Thursday 21 June 2018

ලෝක මායිමේ ජිවත්වන රුසියාවේ ආදී වාසින් Yamal Nenets

ඉස්සර මිනිස්සු වැරදි කළහම දඬුවම් විදියට සයිබීරියාවට යවනවලු. මිනිසුන්ට දරාගන්න බැරි තරම් ශිතලයෙන් යුක්ත ප්‍රදේශ හින්දා පරිසරයෙන් හා අඩු පහසුකම්වලින් දඬුවම් විඳින්නට. ලෝකයේ අධිකතම ශිතලකින් යුතු මේ පෙදෙසේ රුසියානු ආදිවාසීන් ඉන්න බව ඔවුන් අතරින් කෙනෙක් වන ඔක්සානා හමුවෙනතුරු හිතුවෙවත් නැති දෙයක්. ආක්ටික් දේශගුණය තිබෙන අධි ශීත කලාපයක Edge of the world කියන තේරුම තියන Yamal නමින් මෙන්ම Nenet නමින් හඳුන්වන මේ ගෝත්‍රිකයන් තම අනන්‍යතාව හා සම්ප්‍රදායන් වසර දස දහස් ගණනාවක් තිස්සේ රැකගනිමින්, නවීන පහසුකම් කිසිවක් නොමැතිව  ආඩම්බරයෙන් ජීවත්වෙනවා.





රුසියාවේ උතුරු ප්‍රදේශයට වන්නට අධි ශීත, කටුක දේශගුණයක් ඇති, ඉර එලිය අඩුවෙන් වැටෙන යමාල් අර්ධද්වීපයේ  දිවි ගෙවන මොවුන්ගේ ජිවන රටාවේ  එස්කිමෝවරුන් හෙවත් ඉනුයිට් ගෝත්‍රිකයන්ට බොහොම සමානකම් තියෙනවා. ඇත්තෙන්ම බැලුවොත් එහෙම සමානකම් ඇතිවෙන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් ඉනුයිට්වරු රුසියන් ජාතිකයින්ගෙන් පැවත ඒම වෙන්න පුළුවන්. ඇමරිකන් ආදී වාසි ලිපි පෙලේ මුලින්ම මේ ගැන ලියා තිබෙනවා. අනිත් හේතුවනම් එකම විදියේ පරිසර පද්ධතියක, එකම අභියෝගයන්ට මුහුණ දෙමින් ජීවත්වන්නට සිදුවීම.
එස්කිමෝ හෙවත් ඉනුයිට්වරු ගැන කියවන්න මෙතනින්.

නිවාස: ඉනුයිට්වරු මෙන්ම ඉතා සුදු හමක් ඇති මොවුහු සමුහයන් ලෙස ජිවත්වෙන්නේ. සමහර කාලවල -50 C පමණ අධි සීතල නිසා පොලව ගල්වූ  පරිසරයක තැනින් තැනට යමින් ජීවත්වීමට ප්‍රධානම හේතුව ආහාර සොයාගැනීමේ අභියෝගයයි.
හිම වැටෙන පරිසරයක ජිවත්වුනත් ඉනුයිට්වරුන්ට මෙන් අයිස් කුට්ටිවලින් ඉග්ලු ගෙවල් හදාගැනීමේ සුරුකම නම් නැහැ. ශීත කාලයේත් චූම් chum නමින් හඳුන්වන කුඩාරම්වල ඉන්නේ. මේවා ඉනුයිට්වරුන්ගේ ගිම්හාන කුඩාරම් වලින් වෙනස් වෙන්නේ හැමවිටම එය සැදීමට දිග බට වැනි ශක්තිමත් ලී දඬු 30ක්  භාවිතා කිරීමෙනුයි. එලෙස දඬු 30ක්ම යොදාගැනීමට හේතුවක් ඔක්සානා දැන සිටියේ නැහැ. නිවසේ ප්‍රමාණය පාලනය මගින් ශීතලෙන් ආරක්ෂා වීමට පහසුවීම කියායි අනුමාන කරන්නේ. එම ලී දඬු හිටවා අවසානයේ සියල්ල සත්ව හම්වලින් ආවරණය කිරීම සිදුවෙනවා. අතීතයේ මේ සඳහා මැමත් ඇතුන් ගේ සම් යොදාගත්තත් දැන් බොහෝවිට පිනිමුවන්ගේ (reindeer) සම යොදාගැනෙන්නේ. සිතල ඇතුළු නොවන්නට හම්වල වාටි අතිපිහිත වන සේත්, සම තට්ටු කිහිපයක් සිටින සේත් සකස් කරනු ලබනවා.  මේ එක කූඩාරමක එක පවුලක් හෝ කලාතුරකින් ඥාති පවුල් දෙකක් ජිවත්වෙනවා. මිට අමතරව හිම බල්ලන් හා මව් මියගිය කුඩා පිණිමුවන්ද කූඩාරම තුළ හදාවඩා ගන්නවා.
නිවෙස් වටා අර්ධ කවාකාරව ඔවුන් ගමන් ගන්නා ස්ලේ sleigh  නම් වූ හිම මත ලිස්සන වාහන හා අනෙකුත් වාහන දක්නට ලැබෙනවා.  විශේෂිත ස්ලේ එකක් චූම් පිටුපස නවතන අතර එය නිවසේ හරි මැදට එල්ලවන ලෙස තබනවා. ස්ලේ කිසිම ඇනයක් යොදා නොගෙන ලී පුරුද්දමින් පමණක් ඔවුන්ම සාදාගන්නා රෝද රහිත වාහනයි.

මොවුහු සාමයෙන්, සමගියෙන් ජිවත්වන මනුෂ්‍ය කොට්ඨාශයක්. චුම්හි ඉදිරිපස කොටසේ නිවසේ කාන්තාවන් තම ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්  හා සංචාරයට සුදානම්වන කාලය වනවිට පොදි බැඳ ගැනීමේ කටයුතු කරන අතර, පිරිමින් තම වැඩ කටයුතු කරන්නේ චුම් තුළ පිටුපස කොටසෙයි. දරුවන් බලා කියගැනීම කාන්තාවන්ගේ වගකීමක්.

ආහාර: නැනෙට් ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ මස් හා මාළුයි. ක්‍රන්බෙරි වැනි බෙරිවර්ගත් තුන්ද්‍රා ප්‍රදේශවල වැවෙන සමහර ශාක වර්ගත් ගිම්හාන කාලයේ අනුභව කරනවා. පිරිමි අය දඩයමේ යන අතර හිම බල්ලන්ද ඒ සඳහා උදව් කරගන්නවා. ඉනුයිට්වරු මෙන්ම මොවුහුද සීතලට මිදුණු ගංගා, විල් ආදියේ මතුපිට අයිස් ස්තරය සිදුරු කරගෙන මාළු බෑමට දක්ෂයි. සැමන්, රිදිපාට සුදු මාළු, මස්කන් මාළු මෙලෙස අල්ලාගන්නවා. මෙයින් සමහර මාළු වර්ග කැපීම පිරිමින්ට පමණක් සීමා වූ කාර්යයකි. කැරිබු ගවයන්, තාරාවන් ඇතුළු කුරුළු වර්ග, එම ප්‍රදේශවල ජිවත්වන ඔක්ස් වර්ගයේ ගවයින් මෙන්ම පිනිමුව මස් ද අනුභව කරනවා. සුදු පිණිමුව මස් ලුණු හා ගම්මිරිස් දමා  ගැනීම උත්සව අවස්ථාවල විශේෂ ආහාරයකි.    තමන්ගේ රංචුවේ සිටින වයස්ගත, නිරෝගී හා උචිත පිනිමුවන් තෝරා මස් කිරීම පිරිමින් සතු කාර්යයක් වන අතර, ඒවා ඉවීමත්, සම් පිරිසිදු කර ආවරණ හා ඇඳුම් සැදීමත් ගැහැනුන්ට වෙන් වෙන කාර්යයන්. ඉනුයිට් ගෝත්‍රිකයන් මෙන්ම මොවුන්වත් 'අමු මස් කන' යන අරුතින් සැමොයෙඩ් Samoyed නමින් හැඳින්වුවත් ඔවුහු එම නම භාරගන්නට පැකිලෙන්නේ නැහැ.
පොලව ඝනව පවතින මෙවන් වටපිටාවක වැසිකිලි කැසිකිලි කටයුතු සිදුවන අයුරු අසන්නටත් අමතක කළේ නැහැ. මේ සඳහා කුඩාරමට ඇතින් ඇති බිමක් තෝරාගන්නා අතර ගැහැණු හා පිරිමි අයට වෙන වෙනම බිම්කඩ වෙන් කරගන්නා බවයි කිව්වේ. හැම කෙනෙක්ම කෝටුවක් රැගෙන යන අතර, පිනිමුවන් මිනිස් වසුරු අනුභව කිරීමෙන් වැළකීමට එය උදව් කරගනියි.
පිණිමුවන් මොවුන්ගේ ජිවිත චක්‍රයේ වැදගත්ම සතුන්ය. ප්‍රවාහන මාධ්‍යයක් ලෙස, සංචාරයේදී බඩු බාහිරාදිය ගෙනයාම, විනෝද කටයුතු සඳහා, මස් හා සම් ලබා ගැනීමට පමණක් නොවේ ගිම්හාන කාලයට මදුරු පිඩාවන්ගෙන් බේරීමටද අවශ්‍ය නිසා එක එක කණ්ඩායමකට අයත් පිණිමුව ගහණයක් තබා ගන්නවා. සමහරවිට මුවන් දහස් ගණනක් එක කණ්ඩායමකට අයත් වෙනවා. නව යුවලකට විවාහයේ දායද ලෙස ලැබෙන්නෙත් පිණිමුවන්ය. දහවල් කාලයට නිදහසේ එළිමහනේ උලා කමින් ඉන්න මුවන් රාත්‍රිය එළඹීමත් සමග කුඩාරම් අසලට පැමිණෙනවා. මෙහිදී හිම බල්ලන් ඔවුන්ව එක ගොඩකින් තබා ගැනීමටත්, ආක්ටික් නරියන්ගේ ගොදුරු බවට පත්වීමෙන් වැලකිමටත් උපකාර කරනවා. පිණිමුවන් පාන් සහ ලුණු කෑමට ප්‍රිය කරන බවද කියවුණා.

පර්යටනය: සෑම වසරකටම දෙවරක් සිදුවන සංක්‍රමණ වලට බෙහෙවින්ම උපකාරී වන්නේ පිණිමුවන්. එක පෙදෙසක වෙසෙන ගෝත්‍රික කණ්ඩායමේ නායකයා හෙවත් කොස්ත්යා මාර්තු මාසයේ වසන්ත කාලය එළඹීමත්  සමගම උතුරු ප්‍රදේශයට යන්නට තීරණය කරනවා. ඔක්සානාට අනුවනම් ඔවුන් යන්නේ පිනිමුවන් තීරණය කරන දිශාවකටයි. එහෙත් වෙනත් ලිපිවලින් පෙනුණේ ඔවුන්ගේම වූ ක්‍රමයකට පෙර වසරේ නවාතැන් නොගත් පෙදෙසක නවතින්නට තීරණය කරන්නේ කණ්ඩායම් නායකයා බවයි.
ගිම්හාන කාලය සඳහා පිණිමුවන්ට සුදුසු ලයිකන ඇතුළු ආහාර සහිත නැවතීමට උචිත ගංගා නිම්නය  හා ඒ වෙත යන මාර්ගය තීරණය කරගත් පසු  බඩු බාහිරාදිය පොදි බඳිමින් ඒවා ස්ලෙ හා වාහනවලට ගැටගැසීම කාන්තාවන්ගේ කාර්යයක්. සියල්ල පටවාගත් පසු, අවසානයේ චූම් ගලවා සත්ව සම් හා ලී දඬු පටවාගන්නවා. විශාල ගස් නැති මේ ප්‍රදේශවල ලි වලට ඇති වටිනාකම වැඩියි.  පිනිමුවන්ද සමගින් උතුරු තුන්ද්‍රා ප්‍රදේශ වෙත පවුල් කිහිපයක් ගමනාරම්භ කරනවා. දිනකට කිලෝමීටර් 3 - 11 දුරක් බැගින් දින ගණනාවක් ගමනේ යෙදෙනවා. එක් පර්යටනයකදී කිලෝමීටර් 200කට වඩා ගමන් කර අවසානයේ නතර වෙන්නේ. මේ මිනිස් හා සත්ව පෙරහැර කිලෝමීටර් ගණනාවක් දිගු වෙන අවස්ථාද දැකිය හැකියි.
නවතින තැනදී චුම් සාදාගෙන ස්ලෙඩ්හි  ඇති ද්‍රව්‍ය ඒ තුලට ගෙන නැවත සාමාන්‍ය ජීවිතය අරඹනවා.
ගිම්හාන නවාතැනේ සතුන්ට ආහාර හොඳින් තිබෙන නිසා හැකිතාක් කාලයක් එහි නැවතී සිටිනවා. ගිම්හාන කාලයේ වුනත් සාමාන්‍ය උෂ්ණත්වය අංශක 15ක පමණ අඩු අගයක් පවතීන්නේ.
නැවත ශිත කාලය එළඹෙත්ම නොවැම්බර් මාසයේ දැඩි සිතල කාලගුණය මධ්‍යයේ බොහෝවිට මිදුණු ගංගා මතින් දකුණු ප්‍රදේශයට පර්යටනය කරනවා.මෙහිදී හිම හෝ අයිස් මත දිනකට කිලෝමීටර් 8ත් 20ත් අතර දුරක් ගමනේ යෙදෙනවා.
මේ ගැන ඇති කෙටි වීඩියෝවක්

 මෙහිදී පරිසරය ගැන සලකන ආකාරය වැදගත්. වරක් නවාතැන් ගත්  ස්ථානයක වසර කිහිපයක් යනතෙක් නැවත නොයාමෙන් ගහකොළ වැඩෙන්නට ඉඩ සැලසීම මගින් ඔවුහු ධරණිය සංවර්ධනය ආදර්ශයෙන් දක්වන්නේ.

ඇඳුම්: අද දක්වාම නැනෙට්වරු අඳින්නේ සම්ප්‍රදායික ලෙස කාන්තාවන් අතින් නිමැවෙන ඇඳුම්ය. පිරිමි අය පිණිමුවන් හතරදෙනෙක්ගේ  සමෙන් මසන මෙලිට්සා නම් දිගු කබායක් අඳින අතර, බොත්තම් හෝ සිප් නැත. මුව හමේ රෝම ඇති පැත්ත සිරුර දෙසටත් ලෙදර් කොටස පිටතටත් සිටින ලෙසයි ඇඳුම් මසන්නේ. ඉතා තද සීතලට මෙම ඇඳුමට උඩින් මුව රෝම පිටතට සිටින ලෙස මසන ලද ඇඳුමක්ද අඳිනවා. මේවා සමග හිස් ආවරණ, ගෙල ආවරණ ස්කාෆ්, ග්ලවුස්, බඳපටි පළඳිනවා.
මේ සඳහා හිම වලසුන් හා වෙනත් සතුන්ගේ හම්ද භාවිතා කරනවා. මෙම ඇඳුම් අත පය ගල්වෙන තරම් සීතල ඍණ 50කට අසන්න උෂ්ණත්වයේ නිවසෙන් පිටත මුව පට්ටිය රැකගනිමින් රාත්‍රී ගතකිරීමට පවා ආරක්ෂිතයි.
කාන්තාවන් පිණිමුව හම් අටක් පමණ යොදා මසන ලද ස්ථර දෙකකින් යුක්ත යගුෂ්කා නම් කබා අඳිනවා. මේවා ඉදිරිපසින් බොත්තම් යොදා වැසිය හැකියි. වාටි දිගේ ඔවුන්ට අවේණික වර්ණවත් මෝස්‌තර මසා තිබේ. කොණ්ඩා කිසි විටෙකත් ලිහිල්ව නොතබන අතර පීරා ගොතා සකස් කරගන්නවා.
ගැහැණු, පිරිමි දෙකොට්ඨාශයම දණහිසටත් වඩා උසට තිබෙන මුවහමෙන් සැදූ බූට් සපත්තු පළඳිනවා. මේවා ඇතුලත කොටස හා පිටත කොටස ලෙස  තට්ටු දෙකකින් යුතු නිසා සීතල දැනීම වලක්වයි.

පවුලේ කෙනෙක් මියගියහොත් ඔවුන්ට අවේනික චාරිත්‍ර සිදුකර මියගිය තැනැත්තා ප්‍රියකළ ඇඳුමක් අන්දා, ඔහු හෝ ඇය භාවිතා කළ අභරණ වැනි උපකරණත් සහිතව ඈතකට ගෙනගොස් තරමක උස බිමක තැබීම කරනවා. ගැහැණු කෙනෙක් නම් ඇයගේ මැහුම් ගෙතුම් අඩංගු කුඩා හුරුබුහුටි පැස නොවැරදීම තබනවා. මරණය ගෙනයාමට  සහභාගී වන්නේ පිරිමින් පමණයි. වලලා දැමීමක් කිරීමට පොලව හෑරීමට නොහැකි නිසා මෙසේ හුරු වූවා විය හැකියි. පිළිස්සීම කළ හැකි නේදැයි විමසු විට කියා සිටියේ එවැනි සිරිතක් නොමැති බවයි. අවැසි තරම් දර සොයාගැනීම ගැටළුවක් නිසා ඒ ගැන සිතන්නේවත් නැතිව ඇති. මේ මල සිරුරු සමග ඇති දෑ වෙනත් ගෝත්‍රිකයන් රැගෙන යන බවත්, වෘකයන් හා අනෙක් සතුන් කා දමන බවත් පැවසුවේ ඒ ගැන විශේෂ කණගාටුවක් නොමැති අයුරිනි.

ආගම: ඔවුන්ගේ සම්ප්‍රදායික ෂමන් දහම් අදහන අතර ලි වලින් තැනු බෝනික්කන් සෑම කෙනෙක්ටම පාහේ ඇත. එයට සත්කාර කිරීමෙන් යහපත, සාමය උදාවෙතැයි විශ්වාස කරති.

භාෂාව: ආසියාව හා යුරෝපා මායිමේ තිබෙන යමාල් අර්ධද්වීපයේ වෙසෙන නැනෙට්වරු කතා කරන භාෂාව නැනෙට් බසයි. එය රුසියන් බසට වඩා පින්ලන්ත හා එස්තොනියන්වරු වහරන බසට ආසන්නය. ලිවීමට ග්‍රීක, ලතින් හා ආර්මේනියානු මිශ්‍ර cyril නම් අකුරු භාවිතා කරනවා.  ළමුන් විධිමත් පාසල් යන නිසා ඔවුනට රුසියන් බස හොඳින් භාවිතා කල හැකියි.

සෞන්දර්ය හැකියා: ගායනය, වාදනය, චිත්‍ර අනෙක් මනුෂ්‍ය කොට්ඨාශ මෙන්ම ඔවුනට අවේණික උපකරණ ආධාරයෙන් සිදු කරයි. සත්ව හම් හා සත්ව හා ශාක කොටස්වලින් සෑදු සංගීත උපකරණ භාවිතයෙන් මිහිරි නාද උපදවමින් ගායනයේ හා වාදනයේ යෙදෙනවා.
මැද ඇති ලෝහ සංගීත භාණ්ඩය
පිඹිමින් ඇඟිල්ලකින්
වයයි. 
හමින් තැනු බෙරයක් 
ගෝන අං බෙරයක් 



ඔවුන්ගේම වූ කතා හා කතා කීමේ කලාවක්ද ඇත. ඇඳුම් පැළඳුම්, ආභරණ වල  අලංකාර, විසිතුරු මෝස්‌තර දැකිය හැකිවේ.

අධ්‍යාපනය: රුසියානු විප්ලවය අවසන් වනතෙක්ම නැනෙට්වරු සම්ප්‍රදායික සංචරණ දිවි පැවැත්මට අවැසි කුසලතා අත්දැකීමෙන් දරුවන්ට ලබා දීමත්, සරල අක්ෂර හා ගණිත නිපුනතා ලබාගැනීමත් හැරුණුකොට විධිමත් පාසල් අධ්‍යාපනයක් ලැබ දී නැත.
 සෝවියට් රජයේ මැදිහත්වීමෙන් තුන්ද්‍රා දරුවන් නේවාසික පාසල්වල ඉගෙනීමට ගෙනයාම සිදුවිණි. සම්ප්‍රදායික නැනෙට් ජනයා මිට විරුද්ධ වුවද රජයෙන් අධ්‍යාපනය අනිවාර්ය කළේය. හෙලිකොප්ටර් මගින් නිසි වයස්වල දරුවන් රැගෙන ගොස් උගන්වා නැවත මාපියන් වෙතට භාර දුනි. මුලින්ම එක දිගට මාස 9ක් තබාගෙන ඉගැන්වුවත් පසුව මාස තුනකට වරක් ලැබෙන නිවාඩුවට නිවෙසට ඇරලා නැවත ගෙනගියහ. කැනඩාවේදී ආදිවාසී දරුවන්ට සිදුකළ ආකාරයට නොව, දෙමාපියන්ට පහදා දීම සිදුකල අතර, බලෙන් ඇදහීම් වෙනස් කිරීම සිදු නොවිණි. දරුවනට හිංසාකිරීමක්  හෝ පර්යේෂණ සඳහා යොදවා ගැනීමක් නොවුනි.ඔවුන්ගේ භාෂාව භාවිතය හා සංස්කෘතික අංගයන් දිරිමත් කෙරුණි.  එහෙත් නිවාඩුව අවසන්ව නැවත දරුවන් ගෙනයාමට හෙලිකොප්ටර් පැමිණි විට දරුවන් සඟවා තබාගැනීම සිදුකළ දෙමාපියෝද බහුලව සිටියහ.
දැනටත් රුසියන් ආදිවාසී දරුවන් සඳහා  නේවාසික පාසල් ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන අතර ඒවා හැකිතාක් ඔවුන් සිටින ප්‍රදේශවලට ආසන්නයේ ඇති අතර, වෙනත් පාසල්වල ඇති සියලු පහසුකම් සහිතය. අමතර ලෙස දරුවන්ට නිවසේ වාතාවරණය ඇති කිරීමට  චුම් වලට සමාන කුඩාරම් තනා ඒ තුලද පන්ති පැවැත්වේ. සම්ප්‍රදායික සංස්කෘතිය, භාෂාව, සෞන්දර්ය අංශය, හැකියා ආදී සියල්ල දිරිමත් කෙරෙන අතර, සංස්කෘතීන් දෙක අතර  වෙනස්කම් වැටහෙන අයුරින් ඔවුනට ඒ අතර පහසුවෙන් තරණයට හැකිවන අයුරින් ඉගෙනුම් ඉගැන්නුම්  ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙයි.

නැනෙට් ආදිවාසීන්ගේ අනාගතය: මිහිතලය උණුසුම් වීම නිසා තුන්ද්‍රා ශාක ගහනයේ ඇතිවන වෙනස්වීම්  ඒවා  ප්‍රධාන ආහාර වර්ගය වන පිනිමුව ගහණයට ඍජු බලපෑමක් කරයි.
කොමියුනිස්ට් සමාජය බිඳ වැටීමද මෙම ගෝත්‍රවලට දැඩි බලපෑමක් ඇති කළේය. තරුණයන් මත්පැන්වලට ඇබ්බැහිවීම මෙන්ම, උගත් තරුණයන්ට රැකියා නැතිවීම බහුල විය.  මානසික සෞඛ්‍යයේ දුර්වලතා සුලබවිය.  සංස්කෘතීන් දෙකක් අතර අතරමං වීමක් මුලින්ම විධිමත් අධ්‍යාපනයට යොමුකළ අය අතර ඇතිවිය. දැනටත් සමහරු අධ්‍යාපනයෙන් පසු ගෝත්‍රය හැරයාමට යොමුවේ.
හැත්තෑ  ගණන්වල යමල් ප්‍රදේශයේ තෙල් හා ගෑස් නිධි සොයාගැනීමත් සමග තුන්ද්‍ර ප්‍රදේශය මෙතෙක් නොදැන සිටි පිටස්තරයන් ගැවසෙන තැනක් බවට පත්වුණි. විවිධ ඉදිකිරීම්, කැනීම් ආදිය නිසා ප්‍රදේශයේ නිසලබව අඩුවී ගියේය. නව පදිංචිකරුවන්ට  මස් හා මාළු විකුණා බත්, පැස්ටා, 'ශ්‍රීලංකා තේ ' ආදිය ලබාගත හැකිවීම වාසියක් විය.
එහෙත්, නව ගොඩනැගිලි, මාර්ග ඉදිකිරීම් නිසා නැනට් ගෝත්‍රිකයන්ගේ සුපුරුදු ගමන් මාර්ග අවහිර විය. එය  ඔවුන්ගේ සුපුරුදු තුන්ද්‍රා චක්‍රීය රිද්මය ඍජුව ආක්‍රමණය කළේය. ආහාරයට ගත් මසුන් ආදියේ අඩුවීමක් දක්නට ලැබුණි. නව අදායම් මාර්ග නිසා තරුණයන් සංචරණ දිවිය අතහැර එකතැනක පදිංචි වීමට කැමැත්තක් දැක්වීම බහුලය. ඔවුන්ගේ දිවියේ භූමියට අයිතියක් නොකියා පරිසරය සමග ජීවත්වීමේ සංකල්පය අභියෝගයට ලක් වෙමින් පවතියි.
ඇමරිකාවේදී මෙන් ඉඩකඩම් බලෙන් ලියා ගැනීමක් සිදු නොවුනත් ඉදිකිරීම් සිදු වීමේදී ඔවුන්ගේ අදහස් විමසීමක් වුයේ නැත. මේ නිසා ඔවුහු සියවස් ගණනක් භාවිතා කළ සමහර ප්‍රදේශ භාවිතයෙන් අහිමි වීමක් සිදුවිය.
ඔක්සානා 
නුදුරු අනාගතයේ තෙල් නිධි අවසන් වීමත් සමග මේ තත්වයන් නැවත ආපසු හැරී ඔවුන්ගේ හුරු පුරුදු ස්වභාවික වාසස්ථාන ලබාදෙනු ඇත.



උදව්:
Oxana
www.calvertjournal.com/articles/show
www.eki.ee/books/redbook/nenets.shtml
www.theatlantic.com/photo/
www.bbc.co.uk/tribe/tribes
www.yamalexpedition.ru/en/blog-en/

Thursday 14 June 2018

අනුගමනය කරනවානම්... 2: ඡන්දයකින්

පිටරට ජීවත්වෙන බොහෝ දෙනෙක් ඒ ඒ රටවල මහජන ඡන්දයකදී අනුගමනය කරන පිළිවෙත් දැක තිබේ.  ලංකාවේම ඉන්න අයත්  ලංකාවේ චන්ද තියන ආකාරය  වෙනස් කළ යුතු බව දැන සිටින්නේ. කැනඩාවේ මැතිවරණයක් පවත්වන ආකාරය ගැන ලියන්නට සිතුයේ කවදා හෝ  මේ ආකාරයට ලංකාවේ මැතිවරණ සකසා ගැනීමට සිත යොමු කළහොත් යම් අදහසක් ලබා ගැනීමටයි.
කැනඩාවේද ලංකාවේ මෙන්ම  ප්‍රධාන මැතිවරණ වර්ග තුනකි. පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් හෝ ප්‍රාන්ත මැතිවරණය, නගරසභා මැතිවරණය.
පාර්ලිමේන්තු මැතිවරණය මුළු රටේම එක දිනයේ පවත්වන අතර, ප්‍රාන්ත හා නගර සභා මැතිවරණ පවත්වන දිනයන් ඒ ඒ ප්‍රාන්තයට හෝ නගර සභාවට විශේෂිතය.

මැතිවරණ සඳහා දින තීරණය කිරීම:
සෑම ප්‍රධාන මැතිවරණයක්ම වසර හතරකට වරක් පවත්වන්නේ. දිනය තීරණය කරන්නේ කලින් මැතිවරණය ඉවර වුනු වහාමය.  මැතිවරණයක් පවත්වන්නේ කලින් මැතිවරණයෙන් අවුරුදු හතරකින් එන ඔක්තෝබර් මාසේ තුන්වෙනි සඳුදා. මේ දිනය වෙනස් කිරීමේ බලතල කිසිවෙකුට නැත. මහ මැතිවරණයකදී අගමැති, නිත්‍යානුකුලව ගවනර් ජෙනරාල්ගෙන් ඉල්ලීමක් කලයුතුයි. එවිට ඔහු පාර්ලිමේන්තුව විසිරුවා හරියි.
ප්‍රාන්ත මැතිවරණත් නියමිත දිනට විසිරුවා හැර නියමිත දිනම මැතිවරණය පවත්වයි. මෙවර ඔන්ටාරියෝ ප්‍රාන්ත මැතිවරණය පවත්වන දිනය මාස තුනක් ඉදිරියට ගත් නමුත් ඒ  හිතුමතේට නොවෙයි. ඒ සඳහා නීති සම්පාදනය කර අනුමත කර ගැනුණි. කාලගුණය හොඳින් තිබෙන අවස්ථාවක මැතිවරණය පැවැත්වීමෙන් ප්‍රචාරක කටයුතු පහසුවීම හා චන්දය දැමීමේ ප්‍රතිශතය වැඩිවීම බලාපොරොත්තුවෙනුයි එසේ කළේ. ඒ ප්‍රාන්ත මැතිවරණ සඳහා වන මැතිවරණ වසර තුලම නිසා ගැටළුවක් පැන නොනැගුණි. වෙනස් ප්‍රාන්තවල මැතිවරණ පැවැත්වෙන්නේ වෙනස් වසරවලයි. (බොහෝ ප්‍රාන්ත විශාලත්වයෙන් ලංකාවට වඩා කිහිප ගුණයකින් වැඩිය).

නාම යෝජනා දීම 
මැතිවරණයට දින 21 කට පෙර සඳුදා නාම යෝජනා භාරගන්න අන්තිම දිනයයි. පක්ෂ වලින් හෝ පුද්ගලයින් හෝ අදාළ ඇපමුදල් තැන්පත් කර නාම යෝජනා ලබා දෙයි.
සියලු මැතිවරණවලට අදාළ මැතිවරණ කොට්ටාශ මට්ටමිනුයි නාම යෝජනා ලබාදෙන්නේ. ලංකාවේ 78 ට කලින් තිබුණු ක්‍රමයට.
නාම යෝජනා දීමේදී යම් සැක කටයුතු දෙයක් සිදු වු බවට පැමිණිලි ලදහොත් ඒ පුද්ගලයා ගේ නම ඉවත් කිරීම සිදුවේ.

මැතිවරණ ප්‍රචාරක කටයුතු 
නාම යෝජනා ලබාදී මැතිවරණය පවත්වන දිනයට පෙර දිනය තෙක් ප්‍රචාරක කටයුතු කළ හැකිය. ඒ අනුව ප්‍රචාරය සඳහා ඇත්තේ දින 20 කි.

මාධ්‍ය මගින් ප්‍රචාරය, රුපවාහිනී වාද විවාද, ගෙයින් ගෙට යාම (සමුහ වශයෙන් නොවේ. දෙදෙනෙක් හෝ තිදෙනෙක්), අපේක්ෂක කාර්යාලවල රැස්වීම පැවැත්වීම, නිවෙසට දුරකතනයෙන් කතා කර චන්දය ලබාදෙන ලෙස ඉල්ලීම, නිවෙස් ඉදිරිපිට නිවැසියගේ අවසරය ඇතිව කුඩා ප්‍රචාරක පුවරුවක් සවි කිරීම, තැපෑලයෙන් එවන විස්තර හා කලාතුරකින් ප්‍රසිද්ධ ස්ථානවල කුඩා රැස්වීම පැවැත්වීම දක්නට ලැබේ.
ශබ්ද විකාශන හෝ වර්ණ ධජ සහිත වාහනවල ප්‍රචාරයක් සිදු නොවේ.  කොඩි, පතාක, පුවරු, සැරසිලි ආදිය දක්නට නොලැබේ. පෝස්ටර් තිබුණොත් ඒවා ඒ සඳහා නියමිත දැන්වීම් පුවරුවල පමණක් ඇලවීම සිදුකරයි.
මැතිවරණ දින හා පෙරදින ඡන්ද මධ්‍යස්ථාන වලට නියමිත දුරකින් එපිට පුවරු ප්‍රදර්ශනය කළ හැකිය. එහෙත් ශබ්ද නගා පාඨ කීමක් සිදු නොවේ. සියලු අපේක්ෂකයන්ගේ ආධාරකරුවන් එක ළඟ සිට පුවරු ප්‍රදර්ශණය කරනු දැකිය හැකිවේ.

මැතිවරණ ප්‍රචාරය සඳහා එක් අයදුම්කරුවෙක් වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල් සීමාවක් ඇත. මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා විසින් අවුරුදු 18ට වැඩි, කැනේඩියානු පුරවැසියෙක් වන එක් නිත්‍යානුකුල නියෝජිතයෙක් නමින් බැංකුවක විවෘත ගිණුමක් ආරම්භ කර, එහි ගිණුම් කටයුතු සඳහා ඔඩිටර් වරයෙක් පත්කළ යුතුයි. සියලුම ගණුදෙනු, ආධාර, පක්ෂයෙන් ලබාදෙන මුදල්, ණය, වියදම් ආදිය සිදුවිය යුත්තේ මේ ගිණුම හරහා පමණකි. ගිණුම පිලිබඳ සියලු විස්තර Elections Canada (මැතිවරණ දෙපාර්තමේන්තුවට සමාන) වෙත ලබාදිය යුතුයි. අදාල දින 21 තුළ උපරිම සීමාව නොඉක්මවන සේ මුදල් වැය කරන ලෙස තරයේ දැනුම් දෙනු ලැබේ. මැතිවරණයෙන් වසර තුනක් යනතෙක් මේ ගිණුම් පිලිබඳ තොරතුරු වාර්තා කළ යුතුය. වසර තුන අවසන් වීමට පෙර සියලු ණය ආදිය ගෙවා අවසන් කර ගිණුම වසා අවසාන ගිණුම් විස්තර Election Canada වෙත යැවිය යුතුය. 
මේ සියල්ල පිලිබඳ නීති රීති කිසිදු පාක්ෂික භාවයකින් තොරව ක්‍රියාත්මක වේ.

ඡන්දය ප්‍රකාශ කිරීම. 
ලියාපදිංචි ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට ක්‍රම කිහිපයක් ඇත.
* මැතිවරණ දින අදාළ ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්ද දැනුම්දීමේ පත්‍රිකාව හා හැඳුනුම්පතක් පෙන්වීමෙන්. මෙම දැනුම්දීමේ පත්‍රිකාවේ ඡන්ද දායකයාගේ පදිංචිය පිලිබඳ තොරතුරු ඇත. ඉහල කෙලවරේ බාර් කෝඩ් එකෙන් ඒ බව දැක්වේ.
ඡන්ද පත්‍රිකාව 
*එදිනට යම් හේතුවක් නිසා ඡන්දය දැමීම නො හැකි වෙතැයි සිතෙන අයට හා මැතිවරණ රාජකාරියේ යෙදෙන අයට කලින් ඡන්දය දැමීමේ හැකියාව ඇත.  මෙය හඳුන්වන්නේ advance voting ලෙසයි.  මැතිවරණ දිනට දින 7, 8, 9, හා 10 ට පෙර ඒ  සඳහා ඇති විශේෂ මධ්‍යස්ථානවලදී දහවල් 12ත් රාත්‍රී 8ත් අතර ඡන්දය ප්‍රකාශ කළ හැකිය. මේ පිලිබඳ වැඩි විස්තර ඡන්ද දැනුම් දෙන පත්‍රිකාවේ සඳහන් වේ.
*Election Canada කාර්යාලයකදී විශේෂ ඡන්ද ප්‍රකාශ කිරීම
* තැපැල් මගින් : මෙයද විශේෂ ඡන්ද ප්‍රකාශ කිරීමකි. රට තුල සිටින අයෙක්ට පදිංචිය හා අනන්‍යතාව පෙන්වා ඉල්ලුම් කළවිට අදාළ විස්තර සහිත පත්‍රිකා තැපෑලෙන් ලැබේ. ඊට අනුකුලව ඡන්දය ප්‍රකාශ කළ හැකිය.

මැතිවරණ දිනය 
පෙරවරු 7 සිට රාත්‍රී 9 දක්වා පදිංචියට ආසන්න නියමිත ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය භාවිතා කළ හැකිය.  මධ්‍යස්ථාන ලෙස වැඩිපුරම භාවිතා කරන්නේ පාසල්ය. පාසලේ ජිම්නසියම් එක මේ සඳහා යොදාගනු ලැබේ. එදිනට ඒ දෙසට සිසුන් නොයවා ශාරීරික අධ්‍යාපනය සඳහා විකල්ප යොදා ගනු හැර පාසල් කිසිදු විශේෂයක් නොමැතිව පැවැත්වේ. එදින සාමාන්‍ය වැඩකරන දිනයකි. සියලුම ආයතන සාමාන්‍ය දිනයක අයුරින් ක්‍රියාත්මක වේ. ඡන්ද අපේක්ෂකයෙක්ට සහය දීම අවශ්‍යනම් පුද්ගලික නිවාඩු ගත යුතුය.
ඡන්ද මධ්‍යස්ථාන නිලධාරීන් රජයේ සේවකයන් විය යුතු නැත. පොදුවේ සැමට අයදුම්පතක් පුරවා ඉල්ලුම් කල හැකිය. ප්‍රධාන කාර්යාලය හෝ අතුරු කාර්යාල මගින් යම් නිර්ණායක මත නිලධාරීන් තෝරාගැනේ. සම්බන්ධිකරණ නිලධාරිහු ද  සිටිති.
ඡන්ද මධ්‍යස්ථාන අවට මීටර් 50ක් පමණ දුර තැනින් තැන බිම කුඩා පුවරු සවිකර ඉංග්‍රීසි හා ප්‍රංශ භාෂා දෙකෙන් මධ්‍යස්ථානය දක්වා තිබේ.
මධ්‍යස්ථානය තුළ රජයෙන් පත්කළ නිලධාරීහු සිටිති. ඒ හැරුණුවිට එතුලට යා හැක්කේ ඡන්ද දායකයන්ට පමණකි. දේශපාලන පක්ෂ නියෝජිතයන් හෝ කැමරාකරුවන් දක්නට නොලැබේ. තනිව ඡන්දය දැමීමට නොහැකි අයට කලින් ඉල්ලීම් කර ඒ සඳහා උදව් ලබාගත හැකිය.
සාමාන්‍ය දිනයක මෙන් නිතිය හා සාමය රැකීමට පොලිසිය ක්‍රියාත්මක වීමක් මිස ඡන්ද මධ්‍යස්ථාන හෝ ඒ අවට විශේෂ පොලිස්  ආරක්ෂා දැකිය නොහැකිය.

එදින ඡන්දය ප්‍රකාශ කිරීම
මුලින්ම අදාල නිලධාරීන් වෙත ගොස් දැනුම්දීමේ කාඩ්පත සහ අනන්‍යතා පත්‍රයක් හෝ පදිංචිය සනාථ කිරීම සඳහා බිල්පතක් හෝ පෙන්වූ විට කාඩ්පත ස්කෑන් කොට (සුපර් මාකට්වල භාණ්ඩ ස්කෑන් කරන අයුරින්) එය නිවැරදි නම් විශේෂ කළුපැහැ ෆයිල් කවරයක් තුල දැමු A 4 කොලයක ප්‍රමාණයේ ඡන්ද පත්‍රිකාව ලැබේ. එවැනි නිලධාරීන් හයක් අටක් වැනි ප්‍රමාණයක් සිටින නිසා පෝලිම් දැකිය නොහැකි තරම්ය. ඒ සමගම ඡන්දය භාවිතා කරන අයුරු උපදෙස් සරල වාක්‍ය කිහිපයකින් කියාදෙයි.
ඡන්ද පත්‍රිකාව ගෙන ඒ සඳහා ආවරණය කර ඇති තැනට ගොස් සපයා ඇති මාකර් පෑනෙන් ඡන්දය සලකුණු කිරීම ඊළඟ පියවරයි. මෙවැනි ආවරණ ස්ථාන 10ක් 12ක් පමණ එක මධ්‍යස්ථානයක තිබේ.
ළකුණු කළ පත්‍රිකාව නැවත ෆයිල් කවරය තුලට බහා, එතනම තිබෙන ගණන් කිරීමේ යන්ත්‍රය වෙත ගෙනයාම ඡන්ද දායකයාගේ කාර්යයකි. විශේෂ ඝණක යන්ත්‍රය අසල නිලධාරියාට පත්‍රිකාව භාරදුන් විට ඔහු එය යන්ත්‍රය තුළට ස්කෑන් වීම සඳහා යොමුකරයි. මෙහිදී ඡන්දයේ රහස්‍යභාවය සුරකෙන පරිදි කිසිවෙකුටත් සලකුණු දැකගත නොහැකි ලෙස මේ ඇතුලත් කිරීම සිදු කෙරේ. මෙම සියලු e-voting පරිගණක ගතකර ඇත.



ප්‍රතිඵල ප්‍රකාශ කිරීම 
ඡන්දය භාවිතා කළ හැකි අවසන් වෙලාව වන රාත්‍රී 9 වන විට මධ්‍යස්ථාන මහජනයාට වසා දමයි. e voting ක්‍රමය ඇරඹීමට පෙරදී අදාළ මධ්‍යස්ථානයේ උප ප්‍රධාන නිලධාරියා ලිපිකරුත්, තවත් නිලධාරියෙකුත්, අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් (එක අපේක්ෂකයාට එක් නියෝජිත බැගින්) ඉදිරියේ ඡන්ද ගණන් කිරීම කෙරුණි. ප්‍රතිඵලය ලිඛිතවත්, ෆැක්ස් මගිනුත්, දුරකථනයෙනුත් ප්‍රධාන කාර්යාලයට දැනුම් දෙයි. පළාත්  මැතිවරණයකදී රාත්‍රී 10ත් 11ත් අතරත්, මහ මැතිවරණයකදී පාන්දර 2, 3 වන විටත් අවසන් ප්‍රතිඵල නිකුත් කර අවසන් වේ. මහා මැතිවරණයකදී කල් ගතවන්නේ රටේ කාල කලාප හයක් ඇති නිසාය. නැගෙනහිරට දිශාවට ඇති කොට්ටාශවල පළමුව රාත්‍රී කාලය ලබන නිසා ඒ ප්‍රදේශවල අනෙක් පළාත්වලට සාපේක්ෂව ඉක්මනින් ගණන් කර අවසන් වේ. එක මධ්‍යස්ථානයක ගණනයට සාමාන්‍යයෙන් ගතවන්නේ පැය එකහමාරක් පමණ කාලයකි.
මහා මැතිවරණයකදී කොට්ඨාශ මට්ටමින් තනි අපේක්ෂකයන්ට චන්දය ලබාදෙන අතර ( ලංකාවේ 77 දක්වා පැවතී ලෙස) වැඩිම කොට්ඨාශ ගණනක් ජයගත් දේශපාලන පක්ෂ නායකයා අගමැති ලෙස පත්වේ. පළාත් මැතිවරණයකදී ඡන්දය දෙන්නේ පළාත් ප්‍රධාන තනතුර වන premier සඳහා යෝජිත පුද්ගලයන්ටයි. පළාත් මන්ත්‍රී ලෙස පත්වන්නේ එම කොට්ඨාශය සඳහා නාම යෝජනා දී ඇති, අදාළ කොට්ඨාශය ජයගත් පක්ෂයේ නියෝජිතයවයි. නියෝජිතයන්ට වෙනම ඡන්දය දීමක් නැත. නාගරික මැතිවරණ වලදී නගරාධිපතිට හා ප්‍රාදේශීය නියෝජිතයාට වෙන වෙනම ඡන්දය ප්‍රකාශ කෙරේ.
රාත්‍රී නොනිදා සිදුකරන විශේෂ මැතිවරණ විකාශ දක්නට නොමැත. ප්‍රධාන කාර්යාලයෙන් නිකුත් කරන ප්‍රතිඵල සියලුම සාමාන්‍ය ගුවන්විදුලි හා රුපවාහිනී සේවාවල ඒ මොහොතේම ප්‍රචාරය වේ. නිදි වරාගෙන ඒවා අසන්නෝ එතරම්ම නොමැත්තේ පසුදා සාමාන්‍ය සේවා දිනයක් බැවින් විය හැකිය.

ශ්‍රී ලංකාවට මෙවැන්නක් ආදර්ශ කරගත නොහැකිද?
* පළමුව මැතිවරණ දෙපාර්තමේන්තුව මැතිවරණ ක්‍රියාවලිය අපක්ෂපාතිව, අවංකව හා සාධාරණ ලෙස ඉටු කිරීමෙන් මහජන විශ්වාසය දිනාගත යුතුය. මෙය කල නොහැක්කක් නොවන බව අතිශය දුෂිතව තිබු මැතිවරණ යම් දුරකට ප්‍රගතිශීලි මගකට ගෙනයාමට හැකිවීමෙන් පෙනීයයි.  අවශ්‍ය වන්නේ දක්ෂ මැතිවරණ කොමසාරිස්වරයෙක් හා ඔහුට එම කාර්යය අපක්ෂපාතිව ඉටු කිරීමට ඉඩදෙන දේශපාලන පක්ෂ හා නිලධාරිනුයි.
ඡන්දය දීමට හැඳුනුම්පතක්  අනිවාර්ය කිරීම, ඡන්ද පෙට්ටි වෙනස් කළ නොහැකි සේ ක්‍රමවත් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම දෙපාර්තමේන්තුව මගින් පමණක් සිදුකිරීම හා පුද්ගලික මාධ්‍ය මගින් හිතු මනාපෙ දල ප්‍රතිඵල නිකුත් කිරීම තහනම් කිරීම ධනාත්මක ප්‍රගතින් ලෙස සිදුවිය. (අදක්ෂ කොමසරිස්වරයෙක්ට ඒවා කෙතරම් ආපසු හැරවිය හැකිදැයි පසුගිය මැතිවරණයෙන් පෙනී ගිය බව නොරහසකි).
* මැතිවරණ ප්‍රචාරක කාලය සිමා කිරීම හා පාසල් නිවාඩු නොදී පාරෙන් පහසුවෙන් පැමිණිය හැකි  ශාලාවක් හෝ දෙකක් පමණක් මැතිවරණ දින ඡන්දය භාවිතයට යොදාගැනීම. තම දරුවා උගන්නා පාසල හෝ ගමේ පාසල නිසාවත් සංවරව හා බාධාවක් නොවන අයුරින් හැසිරීමට හිතට නොගනියිද?
* ඉලෙක්ට්‍රොනික ගණන් කිරීමේ ක්‍රම හඳුන්වා දීම සඳහා විශාල පිරිවැයක් යෙදවිය යුතු වුවත්, දැනට එක් මැතිවරණයක් උදෙසා ඡන්ද ගණන් කිරීමට වෙන් කරන අධික වැය සැලකු විට එය හොඳ ආයෝජනයක් වනු ඇත. ග්‍රාමීය ප්‍රදේශවල විදුලි හා අනෙකුත් පහසුකම් ගැටලුව මතුවනු ඇත. එහෙත් රටට සුදුසු විකල්ප ක්‍රම සොයාගැනීම අපහසු නොවනු ඇත. මෙහිදීද අපක්ෂපතිබව හා අවංක බව ප්‍රමුඛය.
* පසුගිය ප්‍රදේශිය මැතිවරණයේදී අතිශය අසාර්ථක වුවත් මධ්‍යස්ථානයේම ඡන්ද ගණන් කිරීම බොහෝ ගැටුම් කළමනාකරණයටත්, මුදල් හා කාලය ඉතිරි කිරීමටත් මගකි.


උදව්:
http://www.elections.ca/
www.amo.on.ca/AMO-Content/