Wednesday 12 September 2018

නිර්මාණ කොල්ලය හා පිළියම් Plagiarism

හිත රිදෙන යමක් සිදුවුනාම ඒ ගැන නැවත සිතීමට පෙළඹීම  ස්වභාවයක්. විවිධ වාර්ගිකයන් ඉන්න සමාජයක් තුළදී  'ආසියානුවන් අනුන්ගේ දේවල් තමන්ගේ වගේ ලියල ඒ ගැන තර්ක කරන්නත් එනවා' කියන චෝදනාව ආවම මට එල්ල කරලා නොකිව්වත් කතාව ඇත්ත නිසා හිත රිදුනා. මෙවන් දේවල් නිසා තමයි ආසියානුවන්ව ලෝක සමාජයේදී කොන් වෙන්නේ කියන එකත් හිතුන. හැබැයි මෙය ආසියානුවන් පමණක් කරන දෙයක්නම් නෙමෙයි.
නිර්මාණය: Kathuria 2016 
මුද්‍රිත මාධ්‍යවලත්, ඉලෙක්ට්‍රොනික් මාධ්‍යවලත් ජයටම බුද්ධිමය දේපල සොරාගැනීම සිදුවෙතත්, plagiarism කියන ඉංග්‍රීසි වචනයට සිංහල තනි වචනයක් හෝ ආසන්න අදහස දෙන වචන සොයා ගැනීම උගහට වුනේ මේ ක්‍රියාව ගැන එතරම් අවධානයක් නැති නිසාද කියලත් හිතෙනවා. නිතර නිතර බොහෝ අවස්ථාවලදී මේ ගැන කතා කරන්න වෙන්නේ ලිපි රචනා අනවසර භාවිතය නිරතුරු සිදුවෙන නිසයි. සමාජ මාධ්‍යවල කවි, කතා, ගීත රචනා ආදී නිර්මාණ කොල්ලය දැඩි ලෙස සිදුවෙනවා. එහෙත් ඒ ගැන මැසිවිලි කිමවත්, මැසිවිලි කීමට හේතුවන කර්තෘ අයිතිය නොදී බුද්ධිමය දේපල හොරෙන් ගැනීමවත් නවතින පාටක් නැති නිසා රිදුනු සිත ලියන්න පෙළඹෙව්වා. මේ ලිපියේදී වැඩිපුර අවධානයක් දෙන්නේ ලිඛිත දේ ගැනයි.

මොකද්ද මේ ලිපි රචනා සොරාගැනීම හෙවත් plagiarism කියන්නේ?
Plagiarism is presenting someone else's work or ideas as your own, with or without their consent, by incorporating it into your work without full acknowledgement. All published and unpublished material, weather in manuscript, printed or electronic form, is covered under this definition. (University of Oxford 1.)
වෙනත් කෙනෙක්ගේ කාර්යයක් හෝ අදහසක්, එම තැනැත්තාගේ අනුමැතියක් ඇතිව හෝ නැතිව තමන්ගේ කාර්යයක් තුල ඒ ගැන සඳහන් කිරීමක් නොමැතිව තමන්ගේ මෙන් ඉදිරිපත් කිරීමයි. මෙයට සියලුම ප්‍රකාශයට පත්කරන ලද හා නොලද අත්පිටපත්, මුද්‍රිත දේ මෙන්ම ඉලෙක්ට්‍රොනික මාධ්‍යයද ඇතුලත්ය. (University of Oxford 1.)
theinstitute.com

සරලව කිවහොත් යමෙක් ලිපියක් හෝ කොටසක් සොරාගත් ලෙස සලකන්නේ,
- අනුන් ලියු දෙයක් සඳහනක් නැතිව තමන්ගේ මෙන් එලි දැක්වීම.
- මුලාශ්‍ර ගැන සඳහනක් නොමැතිව වචන හෝ අදහස් කොපි කිරීම
- කෙලින්ම ලිපියකින් එලෙසම ගන්න දෙයක් යුගල වරහන් තුළ හෝ ඊට සමාන සම්මත ක්‍රමයකින් නොයෙදීම
- කරුණු ලබාගත් ස්ථානය පිළිබඳව වැරදි තොරතුරු දීම
- සම්පුර්ණ උපුටාගැනීමක් කර සමහර වචන හා ව්‍යුහය පමණක් වෙනස් කිරීම.
ලිපියක, පොතක, කතාවක, ගීතයක හෝ ඕනෑම නිර්මාණයක අදහස්, ව්‍යුහය හෝ වචන වැඩි ප්‍රමාණයක් ගැනීම (සඳහන් කිරීමක් ඇතිව හෝ නැතිව)
- චිත්‍ර, සිතුවම්, ඡායාරුප, වගු, සිතියම් ආදිය නියමිත මුලාශ්‍ර සඳහන් නොකර භාවිතය
- මුලාශ්‍ර සඳහන් නොකර ලිපි, කතා, ගීත ආදිය එක භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කිරීම.

මෙසේ ලිපි රචනා මුලාශ්‍ර හෝ කර්තෘ හෝ සඳහනක් නැතිව භාවිතය ලෝකයේ බහුලව සිදුවෙන වරදක්. ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළවත් මේ ගැන කිසිදු අවධානයක් නොමැති බව කණගාටුවෙන් වුනත් කියන්න ඕනේ.  කර්තෘ අයිතිය නොදී ලියන විශ්ව විද්‍යාල ආචාර්යවරු පවා ඉන්න බවට චෝදනා තිබෙනවා.
සිංහල වෙබ් පිටු හා ෆේස්බුක් පිටු නිරීක්ෂණයේදී කර්තෘ අයිතිය නොරකින ලිපි ඕනෙතරම් හොයාගන්න පුළුවන්. ලිපි වෙනත් මාධ්‍යවලට පරිවර්තනය කර පලකිරිම්ද බහුලයි. හේතු විමසා බැලුවහොත් ප්‍රධාන කරුණු කිහිපයක් වැටහී යනවා.
1. නොදැනුවත්කම -එලෙස අනුන්ගේ ලිපි කර්තෘ අයිතිය නොදී කොපි කිරීම නීති විරෝධී, වැරදි සහගත දෙයක් බව නොදැන සිටීම. අන්තර්ජාලයට වලංගු නීති තිබෙන බව නොදැන සිටීම. අන්තර්ජාලයේ තිබෙන ඕනෑම දෙයක් හිතු මනාපේ උපුටාගත හැකි යයි සිතීම.
2. දැන සිටියත් ගණන් නොගැනීම - මෙම නීති ක්‍රියාත්මක බව නොසිතා හසුවුවහොත් පිළිතුරු දෙමැයි සිතා හෝ අපි පල නොකළොත් මේවා දකින්නේ කෙලෙසද වැනි තර්ක දමා හෝ පල කිරීම.
3. අන් අය අනුගමනය - අනිත් අයත් කරනවානම් වැල යන අතටම අපිත් මැස්ස ගැසීම වරදක් නොවේ යන හැඟීමෙන් දැන දැනම අනුගමනය
4. නිර්මාණශීලි නොවන නමුත් තමන් ලේඛකයන් බව අන් අයට ඒත්තු ගැන්වීමට ඇති ආශාව.
5. ලිපි කියවා සටහන් තබා ගත්තත් මුලාශ්‍ර පිලිබඳ සටහන් තබා නොගැනීම.

මෙහිදී අවධානය යොමු කලයුතු දෙය ලිපියක්, නිර්මාණයක් හෝ කොටසක් ගෙන තමන්ගේ මෙන් පළකිරීම හෙවත් plagiarism සදාචාරාත්මක නොවන දෙයක් බවයි.
මෙය වැලැක්වීමට අන්තර්ජාලයේ මෙන්ම ඕනෑම රටක නීති පද්ධතියේ කොටසක් තිබෙනවා. නීතියෙන් සුරැකුණු විට එය කොපිරයිට් හෙවත් කර්තෘ හිමිකම ලෙස ගැනෙන්නේ.
en.wikipedia.org/wiki/File:Plagiarism_vs_Copyright_Infringement.png
කුමන හේතුවක් මත හෝ කර්තෘ අයිතිය සඳහන් නොකර, කිසිම ලිපියක් අන්තර්ජාලයෙන් හෝ මුද්‍රිත මාධ්‍යයකින් හෝ උපුටා පළකිරීම ශ්‍රී ලංකාවේ නිතියෙන්ද වරදකි. එය පුවත්පතක, සඟරාවක, පොතක, වෙබ් අඩවියක, ෆේස්බුක් පලවූ කියා වෙනසක් නොමැතිව පවතින නීතියකි.
වෙබ් අඩවි හා ප්‍රකාශන අයිතිය ගැන ශ්‍රී ලංකාවේ නිතිය මෙසේය. ෆේස්බුක් ආයතනයේද අනෙක් අන්තර්ජාල සමාගම්වලද ඔවුනට විශේෂිත වූ මේ හා සමාන නීති තිබෙනවා.

ප්‍රකාශන අයිතිය යනු කිසියම් ශාස්ත්‍රීය, කලාත්මක,විද්‍යාත්මක කෘතියක හෝ සෞන්දර්ය නිර්මානයක හෝ පරිගණක වැඩසටහන නිර්මාණකරුට නීතියෙන් හිමිකර දී තිබෙන අයිතිවාසිකම් වේ. වර්ෂ 2003 අංක ;36 දරණ බුද්ධිමය දේපල පනතේ 5 වන වගන්තියේ සිට 27 වන වගන්තිය දක්වා මෙම ප්‍රකාශන අයතිවාසිකම් සම්බන්ධයෙන් ප්‍රතිපාදන සලසා ඇත.ප්‍රකාශන අයිතිවාසිකම් වර්ග දෙකකි . එනම් ,
1.ආර්ථික අයිතිවාසිකම්,
2.සදාචාරාත්මක අයිතිවාසිකම්
බුද්ධිමය දේපළ පනතේ නව ප්‍රකාශන හිමිකරුවෙකුට හිමි ආර්ථික අයිතිවාසිකම් වන්නේ තමා නිර්මාණය කරන ලද නිර්මාණය ප්‍රති නිෂ්පාදනය කිරීම,පරිවර්තනය කිරීම,විකිණීම ,කුලියට දීම වැනි අයිතිවාසිකම් වේ.
සදාචාරාත්මක අයිතිවාසිකම් වන්නේ ආර්ථික අයිතිවාසිකම් වලින් ස්වාධීනව එකී ආර්ථික අයිතිවාසිකම් අහිමි වූ අවස්ථාවක පවා මුල් නිර්මාණකරුට හිමිවන අයිතිවාසිකම් වේ. එනම් එකී නිර්මාණය ප්‍රයෝජනයට ගැනීමේදී මුල් නිර්මාණකරුගේ නම සඳහන් කිරීම, මුල් කෘතිය විකෘති කිරීමෙන්, විකරණයකට ලක් නොකිරීමට ඇති අයිතිවාසිකම් වේ.
වෙබ් පිටුවක් නිර්මාණය කරනවාත් සමගම ප්‍රකාශන අයිතිය එකී නිර්මාණකරුට හිමි වේ. නමුත් එකී නිර්මාණය ස්වාධින තමන්ගේම නිර්මාණයක් විය යුතු අතර වෙනත් අයෙකුට අයිති නිර්මාණයක් පල කරන්නේ නම් ඊට නීතිමය රැකවරණයක් නොලැබේ. වර්තමානයේ විවිධ වෙබ් අඩවි විවිධ රුපවාහිනී චැනලයන් මගින් ප්‍රචාරණය වන ටෙලි නාට්‍ය, චිත්‍රපටි, පුවත් එලෙසම තම වෙබ් අඩවියෙන් පල කිරීම 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත යටතේ අපරාධ සහ සිවිල් යන අංශ දෙකේම නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීමකි.
උදාහරණයක්‌ වශයෙන් ස්වාධින රුපවාහිනී චැනලය මගින් ප්‍රචාරණය වන ටෙලි නාට්‍යක් වෙනත් වෙබ් අඩවියක් හරහා නැවත එකී ස්වාධින රුපවාහිනී ලාංචනය යටතේ ප්‍රචාරය කලද බුද්ධිමය දේපළ පනත යටතේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමකි.
(උපුටා ගැනීම lawpage.lk )

වෙනත් තැන් කිහිපයකින් උපුටා, ඒ වචනවලින් එලෙසම පළකිරීම හෝ ලිපි පරිවර්තනය මුල්  කෘතියෙන් ගැනීමකි.  එය සඳහන් නොකිරීම ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කිරීමක්. ඒ සියලු අවස්ථාවල කර්තෘගේ නම හෝ වෙබ් අඩවිය ආදී මුලාශ්‍ර හෝ සඳහන් කල යුතුය. මුල් ලිපිය කරුණු සොයා වෙහෙස මහන්සි වී නිර්මාණය කළ කර්තෘන් සතු අයිතිය සදාචාරාත්මකව රැකීමට එය සිදුකල යුතුමය.
මුලාශ්‍ර අන්තර්ජාලයෙන් හෝ පොත පත ඇසුරිනි කියා ලිවිම ප්‍රමාණවත් නැත.

නාට්‍යයක්, පොතක්, හෝ වෙනත්  නිර්මාණයක් පරිවර්තනයේදී මුල් කර්තෘගෙන් හෝ ප්‍රකාශන සමාගමෙන් හෝ නිසි අවසරය නොලදහොත් එය කොපිරයිට් උල්ලංඝනය කිරීමක්. මුල් කෘතියේ රචකයා මියගොස්  වසර 70ක් ගතවී ඇතිවිට පමණක් විමසීමෙන් තොරව පරිවර්තනය කල හැකියි. පරිවර්තනයෙන් පසු නව කෘතියේ අයිතිය පරිවර්තක සතුයි.
සම්මත නීති අනුගමනය කරමින් පරිවර්තනය කිරිමේදී ප්‍රකාශකට විශාල මුදලක් ගෙවීමට සිදුවන නිසා ලංකාව වගේ රටක ලේඛකයෙක්ට පරිවර්තන පොතක් පළකර ලාභ ලබාගන්න අමාරුවෙනවා. කර්තෘ මියගොස් වසර 70ක් ගතවන තෙක් බලා සිටියහොත් ලේඛනයේ වටිනාකම අඩුයි. එහෙම වුනොත් අපට පරිවර්තන සාහිත්‍යයක් නැතිවෙනවා. ඒත් එහෙමයි කියල ලෝකයේ සම්මත නීති වෙනස් කරන්න අපට බැහැ. අපේ රටේ කිසිදු පරිවර්තන ලේඛකයෙක්ට ලෝකයේ පරිවර්තන ලේඛක සමුළු, සම්මන්ත්‍රණ  ආදියට සහභාගී වන්නට හෝ සිංහලෙන් මිස වෙනත් භාෂාවකින් ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට හෝ අවස්ථාවක් නොලැබෙන්නේ මේ නිසයි.

නොසිතාම කර්තෘ අයිතිය උල්ලංඝනය සිදුවෙන අවස්ථා ඇතත් ප්‍රවේශම් සහගතව ඒ සඳහා හුරුවීමෙන් වලක්වා ගැනීම පහසු දෙයක්. සිතාමතා කළත්, නොසිතා කළත් මෙය වරදක් බව දත යුතුමයි.

ලිපි සොරකම් කිරීමකින් වලකින ලෙස යමක් පල කරන්නේ කොහොමද?
1. ලිපි රචනා වෙනත් තැනකින් උපුටාගෙන, ගත් තැන ගැන සඳහනක් නොමැතිව නැවත කුමන හෝ මාධ්‍යයකින් එලෙසම පළකිරීම (කොපි කිරීම) වරදක් බව දැනගැනීම
2. තමන්ට ලිවීමට අවශ්‍ය දේ ගැන වැඩිදුර විස්තර කියවීම. බොහෝ තොරතුරු දැනගත් විට ලිපි එක දෙකක් මත යැපී එම අදහස් මතම ලිවිම වැලකී, කරුණු මිශ්‍රකර තම අදහස්ද යොදා නිර්මාණයක් කළ හැකියි.
3. සාමාන්‍ය දැනීම නොවෙන යම් කරුණක් එලෙසම ගන්නට සිදුවන අවස්ථාවල ඒ බව සඳහන් කිරීමට හුරුවීම. අධ්‍යාපනික පළකිරීම් තරමට සම්මත නීති රීති අනුව නොවුනත් මුලාශ්‍ර සඳහන් කිරීම.
4. ෆේස්බුක් වැනි මාධ්‍යයක අන් කෙනෙක් ලියු දෙයක් ගැනීමේදී  copy-->Paste  නොකර share කිරීම.  කොපි කරන්නේ නම් නොවරදවා ලේඛක නම සඳහන් කිරීම.

ද්විතියික පාසලක සිසුන් දැනුවත් කර ඇති අන්දම 
මේ සියල්ලටම වඩා අවධානය යොමුවිය යුත්තේ කුඩාකල සිටම කර්තෘ අයිතිය දීමේ සදාචාරාත්මක ක්‍රියාවට හුරු කිරීමයි. දියුණු රටවල ප්‍රාථමික පන්තිවල කතන්දර පොතක් කියෙව්වත් ලේඛකයාගේ හා චිත්‍ර නිර්මාපකගේ නම අවධාරණය කර කියාදෙයි. කුඩාකළ සිටම පැවරුම්, presentation ආදිය කිරීමේදී ඒ සඳහා උදව් කරගත් පොත් පත්, වෙබ් අඩවි සඳහන් කිරීමට උනන්දු කරවනවා. ඒ තොරතුරු ලියා තැබූ අය අගය කල යුත්තේ ඇයිදැයි පහදනවා. ද්විතියික පන්තිවලට යද්දී එය නීතියක් ලෙස මෙන්ම කඩ කලහොත් දඬුවම් ලැබෙන වරදක් ලෙස හඳුන්වා දෙනවා. පාසලේ නීතිවලම එය ඇති අතර සිසුනට සැමවිටම නිවැරදිව උපුටන යෙදීම අවධාරණය කරනවා.
උසස් අධ්‍යාපන ආයතනවල උපුටන අනාවරණය කරගැනීමට plagiarism checker වැනි මෘදුකාංග භාවිතා කරනවා. තදබල වරදක් ලෙස ගැනෙන කොපි කිරීම හා වැරදි ලෙස උපුටාගැනීමට දැඩි දඬුවම් ලබාදෙනවා.
ඔබ දැන හෝ නොදැන මේ වරද කර ඇත්නම් දැන් සදාචාරාත්මක අංශය හා නීතිය දන්නවා. නැවත නොකළොත් සියල්ලෝ නිසි දේ ඉගෙනගනියි. නිවැරදි දෙය කිරීම පුරුද්දක් වූ විට එය විවිධ මාධ්‍යවල යෙදවිමේදීත්, අනාගතයට පවත්වාගෙන යාමේදීත් පහසු වෙනු ඇති.

උදව්:
www.lib.sfu.ca/help/academic-integrity/plagiarism
1. www.ox.ac.uk/students/academic/guidance/skills/plagiarism
www.virtuallibrary.info/plagiarism1.html
www.mcgilltribune.com/student-living/plagiarism
www.ragan.com/3-steps-for-avoiding-plagiarism/

13 comments:

  1. වටිනා ලිපියක් කාලයකට ඉහත වුණ සියල්ල මතක් වුනා.හරිහාමන් පවතින නීතියක් නොමැති කමයි මුළ. ඒ වගේම අධ්‍යාපන රටාව. මතක රජකීය ප්‍රින්සිපල්ගෙන් මට ආපු ගෝරනාඩුව😁. ඔබ කීව දේ නම් හරියට හරි කොපි කරල තව ඇර ගන්නත් එනවා. මම ඒකට එකඟයි.

    ReplyDelete
    Replies
    1. නීති තියනව. අනුගමනය කරන්නවත් දන්නේ නැහැ බොහෝදෙනෙක්. පාසලක තියා විශ්ව විද්‍යාලයකවත් නිවැරදි දේ කියා දී ඒවා අනුගමනය කරනවාදැයි බැලීමක් නැහැනේ.
      රාජකීය විදුහලේ ළමය කොපි කල එකට ලිපිය ලියපු ඔයාටනෙ චෝදනාව ආවේ. කොපි කරන අය පෙන්වන නීතිනේ බලන්න ඕනේ.

      Delete
    2. මොකද්ද ඒ කේස් එක?

      Delete
    3. කියමු නේද? හන්ගලත් මොකටද? සූරී UN වැඩ කරන්නේ. UN එක ගැන අලුත්ම තොරතුරු එක්ක හොඳ ලිපියක් එයාගේ බ්ලොග් එකේ දැම්ම. කොළඹ රාජකීය විද්‍යාලේ ළමයෙක් එය ගෙඩි පිටින් පැවරුමකට කොපි කරලා. ප්‍රින්සිපල්ට පැමිණිල්ල ගියාම ප්‍රින්සිපල් සුරිට ඊමේල් කරලා චෝදනා කරනවා ඒ තොරතුරු වැරදිලු, අවුරුදු කියකටද මන්ද කලින් එයා විශ්ව විද්‍යාලේ ඉගෙනගත්තේ එහෙම නෙමෙයිලු. ඔන්න ඔහොමයි ප්රින්සිපල්ටත් ඉගෙනගන්න දේ තියන ලිපියක් කොපි කරපු කොලුවට දඬුවම් කලේ.

      Delete
    4. ඉස්කෝලෙ කොල්ලෙක් කොපිකලා කියල පාඩුවක් වෙනවය😂😂😂😂

      Delete
  2. බුද්ධිනීගෙ මේ වගේම ලිපියක් කලිනුත් කියෙවුවා මතකයි. කෙසේ වුනත් මෙය වෙනම අරන් තියාගන්න වටිනවා. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. කොපියට ලක්වුණු වෙලාවක කොපිරයිට් නීති ගැන ලිව්වා. ඒවා මේ ලිපියේ කොටසක් විදියට තියනව.කීප දෙනෙක්වත් දැනුවත් වෙයිනෙ.

      Delete
  3. ඇල්ල ලඟ වලවුව ටෙලිය මතකද?
    ප්ලේජරිස්ම් ඇට් ඉට්ස් බෙස්ට්!


    ReplyDelete
    Replies
    1. ඒක එහෙමයි කියල හිතුවේ නැහැ

      Delete
  4. In the internet most of the pictures and photographs are labelled with copyright. As I know whenever a request is made, permission is given to use the item in the required occasion only. Very often most items are free of charge for educational purposes. (Sorry, there is a problem in my Sinhala fonts)

    ReplyDelete
    Replies
    1. you always add valuable information for my articles. Thanks!

      Delete
  5. මම මේ ලිපිය කියවනකොටම කැම්පස් එකේ ලයිබ්‍රරියන්ගෙන් ලියුමක් ආවා " Introduction to Plagiarism detection tool"කියලා වර්ක්ශොප් එකක තියෙනවා 26 වෙනිදා ඒකට එන්න කියලා.

    ReplyDelete
    Replies
    1. ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය තුළවත් මේ ගැන අවධානය යොමුවෙන එකනම් වැදගත්. පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් detection tool ඔන්ලයින් තියෙනවා.

      Delete