Tuesday 27 February 2018

The X- Files නැවත ඇරඹේ!! නැවත ඉක්මණින් නිමවේ ද?

වසර 14ක දිගු නිහැඬියාවකට පසු රුපවාහිනියට නැවත The X Files කථා මාලාව පැමිණීම ලෝකයේ රුපවාහිනී ප්‍රේක්ෂකයන්ට බලාපොරොත්තු නොවූ සිහිනයක් සැබෑවීමක් බඳුයි.

ඇමරිකානු රහස් ඔත්තු සේවාව වන FBI හි ඒජන්ත දෙපළක් වන අපරාධ විශ්ලේෂක ෆොක්ස් මල්ඩර් හා වෛද්‍ය ඩේනා ස්කලී විසින් ඒ වනතෙක් විසඳීමට නොහැකිව ඉවත ලා තිබෙන අද්භූත, අසාමාන්‍ය මරණ සංසිද්ධි අඩංගු ලිපිගොනු නැවත සෙවීමට ඇරඹීම එක්ස් ෆයිල්ස් විද්‍යා ප්‍රබන්ධ කථා මාලාවේ ආරම්භයයි. මල්ඩර් පිටසක්වල ජීවින් පිළිබඳව විශ්වාස කරන අතර, ස්කලී නිරතුරු කුතුහලයෙන් යුක්ත, හේතු රහිතව කිසිවක් පිලි නොගන්නා චරිතයකි. මල්ඩර් විසින් හඳුනාගෙන ඇති පරීක්ෂණ, විද්‍යාත්මක ලෙස විශ්ලේෂණය ස්කලී ගේ කාර්ය භාරයයි.

1993 සිට 2002 දක්වා කථාමාලා (season) නමයකින් ද කථාංග 202 කින්ද යුක්තව නිර්මාණය වූ The X-Files  බොහෝ රටවල ජනප්‍රිය විය. ත්‍රාසය, භීතිය, කුතුහලය නොකඩවා රඳවාගෙන විකාශනය වූ එක්ස් ෆයිල්ස්හි නිර්මාතෘ, රුපවාහිනී කථා රචක හා විචාරක ක්‍රිස් කාටර් එම යුගය හඳුන්වන්නේ රුපවාහිනියේ ස්වර්ණමය යුගය ලෙසයි. 2016 නැවත X-Files ඇරඹීම අභියෝගයක් ලෙස දක්වන ඔහු, කලින් මෙන් season එකක්  කථාංග 24ක් දක්වා ඇදීයනු වෙනුවට කොටස් හයකින් යුක්ත ස්ථිර කරුණු විශ්ලේෂණ සහිත ක්‍රියා පිළිවෙලක් අඩංගු කථා ඉදිරිපත් කරයි.
" හැමදේම උඩු යටිකුරු වුනු හරිම කුතුහලයෙන් පිරුණු යුගයක් මේ. මුලින් කථා විකාශනය වුනු 90 දශකයෙන් සම්පුර්ණ වෙනසක් දැන් තිබෙන්නේ. මිනිස්සු අද විද්‍යාව හෝ විද්‍යාත්මක ක්‍රමය එතරම් විස්වාස කරන්නේ නැහැ. ඇත්තම කිව්වොත් මිනිස්සු කිසිවක් විශ්වාස කරන්නේ නැහැ. ඒත් කුමන්ත්‍රණ, රජයේ අනිසි බලපෑම් න්‍යාය කවදාටත් වඩා විශ්වාස කරන බවයි පෙනෙන්නේ. මම වඩාත් එළිදරව් කරන පැත්ත ගැන යොමුවන්නේ ඒ නිසයි " 2018 එලි දක්වන season 11 පිලිබඳ අදහස් දක්වමින් කාටර් පවසයි.

2016 ප්‍රදර්ශනය වූ දහවෙනි කථාමාලාවේත් මල්ඩර් හා ස්කලී පිටසක්වල ජීවින් හා අසාමාන්‍ය සංසිද්ධි ගැන විමර්ශණය කරන අතර, ඔවුන්ගේ පුත්‍රයා ගැනද කියවේ. පෙර කථා මෙන්ම විද්‍යා ප්‍රබන්ධ ස්වරුපය පවතින අතරම ඇමරිකා එක්සත් ජනපදයේ වත්මන් දේශපාලනික තත්වය හා ජනපතිවරයා ගැන විවේචනාත්මක පසුබිම් කරුණු අඩංගුය.

 The X-Files ජනප්‍රිය බවට මුලික වන්නේ මල්ඩර් හා ස්කලී ලෙස රඟපාන ඩේවිඩ් ඩුකව්නි හා ගිලියන් ඇන්ඩර්සන් නළු නිලි යුවලගේ අද්විතීය, චිරස්ථායි චිත්තවේගීය බැඳීමයි. කථාමාලා සුවිශේෂ වන්නේ මේ දෙදෙනාගේ මනෝ විද්‍යාත්මක සම්බන්ධතා සංකීර්ණය නිසායි. මොවුන් දෙදෙනා රුපවාහිනී කථාමාලාවන්හි කලින් කලට මතුවී නැසෙන ගතික නළුනිළි යුගලයන් උදෙසා ආදර්ශ රාමුවක් වැනිය.

"ඩේවිඩ් හා ගිලියන් නැත්නම් X Files හි අත්‍යවශ්‍ය ප්‍රාණය ද නැහැ" කාටර් පවසයි. " මම හැමවිටම අනිත් අයට කියන්නේ ඒ දෙදෙනාගේ සබැඳියාව ආශ්චර්යයක් වගේ. ඒ දෙදෙනා වෙන වෙනම නළුවෙක්, නිළියක ලෙස ගත්තම මේ කතාවේදී වගේ සංකීර්ණ බැඳීමක් නැහැ. 1993 කැනඩාවේ වැන්කුවර් නගරයේ මුල්ම රූ ගත කිරීමෙදීම මම දැනගත්තා මේ දෙදෙනාගේ අපුර්ව ගැලපීමත් කතාවේ හරයට එකතුවෙන බව". ඩුකව්නි හා ගිලියන් දෙදෙනාම X-Files හි රංගනයන් උදෙසා ප්‍රධාන පෙලේ සම්මාන ගණනාවක් දිනාගෙන තිබේ.

X-Files පිලිබඳ ඩුකව්නි  හා ගිලියන් පෙනී සිටින මාධ්‍ය සාකච්ඡාවලදී පවා එකිනෙකාට විහිළු කරගනිමින්, තරවටු කරමින් දක්වන්නේ කාලයක් මුළුල්ලේ එකිනෙකා හඳුනාගෙන, එක්ව බැඳී චරිතවලට පිවිස ක්‍රියාකිරීමේ ස්වභාවයයි.
"ඇත්තෙන්ම විශාල ගැම්මක්, බැඳීමක් තියෙනවා" ඩුකව්නි එකඟවෙයි. " ඒ වගේම මුල් කථා කොටස්වල ස්ත්‍රී පුරුෂ භූමිකා මාරුවීමක් වගේ තිබුණා. මල්ඩර් සංවේදී, චිත්තවේගික, අවිචාරී චරිතයක් වුනු අතර ස්කලී විචාරශීලි, ඉවසන දැඩි චරිතයක්. රුපවාහිනී නාට්‍ය චරිත ගැන පමණක් හිතුවත් එය හරිම විප්ලවකාරියි. එයම මටත් ගිලියන්ටත් මේ චරිතවල කිමිදෙන්න උපකාරී වුණා".
" මල්ඩර් හා ස්කලී එකිනෙකා මත රැඳී පවතින්නේ" ගිලියන් ස්වකිය චරිතය විස්තර කරමින් එකඟවන්නීය. වැන්කුවර්හි දිර්ඝකාලින රූ ගතකිරීම් වලදී මෙන්ම එය විකාශනය වනවිට තිරය මතත් එම බැඳීම් වර්ධනය කාහටත් දැනුනු බව ඇය පවසයි. "ඔවුන් දෙදෙනාට දෙදෙනාගේ උපකාරය අවශ්‍යයි. මිථ්‍යා කථාවක වුවත්, අවතාර කථාවක වුවත්, චරිතවල පුද්ගලික ගැටළු ඇති අවස්ථාවක වුවත් ඒ දෙදෙනා කණ්ඩායමක්, එකිනෙකා ගැන හොඳින් සොයාබලන කණ්ඩායමක්".

"පළමු කොටස් දෙක තුනේදී මම රඟපෑවේ රැකියාවක් කරනවා වගේ. පහසු වුනේ නැහැ" ඩුකව්නි පවසයි. "පසුව එය හුරුවුණා. එකම පුද්ගලයා ලෙස රඟපානවා වුනත් දිනපතා ප්‍රශ්ණ කරගන්න ඕනේ ඇයි මම මේක කරන්නේ? මොකද්ද සාක්ෂාත් කරගන්නේ? කියල. රූපගත කිරීමක් සංඝටන හා සැමරුම් බවට පත්වීමට පෙර මෙයට සම්බන්ධ සියලුදෙනා සමග යම් යම් දේ සිදුවෙනවා. නළුනිළියන් ලෙස අපටත් ඒ ගැන වෙනස් අදහස් තියනවා. අපි එකිනෙකා හා ප්‍රශ්ණ කරනවා. චරිතයට පිවිසීමේ විවිධ ක්‍රම යෝජනා කරනවා. අපිට හොඳ ඉතිහාසයක් තියන හින්ද විතරක් නෙමෙයි මෙතරම් පුර්ණ, සරුසාර චරිත නිරුපනය පුළුවන් වෙලා තියෙන්නේ. භෞතික තොරතුරු, පසුබිම ආදී සියල්ල හොඳ නිසා. අපි නිරතුරු වර්ධනය වෙමින් සිටින නිසා"

නවතම කොටස්වලට පිවිසීමේදී වසර විස්සකට පෙර තිබුනට වඩා ඔවුන් දෙදෙනාගේම රඟපෑම්වල ඉහල සංවර්ධනයක් සිදුව ඇතිබව කාටර් පිළිගනියි. X- files නොතිබුණු වසර 14 පුරා ඔවුහු වෙනත් චරිතාංගයන්හි රඟපා හැකියා වැඩි දියුණු කරගෙන සිටිති .

"එකම චරිතයක බොහෝ කලක් ජීවත්වීම පහසු දෙයක් නොවේ" ගිලියන් කියයි.
"මල්ඩර් හැමවෙලේම මල්ඩර්. නිරන්තරයෙන් එකවගේ උද්යෝගය රැකගෙන මෙහෙම වෙන්න පුලුවන්ද? අඟහරු ලෝකෙන් ගලක් එතනට වැටුනත් ගණන් නොගන්න තරම් එපාවෙච්ච  වෙලාවල් තියෙනවා... ඒක කිව්වම කාටර් 'ඔන්න අඟහරු ලෝකෙන් ගලක්' කියල අපිව නැගිට්ටලා පොළඹවන්න පුරුදු වුණා"  ඩුකව්නි සිනාසෙයි.
"අපිට මේ චරිත ගැන තියෙන්නේ කැමති- අකමැති සම්බන්ධතාවක්. මම මල්ඩර්ට කැමති වගේම වෛර කරනවා. ගිලියනුත් ස්කලී ගැන එහෙම හිතන බව මම දන්නවා. එහෙත් ඒ කිසිවක් චරිතවල වෙනසක් කිරීමකට හෝ රචකයින් චරිත ගොඩනංවන විදිය වෙනස් කරන්න යොදන්නේ නැහැ".

පසුගිය ජනවාරි පස්වෙනිදා අනාවරණය වූ පරිදි season 11න් පසු ගිලියන් ඇන්ඩර්සන්  X-Files රඟපෑමෙන් සමුගනු ඇත. "මම මේ තීරණය ගත්තේ අලුත් ආරම්භයේ 10 කථාමාලාව රඟපාන්නත් කලින්. මම හිතුවේ ඒ කොටස් හය විතරයි කියල. දශක ගණනක් මම ස්කලී වුණා. එයින් අයින් වෙන්න කාලේ හරි. ඒ හින්ද season 11න් පස්සේ ආයේ X- Files තිබුණත් මම නැහැ" ගිලියන් ස්ථිර හඬකින් පවසා ඇත. "මට කණගාටුයි ඩුකව්නි වගේම අනිත් අයගෙනුත් සමුගන්න. ඒත් මේ අවසානයයි".

මේ පිළිබඳව ඩුකව්නිගෙන් විමසු විට ඔහු පැවසුවේ ඔහුද මින් පෙර ඒකාකාරී බව නිසා මෙම නාට්‍යමාලාවෙන් සමුගන්න උත්සාහ කළ බවයි. Season 8 හි අර්ධයකත්, season 9හිත් ඔහු පෙනී සිටියේ නැත. "එකම චරිතය එක ලෙස උද්යෝගයෙන් රඟපෑමෙන් මම වෙහෙසට පත්ව අයින්වුනා. ඔවුන් මා නැතිවත් දිගටම කථාව ගෙනගියා. මමත්  හිතන් හිටියේ කථාව ඉවරෙටම ඉවරයි කියල. අවුරුදු 14කට පස්සේ  දහවෙනි කතාමාලාව කරන්න මම ආයෙත් ආවා. මට මේ කථා මෙතනින් අවසාන වුණත් නැතත් වෙනසක් නැහැ".
තම ඉවත්වීම නිසා මෙම නාට්‍ය මාලාව පුරාම තිබු ස්කලී චරිතය ඉවත් කරන්නට වීම ගැන ගිලියන් කිසිවක් නොකියයි.

The X- Files රචක හා නිෂ්පාදක ග්ලෙන් මෝර්ගන් ට අනුව season 11 අවසාන වනවිට ප්‍රේක්ෂකයන්ට සමහර අබිරහස් විසඳි තිබෙනුත්, සමහර ප්‍රශ්ණ එසේම තිබෙනුත් පෙනෙනු ඇත. එය මේ නාට්‍යමාලාවේ ස්වභාවයයි.


උදව්:
නිම්මි මුදිතා හේරත්
http://www.esquire.com/entertainment/tv/a14539205/david-duchovny-gillian-anderson-the-x-files-
https://nerdist.com/gillian-anderson-david-duchovny
X-Files season 1 videos
(මේ ලිපිය 2018 පෙබරවාරි 27 දිවයින පත්‍රයේ පලවිය. http://divaina.com/daily/index.php/visheshanga3/7988-2018-02-25-16-55-46 )

6 comments:

  1. මාත් රස විදි වැඩසටහන් මාලාවක්. ඉතිහාසය දැන ගැන්මට ලැබිම ගැන සතුටුයි.

    ReplyDelete
  2. අප්පා ගීලියන් නැතුව වැඩක් නැ .... ඒක නෙමෙයි අර උන්දැ ආමි කැප්ටන්ගේ නමට ගත්ත ඉඩමේ නඩුවට මොකද දන්නැ නේද උනේ

    ReplyDelete
    Replies
    1. බලාගන්න දාපු කෙනා ගෙයි බඩුත් එක්ක විකුණලා හින්ද ගේ විකිනුවාලු කියල කෙනෙක් ලියා තිබුන

      Delete
  3. මාත් ගොඩාක් පුංචි කාලේ තමයි x file බැලුවේ. ඒත් මතකයේ රැදුණු කතාවක් .ගොඩාක් ස්තුති තොරතුරු ගොඩාක් දැනගත්තා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිරිමත් කිරීමට

      Delete