Thursday 21 June 2018

ලෝක මායිමේ ජිවත්වන රුසියාවේ ආදී වාසින් Yamal Nenets

ඉස්සර මිනිස්සු වැරදි කළහම දඬුවම් විදියට සයිබීරියාවට යවනවලු. මිනිසුන්ට දරාගන්න බැරි තරම් ශිතලයෙන් යුක්ත ප්‍රදේශ හින්දා පරිසරයෙන් හා අඩු පහසුකම්වලින් දඬුවම් විඳින්නට. ලෝකයේ අධිකතම ශිතලකින් යුතු මේ පෙදෙසේ රුසියානු ආදිවාසීන් ඉන්න බව ඔවුන් අතරින් කෙනෙක් වන ඔක්සානා හමුවෙනතුරු හිතුවෙවත් නැති දෙයක්. ආක්ටික් දේශගුණය තිබෙන අධි ශීත කලාපයක Edge of the world කියන තේරුම තියන Yamal නමින් මෙන්ම Nenet නමින් හඳුන්වන මේ ගෝත්‍රිකයන් තම අනන්‍යතාව හා සම්ප්‍රදායන් වසර දස දහස් ගණනාවක් තිස්සේ රැකගනිමින්, නවීන පහසුකම් කිසිවක් නොමැතිව  ආඩම්බරයෙන් ජීවත්වෙනවා.





රුසියාවේ උතුරු ප්‍රදේශයට වන්නට අධි ශීත, කටුක දේශගුණයක් ඇති, ඉර එලිය අඩුවෙන් වැටෙන යමාල් අර්ධද්වීපයේ  දිවි ගෙවන මොවුන්ගේ ජිවන රටාවේ  එස්කිමෝවරුන් හෙවත් ඉනුයිට් ගෝත්‍රිකයන්ට බොහොම සමානකම් තියෙනවා. ඇත්තෙන්ම බැලුවොත් එහෙම සමානකම් ඇතිවෙන්න හේතු කිහිපයක් තියෙනවා. එකක් ඉනුයිට්වරු රුසියන් ජාතිකයින්ගෙන් පැවත ඒම වෙන්න පුළුවන්. ඇමරිකන් ආදී වාසි ලිපි පෙලේ මුලින්ම මේ ගැන ලියා තිබෙනවා. අනිත් හේතුවනම් එකම විදියේ පරිසර පද්ධතියක, එකම අභියෝගයන්ට මුහුණ දෙමින් ජීවත්වන්නට සිදුවීම.
එස්කිමෝ හෙවත් ඉනුයිට්වරු ගැන කියවන්න මෙතනින්.

නිවාස: ඉනුයිට්වරු මෙන්ම ඉතා සුදු හමක් ඇති මොවුහු සමුහයන් ලෙස ජිවත්වෙන්නේ. සමහර කාලවල -50 C පමණ අධි සීතල නිසා පොලව ගල්වූ  පරිසරයක තැනින් තැනට යමින් ජීවත්වීමට ප්‍රධානම හේතුව ආහාර සොයාගැනීමේ අභියෝගයයි.
හිම වැටෙන පරිසරයක ජිවත්වුනත් ඉනුයිට්වරුන්ට මෙන් අයිස් කුට්ටිවලින් ඉග්ලු ගෙවල් හදාගැනීමේ සුරුකම නම් නැහැ. ශීත කාලයේත් චූම් chum නමින් හඳුන්වන කුඩාරම්වල ඉන්නේ. මේවා ඉනුයිට්වරුන්ගේ ගිම්හාන කුඩාරම් වලින් වෙනස් වෙන්නේ හැමවිටම එය සැදීමට දිග බට වැනි ශක්තිමත් ලී දඬු 30ක්  භාවිතා කිරීමෙනුයි. එලෙස දඬු 30ක්ම යොදාගැනීමට හේතුවක් ඔක්සානා දැන සිටියේ නැහැ. නිවසේ ප්‍රමාණය පාලනය මගින් ශීතලෙන් ආරක්ෂා වීමට පහසුවීම කියායි අනුමාන කරන්නේ. එම ලී දඬු හිටවා අවසානයේ සියල්ල සත්ව හම්වලින් ආවරණය කිරීම සිදුවෙනවා. අතීතයේ මේ සඳහා මැමත් ඇතුන් ගේ සම් යොදාගත්තත් දැන් බොහෝවිට පිනිමුවන්ගේ (reindeer) සම යොදාගැනෙන්නේ. සිතල ඇතුළු නොවන්නට හම්වල වාටි අතිපිහිත වන සේත්, සම තට්ටු කිහිපයක් සිටින සේත් සකස් කරනු ලබනවා.  මේ එක කූඩාරමක එක පවුලක් හෝ කලාතුරකින් ඥාති පවුල් දෙකක් ජිවත්වෙනවා. මිට අමතරව හිම බල්ලන් හා මව් මියගිය කුඩා පිණිමුවන්ද කූඩාරම තුළ හදාවඩා ගන්නවා.
නිවෙස් වටා අර්ධ කවාකාරව ඔවුන් ගමන් ගන්නා ස්ලේ sleigh  නම් වූ හිම මත ලිස්සන වාහන හා අනෙකුත් වාහන දක්නට ලැබෙනවා.  විශේෂිත ස්ලේ එකක් චූම් පිටුපස නවතන අතර එය නිවසේ හරි මැදට එල්ලවන ලෙස තබනවා. ස්ලේ කිසිම ඇනයක් යොදා නොගෙන ලී පුරුද්දමින් පමණක් ඔවුන්ම සාදාගන්නා රෝද රහිත වාහනයි.

මොවුහු සාමයෙන්, සමගියෙන් ජිවත්වන මනුෂ්‍ය කොට්ඨාශයක්. චුම්හි ඉදිරිපස කොටසේ නිවසේ කාන්තාවන් තම ඉවුම් පිහුම්, මැහුම් ගෙතුම්  හා සංචාරයට සුදානම්වන කාලය වනවිට පොදි බැඳ ගැනීමේ කටයුතු කරන අතර, පිරිමින් තම වැඩ කටයුතු කරන්නේ චුම් තුළ පිටුපස කොටසෙයි. දරුවන් බලා කියගැනීම කාන්තාවන්ගේ වගකීමක්.

ආහාර: නැනෙට් ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන ආහාරය වන්නේ මස් හා මාළුයි. ක්‍රන්බෙරි වැනි බෙරිවර්ගත් තුන්ද්‍රා ප්‍රදේශවල වැවෙන සමහර ශාක වර්ගත් ගිම්හාන කාලයේ අනුභව කරනවා. පිරිමි අය දඩයමේ යන අතර හිම බල්ලන්ද ඒ සඳහා උදව් කරගන්නවා. ඉනුයිට්වරු මෙන්ම මොවුහුද සීතලට මිදුණු ගංගා, විල් ආදියේ මතුපිට අයිස් ස්තරය සිදුරු කරගෙන මාළු බෑමට දක්ෂයි. සැමන්, රිදිපාට සුදු මාළු, මස්කන් මාළු මෙලෙස අල්ලාගන්නවා. මෙයින් සමහර මාළු වර්ග කැපීම පිරිමින්ට පමණක් සීමා වූ කාර්යයකි. කැරිබු ගවයන්, තාරාවන් ඇතුළු කුරුළු වර්ග, එම ප්‍රදේශවල ජිවත්වන ඔක්ස් වර්ගයේ ගවයින් මෙන්ම පිනිමුව මස් ද අනුභව කරනවා. සුදු පිණිමුව මස් ලුණු හා ගම්මිරිස් දමා  ගැනීම උත්සව අවස්ථාවල විශේෂ ආහාරයකි.    තමන්ගේ රංචුවේ සිටින වයස්ගත, නිරෝගී හා උචිත පිනිමුවන් තෝරා මස් කිරීම පිරිමින් සතු කාර්යයක් වන අතර, ඒවා ඉවීමත්, සම් පිරිසිදු කර ආවරණ හා ඇඳුම් සැදීමත් ගැහැනුන්ට වෙන් වෙන කාර්යයන්. ඉනුයිට් ගෝත්‍රිකයන් මෙන්ම මොවුන්වත් 'අමු මස් කන' යන අරුතින් සැමොයෙඩ් Samoyed නමින් හැඳින්වුවත් ඔවුහු එම නම භාරගන්නට පැකිලෙන්නේ නැහැ.
පොලව ඝනව පවතින මෙවන් වටපිටාවක වැසිකිලි කැසිකිලි කටයුතු සිදුවන අයුරු අසන්නටත් අමතක කළේ නැහැ. මේ සඳහා කුඩාරමට ඇතින් ඇති බිමක් තෝරාගන්නා අතර ගැහැණු හා පිරිමි අයට වෙන වෙනම බිම්කඩ වෙන් කරගන්නා බවයි කිව්වේ. හැම කෙනෙක්ම කෝටුවක් රැගෙන යන අතර, පිනිමුවන් මිනිස් වසුරු අනුභව කිරීමෙන් වැළකීමට එය උදව් කරගනියි.
පිණිමුවන් මොවුන්ගේ ජිවිත චක්‍රයේ වැදගත්ම සතුන්ය. ප්‍රවාහන මාධ්‍යයක් ලෙස, සංචාරයේදී බඩු බාහිරාදිය ගෙනයාම, විනෝද කටයුතු සඳහා, මස් හා සම් ලබා ගැනීමට පමණක් නොවේ ගිම්හාන කාලයට මදුරු පිඩාවන්ගෙන් බේරීමටද අවශ්‍ය නිසා එක එක කණ්ඩායමකට අයත් පිණිමුව ගහණයක් තබා ගන්නවා. සමහරවිට මුවන් දහස් ගණනක් එක කණ්ඩායමකට අයත් වෙනවා. නව යුවලකට විවාහයේ දායද ලෙස ලැබෙන්නෙත් පිණිමුවන්ය. දහවල් කාලයට නිදහසේ එළිමහනේ උලා කමින් ඉන්න මුවන් රාත්‍රිය එළඹීමත් සමග කුඩාරම් අසලට පැමිණෙනවා. මෙහිදී හිම බල්ලන් ඔවුන්ව එක ගොඩකින් තබා ගැනීමටත්, ආක්ටික් නරියන්ගේ ගොදුරු බවට පත්වීමෙන් වැලකිමටත් උපකාර කරනවා. පිණිමුවන් පාන් සහ ලුණු කෑමට ප්‍රිය කරන බවද කියවුණා.

පර්යටනය: සෑම වසරකටම දෙවරක් සිදුවන සංක්‍රමණ වලට බෙහෙවින්ම උපකාරී වන්නේ පිණිමුවන්. එක පෙදෙසක වෙසෙන ගෝත්‍රික කණ්ඩායමේ නායකයා හෙවත් කොස්ත්යා මාර්තු මාසයේ වසන්ත කාලය එළඹීමත්  සමගම උතුරු ප්‍රදේශයට යන්නට තීරණය කරනවා. ඔක්සානාට අනුවනම් ඔවුන් යන්නේ පිනිමුවන් තීරණය කරන දිශාවකටයි. එහෙත් වෙනත් ලිපිවලින් පෙනුණේ ඔවුන්ගේම වූ ක්‍රමයකට පෙර වසරේ නවාතැන් නොගත් පෙදෙසක නවතින්නට තීරණය කරන්නේ කණ්ඩායම් නායකයා බවයි.
ගිම්හාන කාලය සඳහා පිණිමුවන්ට සුදුසු ලයිකන ඇතුළු ආහාර සහිත නැවතීමට උචිත ගංගා නිම්නය  හා ඒ වෙත යන මාර්ගය තීරණය කරගත් පසු  බඩු බාහිරාදිය පොදි බඳිමින් ඒවා ස්ලෙ හා වාහනවලට ගැටගැසීම කාන්තාවන්ගේ කාර්යයක්. සියල්ල පටවාගත් පසු, අවසානයේ චූම් ගලවා සත්ව සම් හා ලී දඬු පටවාගන්නවා. විශාල ගස් නැති මේ ප්‍රදේශවල ලි වලට ඇති වටිනාකම වැඩියි.  පිනිමුවන්ද සමගින් උතුරු තුන්ද්‍රා ප්‍රදේශ වෙත පවුල් කිහිපයක් ගමනාරම්භ කරනවා. දිනකට කිලෝමීටර් 3 - 11 දුරක් බැගින් දින ගණනාවක් ගමනේ යෙදෙනවා. එක් පර්යටනයකදී කිලෝමීටර් 200කට වඩා ගමන් කර අවසානයේ නතර වෙන්නේ. මේ මිනිස් හා සත්ව පෙරහැර කිලෝමීටර් ගණනාවක් දිගු වෙන අවස්ථාද දැකිය හැකියි.
නවතින තැනදී චුම් සාදාගෙන ස්ලෙඩ්හි  ඇති ද්‍රව්‍ය ඒ තුලට ගෙන නැවත සාමාන්‍ය ජීවිතය අරඹනවා.
ගිම්හාන නවාතැනේ සතුන්ට ආහාර හොඳින් තිබෙන නිසා හැකිතාක් කාලයක් එහි නැවතී සිටිනවා. ගිම්හාන කාලයේ වුනත් සාමාන්‍ය උෂ්ණත්වය අංශක 15ක පමණ අඩු අගයක් පවතීන්නේ.
නැවත ශිත කාලය එළඹෙත්ම නොවැම්බර් මාසයේ දැඩි සිතල කාලගුණය මධ්‍යයේ බොහෝවිට මිදුණු ගංගා මතින් දකුණු ප්‍රදේශයට පර්යටනය කරනවා.මෙහිදී හිම හෝ අයිස් මත දිනකට කිලෝමීටර් 8ත් 20ත් අතර දුරක් ගමනේ යෙදෙනවා.
මේ ගැන ඇති කෙටි වීඩියෝවක්

 මෙහිදී පරිසරය ගැන සලකන ආකාරය වැදගත්. වරක් නවාතැන් ගත්  ස්ථානයක වසර කිහිපයක් යනතෙක් නැවත නොයාමෙන් ගහකොළ වැඩෙන්නට ඉඩ සැලසීම මගින් ඔවුහු ධරණිය සංවර්ධනය ආදර්ශයෙන් දක්වන්නේ.

ඇඳුම්: අද දක්වාම නැනෙට්වරු අඳින්නේ සම්ප්‍රදායික ලෙස කාන්තාවන් අතින් නිමැවෙන ඇඳුම්ය. පිරිමි අය පිණිමුවන් හතරදෙනෙක්ගේ  සමෙන් මසන මෙලිට්සා නම් දිගු කබායක් අඳින අතර, බොත්තම් හෝ සිප් නැත. මුව හමේ රෝම ඇති පැත්ත සිරුර දෙසටත් ලෙදර් කොටස පිටතටත් සිටින ලෙසයි ඇඳුම් මසන්නේ. ඉතා තද සීතලට මෙම ඇඳුමට උඩින් මුව රෝම පිටතට සිටින ලෙස මසන ලද ඇඳුමක්ද අඳිනවා. මේවා සමග හිස් ආවරණ, ගෙල ආවරණ ස්කාෆ්, ග්ලවුස්, බඳපටි පළඳිනවා.
මේ සඳහා හිම වලසුන් හා වෙනත් සතුන්ගේ හම්ද භාවිතා කරනවා. මෙම ඇඳුම් අත පය ගල්වෙන තරම් සීතල ඍණ 50කට අසන්න උෂ්ණත්වයේ නිවසෙන් පිටත මුව පට්ටිය රැකගනිමින් රාත්‍රී ගතකිරීමට පවා ආරක්ෂිතයි.
කාන්තාවන් පිණිමුව හම් අටක් පමණ යොදා මසන ලද ස්ථර දෙකකින් යුක්ත යගුෂ්කා නම් කබා අඳිනවා. මේවා ඉදිරිපසින් බොත්තම් යොදා වැසිය හැකියි. වාටි දිගේ ඔවුන්ට අවේණික වර්ණවත් මෝස්‌තර මසා තිබේ. කොණ්ඩා කිසි විටෙකත් ලිහිල්ව නොතබන අතර පීරා ගොතා සකස් කරගන්නවා.
ගැහැණු, පිරිමි දෙකොට්ඨාශයම දණහිසටත් වඩා උසට තිබෙන මුවහමෙන් සැදූ බූට් සපත්තු පළඳිනවා. මේවා ඇතුලත කොටස හා පිටත කොටස ලෙස  තට්ටු දෙකකින් යුතු නිසා සීතල දැනීම වලක්වයි.

පවුලේ කෙනෙක් මියගියහොත් ඔවුන්ට අවේනික චාරිත්‍ර සිදුකර මියගිය තැනැත්තා ප්‍රියකළ ඇඳුමක් අන්දා, ඔහු හෝ ඇය භාවිතා කළ අභරණ වැනි උපකරණත් සහිතව ඈතකට ගෙනගොස් තරමක උස බිමක තැබීම කරනවා. ගැහැණු කෙනෙක් නම් ඇයගේ මැහුම් ගෙතුම් අඩංගු කුඩා හුරුබුහුටි පැස නොවැරදීම තබනවා. මරණය ගෙනයාමට  සහභාගී වන්නේ පිරිමින් පමණයි. වලලා දැමීමක් කිරීමට පොලව හෑරීමට නොහැකි නිසා මෙසේ හුරු වූවා විය හැකියි. පිළිස්සීම කළ හැකි නේදැයි විමසු විට කියා සිටියේ එවැනි සිරිතක් නොමැති බවයි. අවැසි තරම් දර සොයාගැනීම ගැටළුවක් නිසා ඒ ගැන සිතන්නේවත් නැතිව ඇති. මේ මල සිරුරු සමග ඇති දෑ වෙනත් ගෝත්‍රිකයන් රැගෙන යන බවත්, වෘකයන් හා අනෙක් සතුන් කා දමන බවත් පැවසුවේ ඒ ගැන විශේෂ කණගාටුවක් නොමැති අයුරිනි.

ආගම: ඔවුන්ගේ සම්ප්‍රදායික ෂමන් දහම් අදහන අතර ලි වලින් තැනු බෝනික්කන් සෑම කෙනෙක්ටම පාහේ ඇත. එයට සත්කාර කිරීමෙන් යහපත, සාමය උදාවෙතැයි විශ්වාස කරති.

භාෂාව: ආසියාව හා යුරෝපා මායිමේ තිබෙන යමාල් අර්ධද්වීපයේ වෙසෙන නැනෙට්වරු කතා කරන භාෂාව නැනෙට් බසයි. එය රුසියන් බසට වඩා පින්ලන්ත හා එස්තොනියන්වරු වහරන බසට ආසන්නය. ලිවීමට ග්‍රීක, ලතින් හා ආර්මේනියානු මිශ්‍ර cyril නම් අකුරු භාවිතා කරනවා.  ළමුන් විධිමත් පාසල් යන නිසා ඔවුනට රුසියන් බස හොඳින් භාවිතා කල හැකියි.

සෞන්දර්ය හැකියා: ගායනය, වාදනය, චිත්‍ර අනෙක් මනුෂ්‍ය කොට්ඨාශ මෙන්ම ඔවුනට අවේණික උපකරණ ආධාරයෙන් සිදු කරයි. සත්ව හම් හා සත්ව හා ශාක කොටස්වලින් සෑදු සංගීත උපකරණ භාවිතයෙන් මිහිරි නාද උපදවමින් ගායනයේ හා වාදනයේ යෙදෙනවා.
මැද ඇති ලෝහ සංගීත භාණ්ඩය
පිඹිමින් ඇඟිල්ලකින්
වයයි. 
හමින් තැනු බෙරයක් 
ගෝන අං බෙරයක් 



ඔවුන්ගේම වූ කතා හා කතා කීමේ කලාවක්ද ඇත. ඇඳුම් පැළඳුම්, ආභරණ වල  අලංකාර, විසිතුරු මෝස්‌තර දැකිය හැකිවේ.

අධ්‍යාපනය: රුසියානු විප්ලවය අවසන් වනතෙක්ම නැනෙට්වරු සම්ප්‍රදායික සංචරණ දිවි පැවැත්මට අවැසි කුසලතා අත්දැකීමෙන් දරුවන්ට ලබා දීමත්, සරල අක්ෂර හා ගණිත නිපුනතා ලබාගැනීමත් හැරුණුකොට විධිමත් පාසල් අධ්‍යාපනයක් ලැබ දී නැත.
 සෝවියට් රජයේ මැදිහත්වීමෙන් තුන්ද්‍රා දරුවන් නේවාසික පාසල්වල ඉගෙනීමට ගෙනයාම සිදුවිණි. සම්ප්‍රදායික නැනෙට් ජනයා මිට විරුද්ධ වුවද රජයෙන් අධ්‍යාපනය අනිවාර්ය කළේය. හෙලිකොප්ටර් මගින් නිසි වයස්වල දරුවන් රැගෙන ගොස් උගන්වා නැවත මාපියන් වෙතට භාර දුනි. මුලින්ම එක දිගට මාස 9ක් තබාගෙන ඉගැන්වුවත් පසුව මාස තුනකට වරක් ලැබෙන නිවාඩුවට නිවෙසට ඇරලා නැවත ගෙනගියහ. කැනඩාවේදී ආදිවාසී දරුවන්ට සිදුකළ ආකාරයට නොව, දෙමාපියන්ට පහදා දීම සිදුකල අතර, බලෙන් ඇදහීම් වෙනස් කිරීම සිදු නොවිණි. දරුවනට හිංසාකිරීමක්  හෝ පර්යේෂණ සඳහා යොදවා ගැනීමක් නොවුනි.ඔවුන්ගේ භාෂාව භාවිතය හා සංස්කෘතික අංගයන් දිරිමත් කෙරුණි.  එහෙත් නිවාඩුව අවසන්ව නැවත දරුවන් ගෙනයාමට හෙලිකොප්ටර් පැමිණි විට දරුවන් සඟවා තබාගැනීම සිදුකළ දෙමාපියෝද බහුලව සිටියහ.
දැනටත් රුසියන් ආදිවාසී දරුවන් සඳහා  නේවාසික පාසල් ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන අතර ඒවා හැකිතාක් ඔවුන් සිටින ප්‍රදේශවලට ආසන්නයේ ඇති අතර, වෙනත් පාසල්වල ඇති සියලු පහසුකම් සහිතය. අමතර ලෙස දරුවන්ට නිවසේ වාතාවරණය ඇති කිරීමට  චුම් වලට සමාන කුඩාරම් තනා ඒ තුලද පන්ති පැවැත්වේ. සම්ප්‍රදායික සංස්කෘතිය, භාෂාව, සෞන්දර්ය අංශය, හැකියා ආදී සියල්ල දිරිමත් කෙරෙන අතර, සංස්කෘතීන් දෙක අතර  වෙනස්කම් වැටහෙන අයුරින් ඔවුනට ඒ අතර පහසුවෙන් තරණයට හැකිවන අයුරින් ඉගෙනුම් ඉගැන්නුම්  ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙයි.

නැනෙට් ආදිවාසීන්ගේ අනාගතය: මිහිතලය උණුසුම් වීම නිසා තුන්ද්‍රා ශාක ගහනයේ ඇතිවන වෙනස්වීම්  ඒවා  ප්‍රධාන ආහාර වර්ගය වන පිනිමුව ගහණයට ඍජු බලපෑමක් කරයි.
කොමියුනිස්ට් සමාජය බිඳ වැටීමද මෙම ගෝත්‍රවලට දැඩි බලපෑමක් ඇති කළේය. තරුණයන් මත්පැන්වලට ඇබ්බැහිවීම මෙන්ම, උගත් තරුණයන්ට රැකියා නැතිවීම බහුල විය.  මානසික සෞඛ්‍යයේ දුර්වලතා සුලබවිය.  සංස්කෘතීන් දෙකක් අතර අතරමං වීමක් මුලින්ම විධිමත් අධ්‍යාපනයට යොමුකළ අය අතර ඇතිවිය. දැනටත් සමහරු අධ්‍යාපනයෙන් පසු ගෝත්‍රය හැරයාමට යොමුවේ.
හැත්තෑ  ගණන්වල යමල් ප්‍රදේශයේ තෙල් හා ගෑස් නිධි සොයාගැනීමත් සමග තුන්ද්‍ර ප්‍රදේශය මෙතෙක් නොදැන සිටි පිටස්තරයන් ගැවසෙන තැනක් බවට පත්වුණි. විවිධ ඉදිකිරීම්, කැනීම් ආදිය නිසා ප්‍රදේශයේ නිසලබව අඩුවී ගියේය. නව පදිංචිකරුවන්ට  මස් හා මාළු විකුණා බත්, පැස්ටා, 'ශ්‍රීලංකා තේ ' ආදිය ලබාගත හැකිවීම වාසියක් විය.
එහෙත්, නව ගොඩනැගිලි, මාර්ග ඉදිකිරීම් නිසා නැනට් ගෝත්‍රිකයන්ගේ සුපුරුදු ගමන් මාර්ග අවහිර විය. එය  ඔවුන්ගේ සුපුරුදු තුන්ද්‍රා චක්‍රීය රිද්මය ඍජුව ආක්‍රමණය කළේය. ආහාරයට ගත් මසුන් ආදියේ අඩුවීමක් දක්නට ලැබුණි. නව අදායම් මාර්ග නිසා තරුණයන් සංචරණ දිවිය අතහැර එකතැනක පදිංචි වීමට කැමැත්තක් දැක්වීම බහුලය. ඔවුන්ගේ දිවියේ භූමියට අයිතියක් නොකියා පරිසරය සමග ජීවත්වීමේ සංකල්පය අභියෝගයට ලක් වෙමින් පවතියි.
ඇමරිකාවේදී මෙන් ඉඩකඩම් බලෙන් ලියා ගැනීමක් සිදු නොවුනත් ඉදිකිරීම් සිදු වීමේදී ඔවුන්ගේ අදහස් විමසීමක් වුයේ නැත. මේ නිසා ඔවුහු සියවස් ගණනක් භාවිතා කළ සමහර ප්‍රදේශ භාවිතයෙන් අහිමි වීමක් සිදුවිය.
ඔක්සානා 
නුදුරු අනාගතයේ තෙල් නිධි අවසන් වීමත් සමග මේ තත්වයන් නැවත ආපසු හැරී ඔවුන්ගේ හුරු පුරුදු ස්වභාවික වාසස්ථාන ලබාදෙනු ඇත.



උදව්:
Oxana
www.calvertjournal.com/articles/show
www.eki.ee/books/redbook/nenets.shtml
www.theatlantic.com/photo/
www.bbc.co.uk/tribe/tribes
www.yamalexpedition.ru/en/blog-en/

8 comments:

  1. පොත්පත් වලින්වත් සොයාගැනීමට නොහැකි හොඳ විස්තරයක්. මොවුන් ඇත්ත වශයෙන්ම ආදී වාසිකයින්ද? අප සාමාන්‍යයෙන් ආදී වාසිකයින් ලෙස හඳුන්වන්නේ දැනට සිටින ජනතාව දියුණුවූ තත්වයට පත්වීමට පෙර සිටම ජීවත්වූ, තවමත් පැරණි සම්ප්‍රදායික ඔවුනටම ආවේනික වු දිවි පෙවෙත ගතකරන අයට නේද? ශ්‍රි ලංකාවේ වැදි ජනතාව ඔස්ට්‍රේලියාවේ ඇබෝරිජන්වරු මේ ගණයේ ආදී වාසිකයින් ලෙස සැලකෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ අය රුසියාවේ ජිවත්වන, වසර දහස් ගණනක් මුළුල්ලේ ඔවුන් දිවි ගෙවූ රටාවටම අදත් දිවිගෙවන අය. සැමොයෙඩ් හෙවත් නැනෙට්වරු රුසියාවේ එක ආදිවාසි ජන කොටසක් පමණයි. තව කණ්ඩායම් ඉන්නවා.

      Delete
  2. තුන්ද්‍රා ගැන අසා තිබුණත්, මේ ගෝත්‍රය ගැන මෙතරම් සවිස්තර ව දැන ගත්තේ අද..
    බොහොම ස්තූතියි..!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තුන්ද්‍රා කියන්නේ උත්තර ධ්‍රැවය සමීපයේ තියන ආක්ටික් පරිසරයටයි. එහි ජීවත්වෙන නිසා මේ අයට තුන්ද්‍රා මිනිසුන් කියනව. ඍණ 20 සීතලට ග්ලවුස් දාලත් ඇඟිලි ගල්වෙන අපිට මේ වගේ උෂ්ණත්වයක එළියේ ඉන්නවා කියන එක හිතාගන්නවත් බැහැ.

      Delete
  3. බොහොම ස්තුතියි රසුදැල්...ඔබේ විස්තරය ඉතාම වැදගත්!

    ReplyDelete
  4. ෆා මර්යම්18 August 2018 at 06:00

    ඉතාමත් විශිෂ්ට ලිපියක්,, මීට දින කීපයකට කලින් අල් ජසීරා නාලිකාවේ මේ ගැන හොඳ වාර්තාමය වැඩ සටහනක් ගියා , ඇත්තටම මට නරඹන්න වුණේ එහි අවසාන භාගය ,
    හරි පුදුම ජීවිතයක් ගෙවන මිනිස්සු කියලා කොයිවෙලෙත් ඒ ගැනමයි මතක් වුණේ ,
    මේ ලිපිය කියෙව්වට පස්සේ යමාල් ප්‍රදේශයේ ජන ජීවිතය ගැන මට තිබ්බ ඔක්කෝම ප්‍රශ්න වලට නිසි පිළිතුරැ ලැබුනා,,
    මට මේ බ්ලොග් සයිඩ් එක අහම්බෙ කියවන ලැබුණේ ���� ඔබට ජය ����

    ReplyDelete
    Replies
    1. අධික සීතලේ ජීවත්වෙන පුදුම ජිවිත තමයි.
      සතුටුයි ඔබට අවශ්‍ය තොරතුරු ලැබුනට. දිගටම ලිපි කියවන්න මේ පැත්තේ එන්න

      Delete