Monday 26 March 2018

කාසි වාසි - නමත් ලේසි

සාමාන්‍යයෙන් ඕන රටක කාසිවලට හෝ නෝට්ටුවලට ඒ කාසියේ හෝ නෝට්ටුවේ වටිනාකමනේ කියන්නේ. සත පනහේ කාසිය නම් සත පනහ කියනව. රුපියලේ කාසියට රුපියල කියනව. එක අතකට වෙන මොනවා කියන්නද? ඒත් කාසි වලට හුරතල් නම් දීල ඒවායින් කතා කරන රටක් දන්නවද?
.
.
.🇨🇦
හ්ම්.. කැනඩාව තමයි.  🇨🇦 🇨🇦
ආව දවස්වල හොල්මන් වගේ.. කාසි අඳුරන්නේ නැතිව මදිවට ඒවාට කියන නම් හොයාගන මතක් තියාගන්නත් එපායැ.
එහෙම වෙනත් නම් කියන්න පටන්ගත්තේ ඇයි කියල හරියටම හේතුවක් හොයාගන්න බැරි වුනත් කියන අන්වර්ථ නම් බැලුවම යම් හේතුවකුත් තියනව.

ළඟදි භාවිතයෙන් ඉවත්වුණු සතයේ කාසියට කියන්නේ Penny කියල. එංගලන්තයේ විදියටයි ඒ.  කාසිය අයින් කරන්න වුණේ ඒක තඹ වලින් මුද්‍රණය කරන්න යන වියදමට සරිලන වටිනාකමක් නැති කමයි, භාණ්ඩවල මිල $ 2.99 වගේ දාන එකෙන් වලක්වන්න කියලයි කිව්වේ. එක කාසියක් මුද්‍රණය කරන්න සත විස්සක් යනවලු. මේ වගේ හේතුවක් නිසා ලංකාවේ සත පහේ හතරැස් තඹ කාසිය අයින් කළේ.  වැඩකට නැති පෙනී කාසිය හින්ද නිරපරාදේ ලාච්චු පිරෙනවා කියලත් මහජනයා පැමිණිලි කලාලු. භාවිතයෙන් අයින් කරන්න අවුරුදු දෙකකට පෙර මුද්‍රණය නවත්තල, ඊළඟ අවුරුද්දේ බෙදාහැරීම නැවැත්තුවා. ජනතාවට දැනුම්දීල 2013 පෙබරවාරි 4 වෙනිදා ඉඳන් බෙදාහැරීම නතර කළේ. තමන් ළඟ තියන සතේ කාසි මුල්‍ය ආයතනයකට දීල ඊට සමාන මුදල් ලබාගැනීමේ පහසුව සැලසුවා. සම්පුර්ණයෙන් භාවිතයෙන් ඉවත්වෙන්න තවත් අවුරුදු තුනක් ගතවුණා. සියලු මිල ගණන් අසන්න සත පහට වටයන්න කිව්වත් තාම මිල ගණන් සතේට ප්‍රදර්ශනය නම් තියනව.


මේ අනුව දැනට භාවිතා කරන අඩුම වටිනාකම තියන කාසිය සත පහ. ඒකෙ සුරතල් නම Nickel. නිකල් කියන්නේ ලෝහයක්නේ. ඒ ලෝහයෙන් තමයි මේ කාසිය හදන්නේ. කැනඩාවේ නිකල් නිධි තියනව. මේ කාසියේ එක පැත්තක බිවරයා කියන සතෙක් ඉන්නේ. අනිත් පැත්තේ ඉතින් සුපුරුදු පරිදි රටේ රාජාණ්ඩු නායිකාව එලිසබෙත් රැජිනගේ පින්තුරේ.

ඊළඟ වටිනාකම තියන කාසිය Dime ඩයිම් කියන අන්වර්ථ නමින් හඳුන්වන සත 10. ඇමරිකාවෙත් සත දහයට ඩයිම් කිව්වත් එයාලගේ කාසියේ මුද්‍රණය කරලා තියෙන්නේ ඒ නමමයි. කැනඩා කාසියේ 10 cents කියල තියෙන්නේ. ප්‍රමාණයෙන් කුඩාම කාසිය වෙන මෙහි එක පැත්තක sail boat නමින් හඳුන්වන රුවල් ඔරුවක පින්තුරය තියෙන්නේ. ඩයිම් එක හදන්නෙත් නිකල්වලින් නිසා ඒකත් නිකල් රිදී පාටයි.


අපේ රටේ වගේම සත 25 තමයි ඊළඟ වටිනාකම තියන කාසිය. ඒකට කියන්නේ කාල කියන තේරුම තියන Quarter කියන නමයි. ඩොලර් එකෙන් හතරෙන් එකයිනේ වටිනාකම. ඒ කාසියේ රැජින නැති පැත්තේ තියෙන්නේ කැරිබු කියන කැනඩාවේ ජීවත්වෙන මුවෙක්ගේ හිස. නිකල් වලින් හදන්නේ මේ කාසියත්. සත පහේ කාසියට තරමක් ප්‍රමාණයෙන් සමානයි.

සත පනහේ කාසියක් වරින් වර මුද්‍රණය කළත් එය එතරම් භාවිතයේ පවතින කාසියක් නෙමෙයි. ඒ ගැන කවුරුත් කතා කරන්නෙත් නැහැ. ඒකට විශේෂ නමකුත් නැහැ.
ඒ නිසා සත විසිපහට පස්සේ සාමාන්‍ය භාවිතයේ පවතින්නේ සත සියයක් වටිනා ඩොලර් එකේ කාසියයි. ඩොලර් එක නොකියා ඒකට කියන්නේ Loonie කියල. එහෙම කියන්න හේතුව කාසියේ ඉන්න කුරුල්ලා. Loon කියන කුරුල්ලා වතුරේ පීනන පින්තුරයක් තියෙන්නේ එක පැත්තක. නිකල් හා තඹ මිශ්‍රණයකින් හදල තියන නිසා රත්රන් පාටට හුරු පැහැයක් තියෙන්නේ. තරමක් විශාල වගේම අනිත් කාසි වලට වඩා බරයි.
කාසියේ ඉන්න කුරුල්ලෙක්ගේ නමින් කාසිය හැඳින්වීම හරි අමුතුයි නේද?


 මීළඟ හා වැඩිම වටිනාකම තියන සංසරණයේ පවතින කාසිය ඩොලර් දෙකේ කාසියයි. ලෝහ දෙකකින් හදල තියන ඩොලර් දෙකේ කාසිය මැද කුඩා රවුම තඹ 92%ක්, ඇලුමිනියම් හා නිකල් සුළු ප්‍රතිශතයක් අඩංගු ලෝහ මිශ්‍රණයකින් හදල තියෙන්නේ. වටේ රිදී පාට රවුම තනිකරම නිකල් වලින් හදන්නේ. අනිත් කාසිවලට වඩා විශාලත්වයෙනුත්, බරිනුත්, ඝනකමිනුත්  වැඩියි.  මැද රන්පාට රවුමේ පෝලර් වලහෙක්ගේ පින්තුරයක් තියෙන්නේ. අනිත් පැත්තේ සුපුරුදු ලෙස රැජින.
මේකට කියන නමනේ වැඩේ. Toonie. ලූනි දෙකක්නේ. ඒ හින්දලු ටූනි කියන්නේ.
මෙතැනින් එහා වටිනාකම් වලට කාසි නැහැ. නෝට්ටු භාවිතා වෙන්නේ.
මේ කාසි හැම එකේම රැජින ඉන්න පැත්තේ රැජිනගේ නමයි D. G. Regina කියලයි තියනව දකින්න ඇතිනේ. එකෙන් අදහස් වෙන්නේ දෙවියන්ගේ ආශීර්වාදයෙන් කියන එකයි. ඒක රාජාණ්ඩු තියන වෙනත් රටවලත්  භාවිතා වන දෙයක්.

සමහර වෙලාවට මේ මෝස්‌තර වෙනස් කරලා සමරු කාසි හදනවා. ඒවත් සාමාන්‍ය සංසරණයට දානවා. මේ සියලු කාසි මුද්‍රණය කරන්නේ කැනඩාවේම Royal Canadian Mint හිදී. ඒ ස්ථානය හා ක්‍රියාවලි ගැන ලියු ලිපිය මෙතනට තට්ටු කරලා කියවන්න පුළුවන්.


උදව් :
www.coinsandcanada.com
www.dreamstime.com
www.economist.com/blogs/newsbook/2013

9 comments:

  1. ඉතාම වටිනා දැනුමක් ස්තුතියි බුද්ධිනී

    ReplyDelete
    Replies
    1. දිරිමත් කිරීම්වලට ස්තුතියි ගුණසිංහ මහත්මයා

      Delete
  2. ඉතාම වටින ඒ වගේම හොඳ අධ්‍යනයකින් කෙරුණු ලිපියක්. ඇත්තටම ලංකාවට අවශ්‍ය මේ වගේම පරිපුර්ණ ලිපි. ස්තුතී ඔබට. මුහුණ පොතේ බෙදාහදා ගන්න අවසරයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු දිරියක් දුන්නට. 😊😊 කැමති ලෙසක බෙදාගන්න.ඉඩ ඇති විටෙක අනිත් ලිපිත් කියවා ගුණාගුණ කියන්න.

      Delete
  3. ගම කොහෙද මොරෙන්තුඩුවේ ද

    ReplyDelete
  4. මමත් කුඩා කාලයේදී කාසි එකතු කළා. කැනඩාවේ කාසිත් මා ළඟ තිබුණා. මෙම කාසිත් තිබුණාද මතක නැහැ. මේ කාසි සියල්ල ලංකාවේ බාල ද්ක්ෂිකාවක් වන ඥාති දියණියකට තෑගි කළා. ඔ‍බගේ Blog විස්තරය ඇයට යවනවා. මෙය වැදගත් සටහනක්.
    ඉහල Anno.... ගම කොහෙද කියා අසා තිබෙනවා නේ. මමත් ඒ ගම පැත්තෙම කෙනෙක් !

    ReplyDelete
    Replies
    1. අගය කිරීමෙන් දෙන දිරියට ස්තුතියි. තව ලිපියක් ඇති 'කාසි හදන හැටි: Royal Canadian Mint' කියල. ඔබේ ඥාති දියණිය බලන්න කැමතිවෙයි.
      මම මීගමුවේ.🐠

      Delete
    2. ඔබගේ Royal Canadian Mint හි 'කාසි හදන හැටි' Post එකත් කියවුවා. හරිම වැදගත් ලිපියක්.කරුණු සොයා යාම සඳහා ඔබට ඉතා ඉහල මට්ටමක හැකියාවක් තිබෙනවා. ඒ ගැන මගේ ප්‍රණාමය. එම ලිපියත්, ලංකාවේ සිටින මගේ ඥාති දියණියට යැව්වා. කලින් කියවූ ලිපියේ තොරතරු වල සාරාංශයක්, ඇය බාලදක්ෂ මාසික රැස්වීමේදී කියවලා 'BRAVO !' එකක් ලැබිලා. මේ ලිපියත් අදම යවනවා.
      ඕස්ට්‍රේලියාවේ Mint එක තිබෙන්නේ කැන්බරා නගරයේ. ඉඩ ලැබුණු විටක එය බැලීමට යාමට තීරණය කළා.
      ඔබට ජයම!

      Delete
    3. මා ලියන දෙයින් කවුරුන් හෝ ප්‍රයෝජනයක් ලැබීම ලොකු සතුටක්. Mint එකක් බැලීම වෙනස්ම අත්දැකීමක්. ලෝකයෙම ඉතා සීමිත ප්‍රමාණයක්නේ තියෙන්නේ.

      Delete