පාත්ති සකස් කිරීම:
නොවැම්බර් මාසේ මුල වන විට පාත්ති සකස් කරන්න ඕනේ. අලුත් පාත්ති සෑදීමට අඩියක් පමණ ගැඹුරට පස් ටික පෙරලා ඒ මතින් කොම්පෝස්ට් තට්ටුවක්, අළු දමා පස් සමග මිශ්‍ර කරනවා. පස් පිරවීමක් තමයි වෙන්නේ. (raised vegetable bed). පාත්ති වට කරන්නේ ලෑලිවලින්. කොන්ක්‍රීට් දමා හෝ ගඩොල් අල්ලා වට කිරීමත් කරන්න පුළුවන්. සිතල දැඩි වෙන්න පෙර මෙය කරන්න ඕන සිතල වුනු ගමන් පස උදැල්ලක් ගහන්න බැරිවෙන තරමට හයිවෙන නිසයි. මෙසේ පිරවූ පාත්ති වියලි තණකොළ, වියලි කොළ පිදුරු හෝ පරණ කපු රෙදිවලින් ආවරණය කරනවා.
සමහරු ඔක්තෝබර් මැදකදී පරණ වගාව ඉවත්කොට පස සකසා කෙටි කාලයකින් හැදෙන මෑ, බෝංචි වැනි රනිල කුලයේ ශාක වර්ග වර්ග ඉන්දනවා. එම ශාක ආවරණ වගාවක් ලෙසයි යොදාගන්නේ. ඒ කියන්නේ සීතලට ඒවා මැරි ගියාම ඒ කොටස් මගින් පස ආවරණය වෙනවා. වගාවට නයිට්‍රජන් එකතුවීමත්, පස බුරුල්ව පවත්වාගත හැකි වීමත් මෙහිදී අමතර වාසියක්.
පැල තවාන් දැමීම: මෙය නිවෙස තුළ හෝ ආවරණයක් හා උණුසුම ඇති තැනක සිදු කරන්නේ.
සාමාන්‍යයෙන් පැල සිටවිමට සති හයකට පෙර ඒ සඳහා සකසා ගෙන පස් පුරවාගත් පෝච්චි හෝ පොලිතින් බෑග්වල ඇට වර්ග තවාන් දමන්නේ. මේ සඳහාම විශේෂිත කුටීර වෙන්කළ දිරන ප්ලාස්ටික් බඳුන්ද තියෙනව. එළිමහනේ කාලගුණය උණුසුම් වන තෙක් මතුවන පැලවලට අවශ්‍ය තරම ජලය දමමින් රැක බලාගැනීම කරනවා. ඒ කියන්නේ මාර්තු මාසේ මැද සතිවල තමයි තවන් දැමීම වඩා සුදුසු.
බොහෝ දෙනා මේ සඳහා එතරම් කරදර නොවෙන අතර පැල තවන් වලින් නිසි ප්‍රමාණයට වැඩුණු පැල මිලදී ගැනීමට යොමුවෙනවා.
අප්‍රේල් මාසය වනවිට උණුසුම වැඩිවෙමින් යන අතර හිම වැටීමත් එතරම් සිදුවන්නේ නැහැ. ක්‍රමයෙන් වැස්ස ආරම්භවීමත් සමග මෙතෙක් පස් යට සිටි ගැඩවිල් පනුවන් මතුවෙන්න ගන්නවා. එයින් තරමක් පස බුරුල් වුණත් පසේ තද ගතිය අඩු නැහැ.
පැල හා ඇට එළිමහනේ සිටවීම:
මෙය ඇත්තටම එක එක එළවලු වර්ගය අනුව වෙනස්. මැයි 21 වනතෙක් ඕනෑම වෙලාවක හිම වැටෙන්න පුළුවන් නිසා ඒ වනතෙක් සංවේදී පත්‍ර තියන පැල එළිමහනේ සිටවන්න සුදුසු නැති බවත් අසා තිබෙනවා. ගස් හා ඇට සිටුවිමට පෙර නැවත වරක් මුල්ලු උදැල්ලකින් පස බුරුල් කරනවා.
රාබු, ලීක්ස්, අර්තාපල්, සලාද කොළ වගේ තවාන් නොදමන, සීතලට ඔරොත්තු දෙන වර්ග යන්තම් පස් තද ගතිය අඩුවෙනකොට බිම්ගත කරන්න පුළුවන්.
තවන් පැල බිම්ගත කරන්න පෙර එළිමහනේ සෙවන තැනක දින 10ක් පමණ තැබීම කරනවා. මේ වනවිටත් පරිසරය සිතල වුනත් මැයි මාසය ආරම්භ වනවිට දීර්ඝ දිවා කාල තිබෙන නිසා ශාක අව්වට හා එළිමහනට හුරුකරවිමක් වෙනවා.
මැයි මාසේ අග වෙනකොට උෂ්ණත්වය 20C ට වැඩිවන නිසා බොහොමයක් පැල හා ඇට වර්ගබිම්ගත කරන්න පුළුවන්. ශාකය වැඩීමට අවශ්‍ය අව්ව, සෙවන අනුව සුදුසු ස්ථාන තෝරා සිටුවන්නේ. මේ වනවිට කලින් වසරේ සිටුවා හෝ ඇට වැටී හෝ සීතලට සැඟවී සිටි ලීක්ස්, මිංචි, සූදුරු, කොත්තමල්ලි, තම්පලා, රුබාබ් වගේ පැලත් මතුවෙනව. රසායන ද්‍රව්‍ය භාවිතා නොකරන කාබනික ගොවිතැනේදී සුදුළුණු, මිංචි, ලෙමන් ග්‍රාස් වැනි ස්වභාවික කෘමි විකර්ෂක පාත්තිවල සිටවනවා.
ඉන් පස්සේ තියෙන්නේ වතුර දමමින්, වල් නෙලමින්, වැල් වලට ආධාරක මැසි ගසමින් නිසි සාත්තු සප්පායම් දෙමින් රැකබලා ගැනීමයි. ජුනි, ජුලි, අගෝස්තු මාසවල පැය 14කට වැඩි දීර්ඝ දිවාකාලත් තද හිරු රශ්මියත් තියෙන නිසා ශාක ඉක්මණින් වැඩෙනවා වගේම වේගයෙන් ඵල දරනවා.
ඒ නිසා දිනපතා සැලකිල්ලෙන් ඵල නෙලීම කරන්න ඕනෙ.
ඵල දරා අවසන් වෙන ශාක පාත්තිවලින් ඉවත් කිරීමත් ඒ අතරතුර සිදුවෙනවා.
වස විස නැති නැවුම් එළවලු රස විඳිමින්, බෙදා හදාගනිමින් සිටින අතර ඔක්තෝබර් මාසය වෙද්දී ක්‍රමයෙන් ඉර එලිය වැටෙන කාල සිමාව, උණුසුම වගේම ඵලදාවත් අඩුවේගෙන යනවා. පරිසරයට අනුගතව දුකෙන් වුනත් භෝග වගාවට සමුදෙන්න සුදානම් වෙනවා. සමහරු නම් සීතලට හා හිමට ඔරොත්තු දෙන බෝග වගා කරන්න ගන්නවා.
ඔක්තෝබර් අවසානය වෙද්දී අල ගලවා, කැරට් බීට් උගුලා, සියලුම භෝග වගේ ඵල නෙලා අවසන් වෙනවා. පස තද වෙමින් යන අතර ගස්වල ප්‍රාණවත් ගතිය නැතිවෙනවා. ඒ අතර හිම රැල්ලක් ගියොත් එහෙම සීතලට ඔරොත්තු දෙන කේල් වගේ පැල ඇරුණම අනිත් ගස් ඔක්කොම වගේ කලුවෙලා මැරිලා යනවා. තවත් පස් තදවෙන්න පෙර පරිසර වෙනස්කම් වලට හිස නමමින් මේ ගස් ඉවත් කරලා සීත ඍතුවට පෙර ඊළඟ ගිම්හානයට පස සකස් කිරීම කරන්න ඕනෙ.
ඔන්න ඔහොමයි තදින් ඍතු වෙනස්වීම් සිදුවෙන රටවල ගෙවතු භෝග වගා කරන්නේ. දේසේ හැටියට බාසේ ..
උදව්:
ගෙදර ගොවි මහතා ප්‍රදීප්
www.growveg.com/guides/5-ways-to-build-soil-in-winter/
blog.gardeners.com/2013/11/cover-crops/
h2obungalow.com
www.almanac.com/starting-seeds-indoors
ගෙවතු වගාව කරන අයට උපදෙස් සහිත අගනා ලිපියක්.
ReplyDeleteමේ උතුරු අර්ධගෝලයේ සිතල රටවල නේද? (උතුරු අර්ධද්වීපය නොවෙයි) දකුණු අර්ධගෝලයේ ශීත රටවලත් ඔය පිළිවෙතම කරනවා. මාස පමණයි වෙනස් වන්නේ. මේ රටවල ශීත කාලය ජූනි, ජූලි, අගෝස්තු මාස වල. දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි මාස ග්‍රීෂ්ම කාලය. ඕස්ට්‍රේලියාවේ ශීතල ජුලි මාසයේදී 'Christmas in July' කියා නත්තල් උත්සවත් පවත්වනවා.
ස්තුතියි. වරද හැදුව. දක්ෂිණ අර්ධගෝලයේත් මේ විදියම වෙන්නත් ඕනනේ. නත්තලුත් ??
DeleteGreat work! Thank you
ReplyDelete🙂🍆🌶️🥦🥒🥕
Deleteපළමුවෙන් පාත්ති සකස් කිරීමදෙී සුදුසු පස්වරග යකින් පාත්ති පුරවා ගත යයුතූයි .පිහිටි පස ඉක්මණටම තද වනවා . එයට කොම්‍පෝස්ට් කළවම් කර ගත යුතූයි . ඔබ මිළට ගන්නා ඇට පැකැට් වලඒ ඒ රට අනුව සිටවිය යුතූ කාලය දක්වා තියෙනවා .(ඔිස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අනුව දක්වා තියෙනවා ) ඔිස්ට්‍රේලියාවේ උෂ්නත්වය 45° දක්වා වැඩිවන නිසා හිරැ එළියට ආවරණයක් ෙයෙදිය යුතූයි . විශේෂයෙන් ග්‍රීෂ්ම කාලයේදී අධික ෙලෙස වතූර දැමීම පලදායි නොවන්නේ අධික ගෘහස්ත වතූර බිලක් ඒමයි. එනිසා සුදුසු සෘතූවක් පැළ වැඩීමට තෝරා ගත යුතූයි .නැතිනම් කැරට් කිලෝ එකක් $ ශත අනූවකට ගන්න එක ලාබයි. ෙමෙම වගා පටන් ගත යුත් තේ විනෝදාස්වාදය හා මානසික තෘප්ති ලබා ගැනීමටයි .
ReplyDeleteඅපිත් අනුගමනය කරන ප්‍රාන්ත කැලැන්ඩරයක් තියෙනව. ඊට අනුව පැල කරන්නේ. දැන්නම් අත්දැකීමෙන් දන්නවා හිටවන කාලය වගේම නෙලන කාලය...අපි විකුණන්න වවන්නේ නැහැ. මානසික තෘප්තිය වගේම වස විස නැති එළවලු මාස තුන හතරක්වත් කන්න අපිටත් අසල්වැසියන් හිතවතුන්ටත් ලැබෙන වාසියයි තිබෙන්නේ.
DeleteKale saha broccoli lankawe wawenawada
ReplyDeleteනුවරඑළිය වගේ සිත පළාත්වල හැදෙනවා. කේල් වලට කාපිරි ගෝවා කියලත් කියනව.
DeleteNice article. Thanks.
ReplyDelete🥦🍆🍅🥕🍒
Delete