හැමදාම බැනුම් අහන මේ විභාගය මොකක්ද? ඇයි මෙහෙම විභාගයක් තියන්නේ? දැන් මේ තත්වයට එන්න හේතු මොනවද? පිටරටවල මේ වගේ විභාග නැද්ද? ප්‍රශ්ණ ගොඩයිනෙ.
1942 දී C.W.W. කන්නන්ගර මහතාගේ යෝජනා අනුව නිදහස් අධ්‍යාපනය සාමාන්‍ය ජනතාවට විවර කිරීමත් සමග 1948 ආරම්භ වූ දෙයක් ශිෂ්‍යත්ව විභාගය. රටේ කා හටත් නොමිලයේ අධ්‍යාපනය දීම හැරුනුකොට අධ්‍යාපනයෙන් වැඩි ඵලක් ගත හැකි දරුවන් තෝරා ඔවුන්ට වැඩි පහසුකම් සහිත පාසලක් ලබා දීම හා ආධාර මුදලක් දීම මෙහි අරමුණ වුනා. එහිදී අදහස් කළේ ගම්වල දුප්පත් දක්ෂ දරුවන් තෝරා ඔවුනට කෑම බීම නවාතැන් නොමිලයේ ලබා දී වඩා නිදහසින් ඉගෙනුම සැලසීමයි. මෙහිදී නිශ්චිත ප්‍රදේශයකට පහසුකම් සහිත මධ්‍ය මහා විද්‍යාලයක් බැගින් පිහිටවා එම ප්‍රදේශයට අයත් කුඩා පාසල්වලින් ශිෂ්‍යත්ව විභාගය සමත්වන දරුවන්ට හයවන වසරේ සිට නේවාසික අධ්‍යාපනයට ඉඩ සැලැස්වූවා. එම පාසල්වල ප්‍රථමික අංශයක් පැවතුනේ නැති නිසා විභාගය සමත් අය පමණයි ඇතුලත් කරගැනුනේ.
සියලුම දරුවන් විභාගයට පෙනී සිටි අතර ප්‍රදේශයට අනුව ලකුණු ප්‍රමාණයකින් සීමිත සිසුන් සංඛ්‍යවක් තෝරා මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් කරගැනුනා. වැඩි ආදායම් සහිත පවුල්වල දරුවන්ට ආධාර මුදල් නොලැබුණත් අධ්‍යාපන පහසුකම හිමිවුණා. විභාගයට විශේෂ සුදානම් කිරීම් නොතිබුණු අතර සමත් වුයේත් ගුරුවරුන් හඳුනාගත් සැබෑ දක්ෂයින් පමණයි. ලකුණු ගැන එතරම් අවධානයක් නොතිබුණු අතර සමත්වීම ගැනයි අවධානය තිබුනේ.
ප්‍රමාණවත් පහසුකම් සහිත මධ්‍ය මහා විද්‍යාල තිබු නිසා ප්‍රධාන නගරවල පාසල්වලට යාමට තරගයක් තිබුනේ නැහැ. නිවසේ සිට එතරම් දුරක් නොමැති එහෙත් නේවාසික පහසුකම් මැද විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා නිදහසේ ඉගෙනීමට දරුවනට අවස්ථව ලැබුණා. සමත්වූ ඕනෑම දරුවෙක්ට ලකුණු සිමා ගැන තැකීමකින් තොරව නාගරික ප්‍රසිද්ධ පාසලකට ඉල්ලුම් කර ඉගෙනීම ලැබීමේ අවස්ථාව තිබුණත් බොහෝ දෙනෙක් තෝරාගත්තේ ආසන්න මධ්‍ය විද්‍යාලයයි.
විභාගයේ ස්වභාවය ස්වල්ප ලෙස වෙනස් වෙමින් වුවත් මේ ආකාරයට මධ්‍ය මහා විද්‍යාලවලට දරුවන් තෝරාගැනීමට සාධාරණ ක්‍රමයක් ලෙස ශිෂ්‍යත්ව විභාගය 80 ගනන් වනතෙක්ම පැවතුණා.
නාගරික පාසල්වල ජනප්‍රියත්වය ක්‍රමයෙන් වැඩි වන්නට වුයේ මධ්‍ය මහා විද්‍යාලවල පහසුකම් ක්‍රමයෙන් අඩුවීමත් සමගයි. කලින් ලබාදුන් ඇඳුම් ආදී දීමනා අඩුකර ප්‍රමාණවත් නොවන ආධාර මුදලක් ලැබීමත් මෙයට හේතුවුණා. ජනප්‍රිය පාසල්වල නමට රැකියාවලදී වැඩි තැනක් ලැබීමත් මෙයට අනියම් ලෙස බලපෑවා. මධ්‍ය විද්‍යාලවල ජනප්‍රියත්වය එලෙසම පවතිද්දී කොළඹ, නුවර, ගාල්ල ආදී ප්‍රධාන නගරවල පිහිටා ඇති සීමිත පාසල් ගණනකට හා අලුතෙන් නම්කළ ජාතික පාසල්වලට ඉල්ලුම වැඩිවීමත් සමග ලකුණු මට්ටමක් තීරණය කිරිමට පාසලට සිදුවුණා. එම පාසල්වල පළමු ශ්‍රේණියේ සිට පැමිණෙන ළමුන් සිටීම නිසා ඇතුලත් කරගත හැකි සිසුන් ගණන් සීමිත වුණා. මෙයින් තරගය ඉහල ගියා. අන්තිමට සියලු සිසුන් එම පාසල් ඉලක්ක කරගෙන තරග වදින විභාගයක් බවට ශිෂ්‍යත්ව විභාගය පත්වුණා. ශිෂ්‍ය ආධාර ලැබීම දෙවන තැනටත් අසන්න ප්‍රදේශයේ පහසුකම් ඇති උසස් පාසැල තවත් පහල තැනකටත් පත්වීම මගින් ශිෂ්‍යත්ව විභාගය ඇරඹීමේ අරමුණු වෙනස්ම තැනකට ගෙනගියා.
මෙය අනෙක් ඉහල විභාග හා සමානව තරග විභාගයක් බවට පත්වීමත් සමග තුන වසරේ සිටම ඒ සඳහා ඉලක්ක කර උගන්වන පාසල් බිහිවීම ඊළඟ පියවරයි. මුලින්ම ඉහල පාසලක් ලබාගත නොහැකි වූ දරුවන්ගේ දෙමාපිය ඊළඟ අරමුණ වුනේ දරුවා මෙලස ශිෂ්‍යත්වය අරමුණු කර උගන්වන පාසලකට යොමු කිරීමයි. ප්‍රථමික පාසල්වලත් තරගය උග්‍ර වුණා. ශිෂ්‍යත්වය ඉලක්ක නොකරන පාසල්වලට සිසුන් ඇතුලත්වීම අඩුවීම නිසා පාසල වැසී යාමෙන් වැළකීමට ඔවුන්ටත් තරගයට උරදෙන්න වුණා. මේ සිදුවීම් හා සමානුපාතිකව ටියුෂන් පන්ති දසත ඇරඹුනා.
තරගය දෙගුණ තෙගුණ වෙද්දී ඉහල මට්ටමේ පාසල් තම තත්වය පෙන්වන්නට මෙන් ඇතුලත් කරගන්න ලකුණු මට්ටම ඉහල දමන්නට වුණා. ඇත්තටම සිදුවුනේ යාන්ත්‍රික ලෙස විභාගයට හුරු කරවීම තුලින් වැඩි ලකුණු ගණනක් ගන්න සිසුන් වැඩිවීම නිසා සිසුන් ගණන නියතව තබා ගැනීම උදෙසා ඉහල ලකුණක් අවශ්‍ය වීමයි.
දැන් තත්වය දක්ෂ, ඇත්තෙන්ම ශිෂ්‍ය ආධාර අවශ්‍ය, අතිරේක පන්ති යා ගත නොහැකි ප්‍රාදේශීය පාසල්වල දුප්පත් දරුවන්ට මේ තරගයට මුහුණ දී ගත නොහැකිව පහසුකම් ඇති පාසලක් අහිමි වීමයි. සත්‍ය ලෙසම ප්‍රතිඵල ඇවැසි, පහසුකම් හා ගුරුවරු අඩු ග්‍රාමීය පාසල්වල දරුවන්ට කිසිදු වාසියක් නොමැති තත්වයකට විභාගය පත්වීමයි.
මෙවර ප්‍රතිඵල අනුව ශිෂ්‍ය ආධාර ලබාගැනීමටත් 168ක් තරම් ඉහල ලකුණු ප්‍රමාණයක් ලබාගත යුතුයි. කිසිදු පහසුකමක් නොමැතිව පාසලේ උගන්වන දෙයින් පමණක් සැනසෙන, ඉලක්ක ඉගැන්වීමක් නැති දක්ෂ දරුවන් හඳුනා ගැනීමට තව දුරටත් ශිෂ්‍යත්ව විභාගය භාවිතා කල නොහැකියි.
දරුවන්ට හා දෙමාපියන්ට දැඩි බලපෑමක් කරන, මුල් අරමුණින් සම්පුර්ණ ප්‍රති විරුදුව ගමන් කරන මේ විභාගය තව දුරටත් පැවත්විය යුතුද?
නැතැයි කිව හැක්කේ කාටද? පාසල් අතර පහසුකම් පරතරය ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින විට හැකියාවක් ඇති දරුවෙක්ට පහසුකම් හා ජනප්‍රිය නමක් සහිත පාසලක් ලබා ගැනීමේ ක්‍රමය මෙයයි. මෙම විභාගය ටියුෂන්වල ගොදුරක් වෙමින් යන ලංකාවේ අධ්‍යාපන ඛේදවාචකයේ එක කොටසක් පමණයි. විභාග ස්වභාවය වෙනස් කිරීම, ප්‍රශ්න පත්‍ර අසීරු කිරීම ආදී යෝජනා දුටුවත් ඒවායින් තැලෙන්නේද අවුරුදු දහයේ ළමාවිය ගෙවමින් යන දරුවන්ය.
වඩාම උචිත වන්නේ සියලු පාසල්වලට සම පහසුකම් සැලසීමයි. කිසිදාක කල නොහැකි ලෙස දැනට පෙනෙන මෙම ක්‍රමය නිසයි දියුණු රටවල පාසල් සඳහා තරගයක් නොමැත්තේ. එම රටවල දරුවන් තමන් පදිංචි තැනට ආසන්නම ප්‍රථමික පාසලට යා යුතුය. ඉන්පසු එහි මධ්‍ය පාසලටත් එම පෝෂක ප්‍රදේශයේම උසස් පාසලටත් ඇතුලත් වීම සාමාන්‍ය පිළිවෙතයි. උසස් පාසල් අතර විශේෂ විෂයයික පාසල් තියෙනව. සුභග ළමුන් සඳහා විශේෂ විෂයමාලාවක් ඉගැන්වෙන පන්ති සහිත පාසල්, සෞන්දර්ය විශේෂ පාසල්, විශේෂ අවශ්‍යතා සහිත ළමුනට වෙනම පාසල් ආදියයි. ඒවාට සිසු මට්ටම මධ්‍ය පාසලේ සිට ඇගයීම් කර ඇතුලත් වනු මිස හිතුමතේ යා නොහැකියි. උසස් අධ්‍යාපනයත් පුළුල් ක්ෂේත්‍රයක පවතින නිසා සිසු දක්ෂතා අනුව ඒවාට අවස්ථාව ලැබෙනවා.
ලංකාවට මේවා සිහිනද? ජනප්‍රිය පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් හා කීර්තිමත් ආදී ශිෂ්‍යන් නිසා ඒවා තවත් බැබලිමත්, තවත් ආධාර ලබා දියුණු වීමත් මගින් පාසල්වල ඇති නැති පරතරය ඉහලටම යමින් තියෙන්නේ. නැවත මධ්‍ය මහා විද්‍යාල ආකාරයේ පහසුකම් සහිත ද්විතියික මට්ටමේ පාසල් සැම දිස්ත්‍රික්කයකටම කිහිපය බැගින් තෝරා ඒවා දියුණු කිරීමක් කළ හැකිනම් ඉහල නමක් ඇති පාසල් වෙත ඉල්ලුම අඩු වෙතැයි අනුමාන කළ හැකියි. කුඩා ප්‍රථමික පාසල් දියුණු කර පහසුකම් සැලසිය හැකිනම් කලක් ගතවී හෝ යම් මට්ටමකට සිසු දක්ෂතා දියුණුවට බලපැමක් කල හැකි වනු ඇති. දැනට ඇති ශිෂ්‍යත්ව විභාග තරගය නැවැත්විය යුතු බව ඉඳුරාම පිළිගත්තත් විකල්පයක් නොමැති වීමෙන් පාඩුවක් වන්නේ දුප්පත් දක්ෂ දරුවන්ටමයි.
යම් වෙනසකට යෝජනා පැමිණියහොත් විරෝධතා දක්වන්නන් අතර දෙමාපියන්ද සිටිනු නොඅනුමානයි. ප්‍රධාන පෙලේ පාසලකට තම දරුවා ඇතුලත් කිරීමේ සිහිනයෙන් මිදීමට අකමැති දෙමාපියෝ කොතෙකුත් ඇති. ඊළඟ තැන සිටිනු ඇත්තේ ශිෂ්‍යත්වයෙන් සමත්ව පැමිණෙන දක්ෂ දරුවන් මගින් ඉහල සා.පෙළ, උසස් පෙළ ප්‍රතිඵල පෙන්වන නිසා එයින් මිදීමට අකමැති ජනප්‍රිය පාසල් සම්බන්ධ ආදී ශිෂ්‍ය සංගම්ය. ලංකාවේ කුමන ආකාරයේ ප්‍රතිසංස්කරණයකට වුවත් විරුද්ධ වෙන අධ්‍යාපනයෙන් බඩ වඩා ගන්නා ටියුෂන් මාෆියාව ඊළඟට විරුද්ධ වනු ඇත.
කුමන ආකාරයේ විරෝධතා පැමිණියත් මේ ක්‍රමය වෙනස් කර අලුතින් කා හටත් සාධාරණ පාසල් පද්ධතියක් හා පාසලෙන් පිටත අයට බලපෑම් කළ නොහැකි තේරීම් විභාග ක්‍රමයක් ස්ථාපිත කිරීමට දේශපාලකයන් දැනුවත් කිරීම අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනුමැත්තන්ගේත් සාමාන්‍ය මහජනයගේත් වගකීමයි.
වැරදි අධ්‍යාපන මගකින් මේ වියැකෙන්නේ අපේ අනාගතයයි.
ඔබගේ කාලීන ලිපියට තව යමක් එකතු කිරීමට සිතුනා. 5 ශිෂ්‍යත්ව විභාගය ආරම්භ කලේ 1944 වසරේදී. ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ කළ මධ්‍ය විද්‍යාල පහෙන් එකක්, මතුගම මධ්‍ය විද්‍යාලයය. අධ්‍යාපන ඇමති, ආචාර්‍ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමාගේ මන්ත්‍රී ආසනය වූයේ මතුගම යි. 1949 වසරේ පැවැත්වූ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ මට, 1950 වසර මුලදී මතුගම මධ්‍ය විද්‍යාලයයට ඇතුලත් වීමට හැකි උනා. මගේ ගම් පළාතත් ඒ පැත්තේ. අපේ පන්තියේ ශිෂ්‍යත්වධාරීන් 20 දෙනෙක් සිටියා. අපට නේවාසික පහසුකම් ලැබුනා. කලින් වසරවල ශිෂ්‍යත්ව විභාගය සමත් වූ අයත් සමග අප 60 දෙනෙක් පමණ ශිෂ්‍ය නිවාසයේ සිටියා. ඒ කාලයේ විදුහලට විදුලි බලය, ජල පහසුකම් ආදිය නැහැ. අපි පාඩම් කලෙත් ලාම්පු එළියෙන්. ශිෂ්‍යාධාර ලැබුණේ මසකට රුපියල් 20 යි. ඒ මුදලෙන් හොඳින් ආහාර පාන ලැබුණා. කන්නන්ගර මැතිතුමා නිතර විදුහලට පැමිණියා. කිහිප වරක්ම අපගේ පන්ති වලටත් පැමිණ ටික වෙලාවක් යම් යම් දේ කියා දුන්නා. එතුමා ඉතාමත් දක්‍ෂ ගුරුවරු විදුහලට ලබා දුන්නා. දැන්නම් විදුහල ඉතාමත් දියුණු තත්ත්වයක තිබෙනවා.
ReplyDeleteකොහොම වෙතත් දැන්නම් ශිෂ්‍යත්ව විභාගයේ ඒ කාලයේ තිබුණු අගය නැතිවෙලා. 'ළඟම පාසැල හොඳම පාසැල' කිරීමෙන් පමණක් මෙය කළ හැකි වන්නේ නැති බවයි පෙනෙන්නේ.
ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි. ඔබ නිවැරදියි. දෙමාපිය ආකල්ප වෙනස් කිරීමේ සිට මහා කර්තව්‍යයක් තියෙනවා වෙනස් කිරීම් උදෙසා
Deleteලංකාවේ කිසිදු පාසැලකට (පන්සලකට පවා) පහසුකම් දීලා ඉවරයක් කරන්න බෑ. ළඟ පාසැල හොඳම පාසැල යටතේ වෙන්නේ පහසුකම් විෂමතාව අවම කරන එක. ළමයින්ව ජනප්‍රිය පාසැල්වලට දාන්න යන්නේ හුදෙක් පාසැලේ භෞතික පහසුකම් විතරක් බලලා නෙවෙයි. ප්‍රදේශයේ පහසුකම්, ඉස්කෝලෙ නම කියන එකත් බලපානවා. සමහර ගම් වල අක්කර ගණන් පිට්ටනි තියෙනවා, ගොඩනැගිලි ඇති තරම් තියෙනවා. ඒත්ළමයි නෑ.
ReplyDeleteඉස්කෝලේ නම කියන එක තමයි වැරදි සංකල්පය.ඕනෙම පාසලකින් ළමුන්ට දෙන්න ඕනේ එකම විදියේ අධ්‍යාපනයක්.ඒ සඳහා සම පහසුකම් දෙන්න ඕනේ. ප්‍රමාණවත් ගුරුවරු, භෞතික පහසුකම් ආදිය. ලංකවේ පාසල්වල පහසුකම් අතින් පරතරය වැඩියි.
Deleteඋසස් පෙලත් ඔය කතන්දරයම තමා....
ReplyDeleteඔව්. නාගරික පහසුකම් තියන පාසල්වල දරුවන් හා දුෂ්කර ප්‍රදේශවල අය එකම විභාගයකට මුහුණ දෙන්නේ.
Delete