1. අත්ලාන්තික් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා ගොඩබිමේ ව්‍යාප්ත වුන ගෝත්‍ර අද හඳුන්වන්නේ First Nations හෝ Aborigins කියායි.
2. සමුද්‍රසන්නයේ සහ උතුරු ආක්ටික් ප්‍රදේශවල දුපත්වල (ග්‍රීන්ලන්තය ඇතුළුව) ජිවත්වන අය Inuit
3. තම ගෝත්‍රික භාවය රැක ගනිමින් යුරෝපා ජාතින් හා මිශ්‍ර විවාහ වී ජිවත්වන පරම්පරා Metis
එතකොට එස්කිමෝ කියන්නේ? අපි දන්නා විදියටනම් ලෝම වාටි තියන හම් ඇඳුම් අඳින, හිමමත ඉග්ලු ගෙවල්වල ජිවත්වන අය.
කලින් ලිපිවල 'රතු ඉන්දියන්වරු' ගැන කිව්වා වගේ 'එස්කිමෝ' නමත් එයට ලක්වන සමහර මිනිස්සු අකමැති, එහෙත් බහුලව භාවිතාවන නමක්. Algoquian කියන වෙනත් ආදිවාසී භාෂාවකින් එස්කිමෝ කියන්නේ 'අමු මාළු කන' කියන එකයි. ඔවුන්ව පහත්කර සලකන්න භාවිතා කරන ඒ නමට ගෝත්‍රිකයන් කැමති නැහැ. ඔවුන් විසින් තම වර්ගයා හඳුන්වන්න භාවිතා කරන ඉනුඉට් Inuit නමින් තමයි මේ සංස්කෘතික සමුහයන් දැන් හඳුන්වන්නේ.
මොවුන් ජිවත්වෙන්නේ වසරේ අඩු කාලයක් ඉර එලිය ලැබෙන, හිමෙන් වැසීගිය ප්‍රදේශවල. මාස කිහිපයක් දිගු සිත සමයන් ඇති, සමහරවිට ඍන 40, 50 පමණ වන දැඩි සීතලකින් යුතු අයිස් හා හිමෙන් වැසුණු, හිම කුණාටු ගහන, ගහකොලක් නොවැඩෙන මෙම ප්‍රදේශවලට අනුව ඔවුන්ගේ ජිවන ක්‍රමයත් හැඩගැසී තිබෙනවා.
සිත කාලයට ඝන හිම කුට්ටි වලින් ගෙවල් හදාගන්නවා. ඉර එලිය වැටුණුවිට දියවී නැවත ඝනවන අයිස්වලින් හිම කුට්ටි අතර ඉතිරිවන සිදුරු වැසි යනවා. හිම මගින්ම ඇතුලත උණුසුම ආරක්ෂා වන ලෙස මෙම ගෙවල් සැකසී තිබෙන්නේ. අපේ ගෙවල් වගේම විවිධ ප්‍රමාණ වලින් යුතු අර්ධ ගෝලාකාර හැඩ මේවට මොවුන් කියන්නේ Igloo කියලයි. තේරුම 'ගෙදර' කියන එකයි.
මේ එක ගෙදරක පවුලක් හෝ දෙකක් ජීවත්වෙනවා.
ජිවත්වන පෙදෙසේ සතුන් හිඟ වූ විට වෙනත් තැනකට ගමන් කරන සංචාරක ජිවිතයක් ගතකළ ඉනුඉට් ජාතිකයන් ග්‍රීෂ්ම කාලයේ ඉක්මණින් හා පහසුවෙන් ලි දඬු වලින් ගෙයි රාමුව සාදා, සත්ව හම්වලින් කුඩාරමක් බඳු ගේ වසා ගන්නවා. ඒ ගෙවලුත් ඔවුනට 'ඉග්ලු' තමයි. පරිසරයේ ද්‍රව්‍ය වලින් ගෙවල් සාදාගත්තත්, ඔවුන් ඉන්නා පරිසරයේ ලී දඬු හිඟ නිසා ඒවා බොහෝ ආරක්ෂා කළා. යන තැනකට ලි දඬු රැගෙන ගියා.
ඉනුයිට්වරු බොහොම සාමකාමිව පවුල් ජීවිත හා සමාජ ජිවිත ගෙවූ උදවියයි. පුරුෂාධිපත්‍යය හෝ පුරුෂයා බලවත් ලෙස සිතු සමාජයක් නොවේ. සමගිව පවුලේ කාර්යයන් බෙදාගනිමින්, එකිනෙකාට ගරු කරමින්, ඔවුන් සමගම ජිවත්වන වයස්ගත වැඩිහිටියන්ටද ගරු කරමින් දිවි ගෙවූ අයයි. විශාල සතෙක් දඩයම් පිණිස ලැබුනහොත් අසල්වැසි නෑයන් හා බෙදාහදාගෙන සුහදව දිවිගෙවා ඇත්තේ. දරුවන්ටත් දැඩි ආදරයක් දක්වා තියනව.
ඉනුයිට්වරු මස්, මාළු ආහාරයට ගනිමින් ජීවත්වූ දඩයක්ක්කරුවන්. පිරිමි සත්ව දඩයමේ යාම දින චර්යාවේ වැදගත් අංගයක්.
හිම තුල මාළු දඩයම් කරන අයුරු |
ඔවුන් ජීවත්වීමෙන් ලද අත්දැකීම් පරම්පරාවෙන් ගෙනෙමින් පරිසරයට ගැලපෙන 'සමබල ආහාර' එළවලු, පලතුරු නැතිවම හදාගෙන තිබෙනවා. වියලිමෙනුත්, සීල් තෙල්වල ඉවිමෙනුත්, අයිස් යට තැබිමෙනුත්, කල් තබාගත් ආහාරයි දඩයම් අඩු සීත කාලයේ අනුභවකර තිබෙන්නේ.
සීල් මසුන්ගේ හම ඇඳුම් සකස් කරගැනීමටත්, නිවෙස් ආවරණයටත්, බෝට්ටුවල කොටස් සඳහාත් යොදාගෙන තිබෙනවා. සීල් මේද තට්ටු වලින් සාදාගත් ඉටිපන්දම්වලින් ආලෝකය ලබාගෙන තිබෙනවා.
ක්වමුටික් පාරු |
ජීවී, අජීවී සැමදේටම ආත්මයක් තියෙන බව විශ්වාස කල මොවුහු මරණින් මතු ජිවිත ගැන විශ්වාස කළා. මුහුදු දෙවඟන ඇදහුවා. ඔවුන්ගේම වූ චිත්‍ර, කලාශිල්ප, නැටුම්, සංගීත මෙන්ම, භයානක හිම වලස්සු, උල් දත් හා නිය ඇති අවතාර ගැන කතාවලින් පෝෂිත ජනකතා සාහිත්‍යයක් ද තිබෙනවා.
යුරෝපින් පැමිණිමත්, ලෝකයේ අනෙක් ප්‍රදේශවල 'දියුණුවත්' එක්ක ඉනුඉට් ගෝත්‍රිකයන්ටත් ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවුණා. 20 වන සියවස මුල වනතෙක් නිදහස්, සාමකාමී ජිවිතයක් ගතකළ මොවුන්ව හඩ්සන් බේ කොම්පැනියත්, ක්‍රිස්තියානි මිෂනාරිනුත් ඉතා පහසුවෙන් ගොදුරු කරගත්තා.
සත්ව හම් හා ලෝම ලාබයට හා පහසුවෙන් ලබාගැනීමට ඉතාම හොඳ ප්‍රභව ලෙස මේ ජන කොට්ඨශය දුටු Bay කොම්පැනිය භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථාන පිහිටුවා, ඒ අවට පදිංචි වෙන්න ඉනුඉට් ගෝත්‍රිකයන්ව පෙළඹෙව්වා. භූමියට අයිතියක් නොකියන, බෙදා හදාගන්නා ස්වභාවය අතහරවා ස්ථිර වාසස්ථාන පුරුදුකර, ලෝම වෙළඳ පොලට සහභාගී කරවා ගත්තා. වසර ගණනකින් ප්‍රදේශයේ සම්පත් අඩුවූ විට බේ කම්පැනිය ප්‍රදේශය හැරයාමත් සමග ගෝත්‍රිකයන් අතරමං වුණා.
ක්‍රිස්තියානි මිෂනාරීන් ආගම පැතිරවීම පදනම් කරගෙන නේවාසික පාසල්වලට සියලුම ආදිවාසී ළමයින් බලෙන් ගෙනගියා. විවිධ ගෝත්‍රිකයන් ගේ භාෂා හා වෙනත් වෙනස්කම් නොතැකු යුරෝපා පුජකයන් හා පුජකවරියන් නිසා දරුවන් ඉමහත් සිත් වේදනා හා තැවුල් වින්දා. අනෙක් ගෝත්‍රික ළමයි ඉනුඉට් ළමුන්ගේ හමේ අධික සුදු පැහැය හාස්‍යයට ලක්කර, එස්කිමෝ නමින් ඇමතීම නිසා ඔවුහු දැඩි මානසික පීඩාවලට ගොදුරු වුණා.
1960 ගණන් වනවිට ඉනුඉට් ළමුන් 75%ක් මේ ලෙස දෙමාපිය කැමැත්තෙන් තොරව නේවාසික පාසල්ගතකර තිබෙනවා. මොවුන්ට තම ගෝත්‍රික භාෂාව කථා කිරීමත්, සම්ප්‍රදායික ඇදහිලි පැවැත්වීමත් පල්ලියෙන් තහනම් කළා. මෙම දරුවන්, බලාගැනීමට සිටි අය අතින් දැඩි මානසික, ශාරීරික හා ලිංගික පීඩාවලට ලක් වී තිබෙනවා. ඒවාට එරෙහි වූ සිසුනට 'බෙහෙත් පෙති' දුන් බවත්, ඉන්පසු එම සිසුන් අක්‍රිය ලෙස වෙනත් ලෝකවල මෙන් ජීවත්වූ බවත් බොහෝ ලියවිලිවල තිබෙනවා.
නුහුරු ටින් කෑම මගිනුත්, සරම්ප, ක්ෂය රෝගය වැනි විෂබීජ නිසාත්, රෝගී වී මියගිය සිසුනුත් බොහෝයි. සමහර බෙහෙත් වර්ග අත්හදා බැලීමට 'රසායනාගාර මියන්' ලෙස මේ දරුවන්ව භාවිතා කර තිබෙනවා.
බලෙන් ලබාදුන් අධ්‍යාපනය මගින් ගෝත්‍රික දරුවන්ව ඉතා ඉක්මනින් ක්‍රිස්තියානි ආගමට හැරෙව්වා. අන්තිමට බිහිවුණේ තම ගෝත්‍ර ගැන ලජ්ජාවන, මිහිපිට කොතනටවත් අයත් නැති ජීවින් විශේෂයක්. ඒත් එය ක්‍රිස්තියානි මිෂනාරීන් ගේ පහත දැක්වෙන ආත්මාර්ථකාමී අධ්‍යාපන අරමුණු හා හොඳින් ගැලපුණා.
" ප්‍රාථමික සමාජවලින් එන දරුවන්ට අධ්‍යාපනය ලෙස ලබාදිය යුත්තේ ශිෂ්ට සම්පන්න වීමට හුරු කිරීමත්, සුදු මිනිසුන්ගේ ආර්ථිකයට සුදුසු රැකියා සඳහා වෘත්තීය පුහුණුවක් ලබා දීමත් ය."
වෙළඳුන්, ආගම පතුරුවන්නන් හා රජයයන් උත්සහ කළේ ගෝත්‍රිකයන්ගේ ජිවන ස්වභාවය වෙනස් කිරීමටයි. තම හැකියා හා සුරුකම් පවත්වාගෙන යාමට ඊළඟ පරම්පරාවක් නොමැතිව, විනාඩි ගණනකින් හිමවලින් ඉග්ලු ගෙයක් තැනීම වැනි සම්ප්‍රදායික විශේෂ කුසලතා නැත්තටම නැතිවුණා. අන්තිමට ඔවුන් රජය මත යැපෙන්නන් වී, අසාර්ථක ජන කොටසක් බවට පත්වුණා. ඉතිරිව සිටින අයත් පෘථිවි ගෝලයේ උණුසුම් වීම හා ඔවුනගේ සුපුරුදු ආක්ටික් පරිසරය අහිමි වීමේ තර්ජනයටයි මුහුණ දෙන්නේ.
ආදිවාසීන් ??? දැන්...
උදව්:
discovermagazine.com
firstpeopleofcanada.com
Inuit: The Canadian Encyclopedia
No Time to say Goodbye : Sylvia Olsen
වැදගත් වටිනා ලිපියක් මේක.
ReplyDeleteජයවේවා!!!
බොහොම ස්තුතියි දිරියට
Deleteවටිනා ලිපි එකතුවක්.
Deleteසීරියස් එකම කියවනවා...නොදන්න ඒවා ගොඩක්...
ReplyDeleteස්තුතියි. අනිත් අය නොදන්නා දේ කියාදෙන්න ලැබීම සතුටක්.
DeleteThis comment has been removed by a blog administrator.
ReplyDeleteGreat
ReplyDeleteThanks 😊
Delete