Friday 31 August 2018

වඳවෙන ජීවින් අල්ලා නැවැත්විය හැකිවේද?

අවුරුදු මිලියන 65කට පෙර සිදුවූ මහා ඩයිනසෝර් වඳවීමෙන්  පස්සේ පෘථිවිය  මුහුණදෙන විශාලතම ශාක හා සත්ව වඳවීමේ කාලයකයි අප ජිවත්වෙන්නේ .  ලොව ඇතිවූ දින සිට සිදුවන හයවන මහා ජීවී තුරන් වීමයි මේ සිදුවෙමින් පවතින්නේ.
20වන සියවසේ වඳ වී ගිය Tasmanian Tiger වෘකයා 
වසරකට ශාක හා සතුන් විශේෂ 1-5 අතර ප්‍රමාණයක් වඳවීම සාමාන්‍ය පරිසරයේ තිබෙන ස්වභාවික සංසිද්ධියක්. නමුත් දැන් සිදුවෙන මහා පරිමාණ ජීවින් තුරන් වී යාම දවසකට දුසිම් ගණනින් සිදුවන, විද්‍යාඥයන් ගණන් බලා ඇති අන්දමට සාමාන්‍ය තත්වයෙන් පන්දහසේ සිට දසදහස් වරක් වැඩියෙන් සිදුවන විපතක්. මෙය දිගටම පැවතියහොත් මේ සියවසේ මැද භාගය වනවිට දැනට සිටින ජීවින්ගෙන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් පෘථිවි තලයෙන් සදහටම සමුගනු ඇති.
මෙහි භයානක තත්වය වන්නේ කලින් සිදුවූ ජීව වැනසීම් පහ මෙන් ඇස්ටරොයිඩ් ඝට්ටන, ගිනිකඳු පිපිරීම්, ක්ෂණික කාලගුණික වෙනස්වීම් වැනි ස්වභාවික හේතු නොව, මනුෂ්‍ය වර්ගයා මෙම ඝාතනයට හේතුවිමයි.
ලොවින් තුරන්ව ගිය Pyrenian Ibex  නම් එළු විශේෂය 
මිනිසාගෙන් ඇතිවන බලපෑම් බොහොම පැහැදිලියි. විවිධ හේතු උදෙසා  පරිසරය ආක්‍රමණය, යම් පරිසරයකට ආක්‍රමණකාරී විශේෂ හඳුන්වාදීම, ගෝලීය උණුසුම ආදී පිළිතුරු ඕනෙතරම්. ජිවගෝලයේ වෙනස්වීම් අති සිඝ්‍රයෙන්  සිදුවීමත් සමග එක ජීවී විශේෂයක සිදුවන වඳ වී යාම පරිසර ජාලය තුළ ඒ හා සම්බන්ධ තවත් ජීවී විශේෂ ගණනාවක් තුරන් වීමට හේතුවෙනවා. මිනිසාට ඍජුව දැකීමට නොහැකි සම්බන්ධතා ඇති ජීවින් දහස් ගණනක් ඉදිරි දශකවල මෙයට ගොදුරුවීමට නියමිතයි.

පරිසර පද්ධතියක් නොනැසී පැවතීමට එහි ජීවි ප්‍රජා අතර අන්තර් සම්බන්ධතා මෙන්ම විවිධතාත් වැදගත්. වැසි වනාන්තර, කොරල්පර වැනි පරිසර පද්ධති තුළ ජීවී විශේෂ විශාල ගණනක් ජිවත්වෙනවා. බොහෝවිට පරිසර සුරකින්නන්ගේ අවධානය යොමුවන්නේ මෙවැනි ජෛව විවිධත්වය බහුල පරිසරවලටයි.
ජීවී වර්ග අඩු ගණනක් වෙසෙන  තණබිම්, තුන්ද්‍රා, ධ්‍රැවාසන්න මුහුදුවල එක ජීවී විශේෂයක් තුරන් වී යාම පිලියම් කළ නොහැකි විනාශකාරී තත්වයක් ඇති කරනව. එසේම බොහෝ අය කතා කරන්නේ ලෝකයෙන් තුරන්ව යන ජීවින් ගැනයි. එහෙත් ජෛව විවිධත්වයේ ප්‍රතිලාභ ලැබෙන්නේ දේශීය, ඊට අවේනික පරිසරවලටයි. මේ නිසා යම් ජීවී විශේෂයක පැවැත්ම හා ජාන විවිධත්වය රැකීමට නම් අවධානය යොමුවිය යුත්තේ දේශීය ජනගහනය සුරැකීමටයි.

පසුගිය වසර 500 ඇතුලත ජීවී විශේෂ දහස් ගණනක් මෙලොවින් සදහට තුරන් වී ගොස් ඇතිබව පැහැදිලියි. අප කුඩාකළ බහුලව දක්නට ලැබුණු බොහෝ සතුන් හා ගස්වැල් සොයාගන්නට නොහැකි වී තිබෙනවා.  පරිසර අධ්‍යයනය කරන අය, පරිසර විද්‍යාඥයන් හා සුරකින්නන් අවධානය යොමු කරන්න පෙර කෙතරම් ගහණ නැතිවී ගොස් ඇත්දැයි කිසිවෙක්ට කියන්න බැහැ. අපේ රටේ පමණක් නොවේ, ලොව පුරාමත් එහෙමයි. ඇමරිකාවේ පරිසර සුරකින විද්‍යාඥයෙක් වන ඩේවිඩ් විල්කොව් සඳහන් කරන අන්දමට ඇමරිකාවේ පමණක් දැනට විශේෂ 14000 සිට 35000ක් තරම් ප්‍රමාණයක් වඳවී යාමේ තර්ජනයට ලක්ව තියෙනව. මේ ප්‍රමාණය ඇමරිකාවේ මුළු සත්ව හා ශාක විශේෂ ප්‍රමාණයෙන් 7%ත් 18%ත් අතර ගණනක්. ලොව පුරා දිනපතාම තර්ජනයට ලක්ව තිබෙන හා රතු දත්ත පොතට ඇතුලත් කරන ජීවී සංඛ්‍යාව වැඩිවෙමින් පවතිනවා. මෙසේ  වඳවී යාමේ තත්වය ආපසු හැරවීම අරමුණු කරගෙන ගන්න ක්‍රියාමාර්ග මේ වනතෙක් නම් සාර්ථක වී නැහැ.
පැහැදිලිව කියන්නට හැකි දෙයනම් ඉදිරි දශක කිහිපය තුළ දහස් ගණනක් ශාක හා සත්ව වරග ලොවින් සදහටම නැතිව යන බවයි.

උභයජිවින් :
ලෝකය පුරා වඩාත්ම වඳ වීමේ තර්ජනයට ලක්ව තිබෙන්නේ ගෙම්බන්, මැඩියන් ඇතුළු උභය ජීවින් කාණ්ඩයයි.  ගල් අඟුරු, ආකර වල ඔක්සිජන් මට්ටම බැලීමට කැනරි කුරුල්ලන් භාවිතා කරන ලෙස මිහිමත පරිසර සාධක වෙනස්වීමේ දර්ශකය උභයජිවින් වැනිය. ඔවුන් පරිසර සංවේදී නිසාම කාලගුණ වෙනස්වීම්, වායු දුෂණය, පාරජම්බුල කිරණවලට නිරාවරණය ආදිය නිසාත්, ඔවුන්ගේ අවේනික පරිසර අහිමි වීම නිසාත්, නව සත්ව වර්ග පරිසරය ආක්‍රමණය කිරීම නිසාත්, අලුත් ලෙඩ රෝග නිසාත් වේගයෙන් ලොවට අහිමි වෙමින් පවතියි.

පක්ෂීන්:
ඉන්දීය මුකලන් බස්සා 
ලොව සෑම වසස්තනයකම පාහේ වඩාත් දෘශ්‍යමාන සත්ව වර්ගය වන පක්ෂීන්, මානව ක්‍රියා නිසා ජෛව ගෝලයේ සිදුවන වෙනස්කම් අනුව අඩුවෙමින් පවතියි. Bird Life International ආයතනයේ ඇස්තමේන්තු අනුව ලොව වෙසෙන දසදහසකට අසන්න පක්ෂි විශේෂවලින් 12%ක් තර්ජනයට ලක්ව තිබෙනවා. මෙයින් 192ක් දැඩි අවදානම් ලෙස නම් කර රතු දත්ත පොතට ඇතුල් කර තියෙන්නේ. වන විනාශය නිසා වාසස්ථාන අහිමි වීම හේතු අතර මුල් තැන ගත්තත් සතුන් ඇති කරන්නන් ද පක්ෂි අහිමිවීම්වලට බලපානවා.

මත්ස්‍යයන්:
මානව ජල අවශ්‍යතා ඉහල යාමත්, ගංගා හරහා වේලි බැඳීමත්, කසල මුදා හැරීමත්, නව වර්ග හඳුන්වා දීමත් නිසා පරිසර පද්ධති අතුරෙන් වැඩිම තර්ජනයට ලක්ව ඇත්තේ ජලජ පරිසරයයි. මේ නිසා බොහෝ කරදිය හා මිරිදිය මත්ස්‍ය වර්ග වඳවී යාම පුදුමයක් නොවේ.

උරගයන්:
ලොව පුරා උරග වර්ග 600 පමණ වඳවෙමින් පවතින බව International Union of Conversation Nature (IUCN) වාර්තා දක්වයි. මිනිස් ක්‍රියාකාරකම් නිසා එක් එක් විශේෂ එකිනෙකින් ඈත්ව තනිවීමෙන් අන්තර් අභිජනන නැතිවීම උරග ජනගහන අඩුවීමට බෙහෙවින් බලපෑම් කර ඇත. ඔවුන්ගේ පරිසරයන්ට අවේනික නොවන සත්වයින් හඳුන්වාදීම නිසා ආහාර හා වාසස්ථාන සඳහා තරග කිරීමට සිදුවීමත් තවත් ගැටලුවකි.

ක්ෂීරපායින් :
මිනිස් වර්ගයාට ආසන්න සමානකම් දක්වන වඳුරන් අයත්වන ප්‍රයිමෙටා ගෝත්‍රයේ සතුන්ගෙන් අර්ධයක්ම වඳවීමේ අවදානමේ ඇතිබව IUCN වාර්තා කරයි. සීග්‍රයෙන් සිදුවන වනාන්තර හෙළිකිරීම් ඔවුනට ඍජුවම හානි සිදුකරයි. එසේම ඩොල්ෆින්, තල්මසුන් වැනි සමුද්‍ර ක්ෂිරපයින්ද ඉතා වේගවත් ලෙස ලොවින් තුරන්වී යාම දෙසට ඇදෙමින් පවතියි.

අපෘෂ්ඨවංශින්:
සමනලුන්, ගැඩවිලුන්, ගොළුබෙල්ලන්, කොරල් ආදී ඉතා විශාල විවිධත්වයක් ඇති අපෘෂ්ඨවන්ශි විශේෂ මිලියන 1.3ක් පමණ ලොව ජීවත්වනව. දත්ත රැස්  කරගැනීමට ඉතා අපහසු තරම් ගහන ඝනත්වයක් ඇති මොවුන්ගෙන් පෘථිවි තලයේ සත්ව ගහනයෙන් වැඩි කොටසක් සමන්විතයි. එයින් 30%ක් පමණම ලොවින් තුරන්වන දිනය ඇතක නොවනු ඇතැයි IUCN වාර්තා පෙන්වා දෙයි.
ඝර්ම කලාපිය වනාන්තර විනාශයත්,  ජල දුෂණය හා වායු දුෂණයත්, කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතයත් නිසා බොහෝ සත්වයින් වඳවෙමින් පවතියි. සමුද්‍ර දුෂණයේ ඍජු ගොදුරක් බවට පත්ව ඇත්තේ කොරල්පරවල වෙසෙන කොරල් ගොඩනගන බුහුබා සත්වයින්ය.  මොවුන්ගෙන් 1/3කම තර්ජනයට ලක්වුවන් ලෙස වර්ග කර ඇත.
ලොව මල් පිපෙන ශාකවලින් 70% ක්ම පරාගනය වන්නේ මි මැස්සන් අතිනි. මෙයින් වැඩි ප්‍රමාණයක් මනුෂ්‍ය ආහාරයට යොදාගන්න ශාකවර්ගයි. මි මැස්සන් ලොවෙන් තුරන් වුවහොත් පරාගනය වෙන ශාක මෙන්ම ඊට සම්බන්ධ සියලුම ආහාරදාමයන්ද විනාශයට පත්වනබව නොඅනුමානයි. අධික කෘමි නාශක හා කෘෂි රසායන භාවිතයත්, පරිසර වෙනස්විමුත් නිසා මී මැසි ගහනයන් වේගයෙන් හානියට පත්වෙමින් තිබෙන්නේ.

ශාක:
ශාක නැතිව ජීවත්වීම කිසිදු සත්වයෙක්ට කල නොහැකි වුවත්, ඉවක් බවක් නැතිව සිදුකෙරෙන වන විනාශය නිසා ශාක තුරන් වී යාමට පටන්ගෙන ඇත. ඖෂධ සඳහා භාවිතා කරන ශාකවලින් 65%ක් පමණම තුරන්වී හෝ නැතිවී යාමට අසන්න තත්වයේ පවතින බව දත්ත වාර්තා දක්වයි. පරිසරයට එන තර්ජන වලදී සත්වයන්ට මෙන් එය අත්හැර යාමට හැකියාවක් නැති නිසා ශාක ඉක්මනින් විනාශයට පත්වේ.  මානව අවශ්‍යතා සඳහා  අධික ලෙස ඉවත් කිරීමත්, පරිභෝජනය සඳහා තෝරාගත් විශේෂ පමණක් වැඩි දියුණු කිරීමත් නිසා නව වාසස්ථාන නිර්මාණය වී, ස්වභාවික පරිසරය කඩතොලුවී ගොසින්ය. ශාක අඩුවීම නිසා ඇතිව තිබෙන පෘථිවිය උණුසුම් වීම හේතුවෙන් පෙරලා ගස්වැල්වලට බලපෑම් ඇතිවේ. ශාක, පරිසර පද්ධතියේ මුලික ව්‍යුහයයි. ආහාර දාමවල මුල් පුරුකයි. සියලුම ජීවින් ඔක්සිජන්, ආහාර, ඖෂධ සඳහා ඒ මත යැපෙන අතර, බොහෝ සත්ව විශේෂ වාසස්ථාන හා නොනැසී පැවතීමට උපයෝගී කරගන්නේද ශාක පද්ධතියි. ගස්වැල් වැනසීමේ විපාක  ගැන අටුවාටිකා අනවශ්‍යයි.

ජීවී විශේෂ තුරන්වීමේ ගැටලුවට විසඳුම් ලෙස ක්‍රියාත්මක වන වැඩසටහන්:

* පරිසරයට නැවත හඳුන්වා දීම: වන විනාශයත්, කෘෂි රසායනවල අඩංගු ලෝහ විෂවිමත්, දඩයම් කිරීමත්  නිසා මුළු ලොවේම සංඛ්‍යාව තිහකටත් වඩා අඩුවූ කැලිෆෝනියා කොන්ඩෝර් නම් උකුසු විශේෂය සත්වෝද්‍යාන වලදී බෝ කර නැවත ඔවුන්ගේ සුපුරුදු පරිසර වලට හඳුන්වා දුනි. නීති මගින්ම ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කෙරීම නිසා දැනට වර්ධනයක් දැකිය හැකි ජනගහනයකි. ලොව පුරා වෙනත් ශාක හා සත්ව විශේෂද මෙලෙස නැවත අවේනික පරිසරයට හඳුන්වාදීම් කෙරෙනවා.

*වඳවී ගිය වර්ග නැවත බෝ කිරීම:
ඉතා අපහසු කටයුත්තක් වන මෙය සාර්ථක ලෙස යොදාගැනීමට විද්‍යාඥයන් සමත්ව ඇත.  1883දී සම්පුර්ණයෙන් වඳවී ගිය සිරුරේ බාගෙට ඉරි ඇති quagga නම් සීබ්‍රා විශේෂයේ පටක සාම්පල ඇසුරින් කරන ලද පර්යේෂණ වලදී ඔවුන් නැවත බිහි කරගැනීමට ජිවත්ව සිටින සීබ්‍රා වර්ග දෙකක් උපයෝගී කරගනුනා. පරම්පරා තුනකින් පසු පැරණි සත්ව වර්ගය තනා ගැනීමට හැකිවුණු අතර, ප්‍රමාණාත්මක සංඛ්‍යාවක් බිහි කරගත හැකි වහාම නැවත උන්ගේ ස්වභාවික පරිසරය වන දකුණු අප්‍රිකාවේ වනොද්‍යානයකට මුදා හැරීමට  බලාපොරොත්තු වනවා.

*දැනුවත් කිරීම් හා තත්වයක් ලබාදීම:
බොහෝ සත්ව හා ශාක විශේෂ කෙරේ අවධානය යොමු කිරීමේ දැනුවත් කිරීම් වැඩසටහන් තුලින් එම සතුන් වඳ වී යාමෙන් වලක්වා ගැනීමට  විවිධ සත්ව හා පරිසර සංවිධාන වලට හැකියාව ලැබී ඇත. ලොව විශාලම රාජාලි විශේෂය වන පිලිපීන රාජාලි ජනගහනය පසුගිය වසර 40 තුලදී සීග්‍ර අඩුවීමක් පෙන්නුම් කළා. රජයේ අනුග්‍රහයෙන් එම සත්වයා ජාතික පක්ෂියා ලෙස නම් කිරීමත් සමග වැඩි අවධානයක් යොමුවීම නිසා නැවත ගහනයේ පැහැදිලි වර්ධනයක් දකින්නට හැකි වුනා.

* නීති රීති හඳුන්වා දීම: බොහෝ රටවල වඳ වී යන සත්වයින් හා ශාක උදෙසා විශේෂ නීති හඳුන්වා දීම නිසා තුරන් වීමේ තර්ජනයෙන් ගැලවීමට හැකිව තිබෙනවා.

*විරෝධතා ව්‍යාපාර: යම් සතව හා ශාක වලට සිදුවන හානි පිලිබඳ දැනුවත් කිරීමේ විරෝධතා පෙත්සම් අත්සන් කිරීම, රැලි පැවැත්වීම නිසාද රජයන්ගේ අවධානය දිනාගෙන නීති සකස්කිරීම කෙරෙහි යොමුවී එම ජීවින් ලොවට බේරාගත් අවස්ථා තිබෙනවා.

*තමා ජිවත්වන පරිසරයට ආවේනික ජීවින් ගැන අවධානයෙන් සිටීම:  වඩාත් සාර්ථක වන්නේ දේශීය මට්ටමෙන් කුඩා වපසරියක් අධ්‍යයනයෙන් නැසීමට ලක්වෙමින් සිටින ජීවින් රැකගැනීමයි.

වඩා වැදගත් වන්නේ මේ ලොව අයිතිකාරයින් මානව වර්ගයා පමණක් නොවන බව අප තනිවත් පොදුවේත් දැන සිට ඒ අනුව ක්‍රියා කිරීමයි. පරිසරයට පනවන දඬුවම් ඊට වඩා දහස් ගුණයක් වැඩිවී අප වෙත එන බව දැන සිටීම  ඉතාම වැදගත්වේ. පරිසරයේ අත්තනෝමතික වෙනස්කිරීම්  බලපාන්නේ වෙනත් ජිවින්ට පමණක් නොවන බවත් මේවා මිනිසා කරාත් පැමිණ ඇති බවත් සියලු දෙනා දත යුතු වේ.

උදව්:
www.biologicaldiversity.org/programs/biodiversity/
www.farmersweekly.co.za/quagga-rebreeding-a-success-story/
www.theguardian.com/environment/gallery/2014
www.bbc.com/future/story/what-if-bees-went-extinct

5 comments:

  1. අද විද්වතුන් අතර දැඩි සාකච්ඡාවට භාජන වන වැදගත් මාතෘකාවක්. දැනටමත් ලෝකයේ විවිධ මි මැසි ගනාවාස 30% ක් පමණ විනාශවී ගොස්. පෙන්වා දී ඇති පරිදි මේ නිසා ආහාර අර්බුදයකට මුහුණ පෑම ඉතාමත් ආසන්නයි. ශාක වර්ග සහ ඒවායේ පුෂ්ප පරාගණය කරන මී මැස්සන් ඇතුළු කෘමි වර්ග පරිණාමය වී ඇත්තේ මනා සහසම්බන්ධතාවක් ඇතිව. මේ නිසා සමහර පුෂ්ප පරාගණය සඳහා කෘමින්ටත් සුවිශේෂී උපාංග සකස්වී තිබෙනවා. මේ සංවේදී බව පිලිබඳ අධ්‍යයනයන් නොකර අත්තනෝමතික ලෙස කෘමි නාශක යෙදීම නිසා පොදුවේ හිතකර සහ අහිතකර කෘමින් විනාශ වෙනවා. දැන් දැන් මේ ගැන උනන්දුවක් දක්වන බව පෙන්වා. එත් ප්‍රමාද වැඩි වගෙයි.

    ReplyDelete
    Replies
    1. අපිට අවශ්‍ය ආහාර ලබාදෙන්න නොමිලේ මහඟු කාර්යයක් කරන මි මැස්සන් සුරැකීම ගැන දැඩි අවධානයක් දෙන්නම් ඕනේ. ස්තුතියි කවදත් දෙන ඔබේ විස්තරාත්මක ප්‍රතිචාරයට.

      Delete
  2. A very good post; detailed and well analyzed .

    Small typing error - Can't be New Zealand. South Africa? Namibia?


    http://breedingback.blogspot.com/

    ReplyDelete
    Replies
    1. Thanks for pointing out an error. Its South Africa. Also thanks for the encouragement given.

      Delete