විවෘත, විශේෂ වේදිකා රහිත මේ අපුරු සංස්කෘතික සංදර්ශනය පිලිබඳ මතකය වරින්වර මතුවෙමින් ලිපියකට තොරතුරු එකතු කිරීමේදී පෙනී ගියේ මේ වැව් පිටියේ නැටුම් රජරට පමණක් නොව ලංකාවේ ප්‍රදේශ කිහිපයකම ග්‍රාමීය ප්‍රදේශවල ජනප්‍රිය බවත් එය 'ජහුටා' නමින් පතල බවත්ය. දුර අතීතයක් නැති ජහුටා ආරම්භය ගැන මත දෙකක් තියනව. එකක් කුරුණෑගල කටුපොත 1940 ගණන්වල විසු රාජ්‍ය නාට්‍ය කණ්ඩායමේද සාමාජික සාරධිපති නම් කෙනෙක් ආරම්භ කළ බවයි. අනෙක කන්දෙගෙදර N. P. සිරිසේන නම් කෙනෙක් මුලාරම්භය දුන් බවයි. මේ මත දෙකේදීම කියවෙන්නේ දකුණු ඉන්දියාවේ ප්‍රචලිත ජහුටාන් නම් නාට්‍ය විශේෂය අනුසාරයෙන් ලංකාවට මෙය හඳුන්වා දුන් වගයි. තවත් කෙනෙක්ගේ මතය වුයේ එය ඉන්දීය ලාංකීය ගායන හා නර්තන ක්‍රම යොදාගෙන සාදාගත් නිර්මාණ මිස දකුණු ඉන්දීය අභාෂයක් නැති බවයි. 'ජහුටා' නම වසර විසි තිස් ගණනකට පෙර රජරටදී භාවිතා වූවාද යන්න මතකයේ නැහැ.
ලොකුවට ප්‍රචාරය කළේ නැතුවත් නාන වැව් තොටේදී, මග තොටේදී එකිනෙකා මගින් දැනගන්නා ගමේ උදවියත්, අහල පහල ගම්වල අයත් ගෙදර කොල්ලන් බල්ලන් අඬ ගහගෙන වෙලාවටත් කලින් වැව් තාවුල්ලේ රංගනයට සුදානම් කරලා තියන පිටිය වටේ තරු පිරුණු අහස යට පැදුරු එලාගෙන තැන් තැන්වල වාඩිවෙනවා.
පොල්තෙල් පහන් දැල්වීම්, ආරම්භක කතා, නාට්‍ය කණ්ඩායමේ වංහුං හඳුන්වා දීමෙන් පස්සේ සංදර්ශනය සංවිධානය කරන සමිතියේ අරමුණත් කියනව. සාමාන්‍යයෙන් කැවිලි පිඟානක් වැනි සල්පිල් භාණ්ඩයක් වෙන්දේසියෙනුයි ආරම්භය සනිටුහන් කරන්නේ.
රංගනය ආරම්භ වෙන්නේ පුජා නැටුමකින්. ඉන්පසු ගීත නාටකයේ ඉදිරිපත් කරන කතාව ගැන සරල කෙටි හැඳින්වීමක් නාට්‍ය කණ්ඩායමේ ප්‍රධානියා/අධ්‍යක්ෂක විසින් කරනවා. මුල සිටම තියන විශේෂත්වය රංගන සඳහා ගයන ගීත, ජනප්‍රිය ගීත හෝ ජනප්‍රිය ගී තාල අනුව වචන යොදා ගයන ඒවා වීමයි. නර්තනයේ යෙදෙන අය ගයන බව පෙන්වුවත් ඇත්තටම ගායනා කරන්නේ පසුබිමේ එක පසෙක වාදක මණ්ඩලය සමග සිටින ගායක ගායිකාවන්. මයික්‍රෆෝන් සවිකර තිබෙන්නේ එතැනටයි. මේ නිසා මෙම නාට්‍ය හඳුන්වන්නේ දෙබස් කථන මුද්‍රා නාට්‍ය ලෙසයි. ශබ්ද විකාශන යන්ත්‍ර වලින් ඇසෙන නාදයට අනුවම කට සොලවමින් නටන නිසා එය වෙනම සිදුකරන බවක් නොදැනෙන තරම්.
මේ නළු නිලියන් දක්ෂ අය. අලංකාර, වර්ණවත් චරිතයට ඔබින ඇඳුමින් සැරසී සිටින්නේ. මුහුණු වැඩිපුර මේකප් කරගෙන සිටින්නේ ආලෝකයට උචිත විදියට. සංගීතය සපයන කණ්ඩායම රබන්, ඩොලක්කි, සර්පිනාව, බටනලාව, බෙර ආදිය වාද්‍ය භාණ්ඩ ලෙස යොදාගන්නේ. වාදක මණ්ඩලයත් බොහොම ප්‍රවීණ ලෙස වාදනය කරනවා අඩුවක් කියන්න බැරි විදියට.
මම මුලින් නැරඹු දිනයේ රඟ මඬලේ වූයේ මාතලන් ගීත නාට්‍යයයි. එවන් පැරණි චිත්‍රපට කතා, ඓතිහාසික කතා, ජාතක කතා මෙන්ම ශාස්ත්‍රීය නාට්‍යත් උපදේශාත්මක නාට්‍යත් මෙම භුමි වේදිකාවල රඟ දැක්වෙනවා. ගීතත් අපුරු දෙබසුත් අතරේ නාටකය ඇදී යනවා. දෙබස් වලටත් හඬ මුසු කරන්නේ පසුබිමේ ඉන්න වෙනත් ශිල්පින්. ඒ අනුවම ජවනිකාව යන නිසා එතරම් වෙනසක් දැනෙන්නේ නැති වුනත් දැන් හිතෙනවා මේ වගේ සජීවී ඉදිරිපත් කිරීමකදී මොනතරම් දක්ෂකමක් ද නළුවො සහ හඬ කවන අය කරන්නේ කියල. වේදිකා නාට්‍ය මෙන් නළුවා හෝ නිළිය දෙබස් නොකියන නිසා ජවනිකාවේ රඟපෑමට හා කට සෙලවීමට ගැලපෙන දෙබස නියමිත අවස්ථාවේ නොකියවුනොත් වරදිනවා. මෙලෙස බාහිරව හඬ සපයන නිසා රංගනයේ යම් අතිශයෝක්තියක් පෙනෙනවා. එහෙත් බොහෝවිට මේවා තාත්වික රඟපෑම්. මාතලන් දෙබස් එම චිත්‍රපටයේ මෙන් පැරණි බස් වහරකින් කිව්වේ. ගීත සමහරක් මාතලන් චිත්‍රපටයේ ඒවා වුනත්, එකල ජනප්‍රිය ගී තනුවලට වචන යොදා නිර්මාණය වුනු වෙනත් ගීතත් තිබුන.
මේ කෙටි විඩියෝවෙන් යම් වැටහීමක් ලැබෙයි ජහුට දැක නැති අයට. පසුබිමේ වාදක හා හඬ කවන අයත් බලන්න.
නාටකය යන අතරේ වරින්වර විකටයා එනවා. ඔහුත් නාට්‍යයේම චරිතයක්. රජ කතාවක නම් ඇමති කෙනෙක් වගේ. ඔහුට කවුරුත් බාහිරෙන් හඬ කවන්නේ නැහැ. ඔහුමයි කියන්නේ. ඒ නිසා ඔහුගේ හඬ ශබ්ද වාහිනියෙන් ඇසෙන්නේ නැහැ. එහෙත් මුළු පිරිසටම ඇහෙන හඬින් කීමට ඔහු සමත්. මිනිසුන්ගේ සිත් වඩාම ඇද බැඳ ගන්නේ මේ හාස්‍යජනක හා සමහරවිට දෙපිට කැපෙන දෙබස්. ඒ මොහොතේ කටට එන ආකාරයේ එම විහිළු කතාවලට පිළිතුරු දෙබස්, හඬ කවන අය ඒ මොහොතට අනුවයි කරන්නේ. ලේසි වැඩක් නෙමෙයි නේද?
ප්‍රසිද්ධියේ කිව නොහැකි දෙබස් ව්‍යංගයෙන් පැවැසුවිට තේරුම් ගන්නා අය සිනාසෙනවා මිස බාල මහලු කවුරුත් රැස්වී ඇති මෙවන් තැනක ඒවාට වෙනත් ප්‍රතිචාර නොදක්වන්නට තරම සංවර බවක් ගැමියෝ පෙන්වන්නේ.
චිත්‍රපට වගේම නාට්‍යයට සටන් ජවනිකා, කඩු හරඹ, කරණම් ආදියත් ඇතුලත්. සටන්වල ඇතිවන ශබ්ද ආදියත්, අශ්ව කුර ගැටෙන හඬ වැනි පසුබිම් හඬත් සියල්ල සජීව හඬ කැවීම් මගින් අසන්නට ලැබීම මහරු අත්දැකීමක්. සටන් ජවනිකා වලදී ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන සජීවී ප්‍රතිචාර වෙන කිසිදු කලා අංගයක ලැබෙනවාදැයි සැක සහිතයි. හඬ කැවීම් ශිල්පිනුත් දෙතුන් දෙනෙක් පමණක් සිටින නිසා ඔවුන් හඬ වෙනස් කරමින් නළු නිලියන් කිහිප දෙනෙක් වෙනුවෙන් හඬ ලබාදෙනවා. එක වාදකයා වාද්‍ය භාණ්ඩ කිහිපයක් වාදනය කරනවා. සාමාන්‍යයෙන් එක නාට්‍ය කණ්ඩායමක ශිල්පින් 10- 15 පමණ සිටින්නේ. අංග රචනා ආදියට වෙනම අය නැති අතර මේකප් හා හැඩ ගැන්වීම් ඔවුන් විසින්ම සිදු කරගන්න බව කියවෙන්නේ.
මේ විදියට නාට්‍යයේ මුල් කොටස මගින් ජනයා පැයක් හමාරක් පිනවූ පසු නැවත සල්පිල හෝ වෙන්දේසිය ආරම්භ වෙනවා. එය මෙහෙයවන්නේ ගමේ අදාල සමිතියේ අනුග්‍රහයෙන්. භාණ්ඩය ගැනත්, එය සල්පිලට දුන් කෙනා ගැනත්, ලන්සු තියන අය ගැනත් බොහොම විනෝද කතා අතරේ භාණ්ඩ කිහිපයක් මුදල් කරගැනීමට නාට්‍ය බැලීමට පැමිණි ගැමියන් සහය වෙනවා. සාමාන්‍ය සල්පිලක මෙන් දෙපිල බෙදී තරග කිරීමත් දකින්න තියෙනව. ලන්සුව වැඩිකරන මුදල එකතු කරගැනීමට කෙනෙක් වට්ටියක් ගෙන සෙනග අතරට පැමිණෙනවා. එහිදී ඔහුට මුදල් දෙන ප්‍රේක්ෂකයන් කියන කවටකතා ඔහු ආපසු නිවේදකයාට කීමෙන් එය කාටත් ඇහෙන්නට කියන අවස්ථා විනෝදය වැඩි කරන්නක්. මේවා බොහෝවිට අහිංසක විහිළු මෙන්ම "ඇගි නැන්දගේ ගෙදර දොර වහල නෑ " "නිසංසලාට ටොපියක් ඕනෙද?" වගේ කාටවත් හානියක් නොවෙන ඒවා. සල්පිල් භාණ්ඩයේ මිල ඉහල දාන්න මුදලක් දුන්විට නාමිකව හෝ නිර්නාමිකව මෙවන් කෙටි වාක්‍ය ප්‍රචාරය කරවගන්න පුලුවන්. සමහර භාණ්ඩ නොවටිනා ඉහල ගණන්වලට ගියත් ගැමියන් එය නොසලකන්නේ මේවා ගමේ යම් පොදු කටයුත්තකට යෙදවෙන බව දන්නා නිසයි. සමහරවිට අනවශ්‍ය තරම් කාලයක් සල්පිලට වැයකරන නිසා ප්‍රේක්ෂකයන් අතරින් සාමකාමී විරෝධතා ද මතුවෙනවා.
සමහර වෙලාවට අතරමග ආධුනික ගී ගායනාත් තියෙනවා. සල්පිල, මුද්‍රා නාට්‍යය, ගායනා සියල්ල අතරේ රැය පහන් වෙනවා. කිසිදු කම්මැලිකමක් නැතිව බලන්නට හැකි අපුර්ව විවිධත්වයක් සංදර්ශනය පුරාවටම තියෙන්නේ. එළිවෙන පාන්දර සිදුවන නාට්‍යයේ අවසානයෙන් අනතුරුව ජාතික ගීය ගැයීමෙන් එදින සංදර්ශන නිමාවෙනවා.. දිගටම සිටි අයවලුන් පැදුරුවලම නිදා සිටින දරු මල්ලන්ද අරගෙන අරුණාලෝකය මැදින් ගෙදර යනවා.
පසුවදා නාන තොටට ගියාම රස කතා. නළු නිලියන් ගැන, රඟපෑම් ගැන, ඔවුන් ඉන්නා තැන ගැන වගේම ගමේ ඕපාදුප. පෙරදා දුටු ගමේ තරුණයෙක් හා තරුණියකගේ ප්‍රේමයක්, අනියම් ප්‍රේමයක් ගැන එහෙම. ඊළඟ දිනයේ කතාව කෙබඳුද කියා එහෙන් මෙහෙන් ලබාගත් තොරතුරුත් ඒ අතර. පසුගිය සතියේ ළඟ ගමකට ආ කණ්ඩායම සමග මේ නර්තන කණ්ඩායම සංසන්දන පවා කෙරෙනවා. ඊළඟ වසරට නිර්දේශත් දෙවැනි තෙවැනි දිනවල අහන්න ලැබෙනවා.
පිටතින් ගෙන්වන නාට්‍ය කණ්ඩායමට ඉඳුම් හිටුම් කෑම බිම හා ආරක්ෂාව සපයන්නේ සංවිධානය කරන පිරිසයි. කණ්ඩායමට සමිති ගොඩනැගිල්ලක හෝ කුඩා නිවසක නවාතැන් දෙන්නේ.
ඒ කාලෙ රඟ දක්වපු කණ්ඩායම් නාම සිහියට නොනැගුනත්, අන්තර්ජාල වීඩියෝ වලින් සොයාගත් දැනට ක්‍රියාකාරී කණ්ඩායම් කිහිපයක නම්:
නව රන්තරු කලා සංගමය - කැඩපත්වෙහෙර
මයුර සත්සර කලා සංගමය - රාජාංගනය
නිර්මාණි නාට්‍ය කලා සංගමය
නිල්මිණි කලා සංගමය -වාරියපොළ
ශ්‍රී සාර ප්‍රභා කලා සංගමය - මහව
වයඹ තරංගනී කලා සංගමය - නිකවැරටිය
ස්වර්ණ හංස කලා සංගමය - වාරියපොළ
යෞවන කුමාර කලා සංගමය - දුටුවැව
90 දශකය මැද වන විට නිවෙස්වලට රුපවාහිනිය පැමිණීමත් සමග වැව් පිටියේ නැටුම් ක්‍රමයෙන් ජනප්‍රියත්වයෙන් අඩුවූ බවක් අහන්න ලැබුනා. ඒ නිසා මිනිසුන් ආකර්ෂණය කර ගැනීමට සැන්ඩෝ දර්ශන, මැජික් දර්ශණ ආදියත් එක් කරගැනීමට සමහර ජහුටා කණ්ඩායම් පසුකාලීනව යොමුවෙලා තියනව. වැව් නඩත්තුව අඩුවීමෙන් රංගන ස්ථානයක් නොමැති වීම නිසා මා මුලින් සංදර්ශනය නැරඹු තැන දැන් වසර ගණනාවකින් එය පැවැත්වුයේ නැති බව දැනගැනීමෙන් දුකක් ඇතිවුණා.
ලිපියට තොරතුරු ලබාදුන් තරංග මහතා ජහුටා සංදර්ශනයක් ගම්පහට අසන්න ප්‍රදේශයක වාර්ෂිකව පැවැත්වෙන බව කීමෙන් මෙය රජරට හා වයඹට සිමා නොවී තිබෙන බව පෙනුනා. එහි විශේෂය වන්නේ ප්‍රදේශයේ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් අනුග්‍රහයෙන් ස්වර්ණාභරණ වෙන්දේසියක් පැවැත්වීමයි. වෙනත් ප්‍රදේශවලින් වෙනස්ව, නරඹන්න එන අයට නොමිලේ තේ පැන් සංග්‍රහත් ලැබීම සිදුවෙනවා.
ඉතාම දක්ෂ ශිල්පින් පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකෙරෙන මෙම අපුර්ව එළිමහන් සංදර්ශණය යම් අඩුපාඩු සහිතව වුවත් නොනැසී පවතින්නේ එහි ඇති සුවිශේෂතා නිසයි. පුංචි රටක් වුවත් මේ අර්ථාන්විත සංස්කෘතික කොට්ඨාශය කිසිසේත් අහලවත් නැති අය ඉන්නේ එහි යම් ප්‍රාදේශීය සිමාවන් ඇති නිසා මෙන්ම නොමිලේ පවත්වන මෙම සංදර්ශන සඳහා අනුග්‍රහය දක්වන අයගේ අඩුවක් නිසා කියා හිතන්න පුළුවන්.
අන්තර්ජාලයේ ජහුටා නමින් හෙව්වොත් වීඩියෝ රැසක් දැක රස විඳින්න පුළුවන්. අවස්ථාවක් ලැබෙන විටක සොයාබලා හෝ නරඹන්න යන්න හැකිනම් මෙම අනර්ඝ කලා ශිල්පින්වත්, දෙබස් කථන මුද්‍රා නාට්‍ය කලාවත් සුරැකිය හැකිවනු ඇත.
↞↠↞↠↞↠↞↠
(ඡායාරුප අන්තර්ජාලයෙන්. ඒවායේ අයිතිය එම ඡයාරුප ගත් ශිල්පින්ට)
උදව්:
තරංග කලගෙඩිහේන මහතා
ගැමි සොමිය ගෙනා ජහුටා මුද්‍රා ගීත නාට්‍ය කලාව -ධර්ම වන්නිනායක mirrorarts.lk
ගමේ ගොඩේ වෙල් එළියේ එළිවෙනතුරු ජහුටා - W. ප්‍රදීප්. දිනමිණ 2017 පෙබරවාරි
srilankantheatre.blogspot.com/2010/06/blog-post_1096.html
buwanekabayouth.blogspot.com/2013/08/blog-post_11.html
රසවත් වගේම වැඩිපුර නොදැන හිටි දෙයක්. ස්තුතියි. ඒ වගේම ඔබගේ මහන්සියටත් වටිනාකමක් එකතු වෙනවා මෙවැනි විමර්ශන මඟින්. ජය
ReplyDeleteඇගයීමට බොහොම ස්තුතියි !
Deleteමේ පෝස්ට් එක කලින් කියවන්න ලැබිලා තිබුණා නම් අසනීප පැත්තකින් තියලා ජහුටා බලන්නට යනවා.
ReplyDeleteපෞද්ගලිකව ආරාධනාවකුත් ලැබිලා, ලඟ පාතකත් තිබිලා යන්න බැරි වීම ගැන නම් සෑහෙන්න කණගාටුයි.
තරංග ගේ ආරාධනයෙන් තමයි ලියන්න හිතුනේ. වැඩිදුර කරුණු හොයන්න කල් ගතවුනානේ.
Delete++++++++++++++++
ReplyDelete🙂😊
Delete+++++++++++++++++++++++++++
ReplyDeleteකළුතර පැත්තේ ජහුටා නැහැ නේද? තිබුනානම් ඔබතුමා මොනවහරි එකතු කරනවනේ.
Deleteනොදන්නා තොරතුරු රැගත් මේ ලිපියට බොහොම ඉස්තුතියි! ඔලුවට වදින්න නම් තව පාරක් කියවන්න ඔනේ ඉඟුරු එක්ක තේ සමඟ. 😁
ReplyDeleteතරංගලගේ ගමේ ජහුටා සංදර්ශනේ ඉඟුරු තේත් දෙනවලු ☕..ජංගම වෙළෙන්දොත් ඉන්නවා එතන... ඔලුවට වදින්න ගමක සෙනග අතරේ ඉඳන් බලන්නම ඕන.
Delete👍👍
ReplyDelete