Sunday, 17 March 2019

ගූගල් ඩූඩල් මාර්තු 17, 18: පැට්‍රික් දිනය හා අන්ධයන්ට මග දැක්වීම

මාර්තු 17: ශාන්ත පැට්‍රික් දිනය St. Patrick's Day 
ලොව පුරා අයර්ලන්ත මූලයන් සහිත රෝමානු කතෝලික, ඇන්ග්ලිකන් හා  Eastern Orthodox  ආගමිකයන් සමරන දිනයක්. අයර්ලන්ත සම්ප්‍රදායයන් හා සංස්කෘතියට ක්‍රිස්තියානිය ඇතුලත් කළ, පසුව ශාන්තුවරය ලැබූ පැට්‍රික් නම් පුජකවරයෙක් මියගිය දිනයයි. සාමාන්‍ය ක්‍රිස්තියානි අය මත්පැන් භාවිතා නොකරන අළු බදාදා හා පාස්කු කාලසීමාවේ දිනයකට යෙදෙන මෙදින මත්පැන් පානය තහනමක් නැත. එසේම මෙම දිනයේ භාවිතා කරන සංඛේත අයර්ලන්තයේ ඓතිහාසිකව  භාවිතා වූ සංඛේතයි.
 ඩූඩලයේ තිබෙන සමමිතික සර්පිලාකාර කොටස් තුන විවිධාකාර අර්ථ දැක්වීම් සහිතයි. නියෝලිතික හා මෙගාලිතික යුගයන්හි අයර්ලන්ත නටබුන්වල පවා මෙම සංඛේතය දකින්න පුළුවන්.
ග්‍රීසිය, සිසිලිය හා අයර්ලන්ත සංස්කෘතියට අයත් කෙල්ටික් දහමේ එය triskele (පාද තුන) ලෙස හඳුන්වන්නේ. තවත් අදහසක් වන්නේ එමගින් අහස, පොලව හා මුහුද සංඛේතවත් කරන බවයි. ආසියානු සම්ප්‍රදායන්හිද අතීත යුගයන් සිටම භාවිතා වූ මෙයට සමාන සංඛේත තිබෙනවා. එය චිරාත් කාලයක් අයර්ලන්තයේ භාවිතා වූ සංඛේතයක් වුවත් පූජක පැට්‍රික් එය කතෝලික දහමේ ශුද්ධවූ ත්‍රිත්වය (පියා, පුත්‍රයා, ශුද්ධාත්මය) සංඛේතවත් කිරීමට යොදාගත්තා.
ශාන්ත පැට්‍රික් දිනයේ යොදාගන්න අනෙක් සංඛේතය ෂම්රොක් නම් පැළෑටියේ පත්‍රයයි. ඇඹිල්ල වැනි  කුඩා ශාකයක් වන මෙහි මල අයර්ලන්ත ජාතික පුෂ්පයයි. මෙම පත්‍රයේ කොටස් තුන මගින්ද ශුද්ධ වූ ත්‍රිත්වය විස්තර කල හැකි බව පැට්‍රික් අදහස් කළා.
මෙම දිනයට අයත් වර්ණය ලෙස සැලකෙන්නේ කොළ පැහැයයි.

අයර්ලන්තයේ හා කැනඩාවේ එක ප්‍රාන්තයක නිවාඩු දිනයක් වන මෙය, ලොව පුරා වෙසෙන අයර්ලන්ත උරුමයන් ඇති ජාතින් උත්සවාකාරයෙන් සමරන දිනයක්. විවිධ වූ  කොළ වර්ණ ඇඳුමින් පැළඳුමින් සැරසී පෙරහැර, ප්‍රීති උත්සව පවත්වමින්, කමින් බොමින් ගතකරන ආගමික හා සංස්කෘතික දිනයක්.


මාර්තු 18: සෙයිචි මියාකේ 
ලොව වටා  මිනිසුන් මිලියන 285ක් දෘෂ්‍යබාධිත බව ඇස්තමේන්තු කර තිබෙනවා. තම මිතුරෙක්ට උපකාරයක් ලෙස සෙයිචි මියාකේ නම් ජපන් ජාතිකයා විසින් 1965 දී කළ නිර්මාණයක් ලොව දෘෂ්‍යබාධිත දස දහසක් දෙනාට අද දවසේ සෙත සලසන නිමැවුමක් බවට පත්ව තියෙනවා.

දෘෂ්ටිය අහිමි වෙමින් යන මිතුරාට ගමන් කිරීමට පහසුවන ලෙස මියාකේ විසින් පොලවේ ඇතිරීමට සවිමත් රබර් බ්ලොක්, දෙආකාරයක උන්නත රටාවලින් යුක්තව නිර්මාණය කළා. එක් වර්ගයක් තිත් සහිත වන අතර, අනෙක් වර්ගය දිග පටි සහිතයි.
දිග පටි ආරක්ෂා සහිතව ගමන් කලහැකි මාර්ගය දක්වන අතර (Go indicator), තිත් සහිත කොටස තමන් යම් අනතුරුදායක ස්ථානයකට එනම්, දුම්රිය වේදිකාවේ අවසානය, පාරක් බෙදෙන තැන වැන්නකට පැමිණි බව (Stop indicator) පෙන්වා දෙනවා.
මියාකේ ගේ මෙම නිර්මාණය මුල්වරට ජපානයේ ඔකයාමා අන්ධ විද්‍යාලය ඉදිරිපිට පාර දෙපසට හඳුන්වා දුන්නේ 1967 මාර්තු 18 දින නිසයි අද එය සමරන්නේ. මෙහි වැදගත්කම වටහාගත් ජපන් රජය එය පදික වේදිකාවලට ඇතුලත් කිරීම ඇරඹුවා.
අද ජපානයේ දුම්රිය ස්ථාන 1376කත්, බොහෝ පදික මාර්ගවල, ගුවන් තොටුපලවල, බස් නැවතුම්පලවල දෘෂ්‍යාබධිතයන් ගේ පහසුව පිණිස  මියාකේ ගේ කහ පැහැති උන්නත ඇතිරීම් භාවිතා කරනවා. මේවා හඳුන්වන්නේ Tactile Ground Surface Indicators TGSI නමින්.

මෙම උන්නත මාර්ග ඇතිරීම් ක්‍රමය  ඉතා ඉක්මනින් ලොව පුරාම ප්‍රචලිත වුණා. මෙය සුදු සැරයටියට පමණක් නොව මග පෙන්වන බල්ලන් සමග යන අයටත්  තම පාවහන්වලට දැනෙන අයුරිනුත් පාවිච්චි කරන්න පුළුවන්.

ක්‍රමයෙන් ජනප්‍රියත්වයට පත් TGSI  ක්‍රමය වැඩි දියුණු වෙමින් දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට පමණක් නොව සියලු දෙනාටම භාවිතා කළහැකි ලෙස ලොව පුරා විවිධ ගොඩනැගිලි තුල පඩිපෙල් හා දුවන පඩිපෙල් ආරම්භ හා අවසන්වන තැන්වල, carpark crossing වල, දුම්රිය වේදිකාවල, විදුලි සෝපාන අසල, Zeebra crossing ආරම්භ වන ස්ථානවල, ජැටිවල මිලියන ගණනක් ජනතාවගේ ආරක්ෂාව සහතික කරමින් යොදාගෙන තියනවා.
    ස්තුතියි සෙයිචි මියාකේ !

උදව්:
www.google.com/doodles/st-patricks-day-2019
en.wikipedia.org/wiki/Saint_Patricks_Day
www.britannica.com/plant/shamrock
www.digitaljournal.com/blog/21332
www.youtube.com/watch?v=ywUsgt_QW4Q
www.google.com/doodles/celebrating-seiichi-miyake

4 comments:

  1. වැදගත් තොරතුරු දෙකක්. දෙවෑන්න හුඟක් සිත් ගත්තා. මිනිසුන් විනාශ කරන ක්‍රම ගැන තොරතුරු බහුල අද මිනිසුන් ජීවත් කරවන සොයා ගැනීම් ගැන හිතට අස්වැසිල්ලක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නොහිතන ප්‍රතිලාභ තියන සොයාගැනීමක්. ස්තුතියි උඩගෙදර මහත්තය.

      Delete
  2. ශාන්ත පැට්‍රික් තුමා වගේම, ගොඩක් පැරණි සංස්කෘතීන්වල අංග නව්‍ය සංස්කෘතීන්වලට උරාගෙන තියෙනව. එක උදාහරණයක් තමයි ජගන්මාතාව...

    ලංකාවෙදි, ජගන්මාතාව - කිරි අම්මා - පත්තිනි ඇදහිල්ල - බුදුබව පතන පත්තිනි නම් බෞද්ධ දේවතාවිය විදිහට අනුවර්තනය වෙනව

    යුරෝපයෙදි, ජගන්මාතාව - ඇස්තර් - ඇප්‍රොඩයිටි සහ විනස් - මරියතුමිය ‍හෙවත් දේවමාතාව විදිහට අනුවර්තනය වෙනව...

    ඉන්ටරෙස්ටිං....

    ගොඩක් ස්තූතියි තොරතුරුවලට

    ReplyDelete
    Replies
    1. පැට්‍රික් පුජකතුමා ආගම පතුරවන්න අයර්ලන්ත ජාතිකයන්ගේ සම්ප්‍රදායික දේවල් කපටි විදියට යොදාගත්තා කියල මටනම් හිතෙන්නේ. ක්‍රමිකව හිමින් වෙලා තියන දෙයක් නෙමේ නිසා.

      Delete