Monday 2 July 2018

මීගමු කරත්තේ

මීගමු කරත්තය යන වචනය මුලින්ම ඇහුවේ මීගමුවේදී නොවෙන බව හොඳට මතකයි. වෙසක් කූඩු සරසමින් ඉද්දි කුඩුවේ දාර වටේ හැඩ කරන්න කොළ අලවන්න උදව් වෙමින් හිටියේ. හරි  හතරැස් කොලයක් විරුද්ධ කෙලවර දෙකෙන් ලං කළාම මැදින් පිම්බිලා අමුතු හැඩයක් එනවා. ඒවගේ පුංචි කොළ අලවමින් ඉද්දියි 'මීගමු කරත්ත වහල ව‍ගේ' කියල කවුරුහරි කිව්වේ. මට ඉතින් කුතුහලේ. ඒ දවස්වල වහලක්  තියන කරත්ත දැකල තිබුනෙත් අඩුවෙන්. ඇයි මොකද්ද අනිත් කරත්ත වහලවලින් වෙනස? පිළිතුර: ඒක මේ වගේ නිසා.
ඊට අවුරුදු දෙක තුනකට පස්සේ මීගමුවට පදිංචියට ආවම කරත්ත දැක්කමයි වෙනස තේරුම් ගියේ. බර කරත්තය හෝ  බරබාගේ වගේ ලෑලි තට්ටුවක් නෙමෙයි, කකුල් දාල වාඩිවෙන්න බක්කියක් තිබුනා. දෙපැත්තෙන් වැහිලා. වහල  විශේෂ  හැඩයක්. ඒ හැඩය නිසාමයි මේවා මීගමු කරත්ත වෙන්නේ.


අපි මිගමු ආවේ නිවාඩු කාලෙක වෙන්න ඕනේ. ඊළඟ වාරයට ඉස්කෝලේ යන්න වුණාම අපි ගැහැණු ළමයි හතර දෙනාව  මීගමුවේ ඈත කෙලවරේ තියෙන ප්‍රසිද්ධ හා ඉපැරණි බාලිකවකටයි ඇතුලත් කළේ. අයියා අම්මයි තාත්තයි ගියේ  ළඟ ඉස්කෝලෙට.  ඉතින් අපිට ප්‍රවාහන පහසුකම් ඕනනේ. පිහිට වුනේ ඒ කාලේ ජනප්‍රියම ප්‍රවාහන මාධ්‍යය වුනු මිගමු කරත්තේ. මිගමු කරත්ත බොහෝවිට තනි ගොනෙක් විසින් අදින ඒවා.

කරත්තේ සීයා මුලින්ම ගෙදර ආව දවසත් මතකයි. අපි දිහා බලලා කරත්තේ ඉඩට හරියන බව කිව්වා. මට එදා හරිම සතුටක් ඇතිවුණේ දැකීමෙන් පමණක් නිමා නොවී කරත්තයක එතරම් දුරක් යන්න ලැබීම ගැනත්.

මුලින්ම කරත්තේ යන දවසේ අපිවයි ඉස්සෙල්ලම ගත්තේ. ඒ කාලේ ඉස්කෝලේ පොත් ගෙනියන්නේ පොඩි සුට්කෙස්වල. ලොකු අක්කලා අයියලා අතේ පොත් ගෙනියන්නේ. ඒවටත් මෝස්‌තර තිබුනා. පොත් ගොඩ දෙකට බෙදාගෙන ඒ යටින් අත් දෙකම යවල පොත් ලමැදට තුරුළු කරන් යන අක්කලා හරි 'ස්ටයිල්'. අනිත් අක්කලා පොත් පත්  ලොකු එකේ සිට පොඩි එකට පිලිවෙලින් අහුරා  එක පැත්තකට අරන් එක අතක් යටින් යවා මුදු ලැමට තුරුළු කරන් ගියේ.

අපි මුලින්ම සුට්කේස් එක කරත්තේ පහළින්ම තියන පඩංගුවේ තියන්න ඕනේ. ඒක ඇත්තටම ගෝනි පඩංගුවක්. ඉන් පස්සේ සීරුවට ලෝහවලින් හෝ ලෑලි වලින් හදපු පඩියට අඩිය තියල කරත්තයට නගින්න ඕනේ. පිටුපස පොඩි දොරක් තියනව ආසන මට්ටමට. ඒක ඇරලා ඇතුළුවෙලා වහනවා.
කරත්තේ දෙපැත්තේ තුන් හතර දෙනෙක්ට වගේ වාඩිවෙලා යන්න පුළුවන් කුෂන් කරපු ලෑල්ලක් තියනව. හයක් පහසුවෙනුත්  අටක් තෙරපිලත් වාඩිවෙන්න පුළුවන්. අපි පොඩි පන්තිවලනේ. බොහෝ දවස්වලට අට දෙනෙක් ගියා. මාතර තියන බග්ගි වගේමයි ඇතුලත හිස් ඉඩට (බක්කියට) කකුල් දාල සැප පහසුවට වාඩිවෙන්නේ. හැබැයි කරත්තේ දෙපැත්තෙන් වැහිලා තිබුනේ. සමහර කරත්තවල දෙපැත්තේ බාගයක් අහුරලා. උඩින් හිස්. මැද පේලි දෙකකට ලස්සණ මෝස්‌තර ලණු බෝල එල්ලලා තියනවා. නගිනකොට ඒවා අල්ලාගෙනයි බැලන්ස් වෙන්නේ. යද්දිත් ඕනෙනම් ඒවා අල්ලගන යන්න පුළුවන්.

ඉතින් අපි නැග්ගට පස්සේ සීයා බෝන් ලියට හෝ කරත්තේ ඉදිරිපස ලෑල්ලට නැගලා තෝන් ලනුව බෝන් ලීයෙන් ලිහලා කරත්තේ දක්කනවා. තෝන් ලනුව කියන්නේ හරකාගේ නාසය තුලින් දමා ගන්නා සුදු පැහැ සවිමත් ලනුවක්. හරකාගේ වේගය පාලනයට, හැරවීමට එය භාවිතා කරනවා.

 ඔය විදියට අනිත් අයගෙත් ගෙවල්වලට ගිහින් කට්ටියම එකතු කරන් මිගමුව ටවුන් එක මැද්දෙන් කරත්තේ යනවා. ඒ යද්දී අනිත් පාසල්වලට යන, ඒ  ළඟ නවත්තල තියන කරත්තත් දකින්න පුළුවන්.  ඉස්කෝලේ යද්දී කරත්ත පෝලිමයි. දැන් ඉස්කෝල ළඟ වෑන් නවත්තල තියනව වගේ. ඔය විදියට පාසැල අසලට එන්නේ එකම කරත්ත. අපි බැහැල සුට්කේස් එක අරගෙන පාසලට යනවා.
 ඉස්කෝලේ ඇරිලා අපි එනකල් කරත්ත එතන නවත්තගෙන ඉන්නවා. මේ පාසැල නගරයේ කෙළවරක තියෙන නිසා බොහෝ  කරත්තවල දහවල් නවාතැන්පොල වුනේ පාසල අසබඩ. මට මතක හැටියට හැම කරත්තයක්ම තැනක් වෙන්  කරගෙන වගේ හිටියේ. හවස පාසලේ නවතිනවානම් කරත්තෙට පණිවිඩේ දෙන්න ඕනේ.

 කාලයක් යනකොට අපි අනිත් කරත්ත ඒකේ යන ශිෂ්‍යාවකගේ නමින් හඳුන්වනවා. දමිතලාගේ කරත්තේ, නිෂමනිලගේ කරත්තේ.. විදියට.  සමහර වෙලාවට හරකා ගේ ස්වභාවයෙනුත් කරත්තය අඳුනන්න පුළුවන්. නිශාමනිලගේ කරත්තේ හරකාගේ බෙල්ලේ පිටි පැත්ත බෝන් ලියට මැදිල සුදුපාට වෙලා හම දෙපැත්තට වැගිරිලා. බලන්න දුකයි.  තව හරකෙක්ගේ අං ඉතා දිගයි. තවෙකෙක්ගේ අං කෙලවර  ලස්සණ රන්පාට කොපු යුගලක්.  කරත්ත එක එක පාට, එක එක මෝස්‌තර. ඔක්කොම  සවි ශක්තියෙන් යුක්ත හොඳ තත්වයේ පවත්වාගෙන යන ඒවා.  ප්‍රදේශයේ පොහොසත් මුස්ලිම් ශිෂ්‍යාවන් පිරිසක් යන කරත්තයක් තිබුණා. ඒක සම්පුර්ණයෙන් වහලා. ඉදිරියෙන් වගේම පිටුපසිනුත් තිරයක් දාල. එයාලනම් ඕක අයින් කරලා හොරෙන්  බලනවා.
අපේ කරත්තෙත් කාලයක් මුස්ලිම් යාලුවෝ දෙන්නෙක් අපි වගේම කීචි බීචි ගගා ගියා. නෝම්බි කාලෙට එයාල  වතුරවත් බොන්නේ නැති නිසා අපිත් තිබහ වුනත් වතුර බිව්වේ නැහැ කරත්තේ ඇතුලෙදි. කවුරුත් කියල නෙමෙයි. කොහොමත් කරත්තේ ඇතුලෙදි වතුර බොන්න අමාරුයි.  බෝතලේට කට තියල බොන එක වැරදි සිරිතක් විදියට ඒ දවස්වල සැලකුවේ. සීරුවට බෝතලෙන් බෝතල් කෝප්පෙට වක්කරල තමයි බිව්වේ. ඉතින් යාලුවෙක් බොන වෙලාවට කෝප්පෙට සියුම් පහරක් එල්ල කරලා වතුර ඉහිරවල ඒකෙනුත් විනෝදයක් ලද අවස්ථා අඩු නැහැ.

ටික දවසක් ගියාම කරත්තේ යන කට්ටිය යාලුවෙන එක අහන්න දෙයක් නෙමෙයිනේ. ඊට පස්සේ රස සාගරයයි. ඉතින් දඟලනකොට සීයා කෑ ගහනවා පිටිපස්ස බරයි. හරකට අමාරුයි කියල. ඇත්තටම කට්ටිය කරත්තේ පිටිපස හරියට ගියාම බෝන් ලීය ඉහලට යනවා. එතකොට හරකාගේ හිස ඉහලට යනවා. ඌට ඇවිදින්න අමාරුයි. ඒත් අපි කියන දේ අහන්නේ නැත්නම් සීයා බෝන් ලීය උඩින් වාඩිවෙලා සත්වයාට පහසුව සලස්වනවා.
සමහර කරත්ත ගමන් කරද්දී  සුට්කේස් බර වැඩි වුනහම පඩංගුව බිම ඇතිල්ලෙනවා. එතකොට සුට්කේස් එකක් හෝ දෙකක් ඇතුලට ගන්න වෙනවා.
වැස්ස වෙලාවට අපි තෙමෙන්නේ නැතිව හොඳට  ඇතුලේ ගියත් හරකා තෙමෙමින් තමයි කරත්තේ අදින්නේ. එක දවසක් මට මතකයි සියා කරත්තයේ  ඉදිරිය වහලක් යටට ගෙන වැස්ස ටිකක් තුරල් වෙනකල් හිටියා. එහෙම සතා ගැන හිතන අය අඩුවෙන් හිටියේ.

කරත්තේ දක්කන්න සීයාට කෙවිටක් තිබුනත් ඔහු ඒක භාවිතා කළේ අඩුවෙන්. පස්සේ කාලෙක අපි ගිය කරත්තෙක තරුණයෙක් හිටියේ. ඔහුනම් හරකාට බැට දෙනවා. අපි කෑ ගහනවා ගහන්න එපා කියල. එක දවසක් අක්ක කෙනෙක්ට 'දුවනකොට ගහන්න එපා'  වෙනුවට 'ගහනකොට දුවන්න එපා' කියල කියවුණා. ඕක ඇති ඉතින් අපිට හිනාවෙන්න.
ඒ වගේ තරුණ ජවය ඇති කරත්තකරුවෙක් ඉන්න තව කරත්තයක් පාරේදී එක පෙලට වැටුනම සමහර වෙලාවට රේස් යනවා. දැන් තරම් පුළුල් මාවත් මීගමුවේ නොතිබුනත් කරත්ත දෙකකට රේස් යන්න බැරිකමක් තිබුනේ නැහැ. අපිටත් හරි විනෝදයි.

කරත්ත හිටපු ගමන් අනතුරුවලටත් ලක්වෙනවා. එකක් තමයි අධික රස්නේ ඇති දවස්වලට කරත්තේ රෝදයට ගහල තියන පට්ටම ගැලවෙන එක. පට්ටම කියන්නේ රෝදය ගෙවීම වලක්වන්නත්, ඝර්ෂණය අඩු කරන්නත්  රෝදයට පිටතින් සවිකරන ලෝහ වෘත්තය. ඕක රෝදෙන් වෙන්වෙනවා. ස්පෙයාවීල් නැහැනේ.  අන් කරත්තකරුවන්ගේ ආධාරයෙන් ඒක තාවකාලිකව සවි කරගන්නවා. වෙනම අරන් යනවනම් දැකල නැහැ. එදා හවසට ආයේ කම්මලකට ගෙනිහින් සර්විස් කරගන්නවා ඇති.

අනිත් අනතුර තමයි හරකාව කරත්තයේ ලනුපට වලින් ගැලවෙන එක. හරකා දන්නේ නැහැ. ඌ සුපුරුදු ලැසි ගමනින් යනවා. කරත්තය ඉදිරියෙන් ඉහලට එසවෙනවා. ඇතුලේ අය පහලට රූටලා කරත්තේ අනිත් කොනේ හෝ පාරේ. කරත්ත දක්කන කෙනා දුවල ගිහින් සතාව ඇදගෙන ඇවිත් ආයේ සවි ශක්තියට ගැට ගහනවා.

සමහර වෙලාවට හරකාගේ කුරවලට ගහලා තියන ලාඩම් ගැලවෙනවා. ඒවානම් ගන්න මහන්සි වෙන්නේ නැහැ. පාරේම දාලා යනවා. එදාම ගිහින් අලුතින් ලාඩම් ගහගන්නවලු.

මේ විදියට ගෙවුණු කරත්තයේ ගමන නිමාවුණේ මම  ගෙදර ළඟ පාසලට යන්න ගත්තට පස්සේ. ඊට පස්සේ බලා ඉන්දිම වගේ මිනිසුන්ගේ ජිවිත කඩිනම් වුණා. නිවී සැනහිල්ලේ පාසල් යන, පාසැල ඇරී නිවෙස් බලා යන හෙමින් ගමන නැතිවෙලා ගියා. පාසල් බස් රථ සේවා පටන් ගත්තා. ඊටත් පස්සේ පුද්ගලික වෑන් සේවා.

දැන්නම් මිගමුවෙත් ඉතා කලාතුරකින් තමයි මේ ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වෙන්නේ. මිනිසුන්ගේ හදිසි ජීවන රටාවට  ඔරොත්තු නොදී පරාජය භාරගෙන සේවයෙන් ඉවත් වෙන්න ඇති.

 මේ විශේෂ කරත්ත මෝස්තරය මීගමුවට පමණක් සීමා වුනේ කොහොමද? අනිත් ප්‍රදේශවලට පැතිරුනේ නැත්තේ ඇයි ? ඒ ගැන හිතාගන්න බැරිවුණා.

(පින්තුර අන්තර්ජාලයෙන්)

7 comments:

  1. කතාව හරි අපුරුයි. අපේ පලාත්වල තිබුණා බර කරත්තය කියා ගොනුන් දෙදෙනෙක් අදින කරත්ත. රබර් වගාව සරුවට තිබුණු අප ජීවත්වූ කළුතර ප්‍රදේශයේ 'රබර් රොටි මිටි' ප්‍රවාහනය කලේ බර කරත්ත වලින්. ඊට පසුවයි ලොරි ආවේ. ඒ වගේම ගමන් බිමන් යාමටත් පාසැල් සිසුන් සඳහාත් තිබුනේ ඔබ කියන ආකාරයේම බක්කි කරත්ත. අපට මතකයි ඒ කරත්ත වළ ගොනුන්ගේ බෙල්ලේ ගෙජ්ජි වැලක් බඳිනවා. කරත්ත පෙළ එකට යන විට ගෙජ්ජි වැල් වලින් විශ්මිත සංගීත රටා මැවෙනවා. ඒ කාළෙත් ජවයක් තිබුණු තරුණයින්ට තම ගමන් බිමන් සඳහා 'රේස් කරත්ත තිබුණා'. ඔවුන් රේස් කරත්තයෙන් කුඩා පාරවල 'අධිවේගයෙන්' යනවිට කවුරුත් පාර ඉඩදී අයින් වෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තව කොටස් එකතු කළාට. ගෙජ්ජි ගැන ලියන්නත් අමතක වුණා. ගෙජ්ජි බැඳපු හරක් ආඩම්බරයි කියල අපි හිතුවේ.
      රේස් කරත්ත වලට රේස් තිරික්කල කියල කිව්වේ.

      Delete
    2. Dayawee,
      ඔබට මතක නැද්ද ගාලු පාරේ පොල් අතු තොග පිටින් පටවගෙන උදේ පාන්දර යන බර කරත්ත...
      මම 1991 වගේ කාලයේදී දැකල තියෙනවා පාන්දර එළිය වැටෙන්නත් කළින්...
      ලන්තෑරුම් එහෙමත් එල්ලගෙන තමයි එයාල යන්නේ...
      මම මේ සිද්ධි බොහෝ වෙලාවට දැක්කේ කටුකුරුන්ද කළුතර අවටදී වගේ තමයි මතක...

      Delete