Tuesday 17 July 2018

රෝග සුවකරන වෙද චක්‍රය Medicinal Wheel : ඇමරිකාවේ ආදි වාසීන් 9

ඈත අතීතයේ විසු මිනිසුන්ටත් රෝග වැළඳෙන්නට ඇති. ඔවුහු රෝගවලට ජයගන්නට  ඉඩදී සිටියේ නැත. ඒ සඳහා මුහුණ දිය යුතු ආකාරයක් ඔවුන් සතුව තිබුණි. ඇමරිකාවේ වසර දස දහස් ගණනාවක් විසු ආදී වාසීන් රෝග හා මනුෂ්‍යයා ගැන සිතා, ක්‍රියාකර තිබෙන්නේ වෙනස් ආකාරයකටයි.
එහිදී ඔවුහු භාවිතා කළ සංකල්පය වන්නේ ස්වභාවික වෛද්‍ය චක්‍රයයි (Medicinal Wheel). මෙය සිතා ගැනීමට නොහැකි ගැඹුරු සංකල්පයක් නොවේ. එහෙත් නවීන දැනුම හා සැලකීමේදී සරලද නොවේ. වෙද චක්‍රය යනු පුද්ගලයා මැද සිටින සේ සැකසුනු කතිරයක් සහිත රවුමකි. මෙය ජිවන චක්‍රයට සියලුම දේ සම්බන්ධ වන අයුරු නිරුපනය කරයි. මේ තුලින් ජිවිතයට පාඩම් 100 කටත් වඩා ඉගැන්වෙන බව පැවසේ.


චක්‍රයෙන් ජිවිත චක්‍රයත්, දිශාවලින් ස්වභාව ධර්මයේ හා මනුෂ්‍යයාගේ විවිධ අංශත් පෙන්නුම් කරයි.  චක්‍රයේ පෙනෙන්නට තිබෙන දිශා හතරට අමතරව උඩ, යට හා මැද ඇතුලත්ව දිශා හතක් ඇති ලෙසයි සලකන්නේ. ආදිවාසීන් විස්තර කරන බොහෝ දේ හතර හා හත ඉලක්කම් සමග බැඳී පවතියි.
ජිවිතයේ අවස්ථා හතර:  ඉපදීම, තුරුණු විය, වියපත් වීම, මරණය.
ඍතු හතර :  වසන්තය, ගිම්හානය, ශරත් ඍතුව, සීත ඍතුව
ජිව ස්වභාව හතර:  soul, mind, body, heart
මූල ධාතු හතර:  ගින්දර, වාතය, ජලය, භුමිය
වටිනාකම් හත:  අවංකබව, සත්‍යවාදීබව, නිහතමානිබව, ආදරය, ඥානය, ධෛර්යවන්ත බව, ගරුකිරීම
මෙම මුලික සැකසුම,  වර්ණ, නොනවතින චක්‍රියබව  සෑම ගෝත්‍රයකම පාහේ එක් බඳු වුවත් ඒවාට අදාළ අදහස් තරමක් වෙනස් බව පෙනී යයි. .
මේ එක් එක් දිශාවට අගයයන් හා සංඛේත ඇත. එක් එක් දිශාවකට අයත් මනුෂ්‍ය කොට්ටාශයක්, සත්වයෙක්, ශාකයක්, ඍතුවක්, පෞරුෂ ස්වභාවයක්, සංඝටකයක් ඇතුළු තව බොහෝ දේ ඇත. මේ සියල්ල ඔවුන් ජීවත්වූ ඇමරිකා මහාද්වීපයේ ඔවුන්ගේ පරිසරයේ සිදුවීම් හා සම්බන්ධය.

මේ සියල්ල ස්වභාව ධර්මයාගෙන් ලැබුණු දායාද ලෙස සැලකේ. එසේම ඒවා තාර්කික ය.
 උදාහරණ ලෙස: නැගෙනහිර  දිශාවෙන් ඉර නගියි. කහ පාටය. ගින්දර මෙනි. වසන්තයේ සංඛේතයයි. ආලෝකය, සමාජීය වටිනාකම්, නව අදහස්, දරුවන් වැනි ආරම්භක දේ මෙම දිශාවට අයිතිය.
උතුර බුද්ධිය, අවබෝධය, පරිනත පුද්ගලයන්, ශක්තිමත් බව පෙන්නුම් කරයි. හිම වැටෙන උතුරට ශිශිර ඍතුව අයත්ය. හිම හා පරිනත පුද්ගලයන්ගේ හිසෙහි වර්ණය ශ්වේත වර්ණයයි.
මේ අන්දමින් සියලු දිශාවන්ට එහි අඩංගු වන දේ කෙරෙහි සමබන්ධතාවක් ඇත. එසේම ඒවා අනිත් දිශාවන්ට සම්බන්ධය.
චක්‍රයේ මැද එක් පුද්ගලයෙක්ගේ ජීවිතයත් ඒ වටා ඇති දේවල සමබර බවත් නිරුපනය  කරයි. මේ සියල්ල කතිරය මගින් එකිනෙකට සම්බන්ධවේ.  පුද්ගල කේන්ද්‍රීයව මේ සියල්ල සහසම්බන්ධ වේ.
මෙමගින්  ආදිවාසීන් ලොව දුටුවේ කෙසේදැයි වැටහීමක් ලැබේ. ජිවය විකාශනය වූ අයුරු, ස්වභාවික ලෝකය වර්ධනය හා එක්ව ක්‍රියාකරන ආකාරය, මේවා එකිනෙක බැඳී ඇති අයුරු, සහ සියලු දේ දෛවෝපගත නියමයන් වෙත ගමන් කරන අයුරු චක්‍රයෙන් පෙන්වයි. ඔවුහු ලෝකයේ සිදුවීම්වල චක්‍රීය ස්වභාවය පරිසරයේ නිර්මාණ වලින් අවබෝධ කරගත්හ. ඔවුන්ට අනුව කාලය පවා රේඛිය දෙයක් නොවේ, චක්‍රියයි.

මෙම දිශා දෙකක් අතර ඉඩ අතුරු දිශා තුනකට වෙන්කර ඇති අතර එහිදී ලැබෙන කොටස් 12ට තාරකා රාශි ඇතුලත් කර ඇත. වෙද චක්‍රයෙ තාරකා විද්‍යාත්මක නියමයන් ද  නිරුපනය  වන බවට විග්‍රහ ඇත.
මේ අනුව මෙම එක චක්‍රයක් මුළු විශ්වයමය. මෙම චක්‍රයෙන් මුළු විශ්වයේම තිබෙන සියල්ලේ එකට බැඳීම පිලිබඳව කියා දෙයි. එසේම වෙනස්වීම නොවැලැක්විය හැකි බව, ජීවිතය වර්ධනය වන ක්‍රියාවලියක් බව මෙන්ම අරමුණක් කරා යාමේදී සියල්ලේ බලපෑම හා සමස්ත බව ගැන අදහසක් දෙයි.
කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයෙන් හමුවූ චක්‍රයක් 

මෙවැනි පැරණි වෛද්‍ය චක්‍ර ආකෘති 137ක් පමණ කැනඩාවේ විවිධ ප්‍රදේශවල ඇත. ඇමරිකා එ.ජ., දකුණු ඇමරිකාවේ විවිධ ප්‍රදේශවලත් ඉපැරණි චක්‍ර සටහන් හමුවී ඇත. කැනඩාවේ ඇල්බර්ටා ප්‍රාන්තයේ මේජර්විල් වලින් හමුවී ඇති medicine wheel වසර 5000ක් පමණ පැරණි බව කියවේ.




වෛද්‍ය චක්‍රයේ රෝග සුවකිරීම සමග බැඳීම විමසුවහොත් එය දැනට භාවිතා වන බටහිර වෛද්‍ය ක්‍රමවල සංකල්පයන්ගෙන් වෙනස් වේ.
ආදිවාසීන්ට අනුව පුද්ගලයෙක්ට සම්බන්ධ වෛද්‍ය කර්ම වලදී  මුලික සංකල්ප හතරක් භාවිතා වේ.
පුද්ගලයාගේ අධ්‍යාත්මික, මානසික, භෞතික හා චිත්තවෙගිය ස්වභාවයන්ය.
රෝගයක් යනු මෙම චක්‍රයේ අසමතුලිත බවක් ඇතිවීමයි. එය සමතුලිත කිරීමට පුද්ගලයා මේ අංශ හතර කෙරෙහිම අවධානය යොමුකළ යුතුවේ.

ලෝකයේ අනෙක් විද්‍යාවන්හිත් මෙම අංශ ගැන අවධානයක් තිබුනත් තනි තනි මිනිසා  ඒ සම්බන්ධ වගකීම භාරගැනීමක් නැත.  එනම්, අධ්‍යාත්මික අංශය පුජ්‍ය පක්ෂය හෝ පුජකයන්ට භාර දෙයකි. මානසික අංශය ගුරුවරුන්ගේ හා වෙනත් මග පෙන්වන්නන්ගේ වගකීමක් ලෙස සිතයි. ශරීරයේ රෝගී තත්වයන්ට ප්‍රතිකාර කිරීම වෛද්‍ය අංශයේ වගකීමකි. පුද්ගල චිත්තවේගී අංශය දියුණු කිරීමට පවුලේ සාමාජිකයන්, මිතුරන් බලපෑම් කරයි. පුද්ගලයා උදාසීන ලෙස  එක් එක් අංශය කෙරෙහි වෙන් වෙන්ව සහභාගී වේ.
වෙනත් වෛද්‍ය ක්‍රමවල බොහෝ දෙන සිතන්නේ වෛද්‍යවරයා බෙහෙත් හා රෝගය හඳුනාගැනීමේ භෞතික ක්‍රම ගැන වගකිවයුතු බවයි. ඒ නිසාම සුවවීමේ ක්‍රියාවලියට රෝගියාගේ ක්‍රියාකාරී සහභාගිත්වයක් නැති ස්වභාවයක් පෙනෙයි. මේ ආකල්ප නිසා ඉක්මන් සුවය නොලැබුණහොත් තරහ හෝ කලකිරීම ඇතිවේ. ඵලය වන්නේ තම රෝගයට ධනාත්මක පිළිතුරක් නොලැබීමයි.

ආදිවාසී රෝග සුවකිරිමේදී  ජිවිතයේ යම් අසමතුලිතතාවක් හටගතහොත් ඒ ගැන අවධානය යොමු කර එය නැවත සමතුලිත කරගැනීම රෝගියාගේ වගකීමකි. රෝගී පුද්ගලයා තම සිරුරේ වගකීම වෙනත් අයෙකුට පවරා ඔවුන් වෙතින් ඒවා නිරෝගී වනතෙක් බලා නොහිඳී. තමා තුළ ඇති ශක්තිය අවදි කරවාගෙන, ඒ එක් එක් අංශ ගැන අවධානයෙන් ඒවා දියුණු කරගැනීමෙහි යෙදෙයි. ප්‍රතිඵලය පිලිබඳ තමාගේ අභ්‍යන්තර පාලනයක් ඇතිබව දනියි.
රෝගී පුද්ගලයෙක් අදාළ ශාක සාරමය ප්‍රතිකාර ලබාගන්නා අතරම රෝගය ගැන දැනුවත් වීම, රෝගය සුවවීම උදෙසා යාඥා කිරීම, මනස සුවපත්ව තබාගැනීමට භාවනා කිරීම, චිත්තවේගයන් ගැන සැලකිලිමත් වීම ක්‍රියාකාරීව සිදු කරයි. මෙහිදී දෘශ්‍ය සංඛේතයක් ලෙස වෙද  චක්‍රය භාවිතා කරයි.

මිනිසා තුළ ස්වාභාවිකවම සමතුලනය කිරීමේ හැකියාව ඇතිබව ආදිවාසීහු කියති. අප මේ සංඛේත ගැන නොදැනුවත්ව වුවද ඒවාට අනුගත බව ඔවුහු උදාහරණ මගින් පෙන්වා දෙති. දැඩි ලෙස ගිලන්ව  රෝහල්ගත වූ විට නොයෙක් ආගමික හා අධ්‍යාත්මික උපකාර ලබා ගැනේ. ඒ මගින් චිත්තවේග සමනය කරගැනිම එක අවස්ථාවකි.
මානසික කරදරයක් පැමිණිවිට රෝගී ස්වභාවයක් දැනේ. එය දොම්නස ඇති කරයි. ආගමික හෝ අධ්‍යාත්මික කරුණු ඇසුරෙන් මනස සුවපත් කරගත හැකිවේ. එවිට රෝගී බව පහව ගොස් සතුට ඇතිවේ.

වෙද චක්‍රයේ සංඛේත භාවිතය ගැන අවබෝධ කරගැනීම රෝග සුව කිරීමේදී පමණක් නොව නවීන  ජිවිතයේ බොහෝ දේවලදී යොදවා ගත හැකිවේ.
කණ්ඩායම් ක්‍රීඩාවකදී පුහුණුකරු කණ්ඩායමේ සාමුහිකත්වය නැංවීමට team spirit එක ඇතිකිරීමට ක්‍රියා කරයි. එමගින් මානසික ශක්තිමත් බවක් ඇතිවේ. එම ශක්තිය මගින් ශාරීරිකව වඩා හොඳින්  ක්‍රීඩා කිරීමට හැකියාව ලැබේ. හොඳින් ක්‍රීඩා කිරීම ජයග්‍රහණ ලබාදෙයි. එයින් ලැබෙන සතුට නැවතත් කණ්ඩායමේ සාමුහික බව වර්ධනයට හේතුවේ.
පුද්ගල පෞරුෂ වර්ධනයටත් මෙම චක්‍රය උපයෝගී කරගත හැකිවේ.

යුරෝපා ජාතින් ඇමරිකා මහාද්වීපය ආක්‍රමණයෙන් පසු ඔවුහු ආදිවාසි ගෝත්‍රිකයන්ගේ නැගෙනහිරට සම්බන්ධ අධ්‍යාත්මික දේ බොහොමයක් ඉවත් කරන්නට කටයුතු කළහ. ආගමික නායකයන් මරා දැමුහ. සුර්ය නර්තන වැනි සංස්කෘතික අංගයන් තහනම් කළහ. භුමියේ ඇති පුජනිය බව නොසැලකුහ. දරුවන් දෙමාපියන්ගෙන් වෙන්කර නේවාසික පාසල්වලට යැවූහ.
මෙනයින් නැගෙනහිර අංශයම බිඳ වැටි ගෝත්‍රික සමාජයන් අසමතුලිත විය. චක්‍රය බිඳ වැටුණි. ප්‍රතිඵලය වූයේ මානසික ශක්තිය අඩුවී  රින ආකල්ප වැඩිවීමයි.  නිවැරදි තීරණ ගත නොහැකිව ඔවුන් තෝරාගත්තේ සුරා පානයයි. ඵලය වුයේ සමාජයෙන් විරෝධතා එල්ල වීමයි. එහි ආදීනව පෙන්වන්නට කෙනෙක් නොමැතිව ගෝත්‍රික සමාජයන්  විනාශ මුඛයට පත්විය.
ආදිවාසිනට අනුව මෙසේ බිඳ වැටුණු සමාජයක් යලි ස්ථාපිත කරන්නට පරම්පරා හතක්  ගතවේ.  1800 ගණන්වල සිදුවූ බිඳ වැටීම ක්‍රමයෙන් සකසා ගනිමින් සුරාවෙන් ඉවත්වී, ධනාත්මක ආකල්ප ඇති කරගනිමින් ශක්තිමත් වෙමින් දැන් නැගී සිටින්නේ එම හත්වෙනි පරම්පරාවයි.

ඔවුහු සියලු මාධ්‍යයන් හා හැකියාවන් උපයෝගී කරගනිමින් ඔවුන්ගේ සම්ප්‍රදායයන් ගොඩ නගමින් ලොවට එම විරෝධාර ආකල්ප ලබා දෙමින් සිටිති.
ඇමරිකානු ආදිවාසීන්ට අනුව සෑම පුද්ගලයෙක්ම ස්වභාව ධර්මයාටත්, ස්වකීය ස්වභාවයටත් අනුගත විය යුතුය. ඔවුන් සැමට දෙන පණිවිඩය
"""තමා තුල ඇති චිත්තවෙගයන්ට සවන් දෙන්න. ඒවා හඳුනාගන්න. ඔබේ වටිනාකම් දැනගන්න. ඒවා ඔබේ තීරණ ගැනීමේ හැකියාව හා ක්‍රියාවන් ශක්තිමත් කරයි. එය ඔබට ඔබ වටා ඇති පරිසරයට හා ලොවට අනුගත වී සහජීවනයෙන් ජීවත්වීමට අවස්ථාව ලබා දෙයි. """
Keep harmony within nature and within ourselves. Listen to your emotions and be aware with your values. This will strengthen your decisions and actions. It allows you to live in harmony with the world around you.



උදව්:
The Elements of the Aborigine Tradition: Cowan, James G.
www.warriormindcoach.com/blog/the-medicine-wheel
www.ictinc.ca/blog/what-is-an-aboriginal-medicine-wheel
www.ancient-origins.net/ancient-places-americas
https://www.youtube.com/v=fIGrFHy463g
https://www.youtube.com/watch?v=tK-RdmQwIvIe circle, being primary, in

4 comments:

  1. ඔබගේ හරබර ලිපිය කියවූවා. දිශාවන් පිලිබඳ කැනේඩියානු ආදිවාසිකයින්ගේ සංකල්පයට සමානකම් දක්වන ක්‍රියාවලියන් දැනට ක්‍රමක්‍රමයෙන් අභාවයට යන අපගේ පැරණි තොවිල් පවිල් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදියේත් ගැබ්වෙලා තිබෙනවා. තවමත් අපේ ආදී වාසිකයින් වන වැදි ජනතාව මේ ක්‍රම අනුගමනය කරනවා. මා අසා ඇති ආකාරයට, මෙම සම්ප්‍රදායයන් සමහර අප්‍රිකානු රටවල ප්‍රධානතම වෛද්‍ය කර්මයන් ලෙසත් ක්‍රියාත්මක වෙනවා.
    මා දැනට ජිවත්වන ඕස්ට්‍රේලියාවේ ඇබෝරිජින් ආදීවාසිකයින්ට වසර 65,000 ක පමණ අතීතයක් ඇති බව පිළිගැනීමක් තිබෙනවා. ඔවුන් විසින් පරිහරණය කරන ලද ගල් ගුහා වල මේවා පිලිබඳ සටහන් තිබෙනවා. මෙයින් එක ප්‍රදේශයක් මධ්‍යම ඕස්ට්‍රේලියාවේ "උලුරු ට්ජුටා" (Uluru Tjuta) යුනේස්කෝ රක්ෂිත ප්‍රදේශය. කෙසේ වෙතත් බටහිර ආක්‍රමණය නිසා මේ ආදී සංස්කෘතිය අතිශයින් විනාශයට පත්වෙලා. දැන් දැන් මේ සම්බන්ධයෙන් යම්කිසි සාධනීය පියවර ගනිමින් සිටින බව පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. ආදිවාසි මුලයන් එකම බව මටත් බොහෝවිට දැනිල තියනවා.
      මේ ලිපියට තොරතුරු හොයද්දි ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් ගැනත් ටිකක් කියෙව්වා. දෙකොටසම යුරෝපින්ගේ අතවරවලට ලක්වෙලා මේ දැනුම් සම්භාරය නැතිවෙලා තියෙන්නේ. දයාරත්න මහතාට පුළුවන්නේ තොරතුරු හොයල ලිපි කිහිපයක් ලියන්න.

      Delete
  2. ඉතාම හරබර ලෙස ගලපමින් විශාල මහන්සියක් ගෙන ලියූ වටිනා ලිපියට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. මගේ වෙහෙස තේරුම් ගැනීම ගැන සතුටුයි. මාස ගණනක් තිස්සේ පොත්, ලිපි කියවමින්, පුද්ගලයන් විමසමින් සංකල්පය තේරුම් ගන්නත් එහි රෝග සුව කිරීමට ඇති සම්බන්ධය සොයන්නත් වෙහෙසුණා. මට වැටහුණු දේ හැකිතාක් සරලව ලියන්නයි උත්සහ කළේ.බොහොම ස්තුතියි!

      Delete