර්ලන්තයේ හා කැනඩාවේ එක ප්‍රාන්තයක නිවාඩු දිනයක් වන මෙය, ලොව පුරා වෙසෙන අයර්ලන්ත උරුමයන් ඇති ජාතින් උත්සවාකාරයෙන් සමරන දිනයක්. විවිධ වූ  කොළ වර්ණ ඇඳුමින් පැළඳුමින් සැරසී පෙරහැර, ප්‍රීති උත්සව පවත්වමින්, කමින් බොමින් ගතකරන ආගමික හා සංස්කෘතික දිනයක්.


මාර්තු 18: සෙයිචි මියාකේ 
ලොව වටා  මිනිසුන් මිලියන 285ක් දෘෂ්‍යබාධිත බව ඇස්තමේන්තු කර තිබෙනවා. තම මිතුරෙක්ට උපකාරයක් ලෙස සෙයිචි මියාකේ නම් ජපන් ජාතිකයා විසින් 1965 දී කළ නිර්මාණයක් ලොව දෘෂ්‍යබාධිත දස දහසක් දෙනාට අද දවසේ සෙත සලසන නිමැවුමක් බවට පත්ව තියෙනවා.

දෘෂ්ටිය අහිමි වෙමින් යන මිතුරාට ගමන් කිරීමට පහසුවන ලෙස මියාකේ විසින් පොලවේ ඇතිරීමට සවිමත් රබර් බ්ලොක්, දෙආකාරයක උන්නත රටාවලින් යුක්තව නිර්මාණය කළා. එක් වර්ගයක් තිත් සහිත වන අතර, අනෙක් වර්ගය දිග පටි සහිතයි.
දිග පටි ආරක්ෂා සහිතව ගමන් කලහැකි මාර්ගය දක්වන අතර (Go indicator), තිත් සහිත කොටස තමන් යම් අනතුරුදායක ස්ථානයකට එනම්, දුම්රිය වේදිකාවේ අවසානය, පාරක් බෙදෙන තැන වැන්නකට පැමිණි බව (Stop indicator) පෙන්වා දෙනවා.
මියාකේ ගේ මෙම නිර්මාණය මුල්වරට ජපානයේ ඔකයාමා අන්ධ විද්‍යාලය ඉදිරිපිට පාර දෙපසට හඳුන්වා දුන්නේ 1967 මාර්තු 18 දින නිසයි අද එය සමරන්නේ. මෙහි වැදගත්කම වටහාගත් ජපන් රජය එය පදික වේදිකාවලට ඇතුලත් කිරීම ඇරඹුවා.
අද ජපානයේ දුම්රිය ස්ථාන 1376කත්, බොහෝ පදික මාර්ගවල, ගුවන් තොටුපලවල, බස් නැවතුම්පලවල දෘෂ්‍යාබධිතයන් ගේ පහසුව පිණිස  මියාකේ ගේ කහ පැහැති උන්නත ඇතිරීම් භාවිතා කරනවා. මේවා හඳුන්වන්නේ Tactile Ground Surface Indicators TGSI නමින්.

මෙම උන්නත මාර්ග ඇතිරීම් ක්‍රමය  ඉතා ඉක්මනින් ලොව පුරාම ප්‍රචලිත වුණා. මෙය සුදු සැරයටියට පමණක් නොව මග පෙන්වන බල්ලන් සමග යන අයටත්  තම පාවහන්වලට දැනෙන අයුරිනුත් පාවිච්චි කරන්න පුළුවන්.

ක්‍රමයෙන් ජනප්‍රියත්වයට පත් TGSI  ක්‍රමය වැඩි දියුණු වෙමින් දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට පමණක් නොව සියලු දෙනාටම භාවිතා කළහැකි ලෙස ලොව පුරා විවිධ ගොඩනැගිලි තුල පඩිපෙල් හා දුවන පඩිපෙල් ආරම්භ හා අවසන්වන තැන්වල, carpark crossing වල, දුම්රිය වේදිකාවල, විදුලි සෝපාන අසල, Zeebra crossing ආරම්භ වන ස්ථානවල, ජැටිවල මිලියන ගණනක් ජනතාවගේ ආරක්ෂාව සහතික කරමින් යොදාගෙන තියනවා.
    ස්තුතියි සෙයිචි මියාකේ !

උදව්:
www.google.com/doodles/st-patricks-day-2019
en.wikipedia.org/wiki/Saint_Patricks_Day
www.britannica.com/plant/shamrock
www.digitaljournal.com/blog/21332
www.youtube.com/watch?v=ywUsgt_QW4Q
www.google.com/doodles/celebrating-seiichi-miyake

Monday 11 March 2019

ගූගල් ඩූඩල් මාර්තු 12: www තිස්වන උපන්දිනේ

" මට පොඩි විස්තරයක් හොයාගන්න තියනව"
"වෙබ් සර්ච් කරන්නකෝ"
"වෙබ් සයිට් එකක තියනව දැක්ක"
නිතර ඇහෙන මෙවැනි වදන් සාමාන්‍ය දෙයක් වුවත්, වසර තිහකට පෙර එය කෙනෙක් ගේ යෝජනාවක් පමණයි.  විසිවන සියවසේ විශිෂ්ඨතම සොයාගැනීමක් වූ වර්ල්ඩ් වයිඩ් වෙබ් world wide web (www) වෙනුවෙනුයි අද ගූගල් විස්තරාත්මක ඩුඩල් වීඩියෝවක් නිර්මාණය කරලා තියෙන්නේ.

වසර තිහකට පෙර බ්‍රිතාන්‍ය ජාතික තරුණ පරිගණක විද්‍යාඥයෙක් වූ ටිම් බර්නර්ස්-ලී විසින් යෝජනා කරන ලද අන්තර්ජාල පාදක කරගත් සබැඳි පද්ධතියක් මගින්  පරිගණක අතර තොරතුරු බෙදාගැනීමේ ක්‍රමය මානව වර්ගයාගේ තොරතුරු හුවමාරු කිරීමේ හා සන්නිවේදනයේ අති මහත් වෙනසක් ඇති කළේය. ඔහු මේ අදහස ගැලීම් සටහන් ඇසුරු කරගෙන Information Management: A Proposal  මගින් තම ප්‍රධානියාට 1989 මාර්තු 12 වනදා ඉදිරිපත් කළවිට ප්‍රධානියා "නොපැහැදිලි නමුත් ආකර්ෂණියයි" පවසමින් එය අනුමත කළේය.
"හිතන්න විශාල ගැටළු වන කාලගුණ විපර්යාස හෝ පිළිකාවට ඖෂධයක් සොයාගැනීම වැන්නක්. මේ ගැන තොරතුරු දන්නා පුද්ගලයන් ලොව විසිරි සිටින්නේ. ඔවුන් එකට සම්බන්ධ කිරීමයි වෙබ් සැදීමේ අරමුණ වුණේ"  නයිට් නාමයකින් පුද ලබා ඇති බර්නර්ස්-ලී විස්තර කරයි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර CERN නම් න්‍යෂ්ටික භෞතික පර්යේෂණාගාරයේ දී 1990 දෙසැම්බර් 20 වනදා ඔහු තම ප්‍රථම වෙබ් අඩවි නිර්මාණය එලි දැක්වීය. එහි ඔහුගේ ව්‍යාපෘතිය පිළිබඳව හා වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න අයුරු සඳහන් විය. මේ සඳහා HTML (Hyper Text Markup Language) භාෂාව ලිවිම, HTTP (Hyper Text Transfer Protocol) පොදු ප්‍රමිතිය නිර්මාණය හා www.app ප්‍රථම වෙබ් බ්‍රවුසරය නිර්මාණය සිදුවිය.
පළමුව මෙය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන අංශ, පර්යේෂණාගාර හා විද්‍යාගාර ඇතුලත භාවිතා විය.
පුර්ණ විභවය ලබාගැනීමට නම් මෙය සියලු දෙනාටම භාවිතා කල හැකි ලෙස ප්‍රචලිත කර ව්‍යාප්ත කළයුතු බව බර්නර්ස් ගේ අදහස විය. මේ අනුව CERN ආයතනය 1993 දී   සෑම අන්තර්ජාල පරිහරණය කරන්නෙකුටම www නොමිලේ ලබාදෙන බව දැනුම් දුන්නේය.
1994දී බර්නර්ස් ඇමරිකාවේ MIT ආයතනයට සම්බන්ධ වී World Wide Web Consortium (W3C)  බිහිකර වෙබ් ප්‍රමිතිය පවත්වා ගැනීමත්, සංවර්ධන කටයුතු කිරීමත් පුළුල් කළේය. W3C හි පුළුල් අර්ථකථනය  "The World Wide Web is the universe of network-accessible information, an embodiment of human knowledge වර්ල්ඩ් වයිඩ් වෙබ්, මානව දැනුම මුර්තිමත් කරන විශ්වීය අන්තර්ජාල තොරතුරු ප්‍රවේශයකි".
වර්ල්ඩ් වයිඩ් වෙබ් යනු කුමක්ද? වෙබ් යනුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ පවතින www, ලේඛණ හා වෙනත් අන්තර්ජාල සම්පත් URL හෙවත් Uniform Resource Locator මගින් හඳුනාගන්නා තොරතුරු අවකාශයකි. URL යනු පරිගණක ජාලයේ අදාළ තොරතුර අනන්‍යව හඳුනාගත හැකි වන සේ ඇති පරිගණකය හෝ දත්ත වෙත යොමුකරන වෙබ් ලිපිනයයි.
WWW Server නමින් හදුන්වන යන්ත්‍රයක් තුල වෙබ් අඩවි හා වෙබ් පිටු තැන්පත්කරන අතර, ප්‍රධාන වෙබ් පිටුවකින් හා ඒ හා සම්බ්න්ධ තවත් පිටු වලින් සමන්විත වේ.
වෙබ් පිටු අතර සබදතා ඇතිකිරීමේදී එය කීප ආකාරයකට සිදුකරනු ලබයි,
  • එම වෙබ් පිටුවේම වෙනත් කොටසකට සම්බන්ධතාවය ඇති කිරීම 
  • වෙබ් අඩවිය තුල ඇති වෙනත් පිටුවකට සම්බන්ද කිරීම
  • වෙනත් වෙබ් අඩවියකට සම්බන්ධ කිරීම
  • වෙනත් වෙබ් අඩවියක පිටුවකට සම්බන්ධතාව ඇති කිරීම
වෙබ් බ්‍රව්‍රසරය මගින් මෙම උපදේශ කේත නිසි පරිදි ගලපා වෙබ් පිටුව පරිගණක තිරය මතට ලබා දෙයි. 

වෙබ් බ්‍රවුසරයක් ක්‍රියාත්මක වන්නේ මෙසේය,

  1. තොරතුරු ගබඩා වී ඇති පරිගණකය(Server Computer) වෙත ඉල්ලීමක් කෙරෙන අතර තොරතුරු ලබාගත හැකිදැයි සොයාබලයි.
  2. තොරතුරු ලබාගැනීමට හැකිනම් HTML ගොනුව HTTP තාන්ෂණය මගින් තොරතුරු ලබාගන්නා පරිගණකය වෙත ලබා දේ.
  3. ලබාදුන් තොරතුරු, HTML උපදේශ කේත අනුව(Tags අනුව) සකස් කර තිරය මත දර්ශනය කරයි.
  4. ඕනෑම වර්ගයක රූප හො බහුමාධ්‍ය මූල අවශ්‍ය වූ විට පරිගණකයන්හි ක්‍රියාත්මක කරවයි. 
 lankanote.blogspot.com/2016/11/html-lesson-  

වෙබ් හඳුන්වා දීම තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රයේ  මෙන්ම පුද්ගල ජිවිතවලද   විප්ලවීය පෙරලියක් ඇති කළේය. මේ වනවිට අන්තර්ජාලයේ වෙබ් අඩවි බිලියන දෙකකට අසන්න ප්‍රමාණයක් පවතී. ඊමේල්, වීඩියෝ, පරිගණක ක්‍රීඩා, වෙළඳ භාණ්ඩ ගෙන්වාගැනීම, පණිවිඩ හුවමාරුව ආදී ලෙස එයින් තොර ලොවක් ගැන හිතන්නට නොහැකි ආකාරයෙන් වෙබ් අපේ ජිවිත සමග වෙලී පවතී. ලින්ක් එකකට යොමු වූ පමණකින් තොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාව පවතී.
" සියලු දෙයම වෙනස් කරන නව්‍ය සොයාගැනීම් පවතින්නේ අතලොස්සකි. අපේ යුගයේ වඩාත්ම බලපෑම් කළ සොයාගැනීම වෙබ් වේ." W3C ප්‍රධාන විධායක නිලධාරී පවසයි.
දත්ත ලබාගැනීම විමධ්‍යගත කර, අවසරයකින් තොරව තොරතුරු හුවමාරු කරගැනීම වැනි විවෘත ක්‍රමයක් භාවිතයේදී ඇතිවිය හැකි ගැටළු පිළිබඳව බර්නර්ස්-ලී මුල සිටම අවධානයෙන් සිටියේය. මෙම මාධ්‍යය අවභාවිත කරන්නෝද එක සේම බිහිවිය.  සැලකිලිමත් ලෙස මෙය භාවිතා කරන ලෙසත්, කුණු පිරුණු වෙබ් අඩවි භාවිතා නොකරන ලෙසත් කොතෙකුත් ඉල්ලීම් කළත් සමාජ ජාල ඇරඹීමත් සමග අයස සඳහා වෙබ් යොදවන්නන්ගේ ව්‍යාප්තියක් සිදුවිය.
 "වැරදි හා බොරු පුවත් නොසලකා හරින්න. ජනතාවගේ විශ්වාසය ඒ කෙරෙහි ලැබෙන ලෙස බොරු පුවත් නිර්මාණය කර පතුරවන දක්ෂ මුත් ද්වේශ සහගත මිනිස්සු බිහිවී සිටිති. වැරදි තොරතුරු වසංගත ලෙස පැතිර යයි. මුදල් උපයාගැනීම උදෙසා පුද්ගලිකත්වය නොසලකා හරිමින් පවතියි."
අන්තර්ජාලයේ මතුව තිබෙන මේ තත්වය සමනය කිරිම සඳහා දැන් පියවර ගනිමින් සිටින බව 30 වන සංවත්සරය සලකුණු කරමින් පැවැත්වූ උත්සවයකදී ශ්‍රීමත් ටිම්  බර්නර්ස්-ලී පැවසිය. "වෙබ් නිර්මාණය කළේ ලෝකයේ මතුවන ගැටළු වලට මානව වර්ගයා ලෙස එකමුතු වී විසඳුම් සොයාගැනීමටයි". තම සොයාගැනීම ආධාර කරගෙන ලොව ඉහලම  ධනවතුන් බිහිවුණත් තම මුලික අරමුණ වෙත නොසැලී යොමුව සිටින ඔහු පරමාදර්ශයකි.
උදව්:
https://www.youtube.com/watch?v=xJGTbo6b3Xc
https://www.google.com/doodles/30th-anniversary-of-the-world-wide-web
https://www.cnet.com/news/tim-berners-lee-still-believes-the-web-can-be-fixed-even-today/
http://lankanote.blogspot.com/2016/11/html-lesson-part-1-html.html
https://promptpc.co.uk/world-wide-web-day-how-the-web-began

Friday 8 March 2019

ගූගල් ඩූඩල් මාර්තු 8: දිරිමත් කාන්තාවන්ගේ ශක්තිමත් ප්‍රකාශ

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ගුගල් අද  ඩූඩල් මගින් ඉදිරිපත් කර ඇත්තේ වෙනස් දෙයකි. ලොවට වැදගත් සේවයක් කළ කාන්තාවන් කිහිපදෙනෙක් ගේ ප්‍රකාශ ස්ලයිඩ් ෂෝ එකක් ලෙසින් දක්වා තිබේ.
ඒවා පිලිවෙලින් මෙසේය.

Never be limited by other people's limited imagination - අනික් මිනිසුන්ගේ සීමිත පරිකල්පන හැකියා නිසා ඔබේ හැකියා සිමා කර නොගන්න. 

මෙම අදහස ඇමරිකානු ජාතික  වෛද්‍යවරියක, රසායන ඉංජිනේරුවරියක හා ගගනගාමිනියක වන ආචාර්ය Mae Jamison ගේය. ඇය අභ්‍යවකාශයට ගිය පළමු කළු ජාතික කාන්තාව වන අතර විවිධ විශ්ව විද්‍යාලවලින් විද්‍යා, ඉංජිනේරු, මානව විද්‍යා ආදී ක්ෂේත්‍ර කිහිපයකින්ම ගෞරව ආචාර්ය උපාධිවලින් පිදුම් ලබා ඇත. තාක්ෂණික සමාගම් දෙකකම සභාපතිත්වය උසුලයි.

Feet, what do I need them if I have wings to fly - මට පියාඹන්න පියාපත් ඇත්නම් පාදවලින් ඇති ඵලය  කුමක්ද?
 මෙක්සිකෝ ජාතික චිත්‍ර ශිල්පිනියක වන Frida Kahlo ගේ ප්‍රකාශයකි. ඇය කුඩාකළ සිට පෝලියෝ රෝගයෙන් පෙළුණු අතර තරුණ වියේ සිදුවූ අනතුරක් නිසා ශල්‍යකර්ම 30කට මුහුණ දෙන්නට සිදුවිය. ඉන්පසු චිත්‍රකලාව කෙරෙහි තදින් ඇලුණු අතර, සිතුවම් වලින් ඇයගේ ශාරීරික හා මානසික වේදනා පිළිබිඹු වේ.

Let nothing bind you in the world other than your highest inner truth - ඔබේ ඇතුලාන්ත සත්‍යය හැර වෙන කිසිවකින් ලොවට ඔබ වෙත බැඳෙන්න ඉඩ නොදෙන්න. 
Emma Herwegh නම් ජර්මන් ජාතික රචිකවගේ කියමනකි.  ධනවත් උසස් පවුලක උපත ලද ඇ භාෂා තුනක් උගත්තාය. සංගීතය, චිත්‍ර, භාෂා පරිවර්තනයෙන් ඉහල දක්ෂතා දැක්වූ ඇය කවි ලිවීමේ ද යෙදුනාය.

A dream you dream alone is only a dream. A dream you dream together is reality- ඔබ තනිව සිහින දකින්නේ නම් ඒවා සිහින පමණකි. ඔබ සමුහයක් සමග සිහින දකින්නේ නම් එය යථාර්ථයයි. 
ඇමරිකාවේ වැඩි කලක් ජිවත් වූ ජපන් ජාතික යෝකෝ ඔනෝ නම් ගායිකා, ගීත රචිකා හා  සාම ක්‍රියාකාරිනිය විසින් ඉදිරිපත් කළ අදහසකි.

We are too precious to let disappointments into our lives. - අපේ ජිවිතවල වටිනාකම ඉතාම වැඩියි. ඒ නිසා බලාපොරොත්තු කඩවීම් වලට ඉඩ නැත. 
ඉන්දියාවේ තානාපති සේවයට ඇතුළුවීමට සමත්වූ ප්‍රථම දෘෂ්‍යබාධිත කාන්තාව වන බිනෝ සෙෆයින් ගේ කියමනකි. දැඩි අධිෂ්ඨානය හා කැපවීම තුලින් වයස අවුරුදු 25දී තම අරමුණ වෙත ලඟා වූ ඇය අන්ධභාවය තම අනාගතයට බාධකයක් කර නොගෙන ඒ මාර්ගය ඔස්සේම ඉහලට ගමන් කිරීමට  බලාපොරොත්තුව සිටින්නීය.


Do not say you are weak because you are a woman - ඔබ දුර්වලයයි නොකියන්න, ඔබ කාන්තාවක් බැවින්.
ඉන්දීය ජාතික බොක්සින් ශුරි මේරි කොම් ගේ මෙම අදහස ඇය ක්‍රියාව තුලින්ම පෙන්වන බව වැටහෙන්නේ හයවරක් නොකඩවාම ලෝක ආධුනික කාන්තා බොක්සින් ශුරතාව දිනා ගැනීමෙනි. ඊට අමතරව ආසියානු, පොදු රාජ්‍ය මණ්ඩලීය ශුරතා ගණනාවක් දිනාගෙන ඇත. ඉන්දියාවේ ඉහලම සම්මාන ගෞරව නාමද දිනා සිටින්නීය.

I am stronger than myself - මම මටත් වඩා ශක්තිමත්
බ්‍රසීල ජාතික  Claris Lispector ගේ කියමනකි. සැමියා සමග ලොව විවිධ රටවල ජීවත්වූ ඇයගේ නවකතා හා කෙටිකතා ලොව සම්භාවනාවට පාත්‍රවිය.

I really believe in the idea of future - මම අනාගතය තරයේ විශ්වාස කරමි 
මෙසේ කියන්නේ බ්‍රිතාන්‍ය-ඉරාක ජාතික ගෘහ නිර්මාණ ශිල්පී Zaha Hadid ය. ස්වකිය ගෘහ නිර්මාණ කුසලතා සඳහා ලොව ඉහලම සහතික සම්මාන ලබා සිටි ඇය රැඩිකල් විසංයෝජන නිර්මාණ සඳහා ප්‍රසිද්ධය.  ඇය විසින් කරන ලද ගෘහ නිර්මාණ දුටුවිට ඇයගේ කියමනේ සත්‍යතාව වැටහේ.

Courage calls to courage everywhere - ධෛර්යය සැමතැනම ඇති දිරියනට ආරාධනා කරයි.
දිරිමත් කතක් වූ බ්‍රිතාන්‍ය ජාතික Millicent Fawcett බ්‍රිතාන්‍ය  කාන්තාවන්ට සර්වජන ඡන්ද බලය ලබාදීම සඳහා වෙහෙසව ක්‍රියාකළ කෙනෙකි. දේශපාලන නායිකාවක මෙන්ම රචිකාවකද  වන ඇය කාන්තා අයිතීන් සඳහා නොලස්ව ක්‍රියාකාරී දායකත්වය දුන් කෙනෙකි.

Wings are freedom only they are wide open in flight. On one's back they are heavy weight - පියපත්වලට නිදහස ඇත්තේ ඒවා විහිදා පියාසර කරන තෙක්ය. එසේ නොමැතිනම් ඒවා බරය.
රුසියානු විප්ලවය සමයේ එයට දායකත්වය දෙමින් විවිධ කවි රචනා කළ කිවිඳියකි, Marina Tsvetaeva.  ඒවා වටහා ගැනීමට අපහසු එසේම පරිවර්තනයට ඉතා අපහසු එහෙත් ජිවිතයේ සත්‍යය පවසන කවි ය.

The future can awaken in a more beautiful way than the past - අනාගතය, අතීතයට වඩා බොහෝ අලංකාර ආකාරයට පුබුදු කළ හැකිය.
ප්‍රංශ නවකතා කාරියක හා සමාජ ක්‍රියාකාරිනියක වන ජෝජ් සෑන්ඩ් ගේ කියමනකි. දුප්පතුන්, වැඩ කරන ජනතාව හා කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ක්‍රියාකාරී වීම නිසා බොහෝ දෙනෙක්ගේ අවධානයට යොමුවූ තැනැත්තියකි.

A person who has at least one dream has a reason to be strong - අඩු ගණනේ  එක සිහිනයක්වත් ඇති තැනැත්තාට ශක්තිමත් වීමට හේතුවක් ඇත. 
චීනයේ උපන් තායිවාන් ජාතික රචිකා Sanmao ගේ අදහසකි.

I matter. I matter equally. Not 'if only' not 'as long as'. I matter. Full stop. 
නයිජිරියානු ජාතික නවකතා, කෙටිකථා රචිකා Chimamamnda Ngozi Adichie ගේ මේ කියමන කොහොම පරිවර්තනය කරන්නදැයි ගැටලුවකි. නයිජීරියාවේ ඉපිද තුරුණු වියේ ඇමරිකාවට පැමිණ ආචාර්ය උපාධිය දක්වාම  උගත් ඇය අප්‍රිකානු සාහිත්‍යයට නව පරපුරේ අවධානය සාර්ථකව ලබා ගැනීමට සමත් රචිකාව ලෙස සැලකේ.

මේ සියලු අදහස්වල එකතුව වන්නේ කෙනෙක්ගේ හැකියාව සීමා මායිම් රහිත බවත්, සාක්ෂාත් කරගත නොහැකි සිහින නැති බවත් ය. ශක්තිමත් බව ක්‍රියාවෙන් පෙන්වූ කාන්තාවන් පිරිසකගේ මේ  කියමන්, කාන්තාවනට පමණක් නොව කා හටත් ජීවිතය හැඩගසා ගැනීමට උපයෝගී කරගත හැකිය.

උදව්:
උඩගෙදර සුගතපාල මහතා
https://en.wikipedia.org/wiki/
www.space.com/17169-mae-jemison-biography.html
www.fridakahlo.org
www.ndbooks.com/author/clarice-lispector/
www.poetryfoundation.org/poetrymagazine
www.youtube.com/watch?v=nH63ByKzR0g
elledecoration.co.za/5-standout-architectural-projects-by-zaha-hadid/