Monday, 8 October 2018

ශරත් සමය වර්ණවත් කරන පත්‍ර Autumn leaves

ගිම්හාන කාලයේ ගස්වල පිරුණු පාට පාට මල් මෙන්ම කොළ පාට පත්‍රත් ඇසට ගෙන එන්නේ සහනයක්. සමකයෙන් දුරස්ථව පිහිටන රටවල සීත කාලයට කලින් එළඹෙන සරත් සමය (autumn/ fall) වෙද්දී මල් ක්‍රමයෙන් ගස්වලට සමුදෙන්න ගන්නවා. සදාහරිත නොවන, පළල් පත්‍ර ඇති ගස් සිසිරයට සුදානම් වෙමින් පත්‍ර  හැලීමට සුදානම් වෙනවා. පතනයට පෙර ස්වභාව ධර්මය විසින් ශාක පත්‍රවලට අපුර්ව වර්ණයන් දෙමින් පරිසරය සොබාවත් කරමින් වෙනස්ම විදියකින් නෙත පිනවනවා. උතුරු අර්ධගෝලයට මේ වර්ණ ප්‍රභා පෙනෙන්නේ සැප්තැම්බර් - ඔක්තෝබර් මාසවලදීයි.

ගස්, දුටු දුටු නෙත් පිනවන වර්ණ මිශ්‍රණයන්ට පරිවර්තනය වෙන්නේ දවසට දෙකට. බැලු බැල්මට මල් යායක් ලෙසින් දිස්වෙන අත්‍යලංකාරය හිතටත් මිහිරක් ගෙන එනවා. ගිම්හානයේ කොළ  පාටින් තිබෙන ගස් මෙහෙම වෙනස් වර්ණ ගන්නේ කොහොමද? සියලු පත්‍ර සමකාසන්න රටවල නිතර දකින්නට තියන ලෙස කහපාට වී හැලෙනවා වෙනුවට රතු, තැඹිලි, දම් වැනි පාටට හැරෙන්නේ ඇයි? එකම ගසේ පත්‍රත් මෙලෙස වෙනස් පාට වෙන්න පුලුවන්ද?
පත්‍ර සෛල තුල හරිතප්‍රද ගොනුවී ඇති අයුරු 
මේ ප්‍රශ්නවලට පිළිතුරු පටන්ගන්න වෙන්නේ කොලපාට පත්‍රවලින්. බොහෝ ශාක පත්‍ර කොළ වර්ණයක් ගන්නේ ඒවායේ අඩංගු හරිතප්‍රද හෙවත් ක්ලොරෆිල් නිසා. මෙම හරිත වර්ණ ක්ලොරෆිල්වලට හිරු එලිය උරාගෙන, පරිසරයේ ඇති කාබන් ඩයොක්සයිඩ් හා ජලය ආධාර කරගෙන කාබොහයිඩ්රේට් නිපදවාගන්න පුළුවන්. එනම්, මේවා ආහාර නිෂ්පාදන කර්මාන්තශාලා ලෙස ක්‍රියාකර ශාකයට අවශ්‍ය ආහාර නිපදවා ගන්නවා. මෙම ක්‍රියාවලිය ප්‍රභාසංස්ලේෂණය ලෙස හඳුන්වනවා.
හරිතප්‍රද වලට අමතරව තවත් වර්ණක පත්‍රවල තියෙනවා. නම් විදියට ගත්තොත් සැන්තොෆිල් (කහ වර්ණක),  කැරටිනොයිඩ් (තැඹිලි වර්ණක), ඇන්තෝසයනින් (රතු වර්ණක),  මේවත් හරිතප්‍රද සමග ආලෝකය උරාගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. ශාකයකට ප්‍රමාණවත් හිරුඑළියත් උණුසුමත් ඇතිවිට පත්‍රවල හරිතප්‍රද නිපදවීම වැඩි නිසයි අනිත් වර්ණ යටපත් කරගෙන කොළ පැහැයට දිස්වන්නේ.
සරත් සමය ආරම්භ වීමත් සමග අර්ධගෝලවල ධ්‍රැවාසන්න ප්‍රදේශවලට හිරු එලිය වැටෙන පැය ගණන අඩුවෙන අතර උෂ්ණත්වයත්  අඩුවෙමින් යනවා. හරිතප්‍රදවලට අඩු උෂ්නත්වයන්හි පවතින්නට බැහැ. මෙම දේශගුණික තත්වයන්ට මුහුණ දෙමින් නොමැරී ජීවත්වීම උදෙසා ශාකවලට ඇති එකම විකල්පය ප්‍රභාසංස්ලේෂණය අත් හැරීමයි. වැඩක් සිදු නොකරන පත්‍ර සමග ජීවිතය පවත්වා ගැනීමට වඩා නැවත හොඳින් හිරුඑළිය ලැබෙන වසන්ත සමය එනතෙක් පත්‍ර ඉවත්කර තිබෙන ශක්තිය රැක ගැනීමට ශාකයට සිදුවෙනවා. මෙලෙස පත්‍ර ඉවත්කිරීමට පෙර හරිතප්‍රද බිඳ හෙලා එහි ඇති නයිට්‍රජන් හා නිෂ්පාදිත සිනි වර්ග කඳ කොටස්වල ගබඩා කිරීමට යැවෙනවා.
 හරිතප්‍රද බිඳ වැටීමත් සමග මෙතෙක් එම වර්ණයෙන් යටපත් වී තිබු අනෙකුත් වර්ණ දිස්වීමට පටන් ගන්නවා. කහ සහ තැඹිලි වර්ණ ලොව සැම ප්‍රදේශයකම ශාක පත්‍ර පතනයට පෙර දක්නට ලැබෙන්නේ ශාකවල වැඩිපුරම ඇත්තේ කහ සහ ඊට ආසන්න වර්ණවලට අදාල වර්ණක නිසායි.

නමුත් උෂ්ණත්වය ඉතා අඩුවන ධ්‍රැවාසන්න ප්‍රදේශවල පතනයට ආසන්න සමහර ශාක රතු හා රතු වර්ණයේ ප්‍රභේදවලින් දැකිය හැකියි. මෙය විශේෂ තත්වයක්. අනෙක් කහ පැහැයට හැරෙන ගසුත්, සිහින් පත්‍ර තියන සදාහරිත ගසුත් අතරේ රුසිරු දසුන් මවන්නට මේ විශේෂ තත්වයට හැකියි.දැනට සොයාගෙන ඇති අන්දමට සමහර ශාකපත්‍රවල රතු වර්ණය ඇතිකරන ඇන්තොසයනින් අලුතින් නිපදවෙනවා. ගස විසින් ඉවත් කිරීමට ආසන්න පත්‍රයක කෙටි කාලයකට වර්ණක ඇතිවීම විද්‍යාඥයන්ටත් ප්‍රශ්නයක්. මෙයට හේතු ලෙස න්‍යායන් කිහිපයක් ඉදිරිපත් වී තිබෙනවා.
මුල්ම අදහස් අතුරින් එකක් වුයේ ඇන්තොසයනින් වර්ණකය දිලිර හා කෘමින්ගෙන් ශාකය ආරක්ෂා කරගැනීමට රසායනික ආරක්ෂකයක් ලෙස ක්‍රියාකරන බවයි. ඵල ආහාරයට ගන්නා කුරුල්ලන් ආකර්ෂණය කරගෙන ඵල අවසන් කර ඒවා වෙනුවෙන් යෙදවෙන ශක්තිය ශාකයේ පැවැත්මට යොදාගැනීමට රතු වර්ණය ගන්නවා යන්න තවත් මතයක්. එහෙත් මෙම වර්ණය පවතින අතිශය කෙටි කාලසීමාව අනුව මේ මතයන් ගැන සැක මතුවේ.
තවත් මතයකින් කියවෙන්නේ එමගින් වැඩිපුර ඉර එලියෙන් ශාකය ආරක්ෂා කර,අඩු උෂ්ණත්වයේදී  බිඳවැටෙන ක්ලොරෆිල්වල ඇති නයිට්‍රජන් සහ නිපදවී ඇති පෝෂක උරාගැනීම පහසු කරන බවයි. ඉර එලිය වැඩි වසරවල පත්‍ර උඩ පෘෂ්ඨයේ  රතු පැහැය වැඩිවීමෙන් ද, ධ්‍රැව ආසන්නයට යත්ම ශාක වඩා තද රතු පැහැයට හැරීමෙන්ද මෙම මතය සත්‍ය ලෙස සිතිය හැකියි.
වැඩි හිරු එළියක් හා වියලි කාලගුණයක් ඇති වසරවල ශාක යුශවල සිනි ප්‍රතිශතය අධික බව හඳුනාගෙන ඇති අතර එයිනුත් තව දුරටත් ඇන්තොසයනින් නිපදවීම උත්තේජනය කරනව. මෙසේ සියලුම පෝෂක ආපසු උරාගැනීමෙන් ශාකය වඩා හොඳින් ශීත කාලයට ඔරොත්තු දිමට සකස් කිරීමක් සිදුවන බව හිතන්න පුළුවන්. හිම මිදීමට ආසන්න උෂ්ණත්වයක් ඇති පෝෂක අඩු අවස්ථාවලත් රතු වර්ණකය සැදීම උත්තේජ වීමෙන් මෙම මතය තහවුරු වනව. එසේම අඩු ඉර එළියක් ලැබෙන වැස්ස වැඩි වසරවල ශාකවල රතු වර්ණය අඩුවීමක් නිරීක්ෂණය කරන්න ලැබෙන්නේ  එවිට හිරුඑළියෙන් ආරක්ෂා කිරීමක් අවශ්‍ය නොවෙන නිසයි.
තවත් න්‍යායක් දක්වන්නේ බලවත් ප්‍රතිඔක්සිකරකයක් වන ඇන්තොසයනින් වර්ණකය  ශාකය ශීත කාලයට වඩා හොඳින් සුදානම් කරන බවයි.

එහෙත් සමහර ශාක මෙලෙස රතු වර්ණය නිපදවීම පිලිබඳ කරදර නොවන්නේ ඇයිද යන්න තවත් නොවිසඳුණු පැනයක්. ඒවා ලැබී ඇති වර්ණකවලින් සැහී ක්ලොරෆිල් බිඳ වැටුණු පසු තම වර්ණය පමණක්  හෝ අනෙකුත් වර්ණ සමග සංයෝග වී වඩා නෙත් පිනවන වර්ණ ප්‍රදර්ශනය කර සීත වනවිට හැලී යයි.

සොබාදම් මවගේ නොවිසඳුණු රහස් තුරුළු කරගෙන මේ සියලුම දර්ශණීය වර්ණ සංකලන ඉතාම කෙටි කලක් පරිසරය අලංකාර කර, මානව නෙත් සිත් පිනවා, ගසෙන් වෙන්ව බිම පතිත වී ගසට තනිව ශීත කාලය තරණය කිරීමට ඉඩදෙයි.


උදව්:
Guide to all Colors in Upstate New York : Donald J. Leopold
The Science of Why? : Jay Ingram 2016
www.esf.edu/pubprog/brochure/leaves
cienciasdejoseleg.blogspot.com/
www.education.com/science-fair/find-color-pigments-hidden-green/
www.compoundchem.com/autumnleaves/

5 comments:

  1. වටිනා පැහැදිලි කරදීමක්

    ReplyDelete
  2. ඔබගේ සාර ගර්භ ලිපිය කියවූවා. මා පදින්චි දක්ෂිණ අර්ධ ගෝලයේ රටෙහිද, ඔබ සඳහන් කරන ශාක ආශ්චර්යය අප අත් විඳිනවා. මේ දිනවල මෙහි වසන්ත සමය. තව සති කිහිපයකින් එළඹෙන ගිම්හානයට ශාක සුදානම් වන බව දකින්නට ලැබෙනවා. අපගේ නිවස අසල තිබෙන Fig (ෆිග්), Ficus carita ශාකයක, සියලුම පත්‍ර වැටී, නිද්‍රාශීලිව තිබුණු දළු ලියලන අතර, සංයුක්ත ඵල ('උදුම්බර') (cyconiums) බලාසිටියදීම වගේ දිනෙන් දින විශාල වෙනවා. අනිකුත් බොහෝ ශාක ද මලින් බරවී තිබෙන අතර අලුතින් දළු ලෑමත් ආරම්භ වෙලා.
    ඔබගේ විස්තරය ශ්‍රී ලංකාවේ උසස් පෙළ විභාගය කරන සිසුන්ට පරිසරයේ සංවේදී ක්‍රියාදාමයන් පිලිබඳ ඉතා වැදගත්වන සටහනක්. මේ දේශගුණයේම තිබෙන සදාහරිත ශාකවල සිදු වන ක්‍රියාවලියද මේ සමගම සංසන්දනය කළහොත් එහි ප්‍රයෝජනය තවත් වැඩිවන බවයි මගේ හැඟීම. (අදහසක් පමණයි)

    ReplyDelete
    Replies
    1. කවදත් පරිදි ඇගයීමත්, අලුත් අදහසක් එකතු කිරීමත් ගැන ස්තුතියි. සදාහරිත ශාක ගැනත් යමක් එක් කරන්නම්.

      Delete