Monday 30 March 2020

කැනඩාවේ COVID තතු 1

ලොවම මුහුණ දීල ඉන්න වසංගතයක තත්වය ගැන එක එක රටවල අය විස්තර කරද්දී මටත් හිතුන කැනඩාව COVID-19 වසංගතයට මුහුණ දෙන හැටි ලියන්න.
ජනවාරි මාසය
අපිත් ලෝකේ අනිත් අය වගේම ජනවාරි මාසේ ඉඳන්ම කොරෝනා වයිරසය ගැන, චීනයේ එය පැතිරෙන විදිය ගැන බලාගෙන හිටියා. කැනඩාවේ පළමු රෝගියා හමුවුණේ ජනවාරි මාසයේ. ඔහු වූහාන් ප්‍රදේශයේ සංචාරයකින් පසු පැමිණි කෙනෙක්. ජනවාරි අග වෙද්දී ඔහු සුවවුණා.
තත්වය සෙලවීමකට ලක්වුණේ ජපානයට ගොස් එහි ඇතුල්වීමට අවසර නොලබා නැංගුරම් ලා තිබුණු ප්‍රින්සස් ඩයමන්ඩ් සුඛෝපභෝගී නෞකාවේ කැනේඩියනුවන් කිහිප දෙනෙක් සිටිය නිසා. ඔවුන්ට සියලු පහසුකම් ලැබෙන බවත්, කැනඩා ජාතිකයන් හොඳින් ඉන්න බවත්, ඔවුන්ව රෝගය ගැන දැනුවත් කරමින් තිබෙන බවත් දිනපතා කිව්වේ. නමුත් ක්‍රමයෙන් එහි ආසාදිතයන් ගණන වැඩිවුණු අතර කැනේඩියානු අයත්  රෝගි වුණා. (ඉන් එක අයෙක් පසුව ජපානයේ රෝහලකදී මියගියා).

පෙබරවාරි මාසය
සාමාන්‍ය ජන ජිවිතයේ වෙනසක් වුනේ නැහැ. පුද්ගලික ස්වස්ථතාව ගැන අවධානය වැඩිවුණා. අධික සිතල නිසා එලියට යද්දී හොඳට වැහෙන්න ඇඳුම් ඇඳගෙන, ග්ලව්ස් දාල, බූට්ස් දාල යන නිසා බාහිර පරිසරය කෙලින්ම අතපත ගෑම කොහොමත් අඩුයි.
පෙබරවාරි වල වූහාන් සිටි 150 පමණ ගෙන්වාගත් අතර ඒ කිසි කෙනෙක් නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා ගත්තේ නැහැ. හැම දෙනාටම කිව්වේ නිවසේ දින 14ක්  ස්වයං නිරෝධායනය වෙන ලෙසයි. වැඩි පිරිසක්  නිරෝධායන මධ්‍යස්ථානවල රඳවා ඒවාට පහසුකම් සැපයීමේ සුදානමක් තිබුනේ නැහැ. එසේ ස්වයං නිරෝධායනය වෙන අයව දිගටම නිරීක්ෂණය කළා. තමන්ටම රෝගය වැලඳී ඇතිදැයි නිර්ණය කරගත හැකි assessment එකක් එලි දැක්වූවා. වඩා සැක අය රෝගයට අදාල පරීක්ෂණයෙන් තහවුරු වී රෝගීන් වුණත් රෝහලට ඇතුලත් කළේ දින ගණනාවක් රෝග තත්ත්ව පෙන්නුම කළ පසුවයි. ඒ කාලය තුළ අවශ්‍ය උපදෙස් ලැබෙනවා.

ක්‍රමයෙන් රට තුළ රෝගීන් වාර්තා වෙන්න ගත් අතර, වැඩි දෙනෙක් එකිනෙකින් දුරස්ව තිබුණු ප්‍රාන්ත දෙකකිනුයි හමුවුණේ. ඒ හැම දෙනාම පිටරට සංචාරවලින් පසු ආ අය.


පෙබරවාරි මාසයේ කැනඩා රජයේ වෙබ්සයිට් එකේ health කොටසට කොරෝනා ගැන විස්තර ඇතුලත් පිටුවක් ආරම්භ වුණා. සියලු තොරතුරු ප්‍රධාන භාෂා දෙකෙන්ම ලබාගත හැකි වුණා. මේ වෙබ් පිටුව නිතිපතා update වුණා. මේ පිටුවේ අද වනවිට තිබෙන සබැඳියා මෙහෙමයි.
     * COVID-19 අලුත්ම  තත්වය               * අවදානම හා වලක්වා ගැනීම
     * රෝග ලක්ෂණ හා ප්‍රතිකාර             * සුදානම් වන අයුරු
     * ගමනාගමන උපදෙස්                         * කැනඩාවේ ප්‍රතිචාර
මේ එක එක ලින්ක් එකෙන් ගොස් ඒවායේ සබ් ලින්ක් වලින් බොහෝ තොරතුරු ඕන කෙනෙක්ට ලබාගන්න පුළුවන්. මේ ලිපියේ උදව් කොටසේ එම පිටුවේ වෙබ් address එක තියනව.

මාර්තු මාසය
සාමාන්‍යයෙන් මිනිස්සු සතුටින් ඉන්න, වැඩිපුර එලි පහලියට එන කාලේ. සීතල ටික ටික  තුරන්වෙලා, හිම වැටීම අඩුවෙලා, උණුසුම වගේම ඉර පවතින වෙලාව වැඩිවෙමින් තිබෙන කාලය.
මාර්තු මාසය එළඹීමත් එක්ක බොහෝ වෙබ්වල, පාසල්වල, පුස්තකාල ආදියේ  කොරෝනා වයිරසය, එහි බෝවීම හා රෝගය ගැන දැනුවත් කිරීම් ඇරඹුනා.
තවත් කැනේඩියානුවන් රැගත් නෞකාවක් රෝගීන් නිසා ඇමරිකාවේ වරායක නිරෝධායනයට ලක් කිරීමත් සමග cruise ship වල ගමන් යාමෙන් වලකින ලෙස ඉල්ලීම් කළා. බොහෝවිට මේ සුඛෝපභෝගී නෞකාවල ගමන් කරන්නේ වැඩිහිටි අය. ඒ සමගම විදේශිකයන්ට අත්‍යවශ්‍ය නොවෙන දේවලට කැනඩාවට පැමිණීමේ තහනමක් පැනවුවා.

පාසල්වල වසන්ත නිවාඩු සතිය හෝ සති දෙක ලැබෙන්නේ මාර්තු මාසේ මැද. මේ වසරේ ඒ නිවාඩුව යෙදී තිබුනේ මාර්තු 13 සිට.  මේ නිවාඩුවේදී බොහෝ දෙනෙක් විනෝද චාරිකා සහ පිටරට චාරිකා යනවා. රජය ඒ ගැන දැඩි අවධානය යොමුකළා.
පිටරට යන අයගෙන් නැවත රෝගය පැතිරීමේ අවදානම නිසාත් රෝගීන් 60 ඉක්මවීම නිසාත් 12 දා සවස ප්‍රාන්ත රජයෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කළා. ඒ අනුව,
  • පාසල් නැවත ආරම්භ කරන දිනය සති දෙකකින් කල් දැමුවා. ඒ පිටරටකට ගියහොත් නැවත පැමිණි පසු නිරෝධායනයට ඉඩ සලසමින්. 
  • විශ්ව විද්‍යාල ඇතුළු උසස් අධ්‍යාපන ආයතන වසා දැමුවා..
  • හැකි සෑම කෙනෙක්ටම නිවසේ සිට රැකියාව කරන්න ඉල්ලීමක් කළා.
  • සියලුම දිවා සුරැකුම් මධ්‍යස්ථාන වසා දමනු ලැබුවා.
  • පුස්තකාල, සිනමා ශාලා, නාට්‍යශාලා ඇතුළු මහජනයා ගැවසෙන අත්‍යවශ්‍ය නොවන ආයතන වසා දැමුවා 
  • පාසල් නිවාඩු කාලීන කෑම්ප්, විනෝද ස්ථාන, කොන්සර්ට්  සියල්ල නොපවත්වන බව නිවේදනය කළා 
  • පොදු දෙයකට රැස්විය හැකි වැඩිම සංඛ්‍යාව 5කට සිමා කළා.
මෙහිදී මුළු සමාජයම කැළඹුනා. එදා සවස සියලුම වෙළඳසල් පාරිභෝගිකයන්ගෙන් පිරි ඉතිරි ගියා. රෝගය ගැන වගක් නැතිව රැස්වෙලා ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගත්තා.
මේ කලබලය තිබුණේ දින දෙකතුනක් පමණයි. 13 දා පාසල් පවත්වා නිවාඩු දීමෙන් පසු රජයේ ඉල්ලීම පරිදි ජනතාව හැකිතාක් නිවෙස් තුළම කාලය ගතකළා. ඒ නිසා ඇඳිරි නිතිය වැනි දැඩි ක්‍රියාමාර්ග වෙත එළඹෙන්න වුනේ නැහැ.
අත්‍යවශ්‍ය අහර ද්‍රව්‍ය ගන්න වෙළඳසල්, බැංකු, ඉන්ධන පිරවුම්හල් සේවා කාලය අඩු කර දිගටම ක්‍රියාත්මක වෙනවා.
මේ නීති රීති හා ඉල්ලීම් ඇත්තටම මට්ටම් තුනකින් ක්‍රියාත්මක වුණේ. මධ්‍යම රජයෙන්, ප්‍රාන්ත රජයෙන් හා නාගරික (municipal) මට්ටමෙන්.

රට කම්පනයට පත් තව කරුණක් තිබුනා. එක්සත් රාජධානියේ සමුළුවකට සහභාගී වී පැමිණි අගමැති ට්රුඩෝ බිරිඳට COVID-19 රෝගය වැළඳී තිබීමයි. මේ නිසා ඇය self isolate වුනු අතර, අගමැතිතුමාත් නිවසේ සිට රැකියාව කරන බව පවසමින් ඇය සමගම ස්වයං නිරෝධායනයකට යොමුවුණා. අප අයත් නාගරික සිමාවේ නගරාධිපතිත් කොරෝනා රෝගියෙක් හා සමීපව ඇසුරු කළ නිසා නිවසේ නිරෝධායනය වුණා.

ජාත්‍යන්තර ගුවන් තොටුපල 17ක් ඇතුළු ගුවන් තොටුපළවල් 500ක් තිබෙන කැනඩාවේ මිනිසුන්ගේ ගමනාගමනය සීමාකිරීමේ නීති පැනවීම පහසු නැහැ. නමුත් ක්‍රමයෙන් මධ්‍යම රජය මගින් ගුවන් තොටුපල එකින් එක වසා දමන්නට පටන්ගත්තා. දැනට ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර ගුවන් තොටුපල 4ක් පමණයි.

ක්‍රමයෙන් මහජනතාවගෙන් හා සෞඛ්‍ය අංශවලින් එන ඉල්ලීම් සලකමින්
  • රෙස්ටුරන්ට්, කැෆේ ඇතුළු ජනතාව රැඳී ආහාර ගන්න ස්ථාන වසා දැමුවා. නවතින්නේ නැතිව ආහාර රැගෙන යා හැකි ස්ථාන තවමත් විවෘතයි. 
  • සැලෝන්, ජිම් ආදිය වසන්නට නියෝග කළා.
  • මහජන උද්‍යාන වසා දැමුවා. 
  • පිටරටක සිට පැමිණෙන හැමදෙනට දින 14ක ස්වයං නිරෝධායනය අනිවාර්ය කළා 
  • රෝහල් සහ අත්‍යවශ්‍ය සේවාවන්හි යෙදෙන අයගේ දරුවන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන කිහිපයක් නැවත විවෘත කළා. 
  • පොදු ප්‍රවාහන සේවා තරමක් අඩු කිරීම හා ඒවා තුළ එකිනෙකාගෙන් ඈතින් ගමන් කිරීමට ක්‍රමෝපාය ක්‍රියාත්මක කළා.  
  • පාසල් හා උසස් අධ්‍යාපන ආයතන විවෘත කිරීම දින නියමයක් නැතිව කල් දැමුවා. 
මේ සියල්ල සිදුකරන අතර රෝහල් සඳහා අත්‍යවශ්‍ය ග්ලවුස්, පිරිසිදුකිරීම් දියර, මාස්ක් ආදිය නිෂ්පාදනය වැඩි කිරීමට ඒ සඳහා පහසුකම් ඇති වෙනත් දේ නිපදවන කම්හල් යොදා ගනිමින් තියනව. වාහන නිෂ්පාදන ආයතන ඇඳන් හා ventilator නිෂ්පාදනය සඳහා යොමුකර තිබෙනවා. 
වසංගත තත්වය නිසා රැකියා හා අදායම් මාර්ග අහිමි වූ අයටත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටත් මුල්‍ය හා වෙනත් ආධාර සැපයීම ආරම්භ කළා. 
මේ සියලු තත්ත්ව මැද දැනට කැනඩාවේ COVID-19 රෝගීන්ගේ තත්වය


උදව්:
https://www.canada.ca/en/public-health/services/diseases/coronavirus-disease-covid-19.html

Monday 23 March 2020

COVID -19 හා ස්පාඥ්ඥ උණ එක බඳුද ?

මාර්තු 22 උදේ මේ ලිපිය globalnews.ca වෙබ්සයිට් එකේ දුටු වෙලාවේ ඉඳලම මෙය පරිවර්තනය කරන්න හිත කිව්වා. දෙගිඩියාවකින් හිටියේ මේක සෞඛ්‍යය ජර්නල් එකක් නොවෙන නිසා. එහෙත් හවස් වෙද්දී ටිකක් වෙනස් විදියක කොරෝනා වයිරස් මරණ දෙකක් ටොරොන්ටෝ නගරය තුලිනුත්, ඒ ආසන්න නගරයකිනුත් වාර්තා වුනා.
එක්කෙනෙක් ඇමරිකාවේ සංචාරය කර පැමිණි 70 වියැති කෙනෙක්. රෝගී බවක් දැනුනු නිසා පරික්ෂා කරවාගත් විට කොරෝනා බව දැනගෙන නිවසේ isolate කළ කෙනෙක්. (කැනඩාවේ අමාරු වෙනකල් රෝහල්ගත කරන්නේ නැහැ). නැවත රෝග තත්ත්ව වැඩි නිසා රෝහල්ගත කරලා පැය 24 ගතවෙන්නත් පෙර මියගොස්.
අනිත් තැනැත්තිය පසුගිය දින කිහිපයේම ප්‍රංශය හා ටහිටි රටවල සංචාරය කර ඊයේ පැමිණි 72 හැවිරිදි කාන්තාවක්. රෝග පරීක්ෂාවක් වත් කරගෙන නැහැ. අද හදිසියේ ගෙදරදීම මියගොස්. ඇයට කොරෝනා තිබුණු බව සොයාගෙන තියෙන්නේ ඉන් පසුවයි.
මේ ගැන ප්‍රකාශයක් කල Infection disease specialist කෙනෙක් වෙන Dr. Isaac Bogoch පැවසුයේ මේ රෝගය උත්සන්න වන ආකාරය රෝගියාගෙන් රෝගියාට වෙනස්විය හැකි බවත්, රෝගයේ  වෙනස් ආකාර එළඹිය හැකි බවත්.
ඒ බව ප්‍රවෘත්ති ප්‍රකාශයකින් දැනගත්තම මේ ලිපිය පරිවර්තනය කළ යුතුයි කියා හිතුණා.

ලිපිය ලිව්වේ Rachael D' Amore
National Online journalist
COVID -19 හා ස්පාඥ්ඥ උණ අතර සමානතා
වසර 100 කට පෙර අද මෙන්ම ලොවේ වසංගත තත්වයක් ඇතිවිය.  එය ලොව ඉතිහාසයේ  අතිශය මාරාන්තික තත්වයක් විය. ලොව පුරා මිනිසුන් මිලියන 500 කට (එවක ජනගහනයෙන් 1/3 ) අසාදනය වී 55 000 කට මරණය අත්කර දී තිබේ. එයින් වැඩි හරියක් වැඩිහිටි තරුණ අයයි.
1918 දී පැතිරුණු එම ස්පාඥ්ඥ උණ, ලෝකයේ වසංගත තත්වයන් දෙස බලන ආකාරය, වසංගත වලට මුහුණදෙන ආකාරය හා ප්‍රමාණිකරණය කරන ආකාරය පිලිබඳ මිනුම් ලකුණක් (benchmark) බඳු විය.
COVID 19 වයිරසය ලොව පුරා පැතිරෙමින් උත්සන්න වීමත්, යුරෝපය හා උතුරු ඇමරිකාවේ එහි බලය පැතිරවීමත් සමගම විද්‍යාඥන් හා ඉතිහාසඥයින් එය 20 වන සියවසේ උණ සමග ඇති සමානතා විමසන්නට පෙළඹුනත් වෙනස්කම්ද ඇතිබව වටහා ගත්හ.
"බිය ගෙනදෙන සමානතාත්, හිතට සහනය දෙන අසමානතාත් තිබෙනවා" ජනමාධ්‍යවේදී හා September 1918: War, Plaugue, And The World ලියු ස්කිප් දෙස්හර්ද  කියයි.
'දැනට තියන වෛද්‍ය විද්‍යාවේ ප්‍රවණතා සියල්ල සලකා බැලුවත්, වසංගත තත්වයක් දැන් ලොවේ භයංකාරයි. අපි දැන් ලෝක ප්‍රජාවක්. මිනිස්සු වසර 100 කට එහාදී තිබුනට වඩා ඉතා වේගයෙන් ලොව පුරා ගමන් ගන්නවා. එය වසංගත ඉතාම වේගයෙන් පැතිරෙන්නට පහසුවක් ".

1918 මාර්තු මාසයේ පළමු ලෝක සංග්‍රාමය සමයේ ස්පාඥ්ඥ උණ ආරම්භ වුයේ කොතනදැයි පැහැදිලි නැත. මුල් අවස්ථාව සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා ලක්ෂණ සහිත එකකි. එහෙත් අගෝස්තු මාසයේ දෙවැනි රැල්ල භයානක විය. සමහරු රෝගය වැළඳී පැය  කිහිපයක් තුළ සිරුර නිල් පැහැ ගැනෙමින්, පෙනහළු තුළ දියර පිරෙමින් හුස්ම ගත නොහැකිව  මිය ගියහ.
තුන්වෙනි රැල්ල සිසිර ඍතුව තුළ පැතිරුණු අතර 1920 අවසන් වනතෙක් තුරන් කළ නොහැකිවිය.

ස්පාඥ්ඥ උණද කොරෝනාවයිරසය මෙන්ම ලොව පුරා පැතිරුනේ ගමනාගමනය නිසයි. දැන් ගුවන්යානා වෙනුවට එදා පැතිරුනේ නැව් මගිනි.
ලෝක යුද්ධයේ අවසාන කාලයේ හමුදා ඛණ්ඩවල  ගමන් හේතුවෙන් ඇමරිකාවේ මධ්‍ය බටහිර හා ගිනිකොණ ජනපදවල ඇති හමුදා කඳවුරුවල පැතිරුණු අතර, හමුදා භටයන් මගින් ප්‍රංශයට පැතිරුණු බව සිතිය හැකිය. එතනින් අනෙක් යුරෝපා රටවලත්, සාමාන්‍ය ජනතාව අතරත්  ව්‍යාප්ත විය.
"දැන් තිබෙන ගුවන් ගමන් පහසුව සමග එක මහාද්වීපයක සිට තවත් මහද්විපයකට වයිරස පැතිරීම පැය ගණනකින් සිදුවිය හැකියි" . දෙස්හර්ද පවසයි.
නව කොරෝනාවයිරසය චීනයේ වුහාන් නගරයෙන් ඇරඹී, ඉතා ඉක්මණින් අනෙක් ප්‍රාන්තවලට පැතිරුනි. දෙසැම්බරයේ ඇරඹී, ක්‍රමයෙන් දේශ සිමා හා මුහුදු පැන ගිය එය, දැන් යුරෝපය මධ්‍ය ලක්ෂය කරගෙන ඇත.
මෙලෙස වේගයෙන් පැතිරුණේ ස්පාඥ්ඥ උණ පැතිරුණු සමයේ මෙන්ම ජනගහනයට මෙම රෝගයට ප්‍රතිශක්තිය නැතිවීම නිසයි. මෙම රෝගයට කලින් නිරාවරණය වී නොතිබුණු නිසා මානවයන් තුළ  එම වයිරසයට ප්‍රතිශක්තියක් ගොඩනැගී නැත.

මේ රෝග දෙකෙහි වෙනස්කම්ද ඇත.
ස්පාඥ්ඥ උණෙන් මියගිය වැඩිදෙනා තරුණ අයයි. කොරෝනාවයිරසය තරුණ අයටත් බලපෑවත්, වඩා භයානක වන්නේ වැඩිහිටි ජනගහනයටයි.
රෝග පැතිරුණු කාල දෙකෙහි ඇති සන්නිවේදන වෙනස්කම්  තවත් කරුණකි. 1918දී රෝගය තිබුනත් වාර්තා කලේ බොහෝ වාරනයන්ට යටත්වය. ලෝක යුද්ධයේදී මධ්‍යස්තව සිටි ස්පාඥ්ඥය තත්වය නිවැරදිව වාර්තා කල නිසා රෝගයේ ආරම්භය ලෙස එම රට නම් කළත්, එහි පැතිරීමට සති ගණනාවකට පෙර, ඇමරිකාවෙත් ප්‍රංශයෙත්  රෝගය ව්‍යාප්තව තිබුණි.
"කැනඩාවේ හැලිෆක්ස්, මොන්ට්‍රියල්, ටොරොන්ටෝ, විනිපෙග් නගරවල ඉතා තදින් ස්පාඥ්ඥ උණ පැතිර තිබුණත්, පුවත්පත්වල බොහෝවිට රෝගය ගැන ලියවී තිබෙන්නේ ඇතුල් පිටුවලයි". කැනඩාවේ වෝටර්ලු විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිලිබඳ මහාචාර්ය හෙදර් මක්ඩුගල් පවසන්නීය. "කොරෝනාවයිරසයේ තත්වය ඊට සාපේක්ෂව බොහෝ විනිවිද පෙනෙන ලෙස වාර්තා වෙනවා"
ඇමරිකාවෙත් ස්පාඥ්ඥ උණ රෝගය පැතිරීම හෝ වැලඳීම වැලක්වීමට මහජනතාවට  නිලධාරීන් හෝ පුවත්පත් මගින් එතරම් දැනුවත් කිරීමක් සිදුව නොමැති බව දෙස්හර්ද පවසයි.
කොරෝනා වයිරසයත් උතුරු ඇමරිකාවේ මිලියන ගණන් පුදගලයන්ට වැළඳිය හැකියි.එදාත් රෝගය වැලඳීම වැලැක්වීමට එකිනෙකාගෙන් ඈත්ව විසීම උපයෝගී කරගෙන තිබෙනවා, අද මෙන්ම.
" වැලඳෙන කාලය දුරස් කරගැනීම වැදගත්. බොහෝ දෙනෙක්ට රෝග ලක්ෂණ යන්තම් ඇතිව රෝගය වැළඳෙයි කියා බලාපොරොත්තු වෙනවා" දෙස්හර්ද පවසයි. "ටොයිලට් කඩදාසි හා පාන් හිඟ වෙලා ජීවත්වෙන එක හොඳයි, වෛද්‍යවරු  හා දැඩි සත්කාර ඒකක හිඟ වෙනවට වැඩිය".

උදව්:
https://www.cp24.com/
https://globalnews.ca/news/6707118/coronavirus-spanish-flu-comparison/