Showing posts with label රස ආහාර. Show all posts
Showing posts with label රස ආහාර. Show all posts

Saturday, 27 June 2020

බිත්තර හා කිරි නොමැති ආහාර සැදීම

බිත්තර නැතිව කෑම සෑදීම 
අනුන් උයන ඒවා හොඳට කාල බිල හිටපු මට විවාහවෙලා ගිය ගෙදර මස්, මාළු බිත්තර  නැති කෑමට හුරුවෙන්න වුණා. උයන්න ටිකක් හොර මම ඒ වෙනසට කැමතිවුනා. ඒත් ඉතින් වෙන වෙන රසකැවිලි හදන්න, බේක් කරන්න ගියාම තමයි අභියෝගය ආවේ. බිත්තර නැතුව කේක් හදන්නේ කොහොමද? ඒ කාලේ ඉන්ටනෙට් තිබුනෙත් නැහැනේ. තරුණි, සිරිකත පත්තර පෙරළන් බැලුවත් ලැබුනෙ නැහැ උදව්වක්. අහම්බෙන් අම්මගේ කුකරි පොතක වෙසක් කේක් කියල රෙසිපියක් හමුවුණා. දරුවන්ගේ උපන්දින වලට නොවරදවා හදපු මෝස්‌තර කේක් කරලියට ආවේ එහෙමයි.
ඒ රෙසිපියේ බිත්තර හා සිනි වෙනුවට condensed milk හෙවත් උකුකිරි/ටින්කිරි  යොදාගත්තේ.
බිත්තරවලින් කෙරෙන්නේ මොකක්ද?
1. binding :ද්‍රව්‍ය එකට බඳවා තැබීම
2. leavening :අමුද්‍රව්‍ය අතර වාතය රඳවා ආහාරය පිපුම් ගතියක් ලබාදීම
3. moisture : තෙතමනය රඳවා ගැනීම
4. රස හා පෙනුම ලබාදීම

මේ සියලු දෙය රසේ හෝ පෙනුමේ වෙනසක් නොදැනෙන්න උකුකිරි මගින් ලැබුණා. කවුරුත් විශ්වාස කලෙත් නැහැ බිත්තර නොයොදා හැදුවේ කියල.
පසු කාලෙක වෙනත් දේවලුත් බිත්තර වෙනුවට ආදේශක ලෙස යොදාගන්න පුළුවන් බව දැනගත්තා.
  •  🍌 🥑   පොඩිකරගත් ඉදුණු කෙසෙල් හෝ ඉදුණු අලිපේර : බිත්තරයක් වෙනුවට මේවයින් ග්‍රෑම් 65ක් ප්‍රමාණවත්. කෙසෙල්වල රස තරමක් එන අවස්ථා තියනව. 
  •  සෝයා කර්ඩ්/ ටෝෆු  : ඒ කියන්නේ ඝන සෝයා කිරි. මේවත් එක බිත්තරයක් වෙනුවට 60g ප්‍රමාණවත්. ඔම්ලට් වුනත් හදන්න පුළුවන්. 
  •  විනාකිරි හා බේකින් සෝඩා : බේකින් සෝඩා තේ හැන්දකට විනාකිරි මේස හැන්දක් මිශ්‍ර කළාම බොහෝ ආහාරවල බිත්තර වෙනුවට ගන්න පුළුවන්. මේවා මිශ්‍ර කරන්න ඕන බැටර් එක තුලදිමයි. 
  • යෝගට් හෝ බටර්මිල්ක් : කේක්, කප් කේක් වලට කදිමයි. 
  •  හුලංකිරිය පිටි (Arrowroot powder) : බිත්තරයක් වෙනුවට හුලන්කිරිය පිටි මේස හැඳි දෙකක්  වතුර මේස හැඳි තුනක දියකරලා ගන්න.
  • කවුපි, කඩල, මුං ඇට තම්බපුවම ඉතුරුවෙන වතුර (aquafaba): බිත්තරයක් වෙනුවට දියර මේස හැඳි තුනක් ඇති. මාෂ්මෙලෝස්, බ්‍රවුනිස් එහෙම හදන්න නියමයි.

Apple sauce 
  •  🥜 පීනට් බටර්, ආමන්ඩ් බටර් : බිත්තරයක් වෙනුවට මේවා මේස හැඳි තුනක් යොදාගෙන බිස්කට් එහෙම හදන්න පුළුවන්.  
  • ඇපල් මදය පොඩිකරල සීනි එක්ක උණු කරලා හදන ඇපල් පියුරි/ ඇපල් සෝස්  කෙසෙල් වගේම යොදාගන්න පුළුවන්. වෙනස් රසක් එන්නෙත් නැහැ.
  • Flex seed කුඩු දාන්න පුළුවන්. බිත්තරයක් වෙනුවට ෆ්ලෙක්සිඩ් තේ හැන්දක  ප්‍රමාණයක් සමග එළවලු තෙල් ටිකක් යොදන්න පුළුවන්. 
  •  සෝඩා වතුර දාන්නත් පුළුවන්.
  •  Egg Replacer නමින් කඩෙන් ගන්න තියනව. අර්තාපල් පිටි හා තවත් ද්‍රව්‍ය වලින් හදල තියෙන්නේ. 
from Amma 's recipe book 

බිත්තර allergy අයට හා බිත්තර නොකන වෙජිටේරියන් අයට මේ ක්‍රම අත්හදා බලන්න පුළුවන්.                  .   🥐🥞🍰 🍩🥮 🥪🧀🍪🧁🍩🍹

සත්ව කිරි නැතිව කෑම සෑදීම
සර්ව භක්ෂක ඉඳල ශාක භක්ෂක වුනු මට ඊළඟ ආහාර අභියෝගය එන්න තව වසර ගණනාවක් ගියා. දුව පොඩිකාලේ සිටම සතුන්ට හරිම ආදරෙයි.  2015 යාපනේ ගිය වෙලාවේ නැවතිලා හිටි ගෙදර එළදෙනුන්ගෙන් කිරි ගන්න විදිය දැකල හරිම සතුටු වුනා. එයා කිව්වේ එලදෙනවත්, ඉන්න තැනත් පිරිසිදු කරලා, පැටියටත් දීල ඒ වගේ කිරි ගන්න එක ඒ සතුන්ගේ වාසනාවක් කියල. මම කිව්වා අපි පොඩිකාලේ බිව්වේ එහෙම ගන්න කිරි කියල.
කලක සිටම වානිජමය කිරි නිෂ්පාදනයේදී  සතුන්ට සිදුකරන කරදර ගැන කියමින් හිටියා. එළදෙනුන් නිතර බලෙන් ගැබ් ගැන්වීම, පැටවුන් ඉතා කුඩා කළම මවගෙන් ඈත් කිරීම, පිරිමි පැටවුන් කුඩා කල මසට ගැනීම, මෙලෙස ශාරීරික හා මානසික වධයන්ට ලක් කරන මව්දෙනගේ ප්‍රජනන හැකියා අඩුවෙත්ම සැලකිලි අඩු කර පසෙක දැමීම වැනි නිෂ්පාදන ක්‍රියාවලියේ සත්ව හිංසන ගැන නිතර පැමිණිලි!
ඇමරිකන් හා යුරෝපා රටවල වගේම ජපානයේත් සත්ව ආහාර වලින් වැලකීම ගැන උනන්දුවක් වේගයෙන් පැතිර යනවා. කිරිවලට ආදේශක ගැන කලක සිටම පර්යේෂණ සිදු කරනවා. මුලින් ගෝවා ගැන පර්යේෂණ කළත් පෝෂණය හා අනෙකුත් ගුණ සැලකු විට ආදේශක ලෙස වඩා සුදුසු සෝයා හා ආමන්ඩ් ලෙසයි නිර්දේශ වී තිබෙන්නේ. කැනඩාව රටක් විදියටම කිරි නිෂ්පාදන ආහාර ගැනීම අඩු කරන්න මෙවර food guide එකෙන් යොමුවුණා.
ගිය වසර අග දුව කිව්වා ඊළඟ වසරේ ඉඳන්  vegan වෙනවා කියල. ඒ කියන්නේ සත්ව කිරි බොන්නේ හෝ කිරිවලින් සාදන ආහාර ගන්නේ නැහැ කියල. ඒ සඳහා සාධාරණ හේතුත් කිව්වා. අපි හැමදෙනාම එයාගේ අදහසට ගරුකරලා එයට ඉඩ දුන්නා. නමුත් ආහාර වර්ග හදද්දී ආයේ ලොකු අභියෝගයක්.
හැබැයි මම මුලින් වෙජිටේරියන් වුනු කාලේ වගේ අමාරු නැහැ. දැන් හුඟක් අය වීගන් ආහාර ක්‍රම අනුගමනය කරන හින්ද ආහාර වර්ග වගේම රෙසිපිත් හොයාගන්න පුළුවන්. හැම අසුරුමේම 'අඩංගු දේ' සඳහන් හින්ද තෝරගන්නත් පහසුයි.
දුව එයාට ඕනකරන ආහාර තෝරාගෙන ආව. මුලින් තනියම එයාගේ ආහාර හදාගත්ත. ගෙදර අනිත් අය විගන් වුනේ නැහැ. කොරෝනා කාලේ හැමෝම ගෙදර ඉන්න වුනාම විශේෂ ආහාර හැදීමත් වැඩිවුණා. මටත් ක්‍රම හොයන්න වුණා කාටත් කන්න පුළුවන් වර්ග හදන්න.
දැනට අපි යොදාගන්න ක්‍රම මේවයි.
1. සෝයා කිරි, හේසල්නට් කිරි  හෝ ආමන්ඩ් කිරි භාවිතය: රසයේ තරමක වෙනසක් තිබුණත් බොන්නත්, කිරි යොදාගෙන හදන ආහාර හැම එකක්ම හදන්නත්  පුළුවන්. මේවට සිනි එකතු කරන අවස්ථා තියන නිසා මිලට ගැනීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන.
2. ඕට්ස් කිරි: හුඟක් ආහාර හදද්දී කිරි වෙනුවට රෙසිපියේ සඳහන් ප්‍රමාණයට වඩා අඩුවෙන් භාවිතා කරන්න පුළුවන්.
3. රයිස් මිල්ක්: රතු හාල්වලින් හදන කිරි වෙළඳ පොලේ තියනව.  ඇත්තටම මම හාල්වලින් කිරි හදන්න පුළුවන් කියල දැනගෙන හිටියේ නැහැ. මේවට ඉහල ඉල්ලුමක් තියනව.
4. සත්ව කිරි නොවෙන බටර්, චීස් ආදියත් වෙළඳ පොලේ තියනව. සාමාන්‍ය කජු, ආමන්ඩ් හා මැකඩමියා කියන කජු වර්ග වලින්  මෙම බටර් හා චීස් හදන්නේ.  සත්ව කිරි හා සමානම පෝෂණ කොටස් තියනවා වගේම සිරුරට ගුණදායක HDL කොලෙස්ටරෝල් තියෙන නිසා රෝග සැදීමේ අවදානම අඩුයි. පීසා, ලසඥ්ඥ, රැප්ස් වගේ චීස් අවශ්‍ය ආහාර ඒවායින් හදාගන්න පුළුවන්.
5. සෝයා ටෝෆු භාවිතය.
6. බටර්මිල්ක් අවශ්‍ය රෙසිපි වලට ඒ වෙනුවට ලෙමන් යුෂ, විනාකිරි, cream of tartar, ටෝෆු භාවිතය
8. රටකජු කිරි (peanut milk) භාවිතය
7. ග්වෝකමොලි: අලිපේර උපයෝගී කරගෙන හදන බටර් වැනි දෙයක්. සැලඩ් සඳහා වගේම බටර් වෙනුවටත් ගන්න පුළුවන්
8. පොල් කිරි භාවිතය 🙂🙂


මේවට අමතරව ජෙලටින් කුඩුවල සත්ව ඇටකටු කොටස් අඩංගු නිසා moss jelly/ Agar agar භාවිතා කරනවා. Agar කියන්නේ මුහුදු ඇල්ගී පැලෑටියක්. ඒවා වියලා වියලි පැළෑටි කොටස් ලෙස හෝ කුඩු ලෙස පැකට් කර විකුනන්න තියනවා. ජෙලටින්වල සිසිල් ගුණය හා ප්‍රතිශක්තිකරණ ගුණ නිසිලෙස තිබෙන්නේ එම මුහුදු ඇල්ගීවලයි. උණු වතුර දාල හැදුවම සාමාන්‍ය ජෙලටින්වලට වඩා ටිකක් ඝනයි.

 බඩු ගන්න කඩේ ගියාම භාණ්ඩ හැම එකේම කිරි හෝ සත්ව කොටසක් ගෑවිලා තියනවද කියල පරික්ෂා කරන එකට සැහෙන කාලයක් යොදවන්න වෙනවා. 🧐  මාගරින් වල පවා කිරි හෝ කිරි කොටස් අඩංගු විය හැකිය කියල තියනවනේ. හොයල හොයල ගෙනාවමත් may contain milk කියල තියනව. එහෙම තියෙන්නේ එකම කර්මාන්ත ශාලාවේ යන්ත්‍රවලින් සත්ව කිරි අඩංගු ආහාරත් හදන නිසාලු.
ලෝකෙම මිනිස්සු සත්තුන්ගෙන් කිරි ගන්න එක නැවත්තුවම ඒවා හරියයි.  🤔

උදව්:
විකල්ප ආහාර පිලිබඳ කියා දුන් සැමට
www.healthline.com/nutrition/egg-substitutes
www.huffingtonpost.ca/2016/06/16/aquafaba-recipes
www.peta.org/living/food/everything-you-need-to-know-about-vegan-cheese/
www.mybluprint.com/article/milk-substitutes
www.purewow.com/food/vegan-buttermilk-substitute






Saturday, 30 November 2019

අනුගමනය කරනවානම් 3: කෑම වේලට මග පෙන්වීම Food Guide

" තෙල් කෑම අඩු කරන්න, දියකිරෙන් උයල කන්න. බත් කෝප්ප බාගයක් විතර කන්න.."
"බලමාලු, ඉස්සෝ, දෙල් වගේ ගිනියම් කෑම මේ කසාය බොන අතරේ ගන්න එපා." වෛද්‍යවරයෙක්, පෝෂණවේදියෙක් හෝ වෙද මහත්මයෙක්ගෙන් පුද්ගලික උපදෙස් ලැබෙන අවස්ථාවක හැර ආහාරයක් කෙසේ සකස් විය යුතුද කියල පොදුවේ මහජනයා දැනුවත් වීමක් ලංකාවේ තියනවද කියා සැකයි.


ආහාරවල පෝෂක කොටස් තියෙන බව ඉගෙනගන්නේ කුඩාකල ඉඳන්මනේ. සමබල ආහාරයක ඒ පෝෂ්‍ය කොටස් සියල්ල තියෙන්න ඕන බවත් දන්නවා. ඒත් වරකට ගන්නා ආහාරය කොපමණ වෙන්න ඕනෙද පෝෂ්‍ය කොටස් අනුපාතය කොතරම් වෙන්න ඕනෙද කියන එක ගැන එතරම් විස්තර කිරීමක් පාසලේ පාඩම්වල අඩංගු වුනේ නැහැ. ඒ වගේම පෝෂ්‍ය කොටස් සාමාන්‍ය භාවිතයේ තියන වචනවලින් නෙමෙයි, කබෝහයිඩ්රේට්, ප්‍රෝටීන් වගේ වෙනස් වචනවලිනුයි විස්තර කරන්නේ.
ඇමරිකා එකසත් ජනපදයේ කරන ලද පර්යේෂණවලින් හෙළිවුණේ මිනිසුන්ගේ වැරදි පෝෂණ පුරුදුවලට හේතුවන්නේ ආහාර හා පෝෂක පිලිබඳ නොදනුවත්බව කියායි.
කැනඩාවේ ආහාර ගැන පොදුවේ දැනුවත් කිරීම මධ්‍යම රජයේ වගකීමක් යටතට ගැනෙන්නේ. ඒ සඳහා කා හටත් දැනුවත් විය හැකි Food Guide සංකල්පය භාවිතයේ පවතිනවා.
මෙය මුලින්ම සමාජගත කර තිබෙන්නේ 1942 තරම් අතීතයේ යි. දෙවෙනි ලෝක යුද්ධ සමයේ රට පුරා පැතිරුණු මන්ද පෝෂණය ගැන අවධානය මෙන්ම යුද්ධයට යන සොල්දාදුවන් ශක්තිමත් කිරීම හා රෝග පීඩාවලින් රැකගෙන ශරීර සෞඛ්‍යය නිවසේ සිටම ශක්තිමත් කිරීමත්, කාර්යයේ යෙදෙන සියල්ලන් කාර්යක්ෂම කිරීමත්, නිරෝගී මව් පරපුරක් ඇතිකිරීමත් මුලින් නිකුත් කළ 'ආහාර නීති' පොත් පිංචේ මුලික අරමුණ වුණා. (තුවක්කුවක් කර තබාගෙන යන කිරි බෝතලය 😃).
කිරි, පලතුරු, එළවලු, පාන් හා සීරියල්, මස්-මාළු, බිත්තර යන ආහාර කාණ්ඩ හයට අයත් ආහාර මුලින් අනුභව කර, තවත් කැමති දෙයක්  කන්නටයි උපදෙස් දී තිබෙන්නේ.

1944  ආහාර නීතිවල ඇතිකළ වෙනස්කම් මගින් රටට අවශ්‍ය කෘෂි කටයුතු කෙරෙහි බලපෑමක් ඇති කිරීමටද දැනුවත් කිරීම යොදාගැනී තිබෙනවා.
1961 Food Guide 
කිරි ඇරෙන්නට වෙනත් කිසි ආහාරයක් ගතයුතු ප්‍රමාණ ගැන නිර්දේශ කිරීමක් 1949 හෝ 1961 වර්ණවත් පත්‍රිකාවේ හෝ නැහැ. නමුත් මුලික අරමුණ වූ ආහාර තෝරාගැනීම හා පෝෂණය ප්‍රවර්ධනය කිරීම නොකඩවා පවත්වාගෙන ගොස් තිබීම දකින්නට හැකියි. 1961 වෙනස්කම්වලට ආහාර නීති යන නම වෙනස්කර, ආහාර සඳහා මගපෙන්වීම (food guide) යෙදීම ඇතුලත්. ක්‍රමිකව කලින් වසරවලට වඩා වැඩි ආහාර වපසරියක් ගැන දැනුවත් කර තිබෙනවා. කිරි ආහාර විශේෂිත ජන කාණ්ඩ උදෙසා ප්‍රමාණාත්මක උපදෙස් දක්වනවා.
මේ සෑම අවස්ථාවකම මහජනයා භාවිතා කරන හා ඔවුන්ට වැටහෙන ආකාරයෙන් වචන භාවිතා කර දැනුවත් කිරීම් සිදුකර ඇති අයුරු බලන්න.
1977 දී සිදුකළ වෙනස වුයේ පලතුරු හා එළවලු එකම කාණ්ඩයක් යටතට ගැනීමයි. මේ වනවිට මන්ද පෝෂණයෙන්  බැහැර වී සිටි කැනේඩියානු ජනතාව ගන්නා ආහාර හා ආහාර සම්බන්ධිත නිදන්ගත රෝග අතර සම්බන්ධය සලකමින් රජයට විද්වත් කමිටුවකින් නිර්දේශ ඉදිරිපත් කෙරුණා. ඒ අනුව තෙල් ආහාර, සීනි, ලුණු හා මධ්‍යසාර සිමා කිරීමට ඉල්ලීම් ඇතුලත් වුණා.
එනම් කැනඩා ආහාර උපදේශන පත්‍රිකාවල පරමාර්ථය වී තියෙන්නේ සෞඛ්‍ය සම්පන්න ලෙස ආහාර ගැනීම උදෙසා අධ්‍යාපනික උපකරණයක් වීමයි. ඒ සඳහා පෝෂණය පිලිබඳ නව සොගැනීම් මෙන්ම, ජාතික පෝෂණ අරමුණු, ආහාර පරිභෝජන රටා පිලිබඳ අධ්‍යයන මෙන්ම ආහාර නිපදවීමේ හා සැපයීමේ ගැටළු ගැනත් අවධානය යොමුකර තිබෙනවා. 
එම සොයාගැනීම් සියල්ල වඩා ප්‍රායෝගික, විවිධත්වය සහිත ආහාර තෝරාගැනීමට යොදාගැනීම උදෙසා මෙම guide සකස් වී තිබෙනවා.

1982 දී දිනකට එක් එක් කාණ්ඩයෙන් දිනකට ගතයුතු ආහාර ප්‍රමාණය නිර්දේශ කර තිබෙනවා. උදා. පාන් සහ ධාන්‍ය කාණ්ඩය 3 -5 වරක්, එළවලු හා පලතුරු 4- 5, මස්, මාළු කාණ්ඩය දෙවරක්, කිරි හා කිරි ආහාර වයස් හා ජන කාණ්ඩ අනුව.

Food Guide ඉතිහාසයේ විප්ලවීය වෙනසක් සිදුවුණු 1992 සටහනේ ආහාර ඉදිරිපත් කර තිබෙන්නේ දේදුන්නක ආකාරයටයි. ආහාර කාණ්ඩ සඳහා නව නම් සහිතව එය ඉදිරිපත් කර තිබුණා. ධාන්‍ය ආහාරත්, එළවලු හා පළතුරුත් වැඩියෙන් ගැනීමට උනන්දු කිරීමක් සිදුකර ඇති අතර,  මෙතෙක් මුල් තැන දුන් කිරි ආහාරවලට හිමිව තිබුණේ තුන්වෙනි තැනයි. කාඩ්පතක් සේ සකස්ව තිබූ උපදෙස් පතෙහි පිටුපස, ගතයුතු ආහාර ප්‍රමාණයන් නිර්දේශිතව තිබුණා. එක් එක් ආහාර මිනුම් ප්‍රමාණ සහිතව දැක්වීමත් විශේෂිතයි. පුද්ගලයන් අනුව ගතයුතු ආහාර වෙනස්වන බවට විශේෂ සටහනක් ඇතුලත් වුණා.
2007 නැවත සංශෝධන සහිතව ඉදිරිපත් කර, 2019 වසර දක්වාම භාවිතා වූයේ කොටස් හයකින් සමන්විත තුනට නැමිය හැකි පත්‍රිකාවකි. මෙහි වයස් කාණ්ඩ මෙන්ම ස්ත්‍රී පුරුෂ භාවය අනුවද, ගැබිණි, කිරිදෙන මව්වරු ආදී ලෙස ගත යුතු ආහාර විශේෂිතව දක්වා තිබුණා.  ආහර ගතයුතු ප්‍රමාණ ගැන නිර්දේශත් විස්තරාත්මකව සඳහන්.
එළවලු පලතුරු ප්‍රමුඛතා පෝෂ්‍ය කොටස ලෙස ගැනුණු අතර, කිරි හා කිරි ආහාර යන්න  කිරි සහ විකල්ප ආහාර ලෙස සෝයා, පරිප්පු ආදිය අඩංගු වන සේ වෙනස් කර තිබූනා.   එසේම ජල පානයත්,  දිනපතා ශාරීරික යෝග්‍යතා ව්‍යායාම්වල යෙදීමත් අවධාරණය කර තිබීම වැදගත්. ආදිවාසි ආහාර ක්‍රම ගැන මෙන්ම කැනඩාවේ වෙසෙන විවිධ ජාතීන්ගේ ආහාර ගැනත් සැලකිල්ලක් දැක්වීමත් මෙම පත්‍රිකාවේ විශේෂයි. ඇසුරුම්වල එන පෝෂක විස්තර කියවා අවබෝධ කරගැනීමේ කොටසකුත් අඩංගුයි.

ක්‍රමිකව මානව ආහාර විධි වෙනස් වීමත්, ආහාර නිසා හටගන්නා රෝගයන් වැඩිවීමත් නිසා නැවත උපදේශන වෙනස් කිරීමක් අවශ්‍ය බවට පසුගිය වසරවල යෝජනා මතුව ආව. දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාගැනීම තව දුරටත් කැනේඩියානුවන්ගේ ප්‍රමුඛ ගැටළුවක් නොවූ අතර අධි පෝෂණය හා ආහාර වැඩිපුර ගැනීම ගැටළුවක් බව පෙනීගියා. එයට හේතුව Food Guide හි සමහර උපදේශයන් හි සාවද්‍ය කරුණු බවට චෝදනා එල්ලවුණා.  ආහාර ගතයුත්තේ කොපමණක්ද යන්න පමණක් නොවේ, ගුණාත්මකව ආහාර ගත යුත්තේ කෙසේද යන්නත් අවධාරණය විය යුතු බව යෝජනා අතර වුණා.
වසර ගණනාවක් තිස්සේ කරන ලද පර්යේෂණ, අනෙක් රටවල පර්යේෂණ ප්‍රතිඵල, අධ්‍යයන, සමීක්ෂණ, උපදේශන, ආදියෙන් පසුව 2019 වසරේ නව ආහාර මග පෙන්වීම් සටහනක් දොරට වැඩියා.
පිටු 26කින් යුතු පැහැදිලි ඉදිරිපත් කිරීමක් සහිතව එන මෙය, සරල රූප සටහන් පිටු දෙකකින් හැමට වටහාගත හැකි ලෙස සකසා තියෙනවා.
ගත යුතු ආහාර ප්‍රමාණ පිඟානක ආකාරයෙන් ඉදිරිපත් කර ඇති අතර,  එය වටහාගැනීම පහසුයි.
වඩාත් වැදගත් ප්‍රධාන මාර්ගෝපදේශ තුනක් ඇතුලත්.
1. ගුණාත්මක ආහාරයක පදනම
  • ධාන්‍ය, එළවලු, පලතුරු, ප්‍රෝටීන් ආහාර දිනපතා ගන්න. ප්‍රෝටීන් ආහාරවලදී ශාකමය ප්‍රෝටීන්වලට වැඩි තැනක් දෙන්න.
  • අසන්තෘප්ත මේද අඩංගු ආහාර ගන්න. 
  • ජලය පානය කරන්න. 
2. වැළකිය යුතු ආහාර පාන 
  • පිළියෙළ කරන ලද (processed) ආහාර ගැනීමෙන් මේද, ලුණු හා සීනි අනවශ්‍ය තරමින් ආහාරයට එකතුවිය හැකි බව.
  • මධ්‍යසාරවල පෝෂණ ගුණයක් නැති අතර, එය රෝගවලට හේතු වන බව.
3. ආහාර සම්බන්ධ දක්ෂතා 
  • ගුණාත්මක ආහාර වේලක් ලබාගැනීම උදෙසා පෝෂ්‍යදායි ආහාර නිවැරදිව පිසීමේ දක්ෂතා දියුණු කිරීම 
  • පෝෂ්‍යදායි ආහාර තෝරාගැනීම උදෙසා ආහාර ලේබල් නිවැරදි දැනුවත් කිරීම්වලින් යුතු වීම 
ආහාර පුරුදු ගැන සැලකිලිමත් වීම, ආහාරය වින්දනය කිරීම මෙන්ම සියලුදෙනා එකතුවී අහර ගැනීමත් අවධාරණය කර තිබෙනවා.
කිරි ආහාර හා සත්ව ආහාර නිෂ්පාදනයන් ගැන ඇති චෝදනා සලකා බැලීමෙන් පසු සම්පුර්ණ ආහාර වේලක කිරි සහ බිත්තර සඳහා ඉතා කුඩා කොටසක් පමණක් වෙන්කර තිබීමත්, මස් මාළු සඳහා එතරම් අවධානයක් නොදීමත් අනාගත නිෂ්පාදන ක්‍රියාවලියේදී සත්ව හිංසන අඩු කිරීමටත්, වංචා සහගත සත්ව ආහාර නිෂ්පාදන අඩු කිරීමටත් මග පාදනු ඇති.
කැනඩාවේ රජයේ ප්‍රකාශන අතරින් දෙවනුවට ඉල්ලීම ඇති ප්‍රකාශනය වන්නේ Canada Food Guide වීමෙන් එහි වැදගත්කම මනාව පැහැදිලි වනු ඇති. අතීතයේ සිටම ජාතියක් ලෙස සමෝධානිතව පාසල්වල පමණක් නොව, ප්‍රජා මධ්‍යස්ථාන, සන්නිවේදන ආයතන ඇතුළු සැමගේ සහය ඇතිව ජනගත වූ මෙය රටේ ජනතාවගේ අභිවෘද්ධිය සලකමින් සැකසුනක්. මෙහි පැහැදිලි කර ඇති ආකාරයට එය නිශ්චිත, නොවෙනස් එකක් නොවෙයි. මහජන අදහස්, නව සොයාගැනීම් ඇතුළු බොහෝ දේ අනුව කලින් කලට වෙනස්වන දෙයක්.

නිරෝගිමත් ජාතියක් ගැන කතා කරන හැමදෙනාම රටක් ලෙස ආහාර හා පෝෂණ ගැටළු ගැන සැලකිලිමත්ව, අතීත ආහාර රටා ගැන අධ්‍යයනය කර, ඒවායිනුත් අදහස් අරගෙන, මේ වගේ අදහසක් ප්‍රයෝගිකව බලගන්වා, පොදුවේ අනුගමනය කළ හැකිනම් යහපතක් වෙනු ඇති.

උදව්:
Canada's Food Guide through the Years: Globe and Mail 2018 April
S. Grewal
https://medicine.utoronto.ca/magazine/article/food-guide
www.cbc.ca/news/health/the-politics-of-food-guides
www.theglobeandmail.com/life/health-and-fitness/canadas-food-guide
https://brighterworld.mcmaster.ca/articles/canadas-new-food-guide-a-fail-on-culture-and-sustainability/
www.canada.ca/en/health-canada/services/canada-food-guide/about/history-food-guide.html
www.canada.ca/canada-food-guide/resources/canada-food-guide-presentation-eng.pdf

Sunday, 26 August 2018

සීත රටක ගෙවතු වගාව

අව්රුද්දෙ වැඩි දවසක් සීතලෙන් තියන රටවල කෘෂිකාර්මික කටයුතු කෙරෙනවා. වසර පුරා සිදුකරන්න බැරිවුණත් සුළුවට කෙරෙන ගෙවතු භෝග වගා වගේම මහා පරිමාණයේ වතු යායවල ගොඩ ගොවිතැනත් කරනවා.  උතුරු අර්ධගෝලයේ උතුරින් පිහිටන රටක රසායන ද්‍රව්‍ය නොයෙදා විවෘත පරිසරයක ගෙවතු එළවලු වගා කරන ආකාරය අත්දැකීම් ඇසුරෙන් ලියන්නම්.

පාත්ති සකස් කිරීම:
නොවැම්බර් මාසේ මුල වන විට පාත්ති සකස් කරන්න ඕනේ.  අලුත් පාත්ති සෑදීමට අඩියක් පමණ ගැඹුරට  පස් ටික පෙරලා ඒ මතින් කොම්පෝස්ට් තට්ටුවක්, අළු දමා පස් සමග මිශ්‍ර කරනවා. පස් පිරවීමක් තමයි වෙන්නේ. (raised vegetable bed).  පාත්ති වට කරන්නේ ලෑලිවලින්. කොන්ක්‍රීට් දමා හෝ ගඩොල් අල්ලා වට කිරීමත් කරන්න පුළුවන්. සිතල දැඩි වෙන්න පෙර මෙය කරන්න ඕන සිතල වුනු ගමන් පස උදැල්ලක් ගහන්න බැරිවෙන තරමට හයිවෙන නිසයි. මෙසේ පිරවූ පාත්ති වියලි තණකොළ, වියලි කොළ පිදුරු හෝ පරණ කපු රෙදිවලින් ආවරණය කරනවා.
සමහරු ඔක්තෝබර් මැදකදී පරණ වගාව ඉවත්කොට පස සකසා කෙටි කාලයකින් හැදෙන මෑ, බෝංචි වැනි රනිල කුලයේ ශාක වර්ග වර්ග ඉන්දනවා. එම ශාක ආවරණ වගාවක් ලෙසයි යොදාගන්නේ. ඒ කියන්නේ සීතලට ඒවා මැරි ගියාම ඒ කොටස් මගින් පස ආවරණය වෙනවා. වගාවට නයිට්‍රජන් එකතුවීමත්, පස බුරුල්ව පවත්වාගත හැකි වීමත් මෙහිදී අමතර වාසියක්.

සකස් කළ පස ඊළඟට මාස පහ හයක් සීතලට හා හිමට නිරාවරණය වෙන්න අරිනවා. සාමාන්‍ය රීතිය පොහොර යෙදීමත්  එළවලු පැල සිටුවීමත් අතර මාස හයක්වත් තැබිය යුතුයි කියලයි. මේ රීතිය විශේෂයෙන්ම අමුවෙන් ආහාරයට ගන්න කොළවර්ග සිටුවීමේදී වැදගත්.  මෙහෙම සීතලට මුහුණ දීම නිසා පස තද වීමට අමතරව පසේත් කොම්පොස්ට්වලත් තියන දිලිර, බැක්ටීරියා ඇතුළු විෂබීජ විනාශ වෙලා, කෘමි ජිවන චක්‍රයේ අවස්ථා විනාශ වෙලා යන නිසා වගාවට පහසුයි. තද සීතල හා හිම පතනය අඩු වසරවල රසායනික පොහොර හා කෘමි නාශක නොයොදන වගාවන් නිසරු වෙන්නේ වගේම කෘමි හානි සිදුවෙන්නේ සීතල නිසි ප්‍රමාණයට නොලැබීම නිසයි.

පැල තවාන් දැමීම: මෙය නිවෙස තුළ හෝ ආවරණයක් හා උණුසුම ඇති තැනක සිදු කරන්නේ.
සාමාන්‍යයෙන් පැල සිටවිමට සති හයකට පෙර ඒ සඳහා සකසා ගෙන පස් පුරවාගත් පෝච්චි හෝ පොලිතින් බෑග්වල ඇට වර්ග තවාන් දමන්නේ. මේ සඳහාම විශේෂිත කුටීර වෙන්කළ දිරන ප්ලාස්ටික් බඳුන්ද තියෙනව. එළිමහනේ කාලගුණය උණුසුම් වන තෙක් මතුවන  පැලවලට අවශ්‍ය තරම ජලය දමමින් රැක බලාගැනීම කරනවා. ඒ කියන්නේ මාර්තු මාසේ මැද සතිවල තමයි තවන් දැමීම වඩා සුදුසු.
බොහෝ දෙනා මේ සඳහා එතරම් කරදර නොවෙන අතර පැල තවන් වලින් නිසි ප්‍රමාණයට වැඩුණු පැල මිලදී ගැනීමට  යොමුවෙනවා.
අප්‍රේල් මාසය වනවිට උණුසුම වැඩිවෙමින් යන අතර හිම වැටීමත් එතරම් සිදුවන්නේ නැහැ. ක්‍රමයෙන් වැස්ස ආරම්භවීමත් සමග මෙතෙක් පස් යට සිටි ගැඩවිල් පනුවන් මතුවෙන්න ගන්නවා. එයින් තරමක් පස බුරුල් වුණත් පසේ තද ගතිය අඩු නැහැ.

පැල හා ඇට එළිමහනේ සිටවීම:
මෙය ඇත්තටම එක එක එළවලු වර්ගය අනුව වෙනස්. මැයි 21 වනතෙක් ඕනෑම වෙලාවක හිම වැටෙන්න පුළුවන් නිසා ඒ වනතෙක් සංවේදී පත්‍ර තියන පැල එළිමහනේ සිටවන්න සුදුසු නැති බවත් අසා තිබෙනවා. ගස් හා ඇට සිටුවිමට පෙර නැවත වරක් මුල්ලු උදැල්ලකින් පස බුරුල් කරනවා.
 රාබු, ලීක්ස්, අර්තාපල්, සලාද කොළ වගේ තවාන් නොදමන, සීතලට ඔරොත්තු දෙන වර්ග යන්තම් පස් තද ගතිය අඩුවෙනකොට බිම්ගත කරන්න පුළුවන්.
තවන් පැල බිම්ගත කරන්න පෙර එළිමහනේ සෙවන තැනක දින 10ක් පමණ තැබීම කරනවා. මේ වනවිටත් පරිසරය සිතල වුනත් මැයි මාසය ආරම්භ වනවිට දීර්ඝ දිවා කාල තිබෙන නිසා ශාක අව්වට හා එළිමහනට හුරුකරවිමක් වෙනවා.
 මැයි මාසේ අග වෙනකොට උෂ්ණත්වය 20C ට වැඩිවන නිසා බොහොමයක් පැල හා ඇට වර්ගබිම්ගත කරන්න පුළුවන්. ශාකය වැඩීමට අවශ්‍ය අව්ව, සෙවන අනුව සුදුසු ස්ථාන තෝරා සිටුවන්නේ. මේ වනවිට කලින් වසරේ සිටුවා හෝ ඇට වැටී හෝ සීතලට සැඟවී සිටි ලීක්ස්, මිංචි, සූදුරු, කොත්තමල්ලි, තම්පලා, රුබාබ් වගේ පැලත් මතුවෙනව. රසායන ද්‍රව්‍ය භාවිතා නොකරන කාබනික ගොවිතැනේදී සුදුළුණු, මිංචි, ලෙමන් ග්‍රාස් වැනි ස්වභාවික කෘමි විකර්ෂක පාත්තිවල සිටවනවා.

ඉන් පස්සේ තියෙන්නේ වතුර දමමින්, වල් නෙලමින්, වැල් වලට ආධාරක මැසි ගසමින් නිසි සාත්තු සප්පායම් දෙමින් රැකබලා ගැනීමයි. ජුනි, ජුලි, අගෝස්තු මාසවල පැය 14කට වැඩි දීර්ඝ දිවාකාලත් තද හිරු රශ්මියත් තියෙන නිසා ශාක ඉක්මණින් වැඩෙනවා වගේම වේගයෙන් ඵල දරනවා.
ඒ නිසා දිනපතා සැලකිල්ලෙන් ඵල නෙලීම කරන්න ඕනෙ.
ඵල දරා අවසන් වෙන ශාක පාත්තිවලින් ඉවත් කිරීමත් ඒ අතරතුර සිදුවෙනවා.

වස විස නැති නැවුම් එළවලු රස විඳිමින්, බෙදා හදාගනිමින්  සිටින අතර ඔක්තෝබර් මාසය   වෙද්දී ක්‍රමයෙන් ඉර එලිය වැටෙන කාල සිමාව, උණුසුම වගේම ඵලදාවත් අඩුවේගෙන යනවා. පරිසරයට අනුගතව දුකෙන් වුනත් භෝග වගාවට සමුදෙන්න සුදානම් වෙනවා. සමහරු නම් සීතලට හා හිමට ඔරොත්තු දෙන බෝග වගා කරන්න ගන්නවා.
ඔක්තෝබර් අවසානය වෙද්දී අල ගලවා, කැරට් බීට් උගුලා, සියලුම භෝග වගේ ඵල නෙලා අවසන් වෙනවා. පස තද වෙමින් යන අතර ගස්වල ප්‍රාණවත් ගතිය නැතිවෙනවා. ඒ අතර හිම රැල්ලක් ගියොත් එහෙම සීතලට ඔරොත්තු දෙන කේල් වගේ පැල ඇරුණම අනිත් ගස් ඔක්කොම වගේ කලුවෙලා මැරිලා යනවා. තවත් පස් තදවෙන්න පෙර පරිසර වෙනස්කම් වලට හිස නමමින් මේ ගස් ඉවත් කරලා සීත ඍතුවට පෙර ඊළඟ ගිම්හානයට පස සකස් කිරීම කරන්න ඕනෙ.
ඔන්න ඔහොමයි තදින් ඍතු වෙනස්වීම් සිදුවෙන රටවල ගෙවතු භෝග වගා කරන්නේ. දේසේ හැටියට බාසේ ..


උදව්:
ගෙදර ගොවි මහතා ප්‍රදීප්
www.growveg.com/guides/5-ways-to-build-soil-in-winter/
blog.gardeners.com/2013/11/cover-crops/
h2obungalow.com
www.almanac.com/starting-seeds-indoors

Friday, 30 March 2018

මල් නොතලා ගන්න මේපල් පැණි Maple Syrup

පොල්, කිතුල්, තල් මල්වලින් පැණි ගෙන ආහාර සැදීම අපට නුහුරු දෙයක් නොවේ. කිතුල්  මුල්වලින් පවා යුෂ ගෙන පැණි ගන්නා ක්‍රම ගම්වල ඇත්තෝ දනිති. මේ ගස් නොහැදෙන සීත කාලගුණයක් තියන රටවලටත්  සොබාදහම යහපත් ලෙස සලකා පැණි ගත හැකි ශාක ලබාදී තිබෙනු දැකිය හැකියි. මේපල් ශාකය පැණි ලබාගත හැකි ගස් අතුරෙන්  විශේෂිතයි. ගිම්හාන කාලයේදී තද කොළ පැහැයෙන් තිබෙන බෙදුණු මේපල් පත්‍ර සරත් ඍතුවේදී වර්ණ වෙනස්කර ඉතා මනහර දසුන් මවයි. සිසිර ඍතුවේ දී  දිවි රැකගන්නේ කොළ රහිත ඉපලක් ලෙසිනුයි. මේ ගසට සීත කාලයේ අධික සීතලටත් ගිම්හාන කාලයේ අධික උෂ්ණත්වයටත් ඔරොත්තු දීමේ හැකියාව පවතියි. අවුරුදු 70-130 අතර කාලයක් ආයු ඇති මේපල් ගස් අඩි 100ක් පමණ උසට වැඩෙයි.මේපල් මල් ලා කහකොල, තැඹිලි හෝ රතු පාට පොකුරු ලෙස හටගනියි.









මේපල් සිරප් සැදීම පිණිස යුෂ ලබාගන්නේ  මල්වලින් නොව, ගසේ කඳෙනි. මේපල් කඳෙන් යුෂ ලබාගැනීම උතුරු ඇමරිකාවේ විසූ ආදිවාසීහු ඉතා දිගු කලක් තිස්සේ සිදුකර තිබේ. සෙමෙන්  වර්ධනය වෙන මේපල් ගස්, යුෂ ගැනීමට සුදුසු ප්‍රමාණයට මේරීමට අවුරුදු 30ක් 40ක්  පමණ ගතවේ. කඳේ විෂ්කම්භය අඟල්  14(35cm)ක් වත් වියයුතුය. පළමු විදීමෙන් පසු  ගසට අවුරුදු 100 පමණ වනතෙක් යුෂ ලබාගත හැකියි. යුෂ ගැනීමට වඩා සුදුසු මේපල් වර්ගය වන්නේ  Sugar maple (විද්‍යාත්මක නම Acer saccharum) ය.
රබර් ගහේ කඳෙන් කිරි ලබාගන්නේ පොත්ත යන්තම් ඉවත් කරන කැපුම් යෙදීමෙන් බව අප දන්නා කරුණක්. විද්‍යාත්මකව බැලුකළ  කැම්බියම තුවාල නොකර සීරුවෙන් මතුපිට ස්ථරයෙන් රබර් කිරි නිපදවීම සිදුකෙරේ.  එහෙත් මේපල් පැණි ලබාගන්නේ  කඳේ ඇතුලත ඇති සෛලමයෙන් නිසා කඳ  සිදුරු කළයුතු වේ. යුෂ ලෙස පිටතට ගන්නේ සෛලමය තුලින්  මුලේ සිට ශාකයේ අනෙක් කොටස් කරා  ජලය සමග පරිවහනය වන සීනි ද්‍රාවනයයි.
මෙහිදී  වැදගත් වෙන්නේ මේරු ගසක් විදීම උදෙසා නිසි කාලය තීරණය කිරීමයි. වඩාත්ම සුදුසු වන්නේ සිසිරය අවසන් වී වසන්තය එළඹෙන කාලයයි. රාත්‍රියට 0▫️C ට අඩු අයිස් මිදෙන උෂ්ණත්වයක් හා දහවල් ඊට තරමක් වැඩි ධන අගයක උණුසුමක් තිබෙන, හිම දියවෙමින් පවතින මාර්තු මාසයේ අග වඩා වැඩි සිනි සාන්ද්‍රණයක් සහිත යුෂ ලබාගැනීමට උචිතම සමයයි. නිසි කාලය තීරණය ඇත්තෙන්ම කලාවක් බඳුයි. නියම කාලය එන්නට පෙර ගස සිදුරු කළොත් මාර්ගය වියලිමකට ලක්වෙන අතර, කාලය ඉක්මවුවොත් සීනි ස්වභාවය අඩුවෙයි. නිසි කාලයේදී සිදුරු කලත් උපරිම යුෂ වෑහෙන්නේ ටික දිනකට පසුයි. වැඩි සීනි ප්‍රතිශතයක් අඩංගු වෙන්නේ යුෂ ලබාගන්න මුල් කාලයේයි.
සිසිර සමයේ ගසේ කඳේ හා මුල්වල ගබඩා කර තිබෙන සීනි යුෂ හා ඛනිජ, පරිසර උෂ්ණත්වය වැඩිවීමත් සමග මුල පීඩනයත්, කඳේ පීඩනයත්, උත්ස්වේදනයත් මගින් පරිවහනය වෙන්නට පටන්ගනියි. ඒ වන විටත් පත්‍ර නැවත සෑදී නැති නිසා උත්ස්වේදනය ඉතා අඩුය. සීත කාලයේ ශාකය තුළ ජල ගමනාගමනය අඩු  නිසා මුල් ආසන්නයේ සිනි සාන්ද්‍රණය වැඩිය. ගස ක්‍රමයෙන් මල් පුබුදන්න සුදානම් වෙන නිසා පරිවෘත්තිය ක්‍රියා ක්‍රමයෙන් වැඩිවෙයි. (මේපල් ගස සීත කාලයෙන් පසු නැවත දළු දැමීමට  පෙර මල් පිපෙන ගසකි).


මේපල් යුෂ ගැනීම සඳහා උපකරණ කිහිපයක් අවශ්‍යයි. කඳ විදීම සඳහා drill එකක් හා මිටියක්,  වෑහෙන යුෂ පිටතට ගැනීම සඳහා විල්ලක් හෝ බටයක්, පැණි එකතු කිරීමට පියන සහිත පනිට්ටුවක්.
සිදුරු කලයුතු ස්ථානය තීරණයත් වැදගත්. කලින් සිදුරු නොකළ ස්ථානයක් යොදාගැනීම වඩා සුදුසුයි.  ශාකයේ මුලට ආසන්න ස්ථානයක් හෝ දෙකක් නිසි ලෙස සිදුරුකර, ඒ තුළට සවිකළ විල්ලෙන් එන මේපල් යුෂ පනිට්ටුවලට එකතු කර ගැනෙයි. මේ යුෂය ජලය මෙන් පැහැදිලි ඝන නැති දියරයක්. ගසෙන්  වැටෙන කෝටු කැලි, රොඩුබොඩු වලින් අපවිත්‍ර නොවෙන්න පනිට්ටුව වසා තැබීම වැදගත්.
යුෂ පිරුණු වහාම ඉවත් කරගත යුතුයි, ඉක්මනින්ම නරක්වෙන්න ඉඩ තියන නිසා. පනිට්ටුවලට එකතුවෙන වේගය දවසේ ස්වභාවය, යුෂ ගැනීම අරඹා ගතවූ දින ගණන හා පොලවේ ජල ප්‍රමාණය මත රඳා පවතියි. සමාන්‍යයෙන් වඩා හොඳ අස්වැන්නක් තියෙන්නේ දින 10ත් 20ත් අතරයි.  සති 4ත් 6ත් අතර කාලයකදී උණුසුම් වසන්ත දින ඇරඹීමත්, ගසේ මල් හටගැනීමත් සමග යුෂ ගැනීමේ කාලය අවසන් වෙයි.

 ලබාගත් මේපල්  යුෂ වලින් පැණි හදන්නේ කෙසේද බලමු..
යුෂ ගත් ගමන් උණු කර පැණි සාදන්නේ නැත්නම් සීත ගබඩා කර තබනවා. මෙම යුෂ විශාල භාජනවලට දමා ගින්දරෙන් උණු කරමින්, හැඳි ගාමින් නියම පදමට එනතෙක් ජලය වාෂ්ප කර යැවීම සම්ප්‍රදායික ක්‍රමයයි. නියම පදම ලෙස සලකන්නේ 66.5% මට්ටමට සාන්ද්‍ර වීමයි. මේ සඳහා ද්‍රාවණය 219͒ F (104͒ C) උෂ්ණත්වයට එළඹිය යුතුයි.
යුෂ උනුකිරිම සිදුකරන්නේ ගල් උඩ තබා නොව, දෙපස හිටවූ කණු දෙකක ඉහලින් යන හරස් කණුවක යෙදු දම්වල්වල එල්ලීමෙන්. මේපල් දර දමමින් උණු කළවිට වැඩි රසයක් ගෙනදෙන බව කියැවේ. හෙමින් හෙමින් බොහෝ වෙලාවක් උණු කරන අතරේ වරින් වර හැන්දකට අරන් රස බැලීම කරයි. පුරුද්දක් ඇති අයට නියම උෂ්ණත්වයට පැමිණීම සුවඳින් කීමේ හැකියාව ඇත. උකු ගතිය පරික්ෂාව ද්‍රවමාන ආධාරයෙන්ද සිදුකෙරේ.
මේපල් පැණි ගැලුමක් සෑදීමට මේපල් යුෂ ගැලුම් 40ක් පමණ අවශ්‍යයි. ඊට හේතු වෙන්නේ ගසෙන් වෑහෙන යුෂයේ අඩංගු සිනි ප්‍රමාණය 2% පමණ වීමයි. නියම සාන්ද්‍රණයට එළඹීමට නොකඩවා දින දෙකක් පමණ දර සපයමින් උණු කළ යුතුයි. නියම පදමට උකු ගතිය ආවිට ඒවා ලින්ට් රෙදි වලින් පිරිසිදු බඳුන්වලට පෙරා ගැනේ. නැතහොත් උණුකළ බඳුනේම නිවෙන්නට තබා මන්ඩි තැන්පත් වු පසු උඩින් පැණි වෙන්කර ගැනීම සිදුකරයි.  පොල්, කිතුල් පැණිවලින් මෙන් මේපල් පැණි ද තව වැඩිපුර රත්කර  ටොෆි හා හකුරු සැදීමත් කරයි. මෙය honey ලෙස නොව syrup නමිනුයි හැඳින්වෙන්නේ.

ගෙවල්වල හදන අයත්, පැරණි සම්ප්‍රදායික ප්‍රදර්ශනය කරන අයත් මේ ක්‍රම භාවිතා කළද, මහා පරිමාණයෙන් මේපල් සිරප් කර්මාන්තයේ යෙදෙන්නන්  යුෂ එකතු කරගන්නේ සිදුරු වලට බට යොදා ඒවා කෙලින්ම ටැංකි වලට එකතු කර, විදුලි බලයෙන් හෝ ගෑස් බලයෙන් වාෂ්පීකරණය කරන කම්හලට යොමු කිරීමෙන්.


අවසන් සිරප් නිෂ්පාදන තත්ත්ව පරික්ෂා අනුව A හා B ලෙස වර්ග කරයි. නිෂ්පාදනයෙන් පසු අලංකාර බෝතල් හා දවටනවල විකිණීමට යොමු කෙරෙයි. මිල ගණන් ගොවිපලෙන් ගොවිපලටත්,  බඳුනේ අලංකාරය අනුවත් වෙනස් වෙයි. සාමාන්‍යයෙන් ප්ලාස්ටික් භාජනයක දැමු මේපල් සිරප් ලීටරයක් කැනඩා ඩොලර් 20ක් පමණ මිල වේ. ලෝක මේපල් සිරප් නිෂ්පාදනයෙන් 80%ක් පමණම සිදුවන්නේ කැනඩාවේය.

මේපල් සිරප්වල වැඩිපුරම තිබෙන්නේ සීනිය. ඊට අමතරව පෝෂක ලෙස පොටෑසියම්, කැල්සියම් වැනි ඛනිජ ස්වල්පයක් ඇත. මේපල් සිරප් භාවිතා කරන්නේ අතුරුපස සැදීමට, ආහාර රස ගැන්වීමට හා පෑන් කේක් සමග අනුභවයටය.  තේ පානයේදී සිනි වලට විකල්පයක් ලෙසත් යොදාගනියි.

මාර්තු අප්‍රේල් කාලයට මේපල් ගොවිපලවල පවත්වන උත්සව හැඳින්වෙන්නේ  Maple Festival නමිනි. සුළු මුදලක් ගෙවා යුෂ ගැනීමේ හා සිරප් නිපදවීමේ ක්‍රියාවලිය බලාගැනීම ඒ සමයේ සිදුකල හැකිවේ.  ක්‍රියාවලියේ අවස්ථා demonstration නැරඹීමත්, නිෂ්පාදන අඩු මිලට නිෂ්පාදන ගැනීමත් කළ හැකිය.

මේ වගේම කඳ විදීමෙන් යුෂ ගන්න තවත් ශාක ඇත. බර්ච්, basswood, sycamore, වෝල්නට්, කොරියාවේ gorosoe ගස් ඒ අතරයි. බර්ච් ගහේ යුෂ ශක්ති ජනක පානයක් ලෙස උණු කිරීමකින් තොරව එලෙසම  බීමට ගැනේ. මේ ගස්වලින් වැස්සෙන යුෂවල මේපල්වල තරම් සිනි ප්‍රතිශතයක් නොමැත.

උදව්:
පින්තුර අනුග්‍රහය හා උනන්දුව සැපයීම: ටොරොන්ටෝහි අමාලි චන්දිමා නංගී
https://gardenerdy.com/sugar-maple-tree-facts
https://botanistinthekitchen.blog
https://cedarvalemaple.com
http://lusaorganics.typepad.com/clean
www.puremaplefromcanada.com

Thursday, 3 August 2017

ශීත රටවල පළතුරු -3

ශීත රටවල, ඒ කියන්නේ ඍතු භේදය තදින් තියන සීත කාලේ 0℃ අඩු උෂ්ණත්වයකුත්, අඩු දිවා කාලයකුත්, ග්‍රීෂ්ම කාලේ වැඩි උෂ්ණත්වයක් හා පැය 12- 16 දිවා කාලයකුත් තියන රටවල සාර්ථකව වැවෙන පලතුරු වර්ග ගැන කලින් ලිපි දෙකක පල කළා. ඒ බොහෝ පලතුරු සමකය අසන්න රටවල වැවීම දුෂ්කරයි. එහෙම වගා කරන්න පුළුවන් පලතුරු වර්ගත් තියනවා. මිදී, කිවි, බෙරිවර්ග, පෙයාස්, හා ඇපල් වර්ග ඒ අතර තියනවා.

මිදී - විවිධ ක්‍රම වලින් ආහාරයට ගන්න පුලුවන් රසවත් පළතුරක් නිසා ලෝකය පුරාම ජනප්‍රියයි . ඇට මගින් මෙන්ම පැල මගින්ද බෝ කරගත හැකි මිදී වර්ග හා වර්ණ රාශියක් දැකිය හැකිය.
මව් ශාකය අසල හැදෙන පැල ගලවා සිටවනවානම් පැලය පැය 3-4ක් වතුරේ දමා තබා පැල කිරීමයි වඩා සුදුසු. මාර්තු, අප්‍රේල් මාස වලදියි මේ විදියට පැල කරන්නේ. බඳුන් ගත කර ඇති පැල සිටුවන්නේ මැයි, ජුනි මාසවල. පැල අතර අඩි 6- 10 පරතරයක් ඇතිව සිටුවීම වඩා හොඳය.
ඉතා හොඳින් ආලෝකය හා උෂ්ණත්වය අවශ්‍ය මිදී වැල් ඉහල යාමට කණු යොදා මැස්සක් සකස් සකස් කළයුතු බව බොහෝ දෙනෙක් දන්නවා. පළමු වසරේ පැල ශීත කාලයේදී වසා ආරක්ෂා කරගත යුතු වෙනවා.
මිදී ශාක මුල උණුසුමට ප්‍රිය නිසා අවට හොඳින් පිරිසිදු කර ආලෝකය වැටෙන්නට ඉඩ හල යුතුයි. මුල් පහසුවෙන් රෝගවලට ගොදුරු විය හැකි නිසා වසරකට වරක් වසන්ත කාලයේ කොම්පෝස්ට් යෙදීමේදීත් පැලයට මදක් ඇතින් යෙදීමයි සාර්ථක.
නිරතුරු පැල ගැන සැලකිලිමත් වීමෙන් හා නිසි ලෙස කප්පාදු කිරීමෙන් රෝගවලින් රැකගෙන සරු පලදාවක් ලබාගත හැකිය. මල් පිපෙන්නේ අලුත් දඬු මත නිසා පැරණි දඬු ඉවත් කල යුතුයි. ඵල නෙලාගත් පසු අනවශ්‍ය ශාක කොටස් ඉවත්කර පිරිසිදු කිරීම ඊළඟ වසරේ සරු ඵලදාවක් ලබා ගැනීමට හේතු වේ. අගෝස්තු සිට ඔක්තෝබර් ඵල ලැබෙන කාලයයි.
වියළීමෙන්, ජෑම්, ජෙලි හැදීමෙන් කල් තබා ගත හැකියි. මිදී වයින් මෙන්ම මිදී විනාකිරි බොහෝ ජනප්‍රියයි. වයින් සෑදීමේ අතුරුපලයක් ලෙස මිදී ඇට වලින් grapeseed oil ද නිපදවේ. මෙම තෙල් ගුණදායකය.

කිවි - ආසියාව නිජබිම කරගත් කිවි දැන් ලොව පුරා සාර්ථකව වගා කරයි. කොළ පැහැ මදයේ කළු තිත් වැනි ඇට මගින් ලැබෙන ප්‍රියමනාප පෙනුම නිසා පලතුරු සලාද හා සැරසිලි වලදී අලංකාරයක් ගෙන දේ. ඇඹුල් රසින් යුත් කිවිවල විටමින් C බහුලය.
ඇට මගින් මාස දෙක තුනකින් පැල ලබාගත හැකි කිවි ප්‍රවේසමින් බඳුන් ගත කර ගත යුතුයි. බඳුන්ගත පැල හොඳින් අව්ව ලැබෙන ග්‍රීෂ්ම කාලයේ හොඳ වයනයක් ඇති පසක පැල කරගැනීම සුදුසුය.. පොහොර දැමීම අවශ්‍ය නැත. කිවි වැල් ශක්තිමත්ය. අඩි 10ක් පමණ උසට වැඩිය හැකි නිසා සුදුසු මැස්සක් මත වැඩීමට ඉඩහළ යුතුය. පැලය ප්‍රමාණවත් උසකට ආ පසු එක අත්තක් හෝ දෙකක් පමණක් දිගටම වර්ධනයට ඉඩ සැලසීමෙන් වඩා හොඳ ඵල ලබා ගතහැක. කප්පාදු කිරීම නිසි උපදෙස් අනුව කල යුතුවේ.
පොත්තේ ස්වභාවය නිසා ශීත ගබඩා කර මාස 9ක් පමණ කල් තබා ගත හැකිය.

ප්ලම්ස් - යුරෝපයේ හා ආසියාවේ වසර දහස් ගණනක් පුරා වැවුණු දැන් ලොව පුරා රසවිඳින ප්ලම්ස් සීත රටවලට ආවේනික තවත් ඉතා මිහිරි යුෂ පිරුණු පළතුරක්.
සාමාන්‍ය භාවිතයේ ප්ලම්ස් ලෙස හඳුන්වන්නේ වියලි මිදි වුවත්, ඇත්තෙන්ම ප්ලම්ස් මිදී මෙන් පොකුරු ලෙස හැදෙන පළතුරක් නොවේ. මිදිවලට වඩා විශාල, අඩි 7,8 උස ගසක හටගන්නා මධ්‍යයේ තනි
ප්ලම්ස් 
බීජයක් ඇති මෘදු පළතුරකි. වර්ණ කිහිපයකින් සෑදෙන, වර්ග දහස් ගණනක් ඇති මෙම රසවත් පලතුරෙහි විටමින් C බහුලය, කෙඳි අඩංගුය. දියවැඩියාව, කොලෙස්ටරෝල්, බඩවැල් පිළිකා පාලනයට අනුභව කල හැකි ගුණදායි පලයකි.
ඉතා ඉක්මනින් ඉදිමකට ලක්වන මේවා ශීතකරණයේ හෝ අධි ශීතකරණයේ ගබඩා කර මාස හයක් පමණ කල්තබාගත හැකිය. ටින් කිරීමෙන් හෝ ජෑම් සැදීමෙන්ද, වියලිමෙන්ද කල් තබාගන්නා ප්ලම්ස් විවිධ ආහාර පිළියෙළ කිරීමට යොදාගනියි. වියලන ලද ප්ලම් හැඳින්වෙන්නේ prunes නමිනි.

පීච් හා ඇප්‍රිකට්: නිජබිම ආසියානු රටවල් වුවත් සාර්ථක ලෙස ලොව පුරා වගා කෙරේ. බොහෝ දුරට එක සමාන ස්වභාවයෙන් යුතු ගස්වල හැදෙන රසැති පලතුරුය. අප්‍රිකට් ප්‍රමාණයෙන් කුඩා වන අතර දෙවර්ගයේම පොත්ත මත කුඩා කෙඳි ඇත. පීච් වල යුෂ ගතිය වැඩිය.
කොලෙස්ටරෝල් පාලනයටත් තරබාරු බව පාලනයටත් ආහාරයට ගැනේ. සමේ නිරෝගිභාවය රැක ගැනීමටත් උපකාරී වේ. මෙම දෙවර්ගයේම ඇට පිළිකා සඳහා ඖෂධ ලෙස යොදාගනියි.
ශිත කාලයට පෙර සිටුවා වසර දෙක තුනකින් ජුලි අගෝස්තු වල ඵල ලබාගත හැකි ශාක වේ. පැළවීමට පෙර ශිත අවශ්‍ය නිසා ඇට ශිතකරනයේ මාස දෙකක් පමණ තබා පැල කිරීමයි සුදුසු.
මාමලෙඩ් සැදීමෙන්ද, කෑලි කපා ටින් කිරීමෙන්ද, වියලීමෙන්ද කල් තබා ගත හැකිවේ.



උදව්:
www.almanac.com/plant/grapes
http://www.softschools.com
http://www.whfoods.com
www.leaf.tv/articles

Thursday, 26 January 2017

සීත රටවල පළතුරු 2: බෙරි වර්ග

සෞම්‍ය කලාපිය රටවල හැදෙන බෙරි  වර්ග කිහිපයක් තියෙනවා. ස්ට්‍රෝබෙරි, රාස්ප්බෙරි, ගුස්බෙරි, ක්‍රන්බෙරි, බ්ලැක් බෙරි, බෙයා බෙරි, ක්ලවුඩ් බෙරි, හනිබෙරි ආදි ලෙස. කරන්ට් කියන වර්ගයත් බෙරි ගනයේම සැලකෙන්නේ.
වගා කිරීම එතරම් අපහසු නැති බෙරි බහු වාර්ෂිකයි. විටමින් හා ඛනිජ වර්ග බහුලව අඩංගුයි. මේ හැම වර්ගයක් ම කල් තියාගන්නේ ශීත කිරීමෙන් හෝ ජෙලි, ජෑම් හැදීමෙන්.
පුඩිං, අයිස්ක්‍රීම් හා යෝගට්වලට යෙදීමෙන් එම ආහාරවල රසත්, ගුණත් වැඩි කරනවා.

ස්ට්‍රෝබෙරි Strawberry : ලංකාවෙත් ශීත දේශගුණය ඇති පළාත්වල වවන්න පුළුවන් ස්ට්‍රෝබෙරි කුඩා නූස් පඳුරු ලෙස වැඩෙන්නේ.
බිම, පෝච්චි, එල්ලන පෝච්චි, බැග් ආදී ඕනෑම ක්‍රමයකට වවන්න පුළුවන්. හොඳ ජල වහනයක් තියන, අව්ව, හෙවන සමව ලැබෙන තැන්වල හොඳට වැවෙනවා. බිම පැල කරන්න හොඳම මාර්තු වලයි. ජුනි මාසේ වෙද්දී පලදාව ගන්න පුලුවන්. මුල්ම වසරේ එතරම් පලදාව නැතිවුනත් ඊළඟ වසර දෙකේ සරු වෙනවා. වර්ගය අනුව පල ලැබෙන කාලය වෙනස් වෙනවා. ජුනි, ජුලි සති දෙක තුනක් තමයි සාමාන්‍ය.
ඵල අවසන් වේගන යනකොට runners කියන කොලපාට දඬු දික්වෙන්න ගන්නවා. ඒවායේ කෙලවර කොළ හැදෙනවා. මේ කෙලවර කොම්පෝස්ට් පිරවූ පෝච්චිවල තද කර (කම්බි කැල්ලක් ආධාරයෙන් ) තබා, මුල් ඇදුනු පසු මව් ශාකයෙන් වෙන් කරගත හැකියි.
 පාත්තිවල නම් ශීත කාලයෙන් පසු තමයි වෙන් කරගන්නේ. සාමාන්‍යයෙන් ඵල දෙන්නේ අවුරුදු තුනක් පමණයි. ශෂ්‍ය මාරු ක්‍රමයට වගා කිරීම හොඳ බවයි කියන්නේ.
ස්ට්‍රෝබෙරි නෙලීම 








බ්ලූ බෙරි Blue berry : සාමාන්‍යයෙන් පලතුරක නැති නිල්පාටක් තියන පුංචි ගෙඩි හැදෙන බ්ලුබෙරි ගස් ටිකක් ලොකුවට හැදෙනවා. අව්ව ලැබෙන, තරමක ආම්ලික පසේ හොඳට හැදෙනවා. සරත්, වසන්ත ඍතු පැල කරන්න සුදුසුයි. හොඳ ඵලදාවක් ලබා ගන්න වසරකට වරක් කප්පාදු කරන්න ඕන. තරමක ආම්ලික පොහොර දීම හැර එතරම් සාත්තුවක් අවශ්‍ය නැති ගසකි.
රාස්ප්බෙරි Raspberry : මෘදු පලතුරකි. තරමක උසට පඳුරු ලෙස වැඩෙන ශාකයකි. දුර්වලකඳක් නිසා ආධාරක වැටක් බැඳීම සාමාන්‍ය ක්‍රමයයි. ශීත දේශගුණයේ හැදෙන ශාකයක් වුවත්, හැම දේශගුනයකටම සරිලන වර්ග තිබෙනවා. වාරයක් අවසානයේ කප්පදුවේදී අලුත් අතු ඉතිරි කර, පරණ ඵල දැරූ අතු ඉවත් කරයි.
වගා කිරීමට සුදුසු වසන්ත කාලයේ මුලයි. එතරම් සාත්තුවක් හෝ ජලය අවශ්‍ය නැති පැළෑටියකි.

ක්රෑන් බෙරි Cranberry : විශේෂිත පසක් හා ප්‍රමාණවත් ජලය නිතර අවශ්‍ය ශාකයකි. ප්‍රියජනක රසත්, විවිධ ක්‍රමවලට කල් තබා ගැනීමේ හැකියාවත් හේතුවෙන් ඇති ඉල්ලුම නිසා මහා පරිමාණයේ වගාවන් කෙරෙන පලතුරකි. පොලවට ආසන්නයේ වැඩෙන පඳුරු හා තරමක උස ගස් ඇත.
 වාණිජ වගා කෙරෙන තැන්වල අස්වැන්න නෙලා ගැනීමට බිමට වැඩිපුර ජලය සපයා, යන්ත්‍ර මගින් පාවෙන ක්‍රන්බෙරි එකතු කරගනී. සැප්තැම්බර්, ඔක්තෝබර් අස්වනු නෙලන කාලයයි.



කරන්ට් Currant : රතු, රෝස, කළු, සුදු වර්ණයන්ගෙන් ඇති රසවත් පලතුරකි. තරමක පඳුරු ලෙස වැඩේ. වසන්ත කාලයේ වගා කරන අතර ජුනි සිට අගෝස්තු දක්වා ඵල ලැබේ. එක පඳුරකින් කරන්ට් කිලෝ 5ක් පමණ නෙලාගත හැකිය. පොකුරු ලෙස ඇති නිසා නෙලිමද පහසු ය.
ටේ බෙරි  Tayberry : රාස්ප්බෙරි හා ස්ට්‍රෝබෙරි මිශ්‍ර පලතුරකි. කෙටි කාලයක් තුල ඵල සැදී හමාර වේ. තද ඇඹුල් බවත්, මෘදු බවත් නිසා වඩා සුදුසු ජෑම්, ජෙලි සැදීමටයි.


බ්ලැක් බෙරි : අඩි කිහිපයක් උසට වැඩෙන කටු සහිත ශාකයකි. පැල වී දෙවන වසරේ සිටම ඵල ලබා දෙයි.හොඳ පාංශු වයනයක් ඇති පසක, හිරු එලිය හා සෙවන සම පමණ ලැබිම සාර්ථක ලෙස ඵල ලබාදීමට හේතු වේ.පහසුවෙන් රෝගවලට ගොදුරුවන ශාකයකි.

අනිත් බෙරි වර්ගත් රසයෙන් ගුණයෙන් මේ විදියම තමයි.



රසුදැල් හැඬවීමට උදව්:
 Renuka Wimalarathna
 Professor Murray
සමහර පින්තුර අන්තර්ජාලයෙන්.